Sunday, September 25, 2016


ප්‍රති සරදියල් න්‍යාය

දේශගුණ විපර්යාසයේ ඇති ඉතා අසාධාරණම ප්‍රතිවිපාකය වන්නේ එමගින් ප්‍රති සරදියල් න්‍යායෙන් පීඩිතයන්ටම පහර එල්ල කිරීමය. එනම් පොහොසතුන්ගෙන් ධනය කොල්ලකා දුප්පතුන් අතර බෙදා දුන් සරදියල් න්‍යායට පටහැනිව යමින් දේශගුණ විපර්යාසය මගින් සිදුකරන්නේ දුප්පතුන් සුරාකෑමට ධනවතුන්ට අවසර ලබාදීමය. දේශගුණ විපර්යාසය මගින් අන්ත අසරණ තත්ත්වයට පත්වීමේ වැඩිම අවධානමක් සහිත රටවල් පිළිබඳව විමසා බැලීමෙන් මේ බව මොනවට පැහැදිළිවේ.

ඇමරිකාවේ නොටර් ඩෑම් විශ්වවිද්‍යාලය මගින් ලෝකයේ රටවල් 177ක ආර්ථිකයන් විශ්ලේෂණය කර සකස්කර ඇති ගෝලීය අනුහුරුතා දර්ශකයේ (global adaptation index) මගින් අනාවරණය කර ඇති ආකාරයට දේශගුණ විපර්යාසයට බිලිවීමේ වැඩිම අවධානමක් සහිත රට වන්නේ සෝමාලියාවයි. එරිත්‍රියාව හා සුඩානය එහි දෙවැනි හා තුන්වැනි ස්ථාන හිමිකරගෙන ඇති අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 96 වැනි ස්ථානයයි.මෙහිදී අදාල එක් එක් රටට කොතරම් හොඳින් දේශගුනික විපර්යාසයටඅනුහුරුවිය හැකිද, සූදානම කෙබඳුද, අනාරක්ෂිත තත්ත්ව මොනවාද, දේශගුණික විපර්යාස සඳහා ප්‍රතික්‍රියා කිරීමට ඇති හැකියාවකොපමණද වැනි අනු දර්ශක ගණනාවක් පිළිබඳව මෙන්ම ආහාර, ජලය, සෞඛ්‍ය, පරිසර පද්ධති, මානව වාසස්ථාන හා යටිතල පහසුකම් සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇත.

මේ අතරින් දේශගුණ විපර්යාසයේ අහිතකර බලපෑම් වලට බිලිවීමේ වැඩිම අවධානමට මුහුණදීමට සෝමාලියාවට සිදුවී ඇත්තේ දේශගුණ විපර්යාසය මගින් ඇතිකරන නියං සාය මගින් එරට ආහාර හා ජල සැපයුමට බරපතල තර්ජන එල්ලකිරීම හේතුවෙනි. එසේම විශ්ලේෂකයන් පවසන්නේ එරිත්‍රියාව මේ වන විටත් මුහුණදී සිටින ආහාර සැපයුම් ප්‍රශ්නය දේශගුණ විපර්යාසය හේතුවෙන් වඩාත් නරක අතට හැරීමට ඉඩ ඇති බවයි. තවද සුඩානය දැනට මුහුණදී සිටින පිරිසිඳු පානීය ජලය සපයාගැනීමේ ගැටළුව දේශගුණ විපර්යාසය හේතුවෙන්වඩාත් දරුණු අතට හැරීම හා එමගින් මහජන සෞඛ්‍යට එල්ලවන තර්ජනය වඩාත් බිහිසුණු විය හැකිය. දර්ශකයේ සිව්වන ස්ථානයේ සිටින බුරුන්ඩි රාජ්‍යය අවධානමට ලක්වී ඇත්තේ එරට සහල්, තිරිඟු සහ බඩ ඉරිඟු නිෂ්පාදනය මත තබා ඇති විශ්වාසයආන්තික කාලගුණික තත්ත්ව මගින් තර්ජනයට ලක්වී ඇති බැවිනි. තවද පැපුවා නිව් ගිනියාවේආහාර, ජලය හා යටිතල පහසුකම් තර්ජනය ලක්කරමින් මුහුදු මට්ටම ඉහල නැගීම ද, මොරිටානියාවේ නියඟය හා මුහුදු මට්ටම ඉහළ යාම මගින් ආහාර හා ජල සම්පාදන අංශ තර්ජනයටලක්වීම, මෙන්ම යටිතල පහසුකම් විනාශවීමද, යේමනයේ දැනට පවතින ජල සම්පාදන ගැටලු තව තවත් නරක අතට හැරීම සහ දුප්පත්කම වර්ධනය වීම ද, චැඩ් රාජ්‍යයේ කෘෂිකර්මයට නියඟය හා ගංවතුර යන විපත් දෙකෙන්ම ගැටලු ඇති වීමද, සොලමන් දූපත් ඉහළ යන මුහුදු මට්ටම මගින් සම්පුර්ණයෙන් මුහුදට බිලිවීමේ අවධානම ද,ගැම්බියාවේ කෘෂිකාර්මික අංශවලට කාලගුණික රටාවන් වෙනස් වීම මගින් දැඩි ලෙස පහර එල්ලවීමද නිසා එම රටවල් පිළිවෙලින් දේශගුණ විපර්යාසයට බිලිවීමේ වැඩිම අවධානමක් සහිත රටවල් 10 අතරට ඇතුලත්ව තිබේ.

හරිතාගාර වායු ටොන් ගණනින් වායුගෝලයට මුදාහැර දේශගුණ විපර්යාසය උත්සන්න කිරීමට දායකවන රටවලට අවම බලපෑම් ඇතිකරමින් දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑම් මගින් වැඩි වශයෙන් දුක් විඳීමට සිදුවී ඇත්තේ ඉතා සුළු හරිතාගාර වායු විමෝචනයක් සහිත රටවලට බව එමගින් පැහැදිළිවේ. මහා පරිමාණයෙන් හරිතාගාර වායු විමෝචනය කරමින් දේශගුණ විපර්යාසය උත්සන්න කිරීමට ප්‍රබල දායකත්වයක් සපයන්නේ බටහිර ධනවත් රටවල්ය.එම රටවලටද දේශගුණ විපර්යාසයේ අහිතකර බලපෑම් වලට මුහුණදීමට සිදුවුවද ඔවුන් තමන්ට හිමි ධන බලය මගින් එම බලපෑම් අවමකරගැනීමට හෝ ඒවාට මුහුණදීමට අවශ්‍ය ශක්තිය ගොඩනගා ගනිති. නමුත් දරිද්‍රතාවයේ පතුලේ කිමිදී සිටින බහුතර දුප්පත් රටවල් වලට දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට මුහුණදීමට අවශ්‍ය ආර්ථික ශක්තියක් නොමැති කමින් එම රටවලට කබලෙන් ලිපට වැටීම සිදුවී තිබීම සැබවින්ම ඛේදවාචකයකි. මෙහි ඇති ඉතා අවාසනාවන්තම මුහුණුවර වන්නේ දේශගුණ විපර්යාසයේ බලපෑම් මගින් පීඩිතයන් තවත් පීඩනයට ලක් කෙරෙන අතරම ධනවතුන් එමගින්ද වාසි ලබා ගැනීමට වෙර දැරීමයි.


දේශගුණ විපර්යාසය අවමකිරීමට හා ඊට  අනුහුරුවීමට අවශ්‍ය අරමුදල් සපයන දානපතීන්ගේ භූමිකාව මෙම ධනවත් රටවල් රඟදක්වමින් සිටියද එම රටවල් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මකවන බහුජාතික සමාගම් සිදුකරන්නේ පීඩිත රටවල ඇති සම්පත් කොල්ලකෑමය. දේශගුණ විපර්යාසයේ බලපෑම් හේතුවෙන් දිනෙන් දිනම දරිද්‍රතාවයේ පත්ලෙහිම ගිලෙමින් පවතින රටවලට සිදුවී ඇත්තේ එමගින් සුළු හෝ අස්වැසිල්ලක් ලබා ගැනීම සඳහා තම රටේ සම්පත් බහුජාතික සමාගම් වලට විකිණීමට.  දුප්පත් රටවල ඇති ජලය, ඛනිජ ද්‍රව්‍ය, වනාන්තර වැනි නොයෙකුත් ස්වභාවික සම්පත් මේ ආකාරයෙන් සූරාකෑමට බටහිර බහුජාතික සමාගම් සැදී පැහැදී සිටිති. තම රටවලට දේශගුණ විපර්යාසයේ බලපෑම් වලින් ගොඩ ඒමට ඇති සම්පත් මේ ආකාරයෙන් විජාතිකයන්ට විකිණීමට දුප්පත් රටවලට සිදුවී ඇත්තේ එමගින් නිමි භාණ්ඩ සකස්කිරීමට අවශ්‍ය තාක්ෂනය හා ආයෝජන එම රටවලට නොමැති බැවිනි. බටහිර බලවතුන් එමගින් බොර දියේ  මාළු බාන්නේ කිසිඳු හිරිකිතයක් නැතිවය. අවසානයේ එම රටවලට සිදුවන්නේ වත්ත බද්දට දී ඇස්සට දත නියවීමටය. දේශගුණ විපර්යාසයේ අවධානම හිස දරා සංවර්ධන සිහින පසුපස උමතුවෙන් ලුහුබඳින සදාතනිකවම සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස අප රටේ පාලකයන්ද මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවීම වටී.

Tuesday, September 13, 2016


දේශගුණ ක්‍රියාකාරී මාවත

දේශගුණ විපර්යාසයට එරෙහි අරගලයේ තීරණාත්මක සංදිස්ථානයන් දෙකක් පසුගිය දිනවල ජාත්‍යන්තර හා ජාතික මට්ටමින් සනිටුහන් විය. ඒ අතරින් අන්තර්ජාතිකව වැදගත් සිදූවීම වූයේ ඇමරිකා එක්සත් ජනපදය හා චීනය පැරිස් දේශගුණ ගිවිසුම තම රටවල අපරානුමතකරනබව (Ratification) එරටවල නායකයින් විසින් ප්‍රතිඥා ලබාදීම ය. ලොව විශාලතම හරිතාගාර වායු විමෝචකයන් වන ඇමරිකාව හා චීනය පැරිස් දේශගුණ ගිවිසුමට අවනතකර ගැනීමට හැකිවීම සැබැවින්ම දේශගුණ විපර්යාසයට එරෙහිව සිදුකෙරෙන ගෝලීය අරගලයේ කඩයිමක් බව දෙවරක් පැවසිය යුතු නැත. එසේම ශ්‍රී ලංකා ආණ්ඩුවද දේශගුණ ක්‍රියාකාරී මාවතේ ඉදිරි පියවරක් තබමින් ඉකුත් 9 වැනිදා පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමත කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත්තේය. ඒ සඳහා යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මේ දක්වා රටවල් 180ක් පැරිස් ගිවිසුමට අත්සන් තබා ඇති අතර රටවල් 27ක් ගිවිසුම තම රටවල අපරානුමත කරන ලද බවට වූ මෙවලම් තැන්පත්කර ඇත. එම රටවල හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් 39.08% කි (ශ්‍රී ලංකාව මේ දක්වා අපරානුමත කිරීමේ මෙවලම් තැන්පත්කර නොමැති නිසා ඉහත සඳහන්කළ රටවල් 27ට ඇතුලත්වී නැත. ගිවිසුම බලාත්මක තත්ත්වයට පත් වීම ආරම්භ කිරීම සඳහාලෝකයේ සමස්‌ත හරිතාගාර වායු විමෝචනයන්ගෙන් 55%ක්‌ සඳහා වගකිවයුතු හා එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශව රටවල් 55 ක් එය අපරානුමත කළයුතුය). මෙය දේශගුණ ක්‍රියාකාරී මාවතේ සාධනීය ඉදිරි ගමනක් ලෙස හැඳින්විය හැකි නමුත් මේ මොහොත අප සතුටුවිය යුතුද දුක්විය යුතුද යන්න ගැටළුවක් බවට පත්ව තිබේ.

මුහුදු මට්ටමට ඉතා ආසන්නව පවතින සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍ය සාගරයට බිලිවීම වැලැක්වීම ඇතුළු දේශගුණ විපර්යාසය මගින් පෘථිවි වාසීන්ට එල්ලවන අහිතකර බලපෑම් පාලනය කරගැනීම සඳහා ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම පාලනය කල යුතු බව අවිවාදිත කරුණකි. ඒ සඳහා දැනට ඉහළ යමින් පවතින පරිසර උෂ්ණත්වය පූර්ව කාර්මික යුගයේ පැවති පරිසර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක එකයි දශම පහක (1.5°C) උපරිමයක සීමාවේ නවත්වාගත යුතුය. පැරිස් දේශගුණ ගිවිසුම මගින්ද හරිතාගාර වායු විමෝචන පාලනය කරමින් උත්සාහ කරන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මෙම සෙල්සියස් අංශක එකයි දශම පහ සීමාවේ පවත්වා ගැනීමටය. නමුත් ලොව ප්‍රධාන පෙළේ දේශගුණික විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සීමා කිරීමේ එම ඉලක්කය ඇතිකරගෙන ඉතා කෙටි කලක් ඇතුලතදී සැබෑ ලෙසම පෘථිවි උෂ්ණත්වය ඒ ආසන්නයටම පැමිණ ඇති බවය. නොඑසේ නම් ලෝක නායකයින් එක්ව ඉස්තාලය වසන විට අශ්වයා පැනගොස් හමාරව ඇති බවය.

පෘථිවි උෂ්ණත්වය ඉහළ යාම පූර්වකාර්මික යුගයේ උෂ්ණත්වයට සාපේක්ෂව සෙල්සියස් අංශක 1.5 සීමාවේ පවත්වා ගත යුතු බවත් ඒ සඳහා පැරිස් දේශගුණ ගිවිසුම අත්සන් කර තම රටවල එම ගිවිසුම අපරානුමත කරගතයුතු බවත් ලෝක නායකයින් විසින් එකඟතාවයට පැමිණියේ පසුගිය දෙසැම්බරයේදීය. ඒ ඉලක්කය සපුරා ගැනීමෙන් කාන්තාරකරණය, උණූසුම් වායු ධාරා, බරපතල ගංවතුර තත්ත්ව සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා බැඳුනු අනෙකුත් බලපෑම් මඟහරවා ගත හැකි වනු ඇති බව විද්‍යාඥයන් හා උද්ඝෝෂකයන් උද්දාමයට පත්වූහ. නමුත් පසුගිය කාලගුණ දත්ත සමාලෝචනය කරන විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඉකුත් වසරේ එක් මාසයක් හැර අනෙකුත් සියළුම මාසවල පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය පුර්ව කාර්මික යුගයේ උෂ්ණත්වයට වඩා අංශක එකකින් ඉහළ අගයක් වාර්තා කර ඇති බවයි. තවද එම වසරේ පෙබරවාරි හා මාර්තු මාස වලදී පෘථිවි උෂ්ණත්වය පුර්ව කාර්මික යුගයට සාපේක්ෂව සෙලිසියස් අංශක එකයි දශම තුනයි අටක (1.38°C) උපරිමයක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි. ඒ අනුව ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අංශක 1.5 සීමාවේ රඳවා ගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් වන බව ඉතා පැහැදිළිය.

එවැනි පසුබිමක් තුල ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමග පැසිෆික් කලාපයේ එල් නිනෝ තත්ත්වයන්ගේ බලපෑම් උග්‍ර වීමෙන් ගෙවී යමින් පවතින මෙම 2016 වසර මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නියඟය මගින් කැලිෆෝනියාවේ ලැව්ගිනි උත්සන්න වීම හා 50°C කට වැඩි උෂ්ණත්වයකින් ඉරාකය පීඩාවට පත්වීම එහි ප්‍රතිපල වන අතර ඉන්දියාවට මෙතෙක් වාර්තාවූ අතිශය බරපතලම මෝසම් වැසි තර්ජනයන්ට මුහුණදීමට සිදුවිය.

මේ අනුව පෙනී යන්නේ සැබැවින්ම ලෝක නායකයන් විසින් ඉස්තාලය වසන විට අශ්වයා පැනගොස් හමාර බව නොවේද? දේශගුණ විපර්යාසය උත්සන්න වීම වැලැක්වීම සඳහා වන ගෝලීය මැදිහත්වීමකට පදනම සකස් කරගැනීමට එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ වාර්ෂික සැසිවාර විස්සක් නාස්තිකර දැමීමට ලෝක නායකයින් කටයුතු කලෝය. ඒවා සියල්ලම කෙස් පැලෙන තර්ක විතර්ක ඉදිරිපත්කෙරුණු සාකච්ඡා මේස පමණක් බවට පත්කළ ලෝක නායකයින් දැන් තම අදහස් ක්‍රියාවට නැංවීම ආරම්භ කරනවිට මුළුමහත් ලෝකයම නාසය දක්වා විපතේ ගිලී අවසන්ය. ඒ අනුව අප මේ මොහොතේ රඟදක්වන රංගනයන් සියල්ල හැලියේ දිය නටන තුරු කකුළුවන් රඟන රංගනයන්ට සමාන කල හැකිය. එබැවින් තවදුරටත් මිහිතලයේ මිනිස් ජීවය පවත්වා ගැනීමට අපට අවශ්‍යනම් මේ මොහොතේ සිටවත් අප සියළුදෙනා එක්ව දේශගුණ විපර්යාසය අවමකිරීමට හා ඊට අනුහුරුවීමට දරන උත්සාහයන් සීග්‍රගාමී කිරීම කලයුතුමය.