Saturday, July 23, 2016

දේශගුණ සාමය (Climate Peace)

සෑම වසරකම සැප්තැම්බර 21 වැනිදා වැදගත් දිනයක් බවට පත්වන්නේ අන්තර්ජාතික සාම දිනය එදිනට යෙදී තිබීම හේතුවෙනි. මෙවර සාම දිනයේ තේමාව ‘ධරණීය සංවර්ධන ඉලක්ක: සාමය සඳහා සාධන ඒකක’ (The Sustainable Development Goals: Building Blocks for Peace) යන්නයි. ඒ අතර මෙම වසරේ සැප්තැම්බර 21 වැනිදා මුළුමහත් ලෝකයටම ඉතා වැදගත් දිනයක් වනු ඇතැයි අප සියල්ලෝම අපේක්ෂා සහගතව බලා සිටිමු. ඒ මන්ද යත් එදින රාජ්‍යයන් අතර ජනවර්ග අතර හෝ මානව අධ්‍යාත්මය තුල සාමය ගොඩනැගීම ගැන කතාකිරීමට අමතරව දේශගුණ සාමය (Climate Peace) ගොඩනැගීම සම්බන්ධයෙන්ද ඉතා තීරණාත්මක කටයුත්තක් සිදුවීමට නියමිත බැවිනි.

මිනිසාගේ පැවැත්මට යුද්ධ, අවි ගැටුම් ඈ විවිධ ආකාරයේ හිංසන වලින් තොර සාමකාමී සමානාත්මතා අවකාශයක් ඉතා වැදගත් ය. එසේම මිනිසා ඇතුළු සමස්ථ ජීව ලෝකයේම පැවැත්ම සහතික කිරීම සඳහා දේශගුණ විපර්යාසයයේ බලපෑම් වලින් තොර සාමකාමී පරිසරයක්ද අවශ්‍ය ය. ලෝක සාමය ඇතිකර ගැනීම සඳහා මුළුමහත් ලෝක නායකයන් හා ජනතාව කැපවිය යුතු ආකාරයෙන්ම දේශගුණ සාමය ඇතිකර ගැනීම සඳහාද ගෝලීය වශයෙන් කැපවීම අත්‍යාවශ්‍ය වෙයි. ඒ සඳහා ලෝක නායකයින් විසින් අත්සන් කරන ලද පැරිස් දේශගුණ ගිවිසුම බලාත්මක කරගැනීමේ බරපතල අභියෝගය මේ මොහොතේ අප අභිමුව ඇති අතර මිහිතලයේ අනාගතය තීරණය කරන ප්‍රධාන සාධකයක් බවට ද එය පත්ව ඇත.

දේශගුණ විපර්යාසය ආපසු හැරවීමේ ගෝලීය මැදිහත්වීම කඩිනම් කිරීම පිණිස පැරිස් ගිවිසුම එයට අත්සන් තැබූ රටවල ඉක්මනින්ම අපරානුමත කරගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම වසරේ සාම දිනය යොදාගැනීමට අදහස් කරගෙන ඇත්තේ එවැනි පසුබිමකය. මෙම වසරේ සැප්තැම්බර් 21 දින පැවැත්වෙන විශේෂ උත්සවයකදී තම රටවල් පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමත කරන ලද බවට වූ මෙවලම් (instruments) බාර දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බැන් කි මූන් මහතා සියලුම රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ ඒ අනුවය.

එම කටයුත්ත අන්තර්ජාතික සාම දිනයේදීම සිදුකිරීමට සැලසුම් කිරීමද සුවිශේෂී වන්නේ සැබැවින්ම දේශගුණ සාමය ඇතිකර නොගෙන ලෝක සාමය ඇතිකරගැනීමද උගහට වන බැවිණි. දේශගුණ විපර්යාසයේ බලපෑම නිසා මේ වනවිටත් ලොව පුරා විවිධ ප්‍රදේශ වල ජීවත්වන ජනතාවට විවිධ ගැටළු හා දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවී ඇති බව ප්‍රකට කරුණකි. ඊට හේතුවී ඇත්තේ දේශගුණ විපර්යාසයේ අහිතකර බලපෑම් නිසා මිනිසාට තම මූලික අවශ්‍යතා ප්‍රශස්ථ පරිදි ඉටුකර ගැනීමට නොහැකි වීමය. දේශගුණ විපර්යාසයේ පලපෑම නිසා ජනතාවට ආහාර, ජලය, වාසස්ථාන, සනීපාරක්ෂක පහසුකම්, යටිතල පහසුකම් ඈ විවිධ ජීවන අවශ්‍යතාවයන් සපයා ගැනීමේ ගැටළු වලට මුහුණදීමට සිදුවී ඇත. දේශගුණ විපර්යාසය හේතුවෙන් දිනෙන් දිනම මිනිසාගේ පැවැත්මට අවශ්‍ය ස්වභාවික සම්පත් සීමා වීම ඊට හේතුවයි. එම සීමිත සම්පත් බෙදා හදා ගැනීමේදී විවිධ ජන වර්ග, කණ්ඩයක්, හා රාජ්‍ය අතර ගැටුම් ඇතිවී තිබේ. එය ලෝක සාමය ඇතිකිරීමට බාධාවකි. මතුපිටින් බැලීමේදී එය යුද්ධයක් හෝ අවි ගැටුමක් ලෙස පෙනුනද එහි හරය සම්පත් බෙදී යාමේ විෂමතාවය ය. එය වැලැක්වීම සඳහා මිහිතලය මත දේශගුණ සාමය ඇතිකිරීම අත්‍යාවශ්‍ය ය.

ලෝක ජනතාවට සාමය ලබාදීම සඳහා ධරණීය සංවර්ධන ඉලක්ක යොදා ගැනීම පිළිබඳව මෙවර සාම දිනයේදී සාකච්ඡාවට බඳුන් කරන බව ඉහතද සඳහන් කරමි. 2015 සැප්තැම්බර් 25දා රැස් වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරගත් මෙම ධරණීය සංවර්ධන ඉලක්ක 17, 2030 සැප්තැම්බර් 30දා වන විට අත්පත් කර ගැනීමට අපේක්ෂා කෙරේ. ධරණීය සංවර්ධන ඉලක්කවලින් අපේක්ෂා කරන්නේ සහශ්‍ර‍ක සංවර්ධන ඉලක්කවලින් ඔබ්බට ගොස් දිළිඳුභාවයේ මූලික හේතු හඳුනාගැනීම හා සියලු ජනතාවන්ට සරිලන සංවර්ධනයක් වෙනුවෙන් වන විශ්වීය අවශ්‍යතාව ආමන්ත්‍ර‍ණය කිරීමයි. සෑම ආකාරයක ම දිළිඳුකම දුරලීම, සාගින්න දුරලීම, සෑම වයසකදී ම සෞඛ්‍ය සම්පන්න හා හොඳ ජීවිතයක් ප්‍ර‍වර්ධනය කිරීම, කාටත් පිවිසිය හැකි ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට සැමට තිබෙන අයිතිය ප්‍ර‍වර්ධනය කිරීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තහවුරු කිරීම, සැමට ජලය හා සනීපාරක්ෂාව තහවුරු කිරීම, සැමට පහසුවෙන් පුනර්ජනනීය බලශක්ති වෙත ප්‍රවේශය ලබා දීම, සියලු දෙනාට පූර්ණ රැකියා නියුක්තිය හා මනා වැඩ අවස්ථා සැලසීම, අවශ්‍යතාවන්ට හැඩගැසිය හැකි අන්දමින් යටිතල පහසුකම් ගොඩනැගීම, රටවල් තුළ හා රටවල් අතර අසමානතා අවම කිරීම, නගර හා මානව ජනාවාස මිනිසුන්ට හිතකර, ආරක්ෂිත, අවශ්‍යතාවන්ට හැඩගැසිය හැකි තිරසාර තැන් බවට පත් කිරීම, තිරසාර පාරිභෝජනය හා නිෂ්පාදනය තහවුරු කිරීම, දේශගුණික විපර්යාස හා එහි බලපෑම් අවම කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම, මුහුද හා සාමුද්‍රික සම්පත් සුරක්ෂා කිරීම හා දරා ගත හැකි අන්දමින් පරිහරණය කිරීම, විශ්ව පාරිසරික පද්ධතිය සුරක්ෂා කිරීම හා දරා ගත හැකි අන්දමින් පරිහරණය කිරීම ප්‍ර‍වර්ධනය කිරීම, ධරණීය සංවර්ධනය සඳහා සාමකාමී හා සහභාගී සමාජයන් ප්‍ර‍ර්ධනය කිරීම හා ධරණීය සංවර්ධනය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වන ගෝලීය සහභාගිත්වය පණගැන්වීම එම ඉලක්කයි.

එම සියළු ඉලක්ක සපුරා ගැනීම ලෝක සාමය ඇතිකරගැනීමට ඉවහල්වන අතරම දේශගුණ සාමය නොමැතිව කිසිදාක එම ඉලක්ක වෙත ලඟාවිය නොහැකිය. දේශගුණ විපර්යාසය අවමකිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට අප සියළු දෙනා අත්වැල් බැඳගත යුත්තේ එබැවිනි. එමගින් දේශගුණයේ සැහැසිකම් කෙමෙන් අඩුකර දේශගුණය සාමකාමී කර ගැනීමට අපට හැකියාව ලැබේ. එමගින් එහි අහිතකර බලපෑම් වලින් කෙමෙන් අත්මිදී ලෝක සාමය හා ධරණීය සංවර්ධනය ඇතිකරගැනීමට අපට හැකිවේ.

http://www.aithiya.lk/news_view.php?id=1234 

No comments:

Post a Comment