Saturday, October 1, 2016

අල්පේච්ඡතාවය

ලෝක නායකයින් ලහි ලහියේ පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමත කිරීම මගින් මුළු මහත් ලෝකයාගේම වර්තමාන හා අනාගත දිවි පෙවෙත පිළිබඳව සුබ සිහින දකින්නට ඉඩ ලැබී තිබීම සතුටට කරුණකි. ඒ අතර ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 4.5 කට දායකවන අසල්වැසි ඉන්දියාවද අද (02) දින පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමත කරන බව මෝඩි අගමැතිවරයා ප්‍රකාශ කළේය. අද දිනය විශේෂයෙන්ම ඒ සඳහා යොදාගැනීමට හේතුව ලෙස අගමැතිවරයා දක්වා ඇත්තේ දිවංගත මහත්මා ගාන්ධිතුමන්ගේ උපන්දිනය අදට යෙදී තිබීමයි. සැබැවින්ම දේශගුණ විපර්යාසයට මුහුණදීම සඳහා ඇති ප්‍රබලම අවිය වන අල්පේච්ඡතාවය පිළිබඳව ලෝකයටම පණිවිඩයක් ලබා දීමට එය හේතුවක් වනු ඇති බව අපගේ විශ්වාසයයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් බැන්කි මූන් මහතාගේ ප්‍රයත්නය මල් පල ගන්වමින් ලෝක නායකයින් රැසක් පසුගිය සැප්තැම්බර් විසි එක් වැනිදා තම රටවල් දේශගුණ විපර්යාසයට එරෙහි පැරිස් ගිවිසුම අපරානුමත කල බවට වන මෙවලම් තැන්පත්කිරීම සිදු කරන ලදී. ඒ අතරට ශ්‍රී ලංකාවද අයත් වූ අතර පසුගිය 23 වැනිදා වන විට එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාසය පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශව කරුවන් 61 දෙනෙකු ගිවිසුම අපරානුමත කරන ලද බවට වන මෙවලම් තැන්පත්කිරීම සිදු කර තිබුණි. එම රටවල මුළු හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 47. 79කි. ඒ අනුව පැරිස් දේශගුණ ගිවිසුම සක්‍රීය තත්ත්වයට පත්කිරීමේ ගමනේ ඇති කඩුලු දෙකෙන් එකක් සාර්ථකව පියමං කිරීමට ලෝක වාසීන්ට හැකිවී ඇත. එනම් ගිවිසුම ක්‍රියාත්මකවීම සඳහා එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශව කරුවන් 55ක් ගිවිසුම අපරානුමත කලයුතුය යන කොන්දේසියයි. තවද ගිවිසුම අපරානුමත කරන රටවල හරිතාගාර වායු විමෝචනය ලෝකයේ මුළු හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 55ක් ඉක්මවීම ද සැපිරිය යුතු අනෙක් කොන්දේසියයි.

දැනටමත් චීනය ඇතුළු ලොව ප්‍රභල ආර්ථිකයන් රැසක් පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමත කර ඇති අතර යුරෝපා සංගමය ද නොවැම්බර් මාසයට පෙර සාමූහිකව පැරිස් ගිවිසුම අපරානුමත කරන බව ප්‍රකාශ කර ඇත. එබැවින් දෙවැනි කඩුල්ලද පැනීම එතරම් අපහසු කටයුත්තක් වෙතැයි බිය විය යුතු නොවේ. එසේ නම් අප සිදුකල යුතව ඇත්තේ දැන් ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා තමන්ට හැකි ආකාරයෙන් සක්‍රීයව දායකවීම පමණි. ඒ සඳහා වැඩි වෙහෙසක් දැරීමට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ අල්පේච්ඡතාවය පිළිබඳ ගාන්ධි පිළිවෙත අනුගමනය කිරීම පමණි.

අල්පේච්ඡතාවය පිළිබඳ ගැඹුරුතම ඉගැන්වීම් දැකගත හැක්කේ බෞද්ධ දර්ශනය තුල බව කීමෙහි වරදක් නැත. එසේම අනෙකුත් ආගමික සාස්තෘන් මෙන්ම විවිධ ලෝක නායකයින් ද අල්පේච්ඡතාවය පිළිබඳව විවිධ ප්‍රමාණ වලින් අදහස් දක්වා ඇත. ඒ අනුව අල්පේච්ඡතා සංකල්පය සර්වාගමික හා සර්ව කාලීන දහමකි. අප සියළු දෙනාටම ජාති ආගම කුල මල භේදයකින් තොරව එම දහම පිළිපැදිය හැකි අතර දේශගුණ විපර්යාසය අවමකර ගැනීම සඳහා අප සියළු දෙනාම එම දහම පිළිපැදිය යුතුම වේ.

අල්පේච්ඡතාවය යනු අනෙකක් නොව සරල දෙවි පෙවෙතයි. අප සරලව ජීවත්වීමට හුරුවීම යනු පරිසරයට අපගෙන් සිදුවන බලපෑම් අවම වීමයි. අප විසින් පරිසරයෙන් ලබා ගන්නා ස්වභාවික සම්පත් ප්‍රමාණය අවම වීමයි. අප විසින් පරිසරයට එකතු කරනු ලබන දුශ්‍යකාරක ප්‍රමාණය අවම වීමයි. අප විසින් අපගේ අවශ්‍යතා සීමා කරගැනීම හා සරල දිවි පෙවෙතක් ගතකිරීම මගින් අප නිසා වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණය අඩු වේ. එමගින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අවමවේ. දේශගුණ විපර්යාස සිදුවීමට ඇති නැඹුරුතාව අඩුවේ. එහි අවසන් ප්‍රතිපලය අප සියළුදෙනා අපේක්ෂා කරන පරිදි මිහිතලය සියල්ලන්ට සාමකාමීව හා සතුටෙන් ජීවත්විය හැකි තැනක් බවට පත්වීමයි. සැපය හා සංවර්ධනය යනු සම්පත් අධිකව පරිභෝජනය කරමින් අධි සුඛෝපභෝගී ජීවිත ගතකිරීම යන මිත්‍යාවෙන් මිදී සැමට සතුටින් ජීවත්විය හැකි සුපසන් පරිසරයක් මිහිමත ගොඩනැගීම සඳහා අවශ්‍ය වන්නේ අපගේ සාමූහික උනන්දුව හා කැපවීම පමණි. 

No comments:

Post a Comment