Saturday, June 6, 2026

 දිවයිනේ වනාන්තර වනසමින් ජාත්‍යන්තරයේ දේශගුණ යුක්තිය ඉල්ලන ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත




ඉකුත් බදාදා (20) දින පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය දේශගුණික විපර්යාස වලට එරෙහි ගෝලීය සටනේ තීරණාත්මක සංදිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. ඒ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කිරීමට රාජ්‍යයන්ට නීතිමය බැඳීමක් ඇති බව සඳහන් කරන ජාත්‍යන්තර අධිකරණයේ උපදේශන මතය අනුමත කරන යෝජනාවක් එහිදී 141–8 ඡන්දයෙන් සම්මතවීම හේතුවෙනි. එය සැබවින්ම ජාත්‍යන්තර නීතිය, දේශගුණික යුක්තිය සහ විද්‍යාව සම්බන්ධ ඉතා වැදගත් කඩයිමකි.

දේශගුණික අර්බුදයට මුහුණ දෙන රටවල් අතර පෙරමුණේ සිටින පැසිෆික් දූපත් රාජ්‍යයක් වන වනුආටු විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදී. යෝජිත සංශෝධන කිහිපයක් වටා ඇතිවූ දැඩි සාකච්ඡා සහ සංවාද වලින් පසුව, යෝජනාවට පක්ෂව ඡන්ද 141 ක්, විරුද්ධව ඡන්ද අටක් සහ ඡන්දය දීමෙන් වැළකී සිටි ඡන්ද 28 ක් සමඟින් මෙය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් සම්මත විය. විරුද්ධව ඡන්දය දුන් රටවල් වූයේ එක්සත් ජනපදය, රුසියාව, ඊශ්‍රායලය, සෞදි අරාබිය, ඉරානය, බෙලරුස්, ලයිබීරියාව සහ යේමනයයි. පක්ෂව ඡන්දය දුන් රටවල් 141 අතර ශ්‍රී ලංකාව ද සිටීම සැලකිය යුතු කරුණකි.

හරිතාගාර වායු විමෝචනයෙන් පරිසරය ආරක්ෂා කිරීමට රාජ්‍යයන්ට බැඳීමක් ඇති බව 2025 ජූලි මාසයේදී ජාත්‍යන්තර අධිකරණය තීන්දු කළ විට, දේශගුණික විපර්යාසයන්ට එරෙහි ගෝලීය සටනේ ප්‍රධාන ඉදිරි ගමනක් ලෙස එම තීරණය පුළුල් අවධානයක් දිනා ගත්තේය. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එය විස්තර කළේ "අපගේ ග්‍රහලෝකයේ ජයග්‍රහණයක්" ලෙසය. රාජ්‍යයන් මෙම බැඳීම් කඩ කළහොත්, ඔවුන්ට නීතිමය වගකීමක් දැරීමට සිදුවන බවත්, වැරදි හැසිරීම නැවැත්වීමට, නැවත නැවත සිදු නොවීම සහතික කිරීමට සහ තත්වයන් අනුව සම්පූර්ණ වන්දි ගෙවීමට අවශ්‍ය විය හැකි බවත් අධිකරණය තවදුරටත් තීන්දු කළේය.

ජාත්‍යන්තර අධිකරණයේ උපදේශන අදහස් නීත්‍යානුකූලව බැඳී නොතිබුණද, ඒවා ජාත්‍යන්තර නීතිය පැහැදිලි කිරීමට සහ සංවර්ධනය කිරීමට මෙන්ම රාජ්‍යයන්ගේ බැඳීම් නිර්වචනය කිරීමට උපකාරී වීමෙන් සැලකිය යුතු නෛතික හා සදාචාරාත්මක අධිකාරියක් දරයි. තීන්දුවෙන් පසුව මහා සභාව විසින් යෝජනාව සම්මත කිරීම දේශගුණික අර්බුදය විසඳීම හුදෙක් දේශපාලන තේරීමක් නොව ජාත්‍යන්තර නීතිය යටතේ නීතිමය යුතුකමක් බවට ප්‍රබල පණිවිඩයක් ලබා දෙයි.

මෙම යෝජනාව මගින් සියලුම එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් තම භූමි ප්‍රදේශ තුළ ජනනය වන හරිතාගාර වායු විමෝචන අවම කිරීම ඇතුළුව දේශගුණයට සහ පරිසරයට සිදුකරන හානි අවම කිරීමට සහ පැරිස් ගිවිසුම යටතේ ඔවුන්ගේ ලබා දී ඇති පොරොන්දු ඉටු කිරීමට හැකි සෑම පියවරක්ම ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරේ. යහපත් විශ්වාසයකින් සහයෝගයෙන් කටයුතු කිරීමට, දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේදී ගෝලීය සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සහ දේශගුණික ප්‍රතිපත්ති මගින් ජීවත්වීමේ අයිතිවාසිකම්, සෞඛ්‍යය සහ ප්‍රමාණවත් ජීවන තත්වයක් ඇතුළු මූලික මානව හිමිකම් ආරක්ෂා කරන බව සහතික කිරීමට රජයන්ගෙන් ඉල්ලා සිටී.

මහා සභා ඡන්ද විමසීමෙන් පසු නිකුත් කරන ලද නිවේදනයක, ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කළේ දේශගුණික විපර්යාස සඳහා අවම වශයෙන් වගකිව යුතු අය ඉහළම මිල ගෙවන බවයි. දේශගුණික යුක්තිය සඳහා මාවත පොසිල ඉන්ධනවලින් ඉවත් වී පුනර්ජනනීය බලශක්තිය දෙසට වේගවත්, යුක්තිසහගත සහ සාධාරණ සංක්‍රාන්තියක් ලබාගත යුතු බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. පුනර්ජනනීය බලශක්තිය ලාභම සහ ආරක්ෂිතම බලශක්ති ආකාරය බව ඔප්පු වී ඇති බවත්, පූර්ව කාර්මික මට්ටමට වඩා ගෝලීය උණුසුම 1.5°C දක්වා සීමා කිරීමේ ඉලක්කය තවමත් ළඟා විය හැකි එකක් බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අවධාරණය කළේය.

මෙම යෝජනාව ගෝලීය වශයෙන් කොතරම් වැදගත්කමක් හිමිකරගෙන තිබුණද, දේශගුණික විපර්යාසවල දැඩි බලපෑම් දැනටමත් අත්විඳිමින් සිටින ශ්‍රී ලංකාව වැනි රටවල එය සැලකිය යුතු මහජන අවධානයක් අත්කරගෙන නොමැත. එය දේශගුණික විපර්යාස ආශ්‍රිත ගැටළු පිළිබඳ එම රටවල මහජන අවබෝධය සීමිතවීමේ නිරූපනයක් මිස අන් කිසිවක් නොවේ. අවම කිරීම, අනුහුරුවීම, පාඩු සහ හානි සහ ජාතික වශයෙන් තීරණය කරන ලද අපේක්ෂිත දායකත්වයන් (Nationally Determined Contributions - NDCs) වැනි දේශගුණ විපර්යාසය හා බැඳුනු මූලික සංකල්ප පවා බොහෝ විට තාක්ෂණික වාග් මාලා වලට පමණක් සීමා වී ඇත. ශ්‍රී ලාංකිකයන් තම එදිනෙදා ජීවිතයේදී දේශගුණික විපර්යාසවල බලපෑම් අත්විඳින නමුත්, මෙම දැනුම පරතරය මෙම දුෂ්කරතා පුළුල් දේශගුණික අර්බුදයට සම්බන්ධ කිරීමේ හැකියාවට බාධා කරයි.

මෑත කාලීන උදාහරණවලින් එකක් ලෙස මෙරට ඉතිහාසයේ ප්‍රධාන මානුෂීය අර්බුදයක් ඇති කළ දිත්වා සුළි කුණාටුව දැක්විය හැකිය. මධ්‍යස්ථ තීව්‍රතාවයකින් යුත් සුළි කුණාටුවක් පවා අසමානුපාතිකව දරුණු බලපෑම් ඇති කළ හැකි ආකාරය දිත්වා සුළි කුණාටුව අපට පෙන්නුම් කරයි. මෙම අවස්ථාවේ දී ඇස්තමේන්තු කර ඇති පරිදි එහි හානිය ඇමරිකානු ඩොලර් බිලියන 4.1 කි. දැඩි වර්ෂාපතනය සහ මන්දගාමී ජලය ගලා යාමේ වේගය ඒකාබද්ධ වී දරුණු ගංවතුර සහ පුළුල් නායයෑම් ඇති කරයි. දේශගුණික විපර්යාස එවැනි විනාශකාරී කුණාටු ඇතිවීමේ සම්භාවිතාව වැඩි කරන තත්වයන් නිර්මාණය කරයි. නමුත් තමන්ට සිදුවූ විපත ගෝලීය දේශගුණ විපර්යාසය සමග ගලපාගැනීමට හැක්වී ඇත්නම් ඒ කීයෙන් කී දෙනාටද?

ඒ සමඟම, මෙම එක්සත් ජාතීන්ගේ යෝජනාව, දේශගුණ විපර්යාසය සම්බන්ධ ශ්‍රී ලංකා රජයේ පරස්පර විරෝධී ස්ථාවරය පිළිබිඹු කරයි. ජාත්‍යන්තර ප්‍රජාවට පාරිසරික වශයෙන් වගකිවයුතු ප්‍රතිරූපයක් ඉදිරිපත් කරන අතරම, එය රටේ ඉතිරිව ඇති වන ආවරණය විනාශ කිරීම ඉදිරියේ මුණිවත රකියි. 2025 සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් තීරණය කරන ලද අපේක්ෂිත දායකත්ව 3.0 (2026–2035) මගින් ද මෙම පරස්පරතාව විශේෂයෙන් පැහැදිලි වේ. එමගින් 2035 වන විට වනාන්තර ආවරණය සහ හායනය වූ ඉඩම් අවම වශයෙන් 32% දක්වා ප්‍රතිෂ්ඨාපනය කිරීමට පොරොන්දු වී ඇත. රටේ විවිධ ප්‍රදේශවල වන විනාශය දිගටම සිදුවන්නේ මෙම කැපවීම් එසේම  තිබියදී  වීම විමතිය දනවන කරුණකි.

උදාහරණයක් ලෙස, හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සීනුක්කුගල, ඔරුකෙන්ගල හා කපාපුවැව ප්‍රදේශයේ අලි – ඇතුන් ගේ ප්‍රධාන වාසස්ථාන වන වනාන්තර අක්කර 1000 ක් පමණ නීති විරෝධී ව එළිපෙහෙළි කරමින් සමාගම් 17 ක් විසින් මහ පරිමාණ සූර්ය බලාගාර ඉදි කිරීම ආරම්භ කිරීම දැක්විය හැකිය. එසේම වන අලි කළමනාකරණ රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබූ වන්දම-දෙමලිය වනාන්තර ප්‍රදේශයේ එදා මෙදාතුර සිදුවෙමින් පවතින මහා පරිමාණ වන සංහාරයටද වැට බැඳීමට තවමත් බලධාරීන් අසමත්වී ඇති අතර, ඒ වෙනුවට එහි කඩවරවැව වනාන්තර ප්‍රදේශයේ තවත් අක්කර දෙසියපනහක් පමණ කුඹුරු ඉඩම් ලෙස බෙදා දීමටද පිඹුරුපත් සැකසී හමාරය. තවද ජනාධිපතිවරයා සම්බන්ධවූ අම්පාර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට අම්පාර තිඹිරියගොල්ල, බක්මිටියාව රජයේ රක්ෂිතයට අයත් වට්ටමඩුව කැලෙන්  හා තණබිමෙන් අක්කර 4000 ක් වී ගොවීන් වෙත නිදහස් කිරිමේ යෝජනාවක් ගෙන ඒමටද සැලසුම්කර තිබුණද එය අවසන් මොහොතේ තාවකාලිකව හකුලා ගැනින.

එබැවින්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ඡන්දය ප්‍රකාශ කිරීම තුළින් අනුමත කළ මූලධර්ම ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය සැබවින්ම අදහස් කරන්නේ නම්, එය සංකේතාත්මක ජාත්‍යන්තර කැපවීම්වලින් ඔබ්බට ගොස් භූමියේ අර්ථවත් ක්‍රියාවන් බවට පරිවර්තනය කළ යුතුය. එක්සත් ජාතීන්ගේ යෝජනාවේ ආත්මයට මෙන්ම නුදුරේදී නකොලගනේ වන විනාශයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුව (SCFR 351/22) වැනි සන්ධිස්ථානීය අධිකරණ තීන්දුවලට අනුකූලව, ජෛව විවිධත්ව සංරක්ෂණය සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම යන අංශ දෙකටම ස්වභාවික පරිසර පද්ධතීන් මගින් සැලසෙන සේවාව අවධාරණය කරගනිමින්, වන සංරක්ෂණය ශක්තිමත් කිරීම හා පාරිසරික වශයෙන් විනාශකාරී සංවර්ධන ව්‍යාපෘති වැළැක්වීම සඳහා ආණ්ඩුව දැන්වත් අවංකව තම කැපවීම නිරූපණය කල යුතුය.

වනාන්තර, අලි ඇතුන්ගේ වාසස්ථාන, තෙත්බිම් සහ අනෙකුත් ස්වාභාවික පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීම හුදෙක් පාරිසරික වගකීමක් පමණක් නොව, රටේ දිගුකාලීන පාරිසරික ආරක්ෂාව, ආර්ථික ස්ථාවරත්වය සහ මානව යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය ආයෝජනයකි. දේශගුණික විපර්යාස ආපදා තීව්‍ර කරමින් සහ ආන්තික ප්‍රජාවන්ට ඇති තර්ජන උත්සන්න කරමින් පවතින මොහොතක, ඉදිරි පරම්පරාවන් සඳහා සැබවින්ම ඔරොත්තු දෙන සහ තිරසාර අනාගතයක් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව විද්‍යාව, පාරිසරික යුක්තිය සහ තිරසාර සංවර්ධනය මත පදනම් වූ මාවතක් තෝරා ගත යුතුමය.

Monday, November 17, 2025

 COP30: A Summit in the Shadow of a Burning Planet

The most serious global crisis humanity faces today — climate change — is advancing faster than we think. The final status report released by the United Nations Intergovernmental Panel on Climate Change (IPCC) in 2022 made it clear that the world is running out of time. Yet, since then, there has been no significant global action to reverse the unfolding catastrophe. Against this bleak backdrop, the 30th Conference of the Parties (COP30) to the UN Framework Convention on Climate Change (UNFCCC) began on 10 November 2025 in Belém, Brazil. Once envisioned as a forum for decisive action, COP has increasingly become an annual stage for speeches rather than solutions — and this year, it began with visible tension and protest.

Indigenous Movement

On the second day of the conference, hundreds of people joined an indigenous-led protest, contrasting sharply with Brazil’s claims that the event would amplify indigenous voices. Protesters marched toward the Hangar Conference Center in Belém — the main venue — and some forced their way inside on Tuesday evening.

Brazilian President Luiz Inácio Lula da Silva has repeatedly portrayed indigenous communities as key partners in COP30 negotiations. However, critics argue that his rhetoric has not been matched by policy, as industrial encroachment on the Amazon rainforest continues under his presidency. The protestors’ message was clear: “We want our lands free from agribusiness, oil exploration, illegal mining, and illegal logging.” They also questioned the conference’s preoccupation with climate finance, asking pointedly, “Can we eat money?”

The Coalition of Indigenous Peoples of Brazil (APIB) estimates that about 2,500 indigenous representatives are attending COP30 — the largest number in history — but only 14% (around 360) were granted access to the Blue Zone, where official negotiations occur. This exclusion fueled frustration and underscored the gap between political promises and practice.

This is Brazil’s first time hosting a COP, and the selection of Belém — gateway to the Amazon — carries strong symbolism. The venue highlights the importance of tropical forests, biodiversity, and nature-based climate solutions. Brazil also hopes to strengthen its diplomatic leadership in climate policy through this conference.

The central theme of COP30 is “implementation” — translating past commitments into concrete action. With global temperatures already 1.1°C above pre-industrial levels, the UN insists that this decade must mark a period of acceleration and delivery to keep the 1.5°C target alive.

Will Expectations Be Fulfilled?

However, history offers reasons for skepticism. At COP29 in Baku, Azerbaijan, fossil fuel influence dominated discussions. Reports revealed that 1,773 coal, oil, and gas lobbyists attended — outnumbering representatives from the ten most climate-vulnerable nations combined. Over 130 senior executives from fossil fuel companies were given privileged access, symbolizing how deeply entrenched these industries remain in global climate politics.

This year, another unprecedented event unfolded: the absence of the United States, the world’s largest historical emitter. For the first time in COP history, the U.S. did not send a high-level delegation to the conference. The United States, historically one of the most influential participants in global climate negotiations, has attended every previous climate conference — including throughout President Donald Trump’s first term. However, in January, the newly re-elected President Trump signed a letter to the United Nations initiating the process of withdrawing the United States from the Paris Agreement for a second time. Although this withdrawal process has not yet been finalized, the White House confirmed earlier this month that no high-level U.S. officials will attend the COP30 conference in Belém, Brazil.

After the representatives of countries (parties to the conference), observers are usually the next largest group at climate conferences. More than 12,000 observers, primarily from non-governmental organizations (NGOs), are attending COP30. The International Chamber of Commerce has the largest delegation, with 148 members. In response to criticism over transparency, this year’s organizers added an option to observers to disclose their funding sources — yet 11% of observers didn’t do so. The most common funding sources mentioned were non-governmental organizations (57%) and academic or research institutions (11%), but observers point out that they too have problems with transparency.

The Dire Danger

The accelerating climate collapse and the narrowing window for action demand immediate and drastic change from governments and the private sector alike. Climate change is not a distant or abstract issue — it is an existential crisis for all life on Earth. For Sri Lanka, a small island state highly ranked on the Global Climate Risk Index, the threat is acute. Rising sea levels, floods, droughts, landslides, storms, and new disease patterns are already reshaping the country. Yet, a lack of climate literacy remains a major barrier to effective response. People experience disasters but often fail to connect them to global climate change.

COP30 was meant to be a turning point — an opportunity to finally move from words to deeds. But as protests rage outside and political maneuvering continues inside, the world watches to see whether this summit in the heart of the Amazon will deliver the transformation humanity needs — or simply add another chapter to the long story of missed chances in the fight against climate change.

 COP 30 හරහා තව දුරටත් මුතුවන දේශගුණ උණුසුම

අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය මගින් නිකුත් කෙරුණු අවසන් තත්ත්ව වාර්තාව මගින්ද අවධාරණය කෙරුණේ 2022 වසරේදී ය. නමුත් එතැන් සිට පවා මේ දක්වා එම ව්‍යසනය ආපසු හැරවීමට ලෝක නායකයින් ගනු ලැබූ කැපී පෙනෙන ක්‍රියාමාර්ගයක් නම් නැත. මේ වන විට වාර්ෂික කතා පෙට්ටියක් පමණක් බවට පත්ව ඇතිදැයි සිතෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතියේ පාර්ශව කරුවන්ගේ 30 වැනි සැසි වාරය (COP30) එසේත් නැතිනම් එකසත් ජාතීන්ගේ දේශගුණ සමුළුව පසුගිය දස වැනිදා බ්‍රසීලයේ බෙලෙම් හිදී ආරම්භ වූයේ එවැනි පසුබිමකය. මෙවර එම සමුළුව ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගනු ලැබුවේ ඇමර්සන් වනාන්තරය නිජබිම කරගත් ස්වදේශිකයන් ප්‍රමුඛ විරෝධතාකරුවන් පිරිසක් තම ඉල්ලීම් ඉල්ලා සමුළුව ආක්‍රමණය කිරීමත් සමගය.

 

ආදිවාසී ආක්‍රමණය

සමුළුවේ දෙවන දිනයේදී ස්වදේශිකයන් විසින් මෙහෙයවන ලද විරෝධතාවයකට සිය ගණනක් ජනයා ඒකරාශීවී තිබූ අතර සමුළුව ස්වදේශිකයන්ගේ හඬට විවෘත බවට බ්‍රසීල රජය සිදුකළ ප්‍රකාශයත් සැබවින්ම ලබාදී තිබූ ප්‍රවේශයත් පරස්පර වීම ආතතිය වර්ධනය කළේය. සිය ගණනක් ජනයාගේ සහභාගීතත්වයෙන් සමුළුව පැවැත්වෙන හැන්ගර් සම්මේලන මධ්‍යස්ථානය දෙසට ආරම්භවූ පාගමනට සහභාගීවූ පිරිසෙන් කොටසක් අඟහරුවාදා සවස සමුළුවට බලහත්කාරයෙන් ඇතුළු වූහ.

බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා මෙම වසරේ COP30 සාකච්ඡා වලදී ආදිවාසී ප්‍රජාවන් ප්‍රධාන පාර්ශවකරුවන් ලෙස ඉස්මතු කලත් එය හුදෙක් දේශපාලන ප්‍රෝඩාවක් මිසි අන් යමක් නොවීය. ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළම කර්මාන්ත ගණනාවක් ඇමර්සන් වැසි වනාන්තරය තවදුරටත් ආක්‍රමණය කිරීම දිගටම කරගෙන යන පසුබිමක මෙම විරෝධතා මතුවූ අතර ඔහුගේ චාටු බස් වලින් ස්වදේශික ජනයා රැවටීමට නොහැකි බව මෙම ආක්‍රමණය මගින් පැහැදිළි විය. ලූලා පසුගිය සතියේ නායකයින්ගේ සමුළුවේදී ද පැවසුවේ COP30 ට සහභාගිවන්නන් "ආදිවාසී ජනතාව සහ සාම්ප්‍රදායික ප්‍රජාවන්ගෙන් ආභාෂය ලබනු ඇති බවත් - තිරසාරභාවය සැමවිටම ඔවුන්ගේ ජීවන රටාවට සමාන පදයක් වී ඇති බවත්” ය. සමුළුව ආක්‍රමණය කළ ස්වදේශීය ජන නායකයන්ගේ ප්‍රමුඛ ඉල්ලීම වූයේ "අපට අපගේ ඉඩම් කෘෂි ව්‍යාපාර, තෙල් ගවේෂණය, නීති විරෝධී පතල් කැනීම් සහ නීති විරෝධී දැව කපන්නන්ගෙන් නිදහස් කරගැනීමට අවශ්‍යයි" යන්නය. සමුළුව අතරතුර බොහෝ රැස්වීම්වලදී දේශගුණික මූල්‍යකරණය කෙරෙහි අවධාණය යොමුවීම පිළිබඳව කනස්සල්ල පලකල ඔවුන් විමසා සිටියේ "අපට මුදල් කන්න පුළුවන්ද?" යනුවෙනි.

බ්‍රසීලයේ ආදිවාසී ජනතාවගේ සන්ධානයට අනුව, දේශගුණ සමුළුවකට මෙතෙක් සහභාගීවූ  විශාලතම ආදිවාසී නියෝජිතයින් සංඛ්‍යාව, 2,500 ක් පමණ, මෙවර  සහභාගී වනු ඇතැයි අපේක්ෂා කලද නිල සාකච්ඡා සඳහා සීමිත ප්‍රදේශය වන නිල් කලාපය සඳහා ප්‍රවේශය ලබාදී ඇත්තේ 14% කට (පුද්ගලයන් 360 ක්) පමණක් වීම මෙම ආතතියට ප්‍රධාන හේතුව බව නිසැකය.

බ්‍රසීලය දේශගුණ සමුළුවක් පවත්වන පළමු අවස්ථාව මෙය වන අතර, ඇමර්සන් වැසි වනාන්තරයේ දොරටුව වන බෙලෙම් තෝරා ගැනීම සංකේතාත්මක වැදගත්කමක් දරයි. මෙම ස්ථානය නිවර්තන වනාන්තරවල වැදගත්කම, ජෛව විවිධත්වය සහ සොබාදහම මත පදනම් වූ දේශගුණික විසඳුම්වල කාර්යභාරය අවධාරණය කරයි. දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික නායකත්වය ශක්තිමත් කිරීමට සහ ගෝලීය දේශගුණික ප්‍රතිපත්තියේ එහි පැතිකඩ ඉහළ නැංවීමට බ්‍රසීලය මෙම සමුළුව උපයෝගී කර ගනු ඇතැයි බොහෝ දෙනාගේ අදහසයි.

මෙවර සමුළුවේ ප්‍රධාන තේමාවක් ලෙස "ක්‍රියාවට නැංවීම" අවධාරණය කෙරෙයි, එනම් අතීත සාකච්ඡා සහ තීන්දු තීරණ සංයුක්ත ක්‍රියාවන් බවට පරිවර්තනය කිරීමයි. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය පොරොන්දු ඉටුකිරීමේ හදිසි අවශ්‍යතාවය අවධාරණය කරයි. දැනට පූර්ව කාර්මික යුගයට වඩා සෙල්සියස් අංශක 1.1 කින් ඉහළ ගොස් ඇති මිහිතලයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ට වඩා වැඩිවීම නවතා ගැනීමේ ඉලක්කය තවමත් කේන්ද්‍රීයව පවතින අතර මෙම සමුළුව ඒ සඳහා වේගවත් වීමේ සහ පොරොන්දු ඉටුකිරීමේ දසකයක ආරම්භය වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපේක්ෂාවයි.

 

අපේක්ෂා ඉටුවේද?

දේශගුණ විපර්යාස අවම කිරීම හා ඊට අනුහුරුවීම සඳහා අවශ්‍ය කැපකිරීම් සිදුකිරීමේ යුතුකම හා වගකීම ඉටුකරනු වෙනුවට ‘ලිප ගිනි මොලවන තෙක් දිය සැළියේ, සැපයක් යයි කකුළුවා දිය කෙළියේ’ කියන්නා සේ තවදුරටත් දේශගුණ විපර්යාසය කඩිනම් කිරීමට දායකවන පොසිල ඉන්දන කොම්පැනිකරුවන් එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුවේ බඩපිණුම් ගැසීම කෙරෙහි අවධානය යොමු වූයේ අසර්බයිජානයේ බකු හිදී ඉකුත් වසරේ පැවති 29 වැනි සැසිවාරයේදී (COP29) ය. අවම වශයෙන් ගල් අඟුරු, තෙල් සහ ගෑස් ලොබිකරුවන් 1,773 දෙනෙකුට එම සමුළුව සඳහා ප්‍රවේශය ලබා දී ඇති බව අනාවරණය වූයේ සමුළුව ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදීය. ඒ වඩාත්ම දේශගුණික අවදානමට ලක්විය හැකි රටවල් 10 නියෝජනය කරමින් සමුළුවට ප්‍රවේශය ලබා තිබුණේ නියෝජිතයින් 1,033 ක් පමණක්වූ පසුබිමකය. තවද සමුළුවට අවම වශයෙන් තෙල් හා ගෑස් සමාගම්වල ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 132 කට ආරාධනා කර තිබූ අතර, ඔවුන් ජනාධිපතිවරයාගේ ආරාධිතයන් බව දැක්වෙන විශේෂ ලාංඡන ද ලබාදී තිබුණි. එමගින් සමුළුවේ එකඟතා සඳහා මෙම මිහිතලය උණුසුම් කිරීමේ කර්මාන්තයේ බලපෑම කොතරම්ද යන්න මොනවට පැහැදිළි විය.

එසේම මෙම වසරේදී ද, දේශගුණික සමුළු ඉතිහාසයේ පළමු වතාවට, ලොව විශාලතම ඓතිහාසික විමෝචකයා වන ඇමරිකා එක්සත් ජනපදය, සාකච්ඡා සඳහා නියෝජිත කණ්ඩායමක් සහභාගී නොකිරීමෙන් ඇති වන්නේ අපේක්ෂා භංගත්වයකි. ඔවුන් ඉතිහාසයේ අනෙක් සෑම දේශගුණ සමුළුවකටම සහභාගී වී ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පළමු ජනාධිපති ධුර කාලය පුරාම පවා එය නොකඩවා සිදුවිය. ජනවාරි මාසයේදී, අලුතින් දිවුරුම් දුන් ජනාධිපති ට්‍රම්ප් දෙවන වරටත් පැරිස් ගිවිසුමෙන් එක්සත් ජනපදය ඉවත් වීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලිපියක් අත්සන් කළේය. මෙම ක්‍රියාවලිය තවමත් සම්පූර්ණ වී නොමැති වුවද, බ්‍රසීලයේ බෙලෙම් හි පැවැත්වෙන COP30 සමුළුවට "ඉහළ මට්ටමේ නිලධාරීන්" සහභාගී නොවන බව ධවල මන්දිරය මේ මස මුලදීම තහවුරු කළේය.

රටවල (සමුළුවේ පාර්ශව) නියෝජිතයින්ට පසුව, සාමාන්‍යයෙන් දේශගුණ සමුළු වල ඊළඟ විශාලතම කණ්ඩායම වන්නේ නිරීක්ෂකයින් වන අතර COP30 සඳහා නිරීක්ෂකයින් 12,000 කට වඩා සහභාගීවන බව වාර්තාවේ. ඒ අතරින් අතිමහත් බහුතරය රාජ්‍ය නොවන සංවිධාන (NGO) නියෝජනය කරයි. විශාලතම රාජ්‍ය නොවන සංවිධාන නිරීක්ෂක දූත පිරිස ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය නියෝජනය කරමින් පැමිණෙන 148 ක පිරිසය. මෙම වසරේ පළමු වරට, සමුළුවට ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට සහභාගීත්වය සඳහා නිරීක්ෂකයින්ට අරමුදල් ලැබෙන ප්‍රභවය(න්) හෙළි කිරීමට සිදුව තිබුණේ ඉකුත් වසරේ ඇතිවූ අප ඉහත කී සංවාදයද හේතුවෙන් විය හැකිය. නමුත් ලියාපදිංචි වූ රාජ්‍ය නොවන සංවිධාන නිරීක්ෂකයින් 11% ක් අරමුදල් හෙළිකර නොතිබුණි. වඩාත් පොදු අරමුදල් සපයන්නන් වූයේ රාජ්‍ය නොවන සංවිධාන (57%) සහ අධ්‍යයන හෝ පර්යේෂණ ආයතන (11%) ය. නමුත් ඒවායේ ද පාරදෘශ්‍යභාවය පිළිබඳව ගැටළු ඇති බව නිරීක්ෂකයන් පෙන්වා දෙති.


බිහිසුණු අනතුර

දේශගුණික බිඳවැටීම බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් සිදුවීම සහ පියවර ගැනීමට ඇති කවුළුව වේගයෙන් වැසී යාම විසින් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩු වලට සහ පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීන්ට දැඩි ලෙස බලකරයි. මිහිතලයේ ජීවත්වෙන මිනිසා ඇතුළු මුළුමහත් ජීවී සමූහයාටම මුහුණදීමට සිදුවී ඇති ගෝලීය අභියෝගය දේශගුණික විපර්යාසයයි. එය පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් එසේය. දේශගුණික විපර්යාසයේ බලපෑම් වලින් මේ පෘථිවි ගෝලයට දැනට සිදුවී ඇති සහ ඉදිරියේදී සිදුවීමට නියමිත ව්‍යසනයන් සමග සලකා බලන විට, ලෝක යුද්ධ වලට පවා ඊට අලගු තැබීමටවත් නොහැකිය. එවැනි පසුබිමක අප රට තුල නිර්මාණය වී ඇති ප්‍රශ්න ගැටළු පිළිබඳව කතාකර පලක් නැත. කුඩා නිවර්තන කලාපීය දූපත් රාජ්‍යක් ලෙස සහ දේශගුණික අවදානම් දර්ශකයේ ඉහළ ස්ථානයක සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම් වලට නිරන්තරයෙන් ගොදුරු වෙමින් පවතින බව පරිසර අමාත්‍යාංශයේ දේශගුණ විපර්යාස ලේකම් කාර්යාලය මගින් සකස්කර ඇති ‘ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාසය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’ මගින්ද අවධාරණය කරයි.

නමුත් අපට තවමත් රටක්, ජනතාවක් ලෙස ඒ ගැන වගේ වගක් නැත. ඊට හේතුව අපේ දේශගුණික සාක්ෂරතාවයේ දොසක් මිස දේශගුණික විපර්යාසය බොරුවක් වීම නොවේ. මුහුද වේගයෙන් ගොඩබිම් ගිල ගනිද්දී, ගංවතුර, නියං, නාය යාම්, කුණාටු වැනි විපත් උත්සන්න වෙද්දී, ගොවිතැන් පාලු වෙද්දී, වනජීවී - මිනිස් ගැටුම් ඔඩු දුවද්දී, රෝග පීඩා උත්සන්න වෙද්දී මිනිස්සුන්ට ඒ බව නොදැනෙනවා නොවේ. නමුත් මේ සියල්ල ලොව පුරා සිදුවන දේශගුණික විපර්යාසයේ බලපෑම් බව හඳුනා ගැනීමේ දේශගුණ සාක්ෂරතාවය ඔවුන්ට ඇත්තේ නැත. ලෝකයට හරිතාගාර වායු විමෝචනය විශාල ලෙස කපා හැර අනුහුරුවීම් සඳහා වියදම් සැලකිය යුතු ලෙස ඉහළ නැංවිය හැකි නම්, එමගින් යම් ව්‍යසන ප්‍රමාණයකට අගුලු දැමීමට හැකිය. නමුත් එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව වැනි සාමූහික ගෝලීය ක්‍රියාකාරීත්වයන්ගෙන් ද ඒ සඳහා අපේක්ෂිත දායකත්වය ප්‍රශ්නාර්ථයක්වී ඇති පසුබිමක සුරක්ෂිත ලෙස මේ මිහිතලයේ ජීවත්වීමට හැකි අනාගතයක් පිළිබඳ පුංචිම පුංචි බලාපොරොත්තුවද වේගයෙන් අපට අහිමි වෙමින් යන බව කණගාටුවෙන් නමුත් ලියා තැබිය යුතුය.

Monday, November 25, 2024

 එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව තවදුරටත් එහි අරමුණු සාධනය කරන්නේද?

 


ලොව පුරා සෑම ඉසව්වකම ජීවත්වන සියළු ආකාර ජීවීන් මේ වනවිට දේශගුණ විපර්යාසයේ දරුණු සැහැසිකම් අත්විඳිමින් සිටින බව නැවත නැවතත් සඳහන් කලයුතු නැත. එම සියළු ජීවීන්ගේ අනාගතය පිළිබඳව තීරණය කිරීමට මේ මහා පොළොවේ සිටින එක් ජීවී විශේෂයකට පමණක් අවසර ලැබී තිබීම දෛවයේ සරදමක් වැනිය. එම ජීවී විශේෂය වන්නේ මිනිසුන් ය. අනෙකුත් ජීවීන් මොහොතකට පසෙක තබා තමන්ගේ හා තම අනාගත පරම්පරාවන්ගේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා හෝ දේශගුණ විපර්යාසය පිටුදැකීමට අවශ්‍ය කැපකිරීම් සිදුකිරීම මිනිස් වර්ගයාගේ යුතුකම හා වගකීමය. ඒ සඳහා අවශ්‍ය ගෝලීය එකඟතාවයන් ඇති කරගැනීම සඳහා ලෝක නායකයින් වාර්ෂිකව එක් රොක් වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශවකරුවන්ගේ 29 වැනි සැසිවාරය (COP29) පසුගිය විසි දෙවැනිදා අසර්බයිජානයේ බකු හිදී අවසන් විය. නමුත් ඒ එම සමුළුව තවදුරටත් එහි අරමුණු සාධනය කරන්නේද යන පැනය ලොව හමුවේ ඉතිරි කරමිනි.  

දේශගුණ විපර්යාස අවම කිරීම හා ඊට අනුහුරුවීම සඳහා අවශ්‍ය කැපකිරීම් සිදුකිරීමේ යුතුකම හා වගකීම ඉටුකරනු වෙනුවට ‘ලිප ගිනි මොලවන තෙක් දිය සැළියේ, සැපයක් යයි කකුළුවා දිය කෙළියේ’ කියන්නා සේ තවදුරටත් දේශගුණ විපර්යාසය කඩිනම් කිරීමට දායකවන පොසිල ඉන්දන කොම්පැනිකරුවන් සමුළුවේ බඩපිණුම් ගැසීම මෙම පැනය නැගීමට ප්‍රධාන හේතුවයි. අවම වශයෙන් ගල් අඟුරු, තෙල් සහ ගෑස් ලොබිකරුවන් 1,773 දෙනෙකුට මෙවර දේශගුණ සමුළුව සඳහා ප්‍රවේශය ලබා දී ඇති බව අනාවරණය වූයේ සමුළුව ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදීය. ඒ වඩාත්ම දේශගුණික අවදානමට ලක්විය හැකි රටවල් 10 නියෝජනය කරමින් සමුළුවට ප්‍රවේශය ලබා තිබුණේ නියෝජිතයින් 1,033 ක් පමණක් වන පසුබිමකය. තවද සමුළුවට අවම වශයෙන් තෙල් හා ගෑස් සමාගම්වල ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 132 කට ආරාධනා කර තිබූ අතර, ඔවුන් ජනාධිපතිවරයාගේ ආරාධිතයන් බව දැක්වෙන විශේෂ ලාංඡන ද ලබාදී තිබුණි. එමගින් සමුළුවේ එකඟතා සඳහා මෙම මිහිතලය උණුසුම් කිරීමේ කර්මාන්තයේ බලපෑම කොතරම්ද යන්න මොනවට පැහැදිළි වේ. එසේම සාකච්ඡා ආරම්භ වීමට දින කිහිපයකට පෙර, අසර්බයිජාන නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය සහ COP29 හි ප්‍රධාන විධායක Elnur Soltanov, ගිවිස ගැනීම් වලදී තෙල් ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමට එකඟ වන වීඩියෝ පටයක්ද අනාවරණය විය.

දේශගුණ විපර්යාසය පිළිබඳව ජනතාව තුල උනන්දුව ඇතිවීමත් සමග ඔවුන්ගේ බලපෑම් නිසා සෑම රටකම පාහේ ආණ්ඩු වලට පොසිල ඉන්දන භාවිතය පිළිබඳ තම නීති රීති හා ප්‍රතිපත්ති වෙනස් කිරීමට සිදුවී ඇත. නමුත් එමගින් තමන්ගේ ලාභය සීමා වන බව දන්නා ඛනිජ තෙල්, ගල්අඟුරු සහ ගෑස් සමාගම් තමන් සතු අධික ධන බලය භාවිතා කරමින් ආණ්ඩු වලට බලපෑම් එල්ල කිරීම හේතුවෙන් දේශගුණ විපර්යාසය පාලනයට දැරෙන උත්සාහයන් මන්දගාමී වූයේ අද ඊයේ සිට නොවේ. මෙවර සමුළුවේ අවසන් එකඟතා වලද දේශගුණික මූල්‍ය පිළිබඳ සංඛ්‍යා නොමැතිවීම සහ විමෝචන කපා හැරීමේ ප්‍රගතියක් නොමැතිකම එහිම තවත් දිගුවක් විය යුතුය.

මේ වන විට අනාවරණය කරගෙන ඇති ආකාරයට තෙල් සමාගම් දේශගුණ විපර්යාසය ඇති වන බව දැනගෙන ඇත්තේ මීට අඩ සියවසකට වඩා ඉහත සිට ය. පොසිල ඉන්දන දහනය මගින් වායු ගෝලයට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් වායුව මගින් ගෝලීය වශයෙන් පාරිසරික වෙනස්කම් ඇතිවිය හැකි බව ‘ස්ටැෆර්ඩ් රිසර්ච් ඉන්ස්ටිටියුට්’ නම් පර්යේෂණ ආයතනය විසින් 1968 වසරේදී ඇමරිකානු පෙට්‍රෝලියම් ආයතනයට වාර්තාවක් මගින් දන්වා ඇත. නමුත් එය සඟවා තබාගෙන තම ව්‍යාපාරය අඛණ්ඩව සිදුකරමින් ලාභ ඉපයීමට තරම් තෙල් සමාගම්  ආත්මාර්ථකාමී වී ඇත. පෘථිවියට හෙන ගැහී ගියත් තමන් උපයා ගන්නා මුදල් වලින් වෙනත් ග්‍රහ ලෝකයකට හෝ ගොස් ජීවත්විය හැකි වනු ඇතැයි තෙල් සමාගම් හිමිකරුවන් සිතන්නට ඇතිවා විය හැකිය.

කෙසේ නමුත් මේ වනවිට නාසය දක්වා ගිලෙන තරමට ප්‍රශනය ඔඩු දුවා ඇතත් තෙල් සමාගම් තම ලාභාපේක්ශාව අත්හැර නොමැති බව දේශගුණ සමුළුවට ඔවුන් සිදු කරන බලපෑම් මගින් පැහැදිළි වේ. ඒ අනුව අනාගත දේශගුණ සමුළු පැවැත්විය යුත්තේ දේශගුණික ක්‍රියාමාර්ග සඳහා පැහැදිලි සහය දැක්විය හැකි සහ ෆොසිල ඉන්ධන ලොබිකරුවන් පිළිබඳ දැඩි නීති රීති ඇති රටවල පමණක් බව දේශගුණ ප්‍රතිපත්ති විශේෂඥයින්ගේ අදහසයි. මෙම අදහස ඉස්මතු වීමට තවත් එක් හේතුවක් වන්නේ මෙවර සමුළුව සඳහා සත්කාරකත්වය සැපයූ අසර්බයිජානයද ප්‍රධාන ෆොසිල ඉන්ධන නිෂ්පාදකයෙකු වන අතර එහි අපනයනයෙන් අඩක් තෙල් හා ගෑස් වීම හේතුවෙනි. පසුගිය වසරේ සමුළුව පැවැත්වුනේද එවැනිම පෙට්‍රෝලියම් රාජ්‍යක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීය. එම සමුළුවේ සභාපතීත්වය දැරූ සුල්තාන් අල් ජබර්, රටේ ජාතික තෙල් සමාගමේ ප්‍රධානියා ලෙස ඔහුගේ එම කාර්යයට මුල්තැන දී කටයුතු කළ බවට චෝදනා එල්ලවිය.

ගෝලීය වශයෙන් වැඩිම හරිතාගාර වායු විමෝචනයන් සිදුකරන සංවර්ධිත රටවල දේශපාලකයන් සාක්කුවේ දමා ගැනීමට හා දේශගුණ විපර්යාසය මිත්‍යාවක් බවට ජනතාව අතර මතයක් ඇතිකිරීමට තෙල් කොම්පැණිකරුවනට වියදම් කිරීමට අවශ්‍ය වන්නේ තමන් ඉපයූ ඉමහත් ලාභයෙන් සොච්චමක් පමණි. වර්ෂ 2013 දී පමණ ලෝකයේ එක්‌ ප්‍රකට තෙල් සමාගමක ලිපියක්‌ හේතුවෙන් යුරෝපා සංගමය ඔවුන් පැනවීමට ගිය පාරිසරික නීති හකුලා ගැනීමට හෝ දුර්වල කිරීමට හෝ ක්‍රියා කර ඇත. ඒ ලිපිය මගින්  තර්ජනය කර තිබුණේ යුරෝපා සංගමය ෆොසිල ඉන්ධන සඳහා බලපාන නීති දැඩි කිරීමට කටයුතු කළ හොත් හා පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය සඳහා කටයුතු කළ හොත් මහා පරිමාණ තෙල් සමාගමක්‌ වන එහි කටයුතු යුරෝපයෙන් ඉවතට ගෙන යැමට අදාළ සමාගම අදහස්‌ කරන බවයි. එමගින් තම ආර්ථිකයට එල්ලවිය හැකි බලපෑම සැලකූ විට තෙල් සමාගම ඉදිරියේ දන ගැසීමට යුරෝපා සංගමයට ද සිදුවූවා විය හැකිය. මීට පෙර ද විවිධ රටවල විද්වත් කමිටු වලට රිංගාගත් තෙල් සමාගම් වලින් යැපෙන ඔලමොළ නිවටුන් දුර්වල විමෝචන සීමා ඇති කිරීම සඳහා සැලකිය යුතු බලපෑමක්‌ ඇති කළ බවද හෙළිදරව්වී ඇත.

ඒ අතර ඇමෙරිකාවේ විශාලතම ගල්අගුරු සමාගමක්‌ වන පීබොඩි එනර්ජි (Peabody Energy) සමාගම විසින් දේශගුණ විපර්යාසය පිළිබඳව සැක මතු කරන හා පරිසර නීති රීති වලට විරෝධය පළ කරන කණ්‌ඩායම් විස්‌සකට අධික ගණනකට අනුග්‍රහකත්වය දක්වා ඇති බවද හෙළිදරව්වී ඇත. ඒ අතර වෙළෙඳ ආයතනවල සිට බුද්ධි මණ්‌ඩල දක්වා පුළුල් පරාසයක පැතිරුණු කණ්ඩායම් විය. බැරැක්‌ ඔබාමා ගේ හරිතාගාර වායු විමෝචන කපාහැරීමේ සැලසුම්වලට එරෙහි ව කටයුතු කළ සංවිධාන පවා ඒ අතර වේ. එරට දේශපාලන පක්‌ෂ දෙකට ම ආධාර කර ඇති උක්ත ගල්අඟුරු සමාගම ඉන්ධන සමාගම් වඩාත් ප්‍රිය කරන රිපබ්ලිකන් පක්‌ෂයට වැඩි ආධාර ප්‍රමාණයක්‌ ලබා දී ඇත. මේ දක්‌වා හෙළිදරව් වී ඇති ආකාරයට මේ අල්ලස් නිසා ඇමෙරිකාවේ පමණක්‌ නොව අන්තර්ජාතික වශයෙන් දේශගුණ විපර්යාස පාලනය සම්බන්ධ කටයුතුවලට ද බලපෑම් ඇති වී ඇති බව අනුමාන කෙරේ.

ඒ අනුව මුළු මහත් පෘථිවි තලයම දංගෙඩිය මත තබා හෝ තම මඩිය තර කරගන්නා තක්කඩින්ගේ තරම මොනවට පැහැදිළි වේ. කෙසේ නමුත් මහා පරිමාණ පොසිල ඉන්ධන සමාගම්වල අනාගතය පිළිබඳව කර්මාන්තයේම විශේෂඳයන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව සිය ව්‍යාපාර ආකෘතිය සම්පූර්ණයෙන් වෙනස්‌ නොකළ හොත් ඉදිරි වසර 10 ඇතුළත එම සමාගම් කඩා වැටීම නොවැලක්විය හැකි ය. පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය වෙත අවතීර්ණ වීම, මෙහෙයුම් අඩු කිරීම හා වෙනත් සමාගම් සමග ඒකාබද්ධ වීම මේ තත්ත්වය වැලැක්වීමට පිළියම් ලෙස දක්වා ඇත. නමුත් කණගාටුවට කරුණ වන්නේ ඉස්තාලය වසන විට අශ්වයා පැනගොස් හමාර වීමට ඉඩ තිබීමය.

අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය මගින් නිකුත් කෙරුණු අවසන් තත්ත්ව වාර්තාව මගින්ද අවධාරණය කර තිබේ. දේශගුණික බිඳවැටීම බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් සිදුවන බවත් පියවර ගැනීමට ඇති කවුළුව වේගයෙන් වැසෙන බවත් ඒ නිසා දේශගුණික විපර්යාසයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ආණ්ඩු වලට සහ පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීන්ට එම වාර්තාව මගින් දැඩි ලෙස බලකර තිබේ. මුහුද වේගයෙන් ගොඩබිම් ගිල ගනිද්දී, ගංවතුර, නියං, නාය යාම්, කුණාටු වැනි විපත් උත්සන්න වෙද්දී, ගොවිතැන් පාලු වෙද්දී, වනජීවී - මිනිස් ගැටුම් ඔඩු දුවද්දී, රෝග පීඩා උත්සන්න වෙද්දී මෙරට ජනතාවට පවා ඒ බව නොදැනෙනවා නොවේ. නමුත් මේ සියල්ල ලොව පුරා සිදුවන දේශගුණික විපර්යාසයේ බලපෑම් නිසා සිදුවන්නක් බව අවබෝධ කරගැනීමට අවශ්‍ය දේශගුණ සාක්ෂරතාවය ඔවුන්ට නැත. ලෝකයට හරිතාගාර වායු විමෝචනය විශාල ලෙස කපා හැර අනුහුරුවීම් සඳහා වියදම් සැලකිය යුතු ලෙස ඉහළ නැංවිය හැකි නම්, එමගින් යම් ව්‍යසන ප්‍රමාණයකට අගුලු දැමීමට හැකිය. නමුත් එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව වැනි සාමූහික ගෝලීය ක්‍රියාකාරීත්වයන්ගේ තවදුරටත් සිදුවන සෑම ප්‍රමාදයක්ම සුරක්ෂිත ලෙස මේ මිහිතලයේ ජීවත්වීමට හැකි අනාගතයක් පිළිබඳ පුංචිම පුංචි බලාපොරොත්තුවද වේගයෙන් අපට අහිමි කරනු ඇත.

Sunday, November 3, 2024

රටවල් 40 ක තරුණ තරුණියන් සියගණනක් දේශගුණික ක්‍රියාකාරකම් බලගැන්වීමට ඊජිප්තුවට රැස් වෙති


නිසැකවම, දේශගුණික විපර්යාසය පෘථිවිය මේ මොහොතේ මුහුණ දෙන මූලිකම සමාජ-ආර්ථික, දේශපාලන සහ පාරිසරික ගැටලුවය. දේශගුණික විපර්යායේ බිහිසුණු බලපෑම් වැළැක්වීම සඳහා වේගයෙන් වැසෙන කවුළුවක් සමඟ අපට අරගල කිරීමට සිදුව තිබේ. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයට (IPCC) අනුව, හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම තවදුරටත් ප්‍රමාද කිරීම සැමට ජීවත්විය හැකි අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා කෙටි හා වේගයෙන් වැසී යන අවස්ථාව මග හැරීමට නියත වශයෙන්ම හේතුවේ. මෙම තත්ත්වය තුළ ගෝලීය තාරුණ්‍යයට දේශගුණික ක්‍රියාකාරකම් සඳහා විශාල කාර්යභාරයක් පැවරේ. ඒ සඳහා ඔවුන් උනන්දු කරලීම සඳහා ඊජිප්තුවේ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් වාර්ෂිකව දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ පාර්ශවකරුවන්ගේ වාර්ෂික හමුව (Conference of Parties- COP) සමාකරණය සංවිධානය කරයි. එය තරුණ නායකත්වයෙන් යුත් දේශගුණ වැඩසටහනක් වන අතර එය COP අනුකරණය කිරීමට සහ දේශගුණික ක්‍රියාකාරකම් සඳහා විසඳුම් ලබා දීමට සාකච්ඡා කිරීමට ලොව පුරා සිසුන් එක් වේදිකාවක් මතට ගෙන එයි. ඒ අනුව අඛණ්ඩව තුන්වන වරටත් මෙවර COP සමාකරණය පසුගියදා ඊජිප්තුවේ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී ඉතා ආකර්ශණීය ලෙස පැවැත්විණි.

උසස් අධ්‍යාපන හා විද්‍යාත්මක පර්යේෂණ අමාත්‍යාංශයේ සහ යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ මෙම වසරේ COP29 සමාකරණය ඊජිප්තුවේ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලය, UNDP ඊජිප්තුව සහ අසර්බයිජාන් රාජ්‍යතාන්ත්‍රික ඇකඩමිය විසින් සංවිධානය කරන ලදී. 2024 ඔක්තෝබර් 4 සිට 10 දක්වා ඊජිප්තුවේ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයේ සත්කාරකත්වය යටතේ පැවැත්වුණු මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණයයේදී COP29, ආදර්ශ රටවල නියෝජිතයින් සහ ජාත්‍යන්තර දේශගුණික පාර්ශවකරුවන්ගේ නියෝජිතයින් අනුකරණය කිරීම සඳහා රටවල් 40 කින් සහ විශ්ව විද්‍යාල 87 කින් 150 ක් පමණ විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු දේශගුණ ක්‍රියාකාරීත්වයට උනන්දුවක් දක්වන පිරිසක් මෙම සමාකරණයට එක් විය. එහිදී සහභාගිවන්නන් ප්‍රතිපත්ති යෝජනා ඉදිරිපත් කර ඡන්දය ප්‍රකාශ කරනු ලැබූ අතර සැබෑ COP 29 පාර්ශවකරුවන්ගේ සමුළුවේදී ඉදිරිපත් කිරීම සඳහා දේශගුණ ප්‍රකාශයක් ද සකස්කරනු ලැබීය. මේ සඳහා සහභාගීවුවන්ගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය, සාකච්ඡා, විවේචනාත්මක චින්තනය, සම්මුතිය, ප්‍රසිද්ධ කථා කිරීම, ලිවීම සහ පර්යේෂණ පිළිබඳ කුසලතා වර්ධනය කිරීම සඳහාද වැඩසටහන් සංවිධානය කර තිබූ අතර  ඔවුන් විවිධ රටවල නියෝජිතයන්, තාක්ෂණික විශේෂඥයන් සහ ජාත්‍යන්තර දේශගුණික කොටස්කරුවන්ගේ නියෝජිතයන් වීම පිණිසද පුහුණු කරනු ලැබීය.

මේ දක්වා මෙම සමාකරණයේ අනුවාද තුනක් සංවිධානය කර ඇති අතර ඒ COP27, COP28, සහ COP29 සමාකරණයි. මෙවැනි සමාකරණයක් පැවැත්වීමේ කාලීන අවශ්‍යතාවය හඳුනා ගනිමින්, 2022 වසරේ ඊජිප්තුවේ කයිරෝ අගනුවරදී පැවැත්වුණු දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ පාර්ශවකරුවන්ගේ 27 වැනි සැසිවාරයට සමගාමීව COP27 සමාකරණය සංවිධානය කෙරුණේ ඊජිප්තු උසස් අධ්‍යාපන හා විද්‍යාත්මක පර්යේෂණ සහ යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශ, ඊජිප්තුවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය සහ ඊජිප්තුව සඳහා එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස ඉහළ පෙළේ ශූරයාගේ සහාය ඇතිවය. සෑම වසරකම, COP සමාකරණයේ සභාපතිවරයා සැබෑ දේශගුණික සමුළුව සඳහා සත්කාරකත්වය සපයන රටෙහි ප්‍රමුඛ පෙළේ අධ්‍යයන ආයතනයක් සමඟ සම්බන්ධවෙමින් මෙම වැඩසටහන පැවැත්වීම සිදුවේ. ඒ අනුව සාර්ථක COP27 සමාකරණයෙන් පසුව මෙතෙක් පැවැත්වූ විශාලතම ශිෂ්‍ය නියෝජනය ඇතුළත් COP28 සමාකරණය සංවිධානය කෙරුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිඩ් විශ්ව විද්‍යාලයේ ද සම්බන්ධීකරණයෙනි. ඉන් අනතුරුව මෙම වසරේ, COP29 සමාකරණය සඳහා මෙවර දේශගුණ විපර්යාසය පිළිබඳ සැසි වාරය පැවැත්වෙන අසර්බයිජාන් රාජ්‍යතාන්ත්‍රික ඇකඩමිය (ADA විශ්ව විද්‍යාලය) විසින් සත්කාරකත්වය සපයන ලදී. මෙහි ඉලක්කය වූයේ දේශගුණික ක්‍රියාකාරකම් සඳහා තරුණ සහභාගීත්වය තවදුරටත් ඉහළ නැංවීම, දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම, සිසුන්ට හඬක් නැගීමට සහ COP29 හි නියෝජනය වීමට මග පෑදීමයි.

2022 වසරේ පැවැත්වුණු COP27 සමාකරණයට රටවල් 25කින් ඊජිප්තු විශ්ව විද්‍යාල 21ක් සහ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල 34ක් නියෝජනය කරමින් 130 දෙනෙකු පමණ සහභාගී වූහ. COP27 සමාකරණයේ ධනාත්මක ප්‍රතිඵල මත, සංවිධානය කෙරුණු COP28 සමාකරණය තවත් සාර්ථකත්වයේ ඉදිරි පිම්මක් තැබූ අතර අයදුම්පත් 2700 කින් සිසුන් 140 ක් ඒ සඳහා තෝරා ගනු ලැබුණි. ඔවුන් රටවල් 34 කින් සහ ලොව පුරා විශ්ව විද්‍යාල 32 කින් තෝරා ගන්නා ලදී. තෝරාගත් නියෝජිතයින්ට ගෝලීය අධ්‍යයන ආයතන සහ සංවිධානවල පළපුරුදු වෘත්තිකයන් විසින් පිරිනමනු ලබන සති දෙකක ධාරිතා වර්ධන වැඩසටහනකටද සහභාගී වීමට හැකි විය. දේශගුණික සාක්ෂරතාවය, ජාත්‍යන්තර දේශගුණික ක්‍රියාමාර්ග, දේශගුණ ක්‍රියාකාරී රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ තරුණයින්ගේ භූමිකාව, විවාදය සහ ගැටුම් නිරාකරණය පිළිබඳව ඔවුන්ට එහිදී පුහුණුව ලබා දෙන ලදී. COP28 ආදර්ශ සම්මන්ත්‍රණය ඊජිප්තුවේ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයේදී පැවැත්වුණු අතර එහිදී ද සහභාගිවන්නන් විවිධ රටවල නියෝජිතයන්, ප්‍රධාන සාකච්ඡාකරුවන් සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් අනුකරණය කළ අතර, COP28 සමාකරණ සම්මුතියටද ඡන්දය ලබා දුන්හ. අවසාන අදියර වූයේ ඔවුන්ගෙන් පිරිසක් ඩුබායි හිදී පැවති සැබෑ COP28 සඳහා සහභාගී වීම වූ අතර, සහභාගී වූවන්ගෙන් 25 දෙනෙකුට පමණ සමාකරණයේ සම්මුතිය ඉදිරිපත් කිරීමට සහ ඔවුන්ගේ අත්දැකීම් ඉදිරිපත් කිරීමට නිල් සහ හරිත කලාපවල පැවති සැසි තුනකට සහභාගී වීමට අවස්ථාව ලැබුණි. එසේම COP29 සමාකරණයෙන් පසුවද, සහභාගිවන්නන්ගෙන් තවත් 25 දෙනෙකුට සමාකරණයේ සම්මුතිය ඉදිරිපත් කිරීමට සහ ඔවුන්ගේ අත්දැකීම් අසර්බයිජානයේ බකු හිදී COP29 හි නිල් සහ හරිත කලාපවල පැවැත්වෙන සැසි තුනක් හරහා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

සුපුන් ළහිරු ප්‍රකාශ්

(ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊජිප්තුවේදී වාර්ෂිකව සංවිධානය කෙරෙන COP සමාකරණයක් සඳහා ප්‍රථම වරට සහභාගීවීමට අවස්ථාව ලැබීමෙන් පසු)