Wednesday, October 19, 2016

දේශගුණ විපර්යාසය සහ කුණු

දේශගුණ විපර්යාසය සහ කුණු අතර ඇත්තේ කෙබඳු සම්බන්ධයක්දැයි කෙනෙකුට සිතෙන්නට පිළිවන. ඒ අතර බැලූ බැල්මට කිසිඳු සම්බන්ධයක් නැතැයි ද කෙනෙකුට සිතෙන්නට පිළිවන. නමුත් දේශගුණ විපර්යාසය හා කුණු කසළ අතර ඇත්තේ සංකීර්ණ හා දැඩි බැඳීමකි. පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමත කිරීමේ ප්‍රීතියෙන් උදම් අනමින් සිටින පාලකයන් ශ්‍රී ලංකාවේ කැලි කසළ ප්‍රශ්නය පිළිබඳව නොපමාව අවධානය යොමුකල යුත්තේ එබැවිණි.

ශ්‍රී ලංකාවේ කුණු ප්‍රශ්නය සැමදා එකතැන කුණුවන ප්‍රශ්නයක් බවට පත්ව ඇත. කුණු, කැලි කසළ නොඑසේනම් ඝන අපද්‍රවය යනු ඒවා ජනනවන ප්‍රදේශ පාලනය කරන පළාත් පාලන ආයතන වලට අයත් වත්කමක් ලෙස අන පනත් වල දක්වා ඇත. මෙරට පළාත් පාලන ආයතන මගින් රටේ දෛනිකව එක්රැස් වන කැලි කසළ වලින් සියයට 40% පමණ එක් රැස් කරනු ලබයි. නමුත් එම කසළ කිසිඳු ප්‍රයෝජනයක් නොගෙන මුඩු බිමකට හෝ වගුරු බිමකට ගොඩ ගැසීමට පළාත් පාලන ආයතන විසින් කටයුතු කිරීම නිසා කැලි කසළ, බරපතල සමාජාර්ථික විපත් රැසක් ඇතිකරන ගැටළුවක් බවට පත්ව ඇත. එක් අතකින් කුණු ජනතාවගේ සෞඛ්‍යට බරපතල තර්ජනයක් එල්ල කරන මාරකයකි. එසේම අවිධිමත් ආකාරයෙන් කසළ බැහැරලන ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන ජනතාවට එමගින් සමාජීය ප්‍රශ්න රැසකටද මුහුණදීමට සිදුව ඇත. උදාහරණයක් වශයෙන් මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිතව දිවි ගෙවන තරුණ තරුණියන්ට තම අවාහ විවාහ කටයුතු කරගැනීමටද කුණු කන්ද හරස්වී තිබීම දැක්විය හැකිය. එසේම අවිධිමත් ආකාරයෙන් කසළ බැහැරලීම නිසා ජනනය වන හරිතාගාර වායු ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතුවන බැවින් දේශගුණ විපර්යාසය උත්සන්න කිරීමටද අක්‍රමවත් කසළ බැහැරලීම හේතුවී තිබේ.

මෙතෙක් කලක් විශේෂයෙන් හිසරදයක් බවට පත්ව තිබුණේ කොළඹ මහා නගර සභාවේ කැලි කසළ වුවද ඉන් බැහැරව බදුල්ල මහා නගර සභාවේ කසළද මහත් ව්‍යසනයක් ඇතිකළ ආකාරය ඉකුත් සතියේ දක්නට ලැබුණි. බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය අසල ගොඩගසා ඇති නගර සභාවේ කුණු කන්ද ගිනි ගැනීම හේතුවෙන් නගරයේ දෛනික කටයුතු අඩාල වූ අතර පාසැල් දින කිහිපයකට වසා දමන ලදී. එහිදී නගර වැසියන්ගේ මුව තෙත රෙදි කඩකින් ආවරණය කර තම නිරුවත වසා ගැනීමට නගර සභාවේ පාලකයන් කටයුතු කලද සමස්ථ ගැටළුවට එයින් ලැබුණු විසඳුමක් නැත. ඒ අතර මීතොටමුල්ලේ වැසියන් ඉදිරියේ ශුද්ධවන්තයන් වීමේ අරමුණෙන් යහපාලන ආණ්ඩුව මීතොටමුල්ලේ කුණු කන්ද ජා ඇළ ප්‍රදේශයට ප්‍රතිස්ථාපනය කිරීමට විරුද්ධව එම ප්‍රදේශයේ ජනයා දෙවැනි වරටත් වීධි බැස්සේ ද ඉකුත් සතියේය. අපේ රටේ ඝන අපද්‍රවය කළමනාකරණයේ මහිමය කියා පෑමට එම උදාහරණ දෙක පමණක් ප්‍රමාණවත් වනු ඇතැයි සිතමු.

දැන් අප විග්‍රහ කරගත යුත්තේ ඝන අපද්‍රවය මගින් දේශගුණ විපර්යාසය උත්සන්න කරන්නේ කෙසේද යන්නය. ඝන අපද්‍රවය අවිධිමත් ආකාරයෙන් පරිසරයට මුදා හැරීම නිසා ඒවායේ සිදුවන ක්ෂුද්‍රජීව ක්‍රියාකාරීත්වයන් මගින් විවිධ වායු වර්ග වායුගෝලයට නිදහස්වේ. එසේම එවැනි කසළ ගොඩවල් ගිනි තැබීම නිසාද විවිධ වායු වායුගෝලයට නිදහස් වේ. කසළ කුණුවීමෙදී නිකුත්වන මීතේන් වායුව මෙන්ම ගිනි ගැනීම් වලදී නිකුත්වන කාබන්ඩයොක්සයිඩ් ඇතුළු අනෙකුත් හරිතාගාර වායු මගින්ද හිරුගේ සිට පොළොවට ලැබෙන කිරණ පෘතුවි වායු ගෝලයේ සිරකර තබා ගනී. එමගින් පෘථිවිය උණුසුම් වන අතර දේශගුණ විපර්යාසය උත්සන්නේ වේ.

සෑම දිරාපත්වන කසළ ටොන් එකකින්ම මීතේන් වායු ටොන් දශම හතරක් (0.4) නිදහස් වේ. එබැවින් දේශගුණ විපර්යාසය උත්සන්න වීමට බලපාන ප්‍රධානතම මිනිස් ක්‍රියාකාරකම් අතරට අවිධිමත් කසළ බැහැරලීම ද ගැනේ. දේශගුණ විපර්යාසයට එරෙහිව සිදුකරන අරගලයේදී විධිමත් ඝන අපද්‍රවය කළමනාකරණය ඉතා වැදගත් අවියක් වන්නේ එබැවිනි. එසේම කසළ ඉතා හොඳ ධනෝපායන මාර්ගයක් වශයෙන්ද යොදා ගත හැකි නමුත් අපේ රටේ බලධාරීන් ඒ පිළිබඳව ප්‍රමාණවත් උනන්දුවක් නොදැක්වීම කණගාටුවට කරුණකි.

ඝන අපද්‍රවය සම්බන්ධයෙන් වගකීම පැවරී ඇත්තේ පළාත් පාලන ආයතන වලට පමණකැයි අප මෙහිදී කිසි විටකත් මතයක් ඇතිකර ගත යුතු නොවේ. එදිනෙදා ජීවිතයේදී විශාල වශයෙන් කැලි කසළ ජනනය කරන අප අපම ද ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කල යුතුය. අපද්‍රවය ජනනය වීම පාලනය කිරීමේ ප්‍රධාන මූලධර්ම තුන පිළිබඳව අප මෙහිදී අවධානය යොමුකළ යුතුය. අපගේ අවශ්‍යතා සීමා කරගැනීම මගින් අපට අපද්‍රවය ජනනය වීම අවමකළ හැකිය. එසේම නැවත භාවිත කල හැකි දෑ නැවත භාවිතා කිරීම මගින්ද කසළ ජනනය වීම අවමවේ. තවද ප්‍රතිචක්‍රීකරණය කළහැකි කඩදාසි, වීදුරු, පොලිතින්, ප්ලාස්ටික් වැනි ද්‍රවය ප්‍රතිචක්‍රීකරණය කිරීම මගින් ද කසළ ප්‍රමාණය සීමා වේ. එසේම මීතේන් වායුව පරිසරයට නිදහස්වන දිරාපත්වන ඝන අපද්‍රවය මගින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම මගින් මීතේන් වායුව ජනනය වීම වලක්වා ගත හැකිය. තවද කසළ බිම් පිරවුම් වලින් නිකුත්වන මීතේන් වායුව පවා විධිමත් ආකාරයට එක් රැස්කර ඉන්දනයක් වශයෙන් භාවිතාකළ හැකි තාක්ෂනය ලෝකයේ බොහෝ රටවල් ඉතා සාර්ථක ආකාරයෙන් ක්‍රියාවේ යොදවමින් සිටී. අපද සිදුකළ යුත්තේ එම මග ගැනීමය. එමගින් අප සැමගේ සමාජාර්ථික තත්ත්වය ඉහළ නංවා ගැනීමට මෙන්ම දේශගුණ විපර්යාසයට වැට බැඳීමටද අපට හැකිවනු ඇත.

No comments:

Post a Comment