Sunday, April 10, 2016

ගොවි රජවරුනි, අවදිවනු !

පිලිපීනයේ දකුණුදිග  Cotabato ප්‍රාන්තයේ විරෝධතාවයේ යෙදුනු එරට ගොවීන් සහ ආදිවාසීන් 6000 කට වැඩි පිරිසකට පසුගිය සිකුරාදා (2016 අප්‍රේල් 01) පොලීසිය වෙඩි තැබීය. එයින් ගොවි රජවරුන් තිදෙනෙකු අමානුෂික ලෙස ඝාතනයට ලක්විය. තවත් විශාල පිරිසක් තුවාල ලැබීය. මාස ගණනාවක් පුරා එරටට බලපවත්නා දැඩි නියඟය හේතුවෙන් ගොවීන් රැසකගේ වගාවන් විනාශ විය. ඔවුන් හා ඔවුන්ගේ දරු පවුල් මාස තුනකට වැඩි කාලයක් කුසගින්න ඉවසා සිටියහ. නමුත් මේ වනවිට නියඟය උපරිම මට්ටමින් රුදුරු වී ඇති පසුබිමක නියං ආධාර ලබා දෙන ලෙස ඉල්ලා මෙසේ වීදි බැස අරගල කරන්නට පිලිපීනයේ ගොවීන්ට සිදුවිය. එසේම මෙවැනි දැඩි නියං තත්වයන්ට මුහුණදීමට අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති හා යාන්ත්‍රණයන් සකස්කරන ලෙසද ඔවුන් මහා හඬින් ඉල්ලා සිටියහ. නමුත් එයට ආණ්ඩුවෙන් ලැබුණේ වෙඩි උණ්ඩ පමණි.

මේ දිනවල අපේ රටේ ගොවි රජවරුන්ද නිතර පාරට බැස අරගල කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. නමුත් එම ගොවි අරගලවල අරමුණු හා පිලිපීනයේ ගොවි අරගල වල අරමුණු අතර අහසට පොළොව තරම් වෙනසක් තිබේ. දේශගුණ විපර්යාසයේ බලපෑම් මේ වන විට අපේ රටටද බරපතල ලෙස දැනේ. එමගින් අපේ රටේ කෘෂිකර්මයටද එල්ලකරන්නේ මරු පහරකි. නමුත් අපේ රටේ ගොවි රජවරු තවමත් එම භයානක අවධානම පිළිබඳව කිසිඳු උනන්දුවක් නොදක්වා විදේශීය බහුජාතික සමාගම් පොහොසත් කරන පොහොට මිටිය හා කෘෂි රසායනද්‍රව්‍ය වෙනුවෙන් වීදියේ අරගලයක නිරතව සිටීම කණගාටුවට කරුණකි.

අතීතයේ “මඩ සෝදාගත් කල ගොවියා රජකමට වුව සුදුසුයැ” යි පැවසුවේ ඔවුන් ජාතියට බත සැපයූ නිසා පමණක් නොවේ. රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය දැනුම හා අත්දැකීම පවා තිබූ බුද්ධිමත් ජනතාවක් වූ බැවිනි. අද රටේ සිටින ගොවි රජවරුන් මෝඩයන් බව අප නොපවසන්නෙමු. නමුත් ඔවුන් තවමත් අඳුරු කඩතුරාවකින් දෑස් වසාගෙන කෛරාටිකයින්ගේ දේශපාලන උපායන් වෙනුවෙන් දඩමීමුන් බවට පත්වී සිටින බවනම් කිවයුතුය.

 මහා පොළොව හා ශ්‍රමය පමණක් අපට අයිති පොහොර, කෘෂි රසායන, මෙවලම් හා බීජ වර්ග ආදී සියළුම යෙදවුන් වෙනුවෙන් විදේශීය බහුජාතික සමාගම්වලට ගැති වන්නට සිදුවූ කෘෂිකර්මාන්තයක් මගින් රට බත බුලතින් ස්වයංපෝෂිත කල නොහැකි බව අපගේ ගොවි රජවරුන්ද වටහා ගත යුතුව තිබේ. එසේම මේ වනවිටත් දත් විලිස්සාගෙන සිටින දේශගුණ විපර්යාසයේ බරපතල බලපෑම් වලටද මුහුණදීමට බහුජාතික සමාගම් වලට විකල්ප නොමැති බවද සිහිතබා ගත යුතුය.

ලෝකයේම කෘෂිකර්මාන්තය තමන්ගේ ධන උල්පත බවට පත්කරගැනීම සඳහා විදේශීය බහුජාතික සමාගම් විසින් ඇටවූ “හරිත විප්ලව” උගුලේ අප තවමත් සිරවී සිටිමු. එයින් ජනතාව මුදවාලන්නට යම්කිසි උත්සාහයක් දැරෙන අවස්ථාවන් වලදී පවා බටහිර ධනවාදීන්ට විරෝධය දක්වමින් සමාජවාදයේ සළුපිළි පොරවාගත් පිරිස්ද ඊට අකුල් හෙලීම ජුගුප්සාජනකය. බහුජාතික සමාගම්වල කෘෂිරසායන ටොන් ගණනින් හලා මහපොළොව මරා දමමින් වර්තමානයේ සිදුකෙරෙන කෘෂිකර්මාන්තයට තවත් වැඩිකල් ආයුෂ නැත. අප මේ වන විට සිදුකරමින් සිටින්නේ මිය ගිය මවගේ තනපුදුවෙන් කිරි උරා බීමය. නමුත් අපට එම තෘප්තිය ලැබියහැකි වන්නේ තවත් කෙටි කාලයකටය.

දේශගුණ විපර්යාසය මගින් අපට මෙම ගැඹුරු යථාර්තය වඩාත් ඉක්මනින් වටහා දී තිබේ. නමුත් එය තවමත් අපේ රටේ ගොවි රජවරුන්ට වැටහී නැති සේය. පිලිපීනයේ ගොවි රජවරුන්ට පොලිස් වෙඩි පහරින් ලය පසාරු කරගන්නට සිදුවූයේ මන්ද? ඔවුන්ද හරිත විප්ලවයේ කොටස් කරුවෝය. නමුත් දේශගුණ විපර්යාසය හේතුවෙන් උත්සන්න වන ගංවතුර හා නියං හමුවේ තම ගොවිතැන පවත්වාගෙන යාමට ඔවුන්ට තවදුරටත් නොහැකිය. මහා පාරට බැස නියං සහනාධාර හා දේශගුණ විපර්යාසයේ බලපෑම් වලින් කෘෂිකර්මාන්තය ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා අරගල කරන්නට ඔවුන්ට සිදුවූයේ එබැවිනි.

ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවටද එම අවධානම පොදුය. දේශගුණ විපර්යාසයට මුහුණදීම සඳහා පාරම්පරික ගොවිතැන වැළඳගැනීම මිස වෙනත් විකල්පයක් නැත. පස සාරවත් කර, ජලය සංචිතකර තබා ගන්නා කාබනික පොහොර භාවිතයට අපේ රටේ ගොවි ජනතාවද හුරුවිය යුතුය. ගංවතුරට හා නියඟයට ඔරොත්තු දෙන ප්‍රතිරෝධී බීජ වර්ග සපයා ගත යුතුය. ජලය සංරක්ෂණය කල යුතුය. අවශ්‍යතාවය අනුව විකල්ප භෝග වගාවන් වෙත නැඹුරු විය යුතුය. ඊට අවශ්‍ය ප්‍රතිපත්ති හා වැඩපිළිවෙල සකස් කිරීමට රජයට බලකල යුතුය.
මේ ඒ සඳහා අරගල කලයුතු කාලය මිස පොහොර මිටිය වෙනුවෙන් අරගල කලයුතු කාලය නොවේ.

No comments:

Post a Comment