Friday, June 24, 2016

ප්‍රවාහන ප්‍රතිසංවිධානය

මේ වනවිට ලෝකයේ සීග්‍රයෙන් දියුණුවෙමින් පවතින ක්ෂේත්‍ර අතර ප්‍රවාහන ක්ෂේත්‍රය ද ප්‍රධාන වේ. එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් වෙත ජීවීන් හා භාණ්ඩ රැගෙනයාම සරලව ප්‍රවාහනය ලෙස ගැනිය හැකිය. ගොඩබිම, ජලය හා ගුවන ඔස්සේ මෙම ප්‍රවාහන කටයුතු ලොව පුරාම මානව අවශ්‍යතා පහසුකරගැනීම සඳහා යොදා ගැනේ. දේශගුණ විපර්යාස මගින් රටක ආර්ථිකයට බලපෑම් එල්ල කළහැකි ප්‍රධාන ක්‍රමයක් වන්නේ ප්‍රවාහන කටයුතු වලට බාධා එල්ල කිරීම ය. එබැවින් දින දින තීව්‍ර වෙමින් එල්ලවන දේශගුණ විපර්යාස අවමවන අකාරයෙන් හා එහි බලපෑම් වලට ඔරොත්තු දෙන ආකාරයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රය ප්‍රතිසංවිධානය කිරීම කාලීන අවශ්‍යතාවයකි.

දේශගුණ විපර්යාසය හා ප්‍රවාහන ක්ෂේත්‍රය අතර ඇති සබඳතාව දෙයාකාරයකින් විග්‍රහකල හැකිය. දේශගුණ විපර්යාසය උග්‍ර වීමට හේතුවෙන කාබන්ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු විමෝචනය සඳහා ප්‍රවාහන ක්ෂේත්‍රය කැපී පෙනෙන දායකත්වයක් ලබා දේ. ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 25 – 30 අතර ප්‍රමාණයකට දායක වන්නේ ප්‍රවාහන ක්ෂේත්‍රයයි. එබැවින් දේශගුණ විපර්යාස අවමකර ගැනීම සඳහා හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ප්‍රවාහන ක්ෂේත්‍රය ප්‍රතිසංවිධානය කිරීම අත්‍යාවශ්‍ය ය. එසේම දේශගුණ විපර්යාසයේ බලපෑම් වලින් ප්‍රවාහන ක්ෂේත්‍රයට එල්ලවන බලපෑම හමුවේ ඒම බලපෑම් අවමකර ගැනීමට අවශ්‍ය අනුහුරුවීම් සඳහා ද ප්‍රවාහන ප්‍රතිසංවිධානය අත්‍යාවශ්‍ය ය.

දේශගුණ විපර්යාස හේතුවෙන් ස්වභාවික විපත් ඇතිවීමේ සීග්‍රතාවය ඉහළ ගොස් ඇති අතර ඒවායේ බරපතලබවද ඉහළ යමින් පවතී. ඒ හේතුවෙන් ප්‍රවාහන කටයුතු වලට බාධා ඇතිවේ. ගංවතුර, නායයාම්  හා කන්ඩි කඩාවැටීම මගින් මහා මාර්ග හා දුම්රිය මාර්ග පද්ධති අවහිරවීම නිසා ගොඩබිම ඔස්සේ සිදුකෙරෙන ප්‍රවාහන කටයුතු ඇනහිටීම සිදුවේ. එසේම ගුවන් තොටුපොළ පරිශ්‍ර හා ගුවන්යානා ධාවනපඨ ගංවතුරට නතුවීම නිසා මෙන්ම සුළිසුලං හා කුණාටු තත්ත්ව නිසා ගුවනින් සිදුකෙරෙන ප්‍රවාහන කටයුතු වලටද ගැටළු ඇතිවේ. එසේම මුහුදේ ජල මට්ටම ඉහළ යාමත් සමගම වෙරළ ඛාදනය වීම හා කුණාටු රළ පහරට හසුවීම නිසා වෙරළබඩ ප්‍රදේශ ඔස්සේ දිවෙන මහා මාර්ග හා දුම්රිය මාර්ග වලට බලපෑම් ඇතිවේ. ඒවා ප්‍රතිස්ථාපනය කිරීමට සිදුවීම නිසා රජයට විශාල පිරිවැයක් දැරීමට සිදුවන අතරම එමගින් ඇතිවන ප්‍රමාධයෙන් ප්‍රවාහන සේවාවන්ට බාධා ඇතිවේ. සාගරය ඔස්සේ සිදුකෙරෙන ප්‍රවාහන කටයුතු සඳහා වැදගත් වන වරාය වැනි යටිතල පහසුකම් කෙරෙහිද මුහුදු ජල මට්ටම ඉහළ යාම නිසා උග්‍ර වන වෙරළ ඛාදනයෙන් අහිතකර බලපෑම් එල්ලවේ. එවැනි බලපෑම් රැසකින් තර්ජනයට ලක්වන ප්‍රවාහන ක්ෂේත්‍රය දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට ප්‍රතිරෝධී ආකාරයෙන් ප්‍රතිසංවිධානය කිරීම මිනිසාගේ සමාජාර්ථික සංවර්ධනයට අත්‍යාවශ්‍ය ය.

ඊට අමතරව ප්‍රවාහන කටයුතු සඳහා පොසිල ඉන්දන දහනය කිරීම නිසා මහා පරිමාණයෙන් වායු ගෝලයට එක්වන හරිතාගාර වායු ප්‍රමාණය අවම කිරීම සඳහාද ප්‍රවාහන ක්ෂේත්‍රයේ අත්‍යාවශ්‍ය ප්‍රතිසංවිධානයන් සිදුකල යුතුව ඇත. ඒ සඳහා පොදු ප්‍රවාහන සේවා ප්‍රවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවයකි. එක් එක් පුද්ගලයා විසින් තම ප්‍රවාහන කටයුතු සඳහා පුද්ගලික වාහන භාවිත කිරීම මගින් එම වාහන ධාවනය සඳහා පොසිල ඉන්දන දහනය කිරීමට සිදුවීමෙන් විශාල වශයෙන් හරිතාගාර වායූන් වායු ගෝලයට ඇතුල්වීම සිදුවේ. නමුත් දුම්රිය, පොදු මගී ප්‍රවාහන බස් රථ වැනි ප්‍රවාහන මාධ්‍ය ප්‍රවර්ධනය කිරීම මගින් එම තත්ත්වය වලක්වාලීම හැකිවේ. නමුත් ඒ සඳහා අපේ රටේ පොදු මගී ප්‍රවාහන සේවා බරපතල ප්‍රතිසංවිධානයකට ලක් කිරීමට සිදුවේ. මහජනතාවගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, පාරිභෝගිකයන්ට කාර්යක්ෂම හා සුහද සේවයක් ලැබෙන පරිදි  අපේ රටේ පොදු මගී ප්‍රවාහන සේවා ප්‍රතිසංවිධානය කිරීම මගින් රථවාහන භාවිතය අවම කිරීමට හැකියාව ලැබේ. ඊට සමගාමීව බදු අය කිරීම වැනි ක්‍රම මගින් තනි පුද්ගල රථවාහන භාවිතය අධෛර්යමත් කිරීමට හැකියාව පවතී.

නමුත් එවැනි ප්‍රතිසංවිධානයයන් සිදුකිරීම අපේ රටේ පවතින සමාජාර්ථික හා දේශපාලන තත්ත්වය හමුවේ වැඩි කල් ගතවන කටයුත්තක් විය හැකි බැවින් ඉන්දන කාර්යක්ෂමතාවය වැඩි රථවාහන භාවිතය දිරිගැන්වීම හා ඉලෙක්ට්‍රොනික මෝටර් රථ භාවිතය දිරි ගැන්වීම වැනි කටයුතු කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය. එසේම මේ වන විට ශ්‍රී ලංකාවේ මහා මාර්ග වල පවතින දැඩි මාර්ග තදබදය හේතුවෙන් රථවාහන වැඩි වෙලාවක් ඉන්දන දහනය කරමින් ක්‍රියාකාරී තත්ත්වයේ මාර්ග වල රඳවාගෙන සිටීමට සිදුවේ. එමගින්ද වැඩි වශයෙන් වායු ගෝලයට හරිතාගාර වායු එකතුවීම සිදුවේ. එම තත්ත්වයන් වලක්වාලීම සඳහා මහා මාර්ග පද්ධති අවශ්‍ය පරිදි පුළුල් කිරීම හෝ මහාමාර්ග වල සංසරණය වන වාහන ප්‍රමාණය අවමි කිරීමට සිදුවේ.


ප්‍රවාහන ප්‍රතිසංවිධානයේදී ගනු ලබන තීන්දු තීරණ ඇතැම් ධනවතුන්ගේ හා බලවතුන්ගේ සැප පහසු ජීවන රටාවට බාධාවක් වීමට පිළිවන. නමුත් මුළුමහත් ලෝක වාසීන්ගේ පැවැත්ම තහවුරු කරගැනීමට නම් දේශගුණ විපර්යාසය අවම කරන හා ඊට අනුහුරුවන ආකාරයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රතිසංවිධානයන්  සිදුකිරීම පමා කල නොහැකිය.

http://www.aithiya.lk/news_view.php?id=1160   
ආදීවාසීන්ගේ ඉරණම

වසර දහස් ගණනක අතීතයේ සිට පැවත ආ ශ්‍රී ලංකාවේ ආදිවාසී ජන කණ්ඩායම් මේ වනවිට දිවයිනේ ප්‍රදේශ 16ක පමණ විසිරී පැතිරී ජීවත්වෙති. වැදි ජනතාව ලෙස හඳුන්වන ඔවුන්ගේ ජනගහනය මේ වන විට 500,000 ක් පමණ වේ. ඔවුන්ගෙන් ඇතැමෙක් තවමත් තමන්ගේ වනගත දිවිය ආරක්ෂා කර ගැනීමට උත්සාහ දරමින් සිටින අතර තවත් පිරිසක් වාකරේ වැනි ප්‍රදේශවල මුහුදු වැද්දන් ලෙසද ඇතැමෙක් ගොවි ජනපද ව්‍යාපාරවලද ජීවත් වෙති. දේශගුණ විපර්යාසය හමුවේ මිහිමත ජීවත්වන සෑම මිනිස් ජන කොටසකම අනාගතය අවධානමේ වැටී ඇති පරිද්දෙන්ම ආදිවාසීන්ටද සෙස්සන්ට වඩා වැඩි අඳුරු ඉරණමක් අත්කර දෙමින් සිටීම කණගාටුවට කරුණකි.

ආදිවාසීන් යනු තමන් ජීවත්වන වටපිටාව සමග තදින් වෙලී ජීවත්වූ පිරිසකි. තම වටපිටාවේ පරිසරය සමග බද්ධ වෙමින් පරිසරයෙන් එල්ලවූ අභියෝගයන්ට ද නොසැලී මුහුණ දෙමින් ඔවුන් මෙතෙක් කලක් කෙසේ හෝ තම දිවි පෙවෙත සරිකර ගත්තද දේශගුණ විපර්යාසය හමුවේ පරිසරයේ සිදුවෙමින් පවත්නා බරපතල වෙනස්කම් තවදුරටත් විඳ දරාගැනීමට ඔවුන්ට ඇති හැකියාව අල්පය. එවැනි පසුබිමක දේශගුණ විපර්යාසය මගින් ඔවුන් හමුවේ ඇති ජීවත්වීමේ අභියෝගය තීව්‍ර කරමින් සිටී.

අනපේක්ෂිත වැසි හා නියං මගින් ඔවුන්ට අපේක්ෂිත ආකාරයට වනගත ක්‍රියාකාරකම් වල නියැලීමට බාධා එල්ලවේ. ඔවුන් දීර්ඝ වනගත සංචාර වලදී තම රාත්‍රී නවාතැන් ලෙස යොදා ගන්නේ ජල පහසුව සපයාගත හැකි දිය කඳුරු ආශ්‍රිත ගල් ගුහා ආදීයය. වසරේ විවිධ කාල සීමාවන් වලදී ජලය රැඳී පවතින ස්ථාන වෙත ඔවුන් ගමන් කරන්නේ වසර ගණනාවක සිට පැවත එන අත්දැකීම් හා වැඩිහිටියන්ගේ මතකයන් ඔස්සේය. නමුත් දේශගුණ විපර්යාසය මගින් හටගන්නා අකල් නියං මගින් වනගත දිය කඳුරු වියළා දමන්නේ ඔවුන්ගේ බලාපොරොත්තු සිඳ බිඳ දමමිනි. අතීතයේ වැදි ජනයා දඩයම මගින් ආහාර සොයා ගත්තද වර්තමානයේදී ඔවුනට ඒ සඳහා අවසර හිමි නොවේ. එබැවින් ඔවුන් යැපෙන්නේ වනාන්තර වලින් එක්රැස් කරගන්නා මීපැණි, වන ඖෂධ වැනි වනජ ද්‍රව්‍ය මතය. දේශගුණ විපර්යාසයේ සෘජු හා වක්‍ර බලපෑමෙන් වනජ ද්‍රව්‍ය හිඟවීම හමුවේ ඔවුන් අසරණවේ. ඒ හැර ඔවුන් විසින් සිදුකරන යැපුම් කෘෂිකර්මය දේශගුණ විපර්යාසයට ඔරොත්තු නොදීම හේතුවෙන් ඔවුන්ට සිදුවන්නේ තවදුරටත් නිරාහාර වීමටය. ඒ අතර ඔවුන් ජීවත්වන නිවාස ආදීය ශක්තිමත් බැවින් අඩු ඒවා වීම හේතුවෙන් ප්‍රචණ්ඩ වැසි කුණාටු වලට පහසුවෙන් ගොදුරුවේ.    

මෙවැනි අහිතකර පරිසර තත්ත්වයන් හමුවේ තම ජීවිතය රැකගැනීමට නොහැකි වීම නිසා එම පරම්පරා වල නූතන සාමාජිකයන් තම සාම්ප්‍රදායික වාස භූමි හා දිවි පෙවෙත හැර දමා දේශගුණ අනාථයන් ලෙස නගර වෙත සංක්‍රමණය වේ. ඇතැමුන් වනගත ජීවිතය අත්හැර ජනපද ව්‍යාපාර වල ජීවත්වීමට පෙළඹේ. නගරයේ ගෙන්දගම් පොළොවට නුහුරු ඔවුන් එහිදී විවිධ ආකාර වලින් සූරා කෑමට ලක්වේ. ආදිවාසී පරපුරේ ඇතැම් ජන කණ්ඩායම්වල සාම්ප්‍රදායික ගති ලක්ෂණ ගිලිහී යාමටද මෙම සංක්‍රමණ හේතුවේ. එමගින් ඔවුන් අක්මුල් සිඳී ගිය පිරිසක් ලෙස සමාජයේ හුදෙකලා වේ. තවද ඒ ඔස්සේ අපේ රටට හිමි පාරම්පරික දැනුම, වැදි බස, සංස්කෘතිකාංග, පාරම්පරික වෙදකම් ආදී බොහෝ උරුමයන් කාලයේ වැලි තලාවේ සැඟවී යාම ඛේදවාචකයකි.

ලොව පුරා කුඩා දූපත් රාජ්‍ය රැසක් මේ වනවිට දේශගුණ විපර්යාසයේ බලපෑමට නැතුව තිබේ. ඒවායේ ජීවත්වන ආදිවාසී ජන කොටස් මුහුණදෙන ඉරණම අපේ රටේ ආදිවාසීන් මුහුණදෙන ඉරණමටත් වඩා අවාසනවත්නවේ. දේශගුණ විපර්යාසය මගින් අපේ රටේ සිටින වැදි ජනයා ලක් පොළොවෙන් පලවා හැරීමට තරම් අකාරුණික වී නැත. ඔවුනට අපේ රටේම කොතැනක හෝ ජීවත්වීමට අවස්ථාව ලැබී ඇත. නමුත් කුඩා දූපත් රාජ්‍ය වල ජීවත්වන ආදිවාසීන්ට ජීවත්වීමට ඇති පාරම්පරික භූමියද දේශගුණ විපර්යාසයේ සෘජු ප්‍රතිපලයක් වන මුහුදු මට්ටම ඉහළ යාම නිසා සාගරයේ සැඟවී යාම නිසා ඔවුන් මුහුණ දෙන ඉරණම වඩාත් සෝචනීය වේ. ඒ හේතුවෙන් ඔවුන්ට තමන් උපන් බිමෙන් සදහටම සමුගෙන වෙනත් ආගන්තුක රටක හුදෙකාව ජීවත්වීමට සිදුවේ. එම ආගන්තුක පරිසරයේ ආගන්තුක ජනතාවක්, වෙනස් භාෂාවන්, නුපුරුදු ආහාර රටා, අමුතු සිරිත් විරිත් හා නුහුරු නීති රීති සමග ජීවත්වීමට සිදුවීම ඔවුන්ට අත්කර දෙන ඉරණම කිසිඳු ආකාරයකින් සතුටුදායක වන්නේ නැත. තමන්ට ජීවත්වීමට සිදුවන විදේශය තුලදී ඔවුන්ට එරට ස්වදේශිකයන් සමග ආහාර, ජලය, වාසස්ථාන හා සතුන් සඳහා අවශ්‍ය ගොදුරුබිම් ආදී සම්පත් බෙදා හදාගෙන ජීවත්වීමට සිදුවේ. නමුත් හදිසියේ සිදුවන ජනගහනය ඉහළ යාමට සරිලන ආකාරයෙන් විදේශයේ අධ්‍යාපන, සෞඛ්‍ය ආදී යටිතල පහසුකම් පුළුල්වීමක් සිදු නොවේ. එබැවින් විදේශයේ ජනයා සමග සම්පත් බෙදා ගැනීම සඳහා ගැටුම් ඇතිකර ගැනීමට පාරම්පරික භූමියෙන් විතැන් වන ආදිවාසීන්ට සිදුවේ.

අපේ රටේ ආදිවාසී ජනයා දේශගුණ විපර්යාසයේ ගොදුරක් බවට පත්වීම වැලක්වීමට නම් ඔවුන්ගේ සාමාජාර්ථික තත්ත්වය උසස් කර ඔවුන් දේශගුණ විපර්යාසය මගින් ස්වකීය පරිසරයේ සිදුවන වෙනස්කම් දරාගැනීමට හැකි ආකාරයෙන් සවිබල ගැන්විය යුතුය. මේ වනවිට තම පරපුර වසර දහස් ගණනක් භාවිතාකල ගොදුරු බිම් වනජීවී රක්ෂිත බවට පත්වීම නිසා ඔවුන් මුහුණදී සිටින අර්බුධය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර සාධාරණ ආකාරයෙන් තීන්දු ගත යුතුය.

දේශගුණ විපර්යාසය හමුවේ මහා පොළොවෙන් මැකී යන ආදිවාසී ජන උරුමය තව දුරටත් නොමැකෙන සේ සටහන් කර තැබීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීම බලධාරීන්ගේ යුතුකම හා වගකීමය.

Friday, June 10, 2016

කාන්තාව හා දේශගුණ අභියෝගය

දේශගුණ විපර්යාසය හේතුවෙන් මිනිස් වර්ගයා වෙත එල්ලවී ඇති බලපෑම් ගැන කතා කිරීමේදී කාන්තාවන්ට එල්ලවී ඇති බලපෑම පිළිබඳව ද විශේෂයෙන් සාකච්ඡා කල යුතුව ඇත. ඒ මන්ද යත් බොහෝ විට පවුල් ඒකකයන්ට දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් එල්ලවන පීඩනයේ අවසන් ගොදුර බවට පත්වන්නේ කාන්තාවන් හා කුඩා ගැහැණු දරුවන් වන බැවිනි. දේශගුණ විපර්යාසයේ බලපෑම නිසා ඇතිවන සමාජාර්ථික පීඩනයේ ගොදුරු බවට පත්වන කාන්තාවන් හා කුඩා ගැහැණු දරුවන් මුහුණ දෙමින් සිටින අඳුරු ඉරණම පිළිබඳව දැන් දැන් සිටම අවධානය යොමුකර ඊට පිළියම් සෙවීම අත්‍යාවශ්‍ය ය. 2016 අප්‍රේල් මස 22 වන දින රටවල් 175 ක් අත්සන් තැබූ පැරිස් දේශගුණ සම්මුතිය තුලද, දේශගුණික විපර්යාස පිළිබඳව ක්‍රියාත්මක වීමේදී ස්ත්‍රී-පුරුෂ සමාජභාවය (gender-sensitive actions) පිලිබඳ අවධානය යොමු කර ඇත්තේද මේ හේතුවෙනි.


තම පවුලේ සාමාජිකයන්ගේ දෛනික අවශ්‍යතාවයන් සඳහා ඉන්දන ලෙස දර සපයාගැනීම හා පරිභෝජනයට අවශ්‍ය ජලය සපයා ගැනීම ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව බොහෝ තුන්වැනි ලෝකයේ රටවල කාන්තාවන්ගේ ප්‍රධාන වගකීමකි. බොහෝ විට පවුලේ ගැහැණු දරුවන්ටද මේ සඳහා මවට උදව් උපකාර කිරීමට සිදුවේ. නමුත් වියළි කලාපයේ හා කඳුකරයේ බොහෝ ප්‍රදේශ වල ජීවත්වන කාන්තාවන්ට එම වගකීම ඉටුකිරීම පහසු කටයුත්තක් වන්නේ නැත. විශේෂයෙන් වර්ෂා සමයන්හිදී වැසි දියෙන් ජලය තෙත්වීම නිසා ඒවා ඉන්දන ලෙස භාවිතා කිරීම අපහසුවේ. දේශගුණ විපර්යාසයේ එක් අනිටු ප්‍රතිපලයක් ලෙස නිතර වර්ෂාපතනයන් ඇදහැලෙන ප්‍රදේශ වල කාන්තාවන්ට තම පවුලේ අහර වේල පිසගැනීමට හෝ වියළි දර කැබලි කිහිපයක් සපයා ගැනීමට දේශගුණ විපර්යාසය හරස් වන්නේ නිතර ඇදහැලෙන වර්ෂාවේ මුහුණුවරිනි.

දේශගුණ විපර්යාසයේ තවත් අනිටු ප්‍රතිපලයක් වන්නේ ඇතැම් ප්‍රදේශ වලට දීර්ඝ නියං කාල ඇතිවීමය. එවැනි තත්වයක් තුල තම පවුලේ අවශ්‍යතා සඳහා ජලය සොයා ගැනීම එවැනි ප්‍රදේශ වල කාන්තාවන්ට මහත් වෙහෙසකර කටයුත්තක් බව නොකිවමනාය. ලොව පුරා බොහෝ ප්‍රදේශ වල ජීවත්වන ජනතාවට පිරිසිඳු ජලය සපයා ගැනීම අභියෝගයක් බවට පත්ව ඇත. එම අභියෝගය දේශගුණ විපර්යාස හේතුවෙන් දෙතුන් ගුණයක් බරපතල වෙද්දී එහි ගොදුර බවට පත්වන්නේද කාන්තාවන් හා කුඩා ගැහැණු දරුවන් වීම සෝචනීය තත්ත්වයකි. එකිනෙක මත කුඩා කලගෙඩි හිස මත තබාගෙන හෝ ප්ලාස්ටික් ජල බඳුන් රැගෙන ජලය සොයා යන වියළි කලාපීය ප්‍රදේශවල කාන්තාවන් ඔබද ජීවිතයේ එක වරක් හෝ දැක ඇතිවාට සැක නැත. ඒ දේශගුණ විපර්යාසය කාන්තාවන්ට බලපා ඇති ආකාරයය. බැලූ බැල්මට එය ආකර්ශනීය දසුනක් වීමට පිළිවන් නමුත් එම ජල බඳුන් ඔසවාගෙන දිනපතා සැතපුම් ගණන් ජලය සොයා ඇවිද යාම වින්දනීය අත්දැකීමක් නම් නොවේ.

එම වෙහෙසකර කාර්ය විසින් එම කාන්තාවන් දීර්ඝකාලීන කොන්දේ හා දෙපාවල වේදනාව වැනි රෝගී තත්වයන්ගෙන් බැටකන අසරණයන් බවට පත් කරයි. ඒ අමතුද නොව දේශගුණ විපර්යාසය විසින් මේ උදුරාගෙන ඇත්තේ තම දරුවන් රැකබලා ගැනීමට, පවුලේ අවශ්‍යතා ඉෂ්ඨ කිරීමට හා ජීවනෝපායක යෙදී පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කාන්තාවන්ට ඇති වටිනා කාලයයි. පවුලේ මවට දර හා ජලය සෙවීමට සැලකිය යුතු කාලයක් ගතකිරීමට සිදුවීම හා නිවසින් සැතපුම් ගණන් දුරබැහැරට යාමට සිදුවීම නිසා  එමගින් පවුලේ දරුවන් අනාරක්ෂිත වීම සිදුවන අතර ඉතා බර ජල බඳුන් රැගෙන වෙහෙසකර ගමනක නිරතවන ස්ත්‍රීන්ද වෙනත් පුද්ගලයන්ගේම හෝ වන සතුන්ගේ හිංසනයන්ට ලක්වීමට වැඩි ඉඩ කඩක් පවතී. එහිදී තම මවගේ සහයට පැමිණෙන ගැහැණු දරුවන්ට අත්වන්නේද එම ඉරණමමය. ඊට අමතරව ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට ඇති වටිනා කාලයද මේ හේතුවෙන් අහිමිවී යාම කොතරම් අභාග්‍යසම්පන්න තත්ත්වයක්ද යන්න දෙවරක් සඳහන් කලයුතු නැත.

එසේම දේශගුණ විපර්යාසයේ  ආදීනව වශයෙන් හටගන්නා සුළිසුලං, කුණාටු, ගංවතුර හා නායයාම් වැනි ආපදාවන්ගෙන්ද වැඩිපුරම බැට කන්නේ කාන්තාවන්ය. තම පෞද්ගලිකත්වය ආරක්ෂාකර ගැනීමට අපහසුවීම හා අවශ්‍ය පරිදි සනීපාරක්ෂක පහසුකම් සපයා ගැනීමට අපහසුවීමේ සිට තම පවුලට අවශ්‍ය මුලික අවශ්‍යතා ලබා ගැනීම සඳහා නිලධාරීන්ට ලිංගික අල්ලස් ලබා දීමට සිදුවීම දක්වා වූ බරපතල අමානුෂීය ඛේදවාචකයන් රැසකට කාන්තාව මෙමගින් මුහුණදෙයි.

දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් පවුලේ ආර්ථික තත්ත්වය දුර්වලවීම නිසා ලැබෙන සීම්ත සම්පත් තම ස්වාමියා හා දරුවන් වෙත ලබා දී නිහඬවම කුසගින්න දරාගෙන සිටින මව්වරුන් කොතරම් මේ පොළොවේ සිටිනවා ඇත්ද යන්න ඔබ කිසිවිටෙකත් සිතා ඇතිද ? ඒ හේතුව නිසා අවශ්‍ය පෝෂදායී ආහාර නොලැබීම නිසා කාන්තාවන් තව තවත් දුර්වල මෙන්ම අසරණ වන අතර එමගින් ඔවුන් රෝග වලට ගොදුරුව වැඩි වශයෙන් වේදනා විඳීම හෝ මරණයට පත්වීම සිදුවේ.ගර්භණී කාන්තාවන්ට මෙම තත්ත්වය බරපතල ලෙස බලපෑම් ඇතිකරන අතර ඊට අමතරව දේශගුණ විපර්යාසය හේතුවෙන් පහල වායුගෝලයේ ඕසෝන් වායු සාන්ද්‍රණය ඉහළ යාම මගින් නොමේරු දරු උපත් ඇතිවීම තවත් බරපතල තත්ත්වයකි.


දේශගුණ විපර්යාසය මගින් ඇතිකරන අහිතකර බලපෑම් වලින් පෘථිවි වාසීන් ආරක්ෂාකර ගැනීමේ සටන ආරම්භ කලයුත්තේ කාන්තාව සවිබල ගැන්වීම මගින් බව මේ අනුව පෙනී යයි.

Friday, June 3, 2016

හැමදා වාරකන්

ලොව වටා දිවිගෙවන බිලියන ගණනක් ජනතාවගේ අහර පතට සත්ව ප්‍රෝටීන පෝෂණය ලබා දෙන සාපේක්ෂව අඩු වියදම් ප්‍රෝටීන ප්‍රභවයක්  ලෙස සාගර හා ගොඩබිමේ අභ්‍යන්තර මත්ස්‍ය සම්පත මගින් ඉටුවන මෙහෙය අති විශාලය. එසේම දිනෙන් දින වර්ධනයවන ජනගහනයට අවශ්‍ය රැකියා උත්පාදනයේදීද ධීවර කර්මාන්තයෙන් ලැබෙන දායකත්වය ඉමහත්ය. විශේෂයෙන්ම වෙනත් ආහාර ප්‍රභව සුලභ නොවන හා වෙනත් රැකියා අවස්ථා වෙත ලඟාවීම අපහසු ප්‍රජාවන්ගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා ධීවර කර්මාන්තය මහත් රුකුලකි. නමුත් මින්සුන් වන අපගේ අත්තනෝමතික හා වගකීම් විරහිත ක්‍රියාකලාපයන් නිසා හටගෙන ඇති දේශගුණ විපර්යාසයන් ශ්‍රී ලංකාවේ මෙන්ම සෙසු රටවලද ධීවර ප්‍රජාවන්ට සැමදා වාරකන් උදාකරණු ඇතිබව මේ වනවිට යථාර්තයක්වූ අනාවැකියක් බවට පත්ව ඇත. මෙහි ඇති ඉතාමත් ඛේදනීයම තත්වය වන්නේ බොහෝ ධීවර ප්‍රජාවන් දරිද්‍රතාවයෙන් අතිශය පීඩාවට පත්වූ හා වෙනසකට අඩු සුදානමක් දක්වන පිරිසක් වීමය. ඒ හේතුවෙන් දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට අනුහුරුවීමට ඔවුන්ට ඇති හැකියාව අඩු බැවින් ඔවුන් පහසුවෙන්ම දේශගුණ විපර්යාසයේ ගොදුරු බවට පත්වෙති.

දිනෙන් දින ඉහළ යන ලෝක ආහාර අවශ්‍යතාවය පිරිමසාලීම සඳහා ජනතාවට ඇති එක් වඩාත් සපලදායක ආහාර ප්‍රභවයක් ලෙස මත්ස්‍ය සම්පත ඉතා වැදගත්වන බවට ඉතා සරල නිදසුන වන්නේ වසරකට ලෝක ජනතාව පරිභෝජනය කරන මත්ස්‍ය සම්පත් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන සියය ඉක්මවීමය. එසේම තමන්ට හිමි ස්වල්ප ආහාර සලාකයේද වැඩි ප්‍රමාණයක් පිටි අධික ආහාර වන කල  ගෝලීය දුප්පත් ජනතාවගේ අහර පතට අස්වැසිල්ලක් ලබා දෙන ප්‍රෝටීන් පෝෂකය ලැබෙන්නේ මසුන්ගෙනි. එසේම මසුන් යනු ඉතා වැදගත් විටමින් හා ෆැටි අම්ල ප්‍රභවයක් බවද අප අමතක නොකළ යුතුය. එසේ හෙයින් දේශගුණ විපර්යාසයෙන් ධීවර කර්මාන්තයට එල්ල කෙරෙන බලපෑම ධීවර ප්‍රජාවට පමණක් ලඝු නොවී මුළුමහත් ලෝකවාසී ජනතාවගේම පෝෂණයට හා සෞඛ්‍ය තත්ත්වයටද තර්ජන එල්ල කරයි.

දේශගුණ විපර්යාස නිසා සාගර ජල මට්ටම ඉහළ යාම, නිතර නිතර ඇතිවන අයහපත් කාලගුණ තත්ත්ව, ජලයේ උෂ්ණත්වය ඉහළ යාම හා සාගර දියවැල් වල ක්‍රියාකාරීත්වය වෙනස්වීම මගින් ධීවර ජනතාවට සෘජුවම බලපෑම් එල්ලවේ.

මුහුදු මට්ටම ඉහළ යාම හා වෙරළ ඛාදනය සීග්‍ර වීම නිසා වෙරළබඩ ප්‍රදේශවල වෙසෙන ධීවර ජනතාවගේ ජනාවාස හා යටිතල පහසුකම් විනාශවෙයි. වෙරළ තීරය පටුවීම නිසා තම ධීවර යාත්‍රා නවතා තැබීමට හා දැල් ආම්පන්න අලුත්වැඩියා කර ගැනීමට භූමියක් නොමැතිවීම ධීවර ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළුවකි. මුහුදු මට්ටම ඉහළ යාමේ හා වෙරළ ඛාදනයේ ප්‍රතිපලය වන පටු වෙරළ තීරය බෙදා ගැනීම සඳහා ධීවරයන්ට හා වෙරළ තීරයේ සංචාරක පහසුකම් සපයන්නන්ට නිරන්තර අරගලයක යෙදෙන්නට සිදුවී ඇත.

මුහුදු මට්ටම ඉහළ යාමත් සමග භූගත ජලයේ ලවණතාවය අධිකවීම නිසා පානීය ජල ගැටළුවකට මුහුණදීමට ධීවර ප්‍රජාවට සිදුවේ. එසේම සනීපාරක්ෂාව පවත්වාගෙන යාම සඳහාද එය බාධාවකි. මේ හේතූන් නිසා අද වන විට දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ධීවර ජනතාවට රට තුලට සංක්‍රමණයවී වෙනත් ජීවිකාවන් සොයා ගන්නට සිදුවී ඇත.

දේශගුණ විපර්යාසය සමග දියවැල් වල ක්‍රියාකාරීත්වය වෙනස්වීම හා උෂ්ණත්වය ඉහළ යාම නිසා අනපේක්ෂිත ලෙස විශාල මත්ස්‍ය අස්වනු ලැබීම හා බොහෝ අවස්ථා වල බලාපොරොත්තුවන අස්වැන්න නොලැබීම ධීවරයන්ගේ ආර්ථිකයට මරු පහරකි. තවද මුහුදු මසුන් හා ආහාරයට ගන්නා බෙල්ලන්, කකුළුවන් වැනි වෙනත් මුහුදු ජීවීන් තුල මාරාන්තික විෂ ඇතිවීම මගින් ඒවා පරිභෝජනය කරන්නන්ට සෞඛ්‍ය තර්ජන එල්ලවීමද ගැටළුවකි.

පෙරට වඩා තීව්‍ර හා සුලභ ලෙස සුළිසුලං හා කුණාටු ඇතිවීම නිසා ධීවර යාත්‍රා හා ආම්පන්න විනාශවීම ද ධීවර කාර්මිකයින් මරණයට පත්වීමද මේ වන විට සුලභ සංසිද්ධියක් බවට පත්ව ඇත. අතීතයේදී මෙවැනි කාලගුණ වෙනස්වීම් පිළිබඳව තම අත්දැකීමෙන් අනාවැකි පළකිරීමට පළපුරුදු ධීවර කාර්මිකයින්ට හැකියාව තිබුනද දේශගුණ විපර්යාසය හේතුවෙන් එම තත්වය වියැකී ගොස් ඇති බවට ඔවුන් මැසිවිලි නගති.

මේ හේතුවෙන් දිනෙන් දින වඩවඩාත් උග්‍ර ලෙස ඇතිකෙරෙන ආර්ථික පීඩනයෙන් බේරීම සඳහා නීති විරෝධී පන්න ක්‍රම භාවිතා කරමින් මසුන් මැරීමට ධීවරයින් පෙළඹේ. එය බලපෑම තවත් භයානක වීමට හේතුවේ.

දේශගුණ විපර්යාසය මගින් බලපෑම් එල්ලවන්නේ කරදිය ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ට පමණක් නොවේ.  එමගින් අභ්‍යන්තර ජලාශවල මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස් වලටද තර්ජන එල්ලවේ. මෙරට වියලි කලාපය පුරා පැතිරී ඇති වැව් හා ජලාශ වල ධීවර කර්මාන්තයේ යෙදීම මගින් පවුල් දහස් ගණනක් තම ජීවිකාව සරිකරගනිති. නිතර ඇතිවන නියඟය හේතුවෙන් ජලාශ වියලී යාම නිසා ඔවුන්ට මත්ස්‍ය අස්වනු නොලැබී යයි. එසේම ජලාශවල මත්ස්‍ය විවිධත්වය අඩුවීමටද මෙම තත්වය හේතුවේ. 


ලොව පුරා විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවද ඇතුලත්ව මිලියන 200 කට වැඩි පිරිසක් ධීවර රැකියාවේ නිරත වන අතර ඔවුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද ධීවර හා ජලජීවී වගාවන් මත යැපෙති. එබැවින් දේශගුණ විපර්යාසය මගින් ධීවර ප්‍රජාවට එල්ලවන බලපෑම අවම කිරීම හා ඊට අනුහුරුවීම සඳහා ධීවර ජනතාව සවිබලකරණය ඉතා වැදගත් වෙයි. 
රට වට බැඳී රන් වැට


දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් මුහුදු මට්ටම ඉහළ යාම මේ වනවිට බරපතල ප්‍රශ්න රැසක් ඇතිකරමින් පවතී. සොබාදහම පිළිබඳව කිසිඳු තැකීමක් නොකරමින් මිනිසා විසින් වායුගෝලය වෙත මුදා හරින හරිතාගාර වායූන් මගින් හිරුගේ සිට පෘථිවිය වෙත ලැබෙන කිරණ අවශෝෂණය කරගෙන ගෝලීය උෂ්ණත්වය ඉහළ දැමීම සිදුකරයි. ඒ හේතුවෙන් පෘථිවි ගෝලයේ උතුරු හා දකුණු ධ්‍රැව වල ඇති අයිස් කඳු හා ග්ලැසියර් දියවී මුහුදේ ජල මට්ටම ඉහළ යයි. එසේම එවරස්ට් වැනි කඳු මුදුන්වල පවා පැවති හිම ආවරණය දියවී ගංගා ඔස්සේ මුහුදට ගලා ඒම සිදුවේ. එහි අවසන් ප්‍රතිපලය වන්නේ ද සාගරයේ ජල මට්ටම ඉහල යාමය. ලොව පුරා කුඩා දූපත් රාජ්‍යවලට හා විශාල රටවල පවා වෙරළාසන්න ප්‍රදේශ වලට මුහුදුදේ ජල මට්ටම ඉහළ යාම නිසා බලපෑම් එල්ලවී ඇත. ඉන්දියන් සාගරයේ දූපත් වාසීන් ලෙස ජීවත්වන අපටද එමගින් බැහැරවීමට කිසිඳු හැකියාවක් නැත. නමුත් කුමන හෝ වාසනාවකට අපට අපේ රට මුහුදු මට්ටම ඉහළ යාමෙන් ආරක්ෂා කර ගැනීමට රට වට බැඳී රන් වැටක් සොබාදහම විසින්ම දායාද කර දී ඇත. නමුත් අවාසනාවන්ත කරුණ නම් එහි වටිනාකම හරි හැටි වටහා නොගෙන අප එම ආරක්‍ෂිත වැට වනසා දමමින් සිටීමය. නමුත් අප විසින් සැබවින්ම කල යුත්තේ නැග එන මුහුදු රළ මගින් භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා රට වට ඇති ඒ රන් වැට ආරක්ෂා කර ගැනීම සඳහා කැපවීමය. එනම් කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කරගැනීමය.

මුහුදු මට්ටම ඉහළ යාම හමුවේ වැඩිම තර්ජනයක් එල්ලවී ඇත්තේ කුඩා දුපත් රාජ්‍යවලටය. එමගින් එන්න එන්නම එම දූපත් රාජ්‍ය වල ජීවත්වන ජනතවාට ජීවත්වීමට ඇති සීමිත භූමිය අහිමිවීම සිදුවේ. ඊට අමතරව  මිනිසාගේ පැවැත්මට ඉතා අත්‍යාවශ්‍ය ජලයට කරදිය මුසුවීම මගින් පරිභෝජනයට ගැනීමට නොහැකි තත්ත්වයට පත්වීම නිසා තත්ත්වය තවත් භයානක වේ. මෙම තත්ත්වය ලොව සෑම ප්‍රදේශයකටම පොදු උවදුරක් වන නමුත් පෘථිවි ගෝලයේ මතුපිට ඇති ජලයෙන් සියයට විස්සක් (20%) දරා සිටින ලොව තෙවැනි විශාලතම සාගරය වන ඉන්දියන් සාගරයට එමගින් සන්සන්ධනාත්මක්ව වැඩි බලපෑමක් එල්ලවේ. පෘථිවි ගෝලයේ චන්ද්‍රිකා ඡායාරූප අධ්‍යනය කිරීම මගින් හෙළිදරව් කරගෙන ඇති කරුණු අනුව ඉන්දියන් සාගරය ආශ්‍රිතව ඇති බෙංගාල බොක්ක, අරාබි මුහුද, ශ්‍රී ලංකාව හා ජාවා සුමාත්‍රා ප්‍රදේශ වලට මුහුදු මට්ටම ඉහළ යාම දැඩි බලපෑම් එල්ලකර ඇත. මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත්වන මිලියනයකට වැඩි ජනතාවක් අවධානමට ලක්වී සිටිති.

මුහුදු මට්ටම ඉහළ යාම නිසා වෙරළාසන්න ප්‍රදේශ මුහුදුබත් වීමෙන් ගොඩබිම ක්ෂයවීම සිදුවේ. මෝසම් සුළං සමයන්හිදී වෙරළ ඛාදනය ඉහළ යාම මගින් මෙම තත්ත්වය තවත් උත්සන්න වේ. එමගින් එහි ජීවත්වන බොහොමයක් ධීවර ජනතාවට ජීවත්වීමට හා තම ජීවිකාව පවත්වා ගැනීමට නොහැකිවේ. එසේම වෙරළබඩ ප්‍රදේශ ඔස්සේ දිවෙන මහා මාර්ග හා දුම්රිය මාර්ග, පොදු යටිතල පහසුකම් හා සංචාරක ව්‍යාපාර ප්‍රතිස්ථාපනය කිරීමට සිදුවීම නිසා විශාල ආර්ථික පීඩනයක් ඇතිවේ. තවද ජල සංචිත වලට කරදිය මුසුවීම නිසා ඒවා පරිභෝජනයට ගැනීමට නොහැකි වේ. එම ජලයේ ලවණතාවය ඉවත්කිරීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන අතර අප වැනි දුප්පත් රටවලට එම වියදම් දරා ගැනීම අපහසුය. ඒ මතුද නොව අධික ලෙස වැලි ගොඩදැමීම නිසා ගංගා වල ගැඹුර වැඩිවීමෙන් කරදිය රට තුලට ගලා ඒම දැනටමත් අප රටට ප්‍රශ්නයක් වී ඇත. උදාහරණයක් වශයෙන් මේ වනවිටත් කැළණි ගඟ ඔස්සේ කිලෝමීටර් 14ක් පමණ දුරට රට තුලට කරදිය ගලා ඒම සිදුවේ. මුහුදු මට්ටම ඉහළ යාමෙන් එම තත්ත්වය තව දුරටත් ඔඩුදිවීම නිසා ගංගා නිම්න ආශ්‍රිතව ජීවත්වන ජනතාවටද බලපෑම් එල්ලවේ.

මෙම තත්ත්වය සැලකියයුතු මට්ටමකින් පාලනය කර ගැනීම සඳහා කඩොලාන ශාක ප්‍රජාව මගින් ලැබෙන දායකත්වය අති විශාල බව ෆීජි වැනි දූපත් රාජ්‍ය මගින් ඔප්පුකර ඇත. ශ්‍රී ලංකාවේ කඩොලාන ශාක විශේෂ 22ක් හමුවන අතර කඩොලාන පරිසර පද්ධති මගින් කලපු හා ගංගා මෝය ආශ්‍රිතව මුහුදු මට්ටම ඉහළ යාමෙන් ඇතිවන බලපෑම් අවම කිරීම සිදු කරයි. එසේම කඩොලාන පරිසර පද්ධති ක්‍රමක්ක්‍රමයෙන් වර්ධනය වීම මගින් ගොඩබිම් ජනනය කිරීමද සිදුවන බැවින් මුහුදු මට්ටම ඉහළ යාමට එරෙහිව සටන් කිරීමට ඇති හොඳම මගක් ලෙස කඩොලාන වගාව හඳුන්වා දිය හැකිය.

බැමි ඉදිකිරීම හා ගල්වැටි දැමීම වැනි ඉංජිනේරුමය උපක්‍රම මගින්ද මුහුදු මට්ටම ඉහළ යාමෙන් ගොඩබිම ආරක්ෂා කර ගැනීමට අප රටද ප්‍රයත්න දරා ඇති නමුත් ඒවා අධික වියදම් සහිත ක්‍රම වේදයන් වන අතර එමගින් වෙනත් කිසිඳු ප්‍රතිලාභයක් අත් නොවේ. නමුත් කඩොලාන මගින් ප්‍රජාවට ආහාර හා ඉන්දන වැනි ද්‍රව්‍ය සෘජුවම ලබා ගත හැකි අතර මසුන්, ඉස්සන් හා කකුළුවන් වැනි සතුන්ගේ අභිජනන මධ්‍යාස්ථාන වශයෙන් කඩොලාන ක්‍රියාකිරීම නිසා එමගින් ධීවර ප්‍රජාවට මහත් වාසි සැලසේ. කඩොලාන වනාන්තර සංචාරක ආකර්ශකයක් ලෙස භාවිතා කරමින් පාරිසරික සංචාරක කර්මාන්තය ද ප්‍රවර්ධනය කිරීමට හැකියාව පවතී. ඒ මතුද නොව කඩොලාන මගින් වායු ගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ශාක වල තැන්පත්කරගනීම නිසා දේශගුණ විපර්යාසය අවම කරගැනීම සඳහා ද මහත් පිටුබලයක් ලැබේ.


නමුත් එවැනි පසුබිමක් තුල අප වැනි රටවල් තමන්ට සොබාදහමෙන් ලැබුණු මේ සීමිත දායාදය කිසිඳු අනුකම්පාවක් රහිතව වනසා දමමින් සිටීම කණගාටුවට කරුණකි.