Monday, November 25, 2024

 එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව තවදුරටත් එහි අරමුණු සාධනය කරන්නේද?

 


ලොව පුරා සෑම ඉසව්වකම ජීවත්වන සියළු ආකාර ජීවීන් මේ වනවිට දේශගුණ විපර්යාසයේ දරුණු සැහැසිකම් අත්විඳිමින් සිටින බව නැවත නැවතත් සඳහන් කලයුතු නැත. එම සියළු ජීවීන්ගේ අනාගතය පිළිබඳව තීරණය කිරීමට මේ මහා පොළොවේ සිටින එක් ජීවී විශේෂයකට පමණක් අවසර ලැබී තිබීම දෛවයේ සරදමක් වැනිය. එම ජීවී විශේෂය වන්නේ මිනිසුන් ය. අනෙකුත් ජීවීන් මොහොතකට පසෙක තබා තමන්ගේ හා තම අනාගත පරම්පරාවන්ගේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා හෝ දේශගුණ විපර්යාසය පිටුදැකීමට අවශ්‍ය කැපකිරීම් සිදුකිරීම මිනිස් වර්ගයාගේ යුතුකම හා වගකීමය. ඒ සඳහා අවශ්‍ය ගෝලීය එකඟතාවයන් ඇති කරගැනීම සඳහා ලෝක නායකයින් වාර්ෂිකව එක් රොක් වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශවකරුවන්ගේ 29 වැනි සැසිවාරය (COP29) පසුගිය විසි දෙවැනිදා අසර්බයිජානයේ බකු හිදී අවසන් විය. නමුත් ඒ එම සමුළුව තවදුරටත් එහි අරමුණු සාධනය කරන්නේද යන පැනය ලොව හමුවේ ඉතිරි කරමිනි.  

දේශගුණ විපර්යාස අවම කිරීම හා ඊට අනුහුරුවීම සඳහා අවශ්‍ය කැපකිරීම් සිදුකිරීමේ යුතුකම හා වගකීම ඉටුකරනු වෙනුවට ‘ලිප ගිනි මොලවන තෙක් දිය සැළියේ, සැපයක් යයි කකුළුවා දිය කෙළියේ’ කියන්නා සේ තවදුරටත් දේශගුණ විපර්යාසය කඩිනම් කිරීමට දායකවන පොසිල ඉන්දන කොම්පැනිකරුවන් සමුළුවේ බඩපිණුම් ගැසීම මෙම පැනය නැගීමට ප්‍රධාන හේතුවයි. අවම වශයෙන් ගල් අඟුරු, තෙල් සහ ගෑස් ලොබිකරුවන් 1,773 දෙනෙකුට මෙවර දේශගුණ සමුළුව සඳහා ප්‍රවේශය ලබා දී ඇති බව අනාවරණය වූයේ සමුළුව ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදීය. ඒ වඩාත්ම දේශගුණික අවදානමට ලක්විය හැකි රටවල් 10 නියෝජනය කරමින් සමුළුවට ප්‍රවේශය ලබා තිබුණේ නියෝජිතයින් 1,033 ක් පමණක් වන පසුබිමකය. තවද සමුළුවට අවම වශයෙන් තෙල් හා ගෑස් සමාගම්වල ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 132 කට ආරාධනා කර තිබූ අතර, ඔවුන් ජනාධිපතිවරයාගේ ආරාධිතයන් බව දැක්වෙන විශේෂ ලාංඡන ද ලබාදී තිබුණි. එමගින් සමුළුවේ එකඟතා සඳහා මෙම මිහිතලය උණුසුම් කිරීමේ කර්මාන්තයේ බලපෑම කොතරම්ද යන්න මොනවට පැහැදිළි වේ. එසේම සාකච්ඡා ආරම්භ වීමට දින කිහිපයකට පෙර, අසර්බයිජාන නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය සහ COP29 හි ප්‍රධාන විධායක Elnur Soltanov, ගිවිස ගැනීම් වලදී තෙල් ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමට එකඟ වන වීඩියෝ පටයක්ද අනාවරණය විය.

දේශගුණ විපර්යාසය පිළිබඳව ජනතාව තුල උනන්දුව ඇතිවීමත් සමග ඔවුන්ගේ බලපෑම් නිසා සෑම රටකම පාහේ ආණ්ඩු වලට පොසිල ඉන්දන භාවිතය පිළිබඳ තම නීති රීති හා ප්‍රතිපත්ති වෙනස් කිරීමට සිදුවී ඇත. නමුත් එමගින් තමන්ගේ ලාභය සීමා වන බව දන්නා ඛනිජ තෙල්, ගල්අඟුරු සහ ගෑස් සමාගම් තමන් සතු අධික ධන බලය භාවිතා කරමින් ආණ්ඩු වලට බලපෑම් එල්ල කිරීම හේතුවෙන් දේශගුණ විපර්යාසය පාලනයට දැරෙන උත්සාහයන් මන්දගාමී වූයේ අද ඊයේ සිට නොවේ. මෙවර සමුළුවේ අවසන් එකඟතා වලද දේශගුණික මූල්‍ය පිළිබඳ සංඛ්‍යා නොමැතිවීම සහ විමෝචන කපා හැරීමේ ප්‍රගතියක් නොමැතිකම එහිම තවත් දිගුවක් විය යුතුය.

මේ වන විට අනාවරණය කරගෙන ඇති ආකාරයට තෙල් සමාගම් දේශගුණ විපර්යාසය ඇති වන බව දැනගෙන ඇත්තේ මීට අඩ සියවසකට වඩා ඉහත සිට ය. පොසිල ඉන්දන දහනය මගින් වායු ගෝලයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් වායුව මගින් ගෝලීය වශයෙන් පාරිසරික වෙනස්කම් ඇතිවිය හැකි බව ‘ස්ටැෆර්ඩ් රිසර්ච් ඉන්ස්ටිටියුට්’ නම් පර්යේෂණ ආයතනය විසින් 1968 වසරේදී ඇමරිකානු පෙට්‍රෝලියම් ආයතනයට වාර්තාවක් මගින් දන්වා ඇත. නමුත් එය සඟවා තබාගෙන තම ව්‍යාපාරය අඛණ්ඩව සිදුකරමින් ලාභ ඉපයීමට තරම් තෙල් සමාගම්  ආත්මාර්ථකාමී වී ඇත. පෘථිවියට හෙන ගැහී ගියත් තමන් උපයා ගන්නා මුදල් වලින් වෙනත් ග්‍රහ ලෝකයකට හෝ ගොස් ජීවත්විය හැකි වනු ඇතැයි තෙල් සමාගම් හිමිකරුවන් සිතන්නට ඇතිවා විය හැකිය.

කෙසේ නමුත් මේ වනවිට නාසය දක්වා ගිලෙන තරමට ප්‍රශනය ඔඩු දුවා ඇතත් තෙල් සමාගම් තම ලාභාපේක්ශාව අත්හැර නොමැති බව දේශගුණ සමුළුවට ඔවුන් සිදු කරන බලපෑම් මගින් පැහැදිළි වේ. ඒ අනුව අනාගත දේශගුණ සමුළු පැවැත්විය යුත්තේ දේශගුණික ක්‍රියාමාර්ග සඳහා පැහැදිලි සහය දැක්විය හැකි සහ ෆොසිල ඉන්ධන ලොබිකරුවන් පිළිබඳ දැඩි නීති රීති ඇති රටවල පමණක් බව දේශගුණ ප්‍රතිපත්ති විශේෂඥයින්ගේ අදහසයි. මෙම අදහස ඉස්මතු වීමට තවත් එක් හේතුවක් වන්නේ මෙවර සමුළුව සඳහා සත්කාරකත්වය සැපයූ අසර්බයිජානයද ප්‍රධාන ෆොසිල ඉන්ධන නිෂ්පාදකයෙකු වන අතර එහි අපනයනයෙන් අඩක් තෙල් හා ගෑස් වීම හේතුවෙනි. පසුගිය වසරේ සමුළුව පැවැත්වුනේද එවැනිම පෙට්‍රෝලියම් රාජ්‍යක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීය. එම සමුළුවේ සභාපතීත්වය දැරූ සුල්තාන් අල් ජබර්, රටේ ජාතික තෙල් සමාගමේ ප්‍රධානියා ලෙස ඔහුගේ එම කාර්යයට මුල්තැන දී කටයුතු කළ බවට චෝදනා එල්ලවිය.

ගෝලීය වශයෙන් වැඩිම හරිතාගාර වායු විමෝචනයන් සිදුකරන සංවර්ධිත රටවල දේශපාලකයන් සාක්කුවේ දමා ගැනීමට හා දේශගුණ විපර්යාසය මිත්‍යාවක් බවට ජනතාව අතර මතයක් ඇතිකිරීමට තෙල් කොම්පැණිකරුවනට වියදම් කිරීමට අවශ්‍ය වන්නේ තමන් ඉපයූ ඉමහත් ලාභයෙන් සොච්චමක් පමණි. වර්ෂ 2013 දී පමණ ලෝකයේ එක්‌ ප්‍රකට තෙල් සමාගමක ලිපියක්‌ හේතුවෙන් යුරෝපා සංගමය ඔවුන් පැනවීමට ගිය පාරිසරික නීති හකුලා ගැනීමට හෝ දුර්වල කිරීමට හෝ ක්‍රියා කර ඇත. ඒ ලිපිය මගින්  තර්ජනය කර තිබුණේ යුරෝපා සංගමය ෆොසිල ඉන්ධන සඳහා බලපාන නීති දැඩි කිරීමට කටයුතු කළ හොත් හා පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය සඳහා කටයුතු කළ හොත් මහා පරිමාණ තෙල් සමාගමක්‌ වන එහි කටයුතු යුරෝපයෙන් ඉවතට ගෙන යැමට අදාළ සමාගම අදහස්‌ කරන බවයි. එමගින් තම ආර්ථිකයට එල්ලවිය හැකි බලපෑම සැලකූ විට තෙල් සමාගම ඉදිරියේ දන ගැසීමට යුරෝපා සංගමයට ද සිදුවූවා විය හැකිය. මීට පෙර ද විවිධ රටවල විද්වත් කමිටු වලට රිංගාගත් තෙල් සමාගම් වලින් යැපෙන ඔලමොළ නිවටුන් දුර්වල විමෝචන සීමා ඇති කිරීම සඳහා සැලකිය යුතු බලපෑමක්‌ ඇති කළ බවද හෙළිදරව්වී ඇත.

ඒ අතර ඇමෙරිකාවේ විශාලතම ගල්අගුරු සමාගමක්‌ වන පීබොඩි එනර්ජි (Peabody Energy) සමාගම විසින් දේශගුණ විපර්යාසය පිළිබඳව සැක මතු කරන හා පරිසර නීති රීති වලට විරෝධය පළ කරන කණ්‌ඩායම් විස්‌සකට අධික ගණනකට අනුග්‍රහකත්වය දක්වා ඇති බවද හෙළිදරව්වී ඇත. ඒ අතර වෙළෙඳ ආයතනවල සිට බුද්ධි මණ්‌ඩල දක්වා පුළුල් පරාසයක පැතිරුණු කණ්ඩායම් විය. බැරැක්‌ ඔබාමා ගේ හරිතාගාර වායු විමෝචන කපාහැරීමේ සැලසුම්වලට එරෙහි ව කටයුතු කළ සංවිධාන පවා ඒ අතර වේ. එරට දේශපාලන පක්‌ෂ දෙකට ම ආධාර කර ඇති උක්ත ගල්අඟුරු සමාගම ඉන්ධන සමාගම් වඩාත් ප්‍රිය කරන රිපබ්ලිකන් පක්‌ෂයට වැඩි ආධාර ප්‍රමාණයක්‌ ලබා දී ඇත. මේ දක්‌වා හෙළිදරව් වී ඇති ආකාරයට මේ අල්ලස් නිසා ඇමෙරිකාවේ පමණක්‌ නොව අන්තර්ජාතික වශයෙන් දේශගුණ විපර්යාස පාලනය සම්බන්ධ කටයුතුවලට ද බලපෑම් ඇති වී ඇති බව අනුමාන කෙරේ.

ඒ අනුව මුළු මහත් පෘථිවි තලයම දංගෙඩිය මත තබා හෝ තම මඩිය තර කරගන්නා තක්කඩින්ගේ තරම මොනවට පැහැදිළි වේ. කෙසේ නමුත් මහා පරිමාණ පොසිල ඉන්ධන සමාගම්වල අනාගතය පිළිබඳව කර්මාන්තයේම විශේෂඳයන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව සිය ව්‍යාපාර ආකෘතිය සම්පූර්ණයෙන් වෙනස්‌ නොකළ හොත් ඉදිරි වසර 10 ඇතුළත එම සමාගම් කඩා වැටීම නොවැලක්විය හැකි ය. පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය වෙත අවතීර්ණ වීම, මෙහෙයුම් අඩු කිරීම හා වෙනත් සමාගම් සමග ඒකාබද්ධ වීම මේ තත්ත්වය වැලැක්වීමට පිළියම් ලෙස දක්වා ඇත. නමුත් කණගාටුවට කරුණ වන්නේ ඉස්තාලය වසන විට අශ්වයා පැනගොස් හමාර වීමට ඉඩ තිබීමය.

අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය මගින් නිකුත් කෙරුණු අවසන් තත්ත්ව වාර්තාව මගින්ද අවධාරණය කර තිබේ. දේශගුණික බිඳවැටීම බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් සිදුවන බවත් පියවර ගැනීමට ඇති කවුළුව වේගයෙන් වැසෙන බවත් ඒ නිසා දේශගුණික විපර්යාසයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ආණ්ඩු වලට සහ පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීන්ට එම වාර්තාව මගින් දැඩි ලෙස බලකර තිබේ. මුහුද වේගයෙන් ගොඩබිම් ගිල ගනිද්දී, ගංවතුර, නියං, නාය යාම්, කුණාටු වැනි විපත් උත්සන්න වෙද්දී, ගොවිතැන් පාලු වෙද්දී, වනජීවී - මිනිස් ගැටුම් ඔඩු දුවද්දී, රෝග පීඩා උත්සන්න වෙද්දී මෙරට ජනතාවට පවා ඒ බව නොදැනෙනවා නොවේ. නමුත් මේ සියල්ල ලොව පුරා සිදුවන දේශගුණික විපර්යාසයේ බලපෑම් නිසා සිදුවන්නක් බව අවබෝධ කරගැනීමට අවශ්‍ය දේශගුණ සාක්ෂරතාවය ඔවුන්ට නැත. ලෝකයට හරිතාගාර වායු විමෝචනය විශාල ලෙස කපා හැර අනුහුරුවීම් සඳහා වියදම් සැලකිය යුතු ලෙස ඉහළ නැංවිය හැකි නම්, එමගින් යම් ව්‍යසන ප්‍රමාණයකට අගුලු දැමීමට හැකිය. නමුත් එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව වැනි සාමූහික ගෝලීය ක්‍රියාකාරීත්වයන්ගේ තවදුරටත් සිදුවන සෑම ප්‍රමාදයක්ම සුරක්ෂිත ලෙස මේ මිහිතලයේ ජීවත්වීමට හැකි අනාගතයක් පිළිබඳ පුංචිම පුංචි බලාපොරොත්තුවද වේගයෙන් අපට අහිමි කරනු ඇත.

Sunday, November 3, 2024

රටවල් 40 ක තරුණ තරුණියන් සියගණනක් දේශගුණික ක්‍රියාකාරකම් බලගැන්වීමට ඊජිප්තුවට රැස් වෙති


නිසැකවම, දේශගුණික විපර්යාසය පෘථිවිය මේ මොහොතේ මුහුණ දෙන මූලිකම සමාජ-ආර්ථික, දේශපාලන සහ පාරිසරික ගැටලුවය. දේශගුණික විපර්යායේ බිහිසුණු බලපෑම් වැළැක්වීම සඳහා වේගයෙන් වැසෙන කවුළුවක් සමඟ අපට අරගල කිරීමට සිදුව තිබේ. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයට (IPCC) අනුව, හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම තවදුරටත් ප්‍රමාද කිරීම සැමට ජීවත්විය හැකි අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා කෙටි හා වේගයෙන් වැසී යන අවස්ථාව මග හැරීමට නියත වශයෙන්ම හේතුවේ. මෙම තත්ත්වය තුළ ගෝලීය තාරුණ්‍යයට දේශගුණික ක්‍රියාකාරකම් සඳහා විශාල කාර්යභාරයක් පැවරේ. ඒ සඳහා ඔවුන් උනන්දු කරලීම සඳහා ඊජිප්තුවේ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් වාර්ෂිකව දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ පාර්ශවකරුවන්ගේ වාර්ෂික හමුව (Conference of Parties- COP) සමාකරණය සංවිධානය කරයි. එය තරුණ නායකත්වයෙන් යුත් දේශගුණ වැඩසටහනක් වන අතර එය COP අනුකරණය කිරීමට සහ දේශගුණික ක්‍රියාකාරකම් සඳහා විසඳුම් ලබා දීමට සාකච්ඡා කිරීමට ලොව පුරා සිසුන් එක් වේදිකාවක් මතට ගෙන එයි. ඒ අනුව අඛණ්ඩව තුන්වන වරටත් මෙවර COP සමාකරණය පසුගියදා ඊජිප්තුවේ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී ඉතා ආකර්ශණීය ලෙස පැවැත්විණි.

උසස් අධ්‍යාපන හා විද්‍යාත්මක පර්යේෂණ අමාත්‍යාංශයේ සහ යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ මෙම වසරේ COP29 සමාකරණය ඊජිප්තුවේ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලය, UNDP ඊජිප්තුව සහ අසර්බයිජාන් රාජ්‍යතාන්ත්‍රික ඇකඩමිය විසින් සංවිධානය කරන ලදී. 2024 ඔක්තෝබර් 4 සිට 10 දක්වා ඊජිප්තුවේ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයේ සත්කාරකත්වය යටතේ පැවැත්වුණු මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණයයේදී COP29, ආදර්ශ රටවල නියෝජිතයින් සහ ජාත්‍යන්තර දේශගුණික පාර්ශවකරුවන්ගේ නියෝජිතයින් අනුකරණය කිරීම සඳහා රටවල් 40 කින් සහ විශ්ව විද්‍යාල 87 කින් 150 ක් පමණ විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු දේශගුණ ක්‍රියාකාරීත්වයට උනන්දුවක් දක්වන පිරිසක් මෙම සමාකරණයට එක් විය. එහිදී සහභාගිවන්නන් ප්‍රතිපත්ති යෝජනා ඉදිරිපත් කර ඡන්දය ප්‍රකාශ කරනු ලැබූ අතර සැබෑ COP 29 පාර්ශවකරුවන්ගේ සමුළුවේදී ඉදිරිපත් කිරීම සඳහා දේශගුණ ප්‍රකාශයක් ද සකස්කරනු ලැබීය. මේ සඳහා සහභාගීවුවන්ගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය, සාකච්ඡා, විවේචනාත්මක චින්තනය, සම්මුතිය, ප්‍රසිද්ධ කථා කිරීම, ලිවීම සහ පර්යේෂණ පිළිබඳ කුසලතා වර්ධනය කිරීම සඳහාද වැඩසටහන් සංවිධානය කර තිබූ අතර  ඔවුන් විවිධ රටවල නියෝජිතයන්, තාක්ෂණික විශේෂඥයන් සහ ජාත්‍යන්තර දේශගුණික කොටස්කරුවන්ගේ නියෝජිතයන් වීම පිණිසද පුහුණු කරනු ලැබීය.

මේ දක්වා මෙම සමාකරණයේ අනුවාද තුනක් සංවිධානය කර ඇති අතර ඒ COP27, COP28, සහ COP29 සමාකරණයි. මෙවැනි සමාකරණයක් පැවැත්වීමේ කාලීන අවශ්‍යතාවය හඳුනා ගනිමින්, 2022 වසරේ ඊජිප්තුවේ කයිරෝ අගනුවරදී පැවැත්වුණු දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ පාර්ශවකරුවන්ගේ 27 වැනි සැසිවාරයට සමගාමීව COP27 සමාකරණය සංවිධානය කෙරුණේ ඊජිප්තු උසස් අධ්‍යාපන හා විද්‍යාත්මක පර්යේෂණ සහ යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශ, ඊජිප්තුවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය සහ ඊජිප්තුව සඳහා එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස ඉහළ පෙළේ ශූරයාගේ සහාය ඇතිවය. සෑම වසරකම, COP සමාකරණයේ සභාපතිවරයා සැබෑ දේශගුණික සමුළුව සඳහා සත්කාරකත්වය සපයන රටෙහි ප්‍රමුඛ පෙළේ අධ්‍යයන ආයතනයක් සමඟ සම්බන්ධවෙමින් මෙම වැඩසටහන පැවැත්වීම සිදුවේ. ඒ අනුව සාර්ථක COP27 සමාකරණයෙන් පසුව මෙතෙක් පැවැත්වූ විශාලතම ශිෂ්‍ය නියෝජනය ඇතුළත් COP28 සමාකරණය සංවිධානය කෙරුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිඩ් විශ්ව විද්‍යාලයේ ද සම්බන්ධීකරණයෙනි. ඉන් අනතුරුව මෙම වසරේ, COP29 සමාකරණය සඳහා මෙවර දේශගුණ විපර්යාසය පිළිබඳ සැසි වාරය පැවැත්වෙන අසර්බයිජාන් රාජ්‍යතාන්ත්‍රික ඇකඩමිය (ADA විශ්ව විද්‍යාලය) විසින් සත්කාරකත්වය සපයන ලදී. මෙහි ඉලක්කය වූයේ දේශගුණික ක්‍රියාකාරකම් සඳහා තරුණ සහභාගීත්වය තවදුරටත් ඉහළ නැංවීම, දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම, සිසුන්ට හඬක් නැගීමට සහ COP29 හි නියෝජනය වීමට මග පෑදීමයි.

2022 වසරේ පැවැත්වුණු COP27 සමාකරණයට රටවල් 25කින් ඊජිප්තු විශ්ව විද්‍යාල 21ක් සහ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල 34ක් නියෝජනය කරමින් 130 දෙනෙකු පමණ සහභාගී වූහ. COP27 සමාකරණයේ ධනාත්මක ප්‍රතිඵල මත, සංවිධානය කෙරුණු COP28 සමාකරණය තවත් සාර්ථකත්වයේ ඉදිරි පිම්මක් තැබූ අතර අයදුම්පත් 2700 කින් සිසුන් 140 ක් ඒ සඳහා තෝරා ගනු ලැබුණි. ඔවුන් රටවල් 34 කින් සහ ලොව පුරා විශ්ව විද්‍යාල 32 කින් තෝරා ගන්නා ලදී. තෝරාගත් නියෝජිතයින්ට ගෝලීය අධ්‍යයන ආයතන සහ සංවිධානවල පළපුරුදු වෘත්තිකයන් විසින් පිරිනමනු ලබන සති දෙකක ධාරිතා වර්ධන වැඩසටහනකටද සහභාගී වීමට හැකි විය. දේශගුණික සාක්ෂරතාවය, ජාත්‍යන්තර දේශගුණික ක්‍රියාමාර්ග, දේශගුණ ක්‍රියාකාරී රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ තරුණයින්ගේ භූමිකාව, විවාදය සහ ගැටුම් නිරාකරණය පිළිබඳව ඔවුන්ට එහිදී පුහුණුව ලබා දෙන ලදී. COP28 ආදර්ශ සම්මන්ත්‍රණය ඊජිප්තුවේ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයේදී පැවැත්වුණු අතර එහිදී ද සහභාගිවන්නන් විවිධ රටවල නියෝජිතයන්, ප්‍රධාන සාකච්ඡාකරුවන් සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් අනුකරණය කළ අතර, COP28 සමාකරණ සම්මුතියටද ඡන්දය ලබා දුන්හ. අවසාන අදියර වූයේ ඔවුන්ගෙන් පිරිසක් ඩුබායි හිදී පැවති සැබෑ COP28 සඳහා සහභාගී වීම වූ අතර, සහභාගී වූවන්ගෙන් 25 දෙනෙකුට පමණ සමාකරණයේ සම්මුතිය ඉදිරිපත් කිරීමට සහ ඔවුන්ගේ අත්දැකීම් ඉදිරිපත් කිරීමට නිල් සහ හරිත කලාපවල පැවති සැසි තුනකට සහභාගී වීමට අවස්ථාව ලැබුණි. එසේම COP29 සමාකරණයෙන් පසුවද, සහභාගිවන්නන්ගෙන් තවත් 25 දෙනෙකුට සමාකරණයේ සම්මුතිය ඉදිරිපත් කිරීමට සහ ඔවුන්ගේ අත්දැකීම් අසර්බයිජානයේ බකු හිදී COP29 හි නිල් සහ හරිත කලාපවල පැවැත්වෙන සැසි තුනක් හරහා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

සුපුන් ළහිරු ප්‍රකාශ්

(ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊජිප්තුවේදී වාර්ෂිකව සංවිධානය කෙරෙන COP සමාකරණයක් සඳහා ප්‍රථම වරට සහභාගීවීමට අවස්ථාව ලැබීමෙන් පසු)