Friday, April 22, 2016

මිහිතලයේ රක්ෂණාවරණය
වනාන්තර වෙනුවෙන් සිදුකරන ආයෝජනය මිහිතලයේ අනාගතය සඳහා රක්ෂණාවරණයකැයි එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බැන් කි-මූන් මහතා කියා සිටියේ පසුගිය මාර්තු 21 වැනිදාට යෙදී තිබුණු ජාත්‍යන්තර වනාන්තර දිනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමිනි.
සැබෑ ලෙසම මිහිතලයේ පැවැත්ම රඳා පවතින පදනම වන වනාන්තර හා වනාන්තර වලින් බැහැරව පවතින වෘක්ෂ ලතා වලින් පවා මිනිසා ඇතුළු සුවහසක් ජීවී ප්‍රජාවට ඉටුකරනු ලබන මෙහෙවර අතිමහත් නමුත් ලෝකයේ බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද වනාන්තර වල ඇති වටිනාකම තවමත් හරි හැටි වටහාගෙන ඒ අනුව ක්‍රියා නොකරන බවනම් ඉතා පැහැදිළිය.
මිහිතලයේ තුනෙන් එකක් වසා පැතිරුණු වනාන්තර මත යැපෙමින් තම ජීවිකාව සරිකර ගන්නා ජනතාව බිලියන 1.6 ඉක්මවයි. එමගින් සුරැකී ඇති ආදිවාසී ජන සංස්කෘතීන් ගණන දෙදහසකට වැඩිය. වනාන්තර මත පදනම්වූ හා එමගින් ආරක්ෂාව සලසා ගන්නා මිනිස් ප්‍රජාවන් වලට පමණක් නොව නාගරිකව ජීවත්වන ජනතාවට පවා වනාන්තර මගින් මිනිසාගේ මූලික අවශ්‍යතා වන ජලය, ආහාර හා වාසස්ථාන සැපයීම සිදුකරයි.
මිනිසාට ලඟාවිය හැකි මට්ටමේ පවතින පිරිසිඳු මිරිදිය ජලයෙන් සියයට හැත්තෑ පහක්ම (75%) සැපයෙන්නේ වනාන්තර හා තෙත්බිම් ජලපෝෂක ප්‍රදේශ වලිනි. ලොව ඇති මහා නගර වලින් තුනෙන් දෙකක්ම තමන්ගේ පානීය ජල අවශ්‍යතාවය ප්‍රධාන වශයෙන් සපුරා ගන්නේ වන රක්ෂිත පදනම් කරගෙන වන අතර පිරිසිඳු ජලය ලබා දෙන පෙරනයක් ලෙස ක්‍රියා කිරීමට වනාන්තර වලට ඇති මහා හැකියාව අසිරිමත්ය.
එසේම අහිතකර පරිසර තත්වයන්ට ප්‍රත්‍යස්තව මුහුණදීමට  අවශ්‍ය හැකියාව ගොඩනැගීමට හා වඩාත් ශක්තිමත් කිරීමට වනාන්තර මගින් සිදුකෙරෙන කාර්යභාරය තීරණාත්මකය. අහිතකර කාල සමයන්හිදී මිනිසාගේ පැවැත්මට අවශ්‍ය බොහෝ දෑ වනජ ද්‍රව්‍ය මගින් ලබා ගැනීමට හැකිවීම එම තත්වය ඇතිවීමට හේතුවේ.
තවද මිහිතලය මේ වනවිට මුහුණදෙමින් සිටින දේශගුණ විපර්යාසයේ අඳුරු බලපෑම් අවමකරගැනීම සඳහා ද වනාන්තර මගින් ලැබෙන දායකත්වය වෙනත් කිසිවෙකුටත් ලබාදීම උගහටය. වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු වර්ග අවශෝෂණය කරගෙන මිනිසාගේ පැවැත්මට අවශ්‍ය ඔක්සිජන් හා ජලය ලබා දී දේශගුණ විපර්යාස අවම කරන්නේ ගස් වැල් පමණි.
මිහිමත ඇති ජෛව විද්‍යාත්මකව වැඩිම විවිධාන්ගීකරණයකට ලක්වූ පරිසර පද්ධති විශේෂය වන වනාන්තර මගින් ගොඩබිම වසන ශාක හා සත්ව විශේෂ වලින් සියයට අසූවකට (80%) නිවහන සපයයි.
කෙසේ නමුත් ඉහතකී අතිවිශාල සමාජාර්ථික, පාරිසරික හා සෞඛ්‍ය ප්‍රතිලාභ පසෙකලා ගෝලීය වශයෙන් සිදුකෙරෙන වනාන්තර විනාශය ඉතා භයානක සීග්‍රතාවයකින් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී. එම ප්‍රමාණය වසරකට හෙක්ටයාර් මිලියන 13ක් පමණය. එම වනාන්තර විනාශය දේශගුණ විපර්යාසයන් ඇතිවීමට හේතුවන හරිතාගාර වායු විමෝචනයට සියයට 12 - 20 ත් අතර ප්‍රමාණයකින් දායකවේ.
ශ්‍රී ලංකාව ද ලෝකයේ වනාන්තර විනාශය සම්බන්ධයෙන් නම් දරා සිටින අතර මෙරට වන සම්පතට මරු පහරක් එල්ලවුනේ ඉකුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී බව නොරහසකි. කිසිඳු සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව නීති අනපනත් පවා සැලකිල්ලට නොගෙන දිවයින පුරා හෙක්ටයාර් දසදහස් ගණනින් වනාන්තර ඉඩම් විවිධ ව්‍යාපෘති සඳහා එකල විනාශ කෙරිණි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට පින් සිදු වන්නට උතුරු නැගෙනහිර දෙපලාතේ එතෙක් රැකී තිබු වියලි කලාපීය වනාන්තර ඉඩම් අති මහත් බහුතරයක් ද ඒ අතර විය (ලියුම්කරු කොටි සංවිධානයට ආවඩනවා නොවේ). ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අනුව 2000 – 2005 කාලසීමාව තුල ලෝකයේ වැඩිම ප්‍රාථමික වනාන්තර සංහාරය කල රටවල් අතර හතරවැනි තැන අප රටට හිමි වුනේ මෙකී රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකෙරුණු වනාන්තර හායනය හේතුවෙනි. නිල්ගල ඌව පතන් බිම් වනසමින් එවක ආණ්ඩුව නියෝජනය කල ඇමතිවරයෙකුගේ ගෝල බාලයින් විසින් සිදුකෙරුණු වන විනාශය වැලැක්වීම සඳහා ගස් පැවිදි කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමටද පරිසර ක්‍රියාකාරීන්ට සිදුවිය. මෙම වන සංහාරය රටට  අනාවරණය කිරීම හේතුවෙන් ලියුම්කරුට “බුද්ධදාස රජ්ජුරුවන්ගේ නයා” ලෙස ප්‍රසිද්ධියේ පරිභව කිරීමටද එකී ඇමතිවරයා කටයුතු කල ආකාරය මේ මොහොතේ සිහියට නැගේ.

එම විනාශයෙන් රට මුදවා ගන්නා බව පවසමින් බලයට පැමිණි වර්තමාන පාලනයද වනාන්තර සංරක්ෂණය සම්බන්ධයෙන් මේ දක්වා කල කී දෑද සාධනීය මට්ටමක නොමැති බව කිව යුතුය. ඉකුත් ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන  “පුනරුදය” තුන් අවුරුදු කඩිනම් පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන යටතේ 2018 වන විට මෙරට වන ගහනය හෙක්ටයාර් 6000කින් ඉහළ දැමීමට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කළේය. වර්තමාන සංඛ්‍යාලේඛන අනුව පෙනී යන්නේ මෙරට වසරකට හෙක්ටයාර් 4000ක් පමණ වනාන්තර විනාශකිරීම සිදුවන බවය.  වනාන්තර ආවරණය ඉහළ දැමීමට නම් මුලින්ම එම වාර්ෂික වන විනාශයට තිත තැබිය යුතුය. ඉන් පසු දෙවැනි අධියරය යටතේ නැවත වන වගාකර ජනාධිපතිවරයා අපේක්ෂා කරන මට්ටමට වන ගහනය ඉහළ දැමීම සිදුකළ හැකිය. නමුත් මේ දක්වා එසේ වන විනාශයන් නැවැත්වීමට බලධාරීන් අපොහොසත් වී ඇත අතර ආණ්ඩුවේ ප්‍රභලයින් පවා වන රක්ෂිත වනසන ආකාරය හෙළිදරව් විය.

ඒ කෙසේ වෙතත් මිහිතලයේ පැවැත්ම තහවුරු කරගැනීමට ඇති එකම මග වනාන්තර රැකගැනීම බව මේ මොහොතේ හෝ පාලක කාරකාදීන් වටහා ගන්නේ නම් මැනවි.

No comments:

Post a Comment