Wednesday, August 31, 2016


සූර්යබල සංග්‍රාමය

ගල්අඟුරු හා ෆොසිල ඉන්දන දහනයකර නිපදවූ බලශක්තිය පරිභෝජනය දේශගුණ විපර්යාසය උත්සන්න වීම කෙරෙහි තීරණාත්මක බලපෑමක් සිදුකරන හෙයින් ලොව බොහෝ රටවල් පුනර්ජනනීය බලශක්ති පරිභෝජනය සඳහා විශේෂ උනන්දුවක් දක්වමින් සිටී. එසේම අප රට ද පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය සම්බන්ධ විවිධ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම හා ඒ අනුව විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීමද සිදු විය. නමුත් ඒවායෙන් අපේක්ෂිත අරමුණු ඉටුවනවාද නැද්ද යන්න පිළිබඳව ද එමගින් යහපත් අරමුණ අවභාවිතාවේ යොදවමින් ඇතැමුන් පරිසරය වනසමින් මඩි තරකරගන්නා ආකාරය පිළිබඳවද අප මින් පෙර දේශගුණ කතාබහ තුලින් හෙළිදරව්කර ඇත්තෙමු. ඒ අතරතුර පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය දිරිගැන්වීම පිළිබඳව යම්කිසි යහපත් ප්‍රවේශයක් වෙත අවතීර්ණ වෙමින් වර්තමාන ආණ්ඩුව ‘සූර්යබල සංග්‍රාමය’ නමින් සූර්ය බලශක්තිය තිර කර ජාතික පද්ධතියට එක් කිරීමේ වැඩසටහනකට මුල පිරීම සතුටට කරුණකි.

සූර්ය විදුලි බල නිෂ්පාදනය ඉතා සරල තාක්ෂණයක් භාවිතා කොට සිදු කරන්නක් වන අතර එහිදී සිලිකන්, බෝ‍රෝන් වැනි ද්‍රව්‍ය භාවිතා කර සකස් කරන ලද පැනලය මත සූර්ය කිරණ පතිත කළ විට විද්‍යුතය නිෂ්පාදනය වේ. නිෂ්පාදිත විද්‍යුතය පාලකයක් හරහා ගමන් කරවා බැටරියක් තුළ තැන්පත් කරනු ලබන අතර නැවත පාලකයක් හරහා ගමන් කරවා අවශ්‍යතා සඳහා විදුලිය බෙදා හැරේ. නමුත් වසරේ දින තුන්සිය හැට පහේම පාහේ දිනයෙන් අඩකට මදක් අඩු කාලසීමාවක් පුරා ඉර පායන රටක් වුවත් අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ බලධාරීන් දේශීය බලශක්ති අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා හිරු එළිය දායක කරගැනීමට අතීතයේ සිටම වැඩි උනන්දුවක් දැක්වුයේ නැත. සූර්ය බලශක්තිය පිළිබඳ තාක්ෂණය ලෝකය තුළ හඳුනාගෙන වසර ගණනාවක් ගත වුවද එය ලංකාව තුළ භාවිතයට පැමිණියේ 1986 තරම් මෑත කාලිනව වීම ඊට කදිම නිදසුනකි. ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව කලක සිට බලශක්ති මාධ්‍යක් ලෙස සූර්ය විදුලි බලය භාවිතය යම්තාක් දුරකට හෝ ව්‍යාප්ත වෙමින් පැවතුනේ ජාතික පද්ධතිය මගින් විදුලිය සපයාගැනීමේ තිබූ නොහැකියාව හේතුවෙනි. ඒ අතර වර්තමානයේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතවද මේ පිළිබඳ යම් උනන්දුවක් ඇති වීම නව ප්‍රවනතාවක් ලෙස දක්නට හැක. නමුත් මෙතෙක් සූර්ය විදුලිය නිෂ්පාදනය සම්බන්ධයෙන් ලංකාවේ රාජ්‍ය අංශයේ මැදිහත් වීම පැවතුනේ ඉතාම පහළ මට්ටමක වන අතර ඊට සම්පූර්ණයෙන්ම පාහේ දායකත්වය සපයන ලද්දේ පෞද්ගලික අංශය විසිනි. මේ අතර ආණ්ඩුවේ විදුලිබල බලධාරීන් වැඩි උනන්දුවක් දැක්වුයේ ඩීසල් බලාගාර මගින් හෝ කුඩා ජලවිදුලි බලාගාර මගින් උත්පාදනය කෙරෙන විදුලි බලය වැඩි මිලට මිලදීගෙන විදුලි පාරිභෝගිකයාට ලාබදීමට පමණි. ඊට හේතුව එම පවුද්ගලික බලශක්ති ව්‍යාපාරිකයන් අදාළ බලධාරීන් සමග විශේෂ ඇගෑලුම්කමක් ඇතිකරගැනීම දැයි විමසිය යුතුය. එවැනි පසුබිමක් තුල අළුත් ආණ්ඩුවේ මෙම ‘සූර්යබල සංග්‍රාමය’ ආරම්භකිරීම යම්කිසි ආකාරයක සතුටට කරුණකි.

වර්ෂ 2025 වන විට සූර්ය බලශක්‌තියෙන් රටේ ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට්‌ 1000 ක විදුලි සැපයුමක්‌ එක්‌ කිරීමට  ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කරන අතර එම ඉලක්‌කය වෙත යෑමේ පළමු පියවර වශයෙන් දකුණු, නැගෙනහිර හා උතුරු පළාත්වල සූර්ය බල උද්‍යාන පිහිටුවීමට යෝජනාකෙරේ. ඒ යටතේ පළමු සූර්ය බල උද්‍යානය සියඹලාණ්‌ඩුවේ ඇතිමලේ ප්‍රදේශයේ පිහිටුවීමට සැලසුම්කර ඇති අතර එහි ධාරිතාවය මෙගාවොට්‌ 100 කි. දෙවැනි පියවර වන්නේ රජයේ මුදල් වැය නොකර මහජනතාවගේ මුදලින් සූර්ය බලය උත්පාදනය කිරීමටය. මේ පියවරේදී විදුලි පාරිභෝගිකයන්ගේ වහලය මත සවිකරන ලද සූර්ය පැනල මගින් 2020 වන විට මෙගා වොට්‌ 200 ක සහ 2025 වන විට මෙගාවොට්‌ 1000 ක විදුලි බලයක් උත්පාදනය කරගැනීමේ ඉලක්‌කය වෙත යැමට ආණ්ඩුව සැලසුම් කර ඇත.

මේ වනවිට ශ්‍රී ලංකාවේ වහලය මත සවිකර ඇති සූර්යකෝෂ මගින් උත්පාදනය කරන විදුලිබල ධාරිතාව මෙගා වොට්‌ 30 ක් පමණවේ. ඊට දායකවී සිටින විදුලි පාරිභෝගිකයන් ගණන හාරදහසක්‌ පමණ ය. නව ව්‍යාපෘතියෙන් එම ප්‍රමාණය වැඩි කිරීමට බලාපොරොත්තුවන අතර විදුලිබල මණ්‌ඩලය මගින් නිපදවන විදුලිය කිලෝ වොට්‌ පැය එකක් රුපියල් 22 බැගින් මිලදීගැනීමට නියමිත ය. ඒ සඳහා මෙතෙක් පැවති මිලදී ගැනීම් ක්‍රමවේදයට අමතරව නව ක්‍රම දෙකක්ද හඳුන්වාදී තිබේ. මෙම රු 22 න් සූර්ය පැනල මිලදී ගැනීමට වැය වන මුදල පියවාගෙන අමතර මුදලක්‌ ද උපයාගත හැකියි.


නමුත් කණගාටුවට කරුණ වන්නේ මහත් උත්කර්ෂයෙන් ආරම්භකරන ලද මෙම ව්‍යාපෘතිය තුලද අපැහැදිලි තැන් රැසක් පැවතීම හේතුවෙන් එයද සුදු අලියෙකු බවට පත්වීමට වැඩි ඉඩකඩක් පැවතීමයි. සූර්ය කෝෂ තාක්‍ෂණය අපේ රට තුල නොමැති බැවින් අපට සිදුවන්නේ ඒවා විදෙස් රටවලින් ආනයනය කිරීමටය. සාමාන්‍ය ගෘහස්ථ අවශ්‍යතා ඉටු කරන එවැනි ආනයනික සූර්ය විදුලි පද්ධතියක පවා මිල අතිවිශාල බැවින් ඒවා මිලදීගැනීම පොදු මහජනතාවට පහසු කටයුත්තක් නොවේ. එවැනි පසුබිමක ජාතික පද්ධතියට විදුලිය ලබා දීමට තරම් සමත්  සූර්ය පැනලයක් මිලදීගැනීමට ඔවුනට ඇති හැකියාව පිළිබඳව කතාකරන්නට දෙයක් නැත. එබැවින් සූර්ය පැනල ආනයනයේදී පැනවෙන බදු අඩුකිරීම සිදුකල යුතුය. එසේම මෙම ‘සූර්යබල සංග්‍රාමය’ ජනතාව අතරට ගෙන යාම සඳහා බැංකු හා වෙනත් මුල්‍ය ආයතන මගින් ණය ක්‍රමවේදයක් ඇරඹීමද කාලීන අවශ්‍යතාවයකි. නමුත් මෙම ව්‍යාපෘතිය උත්සවාකාරයෙන් ආරම්භකිරීමට ප්‍රථම එම අවශ්‍යතා ඉටු කිරීමට බලධාරීන් සමත්වී නැත. නොඑසේනම් ඊට බලධාරීන්ට උවමනාවක් නැත. එවැනි පසුබිමක් තුල මෙයද තවත් ඊනියා ව්‍යාපෘතියක් වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි නමුත් අප එය එසේ නොවේවායි මේ මොහොතේද ඉත සිතින් පතමු.

No comments:

Post a Comment