Tuesday, July 19, 2016

දේශගුණය තෙලෙන් බැදීම

ලොව පුරා සෑම ඉසව්වකම ජීවත්වන සියළු ආකාර ජීවීන් මේ වනවිට දේශගුණ විපර්යාසයේ දරුණු සැහැසිකම් අත්විඳිමින් සිටින බව නැවත නැවතත් සඳහන් කලයුතු නැත. එම සියළු ජීවීන්ගේ අනාගතය පිළිබඳව තීරණය කිරීමට මේ මහා පොළොවේ සිටින එක් ජීවී විශේෂයකට පමණක් අවසර ලැබී තිබීම දෛවයේ සරදමක් වැනිය. එම ජීවී විශේෂය වන්නේ මිනිසුන් ය. අනෙකුත් අපා දෙපා සිව්පා බහුපා ජීවීන් මොහොතකට පසෙක තබා තමන්ගේ හා තම අනාගත පරම්පරාවන්ගේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා හෝ දේශගුණ විපර්යාසය පාලනය කිරීම හා ඊට අනුහුරුවීම සඳහා අවශ්‍ය කැපකිරීම් සිදුකිරීම මිනිස් වර්ගයාගේ යුතුකම හා වගකීමය. නමුත් එම යුතුකම හා වගකීම ඉටුකරනු වෙනුවට ‘ලිප ගිනි මොලවන තෙක් දිය සැළියේ, සැපයක් යයි කකුළුවා දිය කෙළියේ’ කියන්නා සේ තවදුරටත් දේශගුණ විපර්යාසය කඩිනම් වීමට හේතුවන පොසිල ඉන්දන දහනය ප්‍රවර්ධනය කරමින් ඇතැම් තක්කඩින් තම මඩි තර කර ගැනීමට කටයුතු කිරීම ජුගුප්සාජනක ය.

දේශගුණ විපර්යාසය පිළිබඳව ජනතාව තුල උනන්දුව ඇතිවීමත් සමග ඔවුන්ගේ බලපෑම් නිසා සෑම රටකම පාහේ ආණ්ඩු වලට පොසිල ඉන්දන භාවිතය පිළිබඳ තම නීති රීති හා ප්‍රතිපත්ති වෙනස් කිරීමට සිදුවී ඇත. නමුත් එමගින් තමන්ගේ ලාභය සීමා වන බව දන්නා ඛනිජ තෙල් හා ගල්අඟුරු සමාගම් තමන් සතු අධික ධන බලය භාවිතා කරමින් ආණ්ඩු වලට බලපෑම් එල්ල කිරීම හේතුවෙන් දේශගුණ විපර්යාසය පාලනයට දැරෙන උත්සාහයන් මන්දගාමී වීම දැකිය හැකිය. එසේත් නැතිනම්  ඛනිජ තෙල් හා ගල්අඟුරු සමාගම් මේ වනවිට සිදුකරමින් සිටින්නේ දේශගුණය තෙලෙන් බැදීමට උත්සාහ කිරීමය.

මේ වන විට අනාවරණය කරගෙන ඇති ආකාරයට තෙල් සමාගම් දේශගුණ විපර්යාසය ඇති වන බව දැනගෙන ඇත්තේ මීට වසර 45 කට පමණ ඉහත සිට ය. පොසිල ඉන්දන දහනය මගින් වායු ගෝලයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් වායුව මගින් ගෝලීය වශයෙන් පාරිසරික වෙනස්කම් ඇතිවිය හැකි බව ‘ස්ටැෆර්ඩ් රිසර්ච් ඉන්ස්ටිටියුට්’ නම් පර්යේෂණ ආයතනය විසින් 1968 වසරේදී ඇමරිකානු පෙට්‍රෝලියම් ආයතනයට වාර්තාවක් මගින් දන්වා ඇත. නමුත් එය සඟවා තබාගෙන තම ව්‍යාපාරය අඛණ්ඩව සිදුකරමින් ලාභ ඉපයීමට තරම් තෙල් සමාගම්  ආත්මාර්ථකාමී වී ඇත. පෘථිවියට හෙන ගැහී ගියත් තමන් උපයා ගන්නා මුදල් වලින් වෙනත් ග්‍රහ ලෝකයකට හෝ ගොස් ජීවත්විය හැකි වනු ඇතැයි තෙල් සමාගම් හිමිකරුවන් සිතන්නට ඇතිවා විය හැකිය. කෙසේ නමුත් මේ වනවිට නාසය දක්වා ගිලෙන තරමට ප්‍රශනය ඔඩු දුවා ඇතත් තෙල් සමාගම් තම ලාභාපේක්ශාව අත්හැර ඇතිද යන්න ප්‍රශ්නාර්ථයකි.

ගෝලීය වශයෙන් වැඩිම හරිතාගාර වායු විමෝචනයන් සිදුකරන සංවර්ධිත රටවල දේශපාලකයන් සාක්කුවේ දමා ගැනීමට හා දේශගුණ විපර්යාසය මිත්‍යාවක් බවට ජනතාව අතර මතයක් ඇතිකිරීමට තෙල් කොම්පැණිකරුවනට වියදම් කිරීමට අවශ්‍ය වන්නේ තමන් ඉපයූ ඉමහත් ලාභයෙන් සොච්චමක් පමණි. 2013 දී පමණ ලෝකයේ එක්‌ ප්‍රකට තෙල් සමාගමක ලිපියක්‌ හේතුවෙන් යුරෝපා සංගමය ඔවුන් පැනවීමට ගිය පාරිසරික නීති හකුලා ගැනීමට හෝ දුර්වල කිරීමට හෝ ක්‍රියා කර ඇත. ඒ ලිපිය මගින්  තර්ජනය කර තිබුණේ යුරෝපා සංගමය ෆොසිල ඉන්ධන සඳහා බලපාන නීති දැඩි කිරීමට කටයුතු කළ හොත් හා පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය සඳහා කටයුතු කළ හොත් මහා පරිමාණ තෙල් සමාගමක්‌ වන එහි කටයුතු යුරෝපයෙන් ඉවතට ගෙන යැමට අදාළ සමාගම අදහස්‌ කරන බවයි. එමගින් තම ආර්ථිකයට එල්ලවිය හැකි බලපෑම සැලකූ විට තෙල් සමාගම ඉදිරියේ දන ගැසීමට යුරෝපා සංගමයට ද සිදුවූවා විය හැකිය. මීට පෙර ද විවිධ රටවල විද්වත් කමිටු වලට රිංගාගත් තෙල් සමාගම් වලින් යැපෙන ඔලමොළ නිවටුන් දුර්වල දූෂක සීමා ඇති කිරීම සඳහා සැලකිය යුතු බලපෑමක්‌ ඇති කළ බවද හෙළිදරව්වී ඇත.

ඒ අතර ඇමෙරිකාවේ විශාලතම ගල්අගුරු සමාගමක්‌ වන පීබොඩි එනර්ජි (Peabody Energy) සමාගම විසින් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව සැක මතු කරන හා පරිසර නීති රීති වලට විරෝධය පළ කරන කණ්‌ඩායම් විස්‌සකට අධික ගණනකට අනුග්‍රහකත්වය දක්වා ඇති බවද හෙළිදරව්වී ඇත. ඒ අතර වෙළෙඳ ආයතනවල සිට බුද්ධි මණ්‌ඩල දක්වා පුළුල් පරාසයක පැතිරුණු කණ්ඩායම් විය. බැරැක්‌ ඔබාමා ගේ හරිතාගාර වායු විමෝචන කපාහැරීමේ සැලසුම්වලට එරෙහි ව කටයුතු කළ සංවිධාන පවා ඒ අතර වේ. එරට දේශපාලන පක්‌ෂ දෙකට ම ආධාර කර ඇති උක්ත ගල්අඟුරු සමාගම ඉන්ධන සමාගම් වඩාත් ප්‍රිය කරන රිපබ්ලිකන් පක්‌ෂයට වැඩි ආධාර ප්‍රමාණයක්‌ ලබා දී ඇත. මේ දක්‌වා හෙළිදරව් වී ඇති ආකාරයට මේ අල්ලස් නිසා ඇමෙරිකාවේ පමණක්‌ නොව අන්තර්ජාතික වශයෙන් දේශගුණ විපර්යාස පාලනය සම්බන්ධ කටයුතුවලට ද බලපෑම් ඇති වී ඇති බව අනුමාන කෙරේ.

ඒ අනුව මුළු මහත් පෘථිවි තලයම දංගෙඩිය මත තබා හෝ තම මඩිය තර කරගන්නා තක්කඩින්ගේ තරම මොනවට පැහැදිළි වේ. කෙසේ නමුත් මහා පරිමාණ පොසිල ඉන්ධන සමාගම්වල අනාගතය පිළිබඳව කර්මාන්තයේම විශේෂඳයන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව සිය ව්‍යාපාර ආකෘතිය සම්පූර්ණයෙන් වෙනස්‌ නො කළ හොත් ඉදිරි වසර 10 ඇතුළත එම සමාගම් කඩා වැටීම නොවැලක්විය හැකි ය. පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය වෙත අවතීර්ණ වීම, මෙහෙයුම් අඩු කිරීම හා වෙනත් සමාගම් සමග ඒකාබද්ධ වීම මේ තත්ත්වය වැලැක්වීමට පිළියම් ලෙස දක්වා ඇත. නමුත් කණගාටුවට කරුණ වන්නේ ඉස්තාලය වසන විට අශ්වයා පැනගොස් හමාර වීමය.

No comments:

Post a Comment