Sunday, May 22, 2016

(අ)ස්වභාවික විපත්

පසුගිය දිනවල ලැබුණු අධික වර්ෂාපතනය සමග සිදුවූ බරපතල ව්‍යසන ගණනාවක් හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක රැසක ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත්වූහ. ගංවතුරට හසුවීම නිසා මෙන්ම නාය යාම් හා කණ්ඩි කඩා වැටීමෙන් වටිනා මිනිස් ජීවිත ගණනාවක් ද රටට අහිමි විය. ඊට හේතුවූ නිවර්තන අඩු පීඩන කලාපය ක්‍රමයෙන් ඉන්දියාව දෙසට ගමන් කිරීම නිසා අපට මේ වන විට යම් අස්වැසිල්ලක් ලැබී තිබුණද යලි කුමන මොහොතක විපතක් උදාවේදෝයි සිතමින් සියල්ලන්ටම ජීවත්වීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත පරිසරයකය.

දේශගුණ විපර්යාස හේතුවෙන් එල්ලවන බලපෑම් නිසා මෙම මිහිතලය මත ජීවත්වීම  1970 දශකයට වඩා පස් ගුණයකින් අවධානම් සහගතවී ඇති බව වාර්තාවක් එළි දක්වමින් ලෝක කාලගුණ සංවිධානය ප්‍රකාශ කරන්නේ එවැනි පසුබිමකය. 1970 දශකයේ ගංවතුර, නියඟ, කුණාටු හා උණුසුම් වායු ධාරා වැනි විපත් 743ක් මගින් පෘථිවියේ ජනතාවට බලපෑම් එල්ලවී ඇති අතර විසිඑක්වැනි සියවසේ මුල් දශකය වනවිට එම විනාශයන් ප්‍රමාණය 3496ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම සංවිධානය අනාවරණය කරන අතර ඒ සඳහා දේශගුණ විපර්යාසය සෘජුව වග කිව යුතු බව ඔවුන් තහවුරු කර තිබේ.

ගංවතුර, නියං, නාය යාම්, කුණාටු වැනි විපත් වලින් ශ්‍රී ලංකාවේ අපටද පසුගිය කෙටි කාල සීමාව තුලදී පවා නිරන්තරයෙන් අමිහිරි අත්දැකීම් ලැබීමට සිදුවූ බව නොරහසකි. මෙවැනි විපත් සාමාන්‍ය ව්‍යවහාරයේදී අප හඳුන්වන්නේ ස්වභාවික විපත් යනුවෙනි.  නමුත් දේශගුණ විපර්යාසයන්  උත්සන්න කිරීමට වගකිව යුත්තේ මිනිසුන් වන අපම බැවින්ද දිනෙන් දින ස්වභාවික විපත් සිදුවීම් ඉහළ යාමට දේශගුණ විපර්යාසය සෘජුව බලපා ඇති බැවින්ද තව දුරටත් එකී විපත් ස්වභාවික විපත් ලෙස හැඳින්වීමේ කිසිඳු යුක්ති සහගත බවක් නොමැති බව අප අවධාරණය කරගත යුතුය.

දේශගුණ විපර්යාසය හේතුවෙන් පරිසර උෂ්ණත්වය ඉහළ යාම නිසා වායු ගෝලයට වාෂ්පීකරණය වන ජලය ප්‍රමාණය ඉහළ යන අතර එමගින් බරපතල කුණාටු හා සුළිසුලං ඇතිවීම සිදුවේ. වායුගෝලයේ හා සාගර මතුපිට උෂ්ණත්වය ඉහළ යාම මගින් සුළං වේගය වැඩිවීම නිවර්තන සුළි කුණාටු වල විනාශකාරී බලය ඉහළ යාමට හේතුවී ඇති බවට මේ වන විට සාක්ෂි ලැබී තිබේ. සුළිසුලං හා චණ්ඩමාරුත මගින් ලොව පුරා විවිධ රටවලට විශාල ආර්ථික බලපෑම් එල්ලකර ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයට පවා බරපතලම ආර්ථික බලපෑම් එල්ලකරන ලද ස්වභාවික විපත් පහම සුළිසුලං බව කිවහොත් බොහෝ දෙනෙකු විමතියට පත්වීමටද පිළිවන. ඇන්ඩෘව් (1992), කැත්රිනා (2005) හා සැන්ඩි (2012) වැනි සුළිසුලං ඒ අතර වේ. එමගින් සිදුවූ ආපදාව ඇමරිකන් ඩොලර් බිලියන 294ක් බව ගණන් බලා ඇත.
පරිසර උෂ්ණත්වය ඉහළ යාම නියං ඇතිවීමට ද හේතුවී ඇති අතර මෑත ඉතිහාසයේ බලපෑ බිහිසුණුම නියං තත්වය හේතුවෙන් 1970 -1980 කාල සීමාව තුල නැගෙනහිර අප්‍රිකාවේ ලක්ෂ හයක ජනතාවක් මරණයට පත්විය.

දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් මුහුදු මට්ටම ඉහළ යාම මගින් සාමාන්‍යයෙන් රළ පහරේ පලපෑමට නතු නොවන ප්‍රදේශ පවා රළ පහරට හසුවන අතර මුහුදු රළ වල ඛාදන හැකියාව වැඩි වීම නිසා වෙරළබඩ ප්‍රදේශ වලට දැඩි බලපෑම් එල්ලවේ. වෙරළාසන්න ප්‍රදේශ වලට එල්ලවූ ස්වභාවික විපත් වලින් 2010 වසර තුලදී පමණක් නගර 136කට ඇමරිකන් ඩොලර් බිලියන 6ක අලාභයක් සිදුවී ඇත.

මේ ආකාරයෙන් ලොව පුරා මෙන්ම අපේ රටේද ඇතිවන බරපතල ව්‍යසනයන් හමුවේ ජනතාව අහසට දෑත් විහිදා සොබාදහමට ශාප කිරීම මින් ඉදිරියට පලක් වන්නේ නැති බව අප තරයේ සිහි තබා ගත යුතුය. ඒ මන්ද යත් පෘථිවි ගෝලයේ දේශගුණ රටාව වෙනස් කර, දේශගුණ විපර්යාසය උත්සන්න කිරීමට වැරදි කරුවෝ අපම වන බැවිනි. එමගින් ඇතිවන විපත් අප විසින්ම කැඳවා ගත් අස්වාභාවික කෘතීම විපත් විනා සොබාදහමේ සැහැසිකම් නොවන බැවිනි.

දේශගුණ විපර්යාස හේතුවෙන් ස්වභාවික විපත් ඇතිවීමේ සුලභතාවය වැඩිවී ඇතිවා සේම ඒවායේ විනාශකාරීත්වයද දිනෙන් දිනම ඉහළ යමින් පවතින බව පර්යේෂණ මගින් අනාවරණය කර තිබේ. එමගින් මිනිසා ඇතුළු මුළුමහත් පෘථිවි ගෝලයටම එල්ලවන  බලපෑම තව තවත් තීව්‍ර වනු මිස අඩුවීමක් නම් සිදු නොවේ.


දේශගුණ විපර්යාස මගින් උත්සන්න වන ස්වභාවික විපත් හේතුවෙන් වර්ෂ 2020වන විට ලොව පුරා බිලියන 1.3ක ජනකායක් හා ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 158ක වත්කම් අනතුරේ වැටෙනු ඇති බවට ලෝක බැංකුවද අනතුරු අඟවා ඇත. ඒ අනුව පස් ගුණයක් අවධානම දරාගනිමින් ඉදිරියටත් පෘථිවි ගෝලයේ ජීවත්වීමට අපට අවශ්‍යනම් අප විසින් වහ වහා දේශගුණ විපර්යාසයන් පිටු දැකීමට කටයුතු කල යුතු අතරම ඒ සඳහා අනුහුරුවීමද අත්‍යාවශ්‍යය. විපතක් සිදුවූ විට පමණක් කරළියට පැමිණෙන ආපදා කළමනාකරණය වෙනුවට නිරන්තර අවදියෙන් සිටින තුන්කල් දැක්මක් සහිත ආපදා පෙර සූදානම් ක්‍රමවේදයක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවයකි. එසේම නාය යම් සංවේදී ප්‍රදේශ, ගංගා නිම්න හා පහත්බිම් වල භූමි පරිභෝජන රටාවද විපත් ඇතිවීම වලක්වන හෝ අවම කරන ආකාරයේ වීමද වැදගත්ය. කාලයාගේ ඇවෑමෙන් ගංවතුර බැස ගිය විට සියල්ල මතකයෙන් මැකී යාමට ඉඩ නොදී මේ පිළිබඳව ගැඹුරින් කල්පනා කිරීම හා ක්‍රියා කිරීම ඔබේද මගේද අනාගතය තීරණය කරනු ඇත.

දරුණුයි මිනිස් සැහැසිකම් විලාපය ඒකයි සොබාදම්, http://www.mawbima.lk/40-110767-news-detail.html

දේශගුණ විපර්යාසය උත්සන්න කරන අප මේ (අ)ස්‌වාභාවික විපත්වල වගකීම භාරගත යුතු ය, http://www.vidusara.com/2016/06/22/news2.html
      

No comments:

Post a Comment