Saturday, July 23, 2016

දේශගුණ සාමය (Climate Peace)

සෑම වසරකම සැප්තැම්බර 21 වැනිදා වැදගත් දිනයක් බවට පත්වන්නේ අන්තර්ජාතික සාම දිනය එදිනට යෙදී තිබීම හේතුවෙනි. මෙවර සාම දිනයේ තේමාව ‘ධරණීය සංවර්ධන ඉලක්ක: සාමය සඳහා සාධන ඒකක’ (The Sustainable Development Goals: Building Blocks for Peace) යන්නයි. ඒ අතර මෙම වසරේ සැප්තැම්බර 21 වැනිදා මුළුමහත් ලෝකයටම ඉතා වැදගත් දිනයක් වනු ඇතැයි අප සියල්ලෝම අපේක්ෂා සහගතව බලා සිටිමු. ඒ මන්ද යත් එදින රාජ්‍යයන් අතර ජනවර්ග අතර හෝ මානව අධ්‍යාත්මය තුල සාමය ගොඩනැගීම ගැන කතාකිරීමට අමතරව දේශගුණ සාමය (Climate Peace) ගොඩනැගීම සම්බන්ධයෙන්ද ඉතා තීරණාත්මක කටයුත්තක් සිදුවීමට නියමිත බැවිනි.

මිනිසාගේ පැවැත්මට යුද්ධ, අවි ගැටුම් ඈ විවිධ ආකාරයේ හිංසන වලින් තොර සාමකාමී සමානාත්මතා අවකාශයක් ඉතා වැදගත් ය. එසේම මිනිසා ඇතුළු සමස්ථ ජීව ලෝකයේම පැවැත්ම සහතික කිරීම සඳහා දේශගුණ විපර්යාසයයේ බලපෑම් වලින් තොර සාමකාමී පරිසරයක්ද අවශ්‍ය ය. ලෝක සාමය ඇතිකර ගැනීම සඳහා මුළුමහත් ලෝක නායකයන් හා ජනතාව කැපවිය යුතු ආකාරයෙන්ම දේශගුණ සාමය ඇතිකර ගැනීම සඳහාද ගෝලීය වශයෙන් කැපවීම අත්‍යාවශ්‍ය වෙයි. ඒ සඳහා ලෝක නායකයින් විසින් අත්සන් කරන ලද පැරිස් දේශගුණ ගිවිසුම බලාත්මක කරගැනීමේ බරපතල අභියෝගය මේ මොහොතේ අප අභිමුව ඇති අතර මිහිතලයේ අනාගතය තීරණය කරන ප්‍රධාන සාධකයක් බවට ද එය පත්ව ඇත.

දේශගුණ විපර්යාසය ආපසු හැරවීමේ ගෝලීය මැදිහත්වීම කඩිනම් කිරීම පිණිස පැරිස් ගිවිසුම එයට අත්සන් තැබූ රටවල ඉක්මනින්ම අපරානුමත කරගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම වසරේ සාම දිනය යොදාගැනීමට අදහස් කරගෙන ඇත්තේ එවැනි පසුබිමකය. මෙම වසරේ සැප්තැම්බර් 21 දින පැවැත්වෙන විශේෂ උත්සවයකදී තම රටවල් පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමත කරන ලද බවට වූ මෙවලම් (instruments) බාර දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බැන් කි මූන් මහතා සියලුම රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ ඒ අනුවය.

එම කටයුත්ත අන්තර්ජාතික සාම දිනයේදීම සිදුකිරීමට සැලසුම් කිරීමද සුවිශේෂී වන්නේ සැබැවින්ම දේශගුණ සාමය ඇතිකර නොගෙන ලෝක සාමය ඇතිකරගැනීමද උගහට වන බැවිණි. දේශගුණ විපර්යාසයේ බලපෑම නිසා මේ වනවිටත් ලොව පුරා විවිධ ප්‍රදේශ වල ජීවත්වන ජනතාවට විවිධ ගැටළු හා දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවී ඇති බව ප්‍රකට කරුණකි. ඊට හේතුවී ඇත්තේ දේශගුණ විපර්යාසයේ අහිතකර බලපෑම් නිසා මිනිසාට තම මූලික අවශ්‍යතා ප්‍රශස්ථ පරිදි ඉටුකර ගැනීමට නොහැකි වීමය. දේශගුණ විපර්යාසයේ පලපෑම නිසා ජනතාවට ආහාර, ජලය, වාසස්ථාන, සනීපාරක්ෂක පහසුකම්, යටිතල පහසුකම් ඈ විවිධ ජීවන අවශ්‍යතාවයන් සපයා ගැනීමේ ගැටළු වලට මුහුණදීමට සිදුවී ඇත. දේශගුණ විපර්යාසය හේතුවෙන් දිනෙන් දිනම මිනිසාගේ පැවැත්මට අවශ්‍ය ස්වභාවික සම්පත් සීමා වීම ඊට හේතුවයි. එම සීමිත සම්පත් බෙදා හදා ගැනීමේදී විවිධ ජන වර්ග, කණ්ඩයක්, හා රාජ්‍ය අතර ගැටුම් ඇතිවී තිබේ. එය ලෝක සාමය ඇතිකිරීමට බාධාවකි. මතුපිටින් බැලීමේදී එය යුද්ධයක් හෝ අවි ගැටුමක් ලෙස පෙනුනද එහි හරය සම්පත් බෙදී යාමේ විෂමතාවය ය. එය වැලැක්වීම සඳහා මිහිතලය මත දේශගුණ සාමය ඇතිකිරීම අත්‍යාවශ්‍ය ය.

ලෝක ජනතාවට සාමය ලබාදීම සඳහා ධරණීය සංවර්ධන ඉලක්ක යොදා ගැනීම පිළිබඳව මෙවර සාම දිනයේදී සාකච්ඡාවට බඳුන් කරන බව ඉහතද සඳහන් කරමි. 2015 සැප්තැම්බර් 25දා රැස් වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරගත් මෙම ධරණීය සංවර්ධන ඉලක්ක 17, 2030 සැප්තැම්බර් 30දා වන විට අත්පත් කර ගැනීමට අපේක්ෂා කෙරේ. ධරණීය සංවර්ධන ඉලක්කවලින් අපේක්ෂා කරන්නේ සහශ්‍ර‍ක සංවර්ධන ඉලක්කවලින් ඔබ්බට ගොස් දිළිඳුභාවයේ මූලික හේතු හඳුනාගැනීම හා සියලු ජනතාවන්ට සරිලන සංවර්ධනයක් වෙනුවෙන් වන විශ්වීය අවශ්‍යතාව ආමන්ත්‍ර‍ණය කිරීමයි. සෑම ආකාරයක ම දිළිඳුකම දුරලීම, සාගින්න දුරලීම, සෑම වයසකදී ම සෞඛ්‍ය සම්පන්න හා හොඳ ජීවිතයක් ප්‍ර‍වර්ධනය කිරීම, කාටත් පිවිසිය හැකි ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට සැමට තිබෙන අයිතිය ප්‍ර‍වර්ධනය කිරීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තහවුරු කිරීම, සැමට ජලය හා සනීපාරක්ෂාව තහවුරු කිරීම, සැමට පහසුවෙන් පුනර්ජනනීය බලශක්ති වෙත ප්‍රවේශය ලබා දීම, සියලු දෙනාට පූර්ණ රැකියා නියුක්තිය හා මනා වැඩ අවස්ථා සැලසීම, අවශ්‍යතාවන්ට හැඩගැසිය හැකි අන්දමින් යටිතල පහසුකම් ගොඩනැගීම, රටවල් තුළ හා රටවල් අතර අසමානතා අවම කිරීම, නගර හා මානව ජනාවාස මිනිසුන්ට හිතකර, ආරක්ෂිත, අවශ්‍යතාවන්ට හැඩගැසිය හැකි තිරසාර තැන් බවට පත් කිරීම, තිරසාර පාරිභෝජනය හා නිෂ්පාදනය තහවුරු කිරීම, දේශගුණික විපර්යාස හා එහි බලපෑම් අවම කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම, මුහුද හා සාමුද්‍රික සම්පත් සුරක්ෂා කිරීම හා දරා ගත හැකි අන්දමින් පරිහරණය කිරීම, විශ්ව පාරිසරික පද්ධතිය සුරක්ෂා කිරීම හා දරා ගත හැකි අන්දමින් පරිහරණය කිරීම ප්‍ර‍වර්ධනය කිරීම, ධරණීය සංවර්ධනය සඳහා සාමකාමී හා සහභාගී සමාජයන් ප්‍ර‍ර්ධනය කිරීම හා ධරණීය සංවර්ධනය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වන ගෝලීය සහභාගිත්වය පණගැන්වීම එම ඉලක්කයි.

එම සියළු ඉලක්ක සපුරා ගැනීම ලෝක සාමය ඇතිකරගැනීමට ඉවහල්වන අතරම දේශගුණ සාමය නොමැතිව කිසිදාක එම ඉලක්ක වෙත ලඟාවිය නොහැකිය. දේශගුණ විපර්යාසය අවමකිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට අප සියළු දෙනා අත්වැල් බැඳගත යුත්තේ එබැවිනි. එමගින් දේශගුණයේ සැහැසිකම් කෙමෙන් අඩුකර දේශගුණය සාමකාමී කර ගැනීමට අපට හැකියාව ලැබේ. එමගින් එහි අහිතකර බලපෑම් වලින් කෙමෙන් අත්මිදී ලෝක සාමය හා ධරණීය සංවර්ධනය ඇතිකරගැනීමට අපට හැකිවේ.

http://www.aithiya.lk/news_view.php?id=1234 

Thursday, July 21, 2016

පැරිස් බලාපොරොත්තුව

දේශගුණ විපර්යාස ඇතිවීමට හේතුවී ඇති හරිතාගාර වායු විමෝචනය ලොව පුරා විවිධ රටවල් විවිධ පරිමාණයෙන් සිදු කරනු ලැබේ. සංවර්ධිත රටවල් මහා පරිමාණයෙන් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් සාපේක්ෂව අඩු වශයෙන් හරිතාගාර වායු විමෝචනය සිදුකරයි. නමුත් දේශගුණ විපර්යාසයේ අහිතකර බලපෑම් එල්ලවීමේදී ඒවා හරිතාගාර වායු විමෝචනය මහා පරිමාණයෙන් සිදුකරන සංවර්ධිත රටවලට පමණක් බරපතල වශයෙන් එල්ල වන්නේ නැත. හරිතාගාර වායු විමෝචනය අවම වශයෙන් සිදුකරන සංවර්ධනය වෙමින් පවතින රටවලට සහනයක් ලැබෙන්නේද නැත. දේශගුණ විපර්යාස වලට එරෙහිව සිදුකරන සටන ගෝලීය මට්ටමෙන් සිදුවිය යුත්තේ එබැවිනි. ඒ ආකාරයෙන් අන්තර්ජාතික මටටමින් දේශගුණ විපර්යාසය වලක්වා ගැනීම සඳහා දැනට අප සකස් කරගෙන ඇති එකම බලාපොරොත්තු සහගත මෙවළම ඉකුත් වසරේ ප්‍රංශයේ පැරිස් නුවරදී එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ (United Nations Framework convention on Climate Change – UNFCCC) පාර්ශවකරුවන්ගේ 21 වැනි සැසි වාරයේදී ඇති කරගන්නා ලද පැරිස්‌ දේශගුණ ගිවිසුම පමණි.කෙසේ නමුත් මේ වන විට එම පැරිස් බලාපොරොත්තුවද ගිලිහී යනු ඇතිද යන සැකය මතුවී තිබීම කණගාටුවට කරුණකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය ඇතිකර ගත්තේ 1994 වසරේදී ය. ඒ සඳහා එක්සත් ජාතීන්ට අයත් රටවල් 198ක් ඒකාබද්ධවී ඇත. වසරක් පාසා එම සම්මුතියේ පාර්ශවකරුවන් විසින් ලොව විවිධ ස්ථානවලදී එක්රැස්වී දේශගුණ විපර්යාස වලට මුහුණදීම පිළිබඳව සාකච්ඡා වට පවත්වා ඇතත් එම සාකච්ඡා සියල්ල අවසන්වුනේ ප්‍රතිපල රහිතවය. මේ දක්වා එවැනි සමුළු 21ක් පවත්වා ඇති අතර පැරිසියේදී පැවැත්වුනේ එම 21 වැනි සැසි වාරයයි. එදා මෙදා තුර යම්කිසි හෝ සාධනීය ජයග්‍රහණයක් අත්කරගෙන ඇත්තේ 1997 වසරේ කියෝතෝ සමුළුවේදී වන අතර ඒ කියෝතෝ සම්මුතිය (Kiyoto Protocol) ය.

ඉන්පසු ඉකුත් වසරේදී ඇතිකරගත් පැරිස් දේශගුණ ගිවිසුම 2020 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර එය මිහිකත වැසියන්ට තම අනාගතය පිළිබඳව තබාගත හැකි අවසන් බලාපොරොත්තුව ය. මෙම ගිවිසුම පසුගිය අප්‍රේල් මස 22 වැනි දිනට යෙදුනු ලෝක මිහිතල දිනයේදී අත්සන් කිරීම සඳහා විවෘත කරන ලද අතරමේ වන විට රටවල් 178ක්‌ ඊට අත්සන් තබා තිබුණි. ඒ අතරට ලෝකයේ බොහෝ රටවල් මෙන්ම යුරෝපා සංගමය ද අයත් ය.අත්සන් කිරීමෙන් අනතුරුව ගිවිසුම බලාත්මක තත්ත්වයට පත් වීම ආරම්භ කිරීම සඳහාලෝකයේ සමස්‌ත හරිතාගාර වායු විමෝචනයන්ගෙන් 55% ක්‌ සඳහා වගකිවයුතු හා එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශව රටවල් 55 ක් එය අපරානුමත (Ratification) කළයුතුය. නොඑසේ නම් අන්තර්ජාතික සම්මුතිය එක් එක් රටවල් තුල ව්‍යවස්ථාදායකය මගින් සම්මත කරගත යුතුය (මෙය පාර්ලිමේන්තුවේ පනතක් හෝ යෝජනාවක් සම්මත කරගැනීම මගින් නීතිගත ගත කර ගැනීමක් විය හැකිය).

ගැටළුව පැන නගින්නේ එතැනදීය. ලොව පුරා බොහෝ රටවල් ගිවිසුමට අත්සන් තැබීමට දැක්වූ උනන්දුව එය තම රට තුල අපරානුමත කිරීමට නොදැක්වීම එම ගැටළුවයි. මේ දක්වාගිවිසුම අපරානුමත කර ඇත්තේරටවල් 19ක්‌ පමණි. එසේ අපරානුමත කර ඇත්තේ දහරිතාගාර වායු විමෝචන ඉතා අල්ප ප්‍රමාණයකට‌ දායකවනකුඩා රටවල් ය.එම රටවල් 19 මගින් කෙරෙන මුළු හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ගෝලීය හරිතාගාර වායු විමෝචනයන් ගෙන් 0.18%ක්‌ පමණ අංශු මාත්‍රයකි. තරමක් හෝ සතුටුදායක ප්‍රවෘත්තියක් වූයේ ප්‍රංශය ගිවිසුම අපරානුමත කිරීමය. ඒ අනුව ගිවිසුම අපරානුමත කළ දෙවැනි යුරෝපා රට හා G7 කණ්‌ඩාමේ පළමු රට බවට ප්‍රංශය පත් විය.

පැරිස්‌ දේශගුණ ගිවිසුම ඉක්‌මනින් මහා පොළොවේ යථාර්තයක් බවට පත් වීම සඳහා වැඩි විමෝචන ප්‍රමාණයක්‌ නිකුත් කරන රටවල් එය අපරානුමත කිරීම අත්‍යාවශ්‍යය. නමුත් ලෝකයේ විශාලතම හරිතාගාර වායු විමොචකයන් දසදෙනාම මේ දක්වා ගිවිසුම අපරානුමත කර නැත. ලොව වැඩිම හරිතාගාර වායු විමෝචනයකට දායකවන චීනය එළඹෙන සැප්තැම්බර් මාසයට ප්‍රථම ගිවිසුම අපරානුමත කිරීමට අපේක්‌ෂා කරන බව ප්‍රකාශකර ඇත. එසේමතෙවන විශාලතම හරිතාගාර වායු විමොචකයා වන ඉන්දියාව ද මෙම වසර ඇතුළත ගිවිසුම අපරානුමත කරන බව මෝදිඅග්‍රාමාත්‍යවරයානොබෝදාසිදුකළ ඇමෙරිකානුසංචාරය අතරතුර දී පවසා තිබුණි. ඇමෙරිකාව ද මෙම වසරතුලදීපැරිස් ගිවිසුම අපරානුමත කරන බව ප්‍රකාශ වී ඇත.මෙම තත්ත්වයන් යටතේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බන් කි මුන් විසින්, 2016 සැප්තැම්බර් මස 21 වන දින පැවැත්වෙන විශේෂ උත්සවයකදී තම රටවල් පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමත කරන ලද බවට වූ මෙවලම් (instruments) බාර දෙන ලෙස සියලුම රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත. පැරිස් දේශගුණ ගිවිසුම හැකි ඉක්මනින් ක්‍රියාවට නැවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් වරයා ගෙන ඇති පියවර පැසසිය යුතු ය.

ඒ අනුව බලාපොරොත්තුව යම් තරමකින් හෝ තව දුරටත් රඳවා ගත හැකි වෙතැයි සිතුනද බ්‍රිතාන්‍යයේ හා ජර්මනියේ ක්‍රියාකලාපය ඊට බරපතල බාධා කිරීමක් සිදුකරනු ඇති බව පැහැදිළිය. බ්‍රිතාන්‍ය හා ජර්මනිය පැරිස් දේශගුණ ගිවිසුම පාවා දී ඇති බවටඑක්සත් ජාතීන්ගේ සංවිධානය ද පසුගියදා චෝදනාකළේ එබැවිනි. ඊට ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ එම රටවල් විසින් ෆොසිල ඉන්ධන කර්මාන්තය සඳහා සහනාධාර ලබා දීමට කටයුතු කිරීමයි. එය ඉතා පැහැදිළිවම පැරිස් දේශගුණ ගිවිසුමට පිටුපෑමක් බවදෙවරක් සඳහන් කළයුතු නැත.

බ්‍රිතාන්‍යය ඛනිජතෙල් හා ස්වභාවික වායු කර්මාන්තය සඳහා වසර 2020 දක්වා බදු කපා හැරීමේ පිළිවෙතකට අවතීර්ණවී ඇති අතර ඊට සමගාමීව පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය හා බලශක්ති කාර්යක්ෂමතාවය සම්බන්ධ ක්‍රියාමාර්ග වෙනුවෙන් දැක්වූ සහය ද කප්පාදු කිරීමට කටයුතු කර ඇත. මෙතෙක් කලක් දේශගුණ විපර්යාසයට එරෙහිව සිදුකළ අරගලයේ ප්‍රධාන කොටස් කරුවෙකු වූ බ්‍රිතාන්‍යය මේ ආකාරයෙන් පසුගාමීත්වයක් දැක්වීම ඉතා කණගාටුදායක තත්ත්වයක් වන අතර අභිනවයෙන් පත්වූ බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ ගේ ආණ්ඩුව එරට බලශක්තිය හා දේශගුණ විපර්යාසය විෂයයන් භාර රේඛීය දෙපාර්තමේන්තුව අහෝසි කිරීමට කටයුතු කිරීමද බොහෝ දෙනාගේ කතා බහට ලක්විය. දේශගුණ විපර්යාසය ආපස්සට හැරවීම සඳහා යුරෝපා සංගමය කාලාන්තරයක් තිස්සේ පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කල අතර ඒ සඳහා බ්‍රිතාන්‍යයෙන් ලැබුණු නායකත්වය ප්‍රශංසනීය ය. නමුත් වර්තමානයේ බ්‍රිතාන්‍ය දක්වන පසුගාමී පිළිවෙත එරට යුරෝපා සංගමයෙන් ඉවත් වුවද එහි සෙසු සාමාජික රටවලට ද නරක පූර්වාදර්ශයක් විය හැකිය.ඒ අතර ජර්මනිය ද ගල්අඟුරු බලශක්තිය සඳහා වන්දි ලබා දීමට කටයුතු කරමින් පැරිස් එකගතාවයනට පිටුපෑම  ප්‍රශ්නය තව දුරටත් බරපතල කර ඇති අතර මෙම වසරතුලදී ගිවිසුම අපරානුමත කරන බව ප්‍රකාශ කර ඇති ඇමරිකාවේ 2016 ජනාධිපතිවරණ සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත්වී සිටින අපේක්ෂක ඩොනල්ඩ් රම්ෆ් තමන් බලයට පත්වුවහොත් පැරිස් ගිවිසුම ලිහාදමන බව ප්‍රකාශ කිරීම මේ සම්බන්ධව බරපතල කුකුසක් ඇතිවීමට මග පාදා ඇත.


ගෝලීය දේශපාලනයේ බල අරගල පදනම් කරගත් මෙම කඹ ඇදිල්ල අලුත් දෙයක් නොවන නමුත් මෙවර හෝ ඊට තිත තැබීමට නොහැකි වුව හොත් තිත තැබීමට සිදුවන්නේ මිහිමත වෙසෙන සියලුම ජීවීන්ගේ ජීවිත වලට ය.


පැරිස් බලාපොරොත්තුවද ගිලිහී යනු ඇතිද?

 https://literature50.wordpress.com/2016/07/21/%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%AF-%E0%B6%9C%E0%B7%92%E0%B6%BD/


Tuesday, July 19, 2016

දේශගුණය තෙලෙන් බැදීම

ලොව පුරා සෑම ඉසව්වකම ජීවත්වන සියළු ආකාර ජීවීන් මේ වනවිට දේශගුණ විපර්යාසයේ දරුණු සැහැසිකම් අත්විඳිමින් සිටින බව නැවත නැවතත් සඳහන් කලයුතු නැත. එම සියළු ජීවීන්ගේ අනාගතය පිළිබඳව තීරණය කිරීමට මේ මහා පොළොවේ සිටින එක් ජීවී විශේෂයකට පමණක් අවසර ලැබී තිබීම දෛවයේ සරදමක් වැනිය. එම ජීවී විශේෂය වන්නේ මිනිසුන් ය. අනෙකුත් අපා දෙපා සිව්පා බහුපා ජීවීන් මොහොතකට පසෙක තබා තමන්ගේ හා තම අනාගත පරම්පරාවන්ගේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා හෝ දේශගුණ විපර්යාසය පාලනය කිරීම හා ඊට අනුහුරුවීම සඳහා අවශ්‍ය කැපකිරීම් සිදුකිරීම මිනිස් වර්ගයාගේ යුතුකම හා වගකීමය. නමුත් එම යුතුකම හා වගකීම ඉටුකරනු වෙනුවට ‘ලිප ගිනි මොලවන තෙක් දිය සැළියේ, සැපයක් යයි කකුළුවා දිය කෙළියේ’ කියන්නා සේ තවදුරටත් දේශගුණ විපර්යාසය කඩිනම් වීමට හේතුවන පොසිල ඉන්දන දහනය ප්‍රවර්ධනය කරමින් ඇතැම් තක්කඩින් තම මඩි තර කර ගැනීමට කටයුතු කිරීම ජුගුප්සාජනක ය.

දේශගුණ විපර්යාසය පිළිබඳව ජනතාව තුල උනන්දුව ඇතිවීමත් සමග ඔවුන්ගේ බලපෑම් නිසා සෑම රටකම පාහේ ආණ්ඩු වලට පොසිල ඉන්දන භාවිතය පිළිබඳ තම නීති රීති හා ප්‍රතිපත්ති වෙනස් කිරීමට සිදුවී ඇත. නමුත් එමගින් තමන්ගේ ලාභය සීමා වන බව දන්නා ඛනිජ තෙල් හා ගල්අඟුරු සමාගම් තමන් සතු අධික ධන බලය භාවිතා කරමින් ආණ්ඩු වලට බලපෑම් එල්ල කිරීම හේතුවෙන් දේශගුණ විපර්යාසය පාලනයට දැරෙන උත්සාහයන් මන්දගාමී වීම දැකිය හැකිය. එසේත් නැතිනම්  ඛනිජ තෙල් හා ගල්අඟුරු සමාගම් මේ වනවිට සිදුකරමින් සිටින්නේ දේශගුණය තෙලෙන් බැදීමට උත්සාහ කිරීමය.

මේ වන විට අනාවරණය කරගෙන ඇති ආකාරයට තෙල් සමාගම් දේශගුණ විපර්යාසය ඇති වන බව දැනගෙන ඇත්තේ මීට වසර 45 කට පමණ ඉහත සිට ය. පොසිල ඉන්දන දහනය මගින් වායු ගෝලයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් වායුව මගින් ගෝලීය වශයෙන් පාරිසරික වෙනස්කම් ඇතිවිය හැකි බව ‘ස්ටැෆර්ඩ් රිසර්ච් ඉන්ස්ටිටියුට්’ නම් පර්යේෂණ ආයතනය විසින් 1968 වසරේදී ඇමරිකානු පෙට්‍රෝලියම් ආයතනයට වාර්තාවක් මගින් දන්වා ඇත. නමුත් එය සඟවා තබාගෙන තම ව්‍යාපාරය අඛණ්ඩව සිදුකරමින් ලාභ ඉපයීමට තරම් තෙල් සමාගම්  ආත්මාර්ථකාමී වී ඇත. පෘථිවියට හෙන ගැහී ගියත් තමන් උපයා ගන්නා මුදල් වලින් වෙනත් ග්‍රහ ලෝකයකට හෝ ගොස් ජීවත්විය හැකි වනු ඇතැයි තෙල් සමාගම් හිමිකරුවන් සිතන්නට ඇතිවා විය හැකිය. කෙසේ නමුත් මේ වනවිට නාසය දක්වා ගිලෙන තරමට ප්‍රශනය ඔඩු දුවා ඇතත් තෙල් සමාගම් තම ලාභාපේක්ශාව අත්හැර ඇතිද යන්න ප්‍රශ්නාර්ථයකි.

ගෝලීය වශයෙන් වැඩිම හරිතාගාර වායු විමෝචනයන් සිදුකරන සංවර්ධිත රටවල දේශපාලකයන් සාක්කුවේ දමා ගැනීමට හා දේශගුණ විපර්යාසය මිත්‍යාවක් බවට ජනතාව අතර මතයක් ඇතිකිරීමට තෙල් කොම්පැණිකරුවනට වියදම් කිරීමට අවශ්‍ය වන්නේ තමන් ඉපයූ ඉමහත් ලාභයෙන් සොච්චමක් පමණි. 2013 දී පමණ ලෝකයේ එක්‌ ප්‍රකට තෙල් සමාගමක ලිපියක්‌ හේතුවෙන් යුරෝපා සංගමය ඔවුන් පැනවීමට ගිය පාරිසරික නීති හකුලා ගැනීමට හෝ දුර්වල කිරීමට හෝ ක්‍රියා කර ඇත. ඒ ලිපිය මගින්  තර්ජනය කර තිබුණේ යුරෝපා සංගමය ෆොසිල ඉන්ධන සඳහා බලපාන නීති දැඩි කිරීමට කටයුතු කළ හොත් හා පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය සඳහා කටයුතු කළ හොත් මහා පරිමාණ තෙල් සමාගමක්‌ වන එහි කටයුතු යුරෝපයෙන් ඉවතට ගෙන යැමට අදාළ සමාගම අදහස්‌ කරන බවයි. එමගින් තම ආර්ථිකයට එල්ලවිය හැකි බලපෑම සැලකූ විට තෙල් සමාගම ඉදිරියේ දන ගැසීමට යුරෝපා සංගමයට ද සිදුවූවා විය හැකිය. මීට පෙර ද විවිධ රටවල විද්වත් කමිටු වලට රිංගාගත් තෙල් සමාගම් වලින් යැපෙන ඔලමොළ නිවටුන් දුර්වල දූෂක සීමා ඇති කිරීම සඳහා සැලකිය යුතු බලපෑමක්‌ ඇති කළ බවද හෙළිදරව්වී ඇත.

ඒ අතර ඇමෙරිකාවේ විශාලතම ගල්අගුරු සමාගමක්‌ වන පීබොඩි එනර්ජි (Peabody Energy) සමාගම විසින් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව සැක මතු කරන හා පරිසර නීති රීති වලට විරෝධය පළ කරන කණ්‌ඩායම් විස්‌සකට අධික ගණනකට අනුග්‍රහකත්වය දක්වා ඇති බවද හෙළිදරව්වී ඇත. ඒ අතර වෙළෙඳ ආයතනවල සිට බුද්ධි මණ්‌ඩල දක්වා පුළුල් පරාසයක පැතිරුණු කණ්ඩායම් විය. බැරැක්‌ ඔබාමා ගේ හරිතාගාර වායු විමෝචන කපාහැරීමේ සැලසුම්වලට එරෙහි ව කටයුතු කළ සංවිධාන පවා ඒ අතර වේ. එරට දේශපාලන පක්‌ෂ දෙකට ම ආධාර කර ඇති උක්ත ගල්අඟුරු සමාගම ඉන්ධන සමාගම් වඩාත් ප්‍රිය කරන රිපබ්ලිකන් පක්‌ෂයට වැඩි ආධාර ප්‍රමාණයක්‌ ලබා දී ඇත. මේ දක්‌වා හෙළිදරව් වී ඇති ආකාරයට මේ අල්ලස් නිසා ඇමෙරිකාවේ පමණක්‌ නොව අන්තර්ජාතික වශයෙන් දේශගුණ විපර්යාස පාලනය සම්බන්ධ කටයුතුවලට ද බලපෑම් ඇති වී ඇති බව අනුමාන කෙරේ.

ඒ අනුව මුළු මහත් පෘථිවි තලයම දංගෙඩිය මත තබා හෝ තම මඩිය තර කරගන්නා තක්කඩින්ගේ තරම මොනවට පැහැදිළි වේ. කෙසේ නමුත් මහා පරිමාණ පොසිල ඉන්ධන සමාගම්වල අනාගතය පිළිබඳව කර්මාන්තයේම විශේෂඳයන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව සිය ව්‍යාපාර ආකෘතිය සම්පූර්ණයෙන් වෙනස්‌ නො කළ හොත් ඉදිරි වසර 10 ඇතුළත එම සමාගම් කඩා වැටීම නොවැලක්විය හැකි ය. පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය වෙත අවතීර්ණ වීම, මෙහෙයුම් අඩු කිරීම හා වෙනත් සමාගම් සමග ඒකාබද්ධ වීම මේ තත්ත්වය වැලැක්වීමට පිළියම් ලෙස දක්වා ඇත. නමුත් කණගාටුවට කරුණ වන්නේ ඉස්තාලය වසන විට අශ්වයා පැනගොස් හමාර වීමය.

Friday, July 8, 2016

නාගරික ජනතාව

ලෝකය පිළිගත් සම්මතයන්ට අනුව ඉහළ සමාජ තත්ත්වයක් අත්කර ගැනීම සඳහා අවශ්‍ය අධ්‍යාපන, සෞඛ්‍ය, ශුභසාධන, හා වෘත්තීය පහසුකම් අත්කර ගැනීම සඳහා නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශ වෙත ජනයා මහා පරිමාණයෙන් සංක්‍රමණයවීම සිදුවේ. එසේ සංක්‍රමණය වන ජනයාට තම ජීවන තත්ත්වය උසස් කරගැනීමට අවශ්‍ය පහසුකම් නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශ වලින් සපයා ගැනීමට හැකි වුවද ඒහා සමගාමීව දේශගුණ විපර්යාසය හේතුවෙන් හටගන්නා බලපෑම් වලින් බැට කෑමට ඔවුනටද සිදුවේ. ඒ දේශගුණ විපර්යාසයේ බලපෑම් වලින් නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශ වලට අනන්‍ය බලපෑම් රැසක්ද එල්ලවී ඇති බැවිනි.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට හැටක් (60%)ක් ජීවත්වන්නේ මුහුදුබඩ ප්‍රදේශවල පිහිටි නගර වලය. ප්‍රධාන ආර්ථික මර්මස්ථානය වන කොළඹ නගරයද ඇතුළු ප්‍රධාන නගර රැසක් පිහිටා ඇත්තේ පහත්බිම් ආශ්‍රිතව හෝ තෙත්බිම් මතය. ගංවතුර, භූගත ජලයට මුහුදු ජලය එක්වීම, ලවණතාවය අධිකවීම, සනීපාරක්ෂක ගැටළු ආදී දේශගුණ විපර්යාසයේ සෘජු හා වක්‍ර බලපෑම් වලට ඔවුන් මේ වන විටද මුහුණ දෙමින් සිටිති. විශේෂයෙන් පහත් බිම්, ජලමාර්ග ඉවුරු හා තෙත්බිම් මායිම් වල ජීවත්වන ජනතාව මෙම අභියෝග වලට මුහුණදීමට ඇති අවධානම වඩාත් වැඩිය. සැලසුම් සහගත නොවන සංවර්ධන කටයුතු හා අවිධිමත් භූමි පරිහරණ රටාව මෙම අවධානම තවත් උග්‍ර කරයි.

දේශගුණ විපර්යාස හේතුවෙන් වර්ෂා රටාවන් වෙනස්වී කෙටි කාලසීමාවකදී අධික වර්ෂාපතනයන් පතිතවීම මේ වනවිට සුලභ සංසිද්ධියක් බවට පත්ව ඇත. එමගින් හටගන්නා ගංවතුර තත්ත්ව වලින් නාගරික ජනතාවට දැඩි බලපෑම් එල්ලවේ. එම ජලය බැසයාමට බාධාවන ආකාරයෙන් අක්‍රමවත් ලෙස ඉදිකිරීම් සිදුකිරීම නිසා ජලය බැස යාම ප්‍රමාධ වේ. ජලය බැස යාමට ඇති පහත්බිම් හා තෙත්බිම් ද සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීම මගින් ගැටළුව තවත් දරුණු අතට හැරේ.

දේශගුණ විපර්යාසයත් සමග ඉහළ යන පරිසර උෂ්ණත්වය මදුරුවන් වැනි පීඩාකාරී කෘමි සතුන්ට හිතකරය. එසේම කඩින් කඩ වැසි වැටීමෙන් බෝවන ස්ථාන සුලභ වීම නිසා මදුරුවන් මගින් බෝවන රෝග සීග්‍රයෙන් පැතිරයාම නාගරික ජනතාවගේ සෞඛ්‍යට දැඩි තර්ජනකි. නාගරික ප්‍රදේශවල අධික ජන ඝනත්වයක් පැවතීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර ඩෙංගු වැනි බෝවන වාහක රෝග වලට ඔවුන් පහසුවෙන් ගොදුරුවේ. භූගත ජල මට්ටම ඉහළ යාම නිසා වැසිකිළි වලවල් උතුරා යාම  හා වැසිකිළි අපද්‍රව්‍ය ගංවතුරට ගසාගෙන යාම නිසා විෂබීජ හා රෝගකාරක හාත්පස පැතිරී යාම මගින් සනීපාරක්ෂක ප්‍රශ්න උත්සන්න වීමෙන්ද නාගරික ජනතාවට බැට කෑමට සිදුවේ.

බොහෝ නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශ වල දිනපතා ජනනය වන මෙට්‍රික් ටොන් ගණනක් කසළ පළාත්පාලන ආයතන මගින් බැහැරලන්නේ මුඩුබිම් වලටය. නිතර ඇතිවන ගං වතුර මගින් එම කසළ ගසාගෙන ගොස් පරිසරය පුරා විෂබීජ පතුරුවා හරී. ජල ප්‍රභව දුෂණය කරයි. එසේම මැස්සන් හා මදුරුවන් වැනි පීඩාකාරී කෘමීන්ට බෝවීම සඳහා එම කසළ ගොඩවල් තෝතැන්නකි.

මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් වන ජලය දුෂනයවීමටද දේශගුණ විපර්යාසය දායකවේ. මුහුදු මට්ටම ඉහළ යාම නිසා ගංගා ජලයට කරදිය මුසුවීම සිදුවේ. ගංගා වල මහා පරිමාණයෙන් වැලි ගොඩ දැමීම මෙම තත්වය තවත් දරුණු කරයි. නාගරික ප්‍රදේශ වලට ජලය සැපයෙන්නේ මෙම ගංගා වලින් ලබා ගන්නා ජලය පිරිපහදු කිරීමෙනි. නමුත් ජලයේ ලවන ඉවත්කිරීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර අපේ රටේ පිරිපහදු පද්ධති වලට සම්බන්ධ කර නොමැති බැවින් ජනතාවට විශේෂයෙන්ම වියලි කාලයට මෙසේ කරදිය මුසු ජලය පරිභෝජනය කිරීමට සිදුවේ. කැළණි හා කළු ගංගා ආශ්‍රිතව මෙම තත්ත්වය සුලභය. එසේම මුහුදු මට්ටම ඉහළයාම නිසා භූගත ජලයටද කරදිය මුසුවීම සිදුවේ. එමගින් ළිං ජලයද අපවිත්‍ර වේ. නිතර ඇතිවන ගංවතුර ගැලීම නිසා ජල මුලාශ්‍ර දුෂනයවීමද ගැටළුවකි.

දේශගුණ විපර්යාසයේ බලපෑම නිසා සංඛ්‍යාත්මකව හා බරපතලබව අතින් ඉහළ යන කුණාටු තත්ත්වයන් හේතුවෙන්ද නාගරික ජනතාවට බැට කෑමට සිදුවේ. විශේෂයෙන් නාගරික පැල්පත් නිවාස වල ජීවත්වන ජනයා මෙමගින් වැඩි වශයෙන් පීඩාවට පත්වන්නේ ඔවුන්ගේ නිවාස බරපතල කුණාටු තත්ත්වයන්ට කිසි සේත්ම ඔරොත්තු නොදෙන බැවිනි.

දේශගුණ විපර්යාසයේ බලපෑම් වලින් අනාථභාවයට පත්වූ කඳුකරයේ, වියලි කලාපයේ හෝ මුහුදුබඩ ප්‍රදේශවල ජනයාගේ (දේශගුණ අනාථයන්) ද අවසන් බලාපොරොත්තුව වන්නේ නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශ වෙත සංක්‍රමණය වී රක්ෂාවක් සොයාගෙන ජීවත්වීමයි. එමගින් එම ප්‍රදේශවල ජනගහනය තවත් ඉහළ යන අතර ඔවුන් සියළු දෙනාටම ඉහළ යන ජනගහනය ඈඳුණු සමාජාර්ථික ප්‍රශ්න වලට, සම්පත් කෙරෙහි එල්ලවන පීඩනයට අමතරව ඉහත සඳහන් කල ගැටළු වලට මුහුණ දීමටද සිදුවෙයි.


දේශගුණ විපර්යාසය අවමකිරීමට හා ඊට මුහුණදීමට විධිමත් වැඩපිළිවෙලක් රාජ්‍ය මට්ටමින් ඇතිකර ගැනීම අවශ්‍යවන්නේ එබැවිනි. එහිදී මහපොළොවට දරාගත හැකි ධරණීය සංවර්ධන මාවතට ප්‍රවේශවීම,  ක්‍රමවත් භූමි පරිභෝජන රටාවක් ඇතිකිරීම හා නව නගර සැලසුම්කරණයේදී හා නගර ප්‍රතිස්ථාපනය කිරීමේදී දේශගුණ විපර්යාසය මගින් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව සැලකිලිමත්වීම, දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට අනුහුරුවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වේ.  
මීයා සහ මම

මිනිසා විසින් කඩිනම් කරන ලද දේශගුණ විපර්යාසයේ අවාසනාවන්ත ගොදුරක් බවට පත්ව අපගෙන් සමුගත් පළමු සත්ත්ව විශේෂය පිළිබඳ ශෝකාන්තය සාක්ෂි සහිතව ලොවට අනාවරණය කිරීමට පසුගියදා ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් විසින් කටයුතු කළේය. ජාත්‍යන්තර ජනමාධ්‍ය ඒ පිළිබඳව පුළුල් වශයෙන් අවධානය යොමු කල නමුත් අපේ රටේ ජනමාධ්‍ය නම් ඒ පිළිබඳව වැඩි සංවේදීතාවයක් නොදැක්වුයේ එසේ අප හැර ගිය සඟයා මීයකු වීම නිසා විය හැකිය. කෙසේ නමුත් දිනෙන් දින උග්‍ර වන දේශගුණ විපර්යාසය විසින් මිහිමතින් තුරන් කර දැමුණු Bramble Cay melomys (Melomys rubicola) නම් කෘන්තකයන් විශේෂය (මීයන්) අප හැර ගියේ මිනිසුන් වන අපට සිතන්නට බොහෝ දෑ ඉතිරිකරමින් බව අප තරයේ සිහිතබා ගත යුතුය.

දේශගුණ විපර්යාසය පිළිබඳ අන්තර රාජ්‍ය මණ්ඩලය (IPCC) විසින් තම පළමු තක්සේරු වාර්තාව 1990 වසරේදී එළිදක්වන්නේ දේශගුණ විපර්යාසය හේතුවෙන් අනාගතයේදී ඇතිවිය හැකි අහිතකර ප්‍රතිපල පිළිබඳව අවධානය යොමු කරවීම සඳහා ය. එහිදී දේශගුණ විපර්යාස අවම කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ඔවුන් වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ එබැවිණි. හරිතාගාර වායු විමෝචනය අවම කර තව දුරටත් දේශගුණ විපර්යාසය උත්සන්නවීම වලක්වා ගැනීමට හැකි බව එකල විද්වතුන් විශ්වාස කලෝය. නමුත් කල් යත්ම හරිතාගාර වායු විමෝචනය අවම කිරීමෙන් පමණක් එල්ලවන අභියෝග ජයගැනීමට නොහැකි බව පැහැදිලි විය. එබැවින් හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට සමගාමීව මෙතෙක් අපවිසින් වායු ගෝලයට මුදාහරින ලද හරිතාගාර වායු මගින් උත්සන්න කෙරුණු දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට අනුහුරු වෙමින් ජීවත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ද අපට සිතන්නට සිදුවිය. 1990 වසරේදී අපට දුරින් ඇති බව විශ්වාස කල දේශගුණ විපර්යාසය විසිපස් වසරක ඇවෑමෙන් මේ වන විට අප අසලටම පැමිණ අපව ගිලගන්නා තත්ත්වයට පැමිණ ඇති බව දැන් සැඟවිය නොහැකිය.

දැන් අපට දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑම් නිසා සිදුවී ඇති අහිමිවීම් හා අලාභ (Loss and Damage) පිළිබඳව කතා කිරීමට සිදුවී ඇත්තේ එබැවිනි. මෙහිදී දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් අපට යලි අත්පත්කරගැනීමට නොහැකි ආකාරයෙන් ‘අහිමි’ වූ දෑ මෙන්ම යලිත් ප්‍රතිපූර්ණය කරගත හැකි ආකාරයෙන් ඇතිවූ ‘අලාභ’ ද රැසක් සිදුවී ඇත. මිනිසා විසින් උත්සන්න කරන ලද දේශගුණ විපර්යාසය මගින් මිහිමතින් සහමුලින්ම තුරන් කරන ලද බව විද්‍යාඥයින් විසින් තහවුරු කල මීයන් විශේෂය සැලකිය හැක්කේ එවැනි අහිමිවීමක් ලෙස ය.

Bramble Cay melomys මීයන් විශේෂයේ වාසභූමිය වූයේ ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය ආශ්‍රිත දිගින් මීටර් 340ක් සහ පළලින් මීටර් 150ක් වන කුඩා දූපතකි. එහි උපරිම උස මුහුදු මට්ටමේ සිට මීටර් තුනක් පමණි. තරමක් විශාල මීයන් විශේෂයක් වන මොවුන් පිළිබඳව පළමුව වාර්තා කර ඇත්තේ 1845 වසරේදී යෝරෝපීයන් වන අතර මෙම සත්ත්ව විශේෂය 2009 වසරේදී මෙම දූපතින් නොපෙනී ගොස් තිබුණි. පසුව 2014 වසරේ සිට පර්යේෂකයන් විසින් මෙම මීයන් විශේෂය සොයා දැඩිව දූපත පීරා බැලුවද එකඳු මී සාමාජිකයෙකුවත් සොයා ගැනීමට ඔවුන්ට නොහැකි විය. මෙතෙක් කලක් දැඩි ලෙස ආන්තරායට ලක්වූ (Endangered) සත්ත්ව විශේෂයක් ලෙස නම්කර තිබූ මීයන් විශේෂය වඳවී ගිය (Extinct) බවට තහවුරු කෙරුනේ එම පර්යේෂණ මගිනි. පර්යේෂකයන් පවසන්නේ දේශගුණ විපර්යාසය නිසා සිදුවූ මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් උදම් රළ මගින් විවිධ අවස්ථා වල මෙම දුපත ජලයෙන් යටවී මීයන් ජලයේ ගිලී මියයාම හා පරිසර පද්ධතියට හානි වීම මෙම විශේෂය වඳ වීමට හේතුවී ඇති බවය.


මීයන් විසින් මිනිසුන්ට ඇතිකරන හානි හා උපද්‍රව වල තරමට මීයන් විශේෂයක් මිහිමතින් තුරන්වී යාම යම් ආකාරයක සතුටට කරුණක් නොවේ දැයි කෙනෙකුට සිතෙන්නට පිළිවන. නමුත් අප සියළු දෙනා දැඩිව අවධාරණය කරගත යුතු යථාර්තය වන්නේ දේශගුණ විපර්යාසය විසින් අද දවසේ මෙම මීයන් විශේෂයට අත්කර දුන් අවාසනාවන්ත ඉරණම නුදුරේදීම මිනිසුන් වන අපටද අත්කර දිය හැකි බවයි. දේශගුණ විපර්යාසය යනු තව දුරටත් මිත්‍යාවක් හෝ හිතළුවක් පමණක් නොවන බවත් දේශගුණ විපර්යාසයේ අහිතකර බලපෑම් මිහිකත වැසියන් බිලිගනිමින් දිනෙන් දින උග්‍ර වන බවත් දැන් සක් සුදක් සේ පැහැදිළිය. එම උවදුරු වලින් ආරක්ෂා වෙමින් අපටත් අපගේ මතු පරපුරටත් ජීවත්වීමට අවශ්‍යනම් අප විසින් වහාම වායු ගෝලයට හරිතාගාර වායු මුදා හැරීම නතර කොට දමා දේශගුණ විපර්යාසයේ බලපෑම් දරා ගැනීමට හැකි ආකාරයෙන් ශක්තිමත් වීම පමා නොකළ යුතුය. එසේ නොකළහොත් අද මීයාගේ කතාව නුදුරු දියකදීම මීයාගේ සහ මගේ ද ඔබගේ ද කතාව බවට පත්වනු නොඅනුමානය. 


ඊළඟ බිල්ල මිනිසාද? http://mawbima.lk/40-113378-news-detail.html