Friday, April 29, 2016

ලෝක කම්කරු දිනයේ අභියෝගය

මෙවර ලෝක කම්කරු දිනයේ අපේ රටේ සහෝදර කම්කරු ජනතාවට පැනනැගී ඇති ප්‍රධානම ගැටළුව වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින් ශ්‍රී.ල.නි.ප. මැයි රැළියට සහභාගී වනවාද නැතිනම් වෙනත් මැයි රැළියක් පවත්වනවාද යන්න විය යුතුය. බොහෝ මාධ්‍ය ආයතන වලට ද ඇති ප්‍රධාන රාජකාරිය එම ගැටළුවට විසඳුම් සෙවීමය. එබැවින් දේශගුණ විපර්යාස හේතුවෙන් තම රටේ ශ්‍රම බලකායට එල්ලවී ඇති පීඩනය පිළිබඳව කතා කිරීමට කිසිවෙකුත් නොමැතිවීම රටක් ලෙස අප ලැජ්ජා වියයුතු කරුණකි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා විවිධ ප්‍රදේශවල ජීවත්වන කම්කරු ජනතාව දේශගුණ විපර්යාස හේතුවෙන් පරිසර උෂ්ණත්වය ඉහළ යාම, ආන්තික කාලගුණ තත්වයන් සුලභ වීම වැනි බලපෑම් හේතුවෙන් හිංසාවට ලක්ව ඇතිබව අප අවධානරණය කරමු.

බොහෝ විට දේශපාලන පුළුවන්කාරකම් පෙන්වීම සඳහා දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරන කම්කරු දින සැමරුම් වලට බමන මතින් පැමිණ හුරේ දමනවා හැරෙන්නට කම්කරු ජනතාව ලෙස තමන්ට මුහුණදීමට සිදුවී ඇති සැබෑ අභියෝග ගැන අපේ රටේ කම්කරු සහෝදරයින් ද කල්පනා කරනවා නම් දේශගුණ විපර්යාසය මගින් ඇතිකෙරෙන බලපෑම පිළිබඳවද ඔවුන්ගේ නිසැක අවධානය යොමුවිය යුතුමය. දේශගුණික විපර්යාසවල බලපෑම සුළුවෙන් තැකීම හෝ ඒ පිළිබඳව ඇති නොදැනුවත්කම නොවන්නට සැබෑ ලෙසම ලොව පුරා විවිධ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද ආයතනගත මෙන්ම ඉන් පරිබාහිර ක්ෂේත්‍ර වලට රැකියා කරන කම්කරු ජනතාව දේශගුණ විපර්යාසයේ බලපෑම් නිසා අවධානමට ලක්වී සිටිති. හදිසි අවස්ථා, ගිනි නිවීම්, සෞඛ්‍ය, සනීපාරක්ෂක, ප්‍රවාහන හා කෘෂිකාර්මික ආදී ක්ෂේත්‍ර වල සේවකයන් ඒ අතර ප්‍රධාන වේ. දේශගුණ විපර්යාස හේතුවෙන් දැනටමත් අප ගෝලීය වශයෙන් විවිධ ක්ෂේත්‍රයන්හි මුහුණදෙමින් සිටින අවධානමට අමතරව, බලාපොරොත්තු නොවූ නව අවධානම් තත්ත්වයන්ද ඇතිවිය හැක. දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) ඔවුන්ගේ පස්වන තක්සේරු වාර්තාවේ දේශගුණ විපර්යාසය මගින් වෘත්තීය, සෞඛ්‍ය හා ආරක්ෂණයට එල්ලවිය හැකි බලපෑම පිළිබඳව විශේෂයෙන් සැලකිල්ල යොමුකර ඇත්තේ එබැවිනි. 2016 අප්‍රේල් මස 22 වන දින, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 175 කට අධික සංඛ්‍යාවක් අත්සන් කරනු ලැබූ දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතිය මගින්ද මෙම තත්ත්වය අවධාරණය කර ඇත.

සාමාන්‍ය පරිසර උෂ්ණත්වය ඉහළයාම, වායු දුෂණය හා ආන්තික කාලගුණ තත්ත්ව වැනි දේශගුණ විපර්යාසයේ සෘජු බලපෑම් වලින් වැඩබිමේ ජනතාවට දැඩි තර්ජන එල්ලවේ. එසේම එහි වක්‍ර බලපෑම් නිසා ඇතිවන බෝවන රෝග අවධානම වැඩිවීම, කර්මාන්තවල වෙනස්කම් ඇතිවීම, අධික ලෙස රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමට සිදුවීම හා වැඩකරන පරිසරයේ සිදුවන වෙනස්කම් මගින්ද කම්කරු ජනතාව පීඩාවට ලක්වන අතර මෙහි විශාලම ගොදුර බවට පත්වන්නේ දින වැටුප් ලබන කම්කරුවන් සහ තමන්ට නුහුරු පරිසරයක සේවය කරනා ශ්‍රමිකයන් ය.

දැඩි උෂ්ණාධික පරිසරයක වැඩි වේලාවක් වෙහෙසකර කටයුතුවල නිරතවීමට සිදුවීමෙන් ශ්‍රමිකයින් උණුසුම් ආතතියට (Heat Stress) ලක්වන බව දැනටමත් පිළිගත් සත්‍යයකි. ඉක්මනින් තෙහෙට්ටුවට පත්වීම, පාරිසරික වෙනස්කම් දරාගැනීමට ඇති හැකියාව අඩුවීම හා ශරීරය අකර්මන්‍යවීම (ආඝාතය) වැනි තත්ත්වයන් මේ හේතුවෙන් ඇතිවේ. තවද උණුසුම මගින් ඇතිවන අසහනය හේතුවෙන් අපරික්ෂාකාරීවීම නිසා ශ්‍රමිකයින් හදිසි අනතුරුවලට ලක්වීමේ අවධානමද ඉහළ යයි.

උෂ්ණත්වය ඉහළයාමත් සමගම වායු දුෂණ තත්ත්ව ඉහළයාම මගින්ද වැඩකරන ජනතාවගේ සෞඛ්‍යට තර්ජන එල්ලවේ. උදාහරණයක් ලෙස පහළ වායුගෝලයේ ඕසෝන් වායු සාන්ද්‍රණය ඉහළයාම දැක්විය හැකිය. දීර්ඝකාලීනව බාහිර පරිසරවල දහදිය හෙළන කම්කරුවන් මෙම වායු දුෂණය හේතුවෙන් ස්වසන රෝග හා අසාත්මිකතා තත්ත්වයන්ට ගොදුරුවීම සිදුවේ. එසේම ප්‍රමාණවත් වාතාශ්‍රය නොලැබෙන ස්ථානවල ඇති ජනන යන්ත්‍ර හා එන්ජින් සමග කටයුතු කරන ශ්‍රමිකයන්ට කාබන් මොනොක්සයිඩ් වායුව විෂවීමෙන් ඇතිවන බලපෑම් උග්‍ර විය හැක.

දේශගුණ විපර්යාස සමග ඉහළයන ගංවතුර, නාය යෑම්, කුණාටු, අකුණු, නියං වැනි විපත් යටතේ කටයුතු කිරීමට සිදුවීම මගින් ඒ සමග බද්ධවී ඇති මරණ, තුවාල, රෝග, සහ මානසික ආතතිය මගින්ද කම්කරුවන් ජීවිත අවධානමට ලක්වේ. විශේෂයෙන් ආපදා සහන සේවා වල යෙදී සිටින පුද්ගලයන්ට මෙමගින් වැඩි බලපෑම් එල්ලවේ. ආන්තික කාලගුණ විපත් මගින් කර්මාන්තශාලා හා යටිතල පහසුකම්වලට හානිවීම නිසා සේවකයන් රැකියාවට සම්බන්ධවූ හදිසි අනතුරු වලට ලක්වීමේ වැඩි අවධානමක් ඇතිවේ. දේශගුණ විපර්යාස මගින් ඇතිකරන ආන්තික කාලගුණ තත්ත්ව නිරන්තරව ඇතිවීම නිසා ඒවාට මුහුණදෙන ශ්‍රමිකයින් ප්‍රචණ්ඩකාරී වීම හා මානසික රෝග වලට ගොදුරුවීම ද සිදුවේ.

උෂ්ණත්වය වෙනස් වීම සහ වර්ෂාපතනය මගින් රෝග ව්‍යාප්ත කරන රෝග කාරකයින්, වාහකයින් හා ධාරකයින් ගේ ව්‍යාප්තිය ඉහළයාම සහ අසාත්මිකකාරක සුලභවීම ද සිදුවේ. එමගින් බෝවන රෝග වල ව්‍යාප්තිය වැඩිවන අතර ශ්‍රමිකයන්ගේ සෞඛ්‍යයට ඇතිවන තර්ජන වැඩිවේ.

දේශගුණ විපර්යාසයේ බලපෑම් හේතුවෙන් අවධානමට ලක්විය හැකි ශ්‍රමික කණ්ඩායම් හඳුනාගෙන ඔවුන්ගේ ජීවිත වලට එල්ලවී ඇති වෘත්තීය, සෞඛ්‍ය හා ආරක්ෂණ අවධානම අවමකිරීම හා ඊට අනුහුරුවීම සඳහා ශ්‍රමිකයින් බලගැන්වීමට අවශ්‍ය උපායමාර්ග, ප්‍රතිපත්ති හා නීති රීති සකස්කිරීම පාලකයන්ගේ යුතුකම හා වගකීමය. අවස්තාවාදීන්ගේ දේශපාලන උගුල් වලට හසුනොවී තමන්ට සැබෑ ලෙසම මුහුණදීමට සිදුවී ඇති මහපොළොවේ යථාර්තයට ඔරොත්තු දෙන ආකාරයෙන් තම වැඩබිම සකසා දෙන ලෙස ආණ්ඩුවට බලකර සිටීමට මෙම කම්කරු දිනයේදී වත් අපේ රටේ කම්කරු සහෝදරවරුන් උනන්දුවන්නේ නම් අගනේය.

Friday, April 22, 2016

මිහිතලයේ රක්ෂණාවරණය
වනාන්තර වෙනුවෙන් සිදුකරන ආයෝජනය මිහිතලයේ අනාගතය සඳහා රක්ෂණාවරණයකැයි එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බැන් කි-මූන් මහතා කියා සිටියේ පසුගිය මාර්තු 21 වැනිදාට යෙදී තිබුණු ජාත්‍යන්තර වනාන්තර දිනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමිනි.
සැබෑ ලෙසම මිහිතලයේ පැවැත්ම රඳා පවතින පදනම වන වනාන්තර හා වනාන්තර වලින් බැහැරව පවතින වෘක්ෂ ලතා වලින් පවා මිනිසා ඇතුළු සුවහසක් ජීවී ප්‍රජාවට ඉටුකරනු ලබන මෙහෙවර අතිමහත් නමුත් ලෝකයේ බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද වනාන්තර වල ඇති වටිනාකම තවමත් හරි හැටි වටහාගෙන ඒ අනුව ක්‍රියා නොකරන බවනම් ඉතා පැහැදිළිය.
මිහිතලයේ තුනෙන් එකක් වසා පැතිරුණු වනාන්තර මත යැපෙමින් තම ජීවිකාව සරිකර ගන්නා ජනතාව බිලියන 1.6 ඉක්මවයි. එමගින් සුරැකී ඇති ආදිවාසී ජන සංස්කෘතීන් ගණන දෙදහසකට වැඩිය. වනාන්තර මත පදනම්වූ හා එමගින් ආරක්ෂාව සලසා ගන්නා මිනිස් ප්‍රජාවන් වලට පමණක් නොව නාගරිකව ජීවත්වන ජනතාවට පවා වනාන්තර මගින් මිනිසාගේ මූලික අවශ්‍යතා වන ජලය, ආහාර හා වාසස්ථාන සැපයීම සිදුකරයි.
මිනිසාට ලඟාවිය හැකි මට්ටමේ පවතින පිරිසිඳු මිරිදිය ජලයෙන් සියයට හැත්තෑ පහක්ම (75%) සැපයෙන්නේ වනාන්තර හා තෙත්බිම් ජලපෝෂක ප්‍රදේශ වලිනි. ලොව ඇති මහා නගර වලින් තුනෙන් දෙකක්ම තමන්ගේ පානීය ජල අවශ්‍යතාවය ප්‍රධාන වශයෙන් සපුරා ගන්නේ වන රක්ෂිත පදනම් කරගෙන වන අතර පිරිසිඳු ජලය ලබා දෙන පෙරනයක් ලෙස ක්‍රියා කිරීමට වනාන්තර වලට ඇති මහා හැකියාව අසිරිමත්ය.
එසේම අහිතකර පරිසර තත්වයන්ට ප්‍රත්‍යස්තව මුහුණදීමට  අවශ්‍ය හැකියාව ගොඩනැගීමට හා වඩාත් ශක්තිමත් කිරීමට වනාන්තර මගින් සිදුකෙරෙන කාර්යභාරය තීරණාත්මකය. අහිතකර කාල සමයන්හිදී මිනිසාගේ පැවැත්මට අවශ්‍ය බොහෝ දෑ වනජ ද්‍රව්‍ය මගින් ලබා ගැනීමට හැකිවීම එම තත්වය ඇතිවීමට හේතුවේ.
තවද මිහිතලය මේ වනවිට මුහුණදෙමින් සිටින දේශගුණ විපර්යාසයේ අඳුරු බලපෑම් අවමකරගැනීම සඳහා ද වනාන්තර මගින් ලැබෙන දායකත්වය වෙනත් කිසිවෙකුටත් ලබාදීම උගහටය. වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු වර්ග අවශෝෂණය කරගෙන මිනිසාගේ පැවැත්මට අවශ්‍ය ඔක්සිජන් හා ජලය ලබා දී දේශගුණ විපර්යාස අවම කරන්නේ ගස් වැල් පමණි.
මිහිමත ඇති ජෛව විද්‍යාත්මකව වැඩිම විවිධාන්ගීකරණයකට ලක්වූ පරිසර පද්ධති විශේෂය වන වනාන්තර මගින් ගොඩබිම වසන ශාක හා සත්ව විශේෂ වලින් සියයට අසූවකට (80%) නිවහන සපයයි.
කෙසේ නමුත් ඉහතකී අතිවිශාල සමාජාර්ථික, පාරිසරික හා සෞඛ්‍ය ප්‍රතිලාභ පසෙකලා ගෝලීය වශයෙන් සිදුකෙරෙන වනාන්තර විනාශය ඉතා භයානක සීග්‍රතාවයකින් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී. එම ප්‍රමාණය වසරකට හෙක්ටයාර් මිලියන 13ක් පමණය. එම වනාන්තර විනාශය දේශගුණ විපර්යාසයන් ඇතිවීමට හේතුවන හරිතාගාර වායු විමෝචනයට සියයට 12 - 20 ත් අතර ප්‍රමාණයකින් දායකවේ.
ශ්‍රී ලංකාව ද ලෝකයේ වනාන්තර විනාශය සම්බන්ධයෙන් නම් දරා සිටින අතර මෙරට වන සම්පතට මරු පහරක් එල්ලවුනේ ඉකුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී බව නොරහසකි. කිසිඳු සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව නීති අනපනත් පවා සැලකිල්ලට නොගෙන දිවයින පුරා හෙක්ටයාර් දසදහස් ගණනින් වනාන්තර ඉඩම් විවිධ ව්‍යාපෘති සඳහා එකල විනාශ කෙරිණි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට පින් සිදු වන්නට උතුරු නැගෙනහිර දෙපලාතේ එතෙක් රැකී තිබු වියලි කලාපීය වනාන්තර ඉඩම් අති මහත් බහුතරයක් ද ඒ අතර විය (ලියුම්කරු කොටි සංවිධානයට ආවඩනවා නොවේ). ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අනුව 2000 – 2005 කාලසීමාව තුල ලෝකයේ වැඩිම ප්‍රාථමික වනාන්තර සංහාරය කල රටවල් අතර හතරවැනි තැන අප රටට හිමි වුනේ මෙකී රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකෙරුණු වනාන්තර හායනය හේතුවෙනි. නිල්ගල ඌව පතන් බිම් වනසමින් එවක ආණ්ඩුව නියෝජනය කල ඇමතිවරයෙකුගේ ගෝල බාලයින් විසින් සිදුකෙරුණු වන විනාශය වැලැක්වීම සඳහා ගස් පැවිදි කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමටද පරිසර ක්‍රියාකාරීන්ට සිදුවිය. මෙම වන සංහාරය රටට  අනාවරණය කිරීම හේතුවෙන් ලියුම්කරුට “බුද්ධදාස රජ්ජුරුවන්ගේ නයා” ලෙස ප්‍රසිද්ධියේ පරිභව කිරීමටද එකී ඇමතිවරයා කටයුතු කල ආකාරය මේ මොහොතේ සිහියට නැගේ.

එම විනාශයෙන් රට මුදවා ගන්නා බව පවසමින් බලයට පැමිණි වර්තමාන පාලනයද වනාන්තර සංරක්ෂණය සම්බන්ධයෙන් මේ දක්වා කල කී දෑද සාධනීය මට්ටමක නොමැති බව කිව යුතුය. ඉකුත් ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන  “පුනරුදය” තුන් අවුරුදු කඩිනම් පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන යටතේ 2018 වන විට මෙරට වන ගහනය හෙක්ටයාර් 6000කින් ඉහළ දැමීමට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කළේය. වර්තමාන සංඛ්‍යාලේඛන අනුව පෙනී යන්නේ මෙරට වසරකට හෙක්ටයාර් 4000ක් පමණ වනාන්තර විනාශකිරීම සිදුවන බවය.  වනාන්තර ආවරණය ඉහළ දැමීමට නම් මුලින්ම එම වාර්ෂික වන විනාශයට තිත තැබිය යුතුය. ඉන් පසු දෙවැනි අධියරය යටතේ නැවත වන වගාකර ජනාධිපතිවරයා අපේක්ෂා කරන මට්ටමට වන ගහනය ඉහළ දැමීම සිදුකළ හැකිය. නමුත් මේ දක්වා එසේ වන විනාශයන් නැවැත්වීමට බලධාරීන් අපොහොසත් වී ඇත අතර ආණ්ඩුවේ ප්‍රභලයින් පවා වන රක්ෂිත වනසන ආකාරය හෙළිදරව් විය.

ඒ කෙසේ වෙතත් මිහිතලයේ පැවැත්ම තහවුරු කරගැනීමට ඇති එකම මග වනාන්තර රැකගැනීම බව මේ මොහොතේ හෝ පාලක කාරකාදීන් වටහා ගන්නේ නම් මැනවි.

Wednesday, April 20, 2016

ජල සංරක්ෂණය

පසුගියදා පොළොන්නරුව ඓතිහාසික ගල්විහාර පුදබිමේ පැවති අලුත් සහල් මංගල්‍ය අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලේ ඉදිරි කාලයේ දී පැවතිය හැකි වියළි කාලගුණය නිසා ජලාශවල ජල මට්ටම් අඩුවීම සිදුවිය හැකි බැවින් නිසි කළමනාකරණයක් මත පවතින ජලය භාවිත කිරීමට ගොවි ජනතාව කටයුතු කළ යුතු බවය. පවත්නා වියළි දේශගුණය නිසා ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බසින හෙයින් අප්‍රේල් 01 දින සිට යල කන්නයේ වගා කටයුතු සඳහා ජලය නිකුත් කළ යුතුව තිබූ නමුත් පරාක්‍රම සමුද්‍රය වැනි ජලාශවල ගොවි සංවිධාන නියෝජිතයන් එම තීරණයට විරුද්ධවීම නිසා ජලය නිකුත් කිරීම අප්‍රේල් 18 වැනිදා දක්වා කල් දමන ලදී. මේ තීරණය නිසා දින 18 ක් වැනි දීර්ඝ කාලයක් වැවේ ජලය වාෂ්පවී අපතේ යාම සිදුවන බැවින් ඉදිරියේ දී ජල හිඟයක් ඇතිවී වගා විනාශ වුවහොත් ගොවි නියෝජිතයන් එහි වගකීම භාරගත යුතු බවද එහිදී ප්‍රකාශ විය.
දේශගුණ විපර්යාසය හේතුවෙන් ජනතාවට මේ වන විට පෙර නොවූ විරූ ආකාරයෙන් ආන්තික කාලගුණ තත්ත්වයන්ට මුහුණදීමට සිදුවී ඇති බව අප දනිමු. එමගින් එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා ජලය සපයා ගැනීමට බාධා එල්ලවීම විශේෂයෙන් අවධානය යොමුකළ යුතු තත්වයකි. ලෝක ජනගහණයෙන් සියයට අසූවක් (80%) තම එදිනෙදා අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් තරම් ජලය සපයාගැනීමට නොහැකිවීමේ අවධානමකට මුහුණදී සිටිති.
නිසි කලට වැසි නොලැබීම නිසා නියං සමයන් හිදී අප රටේ ජනතාවට ද උග්‍ර ජල හිඟයකට මුහුණදීමට සිදුවේ. වියලි කලාපයේ ජනතාවට පමණක් නොව අගනුවර හා තදාසන්න නලජල පාරිභෝගිකයන්ටද මෙම ඉරණම පොදුය. එසේම වර්ෂා කාලයේදී අපේක්ෂා කරන මට්ටමටත් වඩා ජලය ලැබීමෙන් ගංවතුර තර්ජන වලට මුහුණදීමට සිදුවන අතරම ජලය කොතෙකුත් පැවතියද අපවිත්‍ර තත්ත්වය හේතුවෙන් භාවිතයට ගැනීමට නොහැකිවේ.
ජලය මිනිසාගේ මුලික අවශ්‍යතාවයකි. අවශ්‍ය පරිදි ජලය සපයාගැනීමට නොහැකිවීම නිසා ආහාර නිෂ්පාදන කිරීමට නොහැකිවීම, සනීපාරක්ෂක අවශ්‍යතා ඉටුකරගැනීමට බාධා ඇතිවීම, සෞඛ්‍ය පවත්වා ගැනීමට නොහැකිවීම වැනි කරුණු නිසා ජන ජීවිතය අඩාල වේ. එසේම ලොව පුරා බිලියන 1.5 ක ජනතාවක් තම ජීවනෝපාය සරිකර ගන්නේද ජලය මගිනි (පසුගිය මාර්තු 22 වැනිදාට යෙදුනු ලෝක ජල දිනයේ තේමාව වශයෙන් “වඩාත් හොඳ ජලය - වඩාත් හොඳ රැකියා” යොදා ගැනීමටද හේතුව එයයි) .
මෙවැනි පසුබිමක් තුල අප පෙරටත් වඩා බරපතල ලෙස ජල සංරක්ෂණය පිළිබඳව උනන්දු වීම අත්‍යාවශ්‍ය ය. නමුත් ජලයේ වැදගත්කම ගැන වඩාත් හොඳින් දන්නා වියලි කලාපයට අයත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවම ජල සංරක්ෂණ සම්බන්ධයෙන් මන්දෝත්සාහී වීම කණගාටුවට කරුණකි.
ජල සම්පත රැකගැනීම හා නිසි කළමනාකරණයකින් යුක්තව භාවිතා කිරීම ජනතාවගේ යුතුකම හා වගකීම වෙයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම සැකසීම ආණ්ඩුව විසින් සිදුකල යුතුය. වසර 2500 කට එහා ගිය අතීත ශ්‍රී ලාංකීය ශිෂ්ඨාචාරය පුරාවටම පාලක හා පාලිත දෙපිරිස විසින්ම මනා අන්තර් සහයෝගයෙන් යුතුව ජල සම්පත රැකගැනීම සඳහා උරදුන් ආකාරය පිළිබඳ සාධක හමුවේ. ඒවා පිළිබඳව අවධානය යොමුකිරීමෙන් වර්තමානයේ ආණ්ඩුවට හා ජනතාවට ද උගත හැකි පාඩම් බොහෝය. ඒවා අංශ කිහිපයක් යටතේ සාකච්ඡා කල හැකිය. වැව් හා වාරිමාර්ග පද්ධති ගොඩනැගීම, ජල සංරක්ෂණයට හිතකර භූමි පරිහරණ රටාව,  ජල සංරක්ෂණය හා බැඳුනු සංස්කෘතික පරිසරය හා නීති රීති පැනවීම යන අංශ ඒ අතරින් ප්‍රමුඛවේ.
ජලය සංරක්ෂණය කර වර්ෂා රහිත කාලයේදී ප්‍රයෝජනයට ගැනීමට ගබඩා කර තැබීම සඳහා නිර්මාණය කල වැව් පද්ධති (Tank cascade systems) ආශ්චර්යවත් නිමැවුමකි. මෑත යුගයේ බටහිර සංකල්ප ඔස්සේ ඉදිකෙරුණු විශාල ජලාශ රොන්මඩ තැන්පත්වී පිරිහී යද්දී වසර දහස්ගණනකට පෙර සිට පැවත එන වැව් පද්ධති තවමත් දැයට ජලය සපයයි. වර්තමාන පාලකයන්ට සිදුකරන්නට ඇත්තේ ඒවා රැකගැනීම පමණි.
අතීත ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජධානි බොහොමයක් ස්ථාපනය කෙරුනේ පහතරට ප්‍රදේශ වලය. ඒ සඳහා මධ්‍යම කඳුකරය භාවිතා නොකළේ, ජලපෝෂක ප්‍රදේශ වශයෙන් පවත්වාගෙන යාමට විය හැකිය. ගංගාවල තිඹිරිගෙය වන වනාන්තර ආරක්ෂා කරගැනීමට අතීත මුතුන්මිත්තන් විශේෂ උනන්දුවක් දැක්වූ අතර වැව් තාවුල්ලට ද අත නොතැබීය. එසේම ජලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ඔවුන් වගා කන්න තුනක් ගොවිතැන් කල ආකාරය ආණමඩුව, තෝනිගල සෙල්ලිපියේ දක්වා ඇත. අතීත ශ්‍රී ලංකාවේ ජල සංරක්ෂණයට හිතකර භූමි පරිහරණ රටාවක් ක්‍රියාත්මකවූ බවට එමගින් කදිම නිදසුන් සපයයි.
“ ගමයි - පන්සලයි, වැවයි - දාගැබයි”සංකල්පය මත පදනම්වූ අපේ රටේ ජල සංරක්ෂණය හා බැඳුනු සංස්කෘතික පරිසරයක් පැවතුනු බවට වප්මගුල, පැන් පිදීමේ පිංකම හා දියකැපීම දෙස් දෙයි. එමගින් ජලයට ගෞරව කිරීමේ සංස්කෘතියක් ජනතාව තුල මුල්බැසගෙන තිබුණු බව පැහැදිළිවේ.
එසේම බෙත්මේ සිරිත් හා කන්න රැස්වීම් වැනි සම්ප්‍රදායන් මගින් පමණක් නොව නීති පැනවීම මගින්ද අතීත ශ්‍රී ලංකාවේ ජල සංරක්ෂණය සිදුකෙරුණු බවට සාක්ෂි පවතී. බෙත්මේ සිරිත් මගින් වැවේ ජලය පවතින ප්‍රමාණය අනුව වගාකෙරෙන කුඹුරු ප්‍රමාණය සීමා කිරීම සිදුවිය. එසේම කන්න රැස්වීම පවත්වා යායේ සියල්ලන්ම එකම දිනයක වගා කටයුතු ආරම්භ කිරීම මගින්ද ජලය සංරක්ෂණයවේ.
අතීත ශ්‍රී ලංකාවේ රජවරුන් ජලය අපතේ හරින පුද්ගලයන් වරදකරුවන් බවට පත්කර ඔවුන්ගෙන් දඩ මුදල් අයකරගත් ආකාරය අම්පාර, කොන්ඩවටුවාන ටැම් ලිපියේ සඳහන් කර ඇත. එසේම කෘෂිකර්මාන්තයට ජලය සැපයීම වෙනුවෙන් “වී කුලිය”ක් රජයට අයකරගැනීම අනුරාධපුර රාජධානි සමයේ සිට ක්‍රියාත්මකවූ බව දක්නට ලැබේ.
දේශගුණ විපර්යාසය හමුවේ අපේ රටට මුහුණදීම සිදුවී ඇති ජල හිඟය අවමකර ගැනීම සඳහා අතීත රජ දරුවන්ගෙන් වර්තමාන පාලක කාරකාදීනටද ජල සංරක්ෂණ පාඩම් උගතහැකි බව පැහැදිළිය.  

Sunday, April 10, 2016

ගොවි රජවරුනි, අවදිවනු !

පිලිපීනයේ දකුණුදිග  Cotabato ප්‍රාන්තයේ විරෝධතාවයේ යෙදුනු එරට ගොවීන් සහ ආදිවාසීන් 6000 කට වැඩි පිරිසකට පසුගිය සිකුරාදා (2016 අප්‍රේල් 01) පොලීසිය වෙඩි තැබීය. එයින් ගොවි රජවරුන් තිදෙනෙකු අමානුෂික ලෙස ඝාතනයට ලක්විය. තවත් විශාල පිරිසක් තුවාල ලැබීය. මාස ගණනාවක් පුරා එරටට බලපවත්නා දැඩි නියඟය හේතුවෙන් ගොවීන් රැසකගේ වගාවන් විනාශ විය. ඔවුන් හා ඔවුන්ගේ දරු පවුල් මාස තුනකට වැඩි කාලයක් කුසගින්න ඉවසා සිටියහ. නමුත් මේ වනවිට නියඟය උපරිම මට්ටමින් රුදුරු වී ඇති පසුබිමක නියං ආධාර ලබා දෙන ලෙස ඉල්ලා මෙසේ වීදි බැස අරගල කරන්නට පිලිපීනයේ ගොවීන්ට සිදුවිය. එසේම මෙවැනි දැඩි නියං තත්වයන්ට මුහුණදීමට අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති හා යාන්ත්‍රණයන් සකස්කරන ලෙසද ඔවුන් මහා හඬින් ඉල්ලා සිටියහ. නමුත් එයට ආණ්ඩුවෙන් ලැබුණේ වෙඩි උණ්ඩ පමණි.

මේ දිනවල අපේ රටේ ගොවි රජවරුන්ද නිතර පාරට බැස අරගල කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. නමුත් එම ගොවි අරගලවල අරමුණු හා පිලිපීනයේ ගොවි අරගල වල අරමුණු අතර අහසට පොළොව තරම් වෙනසක් තිබේ. දේශගුණ විපර්යාසයේ බලපෑම් මේ වන විට අපේ රටටද බරපතල ලෙස දැනේ. එමගින් අපේ රටේ කෘෂිකර්මයටද එල්ලකරන්නේ මරු පහරකි. නමුත් අපේ රටේ ගොවි රජවරු තවමත් එම භයානක අවධානම පිළිබඳව කිසිඳු උනන්දුවක් නොදක්වා විදේශීය බහුජාතික සමාගම් පොහොසත් කරන පොහොට මිටිය හා කෘෂි රසායනද්‍රව්‍ය වෙනුවෙන් වීදියේ අරගලයක නිරතව සිටීම කණගාටුවට කරුණකි.

අතීතයේ “මඩ සෝදාගත් කල ගොවියා රජකමට වුව සුදුසුයැ” යි පැවසුවේ ඔවුන් ජාතියට බත සැපයූ නිසා පමණක් නොවේ. රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය දැනුම හා අත්දැකීම පවා තිබූ බුද්ධිමත් ජනතාවක් වූ බැවිනි. අද රටේ සිටින ගොවි රජවරුන් මෝඩයන් බව අප නොපවසන්නෙමු. නමුත් ඔවුන් තවමත් අඳුරු කඩතුරාවකින් දෑස් වසාගෙන කෛරාටිකයින්ගේ දේශපාලන උපායන් වෙනුවෙන් දඩමීමුන් බවට පත්වී සිටින බවනම් කිවයුතුය.

 මහා පොළොව හා ශ්‍රමය පමණක් අපට අයිති පොහොර, කෘෂි රසායන, මෙවලම් හා බීජ වර්ග ආදී සියළුම යෙදවුන් වෙනුවෙන් විදේශීය බහුජාතික සමාගම්වලට ගැති වන්නට සිදුවූ කෘෂිකර්මාන්තයක් මගින් රට බත බුලතින් ස්වයංපෝෂිත කල නොහැකි බව අපගේ ගොවි රජවරුන්ද වටහා ගත යුතුව තිබේ. එසේම මේ වනවිටත් දත් විලිස්සාගෙන සිටින දේශගුණ විපර්යාසයේ බරපතල බලපෑම් වලටද මුහුණදීමට බහුජාතික සමාගම් වලට විකල්ප නොමැති බවද සිහිතබා ගත යුතුය.

ලෝකයේම කෘෂිකර්මාන්තය තමන්ගේ ධන උල්පත බවට පත්කරගැනීම සඳහා විදේශීය බහුජාතික සමාගම් විසින් ඇටවූ “හරිත විප්ලව” උගුලේ අප තවමත් සිරවී සිටිමු. එයින් ජනතාව මුදවාලන්නට යම්කිසි උත්සාහයක් දැරෙන අවස්ථාවන් වලදී පවා බටහිර ධනවාදීන්ට විරෝධය දක්වමින් සමාජවාදයේ සළුපිළි පොරවාගත් පිරිස්ද ඊට අකුල් හෙලීම ජුගුප්සාජනකය. බහුජාතික සමාගම්වල කෘෂිරසායන ටොන් ගණනින් හලා මහපොළොව මරා දමමින් වර්තමානයේ සිදුකෙරෙන කෘෂිකර්මාන්තයට තවත් වැඩිකල් ආයුෂ නැත. අප මේ වන විට සිදුකරමින් සිටින්නේ මිය ගිය මවගේ තනපුදුවෙන් කිරි උරා බීමය. නමුත් අපට එම තෘප්තිය ලැබියහැකි වන්නේ තවත් කෙටි කාලයකටය.

දේශගුණ විපර්යාසය මගින් අපට මෙම ගැඹුරු යථාර්තය වඩාත් ඉක්මනින් වටහා දී තිබේ. නමුත් එය තවමත් අපේ රටේ ගොවි රජවරුන්ට වැටහී නැති සේය. පිලිපීනයේ ගොවි රජවරුන්ට පොලිස් වෙඩි පහරින් ලය පසාරු කරගන්නට සිදුවූයේ මන්ද? ඔවුන්ද හරිත විප්ලවයේ කොටස් කරුවෝය. නමුත් දේශගුණ විපර්යාසය හේතුවෙන් උත්සන්න වන ගංවතුර හා නියං හමුවේ තම ගොවිතැන පවත්වාගෙන යාමට ඔවුන්ට තවදුරටත් නොහැකිය. මහා පාරට බැස නියං සහනාධාර හා දේශගුණ විපර්යාසයේ බලපෑම් වලින් කෘෂිකර්මාන්තය ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා අරගල කරන්නට ඔවුන්ට සිදුවූයේ එබැවිනි.

ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවටද එම අවධානම පොදුය. දේශගුණ විපර්යාසයට මුහුණදීම සඳහා පාරම්පරික ගොවිතැන වැළඳගැනීම මිස වෙනත් විකල්පයක් නැත. පස සාරවත් කර, ජලය සංචිතකර තබා ගන්නා කාබනික පොහොර භාවිතයට අපේ රටේ ගොවි ජනතාවද හුරුවිය යුතුය. ගංවතුරට හා නියඟයට ඔරොත්තු දෙන ප්‍රතිරෝධී බීජ වර්ග සපයා ගත යුතුය. ජලය සංරක්ෂණය කල යුතුය. අවශ්‍යතාවය අනුව විකල්ප භෝග වගාවන් වෙත නැඹුරු විය යුතුය. ඊට අවශ්‍ය ප්‍රතිපත්ති හා වැඩපිළිවෙල සකස් කිරීමට රජයට බලකල යුතුය.
මේ ඒ සඳහා අරගල කලයුතු කාලය මිස පොහොර මිටිය වෙනුවෙන් අරගල කලයුතු කාලය නොවේ.

Saturday, April 9, 2016

එල් නිනෝ සහ ලා නිනා
අතීතයේදී අපේ රටේ මිනිසුන්ගේ එදිනෙදා ජීවන රටාවට බලපෑම්කලේ වර්ෂාව හා නියඟය වැනි ආන්තික දේශගුණ තත්වයන්ය. නමුත් මේ වනවිට එය වෙනස්වී පරිසර උෂ්ණත්වයද ජනජීවීතයට බලපෑම් කරමින් පවතී. මේ දින වල දහවල් කාලයේ අධික හිරු රශ්මිය හේතුවෙන් පැය දෙක තුනකට වඩා එක දිගට හිරු එළියට නිරාවරණය වෙමින් කටයුතු නොකරන ලෙස ජනතාවට අනතුරු ඇඟවීම් ලැබී තිබේ. අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශකලේ පාසැල් ක්‍රීඩා තරඟ සියල්ලද අත්හිටුවන බවයි. මීට හේතුවී ඇත්තේ වඩාත් තීව්‍ර එල්නිනෝ තත්වයක් මේ දිනවල පෘථිවි ගෝලයටම විවිධ පරිමාණයෙන් බලපෑම් එල්ල කිරීමයි. දේශගුණ විද්‍යාඥයින් පවසන්නේ මෙම සියවස තුල ආන්තික එල්නිනෝ තත්වයන් ඇතිවීම ගෝලීය උණුසුම ඉහළ යාම හා දේශගුණ විපර්යාසය හේතුවෙන් දෙගුණයකින් වැඩිවී ඇති බවයි.
ස්පාඤඤ බසින් එල්-නිනෝ (El Niño) යනු ක්‍රිස්තු දරුවායි. බොහෝවිට නත්තල් සමයේදී තම මුහුදු කලාපයේ හටගන්නා උණුසුම් ජල ප්‍රවාහය හැඳින්වීමට එල්-නිනෝ යන නම දකුණු ඇමරිකාවේ පෙරුවියානු මසුන් මරන්නන් විසින් භාවිතා කෙරිණි. එල්නිනෝ (El Niño – Southern Oscillation) යනු පේරු රාජ්‍ය ආශ්‍රිත මුහුදු තීරයේ සෑම වසර දෙකත් හතත් අතර කාලයකට වරක් අසාමාන්‍ය ලෙස උණුසුම් ජල තීරයක් ඇතිවීමය.  එමගින් වායුගෝලයේ ඇතිවන අවපීඩන තත්වයන් හේතුවෙන් පෘථිවි ගෝලයේ විශාල ප්‍රදේශයක් පුරා බලපෑම ව්‍යාප්තවී යයි.
එල්නිනෝ තත්වය නිසා වැඩිම වර්ෂාවක් පතිත වන්නේ පේරු දේශයටය. එමගින් කාන්තාරය පවා මලින් බර වී සත්ව පාලන කටයුතුද සරු වෙයි. ඊට අමතරව ඇති වන ධාරානිපාත වැසි හේතුවෙන් ගං වතුර උවදුරට මුහුණ දීමට සිදු වේ. එරට වෙරළ තීරයේ පිහිටි ෂෙකුරා කාන්තාරයේ වර්ග කිලෝමීටර 5000ක පමණ විශාල ජලාශයක් නිර්මාණයවීමට තරම් වර්ෂාපතනය විශාලාවේ. එය පේරුහි දෙවන විශාලතම ජලාශය ලෙස සැලකේ.
මෙම තත්වය හටගැනීම ආරම්භ වන්නේ නිවර්තන පැසිෆික් සාගරයේ බටහිර ප්‍රදේශයේ පිහිටි ඕස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව ආශ්‍රිතවය. එය නැඟෙනහිර පැසිෆික් සාගරයේ පිහිටි දකුණු ඇමරිකාව දක්වා පුළුල් ප්‍රදේශයක් හරහා වායුගෝලයෙහි ක්‍රියා කරයි. එල්-නිනෝ තත්වය උත්සන්නවූ විට ඒ නිසා ඇතිවන දේශගුණික වෙනස්කම් පෘථිවි තලයෙන් තුනෙන් දෙකකට බලපායි. එල්නිනෝ මගින් සුළං රටාවේ වෙනස්වීම් හට ගැනීම, ගොඩ බිම්වල වාශ්පිකරණය වැඩිවීම, ලෝකයේ විවිධ ප්‍රදේශ වලට නියං හා අධික වර්ශපතනයන් ඇතිවීම, ජලය ප්‍රසාරණය නිසා රළ පහරවල වේගය වැඩිවීම සහ වෙරල ඛාදනය වේගවත් වීම, ග්ලැසියර් තර්ජනයට ලක්වීම හා ගොඩ බිම්වල ලැවුගිනි හටගැනීම සිදුවේ.

ඉතිහාසයේ පළමු වතාවට බරපතල එල්නිනෝ තත්වයක් වාර්තා වී ඇත්තේ 1525 දී ය. එමගින් පේරු රාජ්‍යයට බරපතල බලපෑම් එල්ලවී ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. ඉන්පසු 1789 1793 වකවානුවේ ඇති වූ එල් නිනෝව මගින් ඉන්දියාවේ මිනිසුන් හයලක්ෂයකට වඩා මියගිය අතර දකුණු අප්‍රිකාවට දරුණු නියඟයක් ඇති විය. 1982 -1983 වසරේ ප්‍රධාන වශයෙන් නිවර්තන කලාපයේ 2000කට වැඩි මිනිසුන් සංඛ්‍යාවක් මරණයට පත්වීමට එල්නිනෝ තත්වයක් හේතුවූ අතර එමගින් සිදුවූ දේපොළ හානිය ඇමරිකානු ඩොලර් බිලියන 13කට වඩා වැඩිය. 

අතීතයේ විරල වශයෙන් එල්ලවූ එල්නිනෝ තත්වයන්ගේ බලපෑම් මෑත කාලීනව සුලභ සංසිද්ධියක් බවට පත්වී ඇති බව තහවුරු කරමින්  1990 -1995 වසර අතරතුර එක දිගට සිදු වූ එල් නිනෝ සංසිද්ධීන් තුනකින් පෘථිවි වැසියන්ට බලපෑම් එල්ලවිය. එය මෙතෙක් වාර්තා වී ඇති දීර්ඝතම එල්නිනෝ සංසිද්ධිය ලෙස සැලකේ. ඉන්පසු 1997-1998 අතර ඇතිවූ එල්නිනෝ තත්වය පිළිබඳව පළමු වතාවට ඉතාමත් නිවැරදි ලෙස අනාවැකි පළ කර තිබුණත්, එහි බලපෑමෙන් ඇතිවූ ගං වතුර සහ නියඟයන් හේතුවෙන් මිනිස් ජීවිත 2100ක් වැනසී ගිය අතර ලොව පුරාම සිදු වූ අලාභය ඇමරිකානු ඩොලර් බිලියන 33ක් පමණ විය. මෙම එල්-නිනෝ සමය වඩා ප්‍රසිද්ධ වුයේ ලෝකය ගිනිගත් වසර” (the year the world caught fire) ලෙස ලෝක වනසත්ව අරමුදල විසින් එය හැඳින්වීම හේතුවෙනි.
ලා-නිනා (La Niña) යනු ස්පාඤඤ බසින් ගැහැණු දරුවා වන අතර දකුණු ඇමෙරිකාවට ඔබ්බෙන් සාගරයේ ජලය සිහිල් වන කාල පරිච්ඡෙදය හැඳින්වීමට ලා- නිනා යන වදන යෙදේ. ලා නිනා තත්වය මගින්ද  එල් නිනෝවකට සමාන දේශගුණ විපර්යාසයන් ඇති වෙයි.
කුණාටු වැනි කාලගුණ වෙනස්කම් පිළිබඳව අනාවැකි පලකල හැකිවන්නේ දින කීපයකට පෙර වුවත් එල්-නිනෝවක් පිළිබඳව සැලකියයුතු කාලයකට පෙර අනාවැකි පලකළ හැකිය. ඊට හේතුව එල්-නිනෝවක් වර්ධනයවීමට පෙර අසාමාන්‍ය කාලගුණ වෙනස්කම් විශාල කලාපයක් පුරා මාස කීපයකට පෙර සිට නිරීක්ෂණය කළහැකි වීමය. වර්තමානයේ අප මුහුණ දෙමින් සිටින එල්-නිනෝ තත්වය පිළිබඳවද පුරෝකථන ලැබී තිබුනද ඒ සම්බන්ධයෙන් අපගේ පෙර සූදානම කෙබඳු දැයි විමසිය යුතුව ඇත.

සැබෑ පුනර්ජනනීය බලශක්තිය සොයා

ජනතාවගේ දෛනික කටයුතු සිදුකරගෙන යාම හා රටේසංවර්ධනය සඳහා බලශක්තිය අත්‍යාවශ්‍යය. නමුත් ගල්අඟුරු හා ඛනිජතෙල් දහනය මගින් බලශක්තිය නිපදවීමෙන් වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු මගින් ඇතිකෙරෙන දේශගුණ විපර්යාසය මිනිසාගේ පැවැත්මට බරපතල තර්ජන එල්ල කරමින් සිටී. ලොව පුරා බොහෝ රටවල් පුනර්ජනනීය බලශක්තිය වෙත නැඹුරු වෙමින් සිටින්නේ එබැවිනි. ශ්‍රී ලංකාවේ අපද පුනර්ජනනීය බලශක්තිය සොයා යාම සඳහා විවිධ ප්‍රවේශයන් ලබාගෙන තිබුණද එම මාර්ග බොහොමයක් විසින් රටේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය මංමුලාවේ හෙලා ඇති ආකාරය පසුගිය දේශගුණ කතාබහේ දී සකච්ඡාවට ගැනිණි. අපේ රට එසේ මංමුලාවේ ගියද ලොව බොහෝ රටවල් තම රටට අවශ්‍ය බලශක්තිය පුනර්ජනනීය ප්‍රභවයන් මගින් ජනනය කරගැනීම අති සාර්ථක ලෙස සිදුකරමින් සිටී.

අයිස්ලන්තය තම රටේ මුළු බලශක්ති අවශ්‍යතාවය සියයට සියයක්ම සපුරා ගනු ලබන්නේ පුනර්ජනනීය බලශක්තිය මගිනි. නොර්වේ 98%ක්, බ්‍රසීලය 86%ක්, නවසීලන්තය 65%ක් හා ඕස්ට්‍රේලියාව 62%ක් ආදී වශයෙන් තම රටේ බලශක්ති අවශ්‍යතාවය පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් සපුරා ගනිමින් සිටී. එසේම තමන්ගේ රටේ ජීවත්වන විශාල ජනගහනය හේතුවෙන් පුනර්ජනනීය බලශක්තිය මගින් රටේ මුළු බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකි වුවත් අද වනවිට ලොව විශාලතම පුන්නර්ජනනීය බලශක්ති නිෂ්පාදකයා වීමට චීනයට හැකියාව ලැබී තිබේ. ඉන්දියාව පවා ලොව පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කිරීමේ මුල් ප්‍රමුඛයන් අතර සිටී.

මේ වන විට සීග්‍ර සංවර්ධනයක් අත්කරගෙන සිටින සංවර්ධිත රටවල් තම රටේ විශාල බලශක්ති ඉල්ලුම පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් සපුරා ගැනීමට සමත්වේ නම් අප වැනි රට වලට එය සිදුකිරීමට හැකි නොවීමට හේතුවක් නැත. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරදි ප්‍රතිපත්ති හා කැපවීම පමණි. මෙහිදී ප්‍රතිපත්තිමය කාරනා අතින් අප ඉහළින් සිටියද එම ප්‍රතිපත්ති මහපොළොවේ යථාර්තයක් බවට පත්කර ගැනීමෙහිලා අප සිටින්නේ පසුගාමීවය. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය මගින් ඉකුත් වසරේ ජුනි මස ක්‍රියාත්මක කිරීමට මුලපිරූ “බලශක්තියෙන් සවි ගැන්වූ දේශයක්” වැඩසටහන යටතේ මුල් අධියරයේදී පුනර්ජනනීය බලශක්තිය මගින් මෙගාවොට් 100ක් බලශක්ති සැපයුමට එකතු කිරීමට අපේක්ෂා කෙරිණි. එසේම 2020 වන විට මෙරට මුළු බලශක්ති අවශ්‍යතාවයෙන් 20%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් සපයා ගැනීමටත් 2030 වනවිට ජාතික බලශක්ති අවශ්‍යතාවය 100%ක් පුනර්ජනනීය බලශක්තිය මගින් සපුරා ගැනීමටත් සැලසුම් කෙරිණි.

ඉහත සඳහන් කල පළමු අධියරයේ මෙගාවොට් 100 ජනනය කිරීමට රජය අපේක්ෂා කරන්නේ කුඩා ජලවිදුලි බලාගාර 52ක් මගින් මෙගාවොට් 59ක්, දැව බලාගාර පහක් මගින් මෙගාවොට් 11ක්, සූර්ය තාප බලාගාරයක් මගින් මෙගාවොට් 10ක්, සූර්ය බලාගාරයක් මගින් මෙගාවොට් 10ක් හා ජෛව ස්කන්ධ බලාගාරයක් මගින් මෙගාවොට් 10ක් ආදී වශයෙනි.

මේ අනුව පෙනී යන්නේ බලධාරීන් අපේ රටේ පුනර්ජනනීයබලශක්ති නිෂ්පාදනය සඳහා විශ්වාසය තබා ඇති ප්‍රධානම ක්‍රමවේදය වන්නේ මේ වනවිට විශාල මාෆියාවක් බවට පත්ව ඇති කුඩා ජලවිදුලි බලාගාර ඉදිකිරීම බවයි.

ඒ හැර අපේ රටට වඩාත් සුදුසු පුනර්ජනනීය බලශක්තිය නිපදවිය හැකි ක්‍රම වන සුළං විදුලි බලාගාර සහ සූර්ය කෝෂ වැනි විකල්පයන් කෙරෙහි අප ප්‍රමාණවත් අවධානයක් යොමුකර නැත. රට වටා විශාල මුහුදු තීරයක්‌ පිහිටා තිබුණද උදම් රළ යොදාගනිමින් විදුලිය නිපදවීම අප රටට ප්‍රායෝගිකව තරමක්‌ අපහසුය. මන්ද යත් ඝර්මකලාපීය ප්‍රදේශවල මුහුදු රළ බලය අඩු බැවිනි. තවද ලවණතාව හේතුවෙන් ලෝහමය කොටස්‌ වේගයෙන් ඛාදනයට ලක්‌ වීම හේතුවෙන් නිතර නිතර නඩත්තු කරන්නට අධික මුදලක්‌ වැය වීම ද ගැටලුවකි.

නමුත් සූර්ය බලශක්තිය ලෝකයේ ඉතා පුළුල් වශයෙන් භාවිතයට ගැනෙන පුනර්ජනනීය බලශක්ති විශේෂයකි.මෙයට හොඳ ම උදාහරණය ලෙස සූර්ය තාපයෙන් ජලය රත් කිරීමේ පද්ධති පෙන්වා දිය හැකියි. ජර්මනිය වැනි රටවල් තම රටේ සියළුම ගෘහ එකක වලට සූර්ය කෝෂ සවිකර ඉතා සාර්ථක ප්‍රතිපල අත්කරගෙන තිබේ. එසේම ඉන්දියාවේ දුෂ්කර ගම්මාන වල ජීවත්වන ජනතාවගේ ජීවන තත්වය උසස් කරලීම සඳහා සූර්ය කෝෂ මගින් විදුලිය ජනනය කරගැනීම යොදාගත් අවස්ථා ඕනෑ තරම් තිබේ.

අපේ රටේද බලශක්ති නිෂ්පාදනය සඳහා ගල්අඟුරු හා ඛනිජතෙල් වෙනුවට පුනර්ජනනීය බලශක්ති ප්‍රභව යොදා ගැනීමෙන් ඉතිරිවන මුදලෙන් මෙරට ජනතාවගේ ජීවන වියදම සියයට හතලිස් පහකින් (45%) අඩුකරගත හැකි බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් සිදුකෙරුණු පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. එබැවින් අප මේ මොහොතේ සිදුලකයුත්තේ විදෙස් රටවල අත්දැකීම් වලින්ද පාඩම් උගනිමින් 100% පුනර්ජනනීය බලශක්තිය සපයාගැනීමේ සිහිනය සැබෑ කරගැනීම සඳහා නිවැරදි ප්‍රවේශයක් ලබා ගැනීමය.

සුපුන් ළහිරු ප්‍රකාශ්

පුනර්ජනනීය බලශක්තිය - මංමුලාව

පුනර්ජනනීය බලශක්තිය (Renewable energy) මේ වන විට ඉතා ආකර්ශනීය මාතෘකාවකි. පෘථිවියේ මිනිස් යුගය තුල අවසන් නොවෙන හිරු කිරණ, සුළඟ, උදම් රළ, භූගත තාපය, ජෛව ඉන්දන ඈ ශක්ති ප්‍රභව වලින් මිනිසාගේ සුඛ විහරණය සඳහා අවශ්‍ය බලශක්තිය නිපදවා ගැනීම මෙමගින් අදහස් කෙරේ. පොළොව අභ්‍යන්තරයේ ඇති ඛනිජ තෙල්, ගල් අඟුරු හා ස්වභාවික වායු වර්ග තවත් කෙටි කලකින් අවසන්වීමත්,එසේම ඒවා පැවතියද දහනයකර වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ නැංවීම මගින් සමස්ථ පෘථිවි වාසීන්ට අත්විඳින්නට සිදුවන දේශගුණ විපර්යාසයන්ගේ බලපෑම දරා ගැනීමට නොහැකි වීමත් පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීමට ජනතාව තුල පෙළඹවීමක් ඇතිකර තිබේ.

ඛනිජතෙල්, ගල් අඟුරු හා ස්වභාවික වායු භාවිතා කරමින් සියළුම රටවල් තම නිෂ්පාදන ක්‍රියාවලීන් සිදුකිරීම නිසා එමගින් වායුගෝලයට විශාල වශයෙන් හරිතාගාර වායු විමෝචනය වීම සිදුවේ. දේශගුණ විපර්යාස සිදුවීම නවතා දැමීමට නම් අප හරිතාගාර වායු විමෝචනය නවත්වා දැමිය යුතුයි.

පෘථිවි උෂ්ණත්වය ඉහළයාම නිසා ධ්‍රැව අයිස් හා ග්ලැසියර් දියවීමෙන් මුහුදේ ජලමට්ටම ඉහළ යාමෙන් බරපතල ලෙස ජීවිත අවධානමකට ලක්ව සිටින්නේ ලොව පුරා පැතිරී ඇති කුඩා දුපත් රාජ්‍ය යි. ඒ සඳහා අපට ඇති ආසන්නතම උදාහරණය මාලදිවයිනයි. එම දුපත් රාජ්‍ය ආරක්ෂාකර ගැනීමට නම් වායුගෝලීය උෂ්ණත්වය ඉහළයාම සෙන්ටිග්‍රේට් අංශක එකයි දශම පහ (1.5 oc) සීමාවේ පවත්වා ගත යුතුය.

ඒ සඳහා2030 වන විට ලෝකය සියයට සියයක් (100%) පුනර්ජනනීය බලශක්තිය භාවිතා කරන තත්වයට පත්විය යුතුය. එසේ නොවුනහොත් මේ සියවස අවසන් වනවිට පෘතුවි වායුගෝලයේ උෂ්ණත්වය  සෙන්ටිග්‍රේට් අංශක පහත් හතත් අතර ප්‍රමාණයකින් (5-7oc) ඉහළ යාම නොවැලක්විය හැකි බව දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලය තම පස්වන වාර්තාව මගින් පෙන්වා දී ඇත.එබැවින් පුනර්ජනීය බලශක්තියේ අවශ්‍යතාවය දෙවරක් පැවසියයුතු නැත.

ලොව පුරා බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාව තුළද පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය හා භාවිතය සම්බන්ධයෙන් යම්කිසි උනන්දුවක් ඇතිව තිබේ. නමුත් එහි ඇති අභාග්‍යසම්පන්න තත්වය වන්නේ අපේ රටේ පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය සඳහා ඇති සාධනීය ප්‍රභවයන් භාවිතය දිරිගැන්වීම වෙනුවට බලධාරීන් සිදුකරමින් සිටින්නේ විනාශකාරී පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා රුකුල් දෙමින් සිටීම වීමය.
ඊට ඇති ඉතා සුලභතම නිදසුන වන්නේ කුඩා ජලවිදුලි බලාගාර ව්‍යාපෘති ය.මෙවැනි බලාගාර ඉදිකිරීම සඳහා ලබාදී ඇති අවසරපත් ව්‍යාපාරිකයන් අතර ඉහළ මිලගණන් වලට අතින් අතට යනවා විනා බලාගාර ඉදිකිරීමක් සිදු නොවන අවස්ථා ඇති බව රේඛීය විෂයභාර ඇමති රංජිත් සියඹලාපිටිය පසුගියදා ප්‍රකාශකළේය.එසේම විවිධ ප්‍රමාණයේ ඇළ, දොළ, ගංගා හරස් කරමින් මේ වනවිට ඉදිකෙරෙමින් පවතින කුඩා ජලවිදුලි බලාගාර සියගණනක්ද සිදුකරමින් සිටින පාරිසරික විනාශය අති මහත්ය. පරිසර පද්ධති කාබාසීනියා කරමින් ජනජීවිත වනසමින් එම බලාගාර මගින් ජාතික පද්ධතියට ජල විදුලිය සපයා ධනවතුන් පිරිසක් තවදුරටත් මුදල් ඉපයීමේ නිරතව සිටිති. එසේම පසුගිය කාලයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ යාල ජාතික උද්‍යානය ආශ්‍රිත අමරවැව ප්‍රදේශයේ ඉඩම් අක්කර 1500ක් පවුද්ගලික සමාගමකට බදුදී තිබුණේ ජෛව ඉන්දනයක් ලෙස භාවිතා කිරීම සඳහා ග්ලිඩිසීරියා වගා කිරීමටය.

මෙවැනි විනාශකාරී ව්‍යාපෘති වලට ගොදුරුවන ප්‍රදේශවලින් එතෙක් ප්‍රතිලාභ ලැබූ ජනතාවට, විනාශවී යන පරිසර පද්ධතිවල ජීවත්වූ ආවේණික හා දේශීය ජීවී විශේෂ වලට කිසිඳු පිළිසරණක් නැතිවීම කණගාටුවට කරුණකි. අපේ රටට පුනර්ජනනනීය බලශක්තිය අවශ්‍ය නමුත් අටුව කඩා පුටුව සැදීමේ න්‍යායෙන් එය සිදු නොකළයුතු බව කිවමනාය.

එසේම අනෙක් අතින් ඉහත සඳහන් කල පරිදි රටේ පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය සඳහා ඇති සාධනීය ප්‍රභවයන් භාවිතය දිරිනොගැන්වීමද කණගාටුවට කරුණකි.උදාහරණයක් ලෙස වඩාත්ම සරල හා පහසුපුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වන සූර්ය බලශක්තිය අප අමතකකර දමා ඇත. සූර්ය පැනල පද්ධති සඳහා අධික බදු පැනවීමට සියළුම ආණ්ඩු කටයුතු කිරීම නිසා ඒවා මිලදී ගැනීමට සාමාන්‍ය පුරවැසියන්නට හැකියාවක් නැත.ඒ නිසා වසරේ වැඩි දින ගණනක් අපට පුනර්ජනනීය බලශක්තිය ජනනය කල හැකි හිරු කිරණ අප අපතේ හරිමින් සිටිමු. එසේම වැඩි මිළට පවුද්ගලික ඩීසල් බලාගාර මගින් විදුලිය මිලදී ගැනීමට ඇති පදම් මුදල් ඇති විදුලිබල මණ්ඩලයට සූර්ය පැනල මගින් විදුලිය නිපදවා ජාතික පද්ධතියට ලබා දෙන සැබෑ පරිසරහිතකාමීන්ට ඒ සඳහා මිලක් ලබා දීමට කිසිඳු අවශ්‍යතාවක් නැත.

ගංගා, ඇළ, දොළ වනසන කුඩා ජලවිදුලි බලාගාරකාරයන්ට හා වනබිම් වනසන ග්ලිඩිසීරියා ජෛව ඉන්දනකාරයන්ට කත් අදින ඔලමොළ බලධාරීන්ට හා නිලධාරීන්ට බදු සහන ලබා දී සූර්ය පැනල ජනතාව අතර ප්‍රචලිත කර,එයින් ජනනය කෙරෙන පුනර්ජනනීය බලශක්තිය මිලදී ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා නුවණ පහළ නොවීම ජාතියේ අවාසනාවකි.


ගල්අඟුරු බලශක්ති කටු ඔටුන්න

සාම්පුර් ගල්අඟුරු බලාගාර ව්‍යාපෘතිය නැවත කරළියට පැමිණ තිබේ.ඊට එරෙහිව සාමාන්‍ය වැසියන් පිරිසක් පසුගියදා කට්ටපරිච්චාන් ප්‍රදේශයේදී උපවාසයක්ද ආරම්භ කළෝය. පසුගිය රජයේ මහින්ද චින්තනය යටතේ සාම්පුර් බලාගාරය ඉදිකිරීමට සැලසුම් කෙරුණේ අපේ රට පංච බල කේන්ද්‍රයක් බවට පත්කිරීමේ සිතුවිල්ල අනුවය. දැනුමේ කේන්ද්‍රය, බලශක්ති කේන්ද්‍රය, ධීවර කේන්ද්‍රය, නාවික කේන්ද්‍රය හා ගුවන් කේන්ද්‍රය වශයෙන් දියුණු කරමින් මේ රට ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරීම ඒ සිතුවිල්ලයි. ඒ අනුව නොරච්චෝලේ හා සාම්පූර් ගල්අඟුරු බලාගාර ඉදිකර විදෙස් රටවලට බලශක්තිය අපනයනයකර විදේශ විනිමය උපයාගැනීම අරමුණ විය. දැන් වර්තමාන යහපාලන ආණ්ඩුව යටතේ නැවතත් සාම්පූර් බලාගාරය ඉදිකිරීමේ අරමුණද එයම වියයුතය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගියදා  අවසන්වූ COP 21 පැරිස් දේශගුණ විපර්යාස සමුළුව (Conference of parties 21) අමතා දේශගුණ විපර්යාස අවමකරගැනීම හා ඊට අනුහුරුවීම පිළිබඳ සිත් ඇදගන්නා සුළු කතාවක් කළේය. නමුත් දේශගුණ විපර්යාසය අවමකරගැනීම හා ගල්අඟුරු බලශක්තිය විකුණා විදේශ විනිමය ඉපයීම කිසිසේත්ම එකීනෙකට සමාපත නොවන ප්‍රතිපත්ති දෙකක් බව කිවයුතුය.

දේශගුණ විපර්යාසය හේතුවෙන් ඉහළයන වායුගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක දෙක (2 oc) සීමාවේ වත් පවත්වා ගැනීමට අපොහොසත්වුව හොත් පොළොව මතුපිට ඇති මීතේන් වැනි වායු වර්ග ගිනිගැනීම ආරම්භවීම මිනිසාට පාලනය කල නොහැකි බරපතල ව්‍යසනයන් ඇතිකරනු ඇති බව  විද්‍යාඥයින් පෙන්වා දෙති. වර්ෂ 2011 දක්වා දත්ත පදනම් කරගනිමින් සිදුකරන ලද ගණනය කිරීම් අනුව වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අංශක 2 සීමාවේ පවත්වා ගැනීමට නම් මුළුමහත් ලෝකවාසීන්ටම වායුගෝලයට මුදාහැරීමට අවසර ඇත්තේ තවත් කාබන් ගිගාටොන් 1000 ක් පමණි. නමුත් අප මේ වන විට එම ප්‍රමාණයෙන් ගිගාටොන් 150ක් වායුගෝලයට මුදාහැර අවසන්ය.

ලෝකයේ රටවල් අතර ගැඹුරු සංවාද හා මතවාද ඇතිවෙමින් පවතින්නේ ඉතිරි කාබන් ගිගාටොන් 850 වායුගෝලයට විමෝචනය කිරීමේ අයිතිය බෙදාගැනීම සම්බන්ධයෙනි. මේ පිළිබඳව තවමත් නිශ්චිත එකඟතාවයක් ඇතිවී නැතත් ලොව සියළු රටවලට තමන්ට වායුගෝලයට මුදාහැරීමට හැකි කාබන් කෝටාව ඉතිරි කරගැනීම පිළිබඳව උනන්දුවීමට සිදුවී තිබේ.

මේ වනවිට ලොව සියළු රටවල් මුහුණදී සිටින පොදු ගැටළුව වන්නේ තමන්ට අවශ්‍ය බලශක්තිය නිෂ්පාදනය කිරීමයි. ඒ සඳහා ඛනිජතෙල් හා ගල්අඟුරු දහනය කිරීමෙන් තම කාබන් කෝටාව සීග්‍රයෙන් ක්ෂයවන බව එම රටවල් දනිති. ඇමරිකාව හා චීනය වැනි බලවත් රටවල් පවා දැන් තම ගල්අඟුරු බලාගාර වසා දමමින් සිටින්නේ එබැවිණි. ශ්‍රී ලංකාව උත්සාහ කරන්නේ ඇතිවී ඇති තත්වයෙන් බොරදියේ මාළු බෑමටය. තමන්ගේ කාබන් කෝටාව ඉතිරි කරගෙන වෙනත් රටකින් බලශක්තිය මිලදීගැනීමට අසල්වැසි ඉන්දියාව වැනි රටවල් මේ වන විට උනන්දු වෙමින් සිටී. ඉන්දියාව එය සිදුකරන්නේ අප රටට “ආසියාවේ බලශක්ති කේන්ද්‍රය” වීමේ සිහිනය පෙන්වමිනි. එසේත් නැතිනම් අපගේ අර්ථ දැක්වීම අනුව “ගල්අඟුරු බලශක්ති කටු ඔටුන්න” පැළඳවීමෙනි.

ගල්අඟුරු බලාගාර මගින් රටේ ජනජීවිතයට හා පරිසරයට එල්ලවන බරපතල බලපෑම් රැසක් දරා ගනිමින්, අපේ රටේ කාබන් කෝටාව සීග්‍රයෙන් පහත හෙලාගනිමින් අප බලශක්ති කේන්ද්‍රය බවට පත්වී ආසියාවේ ආශ්චර්ය වීමට සිහින දැකීම කෙතරම් බොළඳ දැයි විස්තර කළයුතු නැත.දේශගුණ විපර්යාස පිටුදැකීමට නම් වසර 2030 වන විට ලෝකය සියයට සියයක් (100%) පුනර්ජනනීය බලශක්තිය භාවිතා කරන තත්වයට පත්විය යුතුය. එබැවින් අපට සාම්පූර ගල්අඟුරු බලාගාරය තනා ආසියාවේ බලශක්ති කේන්ද්‍රය වීමේ ආශ්වාදය ලැබීමට හා ගල්අඟුරු බලශක්ති කිරුළට ඇන්දවී සිටීමට හැකි වන්නේ තවත් වසර 14කටත් අඩු කාලයකි.
නමුත් ඒ වනවිට අප විසින් යටකී බලාගාර වලින් අපේ රටටත් ජනතාවටත් සිදුකරගත හැකි සියළු විනාශයන් සිදුකරගෙන හමාර වනු ඇත.දැනටමත් නොරච්චෝලේ ගල්අඟුරු බලාගාරය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යට හා සමාජාර්ථික තත්වයට බලපෑම් එල්ලවී තිබේ. එසේම සාම්පූර් බලාගාරය හේතුවෙන් ජනතාවගේ පාරම්පරික වාසභූමි හා ජීවනෝපාය අහිමිවීම හා පුළුල් පරාසයක පැතිරුණු පරිසර ප්‍රශ්න ගණනාවක් ඇතිවීම සිදුවේ.

ඉන්දියාව අපගේ බලාගාර මගින් විදුලිය මිලදී ගැනීම කොතරම් කලක් සිදුකිරීමට අපේක්ෂා කරනවාද යන්න අපට අනාවැකි පලකල නොහැක. ඔවුන් ස්වකීය බලශක්තියෙන් ස්වයංපෝෂිත වී අපගේ ගල්අඟුරු බලශක්තිය ප්‍රතික්ෂේප කලවිට අපට වෙනත් පාරිභෝගිකයෙකු සොයාගැනීමද උගහටය. ගල්අඟුරු බලාගාර මගින් විදුලිය සපයා ගැනීම වඩාත් සංකීර්ණ ක්‍රියාවක් වන්නේ එය අපට ඕනෑ ඕනෑ ආකාරයට පාලනය කිරීමට නොහැකි බැවිනි. ගල්අඟුරු බලාගාරයක ජනන ක්‍රියාවලිය අඛණ්ඩව සිදු නොකළහොත් ඒකකයකට වැයවන පිරිවැය සීග්‍රයෙන් ඉහළ යාම සිදුවේ. එබැවින් එය කොටි වල්ගය අල්ලා ගත්තා වැනි ක්‍රියාවකි. ගල්අඟුරු වල ගිලී සිටීම නිසා 2030 වසර වනවිට අපේක්ෂිත මට්ටමින් පුනර්ජනනීය බලශක්ති උත්පාදන වැඩසටහන් සංවර්ධනය කිරීමටද  අපට රටක් හැටියට නොහැකිවීම මෙහි තවත් අතුරු ප්‍රතිපලයකි. එවිට අපේ රටට සිදුවන්නේ වත්ත බද්දට දී ඇස්සට දත නියවාගෙන සිටීමට නොවේද ?





එල්නිනෝ සහ අපේ කුසගින්න

මෙම වසරේදී අප්‍රිකානු මහද්වීපයේ මිලියන 14 ක ජනතාවක් උග්‍ර ආහාර හිඟයකට මුහුණපානු ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පසුගියදා නිවේදනය කළේය. දේශගුණ විපර්යාසය හේතුවෙන් උත්සන්න වී ඇති බරපතල එල්නිනෝ තත්වයක්මීට හේතුවී තිබේ. එයින්වැඩිම බලපෑමක් එල්ලවෙනු ඇතැයි අපේක්ෂා කරන රට වන්නේ මලාවි රාජ්‍ය යි. එහි මිලියන 2.8 ක ජනතාවක් සාගතයට මුහුණදී සිටිති. එම ප්‍රමාණය රටේ මුළු ජනගහනයෙන් සියයට 16 කි. සිම්බාබ්වේ රාජ්‍යයේ ජනගහනයෙන් සියයට 10ක් නොඑසේ නම් මිලියන 1.5 ක ජනතාවකගේ ඉරණමද එයයි. ඉන්දියන් සාගරයට අයත් දූපත් අතරින් වැඩිම අනතුරක් සහිත දිවයින වන්නේ මැඩගස්කර් රාජ්‍යයි. එහි මිලියන 1.9 ක ජනගහණයක් අවධානමට මුහුණදී සිටිති. මුළු ලෝකයේම කාලගුණ රටාවේ වෙනස්කම් ඇතිකිරීමට සමත් එල්නිනෝ තත්වයන් මගින් පෘථිවි ගෝලයේ ඇතැම් ප්‍රදේශ වලට දැඩි නියං තත්වයන් ඇතිකරන අතරම සෙසු ප්‍රදේශ වලට විශාල වර්ෂාපතනයන් ඇති කරයි.

ශ්‍රී ලංකාවේ අපටද අපගේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව බරපතල ලෙස සිතන්නට හා ක්‍රියාකරන්නට මෙම එල්නිනෝ තත්වය මග පාදා ඇත්තේ එහි බලපෑම අපේ රටටද දැඩිව එල්ලවනු ඇතැයි නාසා ආයතනය අනතුරු අඟවා ඇති බැවිනි. අපේ රටේ ප්‍රධානම ආහාර භෝගය වන වී ගොවිතැනද මේ වන විටත් දේශගුණ විපර්යාසයන්ගේ බලපෑමට ලක්ව ඇති බව නොකිවමනාය. අවශ්‍ය කාලයේදී වැසි නොලැබීම නිසා වගාවන් විනාශවීම මෙන්ම අස්වනු නෙලන සමයේ ලැබෙන අනපේක්ෂිත වර්ෂාව හේතුවෙන් අස්වනු විනාශවීම ද මේ වන විට සුලබ සංසිද්ධියක් බවට පත්වී ඇත. එළවළු, පලතුරු හා අනෙකුත් භෝග වගාවන් සම්බන්ධයෙන් ගත්තද මෙම තත්වය එසේමය. එවැනි පසුබිමක් තුල මෙම එල්නිනෝ තත්වයේ බලපෑමෙන් ඇතිකෙරෙන නියං සාය අපේ රටටද දැඩිව දැනෙනු ඇති බව පැහැදිලිය.

නියඟය හේතුවෙන් කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය හිඟ වීම හා අකල් වර්ෂාවන් හේතුවෙන් අස්වනු විනාශවීමට අමතරව තවත් විවිධ ආකාරයේ බලපෑම් ඇතිවේ. පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමග භෝග වලට හානි කරන කෘමී පළිබෝධකයින්ගේ ක්‍රියාකාරීත්වය ඉහළ යයි. එමගින් වගාවන්ට එල්ලවන පලිබෝධ ආක්‍රමණ වැඩි වෙයි. කෘමීන් නොවන පලිබෝධකයයන් ( වනසතුන් හා පක්ෂීන් වැනි ) ද තම ස්වභාවික වාසස්ථාන වල ඇතිවන ආහාර හා ජල හිඟය නිසා මිනිසුන්ගේ බව භෝග ආක්‍රමණය කිරීමට පෙළඹේ. එමගින්ද කෘෂි නිෂ්පාදනයට බලපෑම් එල්ලවේ. එසේම රෝග ව්‍යාප්තිය ඉහළ යාමටද දේශගුණ විපර්යාස හේතුවේ. පරිසරයේ උපරිම හා අවම උෂ්ණත්වය අතර වෙනස අඩුවීම මගින් අල භෝග වල අස්වැන්න අඩුවීම සිදුවේ.

වෙනස්වී ඇති දේශගුණික රටාවට අනුව වගා කාලසටහන් වෙනස් කිරීම, දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තුදෙන භෝග ප්‍රභේද හඳුන්වා දීම, වගා ක්‍රම වැඩි දියුණු කිරීම, ජල සංරක්ෂණ ක්‍රම වැඩි දියුණු කිරීම, ආරක්‍ෂිත ගෘහ තුල භෝග වගාව වැනි කරුණු පිළිබඳව මෙහිදී අප අවධානය යොමු කල යුතුය. බටහිර බහුජාතික සමාගම් වල ඊනියා හරිත විප්ලවයට රැවටී අප විසින්ම අමතකකර දැමූ ප්‍රතිරෝධී පැරණි බීජ හා පාරම්පරික කෘෂි දැනුම නැවත භාවිතයට ගැනීමද මෙහිදී අත්‍යාවශ්‍ය වෙයි.

දේශගුණ විපර්යාස නිසා ඇතිවන බලපෑම් හේතුවෙන් ආහාර භෝග වල අස්වැන්න අඩුවීම සිදුවන අතර එය පාලනය කිරීමට උත්සාහ දැරීමට අමතරව පසු අස්වනු හානි අවම කරගැනීම පිළිබඳවද අපගේ ප්‍රමුඛ අවධානය යොමුකළ යුතුය. අස්වැන්න නෙලා ගත් තැන සිට එය පරිභෝජනයට ගැනීම දක්වා කාලය අතරතුර අස්වැන්නට සිදුවන හානිය මෙහිදී සැලකිල්ලට ගැනේ. වැරදි ප්‍රවාහන ක්‍රම හා ගබඩා වලදී සිදුවන හානි නිසා මේ ආකාරයෙන් නෙලා ගත් අස්වැන්නෙන්ද සැලකියයුතු කොටසක් අහිමිවේ. මේ වන විට මහා කන්නයේ ගොයම් කැපීම ආරම්භ වී ඇති බැවින්, නෙලා ගන්නා වී ආරක්ෂිතව ගබඩා කර තබාගෙන ඉදිරියේදී ඇතිවිය හැකි නියං සමයේදී ක්‍රමානුකූලව වෙළඳපොළට නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමද මෙහිදී වැදගත්ය.

ආණ්ඩුවට, රාජ්‍ය ආයතන වලට, පර්යේෂකයන්ට, සිවිල් සංවිධාන වලට මෙන්ම සියළු මහජනතාවට ද  දේශගුණ විපර්යාස හේතුවෙන් අපට මුහුණ දීමට සිදුවී ඇති ආහාර අනාරක්ෂිතතාවයට විසඳුම් සෙවීමට විවිධ වගකීම් පැවරී ඇත. ඉවත දමන වියලි ශාක දණ්ඩක් වුව ද දලූ ලා යළි පැළවන සාරවත් පොළොවක් හිමි අපට එල්නිනෝව හේතුවෙන් කුසගින්නේ සිටින්නට වුව හොත් ඊටද වැරදිකරුවන් වන්නේ අපමය.

http://lankaanews.com/%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9C%E0%B7%94%E0%B6%AB-%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%9C/
එල්නිනෝ සහ අපේ කුසගින්න

මෙම වසරේදී අප්‍රිකානු මහද්වීපයේ මිලියන 14 ක ජනතාවක් උග්‍ර ආහාර හිඟයකට මුහුණපානු ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පසුගියදා නිවේදනය කළේය. දේශගුණ විපර්යාසය හේතුවෙන් උත්සන්න වී ඇති බරපතල එල්නිනෝ තත්වයක්මීට හේතුවී තිබේ. එයින්වැඩිම බලපෑමක් එල්ලවෙනු ඇතැයි අපේක්ෂා කරන රට වන්නේ මලාවි රාජ්‍ය යි. එහි මිලියන 2.8 ක ජනතාවක් සාගතයට මුහුණදී සිටිති. එම ප්‍රමාණය රටේ මුළු ජනගහනයෙන් සියයට 16 කි. සිම්බාබ්වේ රාජ්‍යයේ ජනගහනයෙන් සියයට 10ක් නොඑසේ නම් මිලියන 1.5 ක ජනතාවකගේ ඉරණමද එයයි. ඉන්දියන් සාගරයට අයත් දූපත් අතරින් වැඩිම අනතුරක් සහිත දිවයින වන්නේ මැඩගස්කර් රාජ්‍යයි. එහි මිලියන 1.9 ක ජනගහණයක් අවධානමට මුහුණදී සිටිති. මුළු ලෝකයේම කාලගුණ රටාවේ වෙනස්කම් ඇතිකිරීමට සමත් එල්නිනෝ තත්වයන් මගින් පෘථිවි ගෝලයේ ඇතැම් ප්‍රදේශ වලට දැඩි නියං තත්වයන් ඇතිකරන අතරම සෙසු ප්‍රදේශ වලට විශාල වර්ෂාපතනයන් ඇති කරයි.

ශ්‍රී ලංකාවේ අපටද අපගේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව බරපතල ලෙස සිතන්නට හා ක්‍රියාකරන්නට මෙම එල්නිනෝ තත්වය මග පාදා ඇත්තේ එහි බලපෑම අපේ රටටද දැඩිව එල්ලවනු ඇතැයි නාසා ආයතනය අනතුරු අඟවා ඇති බැවිනි. අපේ රටේ ප්‍රධානම ආහාර භෝගය වන වී ගොවිතැනද මේ වන විටත් දේශගුණ විපර්යාසයන්ගේ බලපෑමට ලක්ව ඇති බව නොකිවමනාය. අවශ්‍ය කාලයේදී වැසි නොලැබීම නිසා වගාවන් විනාශවීම මෙන්ම අස්වනු නෙලන සමයේ ලැබෙන අනපේක්ෂිත වර්ෂාව හේතුවෙන් අස්වනු විනාශවීම ද මේ වන විට සුලබ සංසිද්ධියක් බවට පත්වී ඇත. එළවළු, පලතුරු හා අනෙකුත් භෝග වගාවන් සම්බන්ධයෙන් ගත්තද මෙම තත්වය එසේමය. එවැනි පසුබිමක් තුල මෙම එල්නිනෝ තත්වයේ බලපෑමෙන් ඇතිකෙරෙන නියං සාය අපේ රටටද දැඩිව දැනෙනු ඇති බව පැහැදිලිය.

නියඟය හේතුවෙන් කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය හිඟ වීම හා අකල් වර්ෂාවන් හේතුවෙන් අස්වනු විනාශවීමට අමතරව තවත් විවිධ ආකාරයේ බලපෑම් ඇතිවේ. පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමග භෝග වලට හානි කරන කෘමී පළිබෝධකයින්ගේ ක්‍රියාකාරීත්වය ඉහළ යයි. එමගින් වගාවන්ට එල්ලවන පලිබෝධ ආක්‍රමණ වැඩි වෙයි. කෘමීන් නොවන පලිබෝධකයයන් ( වනසතුන් හා පක්ෂීන් වැනි ) ද තම ස්වභාවික වාසස්ථාන වල ඇතිවන ආහාර හා ජල හිඟය නිසා මිනිසුන්ගේ බව භෝග ආක්‍රමණය කිරීමට පෙළඹේ. එමගින්ද කෘෂි නිෂ්පාදනයට බලපෑම් එල්ලවේ. එසේම රෝග ව්‍යාප්තිය ඉහළ යාමටද දේශගුණ විපර්යාස හේතුවේ. පරිසරයේ උපරිම හා අවම උෂ්ණත්වය අතර වෙනස අඩුවීම මගින් අල භෝග වල අස්වැන්න අඩුවීම සිදුවේ.

වෙනස්වී ඇති දේශගුණික රටාවට අනුව වගා කාලසටහන් වෙනස් කිරීම, දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තුදෙන භෝග ප්‍රභේද හඳුන්වා දීම, වගා ක්‍රම වැඩි දියුණු කිරීම, ජල සංරක්ෂණ ක්‍රම වැඩි දියුණු කිරීම, ආරක්‍ෂිත ගෘහ තුල භෝග වගාව වැනි කරුණු පිළිබඳව මෙහිදී අප අවධානය යොමු කල යුතුය. බටහිර බහුජාතික සමාගම් වල ඊනියා හරිත විප්ලවයට රැවටී අප විසින්ම අමතකකර දැමූ ප්‍රතිරෝධී පැරණි බීජ හා පාරම්පරික කෘෂි දැනුම නැවත භාවිතයට ගැනීමද මෙහිදී අත්‍යාවශ්‍ය වෙයි.

දේශගුණ විපර්යාස නිසා ඇතිවන බලපෑම් හේතුවෙන් ආහාර භෝග වල අස්වැන්න අඩුවීම සිදුවන අතර එය පාලනය කිරීමට උත්සාහ දැරීමට අමතරව පසු අස්වනු හානි අවම කරගැනීම පිළිබඳවද අපගේ ප්‍රමුඛ අවධානය යොමුකළ යුතුය. අස්වැන්න නෙලා ගත් තැන සිට එය පරිභෝජනයට ගැනීම දක්වා කාලය අතරතුර අස්වැන්නට සිදුවන හානිය මෙහිදී සැලකිල්ලට ගැනේ. වැරදි ප්‍රවාහන ක්‍රම හා ගබඩා වලදී සිදුවන හානි නිසා මේ ආකාරයෙන් නෙලා ගත් අස්වැන්නෙන්ද සැලකියයුතු කොටසක් අහිමිවේ. මේ වන විට මහා කන්නයේ ගොයම් කැපීම ආරම්භ වී ඇති බැවින්, නෙලා ගන්නා වී ආරක්ෂිතව ගබඩා කර තබාගෙන ඉදිරියේදී ඇතිවිය හැකි නියං සමයේදී ක්‍රමානුකූලව වෙළඳපොළට නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමද මෙහිදී වැදගත්ය.

ආණ්ඩුවට, රාජ්‍ය ආයතන වලට, පර්යේෂකයන්ට, සිවිල් සංවිධාන වලට මෙන්ම සියළු මහජනතාවට ද  දේශගුණ විපර්යාස හේතුවෙන් අපට මුහුණ දීමට සිදුවී ඇති ආහාර අනාරක්ෂිතතාවයට විසඳුම් සෙවීමට විවිධ වගකීම් පැවරී ඇත. ඉවත දමන වියලි ශාක දණ්ඩක් වුව ද දලූ ලා යළි පැළවන සාරවත් පොළොවක් හිමි අපට එල්නිනෝව හේතුවෙන් කුසගින්නේ සිටින්නට වුව හොත් ඊටද වැරදිකරුවන් වන්නේ අපමය.

http://lankaanews.com/%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9C%E0%B7%94%E0%B6%AB-%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%9C/