Thursday, August 11, 2016

ජෛවවිවිධත්වය වලපල්ලට

ජෛවවිවිධත්වය යනු විවිධ ස්වරූප වල පරිසර පද්ධතීන් රැසක ඉහළ ප්‍රවේණික ද්‍රවය විවිධත්වයක් සහිත එකිනෙකට වෙනස් ජීවී විශේෂ රැසක් ජීවත්වීම ලෙස සරලව හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ දේශගුණ රටාව, භූගෝලීය පිහිටීම හා පාංශු සාධක ඈ විවිධ කරුණු මත පදනම්ව විවිධ ස්වරූප වල පරිසර පද්ධති වර්ග ගණනාවක් පිහිටා තිබේ. උදාහරණයක් වශයෙන් තෙත් සදාහරිත වනාන්තර, වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ලඳු කැලෑ, කඩොලාන, තෙත්බිම්, කොරල් පර, මුහුදු තෘණබිම් දැක්විය හැකිය. එම පරිසර පද්ධති තුල ක්ෂීරපායීන්, පක්ෂීන්, උරගයන්, උභයජීවීන්, මසුන්, කෘමීන්, ක්ෂුද්‍ර ජීවීන් වැනි කාණ්ඩ වලට අයත් විවිධ ජීවී විශේෂ රාශියක් ජීවත්වීමද ඉහල ජෛවවිවිධත්වයක් පැවතීමට හේතුවේ. එසේම එම එක් එක් ජීවී විශේෂයේ ජීවීන් අතර පවා විවිධ වෙනස්කම් ඇතිවීමට හේතුවන ප්‍රවේණික ද්‍රව්‍ය නොඑසේනම් ජානමය විවිධත්වයක් පැවතීමද උසස් ජෛවවිවිධත්වයක අංගයකි. ලෝකයේ ජෛවවිවිධත්වය අතින් විශාල පොහොසත්කමක් හිමි රටවල් අතර ශ්‍රී ලංකාවද පසුවන්නේ ඉහළම ස්ථානයකය. එසේම එම ජෛවවිවිධත්වය මගින් අපට ලබාගත හැකි පල ප්‍රයෝජනද රාශියකි. නමුත් දේශගුණ විපර්යාසය හේතුවෙන් එම ජෛවවිවිධත්වය වලපල්ලය යාම ඉක්මන්වීම මේ මොහොතේද අප මුහුණදී සිටින බරපතල ගැටළුවකි.

නිරෝගී පරිසර පද්ධති හා පොහොසත් ජෛවවිවිධත්වය මිහිමත ජීවයේ අඛණ්ඩ පැවැත්මට පදනම සපයයි. නමුත් දේශගුණ විපර්යාසය හේතුවෙන් බොහෝ ජීවී විශේෂ වල වාසභූමිවලට තර්ජන එල්ලවී ඇත. තම පැවැත්මට දේශගුණ විපර්යාසය මගින් එල්ලවී ඇති තර්ජන හමුවේ එම ජීවී විශේෂ වලට සිදුවී ඇත්තේ ඊට අනුහුරුවීමට හෝ වෙනත් සුවපහසු වාසභූමි වෙත සංක්‍රමණය වීමටය. නොඑසේනම් නිතැතින්ම එම ජීවී විශේෂ දේශගුණ විපර්යාසයේ ගොදුරු බවට පත්ව සහමුලින්ම මිහිමතින් තුරන්වී යයි. පරිසර උෂ්ණත්වයේ සිදුවන සුළු වෙනස්කමක් මගින් පවා පරිසර පද්ධතීන් වලට තීරණාත්මක බලපෑම් එල්ලවේ. විශාල සත්ත්ව හා ශාක විශේෂ රැසකට බලපෑම් එල්ලවේ. තමන්ට එල්ලවන බලපෑම හමුවේ ජීවීන් වඳවී යාම හෝ සංක්‍රමණය වීම මගින් එම ජීවී විශේෂය මගින් පරිසර පද්ධතියට සිදුවූ සේවය අහිමිව යාම සිදුවේ. එමගින් පරිසර පද්ධති සමතුලිතතාවය බිඳ වැටීම තව දුරටත් භයානක ප්‍රතිපල අත්කර දෙයි.

දේශගුණ විපර්යාසය හේතුවෙන් මිහිමත වෙසෙන මුළු ගොඩබිම් ජීවී විශේෂ වලින් හරි අඩකට වඩා 2050 වසර වනවිට වඳවීමේ තර්ජනයට මුහුණදෙනු ඇතැයි අනාවැකි පලවී තිබේ. තමන් ජීවත්වන පරිසර පද්ධති විනාශවීම හේතුවෙන් මෙසේ ජීවීන් විශේෂ වඳවී යාම සිදුවන අතර ඉහළ යන උෂ්ණත්වයට වැඩි සංවේදීබවක් දක්වන කොරල් පර ආශ්‍රිත මුහුදු ජීවීන් මෙන්ම මිරිදිය ජීවීන් ද ඒ අතර පෙරමුණේ පසුවේ. බොහෝ ජීවී විශේෂ වලට තම ජීව ක්‍රියා නිසි පරිදි පවත්වා ගත හැකි ප්‍රශස්ථ උෂ්ණත්ව පරාසයක් ඇති අතර එම පරාසය ඉක්මවා පරිසර උෂ්ණත්වය ඉහළ හෝ පහළ යාම එම ජීවී විශේෂ වලට තම පැවැත්ම තහවුරුකර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා කරයි. එසේම යම්කිසි ජීවී විශේෂයක් ඊට ඔරොත්තු දුන්නද ඔවුන් ආහාර වශයෙන් ලබා ගන්නා ශාක හෝ සත්ත්ව විශේෂ දේශගුණ විපර්යාසයේ බලපෑමට නතු වුවහොත් එයද මුල් ජීවී විශේෂයේ පැවැත්මට අහිතකර අන්දමින් බලපායි. තවද අහිතකර පාරිසරික තත්ත්ව හමුවේ සීග්‍රයෙන් බෝවන ආගන්තුක ආක්‍රමණශීලී ශාක හෝ සත්ත්ව විශේෂ මගින්ද සංවේදී ජීවී විශේෂවල වඳවීම ඉක්මන් කරයි. වර්තමාන සීග්‍රතාවයෙන් අප අඛණ්ඩව ෆොසිල ඉන්දන දහනය කළහොත් වසර 2100 වන විට පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක හයකින් පමණ ඉහළ යනු ඇතැයි IPCC ය අනාවැකි පළකර ඇති අතර එය මිනිසාද ඇතුළුව මුළුමහත් ජෛව ප්‍රජාවටම ඉමහත් විපත්තිදායක ඉරණමක් උදාකරණු ඇතැයි අපේක්ෂා කල හැකිය.

පරිසර උෂ්ණත්වය ඉහළ යාම හා කොරල්පර විරංජනයවීම (Bleaching) අමතරව මුහුදු මට්ටම ඉහළ යාම, කුණාටු , සුළි සුළං, ලැව් ගිනි, නාය යෑම්, ගංවතුර , නියඟය වැනි ආන්තික කාලගුණ තත්ත්ව හා ඒ ආශ්‍රිත ස්වභාවික විපත් ඇතිවීම සුලභාවීම හා ඒවායේ හානිකර බව ඉහළ යාම, වර්ෂාපතන රටාව වෙනස්වීම හා වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යාමත් සමග ශාක වර්ධනය වෙගවත්වීම වැනි දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑම් මගින් ජෛවවිවිධත්වය වළපල්ලට යැවීම ඉක්මන් කරයි. එබැවින් දේශගුණ විපර්යාසය කඩිනම් කිරීමට හේතුවන ෆොසිල ඉන්දන දහනයෙන් වැළකී සිටීමට අප අද සිටම කටයුතු කලයුත්තේ ජෛවවිවිධත්වය විනාශවී යාම මගින් අපට පරිසරයෙන් ලබාගත හැකි ප්‍රයෝජන අඩුවීම නිසා පමණක් නොවේ. සොබාදහම් මවගේ නොහික්මුණු පුත්‍රයන් වන අප විසින් ඇතිකළ දේශගුණ විපර්යාසයේ ගොදුරු බවට අනෙකුත් ජීවීන් විශේෂ පත්කර ඔවුන් මිහිමතින් තුරන්කර දැමීමට අපට කිසිඳු අයිතියක් නැත.

No comments:

Post a Comment