Sunday, October 30, 2016

දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව

දේශගුණ විපර්යාස ඇතිවීම පාලනය කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අවමකිරීමට ගෝලීය එකඟතාවයක් ඇතිකර ගැණීමට නොහැකිව ලෝක නායකයන් බරපතල කඹ ඇදිල්ලක යෙදී සිටි වකවානුවක ‘දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව’ {Intended Nationally Determined Contributions (INDCs)} පිළිබඳ අදහස මුලින්ම කරලියට පැමිණියේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදී පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශව කරුවන්ගේ 17 වැනි සැසි වාරයේදී පත්කර ගන්නා ලද ක්‍රියාකාරී කණ්ඩායමක් තුලිනි. පසුව 2013 වසරේ පෝලන්තයේ වර්සොව් නුවරදී පැවති පාර්ශව කරුවන්ගේ 19 වැනි සැසි වාරයේදී ලෝක නායකයන්ට ආරාධනා කෙරුනේ තමන්ට අභිමත පරිදි එක් එක් රටවලට තමන්ගේම ‘දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව’ සකස්කර සම්මුතියට ඉදිරිපත් කරන ලෙසය. ඒ අනුව අනුන්ට ඇඟිල්ල දික්කරමින් හා වරද පටවමින් කාලය කා දැමු අතීතයට තිත තබා දේශගුණ විපර්යාස පාලනය කිරීම සඳහා කැපවීමට මෙම ‘දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව’ ඉතා වැදගත් ආරම්භයක් ලබා දුනි.

එක් එක් රටවලට හරිතාගාර වායු විමෝචන අවමකිරීමට හැකි ක්ෂේත්‍ර හා ඊට අදාළ ප්‍රමාණයන් වෙනස් විය හැකිය. එසේම එක් එක් රටවල දේශගුණ විපර්යාසයේ බලපෑමට ලක්විය හැකි ක්ෂේත්‍ර හා අනුහුරුවීම් ප්‍රමුඛතා ද වෙනස්විය හැකිය. ඒ අනුව දේශගුණ විපර්යාස පාලනයට හා ඊට අනුහුරුවීමට තමන්ට හැකි ප්‍රමාණය තමන් විසින්ම තීරණය කර දේශගුණ විපර්යාසයට එරෙහි ගෝලීය සටනට තමන්ට රටක් වශයෙන් ලබාදිය හැකි දායකත්වය කුමක්ද යන්න දැක්වීම ‘දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව’ මගින් අපේක්ෂා කෙරේ.

දේශගුණ අභියෝගයට මුහුණදීමේ ගෝලීය සටනට අනුග්‍රහය දක්වමින් අප රට මගින් නිකුත්කරන හරිතාගාර වායු විමෝචන අවම කිරීමට හා දේශගුණ විපර්යාසයට අනුහුරුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අප රටද මෙම ‘දායකත්ව’ සකස් කර ඇත. එමෙන්ම පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමත කිරීමත් සමග අප රටද ඒවා ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තරය හමුවේ වගකීමෙන් බැඳී සිටින අතර 2020 වසරේ සිට ඒවා ක්‍රියාත්මක කල යුතුව ඇත. එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය සමග කටයුතු කිරීම සඳහා ජාතික මට්ටමින් වගකීම පැවරී ඇති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකාවට අදාලව මෙම ‘දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව’ සකස්කර භාරදී ඇති අතර ඒවා ක්‍රියාත්මක කරවීම ආණ්ඩුවේ වගකීමය.

දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව මගින් හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ගනු ලබන තීන්දු තීරණ වලදී හා අනුහුරු ක්‍රියාමාර්ග වලදී එහි පලපෑම මෙරට පුරවැසියන්ට විඳින්නට සිදුවන අතර දේශගුණ විපර්යාස පාලනය වීම මගින් ලැබෙන ප්‍රතිලාභද ඔවුනට පෙරලා ලැබෙයි. නමුත් ඒ පිළිබඳව ශ්‍රී ලාංකීය ජන සමාජය තුල ගැඹුරු සංවාදයක් ඇතිවී නොතිබීම කණගාටුවට කරුණකි. එබැවින් ඒ පිළිබඳව හාරා අවුස්සා බැලීම කාලෝචිත යැයි හැඟෙයි.

අප රට විසින් දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව, දේශගුණ විපර්යාසය අවමකිරීම (Mitigation), අනුහුරුවීම (Adaptation), අලාභ හා හානි (Loss and Damage) සහ ක්‍රියාත්මක කිරීමේ මාර්ග යන ප්‍රධාන කොටස් හතරක් යටතේ දක්වා ඇත. දේශගුණ විපර්යාස අවමකිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අවමකල යුතුය. ඒ සඳහා මෙරට තුල යෝජනාකර ඇති ක්ෂේත්‍ර වන්නේ බලශක්ති, ප්‍රවාහන, කර්මාන්ත, ඝන අපද්‍රව්‍ය හා වනාන්තර යන ක්ෂේත්‍රයි. එමගින් ජනනය වන කාබන් ඩයොක්සයිඩ්, මීතේන් හා නියිට්‍රස් ඔක්සයිඩ් යන හරිතාගාර වායු විමෝචන අවමකිරීම කෙරෙහි අවධානය යොමුකර ඇත.

එසේම අනුහුරුවීම යටතේ දේශගුණ විපර්යාසය හමුවේ දැඩි ලෙස අවධානමට ලක්වන ප්‍රජාවන් හා ක්ෂේත්‍ර හඳුනාගෙන ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමට අවධානය යොමු කෙරේ. ඒ යටතේ හඳුනාගෙන ඇති අවධානම් ක්ෂේත්‍ර වන්නේ මහජන සෞඛ්‍ය, ආහාර සුරක්ෂිතතාව (කෘෂිකර්ම, සත්ව පාලන හා ධීවර ක්ෂේත්‍ර ඇතුලත්ව), ජල හා වාරිමාර්ග, වෙරළ හා සාගර, ජෛවවිවිධත්ව, නාගරික යටිතල පහසුකම් හා ජනාවාස සහ සංචාරක යන ක්ෂේත්‍රයි.

ආන්තික දේශගුණ බලපෑම් මගින් ඇතිවන අලාභ හා හානි පිළිබඳව ක්‍රියාකිරීම සඳහා ශ්‍රී ලංකාව වර්සොව් ජාත්‍යන්තර යාන්ත්‍රණය අනුව ගිය දේශීය යාන්ත්‍රණයක් සකසා ගැනීමට අපේක්ෂා කරන අතර මේ සියලු දෑ ක්‍රියාත්මක කිරීමේ මාර්ග සකසා ගැනීමේදී අවශ්‍ය වන මුදල්, තාක්ෂනය හා ධාරිතා වර්ධනය සඳහා දේශීය හා විදේශීය සහාය අපේක්ෂා කරයි.


රටේ පුරවැසියන් වශයෙන් අප මේ පිළිබඳව දැනුවත්වී සිටීම හා උනන්දුවීම අත්‍යාවශ්‍ය අතර දේශගුණ විපර්යාසයයේ බලපෑමට මේ වනවිටත් මුහුණදී සිටින, අනාගතයද අවධානමේ පවතින ජනතාවක් වශයෙන් රටේ පාලකයන් දේශගුණ විපර්යාස පාලනයට හා ඊට අනුහුරුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේද යන්න සම්බන්ධයෙන් අවදියෙන් පසුවිය යුතුය. ඒ සඳහා ඇති හොඳම මිනුම් දණ්ඩ වනුයේ ‘දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව’ යි.

Friday, October 21, 2016

නීල හරිත යුගයක්

මෙම සියවසේ සමස්ථ පෘතුවි වාසීන්ම මුහුණදී සිටින මුලික සමාජාර්ථික අභියෝගය දේශගුණ විපර්යාසය බව අවිවාදිතය. ඉහළ යන මිනිස් ජනගහනයේ සංකීර්ණ අවශ්‍යතා සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ දී වායුගෝලයට නිකුත්වන හරිතාගාර වායු ප්‍රමාණය අවමකිරීමට හැර එම අභියෝගය ජය ගැනීමට අන් විකල්පයක් නොමැති බව පැහැදිළිය. ඒ සඳහා ලෝකයේ විවිධ රටවල් විවිධ වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කරන අතර අපේ රට යෝජනා කරන වැඩපිළිවෙල වන්නේ ‘නීල හරිත යුගයක්’ සංවර්ධන වැඩසටහනයි.

ඒ අනුව ‘නීල හරිත යුගයක්’ සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව විවිධ මති මතාන්තර හා සාකච්ඡා ඇතිවෙමින් පවතී. මෙම වැඩසටහනට උක්ත නම යොදා ඇත්තේ ගැඹුරු තේරුමක් ඇතිව ය. නමුත් බැලූ බැල්මට මෙහි නීල යන්නෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නියෝජනය කරන නිදහස් පක්ෂ පාර්ශවයත් හරිත යන්නෙන් එක්සත් ජාතික පක්ෂයත් නියෝජනය වනු ඇතැයි කෙනෙකුට පෙනෙන්නට පිළිවන. ඒ මන්ද යත් ඊට එහා ගිය ගැඹුරක් තවමත් රටේ ජනතාවට අත්විඳින්නට නොහැකිවී ඇති බැවිණි. වර්තමාන මෛත්‍රී පාලනය ආරම්භවීමත් සමග රටේ පරිසර සංරක්ෂණය යහපත් දිශානතියක් වෙත යොමුවනු ඇතැයි සියළු දෙනා අපේක්ෂා සහගතව බලා සිටියහ. එය ක්‍රියාවෙන් යථාර්තයක් කිරීම කෙසේ වෙතත් පරිසර සංරක්ෂණය පිළිබඳව වේදිකා මත හඬ නැගෙන වහසි බස් වල නම් මේ දක්වාම අඩුවක් පෙනෙන්නට නැත. පරිසර සංරක්ෂණයට අමතරව රටේ සංවර්ධන ඉලක්ක පරිසර හිතකාමී හා තිරසාර අයුරින් ළඟාකර ගැනීම සඳහා ආණ්ඩුව මගින් ‘නීල හරිත යුගයක්’ සංවර්ධන වැඩසටහන ආරම්භ කරන බව පවසන්නේ එවැනි පසුබිමකය.

ලෝක ගෝලයේ ශ්‍රී ලංකාවේ පිහිටීම හා දිවයිනක් වීම යන කරුණු නිසා අප රටේ සංවර්ධනය කිරීම සඳහා නීල සංවර්ධන උපායමාර්ග යොදා ගැනීමට හැකියාව පවතී. වර්ග කිලෝමීටර් 532, 619ක විශාලත්වයකින් යුත් සාගර සම්පතක් භුක්ති විඳීමේ අයිතිය හිමිව ඇති අප රටට එම හිමිකම වර්ග කිලෝමීටර් 1, 714, 687ක් දක්වා පුළුල් කරගැනීමේ අවකාශ මේ වනවිට සැලසී ඇත. එසේම කිලෝමීටර් 1600 ක ආකර්ශනීය හා සම්පත් බහුල මුහුදු වෙරළක්ද අප රටට හිමිය. එමගින් ජනනය වන මසුන්, අනෙකුත් සමුද්‍රීය ජීව සම්පත්, සමුද්‍රීය ඛනිජ සම්පත්, සාගර බලශක්තිය හා සාගර සම්පත් ඇසුරෙන් නිපදවෙන ඖෂධ ආදීය අපේ රට සුඛිත මුදිත කිරීම සඳහා යොදාගත හැකිය. එසේම වෙරළ හා සමුද්‍රීය සම්පත් ඇසුරෙන් සංචාරක කර්මාන්තය, ක්‍රීඩා ප්‍රචලිත කිරීම, සාගර විද්‍යා ගවේෂණ පහසුකම් සැපයීම, වරාය, නාවුක පහසුකම් හා ආරක්ෂාව සැපයීම වැනි කටයුතු මගින්ද අප රටට සැළකියයුතු විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකිය. ඒ අනුව එම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය මගින් රට සංවර්ධනය කිරීමට වර්තමාන ආණ්ඩුවේ ‘නීල හරිත යුගයක්’ යටතේ අපේක්ෂා කෙරේ.

එසේම හරිත සංවර්ධන යටතේ කාර්මික නිෂ්පාදන, කෘෂිකර්මය, බලශක්තිය, ඉදිකිරීම් කර්මාන්තය හා ගමනාගමනය වැනි විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්ෂේත්‍ර හරිතකරණය කිරීමට ‘නීල හරිත යුගයක්’ මගින් යෝජනා කෙරේ. තවද හරිත නගර හා ගම්මාන ඇතිකිරීමටද එමගින් යෝජනා කෙරේ.

දේශගුණ විපර්යාසයන් අවමකිරීම සඳහා මෙම ‘නීල හරිත යුගයක්’ මගින් යෝජිත සංවර්ධන උපායමාර්ග ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරයි. එසේම පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමතකල රටක් වශයෙන් අප දේශගුණ විපර්යාස අවමකිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට බැඳී සිටී. නමුත් යම්කිසි කටයුත්තක් හරිත ලෙස නම්කළ පමණින් හෝ ආයතනයක් හෝ ස්ථානයක් කොළ පැහැයෙන් වර්ණ ගැන්වූ පමණින් කිසිවක් හරිතකරණය නොවන බව අප තරයේ සිහිතබා ගත යුතුය. අප ඉහත කී පරිදි ‘නීල හරිත යුගයක්’ තුල හවුල් ආණ්ඩුවේ පක්ෂ දෙකේ වර්ණයන් නියෝජනය වීම හැර ඊට වැඩි යමක් සිදුනොවන බව කෙනෙකුට හැඟෙන්නට ඉඩ ඇත්තේ එබැවිනි.

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ විවිධ පාර්ශව පරිසර සංරක්ෂණය හා තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් කොතරම් කැපවන බව පැවසුවද සංදර්ශන කාමයෙන් කොතරම් ඒ පිළිබඳව රැඟුම් රැඟුවද, දේශපාලන වේදිකාවෙන් පහළ බැස සැබෑ මහ පොළොවේ එම උපාය මාර්ග රෝපණය කිරීමට දේශපාලන අධිකාරිය හෝ නිලධාරී පැලැන්තිය දක්වන උනන්දුව ගැටළු සහගතය. එක රැයින් සිහින එළිවන්නේ නැති බව පැහැදිළිය. නමුත් සිහින එළිකර ගැනීම සඳහා දැනෙන කැපවීමක් තිබිය යුතු බවද සිහිපත් කළයුතුය.

Wednesday, October 19, 2016

දේශගුණ විපර්යාසය සහ කුණු

දේශගුණ විපර්යාසය සහ කුණු අතර ඇත්තේ කෙබඳු සම්බන්ධයක්දැයි කෙනෙකුට සිතෙන්නට පිළිවන. ඒ අතර බැලූ බැල්මට කිසිඳු සම්බන්ධයක් නැතැයි ද කෙනෙකුට සිතෙන්නට පිළිවන. නමුත් දේශගුණ විපර්යාසය හා කුණු කසළ අතර ඇත්තේ සංකීර්ණ හා දැඩි බැඳීමකි. පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමත කිරීමේ ප්‍රීතියෙන් උදම් අනමින් සිටින පාලකයන් ශ්‍රී ලංකාවේ කැලි කසළ ප්‍රශ්නය පිළිබඳව නොපමාව අවධානය යොමුකල යුත්තේ එබැවිණි.

ශ්‍රී ලංකාවේ කුණු ප්‍රශ්නය සැමදා එකතැන කුණුවන ප්‍රශ්නයක් බවට පත්ව ඇත. කුණු, කැලි කසළ නොඑසේනම් ඝන අපද්‍රවය යනු ඒවා ජනනවන ප්‍රදේශ පාලනය කරන පළාත් පාලන ආයතන වලට අයත් වත්කමක් ලෙස අන පනත් වල දක්වා ඇත. මෙරට පළාත් පාලන ආයතන මගින් රටේ දෛනිකව එක්රැස් වන කැලි කසළ වලින් සියයට 40% පමණ එක් රැස් කරනු ලබයි. නමුත් එම කසළ කිසිඳු ප්‍රයෝජනයක් නොගෙන මුඩු බිමකට හෝ වගුරු බිමකට ගොඩ ගැසීමට පළාත් පාලන ආයතන විසින් කටයුතු කිරීම නිසා කැලි කසළ, බරපතල සමාජාර්ථික විපත් රැසක් ඇතිකරන ගැටළුවක් බවට පත්ව ඇත. එක් අතකින් කුණු ජනතාවගේ සෞඛ්‍යට බරපතල තර්ජනයක් එල්ල කරන මාරකයකි. එසේම අවිධිමත් ආකාරයෙන් කසළ බැහැරලන ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන ජනතාවට එමගින් සමාජීය ප්‍රශ්න රැසකටද මුහුණදීමට සිදුව ඇත. උදාහරණයක් වශයෙන් මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිතව දිවි ගෙවන තරුණ තරුණියන්ට තම අවාහ විවාහ කටයුතු කරගැනීමටද කුණු කන්ද හරස්වී තිබීම දැක්විය හැකිය. එසේම අවිධිමත් ආකාරයෙන් කසළ බැහැරලීම නිසා ජනනය වන හරිතාගාර වායු ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතුවන බැවින් දේශගුණ විපර්යාසය උත්සන්න කිරීමටද අක්‍රමවත් කසළ බැහැරලීම හේතුවී තිබේ.

මෙතෙක් කලක් විශේෂයෙන් හිසරදයක් බවට පත්ව තිබුණේ කොළඹ මහා නගර සභාවේ කැලි කසළ වුවද ඉන් බැහැරව බදුල්ල මහා නගර සභාවේ කසළද මහත් ව්‍යසනයක් ඇතිකළ ආකාරය ඉකුත් සතියේ දක්නට ලැබුණි. බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය අසල ගොඩගසා ඇති නගර සභාවේ කුණු කන්ද ගිනි ගැනීම හේතුවෙන් නගරයේ දෛනික කටයුතු අඩාල වූ අතර පාසැල් දින කිහිපයකට වසා දමන ලදී. එහිදී නගර වැසියන්ගේ මුව තෙත රෙදි කඩකින් ආවරණය කර තම නිරුවත වසා ගැනීමට නගර සභාවේ පාලකයන් කටයුතු කලද සමස්ථ ගැටළුවට එයින් ලැබුණු විසඳුමක් නැත. ඒ අතර මීතොටමුල්ලේ වැසියන් ඉදිරියේ ශුද්ධවන්තයන් වීමේ අරමුණෙන් යහපාලන ආණ්ඩුව මීතොටමුල්ලේ කුණු කන්ද ජා ඇළ ප්‍රදේශයට ප්‍රතිස්ථාපනය කිරීමට විරුද්ධව එම ප්‍රදේශයේ ජනයා දෙවැනි වරටත් වීධි බැස්සේ ද ඉකුත් සතියේය. අපේ රටේ ඝන අපද්‍රවය කළමනාකරණයේ මහිමය කියා පෑමට එම උදාහරණ දෙක පමණක් ප්‍රමාණවත් වනු ඇතැයි සිතමු.

දැන් අප විග්‍රහ කරගත යුත්තේ ඝන අපද්‍රවය මගින් දේශගුණ විපර්යාසය උත්සන්න කරන්නේ කෙසේද යන්නය. ඝන අපද්‍රවය අවිධිමත් ආකාරයෙන් පරිසරයට මුදා හැරීම නිසා ඒවායේ සිදුවන ක්ෂුද්‍රජීව ක්‍රියාකාරීත්වයන් මගින් විවිධ වායු වර්ග වායුගෝලයට නිදහස්වේ. එසේම එවැනි කසළ ගොඩවල් ගිනි තැබීම නිසාද විවිධ වායු වායුගෝලයට නිදහස් වේ. කසළ කුණුවීමෙදී නිකුත්වන මීතේන් වායුව මෙන්ම ගිනි ගැනීම් වලදී නිකුත්වන කාබන්ඩයොක්සයිඩ් ඇතුළු අනෙකුත් හරිතාගාර වායු මගින්ද හිරුගේ සිට පොළොවට ලැබෙන කිරණ පෘතුවි වායු ගෝලයේ සිරකර තබා ගනී. එමගින් පෘථිවිය උණුසුම් වන අතර දේශගුණ විපර්යාසය උත්සන්නේ වේ.

සෑම දිරාපත්වන කසළ ටොන් එකකින්ම මීතේන් වායු ටොන් දශම හතරක් (0.4) නිදහස් වේ. එබැවින් දේශගුණ විපර්යාසය උත්සන්න වීමට බලපාන ප්‍රධානතම මිනිස් ක්‍රියාකාරකම් අතරට අවිධිමත් කසළ බැහැරලීම ද ගැනේ. දේශගුණ විපර්යාසයට එරෙහිව සිදුකරන අරගලයේදී විධිමත් ඝන අපද්‍රවය කළමනාකරණය ඉතා වැදගත් අවියක් වන්නේ එබැවිනි. එසේම කසළ ඉතා හොඳ ධනෝපායන මාර්ගයක් වශයෙන්ද යොදා ගත හැකි නමුත් අපේ රටේ බලධාරීන් ඒ පිළිබඳව ප්‍රමාණවත් උනන්දුවක් නොදැක්වීම කණගාටුවට කරුණකි.

ඝන අපද්‍රවය සම්බන්ධයෙන් වගකීම පැවරී ඇත්තේ පළාත් පාලන ආයතන වලට පමණකැයි අප මෙහිදී කිසි විටකත් මතයක් ඇතිකර ගත යුතු නොවේ. එදිනෙදා ජීවිතයේදී විශාල වශයෙන් කැලි කසළ ජනනය කරන අප අපම ද ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කල යුතුය. අපද්‍රවය ජනනය වීම පාලනය කිරීමේ ප්‍රධාන මූලධර්ම තුන පිළිබඳව අප මෙහිදී අවධානය යොමුකළ යුතුය. අපගේ අවශ්‍යතා සීමා කරගැනීම මගින් අපට අපද්‍රවය ජනනය වීම අවමකළ හැකිය. එසේම නැවත භාවිත කල හැකි දෑ නැවත භාවිතා කිරීම මගින්ද කසළ ජනනය වීම අවමවේ. තවද ප්‍රතිචක්‍රීකරණය කළහැකි කඩදාසි, වීදුරු, පොලිතින්, ප්ලාස්ටික් වැනි ද්‍රවය ප්‍රතිචක්‍රීකරණය කිරීම මගින් ද කසළ ප්‍රමාණය සීමා වේ. එසේම මීතේන් වායුව පරිසරයට නිදහස්වන දිරාපත්වන ඝන අපද්‍රවය මගින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම මගින් මීතේන් වායුව ජනනය වීම වලක්වා ගත හැකිය. තවද කසළ බිම් පිරවුම් වලින් නිකුත්වන මීතේන් වායුව පවා විධිමත් ආකාරයට එක් රැස්කර ඉන්දනයක් වශයෙන් භාවිතාකළ හැකි තාක්ෂනය ලෝකයේ බොහෝ රටවල් ඉතා සාර්ථක ආකාරයෙන් ක්‍රියාවේ යොදවමින් සිටී. අපද සිදුකළ යුත්තේ එම මග ගැනීමය. එමගින් අප සැමගේ සමාජාර්ථික තත්ත්වය ඉහළ නංවා ගැනීමට මෙන්ම දේශගුණ විපර්යාසයට වැට බැඳීමටද අපට හැකිවනු ඇත.

Thursday, October 6, 2016


කාබන් පියසටහන මත බදු පැනවීම

බදු ගැන මේ දිනවල නිතරම දේශපාලන වේදිකාවල තර්ක විතර්ක ඉදිරිපත්වෙනු අසන්නට ලැබේ. විපක්ෂයේ සිටින දේශපාලකයින් රටේ ජනතාව පිළිබඳව හද පත්ලෙන්ම උපන් සානුකම්පිත සිතුවිල්ලෙන් හඬ නගන්නේ ඔවුන් ආණ්ඩු පක්ෂයේ සිටි සමයේදී ජනතාව පීඩාවට පත්කළ කිසිඳු බද්දක් අය නොකළ පරිද්දෙනි. එසේම ජනතාවාදී සළු පිළි පොරවාගෙන සිටින වර්තමාන ආණ්ඩුවද පවසන්නේ තමන් ජනතාව මත බදු බර පටවන්නේ වෙනත් විකල්පයක් නොමැති කමින් බවය. නමුත් ජනතාව පීඩාවට පත් නොකර ධනවතුන්ගෙන් බදු අයකරගෙන ආණ්ඩුවේ බදු ආදායම ඉහළ නංවාලීම සඳහා කිසිඳු දේශපාලකයෙකු උනන්දු නොවීම විමතියට කරුණකි.

එකතුකළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද පිළිබඳ සංශෝධිත පනත් කෙටුම්පත පසුගිය සතියේ යලි පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීම නිසා මේ වනවිට බදු පිළිබඳ සංවාද වඩාත් උද්වේගකර මුහුණුවරක් ගෙන තිබේ. සියයට 11ක්ව පැවති වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කිරීමට ආණ්ඩුව පසුගියදා පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූ පනත් කෙටුම් පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමග මෙම නව සංශෝධිත පනත් කෙටුම්පත සකස් කෙරුණු අතර එයට සැප්තැම්බර් මස 13 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණි. කෙසේ හෝ මෙමගින් සාතිශය බහුතරයක් දුප්පත් මහා ජනතාවට සිදුවී ඇත්තේ සැමදා පටි තදකරගෙන සිටීමට වීම කණගාටුවට කරුණකි. ඒ අතර අප ඉකුත් සතියක සඳහන් කල ආකාරයෙන් දේශගුණ විපර්යාසයද ප්‍රති සරදියල් න්‍යායෙන් අසරණ දුප්පත් ජනතාවටම පහර දෙද්දී ඔවුන්ට සිදුවී ඇත්තේ විපිළිසරව බලා සිටීමට පමණි. එවැනි පසුබිමක ආණ්ඩුව සැබෑ ජනතා හිතවාදී එකක් නම් සහ ඔවුන්ට මහජනතාව ආරක්ෂා කර ගැනීමට සැබෑ අවශ්‍යතාවයක් ඇත්නම් ඔවුන් කලයුතු වන්නේ සරදියල් න්‍යායෙන් බදු පැනවීමය. ඒ සඳහා යොදා ගත හැකි බදු ක්‍රමයක් ලෙස කාබන් පියසටහන මත බදු  අය කිරීම (Carbon foot print Tax) හැඳින්විය හැකිය.

ලෝකයේ බොහෝ රටවල මේ වනවිට කාබන් බදු (Carbon Tax) පැනවීම ක්‍රියාත්මක වන අතර අප අසල්වැසි ඉන්දියාවේ පවා එය මීට වසර ගණනාවකට පෙර සිට ක්‍රියාත්මක වේ. හරිතාගාර වායු විමෝචනයට හේතුවන කාබන්ඩයොක්සයිඩ් වායුව වායු ගෝලයට මුදා හරිනු ලබන ඉන්දන වර්ග සඳහා බදු අය කිරීම මේ යටතේ සිදුකෙරේ. උදාහරණයක් වශයෙන් 2010 ජුලි පළමුවැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන හා එරටට ආනයනය කෙරෙන සෑම ගල්අඟුරු ටොන් එකක් සඳහාම රුපියල් 50ක බද්දක් පැනවීමට එරට ආණ්ඩුව කටයුතු කල අතර 2014 වසරේදී එම බද්ද රුපියල් 100 දක්වා ඉහළ දමන ලදී. ඊට අමතරව හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය මත විවිධ ආයතන හා කර්මාන්තශාලා වලට බදු පැනවීමේ ක්‍රමවේදයන්ද විවිධ රටවල ක්‍රියාත්මක වේ.

එමගින් තම භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලීන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට හා හරිතාගාර වායු විමෝචන අවමකිරීමට කර්මාන්ත කරුවන් කටයුතු කිරීම මගින් දේශගුණ විපර්යාස අවමකිරීමට සාධනීය  පිටුබලයක් ලැබේ. නමුත් ඇතැම් විට එමගින් වැඩිවන බදු මුදල භාණ්ඩ හා සේවා නිෂ්පාදනවල මිල ඉහළ නැංවීම මගින් ජනතාවගෙන්ම අයකර ගැනීමට නිෂ්පාදකයන් කටයුතු කිරීම නිසා අසරණ දුප්පත් ජනතාවට එමගින් වැඩි ප්‍රතිලාභයක් අත් නොවේ.

නමුත් එක් එක් පුද්ගලයාගේ කාබන් පියසටහන මත පදනම්ව බද්දක් අය කිරීම මගින් දුප්පත් ජනතාව පීඩාවට පත් නොකර ධනවතුන්ගේ මුදල් වලින් ආණ්ඩුවේ බදු අදායම ඉහළ නංවාලීමට හැකියාව පවතී. වත් පොහොසත්කම් සහිත ධනවතුන් තම සුඛෝපභෝගී ජීවන රටාව පවත්වා ගැනීම සඳහා විශාල වශයෙන් භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීම සිදු කරයි. එම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා විශාල වශයෙන් හරිතාගාර වායු වායුගෝලයට මුදා හැරීමට සිදුවේ. එමගින් ධනවතුන්ගේ කාබන් පියසටහන නිරායාසයෙන් විශාල වේ. නමුත් ඉතා ආයාසයෙන් තම දිවි පෙවෙත සරිකර ගන්නා සීමිත භාණ්ඩ හා සේවා ප්‍රමාණයකින් තම අවශ්‍යතා සපුරා ගන්නා පොදු මහා ජනතාවකගේ කාබන් පියසටහන ඊට වඩා බොහෝ කුඩා වේ.

එබැවින් තම මුලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා යම්කිසි පුද්ගලයෙකුට වායුගෝලයට මුදා හැරීමට සිදුවන හරිතාගාර වායු ප්‍රමාණයට අදාළ කාබන් පියසටහන ඉක්මවා විශාල කාබන් පියසටහන් ඇති පුද්ගලයන්ගෙන් ඒ මත පදනම්ව බද්දක් අයකර ගැනීමට ආණ්ඩුවට හැකියාව පවතී. එමගින් දුප්පතුන් ආරක්ෂාවන පරිදි ධනවතුන්ගෙන් දැනෙන තරමේ බද්දක් අයකර ගැනීමට ආණ්ඩුවට හැකිවේ. එමගින් රටේ අතිමහත් බහුතරයක් ජනතාවට අස්වැසිල්ලක් ලබා දී ආණ්ඩුවේ බදු අදායම ද ඉහළ නංවාලීමට කටයුතු කිරීම කිසිඳු ලෙසකින් අසාධාරණ නොවේ. තවද එම බදු මුදල් වලින් කොටසක් දේශගුණ විපර්යාසයට අනුහුරුවීම සඳහා වැය කිරීමටද ආණ්ඩුවට හැකිය. එබැවින් තව දුරටත් පොදු ජනතාව නොපෙළා මේ පිළිබඳව සලකා බැලීම ආණ්ඩුවේ යුතුකමය. නමුත් ඊට මන්දිර බද්දට අත්වූ ඉරණම අත් වීමට ඉඩ නොදීමට වග බලා ගැනීම ජනතාවාදී සැමගේ යුතුකම හා වගකීමය.

Saturday, October 1, 2016

අල්පේච්ඡතාවය

ලෝක නායකයින් ලහි ලහියේ පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමත කිරීම මගින් මුළු මහත් ලෝකයාගේම වර්තමාන හා අනාගත දිවි පෙවෙත පිළිබඳව සුබ සිහින දකින්නට ඉඩ ලැබී තිබීම සතුටට කරුණකි. ඒ අතර ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 4.5 කට දායකවන අසල්වැසි ඉන්දියාවද අද (02) දින පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමත කරන බව මෝඩි අගමැතිවරයා ප්‍රකාශ කළේය. අද දිනය විශේෂයෙන්ම ඒ සඳහා යොදාගැනීමට හේතුව ලෙස අගමැතිවරයා දක්වා ඇත්තේ දිවංගත මහත්මා ගාන්ධිතුමන්ගේ උපන්දිනය අදට යෙදී තිබීමයි. සැබැවින්ම දේශගුණ විපර්යාසයට මුහුණදීම සඳහා ඇති ප්‍රබලම අවිය වන අල්පේච්ඡතාවය පිළිබඳව ලෝකයටම පණිවිඩයක් ලබා දීමට එය හේතුවක් වනු ඇති බව අපගේ විශ්වාසයයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් බැන්කි මූන් මහතාගේ ප්‍රයත්නය මල් පල ගන්වමින් ලෝක නායකයින් රැසක් පසුගිය සැප්තැම්බර් විසි එක් වැනිදා තම රටවල් දේශගුණ විපර්යාසයට එරෙහි පැරිස් ගිවිසුම අපරානුමත කල බවට වන මෙවලම් තැන්පත්කිරීම සිදු කරන ලදී. ඒ අතරට ශ්‍රී ලංකාවද අයත් වූ අතර පසුගිය 23 වැනිදා වන විට එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාසය පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශව කරුවන් 61 දෙනෙකු ගිවිසුම අපරානුමත කරන ලද බවට වන මෙවලම් තැන්පත්කිරීම සිදු කර තිබුණි. එම රටවල මුළු හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 47. 79කි. ඒ අනුව පැරිස් දේශගුණ ගිවිසුම සක්‍රීය තත්ත්වයට පත්කිරීමේ ගමනේ ඇති කඩුලු දෙකෙන් එකක් සාර්ථකව පියමං කිරීමට ලෝක වාසීන්ට හැකිවී ඇත. එනම් ගිවිසුම ක්‍රියාත්මකවීම සඳහා එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශව කරුවන් 55ක් ගිවිසුම අපරානුමත කලයුතුය යන කොන්දේසියයි. තවද ගිවිසුම අපරානුමත කරන රටවල හරිතාගාර වායු විමෝචනය ලෝකයේ මුළු හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 55ක් ඉක්මවීම ද සැපිරිය යුතු අනෙක් කොන්දේසියයි.

දැනටමත් චීනය ඇතුළු ලොව ප්‍රභල ආර්ථිකයන් රැසක් පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමත කර ඇති අතර යුරෝපා සංගමය ද නොවැම්බර් මාසයට පෙර සාමූහිකව පැරිස් ගිවිසුම අපරානුමත කරන බව ප්‍රකාශ කර ඇත. එබැවින් දෙවැනි කඩුල්ලද පැනීම එතරම් අපහසු කටයුත්තක් වෙතැයි බිය විය යුතු නොවේ. එසේ නම් අප සිදුකල යුතව ඇත්තේ දැන් ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා තමන්ට හැකි ආකාරයෙන් සක්‍රීයව දායකවීම පමණි. ඒ සඳහා වැඩි වෙහෙසක් දැරීමට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ අල්පේච්ඡතාවය පිළිබඳ ගාන්ධි පිළිවෙත අනුගමනය කිරීම පමණි.

අල්පේච්ඡතාවය පිළිබඳ ගැඹුරුතම ඉගැන්වීම් දැකගත හැක්කේ බෞද්ධ දර්ශනය තුල බව කීමෙහි වරදක් නැත. එසේම අනෙකුත් ආගමික සාස්තෘන් මෙන්ම විවිධ ලෝක නායකයින් ද අල්පේච්ඡතාවය පිළිබඳව විවිධ ප්‍රමාණ වලින් අදහස් දක්වා ඇත. ඒ අනුව අල්පේච්ඡතා සංකල්පය සර්වාගමික හා සර්ව කාලීන දහමකි. අප සියළු දෙනාටම ජාති ආගම කුල මල භේදයකින් තොරව එම දහම පිළිපැදිය හැකි අතර දේශගුණ විපර්යාසය අවමකර ගැනීම සඳහා අප සියළු දෙනාම එම දහම පිළිපැදිය යුතුම වේ.

අල්පේච්ඡතාවය යනු අනෙකක් නොව සරල දෙවි පෙවෙතයි. අප සරලව ජීවත්වීමට හුරුවීම යනු පරිසරයට අපගෙන් සිදුවන බලපෑම් අවම වීමයි. අප විසින් පරිසරයෙන් ලබා ගන්නා ස්වභාවික සම්පත් ප්‍රමාණය අවම වීමයි. අප විසින් පරිසරයට එකතු කරනු ලබන දුශ්‍යකාරක ප්‍රමාණය අවම වීමයි. අප විසින් අපගේ අවශ්‍යතා සීමා කරගැනීම හා සරල දිවි පෙවෙතක් ගතකිරීම මගින් අප නිසා වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණය අඩු වේ. එමගින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අවමවේ. දේශගුණ විපර්යාස සිදුවීමට ඇති නැඹුරුතාව අඩුවේ. එහි අවසන් ප්‍රතිපලය අප සියළුදෙනා අපේක්ෂා කරන පරිදි මිහිතලය සියල්ලන්ට සාමකාමීව හා සතුටෙන් ජීවත්විය හැකි තැනක් බවට පත්වීමයි. සැපය හා සංවර්ධනය යනු සම්පත් අධිකව පරිභෝජනය කරමින් අධි සුඛෝපභෝගී ජීවිත ගතකිරීම යන මිත්‍යාවෙන් මිදී සැමට සතුටින් ජීවත්විය හැකි සුපසන් පරිසරයක් මිහිමත ගොඩනැගීම සඳහා අවශ්‍ය වන්නේ අපගේ සාමූහික උනන්දුව හා කැපවීම පමණි.