Friday, June 3, 2016

හැමදා වාරකන්

ලොව වටා දිවිගෙවන බිලියන ගණනක් ජනතාවගේ අහර පතට සත්ව ප්‍රෝටීන පෝෂණය ලබා දෙන සාපේක්ෂව අඩු වියදම් ප්‍රෝටීන ප්‍රභවයක්  ලෙස සාගර හා ගොඩබිමේ අභ්‍යන්තර මත්ස්‍ය සම්පත මගින් ඉටුවන මෙහෙය අති විශාලය. එසේම දිනෙන් දින වර්ධනයවන ජනගහනයට අවශ්‍ය රැකියා උත්පාදනයේදීද ධීවර කර්මාන්තයෙන් ලැබෙන දායකත්වය ඉමහත්ය. විශේෂයෙන්ම වෙනත් ආහාර ප්‍රභව සුලභ නොවන හා වෙනත් රැකියා අවස්ථා වෙත ලඟාවීම අපහසු ප්‍රජාවන්ගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා ධීවර කර්මාන්තය මහත් රුකුලකි. නමුත් මින්සුන් වන අපගේ අත්තනෝමතික හා වගකීම් විරහිත ක්‍රියාකලාපයන් නිසා හටගෙන ඇති දේශගුණ විපර්යාසයන් ශ්‍රී ලංකාවේ මෙන්ම සෙසු රටවලද ධීවර ප්‍රජාවන්ට සැමදා වාරකන් උදාකරණු ඇතිබව මේ වනවිට යථාර්තයක්වූ අනාවැකියක් බවට පත්ව ඇත. මෙහි ඇති ඉතාමත් ඛේදනීයම තත්වය වන්නේ බොහෝ ධීවර ප්‍රජාවන් දරිද්‍රතාවයෙන් අතිශය පීඩාවට පත්වූ හා වෙනසකට අඩු සුදානමක් දක්වන පිරිසක් වීමය. ඒ හේතුවෙන් දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට අනුහුරුවීමට ඔවුන්ට ඇති හැකියාව අඩු බැවින් ඔවුන් පහසුවෙන්ම දේශගුණ විපර්යාසයේ ගොදුරු බවට පත්වෙති.

දිනෙන් දින ඉහළ යන ලෝක ආහාර අවශ්‍යතාවය පිරිමසාලීම සඳහා ජනතාවට ඇති එක් වඩාත් සපලදායක ආහාර ප්‍රභවයක් ලෙස මත්ස්‍ය සම්පත ඉතා වැදගත්වන බවට ඉතා සරල නිදසුන වන්නේ වසරකට ලෝක ජනතාව පරිභෝජනය කරන මත්ස්‍ය සම්පත් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන සියය ඉක්මවීමය. එසේම තමන්ට හිමි ස්වල්ප ආහාර සලාකයේද වැඩි ප්‍රමාණයක් පිටි අධික ආහාර වන කල  ගෝලීය දුප්පත් ජනතාවගේ අහර පතට අස්වැසිල්ලක් ලබා දෙන ප්‍රෝටීන් පෝෂකය ලැබෙන්නේ මසුන්ගෙනි. එසේම මසුන් යනු ඉතා වැදගත් විටමින් හා ෆැටි අම්ල ප්‍රභවයක් බවද අප අමතක නොකළ යුතුය. එසේ හෙයින් දේශගුණ විපර්යාසයෙන් ධීවර කර්මාන්තයට එල්ල කෙරෙන බලපෑම ධීවර ප්‍රජාවට පමණක් ලඝු නොවී මුළුමහත් ලෝකවාසී ජනතාවගේම පෝෂණයට හා සෞඛ්‍ය තත්ත්වයටද තර්ජන එල්ල කරයි.

දේශගුණ විපර්යාස නිසා සාගර ජල මට්ටම ඉහළ යාම, නිතර නිතර ඇතිවන අයහපත් කාලගුණ තත්ත්ව, ජලයේ උෂ්ණත්වය ඉහළ යාම හා සාගර දියවැල් වල ක්‍රියාකාරීත්වය වෙනස්වීම මගින් ධීවර ජනතාවට සෘජුවම බලපෑම් එල්ලවේ.

මුහුදු මට්ටම ඉහළ යාම හා වෙරළ ඛාදනය සීග්‍ර වීම නිසා වෙරළබඩ ප්‍රදේශවල වෙසෙන ධීවර ජනතාවගේ ජනාවාස හා යටිතල පහසුකම් විනාශවෙයි. වෙරළ තීරය පටුවීම නිසා තම ධීවර යාත්‍රා නවතා තැබීමට හා දැල් ආම්පන්න අලුත්වැඩියා කර ගැනීමට භූමියක් නොමැතිවීම ධීවර ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළුවකි. මුහුදු මට්ටම ඉහළ යාමේ හා වෙරළ ඛාදනයේ ප්‍රතිපලය වන පටු වෙරළ තීරය බෙදා ගැනීම සඳහා ධීවරයන්ට හා වෙරළ තීරයේ සංචාරක පහසුකම් සපයන්නන්ට නිරන්තර අරගලයක යෙදෙන්නට සිදුවී ඇත.

මුහුදු මට්ටම ඉහළ යාමත් සමග භූගත ජලයේ ලවණතාවය අධිකවීම නිසා පානීය ජල ගැටළුවකට මුහුණදීමට ධීවර ප්‍රජාවට සිදුවේ. එසේම සනීපාරක්ෂාව පවත්වාගෙන යාම සඳහාද එය බාධාවකි. මේ හේතූන් නිසා අද වන විට දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ධීවර ජනතාවට රට තුලට සංක්‍රමණයවී වෙනත් ජීවිකාවන් සොයා ගන්නට සිදුවී ඇත.

දේශගුණ විපර්යාසය සමග දියවැල් වල ක්‍රියාකාරීත්වය වෙනස්වීම හා උෂ්ණත්වය ඉහළ යාම නිසා අනපේක්ෂිත ලෙස විශාල මත්ස්‍ය අස්වනු ලැබීම හා බොහෝ අවස්ථා වල බලාපොරොත්තුවන අස්වැන්න නොලැබීම ධීවරයන්ගේ ආර්ථිකයට මරු පහරකි. තවද මුහුදු මසුන් හා ආහාරයට ගන්නා බෙල්ලන්, කකුළුවන් වැනි වෙනත් මුහුදු ජීවීන් තුල මාරාන්තික විෂ ඇතිවීම මගින් ඒවා පරිභෝජනය කරන්නන්ට සෞඛ්‍ය තර්ජන එල්ලවීමද ගැටළුවකි.

පෙරට වඩා තීව්‍ර හා සුලභ ලෙස සුළිසුලං හා කුණාටු ඇතිවීම නිසා ධීවර යාත්‍රා හා ආම්පන්න විනාශවීම ද ධීවර කාර්මිකයින් මරණයට පත්වීමද මේ වන විට සුලභ සංසිද්ධියක් බවට පත්ව ඇත. අතීතයේදී මෙවැනි කාලගුණ වෙනස්වීම් පිළිබඳව තම අත්දැකීමෙන් අනාවැකි පළකිරීමට පළපුරුදු ධීවර කාර්මිකයින්ට හැකියාව තිබුනද දේශගුණ විපර්යාසය හේතුවෙන් එම තත්වය වියැකී ගොස් ඇති බවට ඔවුන් මැසිවිලි නගති.

මේ හේතුවෙන් දිනෙන් දින වඩවඩාත් උග්‍ර ලෙස ඇතිකෙරෙන ආර්ථික පීඩනයෙන් බේරීම සඳහා නීති විරෝධී පන්න ක්‍රම භාවිතා කරමින් මසුන් මැරීමට ධීවරයින් පෙළඹේ. එය බලපෑම තවත් භයානක වීමට හේතුවේ.

දේශගුණ විපර්යාසය මගින් බලපෑම් එල්ලවන්නේ කරදිය ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ට පමණක් නොවේ.  එමගින් අභ්‍යන්තර ජලාශවල මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස් වලටද තර්ජන එල්ලවේ. මෙරට වියලි කලාපය පුරා පැතිරී ඇති වැව් හා ජලාශ වල ධීවර කර්මාන්තයේ යෙදීම මගින් පවුල් දහස් ගණනක් තම ජීවිකාව සරිකරගනිති. නිතර ඇතිවන නියඟය හේතුවෙන් ජලාශ වියලී යාම නිසා ඔවුන්ට මත්ස්‍ය අස්වනු නොලැබී යයි. එසේම ජලාශවල මත්ස්‍ය විවිධත්වය අඩුවීමටද මෙම තත්වය හේතුවේ. 


ලොව පුරා විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවද ඇතුලත්ව මිලියන 200 කට වැඩි පිරිසක් ධීවර රැකියාවේ නිරත වන අතර ඔවුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද ධීවර හා ජලජීවී වගාවන් මත යැපෙති. එබැවින් දේශගුණ විපර්යාසය මගින් ධීවර ප්‍රජාවට එල්ලවන බලපෑම අවම කිරීම හා ඊට අනුහුරුවීම සඳහා ධීවර ජනතාව සවිබලකරණය ඉතා වැදගත් වෙයි. 

No comments:

Post a Comment