Sunday, October 31, 2021

ගෝලීය දේශගුණ අභියෝගය, දේශීය ප්‍රෝඩාව සහ ග්ලාස්ගොව් දේශගුණ සමුළුව ...

දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ (United Nations Framework Convention on Climate Change – UNFCCC) පාර්ශව කරුවන්ගේ 26 වැනි සැසි වාරය (26th Conference of the Parties - COP 26) එළඹෙන ඔක්තෝබර් 31 දින සිට නොවැම්බර් 12 දින දක්වා ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් (Glasgow) නගරයේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සංවිධානය කර තිබේ. එක්සත් රාජධානිය විසින් මෙවර සමුළුව සඳහා සත්කාරකත්වය සපයන්නේ ඉතාලිය සමඟ සහයෝගයෙනි. ශ්‍රී ලංකාවද ඇතුළුව සම්මුතියේ පාර්ශවකාර රාජ්‍යයන් 195ක් දේශගුණ විපර්යාසය අවමකරගැනීම (Mitigation) හා අනුහුරුවීම (Adaptation) සඳහා වන තමන්ගේ ඉලක්ක යාවත්කාලීන කරගැනීම සඳහා මෙම සමුළුවට සහභාගීවීමට අපේක්ෂාවෙන් සිටිති. මෙම 26 වැනි සැසි වාරය පැවැත්වීමට නියමිතව තිබුණේ ඉකුත් 2020 වසරේ වුවත් පැවති ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එය වසරකින් කල් දැමීමට සංවිධායකයින්ට සිදුවිය.

පුරා දශක තුනකට ආසන්න කාලසීමාවක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව පුරා රටවල් එක් වේදිකාවක් මතට ගෙනැවිත් දේශගුණ විපර්යාසය නම් මෙම ගෝලීය අභියෝගයට මුහුණදීමට අවශ්‍ය පොදු එකඟතාවයක් ඇතිකර ගැනීමට නොගත් උත්සාහයක් නැත. එහි යම් යම් කඩයිම් පසුකිරීමට අපට හැකි වුවත් අපේක්ෂිත අවසන් ජයග්‍රහණ අත්කර ගැනීමේ අභිලාශය තවමත් සිහිනයක් පමණි. නමුත් එම වකවානුව තුල දේශගුණ විපර්යාසය මෙම මිහිතලයේ ජීවත්වෙන සෑම සියලු ප්‍රාණියෙකුගේම ජීවිත වලට ඇති ප්‍රධානතම තර්ජනය බවට පත්ව හමාරය. එම අභියෝගයට මුහුණදීමට නොහැකිවූ ජීවී විශේෂ රැසක් මේ වන විටත් සදහටම මිහිතලයෙන් සමුගෙන ගොස් ඇත. තම අත්තනෝමතික, අසාධාරණ, සහ අධම ක්‍රියාකාරීත්වය ඔස්සේ දේශගුණ විපර්යාසය වේගවත් කිරීමට දායකවූ මිනිස් ප්‍රජාව තවදුරටත් නොනැසී සිටියත් දේශගුණ විපර්යාසයේ අනිටු ප්‍රතිපල වලින් ඔවුනටද නිමක් නොමැතිව බැට කෑමට සිදුව ඇත.

එහි ප්‍රතිපලයක් ලෙස මේ පොළෝ තලයේ මහත් ආයාසයෙන් ජීවිත ගැට ගසාගෙන සිටින ආන්තික ප්‍රජාවන් දුප්පත්කමේ පතුලටම ගමන් කරමින් සිටිති, කබලෙන් ලිපට විසිවෙමින් සිටිති. ඔවුන්ට තමන්ගේ මූලික අවශ්‍යතා වන ආහාර, ජලය, වාසස්ථාන සහ මූලික පහසුකම් සපයාගැනීම එන්න එන්නම දුෂ්කරවී ඇත. එදා වේල සරිකර ගැනීමට පවුලේ ස්වාමියා දුක් ගැහැට විඳිද්දී, කුසට නිසි අහරක් නොමැතිව පීඩා විඳින කාන්තාවන් සහ දරුවන් තමන්ගේ පවුල් වලට අවශ්‍ය ජල අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා දිනකට පැය ගණනක් බොහෝ දුර බැහැර ගෙවා ජලය සොයා යන දසුන් මේ වන විට ශ්‍රී ලංකාවේද විරල නොවේ. දරිද්‍රතාවයෙන් බැටකන තම පවුල්වල ආර්ථික තත්වය මදක් හෝ ඔසවා තැබීමට ස්වාමිපුරුෂයාට සහය වීමට කාන්තාවන්ට ඇති කාලය ඒ ඔස්සේ අහිමිවී ඇත. දුවාදරුවන්ට තමන්ගේ අධ්‍යාපන අවස්ථා ඒ ඔස්සේ අහිමිවී ඇත. මානව සුභසාධනය සහ සංවර්ධනය සඳහා අත්‍යාවශ්‍ය සෞඛ්‍ය, අධ්‍යාපනය, සමාජ සංවර්ධනය සහ කර්මාන්ත ආදී එකී මෙකී නොකී සියලු ක්ෂේත්‍රයන් දේශගුණ විපර්යාසයේ බලපෑම් වලින් වෙලී පවතී. දේශගුණ විපර්යාසය ප්‍රති සරදියෙල් න්‍යායෙන් එල්ලකරන බලපෑම් තවදුරටත් පීඩිතයාම පීඩනයට ලක් කිරීම ඛේදවාචකයකි.

ලොව පුරා මිලියන ගණනක් ජනතාවට තමන්ගේ පාරම්පරික වාසභූමි අත්හැර දේශගුණ අනාථයන් (Climate Refugees) වශයෙන් වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීමට මෙමගින් බල කර ඇත. දේශගුණ විපර්යාසය හේතුවෙන් මේ වන විට පෘථිවි ගෝලයේ බොහෝ ප්‍රදේශ මනුෂ්‍ය වාසයට නුසුදුසු තත්වයට පත්වෙමින් පවතින බව තවදුරටත් රහසක් නොවේ. ඒ හේතුවෙන් තම පාරම්පරික වාසභූමි අත්හැර තම රටේම හෝ තම දේශසීමාවෙන් එහා වෙනත් රටකට සංක්‍රමණය වන ජනතාව දේශගුණ අනාථයන්  ලෙස සරලව හැඳින්විය හැකිය. දැනට සිදුකර ඇති ගණනය කිරීම් අනුව වසරකට ලොව පුරා මිලියන 26ක පමණ ජනගහනයක් දේශගුණ අනාථයන් බවට පත්වේ. පර්යේෂකයන් පවසන්නේ 2050 වසර වන විට එම ප්‍රමාණය මිලියන 50ක් පමණ විය හැකි බවයි.

ශ්‍රී ලංකාව තුලද විවිධ අවස්ථාවල ඇතිවූ හා අඛණ්ඩව දීර්ඝකාලීනව ඇතිවෙමින් පවතින දේශගුණ විපර්යාසයේ බලපෑම් නිසා දේශගුණ අනාථයන් බිහිවීම සිදුවී ඇත. ඒ ඒ අවස්ථාවල තාවකාලික පිළියම් ලබාදීමෙන් ප්‍රශ්න යටගැසීම විනා දේශගුණ අනාථයන් සම්බන්ධයෙන් අප රට තුලද විධිමත් වැඩපිළිවෙලක් තවමත් සකස්කොට නැත. අප රටේ මුළු ජනගහනයෙන් තුනෙන් එකක් ජීවත්වන, මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 24ක් අයත් වන්නේ වෙරළබඩ ප්‍රදේශයටය. රටේ මුළු මත්ස්‍ය නිෂ්පාදනයෙන් සියයට අසූවක් සපයන්නේ එම භූමිය කේන්ද්‍ර කරගෙන වන අතර රටට විදේශ විනිමය සපයා දෙන ප්‍රධාන ධනෝපායන මාර්ගයක් වන සංචාරක කර්මාන්තය සඳහා යටිතල පහසුකම් සපයන භූමියද වන්නේ මෙයයි. නමුත් දේශගුණ විපර්යාසය නිසා ඉහළ යන මුහුදු ජල මට්ටම හා  වෙරළ ඛාදනය නිසා වෙරළබඩ ජනතාවට නිවාස, යටිතල පහසුකම් හා ජීවනෝපාය අහිමිකරගනිමින් රට තුලට ගමන් කිරීමට මේ වනවිට සිදුවී තිබේ. ඒ අතර නිතර සිදුවන ස්වභාවික විපත් දරාගත නොහැකිව ලතැවෙන කඳුකරයේ ජනයාට සිදුවී ඇත්තේ ද රටේ පහත් තැනිතලා වෙත සංක්‍රමණය වීමටය. ඒ මතුද නොව දිවයිනේ මුළු භූමියෙන් සියයට හැටක් වසා පැතිරුණු වියලි කලාපයේ ගොවි ජනතාවට තම ජීවනෝපාය අත්හැර නගර වෙත සංක්‍රමණයවී වෙනත් වෘත්තීන් වල නියැලීමට දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් උත්සන්න වන නියං, ගංවතුර තත්ත්ව හා අකල් වැසි බල කරයි.

දේශගුණ විපර්යාසය මිහිතලයේ ජීවත්වෙන සෑම සියලු ජීවියෙකුටම ඇති මූලික ජීවන අභියෝගය බව තව දුරටත් අටුවා ටීකා අවශ්‍ය වන්නේ නැත. ඊට මුහුණදීම සඳහා අද දවසේ අප දරණු ලබන සාමුහික ප්‍රයත්නයන් ඔබගේත් මගේත් හෙට දවස තීරණය කරනු ඇත. ඒ අතින් බැලූ විට මිහිතලයේ වැසියන්ට තමන්ගේ අනාගත පැවැත්ම තීරණය කිරීමට ග්ලාස්ගොව් සැසි වාරය ඉතා වැදගත් වේ. ප්‍රංශයේ පැරිස් නුවරදී 2015 වසරේ පැවැත්වූ දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ පාර්ශව කරුවන්ගේ 21 වැනි සැසි වාරයෙන් පසු ඉතා වැදගත්ම සැසි වාරයක් ලෙස මෙම ග්ලාස්ගොව් සැසි වාරය හැඳින්විය හැකිය. පැරිස් එකඟතා අනුව සම්මුතියේ පාර්ශ්වකරුවන් තමන් විසින් දේශගුණ විපර්යාසය අවමකිරීම සහ අනුහුරුවීම සඳහා සකස් කර ඉදිරිපත්කරන ලද දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්වයන් (Nationally Determined Contributions - NDCs) වසර පහකට වරක් යාවත්කාලීන කිරීම සිදුකළ යුතු අතර 2020 වසරේ සැසි වාරය නොපැවැත්වුණු නිසා එකී යාවත්කාලීන දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්වයන් ප්‍රථම වරට සම්මුතිගත කිරීම සිදු වන්නේ මෙම වසරේදීය.

මිනිසුන් ඇතුළු මුළු මහත් ජීවී සමූහයාටම මෙම පෘථිවි ගෝලයේ යහතින් ජීවත්වීමට අවශ්‍ය නම් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමෙන් මිහිතලයේ උෂ්ණත්වය වැඩිවීම පූර්ව කාර්මික යුගයට සාපේක්ෂව අංශක 1.5 ක සීමාවේ වත් පවත්වාගෙන යාමේ ඉලක්ක 2025 හෝ 2030 වන විට සපුරාලීම අනිවාර්යය. ඒ සඳහා දේශගුණ විපර්යාසයට එරෙහිව පියවර ගැනීමට ගිවිසුමට අත්සන් තැබූ සියලුම රටවල් කැපවිය යුතුය. ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශය විසින් ද 2021 ජූලි මස යාවත්කාලීන කරන ලද දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්වයන් දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුති ලේකම් කාර්යාලයට භාරදී ඇත.

දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම් හේතුවෙන් දැඩි අවධානමකට ලක්වී ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව තම රටේ කෘෂිකර්මාන්තය, ධීවර, පශු සම්පත්, සෞඛ්‍ය, ජලය, ජෛව විවිධත්වය, වෙරළ සහ සාගර, සංචාරක, නාගරික සැලසුම් සහ මානව ජනාවාස යන අංශයන්හි ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කර ඇත. 2010 වසරේදී මෙරට ඒක පුද්ගල හරිතාගාර වායු විමෝචනය ටොන් 1.02 ක් වූ අතර 2019 දී එහි ගෝලීය සමුච්චිත දායකත්වය 0.03%කි. මෙම අඩු කාබන් පියසටහන සහ දැඩි අවධානමට ලක්විය හැකි තත්වය තුල 2030 වන විට මෙරට වනාන්තර ප්‍රතිශතය 32% දක්වා ඉහළ නැංවීමට සහ 2021-2030 කාලසීමාව තුල බලශක්ති (විදුලි උත්පාදනය), ප්‍රවාහන, කර්මාන්ත, අපද්‍රව්‍ය, වනාන්තර සහ කෘෂිකර්ම යන අංශ වලින් හරිතාගාර වායු විමෝචනය 14.5% කින් අඩු කිරීමට ශ්‍රී ලංකාව තම යාවත්කාලීන දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්වයන් මගින් ජාත්‍යන්තරය හමුවේ පොරොන්දු ලබාදී තිබේ. මෙම අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා, ශ්‍රී ලංකාව 2030 වන විට විදුලිබල උත්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තිය මගින් ලබා ගැනීමට අපේක්ෂා කරන අතර 2050 වන විට විදුලි උත්පාදනයේදී කාබන් විමෝචනය ශුන්‍ය කිරීමටද, ගල් අඟුරු බලාගාර වල ධාරිතාව ඉහළ නැංවීමෙන් වැළකී සිටීමටද පොරොන්දු දී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව සිය කාබන් විමෝචනය ශුන්‍ය කරගැනීමේ ඉලක්කය සාක්‍ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන්නේ 2060 වසරේදීය.

කතාවට එසේ කීවද ඉහත කී හරිතාගාර වායු විමෝචන අවමකිරීමේ සහ හඳුනාගත් ක්ෂේත්‍රවල අනුහුරුවීම් ප්‍රවර්ධනය කිරීමේ ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සැබෑ කැපවීමකින් කටයුතු කරනවාද යන්න මතභේදාත්මකය. උදාහරණයක් වශයෙන් වන ආවරණය ඉහළ නැංවීම පිළිබඳව සලකා බලමු. හුස්ම දෙන තුරුජාතික රුක් රෝපණ වැඩසටහනේ දෙවැනි අධියර ක්‍රියාත්මක කිරීම සම්බන්ද වැඩසටහනකදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසා තිබුණේ  සෞභාග්‍යයේ දැක්මරාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයෙන් 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ වන ගහනය සියයට තිහ දක්වා ඉහළ නංවන බවය. අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කරන්නේ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාසය පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශවකරුවෙකු වශයෙන් ශ්‍රී ලංකාව 2030 වසර වන විට මෙරට වනගහනය 32% දක්වා ඉහළ දැමීමට අවස්ථා දෙකකදී ලෝකයා හමුවේ පොරොන්දුදී ඇති පසුබිමකය. ශ්‍රී ලංකාවේ සමස්ත වන ආවරණය පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසන් වරට ඇස්තමේන්තුවක් සකස් කර ඇත්තේ 2010 වසරේය. එහි සඳහන් වන ආකාරයට මෙරට වන ආවරණය දිවයිනේ මුළු බිම් ප්‍රමාණයෙන් 29.7% කි. නමුත් එම වනාන්තර ප්‍රමාණය 2021 වනවිටත් අපේ රටේ ඉතිරිවී ඇතැයි සිතීම මුලාවක් පමණි. පස්චාත් යුධ සමයේ, ඉකුත් මහින්ද රාජපක්ෂ පාලන යුගයේ මෙරට වනාන්තර වලට අත්වූ ඉරණම අමුතුවෙන් පැහැදිළි කිරීමට අවශ්‍ය වන්නේ නැත. බොහෝ සංවාද වලට බඳුන්වූ විල්පත්තුවට උතුරින් සිදුවූ වනාන්තර විනාශයේ සිට දිවයින පුරාම වනාන්තර එම අවදියේ විනාශ කෙරිණි. ඉන් පසු යහපාලන ආණ්ඩු සමයේද අඩු වැඩි වශයෙන් වන විනාශයන් සිදුවූ අතර වර්තමාන ආණ්ඩුව බලයට පැමිණීමත් සමග ගනු ලැබූ ඇතැම් අත්තනෝමතික, අසාධාරණ සහ අවිද්‍යාත්මක තීන්දු තීරණ ශ්‍රී ලංකාවේ වනාන්තර සහ ස්වාභවික සම්පත් වලට කිසි සේත්ම ශුභ නොවූ බව රහසක් නොවේ. එම විනාශයන් පිළිබඳව පසුගිය කාලයේ සමාජයේ ඇතිවූ කතාබහ දැන් දැන් යටපත්වී තිබුණත් වන විනාශය නැවතී ඇතැයි එයින් හැඟවෙන්නේ නැති බව අප සියලු දෙනාම තරයේ සිහි තබාගත යුතුය. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිදුවන වන විනාශයන් පිළිබඳව මාධ්‍ය වාර්තා තවමත් නොනවත්වාම පලවෙන අතර හොර රහසේ සිදුවන වන විනාශයන් සංඛ්‍යාවත් සුළු පටු නැති බව කිව මනාය. ඒ අනුව වනාන්තර ප්‍රතිශතය ඉහළ නැංවීමේ ආණ්ඩුවේ පොරොන්දුව මේ වන විටත් ඇත්තේ කඩවුණු පොරොන්දුවක් වශයෙන් බව කණගාටුවෙන් නමුත් කිව යුතුය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩු දේශගුණ විපර්යාසය අවමකිරීම සහ අනුහුරුවීම සම්බන්දයෙන් මෙවැනි නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කිරීමට ප්‍රධාන හේතුවක් ලෙස මෙරට ජනතාවද ඒ පිළිබඳව ප්‍රමාණවත් උනන්දුවක් නොදැක්වීම දැක්විය හැකිය. ශ්‍රී ලංකාවේ විශේෂයෙන් සිංහල සහ දමිළ බසින් සන්නිවේදන කරන සාතිශය බහුතරයක් ජනතාවගේ දේශගුණ සාක්ෂරතාවය ඇත්තේ ඉතා පහළ අගයක බව නොඅනුමානය. ඇතැම් ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය පවා දේශගුණ විපර්යාසයයන වදන වෙනුවට කාලගුණ විපර්යාසයයන වදන භාවිතා කරනු ලියුම්කරු ඕනෑ තරම් අසා දැක තිබේ. නමුත් එකීකාලගුණ විපර්යාසය යන වදනට කිසිඳු අරුතක් ඇත්තේ නැත. සුලභව ආන්තික කාලගුණික විපත්, නොඑසේනම් දැඩි නියං සහ අකල් මහා වැසි වලින් බැටකන මෙරට ගොවි ජනතාව එය දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑමක් බව දන්නේ නැත. නිතර නිතර හමන සුළිසුලං වලින් තම ජීවිත සහ ධීවර ආම්පන්න විනාශවන ධීවර ජනතාව එය දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑමක් බව දන්නේ නැත. තම ගම්මානය ආසන්න වනාන්තර අක්කර දහස් ගණනක් කොම්පැණි කරුවන් වෙත පැවරීමට විරුද්ධ නොවන ගැමි ජනතාව ඒ අල්ල පනල්ලේ පුංචි කැලෑ කට්ටියක් අල්ලාගෙන වැට ගසා ගන්නේ වන විනාශය මගින් උත්සන්න වන දේශගුණ විපර්යාසය නුදුරු අනාගතයේදීම තම සබ්බ සකල මනාවමව අහිමි කරන බව නොදැනය. ශ්‍රී ලංකාවේ දේශගුණ සාක්ෂරතාවය ඇත්තේ එවැනි අඩියකය.

නමුත් එකී ජනතාව තුල දේශගුණ විපර්යාසය කෙරෙහි ඇති දැනුම සහ ආකල්ප ඉහළ නැංවීමට අප කටයුතු කළහොත් ඔවුන් නොපමාව තමන්ට දේශගුණ විපර්යාසයේ අඳුරු බලපෑම් වලින් මිදීමට අවශ්‍ය හරිතාගාර වායු විමෝචන කප්පාදු ඉල්ලා අරගල කරනු ඇත. තමන්ගේ ජීවන රටාවන් දේශගුණ විපර්යාසයේ බලපෑම් වලින් ආරක්ෂා කිරීමට අවශ්‍ය අනුහුරුවීම් ඉල්ලා හඬ නගනු ඇත. ජනතාව සෘජුව අත්විඳිමින් සිටින නමුත් ඇසට නොපෙනෙන මේ මහා විපත ඔවුන්ගේ ඇස් මානයෙන් සඟවා තැබීමට, ජනතාව දැනුමින් අන්ධ කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින්නේ එබැවිණි. එය ශ්‍රී ලංකාවට පමණක් නොව, එවැනි සදාකාලිකව සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවලට පොදු ධර්මතාවයක් ලෙස ලියුම්කරු සිතමි. ඒ කඩතුරාවන් ඉවත්කර දමා විවෘත දෑසින් මේ ගෝලීය අභියෝගය දකින්නටත්, ඊට එරෙහිව කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීමටත් ජනතාව දක්වන උනන්දුව මේ මිහිතලයේ ජීවී ප්‍රජාවන්ගේ පරමායුෂ තීරණය කරනු ඇති බව අවසන් වශයෙන් ලියා තබනු කැමැත්තෙමි.  

 සුපුන් ළහිරු ප්‍රකාශ්

2020 වසරේ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස ඉගෙනුම් ශූර

Saturday, May 29, 2021

 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පර්යේෂණ හා පුහුණු ආයතනය මගින් ලොව පුරා රටවල් 87 ක තරගකරුවන් සියගනනක් අතරින් තෝරා ගැනුණු 2020 UN CC: Learn Champions/ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස ඉගෙනුම් ශූරයන් දසදෙනා අතරට මා තේරී පත්වී ඇත. ඒ සඳහා ආසියානු රටකින් තේරී පත්වූ එකම තරගකරුවාද මා පමණයි ...

#UNCCLearnChampion

සම්පූර්ණ කතාව මෙතැනින්: https://bit.ly/3hO4vgN

Saturday, December 22, 2018


ශ්‍රී ලංකාව ගෝලීය දේශගුණ අවධානම් දර්ශකයේ දෙවැනි තැනට,
අප තවත් බලා සිටිමුද !


දේශගුණ විපර්යාස හේතුවෙන් උත්සන්න වන ආන්තික කළගුණ විපත් මගින් වැඩිම අවධානමට ලක්වූ රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ පවතින බව Germanwatch ආයතනය විසින් ඊයේ (04) දින එළිදක්වන ලද ‘ගෝලීය දේශගුණ අවධානම් දර්ශකය - 2019’ (GLOBAL CLIMATE RISK INDEX 2019) වාර්තාව මගින් හෙළිදරව්කර ඇත. 1998 වසරේ සිට 2017 වසර දක්වා සිදුවූ ලොව විවිධ රටවලට බලපෑ සුළිසුලං, ජලගැලීම් වැනි ආන්තික දේශගුණ විපත් මගින් සිදුවී ඇති බලපෑම අධ්‍යනය කිරීම මගින් මෙම දර්ශකය සකස්කර ඇත. පසුගිය වසරේ ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ සිව් වැනි ස්ථානයේ පසුවූ අතර මේ වනවිට එයින් තවදුරටත් ඉදිරියට පැමිණ ලොව වැඩිම දේශගුණ අවධානමක් සහිත රටවල් අතර දෙවැනි තැනට ශ්‍රී ලංකාව පත්ව ඇත. නමුත් එසේ තිබියදී රටක් වශයෙන් තවමත් අප දේශගුණ විපර්යාසයේ හා එමගින් උත්සන්න වන ආන්තික කාලගුණ විපත්වල අහිතකර බලපෑමට මුහුණදීමට අවශ්‍ය නිසි ප්‍රතිපත්තිමය යොමුවක් හෝ ජාතික මට්ටමේ වැඩ පිළිවෙලක් අප රටට නොමැති බව අප අවධාරණය කරමු. මේ හේතුවෙන් දිනෙන් දිනම සංඛ්‍යාත්මකව ඉහළ යන, එසේම එන්න එන්නම ප්‍රචණ්ඩ වන කාලගුණ විපත් හමුවේ විපිළිසරවීම හැර අපට ජාතියක් ලෙස සිදුකිරීමට වෙනත් කිසිවක් ඉතිරිව නොපැවතීම කණගාටුවට කරුණකි.

2017 වසරේ මැයි මාසයේ ශ්‍රී ලංකාවට ලැබුණු අධික මෝසම් වර්ෂාව හේතුවෙන් සිදුවූ ජලගැලීම් හා නාය යාම් හේතුවෙන් 60 000 ක් පමණ පිරිසක් අවතැන්වූ අතර ජීවිත රැසක් රටට අහිමි විය. එමගින් දිස්ත්‍රික්ක දොළහකට බලපෑම් එල්ලවූ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් 20 000 ක පමණ ජනතාවක් අවතැන් විය. එසේම එමගින් රටේ ආර්ථිකයට සිදුවූ පාඩුවද සුළුපටු නැත. දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට වැඩි වශයෙන් මුහුණ දෙන නිවර්තන කලාපයේ පිහිටීම හේතුවෙන් ශ්‍රී ලංකාවට දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට නිරන්තරයෙන් මුහුණදීමට සිදුවේ. නමුත් එම බලපෑම් අවමකර ගැනීමට හා ඊට අනුහුරුවීමට රටක් ලෙස අප කටයුතුකර ඇත්තේ ඉතා අල්ප වශයෙන් බව කිවයුතුය. රටේ සංවර්ධනය තිරසාර ආකාරයෙන් පවත්වාගෙන යාමට නම් අප ශ්‍රී ලංකාවේ සියළුම සංවර්ධන අංශයන් දේශගුණ විපර්යාසයට අනුගත කලයුතුය. නමුත් මේ දක්වා එසේ සිදුකර ඇති බවක් පෙනෙන්නට නැත. එමගින් සිදුවන්නේ දේශගුණ විපර්යාසයේ බලපෑම් එල්ලවන සෑම අවස්ථාවකම අපට කරකියාගත හැකි දෙයක් නොමැති වීමය.

දේශගුණ විපර්යාස හේතුවෙන් එල්ලවන බලපෑම් නිසා මෙම මිහිතලය මත ජීවත්වීම  1970 දශකයට වඩා පස් ගුණයකින් අවධානම් සහගතවී ඇති බව වාර්තාවක් එළි දක්වමින් ලෝක කාලගුණ සංවිධානයද මීට පෙර ප්‍රකාශ කර තිබුණි. 1970 දශකයේ ගංවතුර, නියඟ, කුණාටු හා උණුසුම් වායු ධාරා වැනි විපත් 743ක් මගින් පෘථිවියේ ජනතාවට බලපෑම් එල්ලවී ඇති අතර විසිඑක්වැනි සියවසේ මුල් දශකය වනවිට එම විනාශයන් ප්‍රමාණය 3496ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම සංවිධානය අනාවරණය කල අතර ඒ සඳහා දේශගුණ විපර්යාසය සෘජුව වග කිව යුතු බව ඔවුන් තහවුරු කර තිබේ.

ගංවතුර, නියං, නාය යාම්, කුණාටු වැනි විපත් වලින් ශ්‍රී ලංකාවේ අපටද පසුගිය කෙටි කාල සීමාව තුලදී පවා නිරන්තරයෙන් අමිහිරි අත්දැකීම් ලැබීමට සිදුවූ බව නොරහසකි. මෙවැනි විපත් සාමාන්‍ය ව්‍යවහාරයේදී අප හඳුන්වන්නේ ස්වභාවික විපත් යනුවෙනි.  නමුත් දේශගුණ විපර්යාසයන්  උත්සන්න කිරීමට වගකිව යුත්තේ මිනිසුන් වන අපම බැවින්ද දිනෙන් දින ස්වභාවික විපත් සිදුවීම් ඉහළ යාමට දේශගුණ විපර්යාසය සෘජුව බලපා ඇති බැවින්ද තව දුරටත් එකී විපත් ස්වභාවික විපත් ලෙස හැඳින්වීමේ කිසිඳු යුක්ති සහගත බවක් නොමැත.

දේශගුණ විපර්යාසය හේතුවෙන් පරිසර උෂ්ණත්වය ඉහළ යාම නිසා වායු ගෝලයට වාෂ්පීකරණය වන ජලය ප්‍රමාණය ඉහළ යන අතර එමගින් බරපතල කුණාටු හා සුළිසුලං ඇතිවීම සිදුවේ. වායුගෝලයේ හා සාගර මතුපිට උෂ්ණත්වය ඉහළ යාම මගින් සුළං වේගය වැඩිවීම නිවර්තන සුළි කුණාටු වල විනාශකාරී බලය ඉහළ යාමට හේතුවී ඇති බවට මේ වන විට සාක්ෂි ලැබී තිබේ. සුළිසුලං හා චණ්ඩමාරුත මගින් ලොව පුරා විවිධ රටවලට විශාල ආර්ථික බලපෑම් එල්ලකර ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයට පවා බරපතලම ආර්ථික බලපෑම් එල්ලකරන ලද ස්වභාවික විපත් පහම සුළිසුලං බව කිවහොත් බොහෝ දෙනෙකු විමතියට පත්වීමටද පිළිවන. ඇන්ඩෘව් (1992), කැත්රිනා (2005) හා සැන්ඩි (2012) වැනි සුළිසුලං ඒ අතර වේ. එමගින් සිදුවූ ආපදාව ඇමරිකන් ඩොලර් බිලියන 294ක් බව ගණන් බලා ඇත. පරිසර උෂ්ණත්වය ඉහළ යාම නියං ඇතිවීමට ද හේතුවී ඇති අතර මෑත ඉතිහාසයේ බලපෑ බිහිසුණුම නියං තත්වය හේතුවෙන් 1970 -1980 කාල සීමාව තුල නැගෙනහිර අප්‍රිකාවේ ලක්ෂ හයක ජනතාවක් මරණයට පත්විය. දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් මුහුදු මට්ටම ඉහළ යාම මගින් සාමාන්‍යයෙන් රළ පහරේ පලපෑමට නතු නොවන ප්‍රදේශ පවා රළ පහරට හසුවන අතර මුහුදු රළ වල ඛාදන හැකියාව වැඩි වීම නිසා වෙරළබඩ ප්‍රදේශ වලට දැඩි බලපෑම් එල්ලවේ. වෙරළාසන්න ප්‍රදේශ වලට එල්ලවූ ස්වභාවික විපත් වලින් 2010 වසර තුලදී පමණක් නගර 136කට ඇමරිකන් ඩොලර් බිලියන 6ක අලාභයක් සිදුවී ඇත.

මේ ආකාරයෙන් ලොව පුරා මෙන්ම අපේ රටේද ඇතිවන බරපතල ව්‍යසනයන් හමුවේ ජනතාව අහසට දෑත් විහිදා සොබාදහමට ශාප කිරීම මින් ඉදිරියට පලක් වන්නේ නැති බව අප තරයේ සිහි තබා ගත යුතුය. ඒ මන්ද යත් පෘථිවි ගෝලයේ දේශගුණ රටාව වෙනස් කර, දේශගුණ විපර්යාසය උත්සන්න කිරීමට වැරදි කරුවෝ අපම වන බැවිනි. එමගින් ඇතිවන විපත් අප විසින්ම කැඳවා ගත් විපත් විනා සොබාදහමේ සැහැසිකම් නොවන බැවිනි. දේශගුණ විපර්යාස හේතුවෙන් ස්වභාවික විපත් ඇතිවීමේ සුලභතාවය වැඩිවී ඇතිවා සේම ඒවායේ විනාශකාරීත්වයද දිනෙන් දිනම ඉහළ යමින් පවතින බව පර්යේෂණ මගින් අනාවරණය කර තිබේ. එමගින් මිනිසා ඇතුළු මුළුමහත් පෘථිවි ගෝලයටම එල්ලවන  බලපෑම තව තවත් තීව්‍ර වනු මිස අඩුවීමක් නම් සිදු නොවේ.

දේශගුණ විපර්යාස මගින් උත්සන්න වන ස්වභාවික විපත් හේතුවෙන් වර්ෂ 2020වන විට ලොව පුරා බිලියන 1.3ක ජනකායක් හා ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 158ක වත්කම් අනතුරේ වැටෙනු ඇති බවට ලෝක බැංකුවද අනතුරු අඟවා ඇත. ඒ අනුව පස් ගුණයක් අවධානම දරාගනිමින් ඉදිරියටත් පෘථිවි ගෝලයේ ජීවත්වීමට අපට අවශ්‍යනම් අප විසින් වහ වහා දේශගුණ විපර්යාසයන් පිටු දැකීමට කටයුතු කල යුතු අතරම ඒ සඳහා අනුහුරුවීමද අත්‍යාවශ්‍යය. විපතක් සිදුවූ විට පමණක් කරළියට පැමිණෙන ආපදා කළමනාකරණය වෙනුවට නිරන්තර අවදියෙන් සිටින තුන්කල් දැක්මක් සහිත ආපදා පෙර සූදානම් ක්‍රමවේදයක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවයකි. එසේම නාය යම් සංවේදී ප්‍රදේශ, ගංගා නිම්න හා පහත්බිම් වල භූමි පරිභෝජන රටාවද විපත් ඇතිවීම වලක්වන හෝ අවම කරන ආකාරයේ වීමද වැදගත්ය. කාලයාගේ ඇවෑමෙන් ගංවතුර බැස ගිය විට සියල්ල මතකයෙන් මැකී යාමට ඉඩ නොදී මේ පිළිබඳව ගැඹුරින් කල්පනා කිරීම හා ක්‍රියා කිරීම ඔබේද මගේද අනාගතය තීරණය කරනු ඇත. ‘ගෝලීය දේශගුණ අවධානම් දර්ශකය - 2019’ මගින්ද නැවත නැවතත් අවධාරණය කරන්නේ එයය.

ඒ සඳහා රටක් වශයෙන් අප සියළු දෙනාගේ කැපවීම අත්‍යාවශ්‍ය ය. පාලකයින් හා ප්‍රතිපත්ති සම්පාදකයින් රටේ අනාගතය හා සංවර්ධනයේ දිශානතිය තීරණය කිරීමේදී මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතුය. කාර්මික, කෘෂිකර්ම, සෞඛ්‍ය, සමාජ සුභසාධන හා ධීවර ආදී සියළු ක්ෂේත්‍ර දේශගුණ විපර්යාසයේ ගොදුරු බවට පත් නොවීමට අවශ්‍ය අනුහුරුවීම (Adaptation) හා ප්‍රතිසංස්කරණ අවශ්‍යය. ඒ සඳහා පවතින ආණ්ඩු අසමත් වේ නම් තමන්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් ඒ සඳහා අරගල කිරීම ජනතාවගේ යුතුකමය. එසේ නොකළහොත් දේශගුණ අනාථයින් වශයෙන් අප සියළු දෙනාටම මේ රට හැර යාමට සිදුවන දිනය වැඩි ඈතක නොවේ.

මෙම සම්පුර්ණ වාර්තාව පහත දිගුව මගින් ලබාගතහැක: https://germanwatch.org/sites/germanwatch.org/files/Global%20Climate%20Risk%20Index%202019_2.pdf 

Monday, December 5, 2016


හිතවත් පාඨකය,

දේශගුණ අනාථයන් පිළිබඳ ප්‍රශ්නය ලොව බරපතලම මානුෂීය ඛේදවාචකය වනු ඇතිද?
ඒ පිළිබඳව විමසුම පහත link මගින් කියවන්න.

https://www.academia.edu/30102745/Will_Climate_change_refugees_become_the_world_largest_humanitarian_crisis

Sunday, October 30, 2016

දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව

දේශගුණ විපර්යාස ඇතිවීම පාලනය කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අවමකිරීමට ගෝලීය එකඟතාවයක් ඇතිකර ගැණීමට නොහැකිව ලෝක නායකයන් බරපතල කඹ ඇදිල්ලක යෙදී සිටි වකවානුවක ‘දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව’ {Intended Nationally Determined Contributions (INDCs)} පිළිබඳ අදහස මුලින්ම කරලියට පැමිණියේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදී පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශව කරුවන්ගේ 17 වැනි සැසි වාරයේදී පත්කර ගන්නා ලද ක්‍රියාකාරී කණ්ඩායමක් තුලිනි. පසුව 2013 වසරේ පෝලන්තයේ වර්සොව් නුවරදී පැවති පාර්ශව කරුවන්ගේ 19 වැනි සැසි වාරයේදී ලෝක නායකයන්ට ආරාධනා කෙරුනේ තමන්ට අභිමත පරිදි එක් එක් රටවලට තමන්ගේම ‘දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව’ සකස්කර සම්මුතියට ඉදිරිපත් කරන ලෙසය. ඒ අනුව අනුන්ට ඇඟිල්ල දික්කරමින් හා වරද පටවමින් කාලය කා දැමු අතීතයට තිත තබා දේශගුණ විපර්යාස පාලනය කිරීම සඳහා කැපවීමට මෙම ‘දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව’ ඉතා වැදගත් ආරම්භයක් ලබා දුනි.

එක් එක් රටවලට හරිතාගාර වායු විමෝචන අවමකිරීමට හැකි ක්ෂේත්‍ර හා ඊට අදාළ ප්‍රමාණයන් වෙනස් විය හැකිය. එසේම එක් එක් රටවල දේශගුණ විපර්යාසයේ බලපෑමට ලක්විය හැකි ක්ෂේත්‍ර හා අනුහුරුවීම් ප්‍රමුඛතා ද වෙනස්විය හැකිය. ඒ අනුව දේශගුණ විපර්යාස පාලනයට හා ඊට අනුහුරුවීමට තමන්ට හැකි ප්‍රමාණය තමන් විසින්ම තීරණය කර දේශගුණ විපර්යාසයට එරෙහි ගෝලීය සටනට තමන්ට රටක් වශයෙන් ලබාදිය හැකි දායකත්වය කුමක්ද යන්න දැක්වීම ‘දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව’ මගින් අපේක්ෂා කෙරේ.

දේශගුණ අභියෝගයට මුහුණදීමේ ගෝලීය සටනට අනුග්‍රහය දක්වමින් අප රට මගින් නිකුත්කරන හරිතාගාර වායු විමෝචන අවම කිරීමට හා දේශගුණ විපර්යාසයට අනුහුරුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අප රටද මෙම ‘දායකත්ව’ සකස් කර ඇත. එමෙන්ම පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමත කිරීමත් සමග අප රටද ඒවා ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තරය හමුවේ වගකීමෙන් බැඳී සිටින අතර 2020 වසරේ සිට ඒවා ක්‍රියාත්මක කල යුතුව ඇත. එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය සමග කටයුතු කිරීම සඳහා ජාතික මට්ටමින් වගකීම පැවරී ඇති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකාවට අදාලව මෙම ‘දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව’ සකස්කර භාරදී ඇති අතර ඒවා ක්‍රියාත්මක කරවීම ආණ්ඩුවේ වගකීමය.

දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව මගින් හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ගනු ලබන තීන්දු තීරණ වලදී හා අනුහුරු ක්‍රියාමාර්ග වලදී එහි පලපෑම මෙරට පුරවැසියන්ට විඳින්නට සිදුවන අතර දේශගුණ විපර්යාස පාලනය වීම මගින් ලැබෙන ප්‍රතිලාභද ඔවුනට පෙරලා ලැබෙයි. නමුත් ඒ පිළිබඳව ශ්‍රී ලාංකීය ජන සමාජය තුල ගැඹුරු සංවාදයක් ඇතිවී නොතිබීම කණගාටුවට කරුණකි. එබැවින් ඒ පිළිබඳව හාරා අවුස්සා බැලීම කාලෝචිත යැයි හැඟෙයි.

අප රට විසින් දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව, දේශගුණ විපර්යාසය අවමකිරීම (Mitigation), අනුහුරුවීම (Adaptation), අලාභ හා හානි (Loss and Damage) සහ ක්‍රියාත්මක කිරීමේ මාර්ග යන ප්‍රධාන කොටස් හතරක් යටතේ දක්වා ඇත. දේශගුණ විපර්යාස අවමකිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අවමකල යුතුය. ඒ සඳහා මෙරට තුල යෝජනාකර ඇති ක්ෂේත්‍ර වන්නේ බලශක්ති, ප්‍රවාහන, කර්මාන්ත, ඝන අපද්‍රව්‍ය හා වනාන්තර යන ක්ෂේත්‍රයි. එමගින් ජනනය වන කාබන් ඩයොක්සයිඩ්, මීතේන් හා නියිට්‍රස් ඔක්සයිඩ් යන හරිතාගාර වායු විමෝචන අවමකිරීම කෙරෙහි අවධානය යොමුකර ඇත.

එසේම අනුහුරුවීම යටතේ දේශගුණ විපර්යාසය හමුවේ දැඩි ලෙස අවධානමට ලක්වන ප්‍රජාවන් හා ක්ෂේත්‍ර හඳුනාගෙන ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමට අවධානය යොමු කෙරේ. ඒ යටතේ හඳුනාගෙන ඇති අවධානම් ක්ෂේත්‍ර වන්නේ මහජන සෞඛ්‍ය, ආහාර සුරක්ෂිතතාව (කෘෂිකර්ම, සත්ව පාලන හා ධීවර ක්ෂේත්‍ර ඇතුලත්ව), ජල හා වාරිමාර්ග, වෙරළ හා සාගර, ජෛවවිවිධත්ව, නාගරික යටිතල පහසුකම් හා ජනාවාස සහ සංචාරක යන ක්ෂේත්‍රයි.

ආන්තික දේශගුණ බලපෑම් මගින් ඇතිවන අලාභ හා හානි පිළිබඳව ක්‍රියාකිරීම සඳහා ශ්‍රී ලංකාව වර්සොව් ජාත්‍යන්තර යාන්ත්‍රණය අනුව ගිය දේශීය යාන්ත්‍රණයක් සකසා ගැනීමට අපේක්ෂා කරන අතර මේ සියලු දෑ ක්‍රියාත්මක කිරීමේ මාර්ග සකසා ගැනීමේදී අවශ්‍ය වන මුදල්, තාක්ෂනය හා ධාරිතා වර්ධනය සඳහා දේශීය හා විදේශීය සහාය අපේක්ෂා කරයි.


රටේ පුරවැසියන් වශයෙන් අප මේ පිළිබඳව දැනුවත්වී සිටීම හා උනන්දුවීම අත්‍යාවශ්‍ය අතර දේශගුණ විපර්යාසයයේ බලපෑමට මේ වනවිටත් මුහුණදී සිටින, අනාගතයද අවධානමේ පවතින ජනතාවක් වශයෙන් රටේ පාලකයන් දේශගුණ විපර්යාස පාලනයට හා ඊට අනුහුරුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේද යන්න සම්බන්ධයෙන් අවදියෙන් පසුවිය යුතුය. ඒ සඳහා ඇති හොඳම මිනුම් දණ්ඩ වනුයේ ‘දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව’ යි.

Friday, October 21, 2016

නීල හරිත යුගයක්

මෙම සියවසේ සමස්ථ පෘතුවි වාසීන්ම මුහුණදී සිටින මුලික සමාජාර්ථික අභියෝගය දේශගුණ විපර්යාසය බව අවිවාදිතය. ඉහළ යන මිනිස් ජනගහනයේ සංකීර්ණ අවශ්‍යතා සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ දී වායුගෝලයට නිකුත්වන හරිතාගාර වායු ප්‍රමාණය අවමකිරීමට හැර එම අභියෝගය ජය ගැනීමට අන් විකල්පයක් නොමැති බව පැහැදිළිය. ඒ සඳහා ලෝකයේ විවිධ රටවල් විවිධ වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කරන අතර අපේ රට යෝජනා කරන වැඩපිළිවෙල වන්නේ ‘නීල හරිත යුගයක්’ සංවර්ධන වැඩසටහනයි.

ඒ අනුව ‘නීල හරිත යුගයක්’ සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව විවිධ මති මතාන්තර හා සාකච්ඡා ඇතිවෙමින් පවතී. මෙම වැඩසටහනට උක්ත නම යොදා ඇත්තේ ගැඹුරු තේරුමක් ඇතිව ය. නමුත් බැලූ බැල්මට මෙහි නීල යන්නෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නියෝජනය කරන නිදහස් පක්ෂ පාර්ශවයත් හරිත යන්නෙන් එක්සත් ජාතික පක්ෂයත් නියෝජනය වනු ඇතැයි කෙනෙකුට පෙනෙන්නට පිළිවන. ඒ මන්ද යත් ඊට එහා ගිය ගැඹුරක් තවමත් රටේ ජනතාවට අත්විඳින්නට නොහැකිවී ඇති බැවිණි. වර්තමාන මෛත්‍රී පාලනය ආරම්භවීමත් සමග රටේ පරිසර සංරක්ෂණය යහපත් දිශානතියක් වෙත යොමුවනු ඇතැයි සියළු දෙනා අපේක්ෂා සහගතව බලා සිටියහ. එය ක්‍රියාවෙන් යථාර්තයක් කිරීම කෙසේ වෙතත් පරිසර සංරක්ෂණය පිළිබඳව වේදිකා මත හඬ නැගෙන වහසි බස් වල නම් මේ දක්වාම අඩුවක් පෙනෙන්නට නැත. පරිසර සංරක්ෂණයට අමතරව රටේ සංවර්ධන ඉලක්ක පරිසර හිතකාමී හා තිරසාර අයුරින් ළඟාකර ගැනීම සඳහා ආණ්ඩුව මගින් ‘නීල හරිත යුගයක්’ සංවර්ධන වැඩසටහන ආරම්භ කරන බව පවසන්නේ එවැනි පසුබිමකය.

ලෝක ගෝලයේ ශ්‍රී ලංකාවේ පිහිටීම හා දිවයිනක් වීම යන කරුණු නිසා අප රටේ සංවර්ධනය කිරීම සඳහා නීල සංවර්ධන උපායමාර්ග යොදා ගැනීමට හැකියාව පවතී. වර්ග කිලෝමීටර් 532, 619ක විශාලත්වයකින් යුත් සාගර සම්පතක් භුක්ති විඳීමේ අයිතිය හිමිව ඇති අප රටට එම හිමිකම වර්ග කිලෝමීටර් 1, 714, 687ක් දක්වා පුළුල් කරගැනීමේ අවකාශ මේ වනවිට සැලසී ඇත. එසේම කිලෝමීටර් 1600 ක ආකර්ශනීය හා සම්පත් බහුල මුහුදු වෙරළක්ද අප රටට හිමිය. එමගින් ජනනය වන මසුන්, අනෙකුත් සමුද්‍රීය ජීව සම්පත්, සමුද්‍රීය ඛනිජ සම්පත්, සාගර බලශක්තිය හා සාගර සම්පත් ඇසුරෙන් නිපදවෙන ඖෂධ ආදීය අපේ රට සුඛිත මුදිත කිරීම සඳහා යොදාගත හැකිය. එසේම වෙරළ හා සමුද්‍රීය සම්පත් ඇසුරෙන් සංචාරක කර්මාන්තය, ක්‍රීඩා ප්‍රචලිත කිරීම, සාගර විද්‍යා ගවේෂණ පහසුකම් සැපයීම, වරාය, නාවුක පහසුකම් හා ආරක්ෂාව සැපයීම වැනි කටයුතු මගින්ද අප රටට සැළකියයුතු විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකිය. ඒ අනුව එම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය මගින් රට සංවර්ධනය කිරීමට වර්තමාන ආණ්ඩුවේ ‘නීල හරිත යුගයක්’ යටතේ අපේක්ෂා කෙරේ.

එසේම හරිත සංවර්ධන යටතේ කාර්මික නිෂ්පාදන, කෘෂිකර්මය, බලශක්තිය, ඉදිකිරීම් කර්මාන්තය හා ගමනාගමනය වැනි විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්ෂේත්‍ර හරිතකරණය කිරීමට ‘නීල හරිත යුගයක්’ මගින් යෝජනා කෙරේ. තවද හරිත නගර හා ගම්මාන ඇතිකිරීමටද එමගින් යෝජනා කෙරේ.

දේශගුණ විපර්යාසයන් අවමකිරීම සඳහා මෙම ‘නීල හරිත යුගයක්’ මගින් යෝජිත සංවර්ධන උපායමාර්ග ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරයි. එසේම පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමතකල රටක් වශයෙන් අප දේශගුණ විපර්යාස අවමකිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට බැඳී සිටී. නමුත් යම්කිසි කටයුත්තක් හරිත ලෙස නම්කළ පමණින් හෝ ආයතනයක් හෝ ස්ථානයක් කොළ පැහැයෙන් වර්ණ ගැන්වූ පමණින් කිසිවක් හරිතකරණය නොවන බව අප තරයේ සිහිතබා ගත යුතුය. අප ඉහත කී පරිදි ‘නීල හරිත යුගයක්’ තුල හවුල් ආණ්ඩුවේ පක්ෂ දෙකේ වර්ණයන් නියෝජනය වීම හැර ඊට වැඩි යමක් සිදුනොවන බව කෙනෙකුට හැඟෙන්නට ඉඩ ඇත්තේ එබැවිනි.

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ විවිධ පාර්ශව පරිසර සංරක්ෂණය හා තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් කොතරම් කැපවන බව පැවසුවද සංදර්ශන කාමයෙන් කොතරම් ඒ පිළිබඳව රැඟුම් රැඟුවද, දේශපාලන වේදිකාවෙන් පහළ බැස සැබෑ මහ පොළොවේ එම උපාය මාර්ග රෝපණය කිරීමට දේශපාලන අධිකාරිය හෝ නිලධාරී පැලැන්තිය දක්වන උනන්දුව ගැටළු සහගතය. එක රැයින් සිහින එළිවන්නේ නැති බව පැහැදිළිය. නමුත් සිහින එළිකර ගැනීම සඳහා දැනෙන කැපවීමක් තිබිය යුතු බවද සිහිපත් කළයුතුය.

Wednesday, October 19, 2016

දේශගුණ විපර්යාසය සහ කුණු

දේශගුණ විපර්යාසය සහ කුණු අතර ඇත්තේ කෙබඳු සම්බන්ධයක්දැයි කෙනෙකුට සිතෙන්නට පිළිවන. ඒ අතර බැලූ බැල්මට කිසිඳු සම්බන්ධයක් නැතැයි ද කෙනෙකුට සිතෙන්නට පිළිවන. නමුත් දේශගුණ විපර්යාසය හා කුණු කසළ අතර ඇත්තේ සංකීර්ණ හා දැඩි බැඳීමකි. පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමත කිරීමේ ප්‍රීතියෙන් උදම් අනමින් සිටින පාලකයන් ශ්‍රී ලංකාවේ කැලි කසළ ප්‍රශ්නය පිළිබඳව නොපමාව අවධානය යොමුකල යුත්තේ එබැවිණි.

ශ්‍රී ලංකාවේ කුණු ප්‍රශ්නය සැමදා එකතැන කුණුවන ප්‍රශ්නයක් බවට පත්ව ඇත. කුණු, කැලි කසළ නොඑසේනම් ඝන අපද්‍රවය යනු ඒවා ජනනවන ප්‍රදේශ පාලනය කරන පළාත් පාලන ආයතන වලට අයත් වත්කමක් ලෙස අන පනත් වල දක්වා ඇත. මෙරට පළාත් පාලන ආයතන මගින් රටේ දෛනිකව එක්රැස් වන කැලි කසළ වලින් සියයට 40% පමණ එක් රැස් කරනු ලබයි. නමුත් එම කසළ කිසිඳු ප්‍රයෝජනයක් නොගෙන මුඩු බිමකට හෝ වගුරු බිමකට ගොඩ ගැසීමට පළාත් පාලන ආයතන විසින් කටයුතු කිරීම නිසා කැලි කසළ, බරපතල සමාජාර්ථික විපත් රැසක් ඇතිකරන ගැටළුවක් බවට පත්ව ඇත. එක් අතකින් කුණු ජනතාවගේ සෞඛ්‍යට බරපතල තර්ජනයක් එල්ල කරන මාරකයකි. එසේම අවිධිමත් ආකාරයෙන් කසළ බැහැරලන ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන ජනතාවට එමගින් සමාජීය ප්‍රශ්න රැසකටද මුහුණදීමට සිදුව ඇත. උදාහරණයක් වශයෙන් මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිතව දිවි ගෙවන තරුණ තරුණියන්ට තම අවාහ විවාහ කටයුතු කරගැනීමටද කුණු කන්ද හරස්වී තිබීම දැක්විය හැකිය. එසේම අවිධිමත් ආකාරයෙන් කසළ බැහැරලීම නිසා ජනනය වන හරිතාගාර වායු ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතුවන බැවින් දේශගුණ විපර්යාසය උත්සන්න කිරීමටද අක්‍රමවත් කසළ බැහැරලීම හේතුවී තිබේ.

මෙතෙක් කලක් විශේෂයෙන් හිසරදයක් බවට පත්ව තිබුණේ කොළඹ මහා නගර සභාවේ කැලි කසළ වුවද ඉන් බැහැරව බදුල්ල මහා නගර සභාවේ කසළද මහත් ව්‍යසනයක් ඇතිකළ ආකාරය ඉකුත් සතියේ දක්නට ලැබුණි. බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය අසල ගොඩගසා ඇති නගර සභාවේ කුණු කන්ද ගිනි ගැනීම හේතුවෙන් නගරයේ දෛනික කටයුතු අඩාල වූ අතර පාසැල් දින කිහිපයකට වසා දමන ලදී. එහිදී නගර වැසියන්ගේ මුව තෙත රෙදි කඩකින් ආවරණය කර තම නිරුවත වසා ගැනීමට නගර සභාවේ පාලකයන් කටයුතු කලද සමස්ථ ගැටළුවට එයින් ලැබුණු විසඳුමක් නැත. ඒ අතර මීතොටමුල්ලේ වැසියන් ඉදිරියේ ශුද්ධවන්තයන් වීමේ අරමුණෙන් යහපාලන ආණ්ඩුව මීතොටමුල්ලේ කුණු කන්ද ජා ඇළ ප්‍රදේශයට ප්‍රතිස්ථාපනය කිරීමට විරුද්ධව එම ප්‍රදේශයේ ජනයා දෙවැනි වරටත් වීධි බැස්සේ ද ඉකුත් සතියේය. අපේ රටේ ඝන අපද්‍රවය කළමනාකරණයේ මහිමය කියා පෑමට එම උදාහරණ දෙක පමණක් ප්‍රමාණවත් වනු ඇතැයි සිතමු.

දැන් අප විග්‍රහ කරගත යුත්තේ ඝන අපද්‍රවය මගින් දේශගුණ විපර්යාසය උත්සන්න කරන්නේ කෙසේද යන්නය. ඝන අපද්‍රවය අවිධිමත් ආකාරයෙන් පරිසරයට මුදා හැරීම නිසා ඒවායේ සිදුවන ක්ෂුද්‍රජීව ක්‍රියාකාරීත්වයන් මගින් විවිධ වායු වර්ග වායුගෝලයට නිදහස්වේ. එසේම එවැනි කසළ ගොඩවල් ගිනි තැබීම නිසාද විවිධ වායු වායුගෝලයට නිදහස් වේ. කසළ කුණුවීමෙදී නිකුත්වන මීතේන් වායුව මෙන්ම ගිනි ගැනීම් වලදී නිකුත්වන කාබන්ඩයොක්සයිඩ් ඇතුළු අනෙකුත් හරිතාගාර වායු මගින්ද හිරුගේ සිට පොළොවට ලැබෙන කිරණ පෘතුවි වායු ගෝලයේ සිරකර තබා ගනී. එමගින් පෘථිවිය උණුසුම් වන අතර දේශගුණ විපර්යාසය උත්සන්නේ වේ.

සෑම දිරාපත්වන කසළ ටොන් එකකින්ම මීතේන් වායු ටොන් දශම හතරක් (0.4) නිදහස් වේ. එබැවින් දේශගුණ විපර්යාසය උත්සන්න වීමට බලපාන ප්‍රධානතම මිනිස් ක්‍රියාකාරකම් අතරට අවිධිමත් කසළ බැහැරලීම ද ගැනේ. දේශගුණ විපර්යාසයට එරෙහිව සිදුකරන අරගලයේදී විධිමත් ඝන අපද්‍රවය කළමනාකරණය ඉතා වැදගත් අවියක් වන්නේ එබැවිනි. එසේම කසළ ඉතා හොඳ ධනෝපායන මාර්ගයක් වශයෙන්ද යොදා ගත හැකි නමුත් අපේ රටේ බලධාරීන් ඒ පිළිබඳව ප්‍රමාණවත් උනන්දුවක් නොදැක්වීම කණගාටුවට කරුණකි.

ඝන අපද්‍රවය සම්බන්ධයෙන් වගකීම පැවරී ඇත්තේ පළාත් පාලන ආයතන වලට පමණකැයි අප මෙහිදී කිසි විටකත් මතයක් ඇතිකර ගත යුතු නොවේ. එදිනෙදා ජීවිතයේදී විශාල වශයෙන් කැලි කසළ ජනනය කරන අප අපම ද ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කල යුතුය. අපද්‍රවය ජනනය වීම පාලනය කිරීමේ ප්‍රධාන මූලධර්ම තුන පිළිබඳව අප මෙහිදී අවධානය යොමුකළ යුතුය. අපගේ අවශ්‍යතා සීමා කරගැනීම මගින් අපට අපද්‍රවය ජනනය වීම අවමකළ හැකිය. එසේම නැවත භාවිත කල හැකි දෑ නැවත භාවිතා කිරීම මගින්ද කසළ ජනනය වීම අවමවේ. තවද ප්‍රතිචක්‍රීකරණය කළහැකි කඩදාසි, වීදුරු, පොලිතින්, ප්ලාස්ටික් වැනි ද්‍රවය ප්‍රතිචක්‍රීකරණය කිරීම මගින් ද කසළ ප්‍රමාණය සීමා වේ. එසේම මීතේන් වායුව පරිසරයට නිදහස්වන දිරාපත්වන ඝන අපද්‍රවය මගින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම මගින් මීතේන් වායුව ජනනය වීම වලක්වා ගත හැකිය. තවද කසළ බිම් පිරවුම් වලින් නිකුත්වන මීතේන් වායුව පවා විධිමත් ආකාරයට එක් රැස්කර ඉන්දනයක් වශයෙන් භාවිතාකළ හැකි තාක්ෂනය ලෝකයේ බොහෝ රටවල් ඉතා සාර්ථක ආකාරයෙන් ක්‍රියාවේ යොදවමින් සිටී. අපද සිදුකළ යුත්තේ එම මග ගැනීමය. එමගින් අප සැමගේ සමාජාර්ථික තත්ත්වය ඉහළ නංවා ගැනීමට මෙන්ම දේශගුණ විපර්යාසයට වැට බැඳීමටද අපට හැකිවනු ඇත.