Sunday, May 22, 2016

(අ)ස්වභාවික විපත්

පසුගිය දිනවල ලැබුණු අධික වර්ෂාපතනය සමග සිදුවූ බරපතල ව්‍යසන ගණනාවක් හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක රැසක ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත්වූහ. ගංවතුරට හසුවීම නිසා මෙන්ම නාය යාම් හා කණ්ඩි කඩා වැටීමෙන් වටිනා මිනිස් ජීවිත ගණනාවක් ද රටට අහිමි විය. ඊට හේතුවූ නිවර්තන අඩු පීඩන කලාපය ක්‍රමයෙන් ඉන්දියාව දෙසට ගමන් කිරීම නිසා අපට මේ වන විට යම් අස්වැසිල්ලක් ලැබී තිබුණද යලි කුමන මොහොතක විපතක් උදාවේදෝයි සිතමින් සියල්ලන්ටම ජීවත්වීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත පරිසරයකය.

දේශගුණ විපර්යාස හේතුවෙන් එල්ලවන බලපෑම් නිසා මෙම මිහිතලය මත ජීවත්වීම  1970 දශකයට වඩා පස් ගුණයකින් අවධානම් සහගතවී ඇති බව වාර්තාවක් එළි දක්වමින් ලෝක කාලගුණ සංවිධානය ප්‍රකාශ කරන්නේ එවැනි පසුබිමකය. 1970 දශකයේ ගංවතුර, නියඟ, කුණාටු හා උණුසුම් වායු ධාරා වැනි විපත් 743ක් මගින් පෘථිවියේ ජනතාවට බලපෑම් එල්ලවී ඇති අතර විසිඑක්වැනි සියවසේ මුල් දශකය වනවිට එම විනාශයන් ප්‍රමාණය 3496ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම සංවිධානය අනාවරණය කරන අතර ඒ සඳහා දේශගුණ විපර්යාසය සෘජුව වග කිව යුතු බව ඔවුන් තහවුරු කර තිබේ.

ගංවතුර, නියං, නාය යාම්, කුණාටු වැනි විපත් වලින් ශ්‍රී ලංකාවේ අපටද පසුගිය කෙටි කාල සීමාව තුලදී පවා නිරන්තරයෙන් අමිහිරි අත්දැකීම් ලැබීමට සිදුවූ බව නොරහසකි. මෙවැනි විපත් සාමාන්‍ය ව්‍යවහාරයේදී අප හඳුන්වන්නේ ස්වභාවික විපත් යනුවෙනි.  නමුත් දේශගුණ විපර්යාසයන්  උත්සන්න කිරීමට වගකිව යුත්තේ මිනිසුන් වන අපම බැවින්ද දිනෙන් දින ස්වභාවික විපත් සිදුවීම් ඉහළ යාමට දේශගුණ විපර්යාසය සෘජුව බලපා ඇති බැවින්ද තව දුරටත් එකී විපත් ස්වභාවික විපත් ලෙස හැඳින්වීමේ කිසිඳු යුක්ති සහගත බවක් නොමැති බව අප අවධාරණය කරගත යුතුය.

දේශගුණ විපර්යාසය හේතුවෙන් පරිසර උෂ්ණත්වය ඉහළ යාම නිසා වායු ගෝලයට වාෂ්පීකරණය වන ජලය ප්‍රමාණය ඉහළ යන අතර එමගින් බරපතල කුණාටු හා සුළිසුලං ඇතිවීම සිදුවේ. වායුගෝලයේ හා සාගර මතුපිට උෂ්ණත්වය ඉහළ යාම මගින් සුළං වේගය වැඩිවීම නිවර්තන සුළි කුණාටු වල විනාශකාරී බලය ඉහළ යාමට හේතුවී ඇති බවට මේ වන විට සාක්ෂි ලැබී තිබේ. සුළිසුලං හා චණ්ඩමාරුත මගින් ලොව පුරා විවිධ රටවලට විශාල ආර්ථික බලපෑම් එල්ලකර ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයට පවා බරපතලම ආර්ථික බලපෑම් එල්ලකරන ලද ස්වභාවික විපත් පහම සුළිසුලං බව කිවහොත් බොහෝ දෙනෙකු විමතියට පත්වීමටද පිළිවන. ඇන්ඩෘව් (1992), කැත්රිනා (2005) හා සැන්ඩි (2012) වැනි සුළිසුලං ඒ අතර වේ. එමගින් සිදුවූ ආපදාව ඇමරිකන් ඩොලර් බිලියන 294ක් බව ගණන් බලා ඇත.
පරිසර උෂ්ණත්වය ඉහළ යාම නියං ඇතිවීමට ද හේතුවී ඇති අතර මෑත ඉතිහාසයේ බලපෑ බිහිසුණුම නියං තත්වය හේතුවෙන් 1970 -1980 කාල සීමාව තුල නැගෙනහිර අප්‍රිකාවේ ලක්ෂ හයක ජනතාවක් මරණයට පත්විය.

දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් මුහුදු මට්ටම ඉහළ යාම මගින් සාමාන්‍යයෙන් රළ පහරේ පලපෑමට නතු නොවන ප්‍රදේශ පවා රළ පහරට හසුවන අතර මුහුදු රළ වල ඛාදන හැකියාව වැඩි වීම නිසා වෙරළබඩ ප්‍රදේශ වලට දැඩි බලපෑම් එල්ලවේ. වෙරළාසන්න ප්‍රදේශ වලට එල්ලවූ ස්වභාවික විපත් වලින් 2010 වසර තුලදී පමණක් නගර 136කට ඇමරිකන් ඩොලර් බිලියන 6ක අලාභයක් සිදුවී ඇත.

මේ ආකාරයෙන් ලොව පුරා මෙන්ම අපේ රටේද ඇතිවන බරපතල ව්‍යසනයන් හමුවේ ජනතාව අහසට දෑත් විහිදා සොබාදහමට ශාප කිරීම මින් ඉදිරියට පලක් වන්නේ නැති බව අප තරයේ සිහි තබා ගත යුතුය. ඒ මන්ද යත් පෘථිවි ගෝලයේ දේශගුණ රටාව වෙනස් කර, දේශගුණ විපර්යාසය උත්සන්න කිරීමට වැරදි කරුවෝ අපම වන බැවිනි. එමගින් ඇතිවන විපත් අප විසින්ම කැඳවා ගත් අස්වාභාවික කෘතීම විපත් විනා සොබාදහමේ සැහැසිකම් නොවන බැවිනි.

දේශගුණ විපර්යාස හේතුවෙන් ස්වභාවික විපත් ඇතිවීමේ සුලභතාවය වැඩිවී ඇතිවා සේම ඒවායේ විනාශකාරීත්වයද දිනෙන් දිනම ඉහළ යමින් පවතින බව පර්යේෂණ මගින් අනාවරණය කර තිබේ. එමගින් මිනිසා ඇතුළු මුළුමහත් පෘථිවි ගෝලයටම එල්ලවන  බලපෑම තව තවත් තීව්‍ර වනු මිස අඩුවීමක් නම් සිදු නොවේ.


දේශගුණ විපර්යාස මගින් උත්සන්න වන ස්වභාවික විපත් හේතුවෙන් වර්ෂ 2020වන විට ලොව පුරා බිලියන 1.3ක ජනකායක් හා ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 158ක වත්කම් අනතුරේ වැටෙනු ඇති බවට ලෝක බැංකුවද අනතුරු අඟවා ඇත. ඒ අනුව පස් ගුණයක් අවධානම දරාගනිමින් ඉදිරියටත් පෘථිවි ගෝලයේ ජීවත්වීමට අපට අවශ්‍යනම් අප විසින් වහ වහා දේශගුණ විපර්යාසයන් පිටු දැකීමට කටයුතු කල යුතු අතරම ඒ සඳහා අනුහුරුවීමද අත්‍යාවශ්‍යය. විපතක් සිදුවූ විට පමණක් කරළියට පැමිණෙන ආපදා කළමනාකරණය වෙනුවට නිරන්තර අවදියෙන් සිටින තුන්කල් දැක්මක් සහිත ආපදා පෙර සූදානම් ක්‍රමවේදයක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවයකි. එසේම නාය යම් සංවේදී ප්‍රදේශ, ගංගා නිම්න හා පහත්බිම් වල භූමි පරිභෝජන රටාවද විපත් ඇතිවීම වලක්වන හෝ අවම කරන ආකාරයේ වීමද වැදගත්ය. කාලයාගේ ඇවෑමෙන් ගංවතුර බැස ගිය විට සියල්ල මතකයෙන් මැකී යාමට ඉඩ නොදී මේ පිළිබඳව ගැඹුරින් කල්පනා කිරීම හා ක්‍රියා කිරීම ඔබේද මගේද අනාගතය තීරණය කරනු ඇත.

දරුණුයි මිනිස් සැහැසිකම් විලාපය ඒකයි සොබාදම්, http://www.mawbima.lk/40-110767-news-detail.html

දේශගුණ විපර්යාසය උත්සන්න කරන අප මේ (අ)ස්‌වාභාවික විපත්වල වගකීම භාරගත යුතු ය, http://www.vidusara.com/2016/06/22/news2.html
      

Friday, May 13, 2016

මහජන සෞඛ්‍ය අනතුරේ !

සෞඛ්‍ය යනු ලෙඩ රෝග වලින් තොරවීම පමණක් නොවේ. මිනිසුන්ගේ කායික, මානසික, සමාජීය හා අධ්‍යාත්මික යහපැවැත්මද ඊට අයත්වේ. මිනිසාගේ ජීවන තත්වය උසස් කිරීමේ කාර්යයේදී මහජන සෞඛ්‍ය සංරක්ෂණයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. සෙසු ආසියාතික රටවල් හා සැසඳීමේදී අපේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සාපේක්ෂව ඉහල මට්ටමක පවතී.  නමුත් දේශගුණ විපර්යාස හේතුවෙන් ලෝකයා විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙතෙක් අත්කරගෙන ඇති ප්‍රගතිය අඩසියවසකින් යලි පසුපසට ඇද දමනු ඇති බව විද්‍යාඥයෝ අනතුරු අඟවති.

දේශගුණ විපර්යාසය යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට නිශ්චිතවම අවශ්‍ය වන පිරිසිඳු වාතය, සුරක්ෂිත පානීය ජලය, ප්‍රමාණවත් පෝෂණීය ආහාර හා සුරක්ෂිත වාසස්ථාන සපයා ගැනීමට බාධා එල්ල කරයි. එමගින් 2030 – 2050 අතර කාලසීමාවේ දී දැනට සිදුවන මිනිස් මරණ ප්‍රමාණය 250000 කින් පමණ ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරේ. අධික උණුසුමට නිරාවරණය වීම නිසා වයෝවෘද්ධ ජනතාව 38000 ක්, පාචනය හා අතීසාරය හේතුවෙන් 48000 ක්, මැලේරියාව හේතුවෙන් 60000 ක්, හා දුෂ්පෝෂණය හේතුවෙන් දරුවන් 95000 ක් මෙසේ මරණයට පත්වෙනු ඇතැයි විශ්වාස කෙරේ.

දේශගුණ විපර්යාස හේතුවෙන් අධික උණුසුම් කාලගුණ තත්වයන් ඇතිවීම ජනතාවගේ සෞඛ්‍යට ඇති කරන්නේ තීරණාත්මක බලපෑමකි. විශේෂයෙන් සමකාසන්න ඉන්දියාව හා පාකිස්ථානය වැනි රටවල අධික උණුසුම දරාගත නොහැකිව මිනිසුන් මරණයට පත්වීම පිළිබඳව නිතර අසන්නට ලැබේ. එමගින් හෘදවාහිනී හා ස්වසන රෝග මගින් විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයන් මරණයට පත්වේ. සෘජු මරණ වලට අමතරව ස්වසන පද්ධතියේ අසාද්මිකතා ඇතිකරන පරාග හා වෙනත් අසාද්මිකකාරක ප්‍රමාණය වායුගෝලයේ ඉහල යාමටද උණුසුම් කාළගුණය හේතුවේ. එමගින් ඇදුම රෝගය උත්සන්න වීමෙන් ලොව වටා මිලියන 300 ක පමණ ජනතාවක් පීඩාවට පත්වී ඇත.

දේශගුණ විපර්යාස හේතුවෙන් නිරන්තරයෙන් ඇතිවන ස්වභාවික විපත් ද මානව සෞඛ්‍යට  බරපතල තර්ජනයකි. අතීතයේ කිසි කලෙකත් නොවූ විරූ තීව්‍ර හා සුලභ ආකාරයෙන් ඇතිවන සුළිසුලං, ගංවතුර හා නායයාම් වැනි ස්වභාවික විපත් හේතුවෙන්  වසරකට වැනසී යන මිනිස් ජීවිත ප්‍රමාණය 60 000 ඉක්මවයි. එම මරණ වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලය.

සීග්‍රයෙන් වෙනස්වන වර්ෂාපතන රටාව මගින් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය පිරිසිඳු ජලය සපයා ගැනීමට අවහිරතා ඇතිකරයි. නියඟ හේතුවෙන් ජල සම්පත සීමා වීම මෙන්ම ගංවතුර හේතුවෙන් ජලය තිබුනද ඒවා භාවිතයට ගත නොහැකි තත්වයට පත්වීම සිදුවේ. වර්තමානය වන විට ලොව පුරා වයස අවුරුදු පහට අඩු දරුවන් 600000 ක් වාර්ෂිකව ඝාතනය කිරීමට සනීපාරක්ෂක පහසුකම් වල හිඟය නිසා ඇතිවන පාචන තත්වයන් හේතුවී ඇත. පිරිසිඳු ජලය සපයා ගැනීමට ඇති නොහැකියාව ජනතාවගේ සනීපාරක්ෂාවට සෘජුව බලපෑම් එල්ලකරන අතර එමගින් මෙම කුඩා දරුවන් මරණයට පත්වීම තවත් ඉහළ යනු ඇත.

නිරන්තරයෙන් ඇතිවන ගංවතුර තත්වයන් හේතුවෙන් ජලය මගින් බෝවන රෝග මිනිසාගේ සෞඛ්‍යට එල්ල කරන තර්ජන ඉහළයාම සිදුවේ. ගංවතුර නිසා දියේ ගිලී මිනිසුන් මියයාම හා ශාරීරික ආබාධ ඇතිවීම ද සිදුවේ. වාසස්ථාන විනාශවීම, ඖෂධ හා සෞඛ්‍ය සේවාවන් වෙත ලඟාවීමට බාධා එල්ලකිරීම ද ජලගැලීම් මගින් සිදුවේ.

යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇතිකර ගැනීම සඳහා පෝෂදායී ආහාර ප්‍රමාණවත් තරම් ලබාගැනීම ද අත්‍යාවශ්‍යය. නමුත් දේශගුණ විපර්යාස හේතුවෙන් සිදුවන ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා වර්ෂාපතන රටාවේ වෙනස්කම් ප්‍රධාන ආහාර භෝග නිෂ්පාදනය පහළ දැමීමට හේතුවෙයි.

දේශගුණය වෙනස්වීම නිසා වාහකයින් මගින් රෝග බෝවන කාලසීමාව දිගු වන අතර මෙම වාහක සත්ව විශේෂ වල ව්‍යාප්තිය වැඩි වන බැවින් පෙරට වඩා වැඩි භූගෝලීය ප්‍රදේශයක රෝගය බෝ වීම සිදුවේ. උදාහරණය ලෙස අතීතයේදී නුවරඑළිය ප්‍රදේශයේ මදුරුවන් මගින් බෝවන රෝග වාර්තා නොවුනද මේ වන විට එම තත්වය වෙනස්වීම දැක්විය හැකිය. ශ්‍රී ලංකාවේ අපට මහත් හිසරදයක් වී ඇති ඊඩීස් ගනයේ මදුරුවන් මගින් පැතිරෙන ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යාමද මේ අනුව සිදුවේ. දේශගුණ විපර්යාස වර්ෂ 2080 වන විට වර්තමාන ජනගහනයට අමතරව තවත් බිලියන දෙකක ජනකායක් ඩෙංගු රෝග වාහකයින්ට නිරාවරණය කරනු ඇති බව අනුමාන කෙරේ. එසේම මෙම වාහක කෘමීන් මර්ධනය කිරීම සඳහා වැඩි වැඩියෙන් කෘමිනාශක භාවිත කිරීමට සිදුවීම තවත් බිහිසුණු රෝගාබාධ රැසකට මග පාදනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනතුරු අඟවයි.

දේශගුණ විපර්යාස හේතුවෙන් මානව සෞඛ්‍යට එල්ල වියහැකි බලපෑම් පිළිබඳව වර්තමානයේදී සිදුකෙරෙන පුරෝකතනයන් සියල්ල වර්තමාන ආර්ථික වර්ධනය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව ඒ අයුරින්ම පවතිනු ඇතැයි යන උපකල්පනය මත පදනම්වූ දළ  ගණනයන් බවද අප අමතක නොකළ යුතුය. නමුත් දේශගුණික විපර්යාසයේ බලපෑමෙන් සිදුවන ආර්ථික අවපාතයන් හා ඊට සමගාමීව ඇතිවිය හැකි සෞඛ්‍ය යටිතල පහසුකම් කප්පාදුව වැනි කාරණා මෙම අවාසනාවන්ත තත්වය තවත් තීව්‍ර කරනු නොඅනුමානය.

දේශගුණ අනාථයෝ

තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධය විසින් තම ගම් බිම් අහිමි කරන ලද සැලකිය යුතු  ජනතාවක් ශ්‍රී ලංකාව තුල තවමත් ස්ථිර වාසස්ථානයක් නොමැතිව  ඉතා දුකසේ ජීවත්වෙති. ඒ අතර සිරියාවේ සහ ඉරාකයේ සිදුවන අවි ගැටුම් වලට බියෙන් පලා යන දේශපාලන අනාථයන් මුහුණදී සිටින ඛේදවාචකය පිළිබඳවද විවිධ සෝචනීය පුවත් නිරන්තරයෙන් අසන්නට ලැබේ. නමුත් දේශගුණ විපර්යාසයේ සැහැසිකම් හේතුවෙන් අවතැන්වූ හා සරණාගතයන් බවට පත්වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාව පිළිබඳව තවමත් ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී නැත.

දේශගුණවිපර්යාසය හේතුවෙන් මේ වන විට පෘතුවි ගෝලයේ බොහෝ ප්‍රදේශ මනුෂ්‍ය වාසයට නුසුදුසු තත්වයට පත්වෙමින් පවතින බව කිසිවෙකුටත් රහසක් නොවේ. ඒ හේතුවෙන් තම පාරම්පරික වාසභූමි අත්හැර තම රටේම හෝ තම දේශසීමාවෙන් එහා වෙනත් රටකට සංක්‍රමණය වන ජනතාව දේශගුණ අනාථයන් (Climate Refugees) ලෙස සරලව හැඳින්විය හැකිය.දැනට සිදුකර ඇති ගණනය කිරීම් අනුව වසරකට ලොව පුරා මිලියන 26ක පමණ ජනගහනයක් දේශගුණ අනාථයන් බවට පත්වේ. පර්යේෂකයන් පවසන්නේ 2050 වසර වන විට එම ප්‍රමාණය මිලියන 50ක් පමණ විය හැකි බවය.

කෙටිකාලීනව හෝ දීර්ඝකාලීනව දේශගුණ විපර්යාසයන්ගේ බලපෑම් නිසා තමන් ජීවත්වූ ප්‍රදේශ වල තවදුරටත් යහපත් ජීවන තත්ත්වයක් පවත්වා ගැනීමට නොහැකි හා ජීවනෝපාය අභියෝගයට ලක්වන ජන කණ්ඩායම්වලට මේ ආකාරයෙන් දේශගුණ අනාථයන් ලෙස වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීමට සිදුවේ. දේශගුණ විපර්යාසය නිසා හට ගන්නා හෝ උත්සන්න වන ගංවතුර, නියඟ, නායයෑම්, සුළිසුලං, කාන්තාරීකරණය, මුහුදු ජල මට්ටම ඉහළයාම හා දේශගුණ රටාවේ සිදුවන ප්‍රභල වෙනස්කම් වැනි හේතු දේශගුණ අනාථයන් බිහිවීමට බලපායි.

උදාහරණයක් ලෙසමුහුදු ජල මට්ටම ඉහළ යාම නිසා ලොව පුරා කුඩා දූපත් රාජ්‍ය වල දිවිගෙවන හා විශාල රටවලට අයත් කුඩා දූපත්වල දිවිගෙවන ජනතාවට මෙන්ම ගංගා මෝය හා නිම්න ආශ්‍රිතව ජීවත්වන ජනතාවට පවා අභියෝග එල්ලවේ. සමස්ථ ලෝක ජනගහනයෙන් අඩකටත් වැඩි පිරිසක් ජීවත් වන්නේ මුහුදු වෙරළේ සිට කිලෝමීටර් 60 සීමාව තුල වන අතර තම ගම්බිම් හැර යාමට එම ජනතාවට දේශගුණ විපර්යාස හේතුවෙන් උත්සන්න වන මුහුදු මට්ටම ඉහළයාම මගින් දැඩි තර්ජනයක් ඇති කරයි.

දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලයට (IPCC) අනුව වර්ෂ 2100 වන විට පැසිපික් සාගරයේ ජල මට්ටම මීටර් 0.19 – 0.58 ක ප්‍රමාණයකින් ඉහළ යාමට නියමිතය. එමගින් උත්සන්නවන වෙරළ ඛාදනය හා ගංගා දෙපස පහත්බිම් ජලයෙන් යටවීම මගින් විශාල වශයෙන් ජනතාව අවතැන්භාවයට පත්කරනු නොඅනුමානය. වර්ෂ 2050 වන විට මීටර් 0.3 – 1.5 ක ප්‍රමාණයකින් මුහුදු ජල මට්ටම ඉහල යාමේ තර්ජනයට මුහුණදීමට බංගලාදේශයට සිදුවේ. එමගින් වර්ෂ 2100 වන විට එරට මිලියන 30ක ජනතාවක් දේශගුණ අනාථයන් බවට පත්වන බව අනාවැකි පළකර ඇත. භූමිය දියබත්වීමට අමතරව ජලයේ ලවණතාවය අධිකවීම, ජලවහනයට අවහිරතාවයන් ඇතිවීම, ව්‍යසනකාරී සුළිසුලං හා ඉහළයන උදම්රළ මගින්ද වෙරළාසන්නව  හා ගංගා දෙපස ජීවත්වන ජනතාවගේ ජීවිත අභියෝගයට ලක්වේ. ඔවුන්ට ඇති එකම විකල්පය දේශගුණ අනාථයන් ලෙස වෙනත් ප්‍රදේශ වෙත සංක්‍රමණය වීම පමණි.

වෙරළාසන්න ජනයාට මුහුදු ජල මට්ටම ඉහළයාමෙන් බලපෑම් එල්ලවන අතර රට මැද ජීවත්වන ජනතාවටද දේශගුණ විපර්යාසයෙන් ගැලවීමක් නැත. චීනයේ ගෝබි කාන්තාරය වසරකට වර්ග කිලෝමීටර් 3600කින් පමණ විශාලවීමත් සමග ඒ අවට ජීවත්වූ ජනයාට මේ වන විට සිදුවී ඇත්තේ දේශගුණ අනාථයන් ලෙස වෙනත් ප්‍රදේශ වෙත සංක්‍රමණය වීමටය.

ලොව පුරා විවිධ රට වල අවි ගැටුම් හා දේශපාලන අස්ථාවරත්වය වැනි කරුණු හේතුවෙන් අවතැන් වන ජනතාවට සහන සැලසීම සඳහා ජාත්‍යන්තර මානුෂවාදී නීති හා සම්මුතීන් ඔස්සේ ප්‍රතිපාදන සැලසී ඇතත් දේශගුණ අනාථයන් සම්බන්ධයෙන් එවැනි ජාත්‍යන්තර සම්මුතීන් හෝ එකඟතා නොමැති වීම නිසා දේශගුණ අනාථයන් මුහුණදෙන ඉරණම වඩාත් ඛේදනීය වෙයි.

ශ්‍රී ලංකාව තුලද විවිධ අවස්ථාවල ඇතිවූ හා අඛණ්ඩව දීර්ඝකාලීනව ඇතිවෙමින් පවතින දේශගුණ විපර්යාසයන්ගේ බලපෑම් නිසා දේශගුණ අනාථයන් බිහිවීම සිදුවී ඇත. ඒ ඒ අවස්ථාවල තාවකාලික පිළියම් ලබාදීමෙන් ප්‍රශ්න යටගැසීම විනා දේශගුණ අනාථයන් සම්බන්ධයෙන් අප රට තුලද විධිමත් වැඩපිළිවෙලක් තවමත් සකස්කොට නැත. අප රටේ මුළු ජනගහනයෙන් තුනෙන් එකක් ජීවත්වන, මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 24ක් අයත් වන්නේ වෙරළබඩ ප්‍රදේශයටය. රටේ මුළු මත්ස්‍ය නිෂ්පාදනයෙන් සියයට අසූවක් සපයන්නේ එම භූමිය කේන්ද්‍ර කරගෙන වන අතර රටට විදේශ විනිමය සපයා දෙන ප්‍රධාන ධනෝපායන මාර්ගයක් වන සංචාරක කර්මාන්තය සඳහා යටිතල පහසුකම් සපයන භූමියද වන්නේ මෙයයි. නමුත් දේශගුණ විපර්යාසය නිසා ඉහළ යන මුහුදු ජල මට්ටම හා  වෙරළ ඛාදනය නිසා වෙරළබඩ ජනතාවට නිවාස, යටිතල පහසුකම් හා ජීවනෝපාය අහිමිකරගනිමින් රට තුලට ගමන් කිරීමට මේ වනවිට සිදුවී තිබේ. ඒ අතර නිතර සිදුවන ස්වභාවික විපත් දරාගත නොහැකිව ලතැවෙන කඳුකරයේ ජනයාට සිදුවී ඇත්තේ ද රටේ පහත් තැනිතලා වෙත සංක්‍රමණය වීමටය. ඒ මතුද නොව දිවයිනේ මුළු භූමියෙන් සියයට හැටක් වසා පැතිරුණු වියලි කලාපයේ ගොවි ජනතාවට තම ජීවනෝපාය අත්හැර නගර වෙත සංක්‍රමණයවී වෙනත් වෘත්තීන් වල නියැලීමට දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් උත්සන්න වී ඇති නියං, ගංවතුර තත්ත්ව හා අකල් වැසි බල කරයි.

දිනෙන් දින උග්‍ර අතට හැරෙන දේශගුණ විපර්යාසය අවම කරගැනීමට හා ඊට අනුහුරු වීමට කැපවීම හැර දේශගුණ අනාථභාවයේ ගිලීමෙන් වැලකීමට අන් මගක් නැත.

http://www.aithiya.lk/news_view.php?id=1026

Thursday, May 5, 2016

අවමකිරීම හා අනුහුරුවීම

දේශගුණ විපර්යාසය සම්බන්ධයෙන් කතා කිරීමේදී නිතර දෙවේලේ ඇසෙන වචන දෙකක් ලෙස අවමකිරීම හා අනුහුරුවීම දැක්විය හැකිය. බැලූ බැල්මට ආගන්තුක වචන දෙකක් ලෙස පෙනුනද එමගින් අර්ථගැන්වෙන කරුණු කිසිසේත්ම සංකීර්ණ නොමැති අතර, දේශගුණ විපර්යාස සම්බන්ධ ගණුදෙනුවේදී අත්‍යාවශ්‍ය සාධක දෙක වෙයි.

අවමකිරීම (Mitigation) හෙවත් දේශගුණ විපර්යාසයේ බලපෑම් ලිහිල් කිරීම යනුවෙන් අදහස් කෙරෙන්නේ දේශගුණ විපර්යාසය ඇතිවීමට හේතුවන හරිතාගාර වායු පරිසරයට නිදහස්කිරීම නැවත්වීම හෝ අවම කිරීමයි. හරිතාගාර වායුන් යනු වායුගෝලයේ ස්වභාවිකව පවතින හා කෘත්‍රීමව නිපදවා ඇති සූර්යාගෙන් පැමිණෙන මෙන්ම විශේෂයෙන් පෘතුවියෙන් පිටවන අධෝරක්ත කිරණ අවශෝෂණය කරගැනීමේ හා ඒවා නැවත නිකුත් කිරීමේ හැකියාවක් ඇති වායූන්ය.  හරිතාගාර වායු ස්වභාවිකව නොතිබෙන්නට පෘතුවි පෘෂ්ඨයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක සෘණ 18ක් වත් වීමට ඉඩ තිබුණි. ඵහෙත් සුදූසු ප්‍රමාණවලින් හරිතාගාර වායු පැවතීම නිසා ඵම සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15ක් පමණ විය. ඵනම් අංශක 33ක වැඩි වීමකි. මේ නිසා ඡීවීන්ගේ පැවැත්ම සඳහා ප්‍රශස්ථ උෂ්ණත්වයක් පෘථිවි තලය මත පවත්වා ගැනීම සඳහා හරිතාගාර වායු ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව පැහැදිලි කරුණකි. ඵහෙත් පසුගිය දශක කිහිපය තුලදී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කිසිඳු පාලනයකින් තොරව වායුගෝලයට හරිතාගාර වායු මුදාහැරීම නිසා වායුගෝලයේ හරිතාගාර වායු සාන්ද්‍රණය වීමෙන් පරිසර උෂ්ණත්වය ප්‍රශස්ථ මට්ටම අභිබවා යාමට පටන් ගෙන ඇත. කාබන්ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, ක්ලෝරෝෆ්ලෝරෝ-කාබන්, හයිඩ්රෝෆ්ලෝරෝ-කාබන් දැනට හඳුනාගෙන ඇති මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයට විමෝචනය වීම පාලනය කළයුතු ප්‍රධානතම හරිතාගාර වායුන් වේ.

දේශගුණික විපර්යාස සඳහා හරිතාගාර වායු මගින් වන බලපෑම සෑම වායු වර්ගයක් සදහාම එක හා සමාන වන්නේ නැත. අප හොඳින් දන්නා පරිදි, දේශගුණ විපර්යාස ඇතිවීමට දායක වන ප්‍රධානතම හරිතාගාර වායූව කාබන්ඩයොක්සයිඩ් වායුව වේ. කාබන්ඩයොක්සයිඩ් වායුව වාර්ෂිකව ටොන් බිලියන ගණනක් වායුගෝලයට එකතු වන බව ගණන් බලා ඇති අතර මිනිසා විසින් දහනය කරනු ලබන පොසිල ඉන්ධන මෙයින් වැඩි ප්‍රතිශතයකට දායක වේ.අධි පරිභෝජන ජීවන රටාවකට හුරුවී සිටින දියුණුයැයි පවසන රටවල් බොහොමයක් මෙම ක්‍රියාවලියට දායක වී ඇත. සංවර්ධිත රටවල් හා සංසන්දනය කරන විට සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස දේශගුණ විපර්යාස කෙරෙහි ශ්‍රී ලංකාවේ  දායකත්වය නොගිනිය හැකි තරම්ය. ඵහෙත් ඉන්දියන් සාගරයේ පිහිටි දුපතක් වන අප රටටද ගෝලීය වශයෙන් සිදුවන දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑම්වලට නිබඳවම මුහුණ දීමට සිදූව ඇත.

හරිතාගාර වායූන්ගේ මීළග විශාලම සාමාජිකයා ලෙස මීතේන් වායුව සැලකිය හැකිය. එය සමස්ත හරිතාගාර වායූන්ගේ ප්‍රතිශතයක් ලෙස 24% ක අගයක් ගන්නා අතර මීතේන් වායුවේ බලපෑම (උණුසුම් කිරීමේ විභවය) කාබන්ඩයොක්සයිඩ් වලින් ඇතිකරන්නාවූ බලපෑම මෙන් 21 ගුණයක් ලෙස දැක්විය හැක. නමුත් එහි ක්‍රියාකාරී කාලය කාබන් ඩයොක්සයිඩ් වායුවට වඩා කෙටිය.

නයිට්‍රජන් අඩංගු පොහොර අධික ලෙස භාවිත කිරීම, නයිලෝන් හා සින්තටික් වර්ග දහනය, පොසිල ඉන්ධන දහනය තුලින් නයිට්‍රස් ඔක්සයිඩ් වායුව වායුගෝලයට ඵකතු වේ. හරිතාගාර වායූන්ගේ සංයුතියේ 10% ක ප්‍රමාණයක් මේ වායුවට හිමිවන අතර කාබන්ඩයොක්සයිඩ් වායුව මෙන් 310 ගුණයක් ගෝලීය උණුසුම වැඩිකිරීමෙහිලා ක්‍රියාකාරී බවින් යුක්ත වේ.

තව දුරටත් දේශගුණ විපර්යාසය උග්‍රවීම වැලක්වීමට නම් හරිතාගාර වායු විමෝචනය නැවත්වීම හෝ පාලනය කිරීම සිදුකල යුතු අතර ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග දේශගුණ විපර්යාස අවමකරගැනීම යටතට ගැනේ.

මේ අතර අනුහුරුවීම (Adaptation) යනුවෙන් අදහස් වන්නේ දේශගුණ විපර්යාසයේ ඝෘජු හෝ වක්‍ර ප්‍රතිඵල ලෙස හටගන්නා අහිතකර පාරිසරික තත්ත්ව හමුවේ  සාර්ථකව ජීවත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. ප්‍රබල සුළි කුණාටු, මුහුද ගොඩගැලීම්, අධික වර්ෂාව, ජල ගැලීම්, නායයෑම්, නියඟයන්, ජෛව විවිධත්වයට හානිවීම්, බෝග අස්වැන්න අඩුවීම්, කරදිය මිරිදිය මිශ්‍ර වීම, රෝග ව්‍යාප්තීන්, අසාමාන්‍ය ඝෘතු වෙනස්වීම් ආදී පාරිසරික ගැටළුවලට වර්ථමානයේ අපට නිරන්තරයෙන් මුහුණ දීමට සිදූව ඇත. එමගින් ඇතිවන බලපෑම් වලට මුහුණ දෙමින් නොනැසී ජීවත්වීම මේ වනවිට සමස්ත ලෝකවාසීන්ම මුහුණදී සිටින අභියෝගයයි.

දේශගුණික විපර්යාස ලොව විවිධ රටවල හා විවිධ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විවිධ ආකාරයේ බලපෑම් එල්ල කරයි. උදාහරණයක් වශයෙන් වෙරළබඩ ජනයාට මුහුදු ඛාදනය හේතුවෙන් තම නිවාස හා යටිතල පහසුකම් අහිමිවේ. එය වැලැක්වීම සඳහා දිය කඩන ඉදිකිරීම වැනි ඉංජිනේරුමය විසඳුම් ක්‍රියාත්මක කිරීම හෝ කඩොලාන වගා කිරීම වැනි ජෛව විද්‍යාත්මක විසඳුම් ක්‍රියාත්මක කිරීම අනුහුරුවීම ලෙස දැක්විය හැකිය. එසේම නියඟය හේතුවෙන් කෘෂිකර්මාන්තයට එල්ලවන බලපෑම අවම කරගැනීම සඳහා ජල සංරක්ෂණ ක්‍රම හඳුන්වා දීම හා නියං ප්‍රතිරෝධී බීජ වර්ග සැපයීම අනුහුරුවීම ලෙස දැක්විය හැකිය.

දේශගුණ විපර්යාසයට එරෙහිව සිදුකරන අරගලයේදී මෙම උපායමාර්ගික අවි දෙවර්ගයම අපට ඉතා වැදගත් වේ.