Saturday, April 9, 2016


බරපතල වෙනසක ඇරඹුම

“දැන් දේශගුණය හරියට වෙනස් වෙලා” යන කියමන මේ වන විට අප සියළුදෙනාම අසා ඇති බවට සැක නැත. වැස්ස අපේක්ෂාවෙන් සිටින විට නියඟය ඇතිවීම හා වියලි කාලගුණයක් අපේක්ෂා කරන සමයන්හිදී මොර සූරන වර්ෂාවන් ඇද හැලී ගම් නියං ගම් ගංවතුරට සේදී විනාශවී යාම මේ වන විට සුලභ සංසිද්ධියක් බවට පත්ව ඇත. මෙම වෙනස අප විද්‍යාත්මකව හඳුනා ගන්නේ දේශගුණ විපර්යාසය එහෙමත් නැත්නම් Climate change යනුවෙනි. දේශගුණ විපර්යාසය විසිඑක්වැනි සියවසේ ප්‍රධාන මානව සංවර්ධන අභියෝගය ලෙස සමස්ථ ලෝක වාසීන් විසින් හඳුනාගෙන ඇත. මිනිසා ඇතුළු සියළු මිහිකත වැසියන්ගේ පැවැත්ම අනතුරේ හෙලන දේශගුණ විපර්යාස පිළිබඳව ලොව පුරා ගැඹුරු සංවාද හා මතවාද ඇතිවෙමින් පවතී. නමුත් ශ්‍රී ලංකාවේ සිංහල පාඨකයන් අතර එකී ගැඹුරු කතිකාව ඇතිවී ඇතිද යන්න මතභේදාත්මකය. එබැවින් දේශගුණ විපර්යාසය, එහි විවිධ බලපෑම් හා දේශගුණ විපර්යාස අවමකිරීම හා අනුහුරුවීම පිළිබඳ තේරෙන සිංහලෙන් කතා කිරීම කාලෝචිතයැයි සිතමි.

දේශගුණ විපර්යාසය සිදුවීම ඇරඹෙන්නේ අද ඊයේ සිට නොවේ. අතීතයේ එක් යුගයක පෘථිවි ගෝලය මිනිසුන් ඇතුළු සියළු ජීවීන්ට ජීවත්විය හැකි තැනක් බවට පත්කිරීම සඳහා දේශගුණ විපර්යාසය උපකාරී විය. ඒත් අද වනවිට සිදුවී ඇත්තේ අතීතයේදී අපට හිතවත්වූ දේශගුණ විපරාසයම අපට හතුරුකම් කිරීමය. නමුත් ඊට හේතුවද අපමය. මීට වසර මිලියන ගණනකට පෙර වායුගෝලයේ පැවතී කාබන් පොළොවේ ගැඹුරු පතුලේ ඛනිජතෙල් තෙල් හා ගල්අඟුරු නිධි ලෙස සඟවා තබා මිහිමත මිනිසා ඇතුළු සුවහසක් ජීවීන්ට ජීවත්වීමට හැකි සුපසන් තැනක් බවට පත්කිරීමට සොබාදහම් අම්මා කටයුතු කළේය. නමුත් ඇගේ අකීකරු පුත්‍රයා විසින් ඇතිකළ කාර්මික විප්ලවයත් සමග සිදුවුණේ පොළොවේ ගැඹුරු පතුලේ සඟවා තැබූ ඛනිජතෙල් තෙල් හා ගල්අඟුරු හරි හරියට දහනය කර යලිත් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ඇතුළු හරිතාගාර වායු සාන්ද්‍රණය ඉහල නැංවීමට කටයුතු කිරීමය. බරපතල වෙනස ඇරඹෙන්නේ එතැන් සිටය.

දේශගුණ විපර්යාස පිළිබඳව ප්‍රථමයෙන්ම ලෝකයේ කතාබහ ඇතිවන්නේ 1988 වසරේ පමණ සිටය. දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලය (IPCC - Intergovernmental Panel on Climate Change) ආරම්භ වන්නේ එම වසරේ වන අතර දේශගුණ විපර්යාස සිදුවෙමින් පවතින බවත්, ගෝලීය උණුසුම්වීම මානව ක්‍රියාකාරකම් හේතුකොට ගෙන හරිතාගාර වායු ඉතා අධික ලෙස වායුගෝලයට මුදාහැරීමේ ඍජු ප්‍රතිපලයක් බවත්, විශේෂයෙන්ම පොසිල ඉන්ධන දහනය මෙයට වැඩි වශයෙන් දායක වන බවත් එම මණ්ඩලය මගින් විද්‍යාත්මකව තහවුරු කර තිබේ. ඒ අනුව, නිශ්චිතවම වර්තමාන හා අනාගත පරම්පරාවට දේශගුණ විපර්යාස තර්ජන හමුවේ ජීවත් වීමට සිදු වන බව පැහැදිලිය. ලෝකය පුරා විසිරී සිටින ජනතාව මුහුදු මට්ටම ඉහළ යාම, සුළි සුළං, නියඟයන්, ගංවතුර සහ නායයෑම් වැනි විවිධ වූ දේශගුණික බලපෑම්වලට මුහුණපාමින් සිටී. මිනිසුන්ට මෙන්ම පරිසර පද්ධතීන්ට ද දරුණු කාලගුණ තත්ත්වයන් මගින් බලපෑම් එල්ලවී තිබේ. දේශගුණ විපර්යාස බලපෑම් හමුවේ සියලූ ජාතීන් අවදානමට ලක්ව ඇති අතරම, විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා අප වැනි කුඩා දූපත් රාජ්‍යවලට ඒ සඳහා අනුහුරු වීමට ඇති අඩු හැකියාව නිසා එම රටවල් දැඩි අවදානමකට ලක් ව තිබේ.

මිනිසා විසින් සිදුකල මේ විපර්යාසය හේතුවෙන් වර්තමානය වන විටද පෘථිවියේ උෂ්ණත්වය පුර්ව කාර්මික යුගයට සාපේක්ෂව සෙන්ටිග්‍රේට් අංශක එකකින් (1oc) පමණ ඉහල ගොස් හමාරය. මුහුදු ජල මට්ටම සෙන්ටිමීටර් 20 කින් ඉහළ ගොස් හමාරය. මේ වනවිට මිහිතලයේ වායුගෝලයට මුදාහැර ඇති කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය සැලකූවිට අප හෙට දිනයේ සිට වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් මුදාහැරීම සම්පුර්ණයෙන් නවතා දැමුවද පෘතුවිය ස්ථාවර තත්වයට පත්වන විට වායුගෝලීය උෂ්ණත්වය තවත්  සෙන්ටිග්‍රේට් අංශක දශම හයකින් (0.6oc) ඉහළ යනු ඇති විද්‍යාඥයින් අනතුරු අඟවති. ඒ අනුව අප අප හෙට දිනයේ සිට වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් මුදාහැරීම සම්පුර්ණයෙන් නවතා දැමුවත් පෘතුවි වායුගෝලය ස්ථාවර වන විට පෘතුවියේ උෂ්ණත්වය පුර්ව කාර්මික යුගයට සාපේක්ෂව සෙන්ටිග්‍රේට් අංශක එකයි දශම හයකින් (1.6oc) ඉහළ යනු ඇත.

ලෝකයේ රටවල් අතර හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සම්බන්ධයෙන් සිදුවන කඹ ඇදිල්ලේ දී සංවර්ධිත බටහිර ලෝක බලවතුන්ට ඇඟිල්ල දිගු කිරීමට සංවර්ධනය වෙමින් පවතින රටවල් කටයුතු කලද චීනය හා ඉන්දියාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් වායු ගෝලයට නිකුත්කෙරෙන හරිතාගාර වායු ප්‍රමාණයද සුළුකොට තැකිය නොහැක. තවද විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල රජයන් දේශගුණ විපර්යාස අවම කිරීම (Mitigation) හා ඊට අනුහුරු වීම ( Adaptation) සඳහා දේශීය වශයෙන් මුලපිරීම් ද ඉතාමත් අඩු මට්ටමක පැවතීම  හෝ ඇල් මැරුණු ක්‍රියාකාරීත්වයක් දැක්වීම දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ තත්වයද ඊට වැඩි වෙනසක් නැත. කෙසේ වෙතත් දේශගුණ විපර්යාස පිටුදැකීම හා ඊට අනුහුරුවීම සඳහා මිනිසා විසින් අද දවසේ ගනු ලබන ක්‍රියාමාර්ග සමස්ථ පෘථිවි වාසීන්ගේ ඉදිරි පැවැත්ම තීරණය කරනු ඇති බව අප තරයේ සිහිතබා ගතයුතුය.



No comments:

Post a Comment