Friday, April 29, 2016

ලෝක කම්කරු දිනයේ අභියෝගය

මෙවර ලෝක කම්කරු දිනයේ අපේ රටේ සහෝදර කම්කරු ජනතාවට පැනනැගී ඇති ප්‍රධානම ගැටළුව වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින් ශ්‍රී.ල.නි.ප. මැයි රැළියට සහභාගී වනවාද නැතිනම් වෙනත් මැයි රැළියක් පවත්වනවාද යන්න විය යුතුය. බොහෝ මාධ්‍ය ආයතන වලට ද ඇති ප්‍රධාන රාජකාරිය එම ගැටළුවට විසඳුම් සෙවීමය. එබැවින් දේශගුණ විපර්යාස හේතුවෙන් තම රටේ ශ්‍රම බලකායට එල්ලවී ඇති පීඩනය පිළිබඳව කතා කිරීමට කිසිවෙකුත් නොමැතිවීම රටක් ලෙස අප ලැජ්ජා වියයුතු කරුණකි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා විවිධ ප්‍රදේශවල ජීවත්වන කම්කරු ජනතාව දේශගුණ විපර්යාස හේතුවෙන් පරිසර උෂ්ණත්වය ඉහළ යාම, ආන්තික කාලගුණ තත්වයන් සුලභ වීම වැනි බලපෑම් හේතුවෙන් හිංසාවට ලක්ව ඇතිබව අප අවධානරණය කරමු.

බොහෝ විට දේශපාලන පුළුවන්කාරකම් පෙන්වීම සඳහා දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරන කම්කරු දින සැමරුම් වලට බමන මතින් පැමිණ හුරේ දමනවා හැරෙන්නට කම්කරු ජනතාව ලෙස තමන්ට මුහුණදීමට සිදුවී ඇති සැබෑ අභියෝග ගැන අපේ රටේ කම්කරු සහෝදරයින් ද කල්පනා කරනවා නම් දේශගුණ විපර්යාසය මගින් ඇතිකෙරෙන බලපෑම පිළිබඳවද ඔවුන්ගේ නිසැක අවධානය යොමුවිය යුතුමය. දේශගුණික විපර්යාසවල බලපෑම සුළුවෙන් තැකීම හෝ ඒ පිළිබඳව ඇති නොදැනුවත්කම නොවන්නට සැබෑ ලෙසම ලොව පුරා විවිධ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද ආයතනගත මෙන්ම ඉන් පරිබාහිර ක්ෂේත්‍ර වලට රැකියා කරන කම්කරු ජනතාව දේශගුණ විපර්යාසයේ බලපෑම් නිසා අවධානමට ලක්වී සිටිති. හදිසි අවස්ථා, ගිනි නිවීම්, සෞඛ්‍ය, සනීපාරක්ෂක, ප්‍රවාහන හා කෘෂිකාර්මික ආදී ක්ෂේත්‍ර වල සේවකයන් ඒ අතර ප්‍රධාන වේ. දේශගුණ විපර්යාස හේතුවෙන් දැනටමත් අප ගෝලීය වශයෙන් විවිධ ක්ෂේත්‍රයන්හි මුහුණදෙමින් සිටින අවධානමට අමතරව, බලාපොරොත්තු නොවූ නව අවධානම් තත්ත්වයන්ද ඇතිවිය හැක. දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) ඔවුන්ගේ පස්වන තක්සේරු වාර්තාවේ දේශගුණ විපර්යාසය මගින් වෘත්තීය, සෞඛ්‍ය හා ආරක්ෂණයට එල්ලවිය හැකි බලපෑම පිළිබඳව විශේෂයෙන් සැලකිල්ල යොමුකර ඇත්තේ එබැවිනි. 2016 අප්‍රේල් මස 22 වන දින, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 175 කට අධික සංඛ්‍යාවක් අත්සන් කරනු ලැබූ දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතිය මගින්ද මෙම තත්ත්වය අවධාරණය කර ඇත.

සාමාන්‍ය පරිසර උෂ්ණත්වය ඉහළයාම, වායු දුෂණය හා ආන්තික කාලගුණ තත්ත්ව වැනි දේශගුණ විපර්යාසයේ සෘජු බලපෑම් වලින් වැඩබිමේ ජනතාවට දැඩි තර්ජන එල්ලවේ. එසේම එහි වක්‍ර බලපෑම් නිසා ඇතිවන බෝවන රෝග අවධානම වැඩිවීම, කර්මාන්තවල වෙනස්කම් ඇතිවීම, අධික ලෙස රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමට සිදුවීම හා වැඩකරන පරිසරයේ සිදුවන වෙනස්කම් මගින්ද කම්කරු ජනතාව පීඩාවට ලක්වන අතර මෙහි විශාලම ගොදුර බවට පත්වන්නේ දින වැටුප් ලබන කම්කරුවන් සහ තමන්ට නුහුරු පරිසරයක සේවය කරනා ශ්‍රමිකයන් ය.

දැඩි උෂ්ණාධික පරිසරයක වැඩි වේලාවක් වෙහෙසකර කටයුතුවල නිරතවීමට සිදුවීමෙන් ශ්‍රමිකයින් උණුසුම් ආතතියට (Heat Stress) ලක්වන බව දැනටමත් පිළිගත් සත්‍යයකි. ඉක්මනින් තෙහෙට්ටුවට පත්වීම, පාරිසරික වෙනස්කම් දරාගැනීමට ඇති හැකියාව අඩුවීම හා ශරීරය අකර්මන්‍යවීම (ආඝාතය) වැනි තත්ත්වයන් මේ හේතුවෙන් ඇතිවේ. තවද උණුසුම මගින් ඇතිවන අසහනය හේතුවෙන් අපරික්ෂාකාරීවීම නිසා ශ්‍රමිකයින් හදිසි අනතුරුවලට ලක්වීමේ අවධානමද ඉහළ යයි.

උෂ්ණත්වය ඉහළයාමත් සමගම වායු දුෂණ තත්ත්ව ඉහළයාම මගින්ද වැඩකරන ජනතාවගේ සෞඛ්‍යට තර්ජන එල්ලවේ. උදාහරණයක් ලෙස පහළ වායුගෝලයේ ඕසෝන් වායු සාන්ද්‍රණය ඉහළයාම දැක්විය හැකිය. දීර්ඝකාලීනව බාහිර පරිසරවල දහදිය හෙළන කම්කරුවන් මෙම වායු දුෂණය හේතුවෙන් ස්වසන රෝග හා අසාත්මිකතා තත්ත්වයන්ට ගොදුරුවීම සිදුවේ. එසේම ප්‍රමාණවත් වාතාශ්‍රය නොලැබෙන ස්ථානවල ඇති ජනන යන්ත්‍ර හා එන්ජින් සමග කටයුතු කරන ශ්‍රමිකයන්ට කාබන් මොනොක්සයිඩ් වායුව විෂවීමෙන් ඇතිවන බලපෑම් උග්‍ර විය හැක.

දේශගුණ විපර්යාස සමග ඉහළයන ගංවතුර, නාය යෑම්, කුණාටු, අකුණු, නියං වැනි විපත් යටතේ කටයුතු කිරීමට සිදුවීම මගින් ඒ සමග බද්ධවී ඇති මරණ, තුවාල, රෝග, සහ මානසික ආතතිය මගින්ද කම්කරුවන් ජීවිත අවධානමට ලක්වේ. විශේෂයෙන් ආපදා සහන සේවා වල යෙදී සිටින පුද්ගලයන්ට මෙමගින් වැඩි බලපෑම් එල්ලවේ. ආන්තික කාලගුණ විපත් මගින් කර්මාන්තශාලා හා යටිතල පහසුකම්වලට හානිවීම නිසා සේවකයන් රැකියාවට සම්බන්ධවූ හදිසි අනතුරු වලට ලක්වීමේ වැඩි අවධානමක් ඇතිවේ. දේශගුණ විපර්යාස මගින් ඇතිකරන ආන්තික කාලගුණ තත්ත්ව නිරන්තරව ඇතිවීම නිසා ඒවාට මුහුණදෙන ශ්‍රමිකයින් ප්‍රචණ්ඩකාරී වීම හා මානසික රෝග වලට ගොදුරුවීම ද සිදුවේ.

උෂ්ණත්වය වෙනස් වීම සහ වර්ෂාපතනය මගින් රෝග ව්‍යාප්ත කරන රෝග කාරකයින්, වාහකයින් හා ධාරකයින් ගේ ව්‍යාප්තිය ඉහළයාම සහ අසාත්මිකකාරක සුලභවීම ද සිදුවේ. එමගින් බෝවන රෝග වල ව්‍යාප්තිය වැඩිවන අතර ශ්‍රමිකයන්ගේ සෞඛ්‍යයට ඇතිවන තර්ජන වැඩිවේ.

දේශගුණ විපර්යාසයේ බලපෑම් හේතුවෙන් අවධානමට ලක්විය හැකි ශ්‍රමික කණ්ඩායම් හඳුනාගෙන ඔවුන්ගේ ජීවිත වලට එල්ලවී ඇති වෘත්තීය, සෞඛ්‍ය හා ආරක්ෂණ අවධානම අවමකිරීම හා ඊට අනුහුරුවීම සඳහා ශ්‍රමිකයින් බලගැන්වීමට අවශ්‍ය උපායමාර්ග, ප්‍රතිපත්ති හා නීති රීති සකස්කිරීම පාලකයන්ගේ යුතුකම හා වගකීමය. අවස්තාවාදීන්ගේ දේශපාලන උගුල් වලට හසුනොවී තමන්ට සැබෑ ලෙසම මුහුණදීමට සිදුවී ඇති මහපොළොවේ යථාර්තයට ඔරොත්තු දෙන ආකාරයෙන් තම වැඩබිම සකසා දෙන ලෙස ආණ්ඩුවට බලකර සිටීමට මෙම කම්කරු දිනයේදී වත් අපේ රටේ කම්කරු සහෝදරවරුන් උනන්දුවන්නේ නම් අගනේය.

No comments:

Post a Comment