Saturday, April 9, 2016


අංක එකේ ගෝලීය අවධානම

පසුගියදා ස්විට්සර්ලන්තයේ පැවති ලෝක ආර්ථික සමුළුවේ (World Economic Forum) දී ඉතිහාසයේ ප්‍රථම වතාවට ගෝලීය අවධානම් දර්ශකයේ පළමු තැන දේශගුණ විපර්යාසයට හිමිවිය. 2006 වසරේ සිට මෙම සමුළුවට සමගාමීව එළිදැක්වෙන ගෝලීය අවධානම් වාර්තාව (Globale Risks Report) ට අනුව දේශගුණ විපර්යාස අවමකරගැනීමට (Mitigatation) හා ඊට අනුහුරුවීමට (Adaptation) අසමත්වීම 2016 වසරේ පෘථිවි වැසියන් මුහුණ දෙන අංක එකේ ගෝලීය අවධානමයි. සමූලඝාතක අවි, ජල අර්බුධය හා සරණාගත ප්‍රශ්නය අභිබවා දේශගුණ විපර්යාස අවමකරගැනීමට හා ඊට අනුහුරුවීමට අසමත්වීම මෙම වසරේ ප්‍රධානම ගෝලීය අවධානම ලෙස නම්කිරීමට වාර්තාව සකස්කළ විශේෂඥයින් 750 කට වැඩි පිරිස තීරණය කර ඇත.
  
ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර එම සමුළුවට අපේ රටටත් ආරාධනා ලැබීම කාගේත් අවධානයට යොමු විය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එම සමුළුව අමතා ප්‍රකාශ කලේ ශ්‍රී ලංකාව වරාය නගර ව්‍යාපෘතිය සමග ඉදිරියට යන බවත් චීන ආයෝජකයන්ට අපේ රට තුල ආයෝජනය කිරීමට ආරාධනා කරනබවත් ය. වරාය නගර ව්‍යාපෘතිය ඇතුළු පසුගිය ආණ්ඩුව මගින් ආරම්භකළ මහා පරිමාණ ව්‍යාපෘති බොහොමයක්ම රටට දරා ගත නොහැකි සමාජාර්ථික හා පාරිසරික ප්‍රශ්න රැසක් ඇතිවීමට තුඩුදෙන ඒවා විය. එමගින් උදාකර දීමට ගිය ඊනියා සංවර්ධනයෙන් අපේ රටේ ජනතාවගේ සැබෑ අවශ්‍යතා ඉටුනොවන බව පැහැදිලිය. මෛත්‍රී පාලනය බිහිවීමටද එක් හේතුවක් වූයේ එම තත්වය යි. නමුත් එසේ තිබියදී වර්තමාන ආණ්ඩුවද ඉකුත් ආණ්ඩුව ගමන්කළ පුරුදු දුර්දාන්ත ගමන් මගේම යනවා නොවේද යන්න පැහැදිළි කර ගැනීමට අගමැතිවරයාගේ ඉහත ප්‍රකාශය වැදගත්ය.

මිනිසාගේ පැවැත්ම තහවුරුකර ගැනීම සඳහා දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට ඔරොත්තු දෙන ආකාරයේ තිරසාර සංවර්ධනයක් අත්කර ගැනීම කාලීන අවශ්‍යතාවයක් බව මුළු ලෝකයම පිළිගන්නා සත්‍යකි. සංවර්ධන ක්‍රියාකාරකම් වලදී මෙන්ම භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ දී හරිතාගාර වායු විමෝචනය අවමකරගැනීම, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත නැඹුරු වීම, සම්පත් අවම භාවිතය වැනි ක්‍රියාමාර්ග මගින් දේශගුණ විපර්යාසය අවම කර ගැනීමට හැකියාව පවතී. එසේම මේ වන විට ඇතිවී ඇති දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට හුරුවීම සඳහාද අප කැපවී කටයුතු කල යුතුව ඇත. නමුත් ලොව බොහෝ රටවල් සේම ශ්‍රී ලංකාවද තවමත් ඒ ගැඹුරු යථාර්තය අවබෝධ කර ගැනීමට උත්සාහ දරා නැත.

ඒ වෙනුවට සිදුකරන්නේ රත්වන හැලියේ නටන කකුළුවන් මෙන් තවදුරටත් අඳුරේ අත පත ගාමින් කල් මැරීමය. ලොව අනෙකුත් රටවල් පුනර්ජනනීය බලශක්තිය සොයා යන විට අපේ රට ගල්අඟුරු සංවර්ධනය කෙරෙහි විශ්වාසය තබමින් සිටී. දේශගුණ විපර්යාසයට හේතුවන හරිතාගාර වායු මහා පරිමාණයෙන් වායු ගෝලයට මුදා හැරීමට ගල් අඟුරු බලාගාර හේතුවන අතරම නොරච්චෝලේ වැනි බලාගාර ආශ්‍රිතව දිවිගෙවන ජනතාවට එමගින් තම දෛනික කටයුතු කරගෙන යාමට නොහැකි තත්වයක් පවා ඇතිවෙමින් පවතී. එසේ තිබියදී සාම්පුර් ජනතාව ද අවතැන් කරමින් තවත් ගල් අඟුරු බලාගාර ඉදිකිරීමේ පිඹුරුපත් සැකසේ.

තවදුරටත් දේශගුණ විපර්යාස ඇතිවීම පාලනය කරන, පරිසරයට ඔරොත්තු දෙන ධරණීය සංවර්ධන සංකල්ප වෙනුවට මහා නගර සංවර්ධනය පිළිබඳව හීන දැකීමද අප තවමත් අතහැර නැත. බටහිර බලවතුන් කාර්මික විප්ලවයෙන් ලෝකය උඩු යටිකුරු කර එහි අභාග්‍යසම්පන්න ආදීනව භුක්ති විඳිමින් සිටින අතරතුර ඔවුන් රෑ වැටුණු වලේ අප මහා දවාලේ වැටෙමින් සිටීම කණගාටුවට කරුණකි. වනාන්තර සංරක්ෂණය කර ගනිමින් වායු ගෝලීය කාබන් මට්ටම පහළ දමා ගැනීමට උත්සාහ දැරීම කාලීන අවශ්‍යතාවයක් නමුත් අප ඒ වෙනුවට වනාන්තර විනාශකරමින් රට කාන්තාරයක් බවට පත්කරන ඊනියා සංවර්ධන මිත්‍යාවන් පසුපස හඹා යමින් සිටී.

අපේ ක්‍රියාකාරීත්වය එසේ වුවද අසල්වාසී ඉන්දියාව වැනි රටවල් පවා හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා රැඩිකල් විසඳුම් යෝජනා ක්‍රියාත්මක කරමින් සිටින බවද අප අමතක නොකළ යුතුය. සංදර්ශන කාමයෙන් සිදුකෙරෙන විවිධ පරිසර වැඩසටහන් වෙනුවෙන් කාලය කා දමමින් සිටිනු මිස මෙම වසරේ ප්‍රධානම ගෝලීය අවධානම වන දේශගුණ විපර්යාස අවමකරගැනීමට හා ඊට අනුහුරුවීමට අවශ්‍ය තුන්කල් දැක්මක් හා වැඩපිළිවෙලක් සකසා ගැනීමට වර්තමාන පාලකයන් උත්සාහ නොකිරීම කණගාටුවට කරුණකි.




No comments:

Post a Comment