Thursday, October 6, 2016


කාබන් පියසටහන මත බදු පැනවීම

බදු ගැන මේ දිනවල නිතරම දේශපාලන වේදිකාවල තර්ක විතර්ක ඉදිරිපත්වෙනු අසන්නට ලැබේ. විපක්ෂයේ සිටින දේශපාලකයින් රටේ ජනතාව පිළිබඳව හද පත්ලෙන්ම උපන් සානුකම්පිත සිතුවිල්ලෙන් හඬ නගන්නේ ඔවුන් ආණ්ඩු පක්ෂයේ සිටි සමයේදී ජනතාව පීඩාවට පත්කළ කිසිඳු බද්දක් අය නොකළ පරිද්දෙනි. එසේම ජනතාවාදී සළු පිළි පොරවාගෙන සිටින වර්තමාන ආණ්ඩුවද පවසන්නේ තමන් ජනතාව මත බදු බර පටවන්නේ වෙනත් විකල්පයක් නොමැති කමින් බවය. නමුත් ජනතාව පීඩාවට පත් නොකර ධනවතුන්ගෙන් බදු අයකරගෙන ආණ්ඩුවේ බදු ආදායම ඉහළ නංවාලීම සඳහා කිසිඳු දේශපාලකයෙකු උනන්දු නොවීම විමතියට කරුණකි.

එකතුකළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද පිළිබඳ සංශෝධිත පනත් කෙටුම්පත පසුගිය සතියේ යලි පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීම නිසා මේ වනවිට බදු පිළිබඳ සංවාද වඩාත් උද්වේගකර මුහුණුවරක් ගෙන තිබේ. සියයට 11ක්ව පැවති වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කිරීමට ආණ්ඩුව පසුගියදා පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූ පනත් කෙටුම් පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමග මෙම නව සංශෝධිත පනත් කෙටුම්පත සකස් කෙරුණු අතර එයට සැප්තැම්බර් මස 13 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණි. කෙසේ හෝ මෙමගින් සාතිශය බහුතරයක් දුප්පත් මහා ජනතාවට සිදුවී ඇත්තේ සැමදා පටි තදකරගෙන සිටීමට වීම කණගාටුවට කරුණකි. ඒ අතර අප ඉකුත් සතියක සඳහන් කල ආකාරයෙන් දේශගුණ විපර්යාසයද ප්‍රති සරදියල් න්‍යායෙන් අසරණ දුප්පත් ජනතාවටම පහර දෙද්දී ඔවුන්ට සිදුවී ඇත්තේ විපිළිසරව බලා සිටීමට පමණි. එවැනි පසුබිමක ආණ්ඩුව සැබෑ ජනතා හිතවාදී එකක් නම් සහ ඔවුන්ට මහජනතාව ආරක්ෂා කර ගැනීමට සැබෑ අවශ්‍යතාවයක් ඇත්නම් ඔවුන් කලයුතු වන්නේ සරදියල් න්‍යායෙන් බදු පැනවීමය. ඒ සඳහා යොදා ගත හැකි බදු ක්‍රමයක් ලෙස කාබන් පියසටහන මත බදු  අය කිරීම (Carbon foot print Tax) හැඳින්විය හැකිය.

ලෝකයේ බොහෝ රටවල මේ වනවිට කාබන් බදු (Carbon Tax) පැනවීම ක්‍රියාත්මක වන අතර අප අසල්වැසි ඉන්දියාවේ පවා එය මීට වසර ගණනාවකට පෙර සිට ක්‍රියාත්මක වේ. හරිතාගාර වායු විමෝචනයට හේතුවන කාබන්ඩයොක්සයිඩ් වායුව වායු ගෝලයට මුදා හරිනු ලබන ඉන්දන වර්ග සඳහා බදු අය කිරීම මේ යටතේ සිදුකෙරේ. උදාහරණයක් වශයෙන් 2010 ජුලි පළමුවැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන හා එරටට ආනයනය කෙරෙන සෑම ගල්අඟුරු ටොන් එකක් සඳහාම රුපියල් 50ක බද්දක් පැනවීමට එරට ආණ්ඩුව කටයුතු කල අතර 2014 වසරේදී එම බද්ද රුපියල් 100 දක්වා ඉහළ දමන ලදී. ඊට අමතරව හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය මත විවිධ ආයතන හා කර්මාන්තශාලා වලට බදු පැනවීමේ ක්‍රමවේදයන්ද විවිධ රටවල ක්‍රියාත්මක වේ.

එමගින් තම භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලීන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට හා හරිතාගාර වායු විමෝචන අවමකිරීමට කර්මාන්ත කරුවන් කටයුතු කිරීම මගින් දේශගුණ විපර්යාස අවමකිරීමට සාධනීය  පිටුබලයක් ලැබේ. නමුත් ඇතැම් විට එමගින් වැඩිවන බදු මුදල භාණ්ඩ හා සේවා නිෂ්පාදනවල මිල ඉහළ නැංවීම මගින් ජනතාවගෙන්ම අයකර ගැනීමට නිෂ්පාදකයන් කටයුතු කිරීම නිසා අසරණ දුප්පත් ජනතාවට එමගින් වැඩි ප්‍රතිලාභයක් අත් නොවේ.

නමුත් එක් එක් පුද්ගලයාගේ කාබන් පියසටහන මත පදනම්ව බද්දක් අය කිරීම මගින් දුප්පත් ජනතාව පීඩාවට පත් නොකර ධනවතුන්ගේ මුදල් වලින් ආණ්ඩුවේ බදු අදායම ඉහළ නංවාලීමට හැකියාව පවතී. වත් පොහොසත්කම් සහිත ධනවතුන් තම සුඛෝපභෝගී ජීවන රටාව පවත්වා ගැනීම සඳහා විශාල වශයෙන් භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීම සිදු කරයි. එම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා විශාල වශයෙන් හරිතාගාර වායු වායුගෝලයට මුදා හැරීමට සිදුවේ. එමගින් ධනවතුන්ගේ කාබන් පියසටහන නිරායාසයෙන් විශාල වේ. නමුත් ඉතා ආයාසයෙන් තම දිවි පෙවෙත සරිකර ගන්නා සීමිත භාණ්ඩ හා සේවා ප්‍රමාණයකින් තම අවශ්‍යතා සපුරා ගන්නා පොදු මහා ජනතාවකගේ කාබන් පියසටහන ඊට වඩා බොහෝ කුඩා වේ.

එබැවින් තම මුලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා යම්කිසි පුද්ගලයෙකුට වායුගෝලයට මුදා හැරීමට සිදුවන හරිතාගාර වායු ප්‍රමාණයට අදාළ කාබන් පියසටහන ඉක්මවා විශාල කාබන් පියසටහන් ඇති පුද්ගලයන්ගෙන් ඒ මත පදනම්ව බද්දක් අයකර ගැනීමට ආණ්ඩුවට හැකියාව පවතී. එමගින් දුප්පතුන් ආරක්ෂාවන පරිදි ධනවතුන්ගෙන් දැනෙන තරමේ බද්දක් අයකර ගැනීමට ආණ්ඩුවට හැකිවේ. එමගින් රටේ අතිමහත් බහුතරයක් ජනතාවට අස්වැසිල්ලක් ලබා දී ආණ්ඩුවේ බදු අදායම ද ඉහළ නංවාලීමට කටයුතු කිරීම කිසිඳු ලෙසකින් අසාධාරණ නොවේ. තවද එම බදු මුදල් වලින් කොටසක් දේශගුණ විපර්යාසයට අනුහුරුවීම සඳහා වැය කිරීමටද ආණ්ඩුවට හැකිය. එබැවින් තව දුරටත් පොදු ජනතාව නොපෙළා මේ පිළිබඳව සලකා බැලීම ආණ්ඩුවේ යුතුකමය. නමුත් ඊට මන්දිර බද්දට අත්වූ ඉරණම අත් වීමට ඉඩ නොදීමට වග බලා ගැනීම ජනතාවාදී සැමගේ යුතුකම හා වගකීමය.

No comments:

Post a Comment