Saturday, April 9, 2016

එල්නිනෝ සහ අපේ කුසගින්න

මෙම වසරේදී අප්‍රිකානු මහද්වීපයේ මිලියන 14 ක ජනතාවක් උග්‍ර ආහාර හිඟයකට මුහුණපානු ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පසුගියදා නිවේදනය කළේය. දේශගුණ විපර්යාසය හේතුවෙන් උත්සන්න වී ඇති බරපතල එල්නිනෝ තත්වයක්මීට හේතුවී තිබේ. එයින්වැඩිම බලපෑමක් එල්ලවෙනු ඇතැයි අපේක්ෂා කරන රට වන්නේ මලාවි රාජ්‍ය යි. එහි මිලියන 2.8 ක ජනතාවක් සාගතයට මුහුණදී සිටිති. එම ප්‍රමාණය රටේ මුළු ජනගහනයෙන් සියයට 16 කි. සිම්බාබ්වේ රාජ්‍යයේ ජනගහනයෙන් සියයට 10ක් නොඑසේ නම් මිලියන 1.5 ක ජනතාවකගේ ඉරණමද එයයි. ඉන්දියන් සාගරයට අයත් දූපත් අතරින් වැඩිම අනතුරක් සහිත දිවයින වන්නේ මැඩගස්කර් රාජ්‍යයි. එහි මිලියන 1.9 ක ජනගහණයක් අවධානමට මුහුණදී සිටිති. මුළු ලෝකයේම කාලගුණ රටාවේ වෙනස්කම් ඇතිකිරීමට සමත් එල්නිනෝ තත්වයන් මගින් පෘථිවි ගෝලයේ ඇතැම් ප්‍රදේශ වලට දැඩි නියං තත්වයන් ඇතිකරන අතරම සෙසු ප්‍රදේශ වලට විශාල වර්ෂාපතනයන් ඇති කරයි.

ශ්‍රී ලංකාවේ අපටද අපගේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව බරපතල ලෙස සිතන්නට හා ක්‍රියාකරන්නට මෙම එල්නිනෝ තත්වය මග පාදා ඇත්තේ එහි බලපෑම අපේ රටටද දැඩිව එල්ලවනු ඇතැයි නාසා ආයතනය අනතුරු අඟවා ඇති බැවිනි. අපේ රටේ ප්‍රධානම ආහාර භෝගය වන වී ගොවිතැනද මේ වන විටත් දේශගුණ විපර්යාසයන්ගේ බලපෑමට ලක්ව ඇති බව නොකිවමනාය. අවශ්‍ය කාලයේදී වැසි නොලැබීම නිසා වගාවන් විනාශවීම මෙන්ම අස්වනු නෙලන සමයේ ලැබෙන අනපේක්ෂිත වර්ෂාව හේතුවෙන් අස්වනු විනාශවීම ද මේ වන විට සුලබ සංසිද්ධියක් බවට පත්වී ඇත. එළවළු, පලතුරු හා අනෙකුත් භෝග වගාවන් සම්බන්ධයෙන් ගත්තද මෙම තත්වය එසේමය. එවැනි පසුබිමක් තුල මෙම එල්නිනෝ තත්වයේ බලපෑමෙන් ඇතිකෙරෙන නියං සාය අපේ රටටද දැඩිව දැනෙනු ඇති බව පැහැදිලිය.

නියඟය හේතුවෙන් කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය හිඟ වීම හා අකල් වර්ෂාවන් හේතුවෙන් අස්වනු විනාශවීමට අමතරව තවත් විවිධ ආකාරයේ බලපෑම් ඇතිවේ. පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමග භෝග වලට හානි කරන කෘමී පළිබෝධකයින්ගේ ක්‍රියාකාරීත්වය ඉහළ යයි. එමගින් වගාවන්ට එල්ලවන පලිබෝධ ආක්‍රමණ වැඩි වෙයි. කෘමීන් නොවන පලිබෝධකයයන් ( වනසතුන් හා පක්ෂීන් වැනි ) ද තම ස්වභාවික වාසස්ථාන වල ඇතිවන ආහාර හා ජල හිඟය නිසා මිනිසුන්ගේ බව භෝග ආක්‍රමණය කිරීමට පෙළඹේ. එමගින්ද කෘෂි නිෂ්පාදනයට බලපෑම් එල්ලවේ. එසේම රෝග ව්‍යාප්තිය ඉහළ යාමටද දේශගුණ විපර්යාස හේතුවේ. පරිසරයේ උපරිම හා අවම උෂ්ණත්වය අතර වෙනස අඩුවීම මගින් අල භෝග වල අස්වැන්න අඩුවීම සිදුවේ.

වෙනස්වී ඇති දේශගුණික රටාවට අනුව වගා කාලසටහන් වෙනස් කිරීම, දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තුදෙන භෝග ප්‍රභේද හඳුන්වා දීම, වගා ක්‍රම වැඩි දියුණු කිරීම, ජල සංරක්ෂණ ක්‍රම වැඩි දියුණු කිරීම, ආරක්‍ෂිත ගෘහ තුල භෝග වගාව වැනි කරුණු පිළිබඳව මෙහිදී අප අවධානය යොමු කල යුතුය. බටහිර බහුජාතික සමාගම් වල ඊනියා හරිත විප්ලවයට රැවටී අප විසින්ම අමතකකර දැමූ ප්‍රතිරෝධී පැරණි බීජ හා පාරම්පරික කෘෂි දැනුම නැවත භාවිතයට ගැනීමද මෙහිදී අත්‍යාවශ්‍ය වෙයි.

දේශගුණ විපර්යාස නිසා ඇතිවන බලපෑම් හේතුවෙන් ආහාර භෝග වල අස්වැන්න අඩුවීම සිදුවන අතර එය පාලනය කිරීමට උත්සාහ දැරීමට අමතරව පසු අස්වනු හානි අවම කරගැනීම පිළිබඳවද අපගේ ප්‍රමුඛ අවධානය යොමුකළ යුතුය. අස්වැන්න නෙලා ගත් තැන සිට එය පරිභෝජනයට ගැනීම දක්වා කාලය අතරතුර අස්වැන්නට සිදුවන හානිය මෙහිදී සැලකිල්ලට ගැනේ. වැරදි ප්‍රවාහන ක්‍රම හා ගබඩා වලදී සිදුවන හානි නිසා මේ ආකාරයෙන් නෙලා ගත් අස්වැන්නෙන්ද සැලකියයුතු කොටසක් අහිමිවේ. මේ වන විට මහා කන්නයේ ගොයම් කැපීම ආරම්භ වී ඇති බැවින්, නෙලා ගන්නා වී ආරක්ෂිතව ගබඩා කර තබාගෙන ඉදිරියේදී ඇතිවිය හැකි නියං සමයේදී ක්‍රමානුකූලව වෙළඳපොළට නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමද මෙහිදී වැදගත්ය.

ආණ්ඩුවට, රාජ්‍ය ආයතන වලට, පර්යේෂකයන්ට, සිවිල් සංවිධාන වලට මෙන්ම සියළු මහජනතාවට ද  දේශගුණ විපර්යාස හේතුවෙන් අපට මුහුණ දීමට සිදුවී ඇති ආහාර අනාරක්ෂිතතාවයට විසඳුම් සෙවීමට විවිධ වගකීම් පැවරී ඇත. ඉවත දමන වියලි ශාක දණ්ඩක් වුව ද දලූ ලා යළි පැළවන සාරවත් පොළොවක් හිමි අපට එල්නිනෝව හේතුවෙන් කුසගින්නේ සිටින්නට වුව හොත් ඊටද වැරදිකරුවන් වන්නේ අපමය.

http://lankaanews.com/%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9C%E0%B7%94%E0%B6%AB-%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%9C/

No comments:

Post a Comment