Friday, July 8, 2016

මීයා සහ මම

මිනිසා විසින් කඩිනම් කරන ලද දේශගුණ විපර්යාසයේ අවාසනාවන්ත ගොදුරක් බවට පත්ව අපගෙන් සමුගත් පළමු සත්ත්ව විශේෂය පිළිබඳ ශෝකාන්තය සාක්ෂි සහිතව ලොවට අනාවරණය කිරීමට පසුගියදා ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් විසින් කටයුතු කළේය. ජාත්‍යන්තර ජනමාධ්‍ය ඒ පිළිබඳව පුළුල් වශයෙන් අවධානය යොමු කල නමුත් අපේ රටේ ජනමාධ්‍ය නම් ඒ පිළිබඳව වැඩි සංවේදීතාවයක් නොදැක්වුයේ එසේ අප හැර ගිය සඟයා මීයකු වීම නිසා විය හැකිය. කෙසේ නමුත් දිනෙන් දින උග්‍ර වන දේශගුණ විපර්යාසය විසින් මිහිමතින් තුරන් කර දැමුණු Bramble Cay melomys (Melomys rubicola) නම් කෘන්තකයන් විශේෂය (මීයන්) අප හැර ගියේ මිනිසුන් වන අපට සිතන්නට බොහෝ දෑ ඉතිරිකරමින් බව අප තරයේ සිහිතබා ගත යුතුය.

දේශගුණ විපර්යාසය පිළිබඳ අන්තර රාජ්‍ය මණ්ඩලය (IPCC) විසින් තම පළමු තක්සේරු වාර්තාව 1990 වසරේදී එළිදක්වන්නේ දේශගුණ විපර්යාසය හේතුවෙන් අනාගතයේදී ඇතිවිය හැකි අහිතකර ප්‍රතිපල පිළිබඳව අවධානය යොමු කරවීම සඳහා ය. එහිදී දේශගුණ විපර්යාස අවම කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ඔවුන් වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ එබැවිණි. හරිතාගාර වායු විමෝචනය අවම කර තව දුරටත් දේශගුණ විපර්යාසය උත්සන්නවීම වලක්වා ගැනීමට හැකි බව එකල විද්වතුන් විශ්වාස කලෝය. නමුත් කල් යත්ම හරිතාගාර වායු විමෝචනය අවම කිරීමෙන් පමණක් එල්ලවන අභියෝග ජයගැනීමට නොහැකි බව පැහැදිලි විය. එබැවින් හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට සමගාමීව මෙතෙක් අපවිසින් වායු ගෝලයට මුදාහරින ලද හරිතාගාර වායු මගින් උත්සන්න කෙරුණු දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට අනුහුරු වෙමින් ජීවත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ද අපට සිතන්නට සිදුවිය. 1990 වසරේදී අපට දුරින් ඇති බව විශ්වාස කල දේශගුණ විපර්යාසය විසිපස් වසරක ඇවෑමෙන් මේ වන විට අප අසලටම පැමිණ අපව ගිලගන්නා තත්ත්වයට පැමිණ ඇති බව දැන් සැඟවිය නොහැකිය.

දැන් අපට දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑම් නිසා සිදුවී ඇති අහිමිවීම් හා අලාභ (Loss and Damage) පිළිබඳව කතා කිරීමට සිදුවී ඇත්තේ එබැවිනි. මෙහිදී දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් අපට යලි අත්පත්කරගැනීමට නොහැකි ආකාරයෙන් ‘අහිමි’ වූ දෑ මෙන්ම යලිත් ප්‍රතිපූර්ණය කරගත හැකි ආකාරයෙන් ඇතිවූ ‘අලාභ’ ද රැසක් සිදුවී ඇත. මිනිසා විසින් උත්සන්න කරන ලද දේශගුණ විපර්යාසය මගින් මිහිමතින් සහමුලින්ම තුරන් කරන ලද බව විද්‍යාඥයින් විසින් තහවුරු කල මීයන් විශේෂය සැලකිය හැක්කේ එවැනි අහිමිවීමක් ලෙස ය.

Bramble Cay melomys මීයන් විශේෂයේ වාසභූමිය වූයේ ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය ආශ්‍රිත දිගින් මීටර් 340ක් සහ පළලින් මීටර් 150ක් වන කුඩා දූපතකි. එහි උපරිම උස මුහුදු මට්ටමේ සිට මීටර් තුනක් පමණි. තරමක් විශාල මීයන් විශේෂයක් වන මොවුන් පිළිබඳව පළමුව වාර්තා කර ඇත්තේ 1845 වසරේදී යෝරෝපීයන් වන අතර මෙම සත්ත්ව විශේෂය 2009 වසරේදී මෙම දූපතින් නොපෙනී ගොස් තිබුණි. පසුව 2014 වසරේ සිට පර්යේෂකයන් විසින් මෙම මීයන් විශේෂය සොයා දැඩිව දූපත පීරා බැලුවද එකඳු මී සාමාජිකයෙකුවත් සොයා ගැනීමට ඔවුන්ට නොහැකි විය. මෙතෙක් කලක් දැඩි ලෙස ආන්තරායට ලක්වූ (Endangered) සත්ත්ව විශේෂයක් ලෙස නම්කර තිබූ මීයන් විශේෂය වඳවී ගිය (Extinct) බවට තහවුරු කෙරුනේ එම පර්යේෂණ මගිනි. පර්යේෂකයන් පවසන්නේ දේශගුණ විපර්යාසය නිසා සිදුවූ මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් උදම් රළ මගින් විවිධ අවස්ථා වල මෙම දුපත ජලයෙන් යටවී මීයන් ජලයේ ගිලී මියයාම හා පරිසර පද්ධතියට හානි වීම මෙම විශේෂය වඳ වීමට හේතුවී ඇති බවය.


මීයන් විසින් මිනිසුන්ට ඇතිකරන හානි හා උපද්‍රව වල තරමට මීයන් විශේෂයක් මිහිමතින් තුරන්වී යාම යම් ආකාරයක සතුටට කරුණක් නොවේ දැයි කෙනෙකුට සිතෙන්නට පිළිවන. නමුත් අප සියළු දෙනා දැඩිව අවධාරණය කරගත යුතු යථාර්තය වන්නේ දේශගුණ විපර්යාසය විසින් අද දවසේ මෙම මීයන් විශේෂයට අත්කර දුන් අවාසනාවන්ත ඉරණම නුදුරේදීම මිනිසුන් වන අපටද අත්කර දිය හැකි බවයි. දේශගුණ විපර්යාසය යනු තව දුරටත් මිත්‍යාවක් හෝ හිතළුවක් පමණක් නොවන බවත් දේශගුණ විපර්යාසයේ අහිතකර බලපෑම් මිහිකත වැසියන් බිලිගනිමින් දිනෙන් දින උග්‍ර වන බවත් දැන් සක් සුදක් සේ පැහැදිළිය. එම උවදුරු වලින් ආරක්ෂා වෙමින් අපටත් අපගේ මතු පරපුරටත් ජීවත්වීමට අවශ්‍යනම් අප විසින් වහාම වායු ගෝලයට හරිතාගාර වායු මුදා හැරීම නතර කොට දමා දේශගුණ විපර්යාසයේ බලපෑම් දරා ගැනීමට හැකි ආකාරයෙන් ශක්තිමත් වීම පමා නොකළ යුතුය. එසේ නොකළහොත් අද මීයාගේ කතාව නුදුරු දියකදීම මීයාගේ සහ මගේ ද ඔබගේ ද කතාව බවට පත්වනු නොඅනුමානය. 


ඊළඟ බිල්ල මිනිසාද? http://mawbima.lk/40-113378-news-detail.html

No comments:

Post a Comment