Saturday, December 22, 2018


ශ්‍රී ලංකාව ගෝලීය දේශගුණ අවධානම් දර්ශකයේ දෙවැනි තැනට,
අප තවත් බලා සිටිමුද !


දේශගුණ විපර්යාස හේතුවෙන් උත්සන්න වන ආන්තික කළගුණ විපත් මගින් වැඩිම අවධානමට ලක්වූ රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ පවතින බව Germanwatch ආයතනය විසින් ඊයේ (04) දින එළිදක්වන ලද ‘ගෝලීය දේශගුණ අවධානම් දර්ශකය - 2019’ (GLOBAL CLIMATE RISK INDEX 2019) වාර්තාව මගින් හෙළිදරව්කර ඇත. 1998 වසරේ සිට 2017 වසර දක්වා සිදුවූ ලොව විවිධ රටවලට බලපෑ සුළිසුලං, ජලගැලීම් වැනි ආන්තික දේශගුණ විපත් මගින් සිදුවී ඇති බලපෑම අධ්‍යනය කිරීම මගින් මෙම දර්ශකය සකස්කර ඇත. පසුගිය වසරේ ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ සිව් වැනි ස්ථානයේ පසුවූ අතර මේ වනවිට එයින් තවදුරටත් ඉදිරියට පැමිණ ලොව වැඩිම දේශගුණ අවධානමක් සහිත රටවල් අතර දෙවැනි තැනට ශ්‍රී ලංකාව පත්ව ඇත. නමුත් එසේ තිබියදී රටක් වශයෙන් තවමත් අප දේශගුණ විපර්යාසයේ හා එමගින් උත්සන්න වන ආන්තික කාලගුණ විපත්වල අහිතකර බලපෑමට මුහුණදීමට අවශ්‍ය නිසි ප්‍රතිපත්තිමය යොමුවක් හෝ ජාතික මට්ටමේ වැඩ පිළිවෙලක් අප රටට නොමැති බව අප අවධාරණය කරමු. මේ හේතුවෙන් දිනෙන් දිනම සංඛ්‍යාත්මකව ඉහළ යන, එසේම එන්න එන්නම ප්‍රචණ්ඩ වන කාලගුණ විපත් හමුවේ විපිළිසරවීම හැර අපට ජාතියක් ලෙස සිදුකිරීමට වෙනත් කිසිවක් ඉතිරිව නොපැවතීම කණගාටුවට කරුණකි.

2017 වසරේ මැයි මාසයේ ශ්‍රී ලංකාවට ලැබුණු අධික මෝසම් වර්ෂාව හේතුවෙන් සිදුවූ ජලගැලීම් හා නාය යාම් හේතුවෙන් 60 000 ක් පමණ පිරිසක් අවතැන්වූ අතර ජීවිත රැසක් රටට අහිමි විය. එමගින් දිස්ත්‍රික්ක දොළහකට බලපෑම් එල්ලවූ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් 20 000 ක පමණ ජනතාවක් අවතැන් විය. එසේම එමගින් රටේ ආර්ථිකයට සිදුවූ පාඩුවද සුළුපටු නැත. දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට වැඩි වශයෙන් මුහුණ දෙන නිවර්තන කලාපයේ පිහිටීම හේතුවෙන් ශ්‍රී ලංකාවට දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට නිරන්තරයෙන් මුහුණදීමට සිදුවේ. නමුත් එම බලපෑම් අවමකර ගැනීමට හා ඊට අනුහුරුවීමට රටක් ලෙස අප කටයුතුකර ඇත්තේ ඉතා අල්ප වශයෙන් බව කිවයුතුය. රටේ සංවර්ධනය තිරසාර ආකාරයෙන් පවත්වාගෙන යාමට නම් අප ශ්‍රී ලංකාවේ සියළුම සංවර්ධන අංශයන් දේශගුණ විපර්යාසයට අනුගත කලයුතුය. නමුත් මේ දක්වා එසේ සිදුකර ඇති බවක් පෙනෙන්නට නැත. එමගින් සිදුවන්නේ දේශගුණ විපර්යාසයේ බලපෑම් එල්ලවන සෑම අවස්ථාවකම අපට කරකියාගත හැකි දෙයක් නොමැති වීමය.

දේශගුණ විපර්යාස හේතුවෙන් එල්ලවන බලපෑම් නිසා මෙම මිහිතලය මත ජීවත්වීම  1970 දශකයට වඩා පස් ගුණයකින් අවධානම් සහගතවී ඇති බව වාර්තාවක් එළි දක්වමින් ලෝක කාලගුණ සංවිධානයද මීට පෙර ප්‍රකාශ කර තිබුණි. 1970 දශකයේ ගංවතුර, නියඟ, කුණාටු හා උණුසුම් වායු ධාරා වැනි විපත් 743ක් මගින් පෘථිවියේ ජනතාවට බලපෑම් එල්ලවී ඇති අතර විසිඑක්වැනි සියවසේ මුල් දශකය වනවිට එම විනාශයන් ප්‍රමාණය 3496ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම සංවිධානය අනාවරණය කල අතර ඒ සඳහා දේශගුණ විපර්යාසය සෘජුව වග කිව යුතු බව ඔවුන් තහවුරු කර තිබේ.

ගංවතුර, නියං, නාය යාම්, කුණාටු වැනි විපත් වලින් ශ්‍රී ලංකාවේ අපටද පසුගිය කෙටි කාල සීමාව තුලදී පවා නිරන්තරයෙන් අමිහිරි අත්දැකීම් ලැබීමට සිදුවූ බව නොරහසකි. මෙවැනි විපත් සාමාන්‍ය ව්‍යවහාරයේදී අප හඳුන්වන්නේ ස්වභාවික විපත් යනුවෙනි.  නමුත් දේශගුණ විපර්යාසයන්  උත්සන්න කිරීමට වගකිව යුත්තේ මිනිසුන් වන අපම බැවින්ද දිනෙන් දින ස්වභාවික විපත් සිදුවීම් ඉහළ යාමට දේශගුණ විපර්යාසය සෘජුව බලපා ඇති බැවින්ද තව දුරටත් එකී විපත් ස්වභාවික විපත් ලෙස හැඳින්වීමේ කිසිඳු යුක්ති සහගත බවක් නොමැත.

දේශගුණ විපර්යාසය හේතුවෙන් පරිසර උෂ්ණත්වය ඉහළ යාම නිසා වායු ගෝලයට වාෂ්පීකරණය වන ජලය ප්‍රමාණය ඉහළ යන අතර එමගින් බරපතල කුණාටු හා සුළිසුලං ඇතිවීම සිදුවේ. වායුගෝලයේ හා සාගර මතුපිට උෂ්ණත්වය ඉහළ යාම මගින් සුළං වේගය වැඩිවීම නිවර්තන සුළි කුණාටු වල විනාශකාරී බලය ඉහළ යාමට හේතුවී ඇති බවට මේ වන විට සාක්ෂි ලැබී තිබේ. සුළිසුලං හා චණ්ඩමාරුත මගින් ලොව පුරා විවිධ රටවලට විශාල ආර්ථික බලපෑම් එල්ලකර ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයට පවා බරපතලම ආර්ථික බලපෑම් එල්ලකරන ලද ස්වභාවික විපත් පහම සුළිසුලං බව කිවහොත් බොහෝ දෙනෙකු විමතියට පත්වීමටද පිළිවන. ඇන්ඩෘව් (1992), කැත්රිනා (2005) හා සැන්ඩි (2012) වැනි සුළිසුලං ඒ අතර වේ. එමගින් සිදුවූ ආපදාව ඇමරිකන් ඩොලර් බිලියන 294ක් බව ගණන් බලා ඇත. පරිසර උෂ්ණත්වය ඉහළ යාම නියං ඇතිවීමට ද හේතුවී ඇති අතර මෑත ඉතිහාසයේ බලපෑ බිහිසුණුම නියං තත්වය හේතුවෙන් 1970 -1980 කාල සීමාව තුල නැගෙනහිර අප්‍රිකාවේ ලක්ෂ හයක ජනතාවක් මරණයට පත්විය. දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් මුහුදු මට්ටම ඉහළ යාම මගින් සාමාන්‍යයෙන් රළ පහරේ පලපෑමට නතු නොවන ප්‍රදේශ පවා රළ පහරට හසුවන අතර මුහුදු රළ වල ඛාදන හැකියාව වැඩි වීම නිසා වෙරළබඩ ප්‍රදේශ වලට දැඩි බලපෑම් එල්ලවේ. වෙරළාසන්න ප්‍රදේශ වලට එල්ලවූ ස්වභාවික විපත් වලින් 2010 වසර තුලදී පමණක් නගර 136කට ඇමරිකන් ඩොලර් බිලියන 6ක අලාභයක් සිදුවී ඇත.

මේ ආකාරයෙන් ලොව පුරා මෙන්ම අපේ රටේද ඇතිවන බරපතල ව්‍යසනයන් හමුවේ ජනතාව අහසට දෑත් විහිදා සොබාදහමට ශාප කිරීම මින් ඉදිරියට පලක් වන්නේ නැති බව අප තරයේ සිහි තබා ගත යුතුය. ඒ මන්ද යත් පෘථිවි ගෝලයේ දේශගුණ රටාව වෙනස් කර, දේශගුණ විපර්යාසය උත්සන්න කිරීමට වැරදි කරුවෝ අපම වන බැවිනි. එමගින් ඇතිවන විපත් අප විසින්ම කැඳවා ගත් විපත් විනා සොබාදහමේ සැහැසිකම් නොවන බැවිනි. දේශගුණ විපර්යාස හේතුවෙන් ස්වභාවික විපත් ඇතිවීමේ සුලභතාවය වැඩිවී ඇතිවා සේම ඒවායේ විනාශකාරීත්වයද දිනෙන් දිනම ඉහළ යමින් පවතින බව පර්යේෂණ මගින් අනාවරණය කර තිබේ. එමගින් මිනිසා ඇතුළු මුළුමහත් පෘථිවි ගෝලයටම එල්ලවන  බලපෑම තව තවත් තීව්‍ර වනු මිස අඩුවීමක් නම් සිදු නොවේ.

දේශගුණ විපර්යාස මගින් උත්සන්න වන ස්වභාවික විපත් හේතුවෙන් වර්ෂ 2020වන විට ලොව පුරා බිලියන 1.3ක ජනකායක් හා ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 158ක වත්කම් අනතුරේ වැටෙනු ඇති බවට ලෝක බැංකුවද අනතුරු අඟවා ඇත. ඒ අනුව පස් ගුණයක් අවධානම දරාගනිමින් ඉදිරියටත් පෘථිවි ගෝලයේ ජීවත්වීමට අපට අවශ්‍යනම් අප විසින් වහ වහා දේශගුණ විපර්යාසයන් පිටු දැකීමට කටයුතු කල යුතු අතරම ඒ සඳහා අනුහුරුවීමද අත්‍යාවශ්‍යය. විපතක් සිදුවූ විට පමණක් කරළියට පැමිණෙන ආපදා කළමනාකරණය වෙනුවට නිරන්තර අවදියෙන් සිටින තුන්කල් දැක්මක් සහිත ආපදා පෙර සූදානම් ක්‍රමවේදයක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවයකි. එසේම නාය යම් සංවේදී ප්‍රදේශ, ගංගා නිම්න හා පහත්බිම් වල භූමි පරිභෝජන රටාවද විපත් ඇතිවීම වලක්වන හෝ අවම කරන ආකාරයේ වීමද වැදගත්ය. කාලයාගේ ඇවෑමෙන් ගංවතුර බැස ගිය විට සියල්ල මතකයෙන් මැකී යාමට ඉඩ නොදී මේ පිළිබඳව ගැඹුරින් කල්පනා කිරීම හා ක්‍රියා කිරීම ඔබේද මගේද අනාගතය තීරණය කරනු ඇත. ‘ගෝලීය දේශගුණ අවධානම් දර්ශකය - 2019’ මගින්ද නැවත නැවතත් අවධාරණය කරන්නේ එයය.

ඒ සඳහා රටක් වශයෙන් අප සියළු දෙනාගේ කැපවීම අත්‍යාවශ්‍ය ය. පාලකයින් හා ප්‍රතිපත්ති සම්පාදකයින් රටේ අනාගතය හා සංවර්ධනයේ දිශානතිය තීරණය කිරීමේදී මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතුය. කාර්මික, කෘෂිකර්ම, සෞඛ්‍ය, සමාජ සුභසාධන හා ධීවර ආදී සියළු ක්ෂේත්‍ර දේශගුණ විපර්යාසයේ ගොදුරු බවට පත් නොවීමට අවශ්‍ය අනුහුරුවීම (Adaptation) හා ප්‍රතිසංස්කරණ අවශ්‍යය. ඒ සඳහා පවතින ආණ්ඩු අසමත් වේ නම් තමන්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් ඒ සඳහා අරගල කිරීම ජනතාවගේ යුතුකමය. එසේ නොකළහොත් දේශගුණ අනාථයින් වශයෙන් අප සියළු දෙනාටම මේ රට හැර යාමට සිදුවන දිනය වැඩි ඈතක නොවේ.

මෙම සම්පුර්ණ වාර්තාව පහත දිගුව මගින් ලබාගතහැක: https://germanwatch.org/sites/germanwatch.org/files/Global%20Climate%20Risk%20Index%202019_2.pdf