Friday, October 21, 2016

නීල හරිත යුගයක්

මෙම සියවසේ සමස්ථ පෘතුවි වාසීන්ම මුහුණදී සිටින මුලික සමාජාර්ථික අභියෝගය දේශගුණ විපර්යාසය බව අවිවාදිතය. ඉහළ යන මිනිස් ජනගහනයේ සංකීර්ණ අවශ්‍යතා සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ දී වායුගෝලයට නිකුත්වන හරිතාගාර වායු ප්‍රමාණය අවමකිරීමට හැර එම අභියෝගය ජය ගැනීමට අන් විකල්පයක් නොමැති බව පැහැදිළිය. ඒ සඳහා ලෝකයේ විවිධ රටවල් විවිධ වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කරන අතර අපේ රට යෝජනා කරන වැඩපිළිවෙල වන්නේ ‘නීල හරිත යුගයක්’ සංවර්ධන වැඩසටහනයි.

ඒ අනුව ‘නීල හරිත යුගයක්’ සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව විවිධ මති මතාන්තර හා සාකච්ඡා ඇතිවෙමින් පවතී. මෙම වැඩසටහනට උක්ත නම යොදා ඇත්තේ ගැඹුරු තේරුමක් ඇතිව ය. නමුත් බැලූ බැල්මට මෙහි නීල යන්නෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නියෝජනය කරන නිදහස් පක්ෂ පාර්ශවයත් හරිත යන්නෙන් එක්සත් ජාතික පක්ෂයත් නියෝජනය වනු ඇතැයි කෙනෙකුට පෙනෙන්නට පිළිවන. ඒ මන්ද යත් ඊට එහා ගිය ගැඹුරක් තවමත් රටේ ජනතාවට අත්විඳින්නට නොහැකිවී ඇති බැවිණි. වර්තමාන මෛත්‍රී පාලනය ආරම්භවීමත් සමග රටේ පරිසර සංරක්ෂණය යහපත් දිශානතියක් වෙත යොමුවනු ඇතැයි සියළු දෙනා අපේක්ෂා සහගතව බලා සිටියහ. එය ක්‍රියාවෙන් යථාර්තයක් කිරීම කෙසේ වෙතත් පරිසර සංරක්ෂණය පිළිබඳව වේදිකා මත හඬ නැගෙන වහසි බස් වල නම් මේ දක්වාම අඩුවක් පෙනෙන්නට නැත. පරිසර සංරක්ෂණයට අමතරව රටේ සංවර්ධන ඉලක්ක පරිසර හිතකාමී හා තිරසාර අයුරින් ළඟාකර ගැනීම සඳහා ආණ්ඩුව මගින් ‘නීල හරිත යුගයක්’ සංවර්ධන වැඩසටහන ආරම්භ කරන බව පවසන්නේ එවැනි පසුබිමකය.

ලෝක ගෝලයේ ශ්‍රී ලංකාවේ පිහිටීම හා දිවයිනක් වීම යන කරුණු නිසා අප රටේ සංවර්ධනය කිරීම සඳහා නීල සංවර්ධන උපායමාර්ග යොදා ගැනීමට හැකියාව පවතී. වර්ග කිලෝමීටර් 532, 619ක විශාලත්වයකින් යුත් සාගර සම්පතක් භුක්ති විඳීමේ අයිතිය හිමිව ඇති අප රටට එම හිමිකම වර්ග කිලෝමීටර් 1, 714, 687ක් දක්වා පුළුල් කරගැනීමේ අවකාශ මේ වනවිට සැලසී ඇත. එසේම කිලෝමීටර් 1600 ක ආකර්ශනීය හා සම්පත් බහුල මුහුදු වෙරළක්ද අප රටට හිමිය. එමගින් ජනනය වන මසුන්, අනෙකුත් සමුද්‍රීය ජීව සම්පත්, සමුද්‍රීය ඛනිජ සම්පත්, සාගර බලශක්තිය හා සාගර සම්පත් ඇසුරෙන් නිපදවෙන ඖෂධ ආදීය අපේ රට සුඛිත මුදිත කිරීම සඳහා යොදාගත හැකිය. එසේම වෙරළ හා සමුද්‍රීය සම්පත් ඇසුරෙන් සංචාරක කර්මාන්තය, ක්‍රීඩා ප්‍රචලිත කිරීම, සාගර විද්‍යා ගවේෂණ පහසුකම් සැපයීම, වරාය, නාවුක පහසුකම් හා ආරක්ෂාව සැපයීම වැනි කටයුතු මගින්ද අප රටට සැළකියයුතු විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකිය. ඒ අනුව එම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය මගින් රට සංවර්ධනය කිරීමට වර්තමාන ආණ්ඩුවේ ‘නීල හරිත යුගයක්’ යටතේ අපේක්ෂා කෙරේ.

එසේම හරිත සංවර්ධන යටතේ කාර්මික නිෂ්පාදන, කෘෂිකර්මය, බලශක්තිය, ඉදිකිරීම් කර්මාන්තය හා ගමනාගමනය වැනි විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්ෂේත්‍ර හරිතකරණය කිරීමට ‘නීල හරිත යුගයක්’ මගින් යෝජනා කෙරේ. තවද හරිත නගර හා ගම්මාන ඇතිකිරීමටද එමගින් යෝජනා කෙරේ.

දේශගුණ විපර්යාසයන් අවමකිරීම සඳහා මෙම ‘නීල හරිත යුගයක්’ මගින් යෝජිත සංවර්ධන උපායමාර්ග ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරයි. එසේම පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමතකල රටක් වශයෙන් අප දේශගුණ විපර්යාස අවමකිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට බැඳී සිටී. නමුත් යම්කිසි කටයුත්තක් හරිත ලෙස නම්කළ පමණින් හෝ ආයතනයක් හෝ ස්ථානයක් කොළ පැහැයෙන් වර්ණ ගැන්වූ පමණින් කිසිවක් හරිතකරණය නොවන බව අප තරයේ සිහිතබා ගත යුතුය. අප ඉහත කී පරිදි ‘නීල හරිත යුගයක්’ තුල හවුල් ආණ්ඩුවේ පක්ෂ දෙකේ වර්ණයන් නියෝජනය වීම හැර ඊට වැඩි යමක් සිදුනොවන බව කෙනෙකුට හැඟෙන්නට ඉඩ ඇත්තේ එබැවිනි.

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ විවිධ පාර්ශව පරිසර සංරක්ෂණය හා තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් කොතරම් කැපවන බව පැවසුවද සංදර්ශන කාමයෙන් කොතරම් ඒ පිළිබඳව රැඟුම් රැඟුවද, දේශපාලන වේදිකාවෙන් පහළ බැස සැබෑ මහ පොළොවේ එම උපාය මාර්ග රෝපණය කිරීමට දේශපාලන අධිකාරිය හෝ නිලධාරී පැලැන්තිය දක්වන උනන්දුව ගැටළු සහගතය. එක රැයින් සිහින එළිවන්නේ නැති බව පැහැදිළිය. නමුත් සිහින එළිකර ගැනීම සඳහා දැනෙන කැපවීමක් තිබිය යුතු බවද සිහිපත් කළයුතුය.

No comments:

Post a Comment