Monday, December 5, 2016


හිතවත් පාඨකය,

දේශගුණ අනාථයන් පිළිබඳ ප්‍රශ්නය ලොව බරපතලම මානුෂීය ඛේදවාචකය වනු ඇතිද?
ඒ පිළිබඳව විමසුම පහත link මගින් කියවන්න.

https://www.academia.edu/30102745/Will_Climate_change_refugees_become_the_world_largest_humanitarian_crisis

Sunday, October 30, 2016

දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව

දේශගුණ විපර්යාස ඇතිවීම පාලනය කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අවමකිරීමට ගෝලීය එකඟතාවයක් ඇතිකර ගැණීමට නොහැකිව ලෝක නායකයන් බරපතල කඹ ඇදිල්ලක යෙදී සිටි වකවානුවක ‘දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව’ {Intended Nationally Determined Contributions (INDCs)} පිළිබඳ අදහස මුලින්ම කරලියට පැමිණියේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදී පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශව කරුවන්ගේ 17 වැනි සැසි වාරයේදී පත්කර ගන්නා ලද ක්‍රියාකාරී කණ්ඩායමක් තුලිනි. පසුව 2013 වසරේ පෝලන්තයේ වර්සොව් නුවරදී පැවති පාර්ශව කරුවන්ගේ 19 වැනි සැසි වාරයේදී ලෝක නායකයන්ට ආරාධනා කෙරුනේ තමන්ට අභිමත පරිදි එක් එක් රටවලට තමන්ගේම ‘දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව’ සකස්කර සම්මුතියට ඉදිරිපත් කරන ලෙසය. ඒ අනුව අනුන්ට ඇඟිල්ල දික්කරමින් හා වරද පටවමින් කාලය කා දැමු අතීතයට තිත තබා දේශගුණ විපර්යාස පාලනය කිරීම සඳහා කැපවීමට මෙම ‘දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව’ ඉතා වැදගත් ආරම්භයක් ලබා දුනි.

එක් එක් රටවලට හරිතාගාර වායු විමෝචන අවමකිරීමට හැකි ක්ෂේත්‍ර හා ඊට අදාළ ප්‍රමාණයන් වෙනස් විය හැකිය. එසේම එක් එක් රටවල දේශගුණ විපර්යාසයේ බලපෑමට ලක්විය හැකි ක්ෂේත්‍ර හා අනුහුරුවීම් ප්‍රමුඛතා ද වෙනස්විය හැකිය. ඒ අනුව දේශගුණ විපර්යාස පාලනයට හා ඊට අනුහුරුවීමට තමන්ට හැකි ප්‍රමාණය තමන් විසින්ම තීරණය කර දේශගුණ විපර්යාසයට එරෙහි ගෝලීය සටනට තමන්ට රටක් වශයෙන් ලබාදිය හැකි දායකත්වය කුමක්ද යන්න දැක්වීම ‘දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව’ මගින් අපේක්ෂා කෙරේ.

දේශගුණ අභියෝගයට මුහුණදීමේ ගෝලීය සටනට අනුග්‍රහය දක්වමින් අප රට මගින් නිකුත්කරන හරිතාගාර වායු විමෝචන අවම කිරීමට හා දේශගුණ විපර්යාසයට අනුහුරුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අප රටද මෙම ‘දායකත්ව’ සකස් කර ඇත. එමෙන්ම පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමත කිරීමත් සමග අප රටද ඒවා ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තරය හමුවේ වගකීමෙන් බැඳී සිටින අතර 2020 වසරේ සිට ඒවා ක්‍රියාත්මක කල යුතුව ඇත. එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය සමග කටයුතු කිරීම සඳහා ජාතික මට්ටමින් වගකීම පැවරී ඇති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකාවට අදාලව මෙම ‘දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව’ සකස්කර භාරදී ඇති අතර ඒවා ක්‍රියාත්මක කරවීම ආණ්ඩුවේ වගකීමය.

දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව මගින් හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ගනු ලබන තීන්දු තීරණ වලදී හා අනුහුරු ක්‍රියාමාර්ග වලදී එහි පලපෑම මෙරට පුරවැසියන්ට විඳින්නට සිදුවන අතර දේශගුණ විපර්යාස පාලනය වීම මගින් ලැබෙන ප්‍රතිලාභද ඔවුනට පෙරලා ලැබෙයි. නමුත් ඒ පිළිබඳව ශ්‍රී ලාංකීය ජන සමාජය තුල ගැඹුරු සංවාදයක් ඇතිවී නොතිබීම කණගාටුවට කරුණකි. එබැවින් ඒ පිළිබඳව හාරා අවුස්සා බැලීම කාලෝචිත යැයි හැඟෙයි.

අප රට විසින් දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව, දේශගුණ විපර්යාසය අවමකිරීම (Mitigation), අනුහුරුවීම (Adaptation), අලාභ හා හානි (Loss and Damage) සහ ක්‍රියාත්මක කිරීමේ මාර්ග යන ප්‍රධාන කොටස් හතරක් යටතේ දක්වා ඇත. දේශගුණ විපර්යාස අවමකිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අවමකල යුතුය. ඒ සඳහා මෙරට තුල යෝජනාකර ඇති ක්ෂේත්‍ර වන්නේ බලශක්ති, ප්‍රවාහන, කර්මාන්ත, ඝන අපද්‍රව්‍ය හා වනාන්තර යන ක්ෂේත්‍රයි. එමගින් ජනනය වන කාබන් ඩයොක්සයිඩ්, මීතේන් හා නියිට්‍රස් ඔක්සයිඩ් යන හරිතාගාර වායු විමෝචන අවමකිරීම කෙරෙහි අවධානය යොමුකර ඇත.

එසේම අනුහුරුවීම යටතේ දේශගුණ විපර්යාසය හමුවේ දැඩි ලෙස අවධානමට ලක්වන ප්‍රජාවන් හා ක්ෂේත්‍ර හඳුනාගෙන ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමට අවධානය යොමු කෙරේ. ඒ යටතේ හඳුනාගෙන ඇති අවධානම් ක්ෂේත්‍ර වන්නේ මහජන සෞඛ්‍ය, ආහාර සුරක්ෂිතතාව (කෘෂිකර්ම, සත්ව පාලන හා ධීවර ක්ෂේත්‍ර ඇතුලත්ව), ජල හා වාරිමාර්ග, වෙරළ හා සාගර, ජෛවවිවිධත්ව, නාගරික යටිතල පහසුකම් හා ජනාවාස සහ සංචාරක යන ක්ෂේත්‍රයි.

ආන්තික දේශගුණ බලපෑම් මගින් ඇතිවන අලාභ හා හානි පිළිබඳව ක්‍රියාකිරීම සඳහා ශ්‍රී ලංකාව වර්සොව් ජාත්‍යන්තර යාන්ත්‍රණය අනුව ගිය දේශීය යාන්ත්‍රණයක් සකසා ගැනීමට අපේක්ෂා කරන අතර මේ සියලු දෑ ක්‍රියාත්මක කිරීමේ මාර්ග සකසා ගැනීමේදී අවශ්‍ය වන මුදල්, තාක්ෂනය හා ධාරිතා වර්ධනය සඳහා දේශීය හා විදේශීය සහාය අපේක්ෂා කරයි.


රටේ පුරවැසියන් වශයෙන් අප මේ පිළිබඳව දැනුවත්වී සිටීම හා උනන්දුවීම අත්‍යාවශ්‍ය අතර දේශගුණ විපර්යාසයයේ බලපෑමට මේ වනවිටත් මුහුණදී සිටින, අනාගතයද අවධානමේ පවතින ජනතාවක් වශයෙන් රටේ පාලකයන් දේශගුණ විපර්යාස පාලනයට හා ඊට අනුහුරුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේද යන්න සම්බන්ධයෙන් අවදියෙන් පසුවිය යුතුය. ඒ සඳහා ඇති හොඳම මිනුම් දණ්ඩ වනුයේ ‘දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව’ යි.

Friday, October 21, 2016

නීල හරිත යුගයක්

මෙම සියවසේ සමස්ථ පෘතුවි වාසීන්ම මුහුණදී සිටින මුලික සමාජාර්ථික අභියෝගය දේශගුණ විපර්යාසය බව අවිවාදිතය. ඉහළ යන මිනිස් ජනගහනයේ සංකීර්ණ අවශ්‍යතා සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ දී වායුගෝලයට නිකුත්වන හරිතාගාර වායු ප්‍රමාණය අවමකිරීමට හැර එම අභියෝගය ජය ගැනීමට අන් විකල්පයක් නොමැති බව පැහැදිළිය. ඒ සඳහා ලෝකයේ විවිධ රටවල් විවිධ වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කරන අතර අපේ රට යෝජනා කරන වැඩපිළිවෙල වන්නේ ‘නීල හරිත යුගයක්’ සංවර්ධන වැඩසටහනයි.

ඒ අනුව ‘නීල හරිත යුගයක්’ සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව විවිධ මති මතාන්තර හා සාකච්ඡා ඇතිවෙමින් පවතී. මෙම වැඩසටහනට උක්ත නම යොදා ඇත්තේ ගැඹුරු තේරුමක් ඇතිව ය. නමුත් බැලූ බැල්මට මෙහි නීල යන්නෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නියෝජනය කරන නිදහස් පක්ෂ පාර්ශවයත් හරිත යන්නෙන් එක්සත් ජාතික පක්ෂයත් නියෝජනය වනු ඇතැයි කෙනෙකුට පෙනෙන්නට පිළිවන. ඒ මන්ද යත් ඊට එහා ගිය ගැඹුරක් තවමත් රටේ ජනතාවට අත්විඳින්නට නොහැකිවී ඇති බැවිණි. වර්තමාන මෛත්‍රී පාලනය ආරම්භවීමත් සමග රටේ පරිසර සංරක්ෂණය යහපත් දිශානතියක් වෙත යොමුවනු ඇතැයි සියළු දෙනා අපේක්ෂා සහගතව බලා සිටියහ. එය ක්‍රියාවෙන් යථාර්තයක් කිරීම කෙසේ වෙතත් පරිසර සංරක්ෂණය පිළිබඳව වේදිකා මත හඬ නැගෙන වහසි බස් වල නම් මේ දක්වාම අඩුවක් පෙනෙන්නට නැත. පරිසර සංරක්ෂණයට අමතරව රටේ සංවර්ධන ඉලක්ක පරිසර හිතකාමී හා තිරසාර අයුරින් ළඟාකර ගැනීම සඳහා ආණ්ඩුව මගින් ‘නීල හරිත යුගයක්’ සංවර්ධන වැඩසටහන ආරම්භ කරන බව පවසන්නේ එවැනි පසුබිමකය.

ලෝක ගෝලයේ ශ්‍රී ලංකාවේ පිහිටීම හා දිවයිනක් වීම යන කරුණු නිසා අප රටේ සංවර්ධනය කිරීම සඳහා නීල සංවර්ධන උපායමාර්ග යොදා ගැනීමට හැකියාව පවතී. වර්ග කිලෝමීටර් 532, 619ක විශාලත්වයකින් යුත් සාගර සම්පතක් භුක්ති විඳීමේ අයිතිය හිමිව ඇති අප රටට එම හිමිකම වර්ග කිලෝමීටර් 1, 714, 687ක් දක්වා පුළුල් කරගැනීමේ අවකාශ මේ වනවිට සැලසී ඇත. එසේම කිලෝමීටර් 1600 ක ආකර්ශනීය හා සම්පත් බහුල මුහුදු වෙරළක්ද අප රටට හිමිය. එමගින් ජනනය වන මසුන්, අනෙකුත් සමුද්‍රීය ජීව සම්පත්, සමුද්‍රීය ඛනිජ සම්පත්, සාගර බලශක්තිය හා සාගර සම්පත් ඇසුරෙන් නිපදවෙන ඖෂධ ආදීය අපේ රට සුඛිත මුදිත කිරීම සඳහා යොදාගත හැකිය. එසේම වෙරළ හා සමුද්‍රීය සම්පත් ඇසුරෙන් සංචාරක කර්මාන්තය, ක්‍රීඩා ප්‍රචලිත කිරීම, සාගර විද්‍යා ගවේෂණ පහසුකම් සැපයීම, වරාය, නාවුක පහසුකම් හා ආරක්ෂාව සැපයීම වැනි කටයුතු මගින්ද අප රටට සැළකියයුතු විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකිය. ඒ අනුව එම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය මගින් රට සංවර්ධනය කිරීමට වර්තමාන ආණ්ඩුවේ ‘නීල හරිත යුගයක්’ යටතේ අපේක්ෂා කෙරේ.

එසේම හරිත සංවර්ධන යටතේ කාර්මික නිෂ්පාදන, කෘෂිකර්මය, බලශක්තිය, ඉදිකිරීම් කර්මාන්තය හා ගමනාගමනය වැනි විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්ෂේත්‍ර හරිතකරණය කිරීමට ‘නීල හරිත යුගයක්’ මගින් යෝජනා කෙරේ. තවද හරිත නගර හා ගම්මාන ඇතිකිරීමටද එමගින් යෝජනා කෙරේ.

දේශගුණ විපර්යාසයන් අවමකිරීම සඳහා මෙම ‘නීල හරිත යුගයක්’ මගින් යෝජිත සංවර්ධන උපායමාර්ග ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරයි. එසේම පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමතකල රටක් වශයෙන් අප දේශගුණ විපර්යාස අවමකිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට බැඳී සිටී. නමුත් යම්කිසි කටයුත්තක් හරිත ලෙස නම්කළ පමණින් හෝ ආයතනයක් හෝ ස්ථානයක් කොළ පැහැයෙන් වර්ණ ගැන්වූ පමණින් කිසිවක් හරිතකරණය නොවන බව අප තරයේ සිහිතබා ගත යුතුය. අප ඉහත කී පරිදි ‘නීල හරිත යුගයක්’ තුල හවුල් ආණ්ඩුවේ පක්ෂ දෙකේ වර්ණයන් නියෝජනය වීම හැර ඊට වැඩි යමක් සිදුනොවන බව කෙනෙකුට හැඟෙන්නට ඉඩ ඇත්තේ එබැවිනි.

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ විවිධ පාර්ශව පරිසර සංරක්ෂණය හා තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් කොතරම් කැපවන බව පැවසුවද සංදර්ශන කාමයෙන් කොතරම් ඒ පිළිබඳව රැඟුම් රැඟුවද, දේශපාලන වේදිකාවෙන් පහළ බැස සැබෑ මහ පොළොවේ එම උපාය මාර්ග රෝපණය කිරීමට දේශපාලන අධිකාරිය හෝ නිලධාරී පැලැන්තිය දක්වන උනන්දුව ගැටළු සහගතය. එක රැයින් සිහින එළිවන්නේ නැති බව පැහැදිළිය. නමුත් සිහින එළිකර ගැනීම සඳහා දැනෙන කැපවීමක් තිබිය යුතු බවද සිහිපත් කළයුතුය.

Wednesday, October 19, 2016

දේශගුණ විපර්යාසය සහ කුණු

දේශගුණ විපර්යාසය සහ කුණු අතර ඇත්තේ කෙබඳු සම්බන්ධයක්දැයි කෙනෙකුට සිතෙන්නට පිළිවන. ඒ අතර බැලූ බැල්මට කිසිඳු සම්බන්ධයක් නැතැයි ද කෙනෙකුට සිතෙන්නට පිළිවන. නමුත් දේශගුණ විපර්යාසය හා කුණු කසළ අතර ඇත්තේ සංකීර්ණ හා දැඩි බැඳීමකි. පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමත කිරීමේ ප්‍රීතියෙන් උදම් අනමින් සිටින පාලකයන් ශ්‍රී ලංකාවේ කැලි කසළ ප්‍රශ්නය පිළිබඳව නොපමාව අවධානය යොමුකල යුත්තේ එබැවිණි.

ශ්‍රී ලංකාවේ කුණු ප්‍රශ්නය සැමදා එකතැන කුණුවන ප්‍රශ්නයක් බවට පත්ව ඇත. කුණු, කැලි කසළ නොඑසේනම් ඝන අපද්‍රවය යනු ඒවා ජනනවන ප්‍රදේශ පාලනය කරන පළාත් පාලන ආයතන වලට අයත් වත්කමක් ලෙස අන පනත් වල දක්වා ඇත. මෙරට පළාත් පාලන ආයතන මගින් රටේ දෛනිකව එක්රැස් වන කැලි කසළ වලින් සියයට 40% පමණ එක් රැස් කරනු ලබයි. නමුත් එම කසළ කිසිඳු ප්‍රයෝජනයක් නොගෙන මුඩු බිමකට හෝ වගුරු බිමකට ගොඩ ගැසීමට පළාත් පාලන ආයතන විසින් කටයුතු කිරීම නිසා කැලි කසළ, බරපතල සමාජාර්ථික විපත් රැසක් ඇතිකරන ගැටළුවක් බවට පත්ව ඇත. එක් අතකින් කුණු ජනතාවගේ සෞඛ්‍යට බරපතල තර්ජනයක් එල්ල කරන මාරකයකි. එසේම අවිධිමත් ආකාරයෙන් කසළ බැහැරලන ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන ජනතාවට එමගින් සමාජීය ප්‍රශ්න රැසකටද මුහුණදීමට සිදුව ඇත. උදාහරණයක් වශයෙන් මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිතව දිවි ගෙවන තරුණ තරුණියන්ට තම අවාහ විවාහ කටයුතු කරගැනීමටද කුණු කන්ද හරස්වී තිබීම දැක්විය හැකිය. එසේම අවිධිමත් ආකාරයෙන් කසළ බැහැරලීම නිසා ජනනය වන හරිතාගාර වායු ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතුවන බැවින් දේශගුණ විපර්යාසය උත්සන්න කිරීමටද අක්‍රමවත් කසළ බැහැරලීම හේතුවී තිබේ.

මෙතෙක් කලක් විශේෂයෙන් හිසරදයක් බවට පත්ව තිබුණේ කොළඹ මහා නගර සභාවේ කැලි කසළ වුවද ඉන් බැහැරව බදුල්ල මහා නගර සභාවේ කසළද මහත් ව්‍යසනයක් ඇතිකළ ආකාරය ඉකුත් සතියේ දක්නට ලැබුණි. බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය අසල ගොඩගසා ඇති නගර සභාවේ කුණු කන්ද ගිනි ගැනීම හේතුවෙන් නගරයේ දෛනික කටයුතු අඩාල වූ අතර පාසැල් දින කිහිපයකට වසා දමන ලදී. එහිදී නගර වැසියන්ගේ මුව තෙත රෙදි කඩකින් ආවරණය කර තම නිරුවත වසා ගැනීමට නගර සභාවේ පාලකයන් කටයුතු කලද සමස්ථ ගැටළුවට එයින් ලැබුණු විසඳුමක් නැත. ඒ අතර මීතොටමුල්ලේ වැසියන් ඉදිරියේ ශුද්ධවන්තයන් වීමේ අරමුණෙන් යහපාලන ආණ්ඩුව මීතොටමුල්ලේ කුණු කන්ද ජා ඇළ ප්‍රදේශයට ප්‍රතිස්ථාපනය කිරීමට විරුද්ධව එම ප්‍රදේශයේ ජනයා දෙවැනි වරටත් වීධි බැස්සේ ද ඉකුත් සතියේය. අපේ රටේ ඝන අපද්‍රවය කළමනාකරණයේ මහිමය කියා පෑමට එම උදාහරණ දෙක පමණක් ප්‍රමාණවත් වනු ඇතැයි සිතමු.

දැන් අප විග්‍රහ කරගත යුත්තේ ඝන අපද්‍රවය මගින් දේශගුණ විපර්යාසය උත්සන්න කරන්නේ කෙසේද යන්නය. ඝන අපද්‍රවය අවිධිමත් ආකාරයෙන් පරිසරයට මුදා හැරීම නිසා ඒවායේ සිදුවන ක්ෂුද්‍රජීව ක්‍රියාකාරීත්වයන් මගින් විවිධ වායු වර්ග වායුගෝලයට නිදහස්වේ. එසේම එවැනි කසළ ගොඩවල් ගිනි තැබීම නිසාද විවිධ වායු වායුගෝලයට නිදහස් වේ. කසළ කුණුවීමෙදී නිකුත්වන මීතේන් වායුව මෙන්ම ගිනි ගැනීම් වලදී නිකුත්වන කාබන්ඩයොක්සයිඩ් ඇතුළු අනෙකුත් හරිතාගාර වායු මගින්ද හිරුගේ සිට පොළොවට ලැබෙන කිරණ පෘතුවි වායු ගෝලයේ සිරකර තබා ගනී. එමගින් පෘථිවිය උණුසුම් වන අතර දේශගුණ විපර්යාසය උත්සන්නේ වේ.

සෑම දිරාපත්වන කසළ ටොන් එකකින්ම මීතේන් වායු ටොන් දශම හතරක් (0.4) නිදහස් වේ. එබැවින් දේශගුණ විපර්යාසය උත්සන්න වීමට බලපාන ප්‍රධානතම මිනිස් ක්‍රියාකාරකම් අතරට අවිධිමත් කසළ බැහැරලීම ද ගැනේ. දේශගුණ විපර්යාසයට එරෙහිව සිදුකරන අරගලයේදී විධිමත් ඝන අපද්‍රවය කළමනාකරණය ඉතා වැදගත් අවියක් වන්නේ එබැවිනි. එසේම කසළ ඉතා හොඳ ධනෝපායන මාර්ගයක් වශයෙන්ද යොදා ගත හැකි නමුත් අපේ රටේ බලධාරීන් ඒ පිළිබඳව ප්‍රමාණවත් උනන්දුවක් නොදැක්වීම කණගාටුවට කරුණකි.

ඝන අපද්‍රවය සම්බන්ධයෙන් වගකීම පැවරී ඇත්තේ පළාත් පාලන ආයතන වලට පමණකැයි අප මෙහිදී කිසි විටකත් මතයක් ඇතිකර ගත යුතු නොවේ. එදිනෙදා ජීවිතයේදී විශාල වශයෙන් කැලි කසළ ජනනය කරන අප අපම ද ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කල යුතුය. අපද්‍රවය ජනනය වීම පාලනය කිරීමේ ප්‍රධාන මූලධර්ම තුන පිළිබඳව අප මෙහිදී අවධානය යොමුකළ යුතුය. අපගේ අවශ්‍යතා සීමා කරගැනීම මගින් අපට අපද්‍රවය ජනනය වීම අවමකළ හැකිය. එසේම නැවත භාවිත කල හැකි දෑ නැවත භාවිතා කිරීම මගින්ද කසළ ජනනය වීම අවමවේ. තවද ප්‍රතිචක්‍රීකරණය කළහැකි කඩදාසි, වීදුරු, පොලිතින්, ප්ලාස්ටික් වැනි ද්‍රවය ප්‍රතිචක්‍රීකරණය කිරීම මගින් ද කසළ ප්‍රමාණය සීමා වේ. එසේම මීතේන් වායුව පරිසරයට නිදහස්වන දිරාපත්වන ඝන අපද්‍රවය මගින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම මගින් මීතේන් වායුව ජනනය වීම වලක්වා ගත හැකිය. තවද කසළ බිම් පිරවුම් වලින් නිකුත්වන මීතේන් වායුව පවා විධිමත් ආකාරයට එක් රැස්කර ඉන්දනයක් වශයෙන් භාවිතාකළ හැකි තාක්ෂනය ලෝකයේ බොහෝ රටවල් ඉතා සාර්ථක ආකාරයෙන් ක්‍රියාවේ යොදවමින් සිටී. අපද සිදුකළ යුත්තේ එම මග ගැනීමය. එමගින් අප සැමගේ සමාජාර්ථික තත්ත්වය ඉහළ නංවා ගැනීමට මෙන්ම දේශගුණ විපර්යාසයට වැට බැඳීමටද අපට හැකිවනු ඇත.

Thursday, October 6, 2016


කාබන් පියසටහන මත බදු පැනවීම

බදු ගැන මේ දිනවල නිතරම දේශපාලන වේදිකාවල තර්ක විතර්ක ඉදිරිපත්වෙනු අසන්නට ලැබේ. විපක්ෂයේ සිටින දේශපාලකයින් රටේ ජනතාව පිළිබඳව හද පත්ලෙන්ම උපන් සානුකම්පිත සිතුවිල්ලෙන් හඬ නගන්නේ ඔවුන් ආණ්ඩු පක්ෂයේ සිටි සමයේදී ජනතාව පීඩාවට පත්කළ කිසිඳු බද්දක් අය නොකළ පරිද්දෙනි. එසේම ජනතාවාදී සළු පිළි පොරවාගෙන සිටින වර්තමාන ආණ්ඩුවද පවසන්නේ තමන් ජනතාව මත බදු බර පටවන්නේ වෙනත් විකල්පයක් නොමැති කමින් බවය. නමුත් ජනතාව පීඩාවට පත් නොකර ධනවතුන්ගෙන් බදු අයකරගෙන ආණ්ඩුවේ බදු ආදායම ඉහළ නංවාලීම සඳහා කිසිඳු දේශපාලකයෙකු උනන්දු නොවීම විමතියට කරුණකි.

එකතුකළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද පිළිබඳ සංශෝධිත පනත් කෙටුම්පත පසුගිය සතියේ යලි පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීම නිසා මේ වනවිට බදු පිළිබඳ සංවාද වඩාත් උද්වේගකර මුහුණුවරක් ගෙන තිබේ. සියයට 11ක්ව පැවති වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කිරීමට ආණ්ඩුව පසුගියදා පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූ පනත් කෙටුම් පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමග මෙම නව සංශෝධිත පනත් කෙටුම්පත සකස් කෙරුණු අතර එයට සැප්තැම්බර් මස 13 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණි. කෙසේ හෝ මෙමගින් සාතිශය බහුතරයක් දුප්පත් මහා ජනතාවට සිදුවී ඇත්තේ සැමදා පටි තදකරගෙන සිටීමට වීම කණගාටුවට කරුණකි. ඒ අතර අප ඉකුත් සතියක සඳහන් කල ආකාරයෙන් දේශගුණ විපර්යාසයද ප්‍රති සරදියල් න්‍යායෙන් අසරණ දුප්පත් ජනතාවටම පහර දෙද්දී ඔවුන්ට සිදුවී ඇත්තේ විපිළිසරව බලා සිටීමට පමණි. එවැනි පසුබිමක ආණ්ඩුව සැබෑ ජනතා හිතවාදී එකක් නම් සහ ඔවුන්ට මහජනතාව ආරක්ෂා කර ගැනීමට සැබෑ අවශ්‍යතාවයක් ඇත්නම් ඔවුන් කලයුතු වන්නේ සරදියල් න්‍යායෙන් බදු පැනවීමය. ඒ සඳහා යොදා ගත හැකි බදු ක්‍රමයක් ලෙස කාබන් පියසටහන මත බදු  අය කිරීම (Carbon foot print Tax) හැඳින්විය හැකිය.

ලෝකයේ බොහෝ රටවල මේ වනවිට කාබන් බදු (Carbon Tax) පැනවීම ක්‍රියාත්මක වන අතර අප අසල්වැසි ඉන්දියාවේ පවා එය මීට වසර ගණනාවකට පෙර සිට ක්‍රියාත්මක වේ. හරිතාගාර වායු විමෝචනයට හේතුවන කාබන්ඩයොක්සයිඩ් වායුව වායු ගෝලයට මුදා හරිනු ලබන ඉන්දන වර්ග සඳහා බදු අය කිරීම මේ යටතේ සිදුකෙරේ. උදාහරණයක් වශයෙන් 2010 ජුලි පළමුවැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන හා එරටට ආනයනය කෙරෙන සෑම ගල්අඟුරු ටොන් එකක් සඳහාම රුපියල් 50ක බද්දක් පැනවීමට එරට ආණ්ඩුව කටයුතු කල අතර 2014 වසරේදී එම බද්ද රුපියල් 100 දක්වා ඉහළ දමන ලදී. ඊට අමතරව හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය මත විවිධ ආයතන හා කර්මාන්තශාලා වලට බදු පැනවීමේ ක්‍රමවේදයන්ද විවිධ රටවල ක්‍රියාත්මක වේ.

එමගින් තම භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලීන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට හා හරිතාගාර වායු විමෝචන අවමකිරීමට කර්මාන්ත කරුවන් කටයුතු කිරීම මගින් දේශගුණ විපර්යාස අවමකිරීමට සාධනීය  පිටුබලයක් ලැබේ. නමුත් ඇතැම් විට එමගින් වැඩිවන බදු මුදල භාණ්ඩ හා සේවා නිෂ්පාදනවල මිල ඉහළ නැංවීම මගින් ජනතාවගෙන්ම අයකර ගැනීමට නිෂ්පාදකයන් කටයුතු කිරීම නිසා අසරණ දුප්පත් ජනතාවට එමගින් වැඩි ප්‍රතිලාභයක් අත් නොවේ.

නමුත් එක් එක් පුද්ගලයාගේ කාබන් පියසටහන මත පදනම්ව බද්දක් අය කිරීම මගින් දුප්පත් ජනතාව පීඩාවට පත් නොකර ධනවතුන්ගේ මුදල් වලින් ආණ්ඩුවේ බදු අදායම ඉහළ නංවාලීමට හැකියාව පවතී. වත් පොහොසත්කම් සහිත ධනවතුන් තම සුඛෝපභෝගී ජීවන රටාව පවත්වා ගැනීම සඳහා විශාල වශයෙන් භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීම සිදු කරයි. එම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා විශාල වශයෙන් හරිතාගාර වායු වායුගෝලයට මුදා හැරීමට සිදුවේ. එමගින් ධනවතුන්ගේ කාබන් පියසටහන නිරායාසයෙන් විශාල වේ. නමුත් ඉතා ආයාසයෙන් තම දිවි පෙවෙත සරිකර ගන්නා සීමිත භාණ්ඩ හා සේවා ප්‍රමාණයකින් තම අවශ්‍යතා සපුරා ගන්නා පොදු මහා ජනතාවකගේ කාබන් පියසටහන ඊට වඩා බොහෝ කුඩා වේ.

එබැවින් තම මුලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා යම්කිසි පුද්ගලයෙකුට වායුගෝලයට මුදා හැරීමට සිදුවන හරිතාගාර වායු ප්‍රමාණයට අදාළ කාබන් පියසටහන ඉක්මවා විශාල කාබන් පියසටහන් ඇති පුද්ගලයන්ගෙන් ඒ මත පදනම්ව බද්දක් අයකර ගැනීමට ආණ්ඩුවට හැකියාව පවතී. එමගින් දුප්පතුන් ආරක්ෂාවන පරිදි ධනවතුන්ගෙන් දැනෙන තරමේ බද්දක් අයකර ගැනීමට ආණ්ඩුවට හැකිවේ. එමගින් රටේ අතිමහත් බහුතරයක් ජනතාවට අස්වැසිල්ලක් ලබා දී ආණ්ඩුවේ බදු අදායම ද ඉහළ නංවාලීමට කටයුතු කිරීම කිසිඳු ලෙසකින් අසාධාරණ නොවේ. තවද එම බදු මුදල් වලින් කොටසක් දේශගුණ විපර්යාසයට අනුහුරුවීම සඳහා වැය කිරීමටද ආණ්ඩුවට හැකිය. එබැවින් තව දුරටත් පොදු ජනතාව නොපෙළා මේ පිළිබඳව සලකා බැලීම ආණ්ඩුවේ යුතුකමය. නමුත් ඊට මන්දිර බද්දට අත්වූ ඉරණම අත් වීමට ඉඩ නොදීමට වග බලා ගැනීම ජනතාවාදී සැමගේ යුතුකම හා වගකීමය.

Saturday, October 1, 2016

අල්පේච්ඡතාවය

ලෝක නායකයින් ලහි ලහියේ පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමත කිරීම මගින් මුළු මහත් ලෝකයාගේම වර්තමාන හා අනාගත දිවි පෙවෙත පිළිබඳව සුබ සිහින දකින්නට ඉඩ ලැබී තිබීම සතුටට කරුණකි. ඒ අතර ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 4.5 කට දායකවන අසල්වැසි ඉන්දියාවද අද (02) දින පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමත කරන බව මෝඩි අගමැතිවරයා ප්‍රකාශ කළේය. අද දිනය විශේෂයෙන්ම ඒ සඳහා යොදාගැනීමට හේතුව ලෙස අගමැතිවරයා දක්වා ඇත්තේ දිවංගත මහත්මා ගාන්ධිතුමන්ගේ උපන්දිනය අදට යෙදී තිබීමයි. සැබැවින්ම දේශගුණ විපර්යාසයට මුහුණදීම සඳහා ඇති ප්‍රබලම අවිය වන අල්පේච්ඡතාවය පිළිබඳව ලෝකයටම පණිවිඩයක් ලබා දීමට එය හේතුවක් වනු ඇති බව අපගේ විශ්වාසයයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් බැන්කි මූන් මහතාගේ ප්‍රයත්නය මල් පල ගන්වමින් ලෝක නායකයින් රැසක් පසුගිය සැප්තැම්බර් විසි එක් වැනිදා තම රටවල් දේශගුණ විපර්යාසයට එරෙහි පැරිස් ගිවිසුම අපරානුමත කල බවට වන මෙවලම් තැන්පත්කිරීම සිදු කරන ලදී. ඒ අතරට ශ්‍රී ලංකාවද අයත් වූ අතර පසුගිය 23 වැනිදා වන විට එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාසය පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශව කරුවන් 61 දෙනෙකු ගිවිසුම අපරානුමත කරන ලද බවට වන මෙවලම් තැන්පත්කිරීම සිදු කර තිබුණි. එම රටවල මුළු හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 47. 79කි. ඒ අනුව පැරිස් දේශගුණ ගිවිසුම සක්‍රීය තත්ත්වයට පත්කිරීමේ ගමනේ ඇති කඩුලු දෙකෙන් එකක් සාර්ථකව පියමං කිරීමට ලෝක වාසීන්ට හැකිවී ඇත. එනම් ගිවිසුම ක්‍රියාත්මකවීම සඳහා එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශව කරුවන් 55ක් ගිවිසුම අපරානුමත කලයුතුය යන කොන්දේසියයි. තවද ගිවිසුම අපරානුමත කරන රටවල හරිතාගාර වායු විමෝචනය ලෝකයේ මුළු හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 55ක් ඉක්මවීම ද සැපිරිය යුතු අනෙක් කොන්දේසියයි.

දැනටමත් චීනය ඇතුළු ලොව ප්‍රභල ආර්ථිකයන් රැසක් පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමත කර ඇති අතර යුරෝපා සංගමය ද නොවැම්බර් මාසයට පෙර සාමූහිකව පැරිස් ගිවිසුම අපරානුමත කරන බව ප්‍රකාශ කර ඇත. එබැවින් දෙවැනි කඩුල්ලද පැනීම එතරම් අපහසු කටයුත්තක් වෙතැයි බිය විය යුතු නොවේ. එසේ නම් අප සිදුකල යුතව ඇත්තේ දැන් ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා තමන්ට හැකි ආකාරයෙන් සක්‍රීයව දායකවීම පමණි. ඒ සඳහා වැඩි වෙහෙසක් දැරීමට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ අල්පේච්ඡතාවය පිළිබඳ ගාන්ධි පිළිවෙත අනුගමනය කිරීම පමණි.

අල්පේච්ඡතාවය පිළිබඳ ගැඹුරුතම ඉගැන්වීම් දැකගත හැක්කේ බෞද්ධ දර්ශනය තුල බව කීමෙහි වරදක් නැත. එසේම අනෙකුත් ආගමික සාස්තෘන් මෙන්ම විවිධ ලෝක නායකයින් ද අල්පේච්ඡතාවය පිළිබඳව විවිධ ප්‍රමාණ වලින් අදහස් දක්වා ඇත. ඒ අනුව අල්පේච්ඡතා සංකල්පය සර්වාගමික හා සර්ව කාලීන දහමකි. අප සියළු දෙනාටම ජාති ආගම කුල මල භේදයකින් තොරව එම දහම පිළිපැදිය හැකි අතර දේශගුණ විපර්යාසය අවමකර ගැනීම සඳහා අප සියළු දෙනාම එම දහම පිළිපැදිය යුතුම වේ.

අල්පේච්ඡතාවය යනු අනෙකක් නොව සරල දෙවි පෙවෙතයි. අප සරලව ජීවත්වීමට හුරුවීම යනු පරිසරයට අපගෙන් සිදුවන බලපෑම් අවම වීමයි. අප විසින් පරිසරයෙන් ලබා ගන්නා ස්වභාවික සම්පත් ප්‍රමාණය අවම වීමයි. අප විසින් පරිසරයට එකතු කරනු ලබන දුශ්‍යකාරක ප්‍රමාණය අවම වීමයි. අප විසින් අපගේ අවශ්‍යතා සීමා කරගැනීම හා සරල දිවි පෙවෙතක් ගතකිරීම මගින් අප නිසා වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණය අඩු වේ. එමගින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අවමවේ. දේශගුණ විපර්යාස සිදුවීමට ඇති නැඹුරුතාව අඩුවේ. එහි අවසන් ප්‍රතිපලය අප සියළුදෙනා අපේක්ෂා කරන පරිදි මිහිතලය සියල්ලන්ට සාමකාමීව හා සතුටෙන් ජීවත්විය හැකි තැනක් බවට පත්වීමයි. සැපය හා සංවර්ධනය යනු සම්පත් අධිකව පරිභෝජනය කරමින් අධි සුඛෝපභෝගී ජීවිත ගතකිරීම යන මිත්‍යාවෙන් මිදී සැමට සතුටින් ජීවත්විය හැකි සුපසන් පරිසරයක් මිහිමත ගොඩනැගීම සඳහා අවශ්‍ය වන්නේ අපගේ සාමූහික උනන්දුව හා කැපවීම පමණි. 

Sunday, September 25, 2016


ප්‍රති සරදියල් න්‍යාය

දේශගුණ විපර්යාසයේ ඇති ඉතා අසාධාරණම ප්‍රතිවිපාකය වන්නේ එමගින් ප්‍රති සරදියල් න්‍යායෙන් පීඩිතයන්ටම පහර එල්ල කිරීමය. එනම් පොහොසතුන්ගෙන් ධනය කොල්ලකා දුප්පතුන් අතර බෙදා දුන් සරදියල් න්‍යායට පටහැනිව යමින් දේශගුණ විපර්යාසය මගින් සිදුකරන්නේ දුප්පතුන් සුරාකෑමට ධනවතුන්ට අවසර ලබාදීමය. දේශගුණ විපර්යාසය මගින් අන්ත අසරණ තත්ත්වයට පත්වීමේ වැඩිම අවධානමක් සහිත රටවල් පිළිබඳව විමසා බැලීමෙන් මේ බව මොනවට පැහැදිළිවේ.

ඇමරිකාවේ නොටර් ඩෑම් විශ්වවිද්‍යාලය මගින් ලෝකයේ රටවල් 177ක ආර්ථිකයන් විශ්ලේෂණය කර සකස්කර ඇති ගෝලීය අනුහුරුතා දර්ශකයේ (global adaptation index) මගින් අනාවරණය කර ඇති ආකාරයට දේශගුණ විපර්යාසයට බිලිවීමේ වැඩිම අවධානමක් සහිත රට වන්නේ සෝමාලියාවයි. එරිත්‍රියාව හා සුඩානය එහි දෙවැනි හා තුන්වැනි ස්ථාන හිමිකරගෙන ඇති අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 96 වැනි ස්ථානයයි.මෙහිදී අදාල එක් එක් රටට කොතරම් හොඳින් දේශගුනික විපර්යාසයටඅනුහුරුවිය හැකිද, සූදානම කෙබඳුද, අනාරක්ෂිත තත්ත්ව මොනවාද, දේශගුණික විපර්යාස සඳහා ප්‍රතික්‍රියා කිරීමට ඇති හැකියාවකොපමණද වැනි අනු දර්ශක ගණනාවක් පිළිබඳව මෙන්ම ආහාර, ජලය, සෞඛ්‍ය, පරිසර පද්ධති, මානව වාසස්ථාන හා යටිතල පහසුකම් සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇත.

මේ අතරින් දේශගුණ විපර්යාසයේ අහිතකර බලපෑම් වලට බිලිවීමේ වැඩිම අවධානමට මුහුණදීමට සෝමාලියාවට සිදුවී ඇත්තේ දේශගුණ විපර්යාසය මගින් ඇතිකරන නියං සාය මගින් එරට ආහාර හා ජල සැපයුමට බරපතල තර්ජන එල්ලකිරීම හේතුවෙනි. එසේම විශ්ලේෂකයන් පවසන්නේ එරිත්‍රියාව මේ වන විටත් මුහුණදී සිටින ආහාර සැපයුම් ප්‍රශ්නය දේශගුණ විපර්යාසය හේතුවෙන් වඩාත් නරක අතට හැරීමට ඉඩ ඇති බවයි. තවද සුඩානය දැනට මුහුණදී සිටින පිරිසිඳු පානීය ජලය සපයාගැනීමේ ගැටළුව දේශගුණ විපර්යාසය හේතුවෙන්වඩාත් දරුණු අතට හැරීම හා එමගින් මහජන සෞඛ්‍යට එල්ලවන තර්ජනය වඩාත් බිහිසුණු විය හැකිය. දර්ශකයේ සිව්වන ස්ථානයේ සිටින බුරුන්ඩි රාජ්‍යය අවධානමට ලක්වී ඇත්තේ එරට සහල්, තිරිඟු සහ බඩ ඉරිඟු නිෂ්පාදනය මත තබා ඇති විශ්වාසයආන්තික කාලගුණික තත්ත්ව මගින් තර්ජනයට ලක්වී ඇති බැවිනි. තවද පැපුවා නිව් ගිනියාවේආහාර, ජලය හා යටිතල පහසුකම් තර්ජනය ලක්කරමින් මුහුදු මට්ටම ඉහල නැගීම ද, මොරිටානියාවේ නියඟය හා මුහුදු මට්ටම ඉහළ යාම මගින් ආහාර හා ජල සම්පාදන අංශ තර්ජනයටලක්වීම, මෙන්ම යටිතල පහසුකම් විනාශවීමද, යේමනයේ දැනට පවතින ජල සම්පාදන ගැටලු තව තවත් නරක අතට හැරීම සහ දුප්පත්කම වර්ධනය වීම ද, චැඩ් රාජ්‍යයේ කෘෂිකර්මයට නියඟය හා ගංවතුර යන විපත් දෙකෙන්ම ගැටලු ඇති වීමද, සොලමන් දූපත් ඉහළ යන මුහුදු මට්ටම මගින් සම්පුර්ණයෙන් මුහුදට බිලිවීමේ අවධානම ද,ගැම්බියාවේ කෘෂිකාර්මික අංශවලට කාලගුණික රටාවන් වෙනස් වීම මගින් දැඩි ලෙස පහර එල්ලවීමද නිසා එම රටවල් පිළිවෙලින් දේශගුණ විපර්යාසයට බිලිවීමේ වැඩිම අවධානමක් සහිත රටවල් 10 අතරට ඇතුලත්ව තිබේ.

හරිතාගාර වායු ටොන් ගණනින් වායුගෝලයට මුදාහැර දේශගුණ විපර්යාසය උත්සන්න කිරීමට දායකවන රටවලට අවම බලපෑම් ඇතිකරමින් දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑම් මගින් වැඩි වශයෙන් දුක් විඳීමට සිදුවී ඇත්තේ ඉතා සුළු හරිතාගාර වායු විමෝචනයක් සහිත රටවලට බව එමගින් පැහැදිළිවේ. මහා පරිමාණයෙන් හරිතාගාර වායු විමෝචනය කරමින් දේශගුණ විපර්යාසය උත්සන්න කිරීමට ප්‍රබල දායකත්වයක් සපයන්නේ බටහිර ධනවත් රටවල්ය.එම රටවලටද දේශගුණ විපර්යාසයේ අහිතකර බලපෑම් වලට මුහුණදීමට සිදුවුවද ඔවුන් තමන්ට හිමි ධන බලය මගින් එම බලපෑම් අවමකරගැනීමට හෝ ඒවාට මුහුණදීමට අවශ්‍ය ශක්තිය ගොඩනගා ගනිති. නමුත් දරිද්‍රතාවයේ පතුලේ කිමිදී සිටින බහුතර දුප්පත් රටවල් වලට දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට මුහුණදීමට අවශ්‍ය ආර්ථික ශක්තියක් නොමැති කමින් එම රටවලට කබලෙන් ලිපට වැටීම සිදුවී තිබීම සැබවින්ම ඛේදවාචකයකි. මෙහි ඇති ඉතා අවාසනාවන්තම මුහුණුවර වන්නේ දේශගුණ විපර්යාසයේ බලපෑම් මගින් පීඩිතයන් තවත් පීඩනයට ලක් කෙරෙන අතරම ධනවතුන් එමගින්ද වාසි ලබා ගැනීමට වෙර දැරීමයි.


දේශගුණ විපර්යාසය අවමකිරීමට හා ඊට  අනුහුරුවීමට අවශ්‍ය අරමුදල් සපයන දානපතීන්ගේ භූමිකාව මෙම ධනවත් රටවල් රඟදක්වමින් සිටියද එම රටවල් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මකවන බහුජාතික සමාගම් සිදුකරන්නේ පීඩිත රටවල ඇති සම්පත් කොල්ලකෑමය. දේශගුණ විපර්යාසයේ බලපෑම් හේතුවෙන් දිනෙන් දිනම දරිද්‍රතාවයේ පත්ලෙහිම ගිලෙමින් පවතින රටවලට සිදුවී ඇත්තේ එමගින් සුළු හෝ අස්වැසිල්ලක් ලබා ගැනීම සඳහා තම රටේ සම්පත් බහුජාතික සමාගම් වලට විකිණීමට.  දුප්පත් රටවල ඇති ජලය, ඛනිජ ද්‍රව්‍ය, වනාන්තර වැනි නොයෙකුත් ස්වභාවික සම්පත් මේ ආකාරයෙන් සූරාකෑමට බටහිර බහුජාතික සමාගම් සැදී පැහැදී සිටිති. තම රටවලට දේශගුණ විපර්යාසයේ බලපෑම් වලින් ගොඩ ඒමට ඇති සම්පත් මේ ආකාරයෙන් විජාතිකයන්ට විකිණීමට දුප්පත් රටවලට සිදුවී ඇත්තේ එමගින් නිමි භාණ්ඩ සකස්කිරීමට අවශ්‍ය තාක්ෂනය හා ආයෝජන එම රටවලට නොමැති බැවිනි. බටහිර බලවතුන් එමගින් බොර දියේ  මාළු බාන්නේ කිසිඳු හිරිකිතයක් නැතිවය. අවසානයේ එම රටවලට සිදුවන්නේ වත්ත බද්දට දී ඇස්සට දත නියවීමටය. දේශගුණ විපර්යාසයේ අවධානම හිස දරා සංවර්ධන සිහින පසුපස උමතුවෙන් ලුහුබඳින සදාතනිකවම සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස අප රටේ පාලකයන්ද මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවීම වටී.

Tuesday, September 13, 2016


දේශගුණ ක්‍රියාකාරී මාවත

දේශගුණ විපර්යාසයට එරෙහි අරගලයේ තීරණාත්මක සංදිස්ථානයන් දෙකක් පසුගිය දිනවල ජාත්‍යන්තර හා ජාතික මට්ටමින් සනිටුහන් විය. ඒ අතරින් අන්තර්ජාතිකව වැදගත් සිදූවීම වූයේ ඇමරිකා එක්සත් ජනපදය හා චීනය පැරිස් දේශගුණ ගිවිසුම තම රටවල අපරානුමතකරනබව (Ratification) එරටවල නායකයින් විසින් ප්‍රතිඥා ලබාදීම ය. ලොව විශාලතම හරිතාගාර වායු විමෝචකයන් වන ඇමරිකාව හා චීනය පැරිස් දේශගුණ ගිවිසුමට අවනතකර ගැනීමට හැකිවීම සැබැවින්ම දේශගුණ විපර්යාසයට එරෙහිව සිදුකෙරෙන ගෝලීය අරගලයේ කඩයිමක් බව දෙවරක් පැවසිය යුතු නැත. එසේම ශ්‍රී ලංකා ආණ්ඩුවද දේශගුණ ක්‍රියාකාරී මාවතේ ඉදිරි පියවරක් තබමින් ඉකුත් 9 වැනිදා පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමත කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත්තේය. ඒ සඳහා යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මේ දක්වා රටවල් 180ක් පැරිස් ගිවිසුමට අත්සන් තබා ඇති අතර රටවල් 27ක් ගිවිසුම තම රටවල අපරානුමත කරන ලද බවට වූ මෙවලම් තැන්පත්කර ඇත. එම රටවල හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් 39.08% කි (ශ්‍රී ලංකාව මේ දක්වා අපරානුමත කිරීමේ මෙවලම් තැන්පත්කර නොමැති නිසා ඉහත සඳහන්කළ රටවල් 27ට ඇතුලත්වී නැත. ගිවිසුම බලාත්මක තත්ත්වයට පත් වීම ආරම්භ කිරීම සඳහාලෝකයේ සමස්‌ත හරිතාගාර වායු විමෝචනයන්ගෙන් 55%ක්‌ සඳහා වගකිවයුතු හා එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශව රටවල් 55 ක් එය අපරානුමත කළයුතුය). මෙය දේශගුණ ක්‍රියාකාරී මාවතේ සාධනීය ඉදිරි ගමනක් ලෙස හැඳින්විය හැකි නමුත් මේ මොහොත අප සතුටුවිය යුතුද දුක්විය යුතුද යන්න ගැටළුවක් බවට පත්ව තිබේ.

මුහුදු මට්ටමට ඉතා ආසන්නව පවතින සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍ය සාගරයට බිලිවීම වැලැක්වීම ඇතුළු දේශගුණ විපර්යාසය මගින් පෘථිවි වාසීන්ට එල්ලවන අහිතකර බලපෑම් පාලනය කරගැනීම සඳහා ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම පාලනය කල යුතු බව අවිවාදිත කරුණකි. ඒ සඳහා දැනට ඉහළ යමින් පවතින පරිසර උෂ්ණත්වය පූර්ව කාර්මික යුගයේ පැවති පරිසර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක එකයි දශම පහක (1.5°C) උපරිමයක සීමාවේ නවත්වාගත යුතුය. පැරිස් දේශගුණ ගිවිසුම මගින්ද හරිතාගාර වායු විමෝචන පාලනය කරමින් උත්සාහ කරන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මෙම සෙල්සියස් අංශක එකයි දශම පහ සීමාවේ පවත්වා ගැනීමටය. නමුත් ලොව ප්‍රධාන පෙළේ දේශගුණික විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සීමා කිරීමේ එම ඉලක්කය ඇතිකරගෙන ඉතා කෙටි කලක් ඇතුලතදී සැබෑ ලෙසම පෘථිවි උෂ්ණත්වය ඒ ආසන්නයටම පැමිණ ඇති බවය. නොඑසේ නම් ලෝක නායකයින් එක්ව ඉස්තාලය වසන විට අශ්වයා පැනගොස් හමාරව ඇති බවය.

පෘථිවි උෂ්ණත්වය ඉහළ යාම පූර්වකාර්මික යුගයේ උෂ්ණත්වයට සාපේක්ෂව සෙල්සියස් අංශක 1.5 සීමාවේ පවත්වා ගත යුතු බවත් ඒ සඳහා පැරිස් දේශගුණ ගිවිසුම අත්සන් කර තම රටවල එම ගිවිසුම අපරානුමත කරගතයුතු බවත් ලෝක නායකයින් විසින් එකඟතාවයට පැමිණියේ පසුගිය දෙසැම්බරයේදීය. ඒ ඉලක්කය සපුරා ගැනීමෙන් කාන්තාරකරණය, උණූසුම් වායු ධාරා, බරපතල ගංවතුර තත්ත්ව සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා බැඳුනු අනෙකුත් බලපෑම් මඟහරවා ගත හැකි වනු ඇති බව විද්‍යාඥයන් හා උද්ඝෝෂකයන් උද්දාමයට පත්වූහ. නමුත් පසුගිය කාලගුණ දත්ත සමාලෝචනය කරන විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඉකුත් වසරේ එක් මාසයක් හැර අනෙකුත් සියළුම මාසවල පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය පුර්ව කාර්මික යුගයේ උෂ්ණත්වයට වඩා අංශක එකකින් ඉහළ අගයක් වාර්තා කර ඇති බවයි. තවද එම වසරේ පෙබරවාරි හා මාර්තු මාස වලදී පෘථිවි උෂ්ණත්වය පුර්ව කාර්මික යුගයට සාපේක්ෂව සෙලිසියස් අංශක එකයි දශම තුනයි අටක (1.38°C) උපරිමයක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි. ඒ අනුව ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අංශක 1.5 සීමාවේ රඳවා ගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් වන බව ඉතා පැහැදිළිය.

එවැනි පසුබිමක් තුල ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමග පැසිෆික් කලාපයේ එල් නිනෝ තත්ත්වයන්ගේ බලපෑම් උග්‍ර වීමෙන් ගෙවී යමින් පවතින මෙම 2016 වසර මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නියඟය මගින් කැලිෆෝනියාවේ ලැව්ගිනි උත්සන්න වීම හා 50°C කට වැඩි උෂ්ණත්වයකින් ඉරාකය පීඩාවට පත්වීම එහි ප්‍රතිපල වන අතර ඉන්දියාවට මෙතෙක් වාර්තාවූ අතිශය බරපතලම මෝසම් වැසි තර්ජනයන්ට මුහුණදීමට සිදුවිය.

මේ අනුව පෙනී යන්නේ සැබැවින්ම ලෝක නායකයන් විසින් ඉස්තාලය වසන විට අශ්වයා පැනගොස් හමාර බව නොවේද? දේශගුණ විපර්යාසය උත්සන්න වීම වැලැක්වීම සඳහා වන ගෝලීය මැදිහත්වීමකට පදනම සකස් කරගැනීමට එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ වාර්ෂික සැසිවාර විස්සක් නාස්තිකර දැමීමට ලෝක නායකයින් කටයුතු කලෝය. ඒවා සියල්ලම කෙස් පැලෙන තර්ක විතර්ක ඉදිරිපත්කෙරුණු සාකච්ඡා මේස පමණක් බවට පත්කළ ලෝක නායකයින් දැන් තම අදහස් ක්‍රියාවට නැංවීම ආරම්භ කරනවිට මුළුමහත් ලෝකයම නාසය දක්වා විපතේ ගිලී අවසන්ය. ඒ අනුව අප මේ මොහොතේ රඟදක්වන රංගනයන් සියල්ල හැලියේ දිය නටන තුරු කකුළුවන් රඟන රංගනයන්ට සමාන කල හැකිය. එබැවින් තවදුරටත් මිහිතලයේ මිනිස් ජීවය පවත්වා ගැනීමට අපට අවශ්‍යනම් මේ මොහොතේ සිටවත් අප සියළුදෙනා එක්ව දේශගුණ විපර්යාසය අවමකිරීමට හා ඊට අනුහුරුවීමට දරන උත්සාහයන් සීග්‍රගාමී කිරීම කලයුතුමය. 

Wednesday, August 31, 2016


සූර්යබල සංග්‍රාමය

ගල්අඟුරු හා ෆොසිල ඉන්දන දහනයකර නිපදවූ බලශක්තිය පරිභෝජනය දේශගුණ විපර්යාසය උත්සන්න වීම කෙරෙහි තීරණාත්මක බලපෑමක් සිදුකරන හෙයින් ලොව බොහෝ රටවල් පුනර්ජනනීය බලශක්ති පරිභෝජනය සඳහා විශේෂ උනන්දුවක් දක්වමින් සිටී. එසේම අප රට ද පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය සම්බන්ධ විවිධ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම හා ඒ අනුව විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීමද සිදු විය. නමුත් ඒවායෙන් අපේක්ෂිත අරමුණු ඉටුවනවාද නැද්ද යන්න පිළිබඳව ද එමගින් යහපත් අරමුණ අවභාවිතාවේ යොදවමින් ඇතැමුන් පරිසරය වනසමින් මඩි තරකරගන්නා ආකාරය පිළිබඳවද අප මින් පෙර දේශගුණ කතාබහ තුලින් හෙළිදරව්කර ඇත්තෙමු. ඒ අතරතුර පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය දිරිගැන්වීම පිළිබඳව යම්කිසි යහපත් ප්‍රවේශයක් වෙත අවතීර්ණ වෙමින් වර්තමාන ආණ්ඩුව ‘සූර්යබල සංග්‍රාමය’ නමින් සූර්ය බලශක්තිය තිර කර ජාතික පද්ධතියට එක් කිරීමේ වැඩසටහනකට මුල පිරීම සතුටට කරුණකි.

සූර්ය විදුලි බල නිෂ්පාදනය ඉතා සරල තාක්ෂණයක් භාවිතා කොට සිදු කරන්නක් වන අතර එහිදී සිලිකන්, බෝ‍රෝන් වැනි ද්‍රව්‍ය භාවිතා කර සකස් කරන ලද පැනලය මත සූර්ය කිරණ පතිත කළ විට විද්‍යුතය නිෂ්පාදනය වේ. නිෂ්පාදිත විද්‍යුතය පාලකයක් හරහා ගමන් කරවා බැටරියක් තුළ තැන්පත් කරනු ලබන අතර නැවත පාලකයක් හරහා ගමන් කරවා අවශ්‍යතා සඳහා විදුලිය බෙදා හැරේ. නමුත් වසරේ දින තුන්සිය හැට පහේම පාහේ දිනයෙන් අඩකට මදක් අඩු කාලසීමාවක් පුරා ඉර පායන රටක් වුවත් අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ බලධාරීන් දේශීය බලශක්ති අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා හිරු එළිය දායක කරගැනීමට අතීතයේ සිටම වැඩි උනන්දුවක් දැක්වුයේ නැත. සූර්ය බලශක්තිය පිළිබඳ තාක්ෂණය ලෝකය තුළ හඳුනාගෙන වසර ගණනාවක් ගත වුවද එය ලංකාව තුළ භාවිතයට පැමිණියේ 1986 තරම් මෑත කාලිනව වීම ඊට කදිම නිදසුනකි. ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව කලක සිට බලශක්ති මාධ්‍යක් ලෙස සූර්ය විදුලි බලය භාවිතය යම්තාක් දුරකට හෝ ව්‍යාප්ත වෙමින් පැවතුනේ ජාතික පද්ධතිය මගින් විදුලිය සපයාගැනීමේ තිබූ නොහැකියාව හේතුවෙනි. ඒ අතර වර්තමානයේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතවද මේ පිළිබඳ යම් උනන්දුවක් ඇති වීම නව ප්‍රවනතාවක් ලෙස දක්නට හැක. නමුත් මෙතෙක් සූර්ය විදුලිය නිෂ්පාදනය සම්බන්ධයෙන් ලංකාවේ රාජ්‍ය අංශයේ මැදිහත් වීම පැවතුනේ ඉතාම පහළ මට්ටමක වන අතර ඊට සම්පූර්ණයෙන්ම පාහේ දායකත්වය සපයන ලද්දේ පෞද්ගලික අංශය විසිනි. මේ අතර ආණ්ඩුවේ විදුලිබල බලධාරීන් වැඩි උනන්දුවක් දැක්වුයේ ඩීසල් බලාගාර මගින් හෝ කුඩා ජලවිදුලි බලාගාර මගින් උත්පාදනය කෙරෙන විදුලි බලය වැඩි මිලට මිලදීගෙන විදුලි පාරිභෝගිකයාට ලාබදීමට පමණි. ඊට හේතුව එම පවුද්ගලික බලශක්ති ව්‍යාපාරිකයන් අදාළ බලධාරීන් සමග විශේෂ ඇගෑලුම්කමක් ඇතිකරගැනීම දැයි විමසිය යුතුය. එවැනි පසුබිමක් තුල අළුත් ආණ්ඩුවේ මෙම ‘සූර්යබල සංග්‍රාමය’ ආරම්භකිරීම යම්කිසි ආකාරයක සතුටට කරුණකි.

වර්ෂ 2025 වන විට සූර්ය බලශක්‌තියෙන් රටේ ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට්‌ 1000 ක විදුලි සැපයුමක්‌ එක්‌ කිරීමට  ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කරන අතර එම ඉලක්‌කය වෙත යෑමේ පළමු පියවර වශයෙන් දකුණු, නැගෙනහිර හා උතුරු පළාත්වල සූර්ය බල උද්‍යාන පිහිටුවීමට යෝජනාකෙරේ. ඒ යටතේ පළමු සූර්ය බල උද්‍යානය සියඹලාණ්‌ඩුවේ ඇතිමලේ ප්‍රදේශයේ පිහිටුවීමට සැලසුම්කර ඇති අතර එහි ධාරිතාවය මෙගාවොට්‌ 100 කි. දෙවැනි පියවර වන්නේ රජයේ මුදල් වැය නොකර මහජනතාවගේ මුදලින් සූර්ය බලය උත්පාදනය කිරීමටය. මේ පියවරේදී විදුලි පාරිභෝගිකයන්ගේ වහලය මත සවිකරන ලද සූර්ය පැනල මගින් 2020 වන විට මෙගා වොට්‌ 200 ක සහ 2025 වන විට මෙගාවොට්‌ 1000 ක විදුලි බලයක් උත්පාදනය කරගැනීමේ ඉලක්‌කය වෙත යැමට ආණ්ඩුව සැලසුම් කර ඇත.

මේ වනවිට ශ්‍රී ලංකාවේ වහලය මත සවිකර ඇති සූර්යකෝෂ මගින් උත්පාදනය කරන විදුලිබල ධාරිතාව මෙගා වොට්‌ 30 ක් පමණවේ. ඊට දායකවී සිටින විදුලි පාරිභෝගිකයන් ගණන හාරදහසක්‌ පමණ ය. නව ව්‍යාපෘතියෙන් එම ප්‍රමාණය වැඩි කිරීමට බලාපොරොත්තුවන අතර විදුලිබල මණ්‌ඩලය මගින් නිපදවන විදුලිය කිලෝ වොට්‌ පැය එකක් රුපියල් 22 බැගින් මිලදීගැනීමට නියමිත ය. ඒ සඳහා මෙතෙක් පැවති මිලදී ගැනීම් ක්‍රමවේදයට අමතරව නව ක්‍රම දෙකක්ද හඳුන්වාදී තිබේ. මෙම රු 22 න් සූර්ය පැනල මිලදී ගැනීමට වැය වන මුදල පියවාගෙන අමතර මුදලක්‌ ද උපයාගත හැකියි.


නමුත් කණගාටුවට කරුණ වන්නේ මහත් උත්කර්ෂයෙන් ආරම්භකරන ලද මෙම ව්‍යාපෘතිය තුලද අපැහැදිලි තැන් රැසක් පැවතීම හේතුවෙන් එයද සුදු අලියෙකු බවට පත්වීමට වැඩි ඉඩකඩක් පැවතීමයි. සූර්ය කෝෂ තාක්‍ෂණය අපේ රට තුල නොමැති බැවින් අපට සිදුවන්නේ ඒවා විදෙස් රටවලින් ආනයනය කිරීමටය. සාමාන්‍ය ගෘහස්ථ අවශ්‍යතා ඉටු කරන එවැනි ආනයනික සූර්ය විදුලි පද්ධතියක පවා මිල අතිවිශාල බැවින් ඒවා මිලදීගැනීම පොදු මහජනතාවට පහසු කටයුත්තක් නොවේ. එවැනි පසුබිමක ජාතික පද්ධතියට විදුලිය ලබා දීමට තරම් සමත්  සූර්ය පැනලයක් මිලදීගැනීමට ඔවුනට ඇති හැකියාව පිළිබඳව කතාකරන්නට දෙයක් නැත. එබැවින් සූර්ය පැනල ආනයනයේදී පැනවෙන බදු අඩුකිරීම සිදුකල යුතුය. එසේම මෙම ‘සූර්යබල සංග්‍රාමය’ ජනතාව අතරට ගෙන යාම සඳහා බැංකු හා වෙනත් මුල්‍ය ආයතන මගින් ණය ක්‍රමවේදයක් ඇරඹීමද කාලීන අවශ්‍යතාවයකි. නමුත් මෙම ව්‍යාපෘතිය උත්සවාකාරයෙන් ආරම්භකිරීමට ප්‍රථම එම අවශ්‍යතා ඉටු කිරීමට බලධාරීන් සමත්වී නැත. නොඑසේනම් ඊට බලධාරීන්ට උවමනාවක් නැත. එවැනි පසුබිමක් තුල මෙයද තවත් ඊනියා ව්‍යාපෘතියක් වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි නමුත් අප එය එසේ නොවේවායි මේ මොහොතේද ඉත සිතින් පතමු.

Monday, August 29, 2016

බංකොලොත් සංවර්ධන සිහින

තිස් වසරක් පූරා මේ දිවයින වෙලාගෙන පැවති ශාපලත් යුද්ධය නිමවීමෙන් පසු නැගුනු සාමයේ අරුණළු සමග ශ්‍රී ලංකාව සමාජාර්ථික සංවර්ධනය අතින් ලෝකයේ ඉහළට ගමන් කරණු ඇතැයි සියළුදෙනා අපේක්ෂා දල්වාගෙන සිටියහ. නමුත් මේ දක්වා එම සොඳුරු සිහිනය යථාර්තයක් බවට පත්කර ගැනීමේ මගට රට අවතීර්ණ කිරීමට මෙරට කරවන පාලකයන් අපොහොසත්වී ඇති බව නොරහසකි. ඉකුත් රාජපක්ෂ ආණ්ඩුව විසින් ගෙන ගිය සංවර්ධන වැඩපිළිවෙල මෙන්ම වර්තමාන මෛත්‍රී - රනිල් හවුල් ආණ්ඩුව මුලපුරා සිටින සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව විමසා බලන ඕනෑම අයෙකුට එය වටහා ගැනීමට අපහසු නැත. ඉදිරි දශකය තුලදී හෝ දරිද්‍රතාවය මැඩපැවැත්වීම හා මධ්‍යම අදායම් රටක් ලෙස ස්ථාවරවීම මගින් ලක් වැසියන්ට යහපත් සමාජාර්ථික පරිසරයක් තුල ජීවත්වීම සඳහා අත්‍යාවශ්‍ය සංවර්ධන ඉලක්ක සකස් කොට එම ඉලක්ක ලඟා කරගැනීම සඳහා කැපවීම අනිවාර්යෙන් සිදුකල යුතුය. නමුත්ඒ සියල්ල පසෙක තබා ජනතාවගේ පටි තදකර මහජන මුදල් සුරෑ කමින් මඩිය තර කරගැනීමේ න්‍යායෙන් අත්මිදීමට අපේ රටේ බහුතරයක් දේශපාලකයන්ට තවමත්නොහැකිවී තිබීම කණගාටුවට කරුණකි. ඊට අමතරව අපි දකින බොහොමයක් සංවර්ධන සිහින බංකොලොත්වීමට අපේ ජාතික සංවර්ධන සැලසුම් සඳහා දේශගුණ විපර්යාසය අනුගත කර නොගැනීමද ප්‍රධාන හේතුවක් වී ඇති බව අප අවධාරණය කරගත යුතුය.

මිනිසාගේ අයහපත් ක්‍රියාකලාපයන්ගේ ප්‍රතිපලයක් ලෙස අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින මිහිතලය උණුසුම්වීම සහ දේශගුණ විපර්යාසය මගින්ඇතිකෙරෙන දරුණු හා ප්‍රචණ්ඩ බලපෑමවලින් අප මේ මොහොතේද පීඩාවට පත්ව සිටිමු. ඉදිරි දශකය තුලදී තවදුරටත් ප්‍රබලව මෙම බලපෑම් එල්ලවනු ඇතැයි ද අපට බලාපොරොත්තු වීමට සිදුවේ.එබැවින්අප ක්‍රියාත්මකකරනසංවර්ධන සැලසුම් සඳහා දේශගුණ විපර්යාසය අනුගතකර නොගතහොත් එම සංවර්ධන ව්‍යාපෘතිඅඩාල වේ. එමගින්තවදුරටත් රටේ පවතින ආර්ථික හා සමාජීය විෂමතා වර්ධනය වී ජනතාවට කබලෙන් ලිපට වැටීම සිදුවේ. එබැවින්අපගේ සංවර්ධන න්‍යායපත්‍රය නොසැලී අඛණ්ඩව ඉදිරිය ක්‍රියාත්මකවීම සඳහා සියළු ආර්ථික හා සමාජීය ක්ෂේත්‍ර දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට ඔරොත්තු දෙන ආකාරයෙන් ශක්තිමත් කිරීම සඳහා බලධාරීන් ක්‍රියා කල යුතුය. ඒ අනුව දේශගුණ විපර්යාසයට හැඩගැසීම සඳහා දැනුම, තාක්ෂනය සහ සුක්ෂම සැලසුම්කරණය අත්‍යාවශ්‍ය වේ. නමුත් අවාසනාවකට අපේ රටේ පාලකයන්ට මේ පිළිබඳව වගේ වගක් නැති බව මෙරට තුල ක්‍රියාත්මකවෙමින් පවතින හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යනය කිරීමෙන් පැහැදිලිවේ.

රටේ සංවර්ධනයට අවශ්‍ය ආයෝජකයන් සොයා මේ වනවිට අගමැතිවරයාලොව පූරා විවිධ රටවල් වල සංචාරය කරමින් සිටී. ඔහුගේඑක් ප්‍රධාන බලාපොරොත්තුවක් ලෙස චීනය සඳහන් කල හැකිය. මෙහිදීවිශේෂයෙන් විපත් සමනය නොකලත් නම සංස්කරණය කරන ලද ‘කොළඹ වරාය නගරය’ හා හම්බන්තොට චීන කර්මාන්ත පුරය පිළිබඳව නිතැතින් සිහියට නැගේ. නමුත් එමගින් පරිසරයට එල්ලවන බලපෑම් පිළිබඳව එක් මොහොතකට හෝ සිතා බැලීමට බලධාරීන් උත්සුක වන බවක් නොපෙනේ. විශේෂයෙන් දේශගුණ විපර්යාසයේ ආර්ථිකමය පසුබිම පිළිබඳ අවබෝධය ශ්‍රී ලංකාව තුල ඉතා සීමිතය. දේශගුණ විපර්යාසය මගින් රටේ ආර්ථිකය හා ජනතාව ආරක්ෂා කරගැනීමට ඇත්තේ ඉතා සීමිත නීති ප්‍රතිපාදන කිහිපයක් පමණි. උදාහරණයක් වශයෙන් යම්කිසි සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථම සිදුකෙරෙන පරිසර බලපෑම් තක්සේරුවේදී හෝ ක්‍රමෝපායික පාරිසරික බලපෑම් තක්සේරුවේදීපවාදේශගුණ විපර්යාසය පිළිබඳව සැළකිල්ලක් නොදක්වයි.එමගින් සිදුවන්නේ දේශගුණ විපර්යාසයේ බලපෑම් හමුවේ එකී සංවර්ධන ව්‍යාපෘති වලින් අපේක්ෂිත ප්‍රතිපල නොලැබේ අපේ රට ලෝකයට ණයවී අන්ත අසරණ තත්ත්වයට පත්වීම පමණි.

සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යම්කිසි ප්‍රදේශයක පරිසරයේ විවිධ වෙනස්කම් සිදුකරයි.  එමගින් දේශගුණ රටාවට බලපෑම් එල්ලවේ. උදාහරණයක් වශයෙන් යම්කිසි ප්‍රදේශයක වනාන්තර හෙළි පෙහෙළි කිරීම මගින් පරිසර උෂ්ණත්වය ඉහළ යාම දැක්විය හැකිය. එසේමඑමගින් වැසි ජල උල්පත් සිඳී යාම මගින් ප්‍රදේශයේ ජනතාවට නියං සමයේ ජල ගැටළු වලට මුහුණදීමට සිදුවේ. දේශගුණ විපර්යාසය මගින් නිතර නිතර නියං තත්ත්වයන් ඇතිකරන අතර ඒවායේ තීව්‍රතාවයද වැඩි කරන බව රහසක් නොවේ. එමගින් එම ප්‍රදේශයේ ජනතාවට එල්ලවන බලපෑම දෙගුණ තෙගුණ වේ.වන විනාශය නිසා තම වාසභූමි අහිමිවන අලි ඇතුන් ගම් වැදීම සිදුවේ. ගොවි ජනතාවට වන අලි තර්ජන හා ජල හිඟයට මුහුණදීමට සිදුවීම නිසා ඔවුන්ගේ ආර්ථික තත්වය පිරිහේ. එමගින් සංවර්ධන ව්‍යාපෘතියෙන් ලැබෙන සොච්චම් ලාභයට වඩා වැඩි පාඩුවක් රටේ සමස්ථ ආර්ථිකයට දරන්නට සිදුවේ.

හම්බන්තොට ප්‍රදේශය චීන කර්මාන්ත පුරයක් ඉදිකිරීමට හෝ වෙනයම් ප්‍රදේශයක වනාන්තර විනාශකර වෙනත් සංවර්ධන ව්‍යාපෘතියක් ඇතිකිරීමට යෝජනා කරන බලධාරීන් එමගින් මෙවැනි බලපෑම් එල්ලවීමට හැකිවීමපිළිබඳව ප්‍රමාණවත් අවබෝදයකින් පසුවන්නේද යන්න ගැටළුවකි. සැබෑ ලෙසම මෙවැනි සංවර්ධන ව්‍යාපෘති වලින් සිදුවන්නේ අටුව කඩා පුටුව සෑදුවාට නොදෙවැනි දෙයකි. එය එක් උදාහරණයක් පමණි.


අපේ රටේ ජනතාව සදාකල් දුක් විඳිමින් ජීවත්වීම වැලැක්වීම බලධාරීන්ගේ යුතුකම හා වගකීම බව නොකිවමනාය. නමුත් එම ජනතාව සංවර්ධනය නාමයෙන් කබලෙන් ලිපට ඇද දමීට ඔවුන්ට කිසිඳු අයිතියක් නැත. නමුත් දේශගුණ විපර්යාසය පිළිබඳව සැළකිල්ලක් නොදක්වා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළහොත් සැබෑ ලෙසම සිදුවන්නේ එයය. එබැවින් බලධාරීන් දැන්වත් බංකොලොත් සංවර්ධන සිහින දැකීමෙන් වැළකී යථාර්ථවාදීව තීන්දු තීරණ ගැනීම අත්‍යාවශ්‍යය.ඒ සඳහා දේශගුණ විපර්යාසය ක්‍රමයෙන් ඉස්මතුවන්නාවුත්, සියළුම ක්ෂේත්‍රවලට තර්ජන එල්ලකරන්නාවුත් සංසිද්ධියක් බව සැළකිල්ලට ගත යුතුය. එසේම ජාතික සංවර්ධනයේ හා සැලසුම්කරණයේමුලිකාංගයක් බවටදේශගුණ විපර්යාසයට අනුහුරුවීම පත්කිරීම ඉක්මන් කල යුතුය. 

Friday, August 19, 2016


දූපත් ජෛවවිවිධත්වය

දේශගුණ විපර්යාසය මගින් ජෛවවිවිධත්වයට ඇතිවන බලපෑම පිළිබඳව කතා කිරීමේදී දූපත් ජෛවවිවිධත්වයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ලොව පුරා විසිරී පැතිරී ඇති දූපත් හා  ඒ ආශ්‍රිත වෙරළාසන්න පරිසර පද්ධති අතිවිශාල ජෛවවිවිධත්වයකට උරුමකම් කියන අතර බොහෝ ආවේනික සත්ත්ව හා ශාක විශේෂ වලට එම පරිසර පද්ධති වාසභූමි සපයයි. එසේම දූපත් ජෛවවිවිධත්වය සෙසු ප්‍රදේශ වල ව්‍යාප්තවී ඇති ජෛවවිවිධත්වයට සාපේක්ෂව සංවේදී බවින් වැඩි නිසා දේශගුණ විපර්යාසයේ සැහැසිකම් වලට ගොදුරුවී සදහටම මිහිමතින් තුරන්වී යාමට ඇති නැඹුරුව ඉතා වැඩි වේ. ඊට කදිම නිදසුන වන්නේ පසුගිය වසර 400ක පමණ කාලය තුල පෘථිවි තලයෙන් වඳවී ගිය සත්ත්ව විශේෂ වලින් හරි අඩක්ම දුපත් වල ජීවත්වූ සත්ත්ව විශේෂ වීමය. ඉකුත් ශත වර්ෂය තුළ දූපත් ජෛවවිවිධත්වය ආක්‍රමණික ජීවී විශේෂ, පරිසර හායනය හා අධි පරිභෝජනය, දේශගුණික විපර්යාස හා පරිසර දූෂණය වැනි අහිතකර තත්ත්ව වලට මුහුණ දීම නිසා අනතුරේ වැටී ඇති අතර දේශගුණ විපර්යාසය සෙසු බලපෑමද සමග එකම අවධානම තව දුරටත් ඉහළ දමා ඇත.

මේ පීඩනය වැඩි වශයෙන්ම දැනෙමින් ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍ය (Small Island Developing States - SIDS) වලටය. එනම් අවම ලෙස සංවර්ධනය වෙමින් පවතින, ආර්ථික අවධානමක් ඇති, ලෝක ‍වෙළඳාම  සඳහා අවම මට්ටමෙන් (0.02.%) දායකත්වය ලබාදෙන, මිලියන 1.5කට අඩු ජනගහනයක් ජීවත්වෙන දූපත් ය (මාලදිවයින, බහමාස්, බාබඩෝස්, අන්දමන් දුපත් හා සීෂේල්ස් වැනි).

කාලයත් සමඟ හුදකලාව පරිණාමය වීම නිසා මෙම දූපත්වල ජීවත්වන ජීවී විශේෂ සුවිශේෂි වූ ජාන සංචිතයකට හිමිකම් කියයි. එමගින් අතීතයේ සිටි ජීවී විශේෂ දුපත් තුල පරම්පරා ගණනාවක් පරිණාම වෙමින් නව ජීවී විශේෂ නිර්මාණය කර ඇත. ඔවුන් පසුව නව විශේෂිත ලක්ෂණ දරන ආවේණික ජීවින් බවට පත් වේ. මහද්වීප වලට වඩා දුපත්වල හමුවන ජීවීන් විශේෂ සංඛ්‍යාව ඉතා ඉහළ වේ. දූපත් වල  පවතින අධික හුදකලා ස්වභාවය, දූපතේ ප්‍රමාණය හා භූ විශමතා මත සතුන්ගේ ආවේණිකතාවය ඉහළ යයි. උදාහරණයක් වශයෙන් හවායි දූපත් වල හමුවන ජීවින්ගෙන් 90%කට වඩා එම දූපතට ආවේණිකවේ. මොරිෂස් දූපතේ සියලුම සපුෂ්ක ශාක, ක්ෂීරපායි, පක්ෂීන්, උරඟයන් හා උභය ජීවීන් ගෙන් 50% පමණ එම දූපතට ආවේණිකවේ. ලොව වැඩිම උභයජීවීන්ගේ ආවේණිකතාවයට හිමිකම් කියන සීෂෙල්ස් රාජ්‍යයද කුඩා දූපත් රාජ්‍යක් වෙයි.

මේ සා විශාල ජෛවවිවිධත්වයකට හිමිකම් කියන සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍ය මත දේශගුණ විපර්යාසය මගින් ඇතිකර ඇති බලපෑම් නිසා එම ජීවී විශේෂ වඳවී යාම ඉතා කණගාටුදායක තත්ත්වයකි. එය ආකාර කිහිපයකින් සිදුවේ. දේශගුණික විපර්යාසයේ බලපෑම් අතරින් දූපත් ජෛවවිවිධත්වයට වැඩිම තර්ජනයක් එල්ල වන්නේ මුහුදු මට්ටම  ඉහල යාම හා මුහුදු මතුපිට පෘෂ්ඨයේ උෂ්ණත්වය ඉහල යාම මගිනි. මුහුදු මට්ටම  ඉහල යෑමෙන් ලවණතාව අධික වී, මිරිදිය ජලය අඩුවීම හා කෘෂිකාර්මික බිම් ප්‍රමාණය අඩුවීම සිදුවේ. මුහුද මතුපිට පෘෂ්ඨයේ උෂ්ණත්වය ඉහල යෑමෙන් කොරල් පර මිය යයි. මෙය මේ පරිසරය මත යැපෙන ජීවීන් හට ඍණාත්මකව බලපායි. එබැවින් දූපත්වල ජෛව සුරක්ෂිතතාව හා ආර්ථික සුරක්ෂිතතාව බිඳ වැටේ. එසේම දේශගුණ විපර්යාසයේ බලපෑම නිසා ඇතිවන අහිතකර පරිසර තත්ත්ව වලට ඔරොත්තු දෙමින් වර්ධනය වන ආක්‍රමණශීලී විශේෂ මගින්ද දූපත් ජෛවවිවිධත්වයට එල්ල වන්නේ මරු පහරකි. දූපත් ජීවීන් කුඩා ගහන ලෙස ජීවත්වීම, විශේෂිත අවශ්‍යතා සහිතවීම හා විලෝපීයයන් කෙරෙහි අවම ආරක්ෂණයක් සහිතවීම හේතුවෙන් ඔවුන් ඉතා ඉක්මනින් ආක්‍රමණ ජීවීන් හමුවේ පරාජයට පත්වේ. දේශගුණ විපර්යාසය සමග ඉහළ යන ස්වභාවික ආපදාවන්  මගින්ද ජෛවවිවිධත්වයට තීරණාත්මක බලපෑමක් එල්ලවේ. කුණාටු , සුළි සුළං, ලැව් ගිනි, නාය යෑම්, ගංවතුර , නියඟය වැනි ස්වභාවික ආපදාවන් මඟින් දුපත් වලට විශාල බලපෑමක් සිදුවේ. මෙමගින් ජීවීන් විශාල වශයෙන් මියයාම සිදුවේ. එසේම දේශගුණ විපර්යාසයේ සැහැසිකම් නිසා ආර්ථික දුෂ්කරතාවලට ලක්වන දූපත් ජනයා ජෛව සම්පත් අධික ලෙස පරිභෝජනය කිරීමට පටන් ගැනීම නිසාද දූපත් ජෛවවිවිධත්වය තර්ජනය ලක්වේ.

දුපතක් ලෙස පැවතීම නිසා ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්වයටද දේශගුණ විපර්යාසයෙන් ඇතිවන ඉහත බලපෑම් පොදුය. මයොසීන අවධියේ ශ්‍රී ලංකාව ඉන්දියානු මහද්වීපයෙන් වෙන් වූ නමුත් මුහුදු මට්ටම පහළ යාම හේතුවෙන් විවිධ අවස්ථා වලදී සත්ත්ව විශේෂ ගොඩබිම හරහා දෙපසට සංක්‍රමණය වීම සිදුවිය. . මේ කාලයේ දී හිමාලය කඳු වැටිය ඉස්මතු වීම, ආසියාතික මහද්වීපයෙන් ශ්‍රී ලංකාව, සුමාත්‍රා හා බෝනියෝ වැනි විශාල දූපත් වෙන් වීම සිදු විය. නමුත් මීට වසර දසදහසකට  පමණ පෙර ශ්‍රී ලංකාව ඉන්දියානු මහද්වීපයෙන් සම්පුර්ණයෙන්ම වෙන්වීම සිදුවූ අතර එතැන් සිට අපේ රටේ ගහකොළ හා සතා සිව්පාව දූපත් පරිසරයක් තුල පරිණාමය වීම සිදුවිය. එකී පරිණාමික ක්‍රියාවලිය ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය අතින් ඉතාම පොහොසත් රටක් බවට පත්කර ඇත. ඊට අමතරව දිවයිනේ උතුරු වයඹ දිග ප්‍රදේශ වල කුඩා දූපත් ද පිහිටා ඇති අතර ඒවායේද සුවිශේෂී සත්ත්ව හා ශාක විශේෂ හමුවේ.

මෙම ජෛවවිවිධත්වය දේශගුණ විපර්යාසයේ බලපෑම් වලින් ආරක්ෂා කිරීමට අප ඉතා උනන්දුවෙන් කටයුතු කල යුත්තේ, මිනිසුන් වන අපට දේශගුණ විපර්යාසයේ අහිතකර බලපෑම් ජයගෙන ආර්ථික වශයෙන් ස්ථාවර වීමට පවා එම ජෛවවිවිධත්වය මහෝපකාරී වන බැවිනි.

Thursday, August 11, 2016

ජෛවවිවිධත්වය වලපල්ලට

ජෛවවිවිධත්වය යනු විවිධ ස්වරූප වල පරිසර පද්ධතීන් රැසක ඉහළ ප්‍රවේණික ද්‍රවය විවිධත්වයක් සහිත එකිනෙකට වෙනස් ජීවී විශේෂ රැසක් ජීවත්වීම ලෙස සරලව හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ දේශගුණ රටාව, භූගෝලීය පිහිටීම හා පාංශු සාධක ඈ විවිධ කරුණු මත පදනම්ව විවිධ ස්වරූප වල පරිසර පද්ධති වර්ග ගණනාවක් පිහිටා තිබේ. උදාහරණයක් වශයෙන් තෙත් සදාහරිත වනාන්තර, වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ලඳු කැලෑ, කඩොලාන, තෙත්බිම්, කොරල් පර, මුහුදු තෘණබිම් දැක්විය හැකිය. එම පරිසර පද්ධති තුල ක්ෂීරපායීන්, පක්ෂීන්, උරගයන්, උභයජීවීන්, මසුන්, කෘමීන්, ක්ෂුද්‍ර ජීවීන් වැනි කාණ්ඩ වලට අයත් විවිධ ජීවී විශේෂ රාශියක් ජීවත්වීමද ඉහල ජෛවවිවිධත්වයක් පැවතීමට හේතුවේ. එසේම එම එක් එක් ජීවී විශේෂයේ ජීවීන් අතර පවා විවිධ වෙනස්කම් ඇතිවීමට හේතුවන ප්‍රවේණික ද්‍රව්‍ය නොඑසේනම් ජානමය විවිධත්වයක් පැවතීමද උසස් ජෛවවිවිධත්වයක අංගයකි. ලෝකයේ ජෛවවිවිධත්වය අතින් විශාල පොහොසත්කමක් හිමි රටවල් අතර ශ්‍රී ලංකාවද පසුවන්නේ ඉහළම ස්ථානයකය. එසේම එම ජෛවවිවිධත්වය මගින් අපට ලබාගත හැකි පල ප්‍රයෝජනද රාශියකි. නමුත් දේශගුණ විපර්යාසය හේතුවෙන් එම ජෛවවිවිධත්වය වලපල්ලය යාම ඉක්මන්වීම මේ මොහොතේද අප මුහුණදී සිටින බරපතල ගැටළුවකි.

නිරෝගී පරිසර පද්ධති හා පොහොසත් ජෛවවිවිධත්වය මිහිමත ජීවයේ අඛණ්ඩ පැවැත්මට පදනම සපයයි. නමුත් දේශගුණ විපර්යාසය හේතුවෙන් බොහෝ ජීවී විශේෂ වල වාසභූමිවලට තර්ජන එල්ලවී ඇත. තම පැවැත්මට දේශගුණ විපර්යාසය මගින් එල්ලවී ඇති තර්ජන හමුවේ එම ජීවී විශේෂ වලට සිදුවී ඇත්තේ ඊට අනුහුරුවීමට හෝ වෙනත් සුවපහසු වාසභූමි වෙත සංක්‍රමණය වීමටය. නොඑසේනම් නිතැතින්ම එම ජීවී විශේෂ දේශගුණ විපර්යාසයේ ගොදුරු බවට පත්ව සහමුලින්ම මිහිමතින් තුරන්වී යයි. පරිසර උෂ්ණත්වයේ සිදුවන සුළු වෙනස්කමක් මගින් පවා පරිසර පද්ධතීන් වලට තීරණාත්මක බලපෑම් එල්ලවේ. විශාල සත්ත්ව හා ශාක විශේෂ රැසකට බලපෑම් එල්ලවේ. තමන්ට එල්ලවන බලපෑම හමුවේ ජීවීන් වඳවී යාම හෝ සංක්‍රමණය වීම මගින් එම ජීවී විශේෂය මගින් පරිසර පද්ධතියට සිදුවූ සේවය අහිමිව යාම සිදුවේ. එමගින් පරිසර පද්ධති සමතුලිතතාවය බිඳ වැටීම තව දුරටත් භයානක ප්‍රතිපල අත්කර දෙයි.

දේශගුණ විපර්යාසය හේතුවෙන් මිහිමත වෙසෙන මුළු ගොඩබිම් ජීවී විශේෂ වලින් හරි අඩකට වඩා 2050 වසර වනවිට වඳවීමේ තර්ජනයට මුහුණදෙනු ඇතැයි අනාවැකි පලවී තිබේ. තමන් ජීවත්වන පරිසර පද්ධති විනාශවීම හේතුවෙන් මෙසේ ජීවීන් විශේෂ වඳවී යාම සිදුවන අතර ඉහළ යන උෂ්ණත්වයට වැඩි සංවේදීබවක් දක්වන කොරල් පර ආශ්‍රිත මුහුදු ජීවීන් මෙන්ම මිරිදිය ජීවීන් ද ඒ අතර පෙරමුණේ පසුවේ. බොහෝ ජීවී විශේෂ වලට තම ජීව ක්‍රියා නිසි පරිදි පවත්වා ගත හැකි ප්‍රශස්ථ උෂ්ණත්ව පරාසයක් ඇති අතර එම පරාසය ඉක්මවා පරිසර උෂ්ණත්වය ඉහළ හෝ පහළ යාම එම ජීවී විශේෂ වලට තම පැවැත්ම තහවුරුකර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා කරයි. එසේම යම්කිසි ජීවී විශේෂයක් ඊට ඔරොත්තු දුන්නද ඔවුන් ආහාර වශයෙන් ලබා ගන්නා ශාක හෝ සත්ත්ව විශේෂ දේශගුණ විපර්යාසයේ බලපෑමට නතු වුවහොත් එයද මුල් ජීවී විශේෂයේ පැවැත්මට අහිතකර අන්දමින් බලපායි. තවද අහිතකර පාරිසරික තත්ත්ව හමුවේ සීග්‍රයෙන් බෝවන ආගන්තුක ආක්‍රමණශීලී ශාක හෝ සත්ත්ව විශේෂ මගින්ද සංවේදී ජීවී විශේෂවල වඳවීම ඉක්මන් කරයි. වර්තමාන සීග්‍රතාවයෙන් අප අඛණ්ඩව ෆොසිල ඉන්දන දහනය කළහොත් වසර 2100 වන විට පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක හයකින් පමණ ඉහළ යනු ඇතැයි IPCC ය අනාවැකි පළකර ඇති අතර එය මිනිසාද ඇතුළුව මුළුමහත් ජෛව ප්‍රජාවටම ඉමහත් විපත්තිදායක ඉරණමක් උදාකරණු ඇතැයි අපේක්ෂා කල හැකිය.

පරිසර උෂ්ණත්වය ඉහළ යාම හා කොරල්පර විරංජනයවීම (Bleaching) අමතරව මුහුදු මට්ටම ඉහළ යාම, කුණාටු , සුළි සුළං, ලැව් ගිනි, නාය යෑම්, ගංවතුර , නියඟය වැනි ආන්තික කාලගුණ තත්ත්ව හා ඒ ආශ්‍රිත ස්වභාවික විපත් ඇතිවීම සුලභාවීම හා ඒවායේ හානිකර බව ඉහළ යාම, වර්ෂාපතන රටාව වෙනස්වීම හා වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යාමත් සමග ශාක වර්ධනය වෙගවත්වීම වැනි දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑම් මගින් ජෛවවිවිධත්වය වළපල්ලට යැවීම ඉක්මන් කරයි. එබැවින් දේශගුණ විපර්යාසය කඩිනම් කිරීමට හේතුවන ෆොසිල ඉන්දන දහනයෙන් වැළකී සිටීමට අප අද සිටම කටයුතු කලයුත්තේ ජෛවවිවිධත්වය විනාශවී යාම මගින් අපට පරිසරයෙන් ලබාගත හැකි ප්‍රයෝජන අඩුවීම නිසා පමණක් නොවේ. සොබාදහම් මවගේ නොහික්මුණු පුත්‍රයන් වන අප විසින් ඇතිකළ දේශගුණ විපර්යාසයේ ගොදුරු බවට අනෙකුත් ජීවීන් විශේෂ පත්කර ඔවුන් මිහිමතින් තුරන්කර දැමීමට අපට කිසිඳු අයිතියක් නැත.

Friday, August 5, 2016


කාබන් පියසටහන

දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑම් අත්විඳිමින් සිටින වර්තමාන සමාජයේ අප සියළු දෙනාටම පාහේ ඊට අනුහුරුවෙමින් දිවි පෙවෙත ගතකිරීමට සිදුවී ඇත. ඊට සමගාමීව තවදුරටත් දේශගුණ විපර්යාසය උත්සන්න කිරීමට හේතුවන හරිතාගාර වායු, වායු ගෝලයට මුදා හැරීම හැකිතරම් අවම කිරීමටද විවිධ උත්සාහයන් දැරෙමින් පවතී. දේශගුණ විපර්යාසය අවමකර ගැනීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩුකර ගැනීමේදී අප ‘කාබන් පියසටහන’ (Carbon Footprint) පිළිබඳව සැලකිලිමත්වීම අත්‍යාවශ්‍යය.

කාබන් පියසටහන, අප එදිනෙදා ජීවිතයේ දී භාවිතා කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණය නිෂ්පාදනය කිරීම සඳහා වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණය පිළිබඳ මිනුමක් ලෙස සරලව විග්‍රහ කළහැකිය. අප ජීවිතයේ ඉදිරියට තබන සෑම පියවරකදීම සිදුකරන කටයුතු, භාවිතා කරන භාණ්ඩ හා සේවා ඔස්සේ අප විසින් හරිතාගාර වායු යම්කිසි ප්‍රමාණයක් වායු ගෝලයට මුදා හැරීම සිදු කරයි. එය අප දැනුවත්වම හෝ නොදැනුවත්ව සෘජු හෝ වක්‍ර ආකාරයෙන් සිදුවිය හැකිය. එසේම තාක්ෂණික දියුණුව හා කාර්යක්ෂමතාවය වැනි කරුණු මත පදනම්ව අප ජීවත්වන රට අනුවද එය වෙනස් වේ. උදාහරණයක් වශයෙන් ඔබ භාවිතා කරන එක් ෂොපින් බෑගයක් නිෂ්පාදනය කිරීමේදී වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණයේ බර කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 740 ක් පමණ වේ. ඔබ භාවිතා කරන මෝටර් රථයට යොදන ඩීසල් ලීටරයක් දහනය වීමෙන් වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණයේ බර කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 740 ක් පමණ වේ. ඔබේ නිවසේ භාවිතාවන ගෘහ විදුලි උපකරණ සඳහා වැයවන විදුලි එකක එකක් නිපදවීම සඳහා වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණයේ බර ග්‍රෑම් 710 ක් පමණ වේ. ඔබ මෙරට සිට යුරෝපයට හෝ ඇමරිකාවට ගුවන් මගින් ගමන් කිරීමේදී එක් ගමනකදී ඔබ වෙනුවෙන් වායු ගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණයේ බර කිලෝග්‍රෑම් 1700 -1900 ක් පමණ වේ. සියළුම පුද්ගලයන්ට, ආයතනවලට හෝ කර්මාන්තශාලාවලට ආදී මිනිසා විසින් නිර්මාණය කරන සියළුම ජීවී හා අජීවී දෑ සඳහා කාබන් පියසටහනක් පවතී. එම අගය කුඩා නම් එහි අදහස වන්නේ එම නිර්මාණය සිදුකිරීමේදී වායු ගෝලයට විමෝචනය වී ඇති හරිතාගාර වායු ප්‍රමාණය කුඩා බවය. එම අගය විශාල නම් වායු ගෝලයට විමෝචනය වී ඇති හරිතාගාර වායු ප්‍රමාණය විශාලය.

අප එදිනෙදා ජීවිතයේදී භාණ්ඩ හා සේවා පරිහරණය කිරීමේදී මේ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. අප සරල අල්පේච්ඡ ජීවිතයකට හුරු වුවහොත් අප නිසා දේශගුණ විපර්යාසය උත්සන්න වීමට ඇතිවන බලපෑම අවම වෙයි. අප අපගේ ජීවිතයේ ඇතිකරගන්නා ඉතා සුළු වෙනස් කමකින් අපට අප නිසා වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අවම කිරීමට දායක විය හැකිය. උදාහරණයක් වශයෙන් අප එක් ෂොපින් බෑගයක් දෙවරක් භාවිතා කළහොත් කාබන්ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 740 ක් වායු ගෝලයට නිකුත්වීම වැළක්විය හැකිය. එක් ෂොපින් බෑගයක් භාවිතාකරන වාර ගණන අනුව අප වායු ගෝලයට මුදාහැරීම වළක්වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය එම වාර ගණන කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 740 න් ගුණ කිරීමෙන් ලබා ගත හැකිය. ඒ අනුව ජීවන රටාවේ ඉතා සරල වෙනසකින් පවා අපට දේශගුණ විපර්යාසය අවම කිරීමට දායක විය හැකි බව පැහැදිලිවේ.

ඉහළ බලශක්ති කාර්යක්ෂමතාවයකින් යුතු ගෘහ විදුලි උපකරණ භාවිතා කිරීම, අඩු බලශක්තියක් වැයවන විදුලි බුබුළු භාවිතා කිරීම, අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීම, හැකි සෑම විටම විදුලි ආලෝකය වෙනුවට ස්වභාවික ආලෝකය භාවිතයට යොමු වීම, අනවශ්‍ය අවස්ථා වලදී රුපවාහිනී හා ගුවන්විදුලි යන්ත්‍ර වැනි විදුලි උපකරණ ක්‍රියා විරහිත කිරීම, ඇඳුම් මැදීමේදී එය එකවර සිදුකිරීම, ස්වභාවික ආලෝකය හා වාතාශ්‍රය හැකි උපරිමයෙන් ප්‍රයෝජනයට ගත හැකි ආකාරයට ගොඩනැගිලි සැලසුම්කරණය, හැකි සෑම විටම පොදු ප්‍රවාහන සේවා මගින් ගමන් බිමන් යාම, පාපැදි භාවිතයට හුරුවීම, ඔබ පදවන මෝටර් රථයේ එන්ජිම නිකරුනේ පණ ගන්වා තැබීමෙන් වැළකීම, කාබණික අපද්‍රවය මගින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම, ගෙවතු වගාවන් වෙත යොමුවීම හා ගෙවත්තේ වගාකරන ආහාර ද්‍රව්‍ය භාවිතයට ගැනීම, රසායනික පොහොර හා කෘෂි රසායන වර්ග භාවිතය හැකි තරම් අවම කිරීම, කාබනික ගොවිතැනට යොමුවීම, කාබනික ආහාර පරිභෝජනයට යොමුවීම හා ආහාර අපතේ නොහැරීම වැනි කටයුතු මගින් අප සියලුම දෙනාට ඒ සඳහා දායකත්වය ලබා දිය හැකිය.

http://www.aithiya.lk/news_view.php?id=1268