Sunday, September 25, 2016


ප්‍රති සරදියල් න්‍යාය

දේශගුණ විපර්යාසයේ ඇති ඉතා අසාධාරණම ප්‍රතිවිපාකය වන්නේ එමගින් ප්‍රති සරදියල් න්‍යායෙන් පීඩිතයන්ටම පහර එල්ල කිරීමය. එනම් පොහොසතුන්ගෙන් ධනය කොල්ලකා දුප්පතුන් අතර බෙදා දුන් සරදියල් න්‍යායට පටහැනිව යමින් දේශගුණ විපර්යාසය මගින් සිදුකරන්නේ දුප්පතුන් සුරාකෑමට ධනවතුන්ට අවසර ලබාදීමය. දේශගුණ විපර්යාසය මගින් අන්ත අසරණ තත්ත්වයට පත්වීමේ වැඩිම අවධානමක් සහිත රටවල් පිළිබඳව විමසා බැලීමෙන් මේ බව මොනවට පැහැදිළිවේ.

ඇමරිකාවේ නොටර් ඩෑම් විශ්වවිද්‍යාලය මගින් ලෝකයේ රටවල් 177ක ආර්ථිකයන් විශ්ලේෂණය කර සකස්කර ඇති ගෝලීය අනුහුරුතා දර්ශකයේ (global adaptation index) මගින් අනාවරණය කර ඇති ආකාරයට දේශගුණ විපර්යාසයට බිලිවීමේ වැඩිම අවධානමක් සහිත රට වන්නේ සෝමාලියාවයි. එරිත්‍රියාව හා සුඩානය එහි දෙවැනි හා තුන්වැනි ස්ථාන හිමිකරගෙන ඇති අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 96 වැනි ස්ථානයයි.මෙහිදී අදාල එක් එක් රටට කොතරම් හොඳින් දේශගුනික විපර්යාසයටඅනුහුරුවිය හැකිද, සූදානම කෙබඳුද, අනාරක්ෂිත තත්ත්ව මොනවාද, දේශගුණික විපර්යාස සඳහා ප්‍රතික්‍රියා කිරීමට ඇති හැකියාවකොපමණද වැනි අනු දර්ශක ගණනාවක් පිළිබඳව මෙන්ම ආහාර, ජලය, සෞඛ්‍ය, පරිසර පද්ධති, මානව වාසස්ථාන හා යටිතල පහසුකම් සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇත.

මේ අතරින් දේශගුණ විපර්යාසයේ අහිතකර බලපෑම් වලට බිලිවීමේ වැඩිම අවධානමට මුහුණදීමට සෝමාලියාවට සිදුවී ඇත්තේ දේශගුණ විපර්යාසය මගින් ඇතිකරන නියං සාය මගින් එරට ආහාර හා ජල සැපයුමට බරපතල තර්ජන එල්ලකිරීම හේතුවෙනි. එසේම විශ්ලේෂකයන් පවසන්නේ එරිත්‍රියාව මේ වන විටත් මුහුණදී සිටින ආහාර සැපයුම් ප්‍රශ්නය දේශගුණ විපර්යාසය හේතුවෙන් වඩාත් නරක අතට හැරීමට ඉඩ ඇති බවයි. තවද සුඩානය දැනට මුහුණදී සිටින පිරිසිඳු පානීය ජලය සපයාගැනීමේ ගැටළුව දේශගුණ විපර්යාසය හේතුවෙන්වඩාත් දරුණු අතට හැරීම හා එමගින් මහජන සෞඛ්‍යට එල්ලවන තර්ජනය වඩාත් බිහිසුණු විය හැකිය. දර්ශකයේ සිව්වන ස්ථානයේ සිටින බුරුන්ඩි රාජ්‍යය අවධානමට ලක්වී ඇත්තේ එරට සහල්, තිරිඟු සහ බඩ ඉරිඟු නිෂ්පාදනය මත තබා ඇති විශ්වාසයආන්තික කාලගුණික තත්ත්ව මගින් තර්ජනයට ලක්වී ඇති බැවිනි. තවද පැපුවා නිව් ගිනියාවේආහාර, ජලය හා යටිතල පහසුකම් තර්ජනය ලක්කරමින් මුහුදු මට්ටම ඉහල නැගීම ද, මොරිටානියාවේ නියඟය හා මුහුදු මට්ටම ඉහළ යාම මගින් ආහාර හා ජල සම්පාදන අංශ තර්ජනයටලක්වීම, මෙන්ම යටිතල පහසුකම් විනාශවීමද, යේමනයේ දැනට පවතින ජල සම්පාදන ගැටලු තව තවත් නරක අතට හැරීම සහ දුප්පත්කම වර්ධනය වීම ද, චැඩ් රාජ්‍යයේ කෘෂිකර්මයට නියඟය හා ගංවතුර යන විපත් දෙකෙන්ම ගැටලු ඇති වීමද, සොලමන් දූපත් ඉහළ යන මුහුදු මට්ටම මගින් සම්පුර්ණයෙන් මුහුදට බිලිවීමේ අවධානම ද,ගැම්බියාවේ කෘෂිකාර්මික අංශවලට කාලගුණික රටාවන් වෙනස් වීම මගින් දැඩි ලෙස පහර එල්ලවීමද නිසා එම රටවල් පිළිවෙලින් දේශගුණ විපර්යාසයට බිලිවීමේ වැඩිම අවධානමක් සහිත රටවල් 10 අතරට ඇතුලත්ව තිබේ.

හරිතාගාර වායු ටොන් ගණනින් වායුගෝලයට මුදාහැර දේශගුණ විපර්යාසය උත්සන්න කිරීමට දායකවන රටවලට අවම බලපෑම් ඇතිකරමින් දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑම් මගින් වැඩි වශයෙන් දුක් විඳීමට සිදුවී ඇත්තේ ඉතා සුළු හරිතාගාර වායු විමෝචනයක් සහිත රටවලට බව එමගින් පැහැදිළිවේ. මහා පරිමාණයෙන් හරිතාගාර වායු විමෝචනය කරමින් දේශගුණ විපර්යාසය උත්සන්න කිරීමට ප්‍රබල දායකත්වයක් සපයන්නේ බටහිර ධනවත් රටවල්ය.එම රටවලටද දේශගුණ විපර්යාසයේ අහිතකර බලපෑම් වලට මුහුණදීමට සිදුවුවද ඔවුන් තමන්ට හිමි ධන බලය මගින් එම බලපෑම් අවමකරගැනීමට හෝ ඒවාට මුහුණදීමට අවශ්‍ය ශක්තිය ගොඩනගා ගනිති. නමුත් දරිද්‍රතාවයේ පතුලේ කිමිදී සිටින බහුතර දුප්පත් රටවල් වලට දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට මුහුණදීමට අවශ්‍ය ආර්ථික ශක්තියක් නොමැති කමින් එම රටවලට කබලෙන් ලිපට වැටීම සිදුවී තිබීම සැබවින්ම ඛේදවාචකයකි. මෙහි ඇති ඉතා අවාසනාවන්තම මුහුණුවර වන්නේ දේශගුණ විපර්යාසයේ බලපෑම් මගින් පීඩිතයන් තවත් පීඩනයට ලක් කෙරෙන අතරම ධනවතුන් එමගින්ද වාසි ලබා ගැනීමට වෙර දැරීමයි.


දේශගුණ විපර්යාසය අවමකිරීමට හා ඊට  අනුහුරුවීමට අවශ්‍ය අරමුදල් සපයන දානපතීන්ගේ භූමිකාව මෙම ධනවත් රටවල් රඟදක්වමින් සිටියද එම රටවල් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මකවන බහුජාතික සමාගම් සිදුකරන්නේ පීඩිත රටවල ඇති සම්පත් කොල්ලකෑමය. දේශගුණ විපර්යාසයේ බලපෑම් හේතුවෙන් දිනෙන් දිනම දරිද්‍රතාවයේ පත්ලෙහිම ගිලෙමින් පවතින රටවලට සිදුවී ඇත්තේ එමගින් සුළු හෝ අස්වැසිල්ලක් ලබා ගැනීම සඳහා තම රටේ සම්පත් බහුජාතික සමාගම් වලට විකිණීමට.  දුප්පත් රටවල ඇති ජලය, ඛනිජ ද්‍රව්‍ය, වනාන්තර වැනි නොයෙකුත් ස්වභාවික සම්පත් මේ ආකාරයෙන් සූරාකෑමට බටහිර බහුජාතික සමාගම් සැදී පැහැදී සිටිති. තම රටවලට දේශගුණ විපර්යාසයේ බලපෑම් වලින් ගොඩ ඒමට ඇති සම්පත් මේ ආකාරයෙන් විජාතිකයන්ට විකිණීමට දුප්පත් රටවලට සිදුවී ඇත්තේ එමගින් නිමි භාණ්ඩ සකස්කිරීමට අවශ්‍ය තාක්ෂනය හා ආයෝජන එම රටවලට නොමැති බැවිනි. බටහිර බලවතුන් එමගින් බොර දියේ  මාළු බාන්නේ කිසිඳු හිරිකිතයක් නැතිවය. අවසානයේ එම රටවලට සිදුවන්නේ වත්ත බද්දට දී ඇස්සට දත නියවීමටය. දේශගුණ විපර්යාසයේ අවධානම හිස දරා සංවර්ධන සිහින පසුපස උමතුවෙන් ලුහුබඳින සදාතනිකවම සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස අප රටේ පාලකයන්ද මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවීම වටී.

Tuesday, September 13, 2016


දේශගුණ ක්‍රියාකාරී මාවත

දේශගුණ විපර්යාසයට එරෙහි අරගලයේ තීරණාත්මක සංදිස්ථානයන් දෙකක් පසුගිය දිනවල ජාත්‍යන්තර හා ජාතික මට්ටමින් සනිටුහන් විය. ඒ අතරින් අන්තර්ජාතිකව වැදගත් සිදූවීම වූයේ ඇමරිකා එක්සත් ජනපදය හා චීනය පැරිස් දේශගුණ ගිවිසුම තම රටවල අපරානුමතකරනබව (Ratification) එරටවල නායකයින් විසින් ප්‍රතිඥා ලබාදීම ය. ලොව විශාලතම හරිතාගාර වායු විමෝචකයන් වන ඇමරිකාව හා චීනය පැරිස් දේශගුණ ගිවිසුමට අවනතකර ගැනීමට හැකිවීම සැබැවින්ම දේශගුණ විපර්යාසයට එරෙහිව සිදුකෙරෙන ගෝලීය අරගලයේ කඩයිමක් බව දෙවරක් පැවසිය යුතු නැත. එසේම ශ්‍රී ලංකා ආණ්ඩුවද දේශගුණ ක්‍රියාකාරී මාවතේ ඉදිරි පියවරක් තබමින් ඉකුත් 9 වැනිදා පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමත කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත්තේය. ඒ සඳහා යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මේ දක්වා රටවල් 180ක් පැරිස් ගිවිසුමට අත්සන් තබා ඇති අතර රටවල් 27ක් ගිවිසුම තම රටවල අපරානුමත කරන ලද බවට වූ මෙවලම් තැන්පත්කර ඇත. එම රටවල හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් 39.08% කි (ශ්‍රී ලංකාව මේ දක්වා අපරානුමත කිරීමේ මෙවලම් තැන්පත්කර නොමැති නිසා ඉහත සඳහන්කළ රටවල් 27ට ඇතුලත්වී නැත. ගිවිසුම බලාත්මක තත්ත්වයට පත් වීම ආරම්භ කිරීම සඳහාලෝකයේ සමස්‌ත හරිතාගාර වායු විමෝචනයන්ගෙන් 55%ක්‌ සඳහා වගකිවයුතු හා එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශව රටවල් 55 ක් එය අපරානුමත කළයුතුය). මෙය දේශගුණ ක්‍රියාකාරී මාවතේ සාධනීය ඉදිරි ගමනක් ලෙස හැඳින්විය හැකි නමුත් මේ මොහොත අප සතුටුවිය යුතුද දුක්විය යුතුද යන්න ගැටළුවක් බවට පත්ව තිබේ.

මුහුදු මට්ටමට ඉතා ආසන්නව පවතින සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍ය සාගරයට බිලිවීම වැලැක්වීම ඇතුළු දේශගුණ විපර්යාසය මගින් පෘථිවි වාසීන්ට එල්ලවන අහිතකර බලපෑම් පාලනය කරගැනීම සඳහා ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම පාලනය කල යුතු බව අවිවාදිත කරුණකි. ඒ සඳහා දැනට ඉහළ යමින් පවතින පරිසර උෂ්ණත්වය පූර්ව කාර්මික යුගයේ පැවති පරිසර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක එකයි දශම පහක (1.5°C) උපරිමයක සීමාවේ නවත්වාගත යුතුය. පැරිස් දේශගුණ ගිවිසුම මගින්ද හරිතාගාර වායු විමෝචන පාලනය කරමින් උත්සාහ කරන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මෙම සෙල්සියස් අංශක එකයි දශම පහ සීමාවේ පවත්වා ගැනීමටය. නමුත් ලොව ප්‍රධාන පෙළේ දේශගුණික විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සීමා කිරීමේ එම ඉලක්කය ඇතිකරගෙන ඉතා කෙටි කලක් ඇතුලතදී සැබෑ ලෙසම පෘථිවි උෂ්ණත්වය ඒ ආසන්නයටම පැමිණ ඇති බවය. නොඑසේ නම් ලෝක නායකයින් එක්ව ඉස්තාලය වසන විට අශ්වයා පැනගොස් හමාරව ඇති බවය.

පෘථිවි උෂ්ණත්වය ඉහළ යාම පූර්වකාර්මික යුගයේ උෂ්ණත්වයට සාපේක්ෂව සෙල්සියස් අංශක 1.5 සීමාවේ පවත්වා ගත යුතු බවත් ඒ සඳහා පැරිස් දේශගුණ ගිවිසුම අත්සන් කර තම රටවල එම ගිවිසුම අපරානුමත කරගතයුතු බවත් ලෝක නායකයින් විසින් එකඟතාවයට පැමිණියේ පසුගිය දෙසැම්බරයේදීය. ඒ ඉලක්කය සපුරා ගැනීමෙන් කාන්තාරකරණය, උණූසුම් වායු ධාරා, බරපතල ගංවතුර තත්ත්ව සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා බැඳුනු අනෙකුත් බලපෑම් මඟහරවා ගත හැකි වනු ඇති බව විද්‍යාඥයන් හා උද්ඝෝෂකයන් උද්දාමයට පත්වූහ. නමුත් පසුගිය කාලගුණ දත්ත සමාලෝචනය කරන විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඉකුත් වසරේ එක් මාසයක් හැර අනෙකුත් සියළුම මාසවල පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය පුර්ව කාර්මික යුගයේ උෂ්ණත්වයට වඩා අංශක එකකින් ඉහළ අගයක් වාර්තා කර ඇති බවයි. තවද එම වසරේ පෙබරවාරි හා මාර්තු මාස වලදී පෘථිවි උෂ්ණත්වය පුර්ව කාර්මික යුගයට සාපේක්ෂව සෙලිසියස් අංශක එකයි දශම තුනයි අටක (1.38°C) උපරිමයක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි. ඒ අනුව ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අංශක 1.5 සීමාවේ රඳවා ගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් වන බව ඉතා පැහැදිළිය.

එවැනි පසුබිමක් තුල ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමග පැසිෆික් කලාපයේ එල් නිනෝ තත්ත්වයන්ගේ බලපෑම් උග්‍ර වීමෙන් ගෙවී යමින් පවතින මෙම 2016 වසර මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නියඟය මගින් කැලිෆෝනියාවේ ලැව්ගිනි උත්සන්න වීම හා 50°C කට වැඩි උෂ්ණත්වයකින් ඉරාකය පීඩාවට පත්වීම එහි ප්‍රතිපල වන අතර ඉන්දියාවට මෙතෙක් වාර්තාවූ අතිශය බරපතලම මෝසම් වැසි තර්ජනයන්ට මුහුණදීමට සිදුවිය.

මේ අනුව පෙනී යන්නේ සැබැවින්ම ලෝක නායකයන් විසින් ඉස්තාලය වසන විට අශ්වයා පැනගොස් හමාර බව නොවේද? දේශගුණ විපර්යාසය උත්සන්න වීම වැලැක්වීම සඳහා වන ගෝලීය මැදිහත්වීමකට පදනම සකස් කරගැනීමට එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ වාර්ෂික සැසිවාර විස්සක් නාස්තිකර දැමීමට ලෝක නායකයින් කටයුතු කලෝය. ඒවා සියල්ලම කෙස් පැලෙන තර්ක විතර්ක ඉදිරිපත්කෙරුණු සාකච්ඡා මේස පමණක් බවට පත්කළ ලෝක නායකයින් දැන් තම අදහස් ක්‍රියාවට නැංවීම ආරම්භ කරනවිට මුළුමහත් ලෝකයම නාසය දක්වා විපතේ ගිලී අවසන්ය. ඒ අනුව අප මේ මොහොතේ රඟදක්වන රංගනයන් සියල්ල හැලියේ දිය නටන තුරු කකුළුවන් රඟන රංගනයන්ට සමාන කල හැකිය. එබැවින් තවදුරටත් මිහිතලයේ මිනිස් ජීවය පවත්වා ගැනීමට අපට අවශ්‍යනම් මේ මොහොතේ සිටවත් අප සියළුදෙනා එක්ව දේශගුණ විපර්යාසය අවමකිරීමට හා ඊට අනුහුරුවීමට දරන උත්සාහයන් සීග්‍රගාමී කිරීම කලයුතුමය. 

Wednesday, August 31, 2016


සූර්යබල සංග්‍රාමය

ගල්අඟුරු හා ෆොසිල ඉන්දන දහනයකර නිපදවූ බලශක්තිය පරිභෝජනය දේශගුණ විපර්යාසය උත්සන්න වීම කෙරෙහි තීරණාත්මක බලපෑමක් සිදුකරන හෙයින් ලොව බොහෝ රටවල් පුනර්ජනනීය බලශක්ති පරිභෝජනය සඳහා විශේෂ උනන්දුවක් දක්වමින් සිටී. එසේම අප රට ද පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය සම්බන්ධ විවිධ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම හා ඒ අනුව විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීමද සිදු විය. නමුත් ඒවායෙන් අපේක්ෂිත අරමුණු ඉටුවනවාද නැද්ද යන්න පිළිබඳව ද එමගින් යහපත් අරමුණ අවභාවිතාවේ යොදවමින් ඇතැමුන් පරිසරය වනසමින් මඩි තරකරගන්නා ආකාරය පිළිබඳවද අප මින් පෙර දේශගුණ කතාබහ තුලින් හෙළිදරව්කර ඇත්තෙමු. ඒ අතරතුර පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය දිරිගැන්වීම පිළිබඳව යම්කිසි යහපත් ප්‍රවේශයක් වෙත අවතීර්ණ වෙමින් වර්තමාන ආණ්ඩුව ‘සූර්යබල සංග්‍රාමය’ නමින් සූර්ය බලශක්තිය තිර කර ජාතික පද්ධතියට එක් කිරීමේ වැඩසටහනකට මුල පිරීම සතුටට කරුණකි.

සූර්ය විදුලි බල නිෂ්පාදනය ඉතා සරල තාක්ෂණයක් භාවිතා කොට සිදු කරන්නක් වන අතර එහිදී සිලිකන්, බෝ‍රෝන් වැනි ද්‍රව්‍ය භාවිතා කර සකස් කරන ලද පැනලය මත සූර්ය කිරණ පතිත කළ විට විද්‍යුතය නිෂ්පාදනය වේ. නිෂ්පාදිත විද්‍යුතය පාලකයක් හරහා ගමන් කරවා බැටරියක් තුළ තැන්පත් කරනු ලබන අතර නැවත පාලකයක් හරහා ගමන් කරවා අවශ්‍යතා සඳහා විදුලිය බෙදා හැරේ. නමුත් වසරේ දින තුන්සිය හැට පහේම පාහේ දිනයෙන් අඩකට මදක් අඩු කාලසීමාවක් පුරා ඉර පායන රටක් වුවත් අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ බලධාරීන් දේශීය බලශක්ති අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා හිරු එළිය දායක කරගැනීමට අතීතයේ සිටම වැඩි උනන්දුවක් දැක්වුයේ නැත. සූර්ය බලශක්තිය පිළිබඳ තාක්ෂණය ලෝකය තුළ හඳුනාගෙන වසර ගණනාවක් ගත වුවද එය ලංකාව තුළ භාවිතයට පැමිණියේ 1986 තරම් මෑත කාලිනව වීම ඊට කදිම නිදසුනකි. ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව කලක සිට බලශක්ති මාධ්‍යක් ලෙස සූර්ය විදුලි බලය භාවිතය යම්තාක් දුරකට හෝ ව්‍යාප්ත වෙමින් පැවතුනේ ජාතික පද්ධතිය මගින් විදුලිය සපයාගැනීමේ තිබූ නොහැකියාව හේතුවෙනි. ඒ අතර වර්තමානයේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතවද මේ පිළිබඳ යම් උනන්දුවක් ඇති වීම නව ප්‍රවනතාවක් ලෙස දක්නට හැක. නමුත් මෙතෙක් සූර්ය විදුලිය නිෂ්පාදනය සම්බන්ධයෙන් ලංකාවේ රාජ්‍ය අංශයේ මැදිහත් වීම පැවතුනේ ඉතාම පහළ මට්ටමක වන අතර ඊට සම්පූර්ණයෙන්ම පාහේ දායකත්වය සපයන ලද්දේ පෞද්ගලික අංශය විසිනි. මේ අතර ආණ්ඩුවේ විදුලිබල බලධාරීන් වැඩි උනන්දුවක් දැක්වුයේ ඩීසල් බලාගාර මගින් හෝ කුඩා ජලවිදුලි බලාගාර මගින් උත්පාදනය කෙරෙන විදුලි බලය වැඩි මිලට මිලදීගෙන විදුලි පාරිභෝගිකයාට ලාබදීමට පමණි. ඊට හේතුව එම පවුද්ගලික බලශක්ති ව්‍යාපාරිකයන් අදාළ බලධාරීන් සමග විශේෂ ඇගෑලුම්කමක් ඇතිකරගැනීම දැයි විමසිය යුතුය. එවැනි පසුබිමක් තුල අළුත් ආණ්ඩුවේ මෙම ‘සූර්යබල සංග්‍රාමය’ ආරම්භකිරීම යම්කිසි ආකාරයක සතුටට කරුණකි.

වර්ෂ 2025 වන විට සූර්ය බලශක්‌තියෙන් රටේ ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට්‌ 1000 ක විදුලි සැපයුමක්‌ එක්‌ කිරීමට  ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කරන අතර එම ඉලක්‌කය වෙත යෑමේ පළමු පියවර වශයෙන් දකුණු, නැගෙනහිර හා උතුරු පළාත්වල සූර්ය බල උද්‍යාන පිහිටුවීමට යෝජනාකෙරේ. ඒ යටතේ පළමු සූර්ය බල උද්‍යානය සියඹලාණ්‌ඩුවේ ඇතිමලේ ප්‍රදේශයේ පිහිටුවීමට සැලසුම්කර ඇති අතර එහි ධාරිතාවය මෙගාවොට්‌ 100 කි. දෙවැනි පියවර වන්නේ රජයේ මුදල් වැය නොකර මහජනතාවගේ මුදලින් සූර්ය බලය උත්පාදනය කිරීමටය. මේ පියවරේදී විදුලි පාරිභෝගිකයන්ගේ වහලය මත සවිකරන ලද සූර්ය පැනල මගින් 2020 වන විට මෙගා වොට්‌ 200 ක සහ 2025 වන විට මෙගාවොට්‌ 1000 ක විදුලි බලයක් උත්පාදනය කරගැනීමේ ඉලක්‌කය වෙත යැමට ආණ්ඩුව සැලසුම් කර ඇත.

මේ වනවිට ශ්‍රී ලංකාවේ වහලය මත සවිකර ඇති සූර්යකෝෂ මගින් උත්පාදනය කරන විදුලිබල ධාරිතාව මෙගා වොට්‌ 30 ක් පමණවේ. ඊට දායකවී සිටින විදුලි පාරිභෝගිකයන් ගණන හාරදහසක්‌ පමණ ය. නව ව්‍යාපෘතියෙන් එම ප්‍රමාණය වැඩි කිරීමට බලාපොරොත්තුවන අතර විදුලිබල මණ්‌ඩලය මගින් නිපදවන විදුලිය කිලෝ වොට්‌ පැය එකක් රුපියල් 22 බැගින් මිලදීගැනීමට නියමිත ය. ඒ සඳහා මෙතෙක් පැවති මිලදී ගැනීම් ක්‍රමවේදයට අමතරව නව ක්‍රම දෙකක්ද හඳුන්වාදී තිබේ. මෙම රු 22 න් සූර්ය පැනල මිලදී ගැනීමට වැය වන මුදල පියවාගෙන අමතර මුදලක්‌ ද උපයාගත හැකියි.


නමුත් කණගාටුවට කරුණ වන්නේ මහත් උත්කර්ෂයෙන් ආරම්භකරන ලද මෙම ව්‍යාපෘතිය තුලද අපැහැදිලි තැන් රැසක් පැවතීම හේතුවෙන් එයද සුදු අලියෙකු බවට පත්වීමට වැඩි ඉඩකඩක් පැවතීමයි. සූර්ය කෝෂ තාක්‍ෂණය අපේ රට තුල නොමැති බැවින් අපට සිදුවන්නේ ඒවා විදෙස් රටවලින් ආනයනය කිරීමටය. සාමාන්‍ය ගෘහස්ථ අවශ්‍යතා ඉටු කරන එවැනි ආනයනික සූර්ය විදුලි පද්ධතියක පවා මිල අතිවිශාල බැවින් ඒවා මිලදීගැනීම පොදු මහජනතාවට පහසු කටයුත්තක් නොවේ. එවැනි පසුබිමක ජාතික පද්ධතියට විදුලිය ලබා දීමට තරම් සමත්  සූර්ය පැනලයක් මිලදීගැනීමට ඔවුනට ඇති හැකියාව පිළිබඳව කතාකරන්නට දෙයක් නැත. එබැවින් සූර්ය පැනල ආනයනයේදී පැනවෙන බදු අඩුකිරීම සිදුකල යුතුය. එසේම මෙම ‘සූර්යබල සංග්‍රාමය’ ජනතාව අතරට ගෙන යාම සඳහා බැංකු හා වෙනත් මුල්‍ය ආයතන මගින් ණය ක්‍රමවේදයක් ඇරඹීමද කාලීන අවශ්‍යතාවයකි. නමුත් මෙම ව්‍යාපෘතිය උත්සවාකාරයෙන් ආරම්භකිරීමට ප්‍රථම එම අවශ්‍යතා ඉටු කිරීමට බලධාරීන් සමත්වී නැත. නොඑසේනම් ඊට බලධාරීන්ට උවමනාවක් නැත. එවැනි පසුබිමක් තුල මෙයද තවත් ඊනියා ව්‍යාපෘතියක් වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි නමුත් අප එය එසේ නොවේවායි මේ මොහොතේද ඉත සිතින් පතමු.

Monday, August 29, 2016

බංකොලොත් සංවර්ධන සිහින

තිස් වසරක් පූරා මේ දිවයින වෙලාගෙන පැවති ශාපලත් යුද්ධය නිමවීමෙන් පසු නැගුනු සාමයේ අරුණළු සමග ශ්‍රී ලංකාව සමාජාර්ථික සංවර්ධනය අතින් ලෝකයේ ඉහළට ගමන් කරණු ඇතැයි සියළුදෙනා අපේක්ෂා දල්වාගෙන සිටියහ. නමුත් මේ දක්වා එම සොඳුරු සිහිනය යථාර්තයක් බවට පත්කර ගැනීමේ මගට රට අවතීර්ණ කිරීමට මෙරට කරවන පාලකයන් අපොහොසත්වී ඇති බව නොරහසකි. ඉකුත් රාජපක්ෂ ආණ්ඩුව විසින් ගෙන ගිය සංවර්ධන වැඩපිළිවෙල මෙන්ම වර්තමාන මෛත්‍රී - රනිල් හවුල් ආණ්ඩුව මුලපුරා සිටින සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව විමසා බලන ඕනෑම අයෙකුට එය වටහා ගැනීමට අපහසු නැත. ඉදිරි දශකය තුලදී හෝ දරිද්‍රතාවය මැඩපැවැත්වීම හා මධ්‍යම අදායම් රටක් ලෙස ස්ථාවරවීම මගින් ලක් වැසියන්ට යහපත් සමාජාර්ථික පරිසරයක් තුල ජීවත්වීම සඳහා අත්‍යාවශ්‍ය සංවර්ධන ඉලක්ක සකස් කොට එම ඉලක්ක ලඟා කරගැනීම සඳහා කැපවීම අනිවාර්යෙන් සිදුකල යුතුය. නමුත්ඒ සියල්ල පසෙක තබා ජනතාවගේ පටි තදකර මහජන මුදල් සුරෑ කමින් මඩිය තර කරගැනීමේ න්‍යායෙන් අත්මිදීමට අපේ රටේ බහුතරයක් දේශපාලකයන්ට තවමත්නොහැකිවී තිබීම කණගාටුවට කරුණකි. ඊට අමතරව අපි දකින බොහොමයක් සංවර්ධන සිහින බංකොලොත්වීමට අපේ ජාතික සංවර්ධන සැලසුම් සඳහා දේශගුණ විපර්යාසය අනුගත කර නොගැනීමද ප්‍රධාන හේතුවක් වී ඇති බව අප අවධාරණය කරගත යුතුය.

මිනිසාගේ අයහපත් ක්‍රියාකලාපයන්ගේ ප්‍රතිපලයක් ලෙස අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින මිහිතලය උණුසුම්වීම සහ දේශගුණ විපර්යාසය මගින්ඇතිකෙරෙන දරුණු හා ප්‍රචණ්ඩ බලපෑමවලින් අප මේ මොහොතේද පීඩාවට පත්ව සිටිමු. ඉදිරි දශකය තුලදී තවදුරටත් ප්‍රබලව මෙම බලපෑම් එල්ලවනු ඇතැයි ද අපට බලාපොරොත්තු වීමට සිදුවේ.එබැවින්අප ක්‍රියාත්මකකරනසංවර්ධන සැලසුම් සඳහා දේශගුණ විපර්යාසය අනුගතකර නොගතහොත් එම සංවර්ධන ව්‍යාපෘතිඅඩාල වේ. එමගින්තවදුරටත් රටේ පවතින ආර්ථික හා සමාජීය විෂමතා වර්ධනය වී ජනතාවට කබලෙන් ලිපට වැටීම සිදුවේ. එබැවින්අපගේ සංවර්ධන න්‍යායපත්‍රය නොසැලී අඛණ්ඩව ඉදිරිය ක්‍රියාත්මකවීම සඳහා සියළු ආර්ථික හා සමාජීය ක්ෂේත්‍ර දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට ඔරොත්තු දෙන ආකාරයෙන් ශක්තිමත් කිරීම සඳහා බලධාරීන් ක්‍රියා කල යුතුය. ඒ අනුව දේශගුණ විපර්යාසයට හැඩගැසීම සඳහා දැනුම, තාක්ෂනය සහ සුක්ෂම සැලසුම්කරණය අත්‍යාවශ්‍ය වේ. නමුත් අවාසනාවකට අපේ රටේ පාලකයන්ට මේ පිළිබඳව වගේ වගක් නැති බව මෙරට තුල ක්‍රියාත්මකවෙමින් පවතින හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යනය කිරීමෙන් පැහැදිලිවේ.

රටේ සංවර්ධනයට අවශ්‍ය ආයෝජකයන් සොයා මේ වනවිට අගමැතිවරයාලොව පූරා විවිධ රටවල් වල සංචාරය කරමින් සිටී. ඔහුගේඑක් ප්‍රධාන බලාපොරොත්තුවක් ලෙස චීනය සඳහන් කල හැකිය. මෙහිදීවිශේෂයෙන් විපත් සමනය නොකලත් නම සංස්කරණය කරන ලද ‘කොළඹ වරාය නගරය’ හා හම්බන්තොට චීන කර්මාන්ත පුරය පිළිබඳව නිතැතින් සිහියට නැගේ. නමුත් එමගින් පරිසරයට එල්ලවන බලපෑම් පිළිබඳව එක් මොහොතකට හෝ සිතා බැලීමට බලධාරීන් උත්සුක වන බවක් නොපෙනේ. විශේෂයෙන් දේශගුණ විපර්යාසයේ ආර්ථිකමය පසුබිම පිළිබඳ අවබෝධය ශ්‍රී ලංකාව තුල ඉතා සීමිතය. දේශගුණ විපර්යාසය මගින් රටේ ආර්ථිකය හා ජනතාව ආරක්ෂා කරගැනීමට ඇත්තේ ඉතා සීමිත නීති ප්‍රතිපාදන කිහිපයක් පමණි. උදාහරණයක් වශයෙන් යම්කිසි සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථම සිදුකෙරෙන පරිසර බලපෑම් තක්සේරුවේදී හෝ ක්‍රමෝපායික පාරිසරික බලපෑම් තක්සේරුවේදීපවාදේශගුණ විපර්යාසය පිළිබඳව සැළකිල්ලක් නොදක්වයි.එමගින් සිදුවන්නේ දේශගුණ විපර්යාසයේ බලපෑම් හමුවේ එකී සංවර්ධන ව්‍යාපෘති වලින් අපේක්ෂිත ප්‍රතිපල නොලැබේ අපේ රට ලෝකයට ණයවී අන්ත අසරණ තත්ත්වයට පත්වීම පමණි.

සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යම්කිසි ප්‍රදේශයක පරිසරයේ විවිධ වෙනස්කම් සිදුකරයි.  එමගින් දේශගුණ රටාවට බලපෑම් එල්ලවේ. උදාහරණයක් වශයෙන් යම්කිසි ප්‍රදේශයක වනාන්තර හෙළි පෙහෙළි කිරීම මගින් පරිසර උෂ්ණත්වය ඉහළ යාම දැක්විය හැකිය. එසේමඑමගින් වැසි ජල උල්පත් සිඳී යාම මගින් ප්‍රදේශයේ ජනතාවට නියං සමයේ ජල ගැටළු වලට මුහුණදීමට සිදුවේ. දේශගුණ විපර්යාසය මගින් නිතර නිතර නියං තත්ත්වයන් ඇතිකරන අතර ඒවායේ තීව්‍රතාවයද වැඩි කරන බව රහසක් නොවේ. එමගින් එම ප්‍රදේශයේ ජනතාවට එල්ලවන බලපෑම දෙගුණ තෙගුණ වේ.වන විනාශය නිසා තම වාසභූමි අහිමිවන අලි ඇතුන් ගම් වැදීම සිදුවේ. ගොවි ජනතාවට වන අලි තර්ජන හා ජල හිඟයට මුහුණදීමට සිදුවීම නිසා ඔවුන්ගේ ආර්ථික තත්වය පිරිහේ. එමගින් සංවර්ධන ව්‍යාපෘතියෙන් ලැබෙන සොච්චම් ලාභයට වඩා වැඩි පාඩුවක් රටේ සමස්ථ ආර්ථිකයට දරන්නට සිදුවේ.

හම්බන්තොට ප්‍රදේශය චීන කර්මාන්ත පුරයක් ඉදිකිරීමට හෝ වෙනයම් ප්‍රදේශයක වනාන්තර විනාශකර වෙනත් සංවර්ධන ව්‍යාපෘතියක් ඇතිකිරීමට යෝජනා කරන බලධාරීන් එමගින් මෙවැනි බලපෑම් එල්ලවීමට හැකිවීමපිළිබඳව ප්‍රමාණවත් අවබෝදයකින් පසුවන්නේද යන්න ගැටළුවකි. සැබෑ ලෙසම මෙවැනි සංවර්ධන ව්‍යාපෘති වලින් සිදුවන්නේ අටුව කඩා පුටුව සෑදුවාට නොදෙවැනි දෙයකි. එය එක් උදාහරණයක් පමණි.


අපේ රටේ ජනතාව සදාකල් දුක් විඳිමින් ජීවත්වීම වැලැක්වීම බලධාරීන්ගේ යුතුකම හා වගකීම බව නොකිවමනාය. නමුත් එම ජනතාව සංවර්ධනය නාමයෙන් කබලෙන් ලිපට ඇද දමීට ඔවුන්ට කිසිඳු අයිතියක් නැත. නමුත් දේශගුණ විපර්යාසය පිළිබඳව සැළකිල්ලක් නොදක්වා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළහොත් සැබෑ ලෙසම සිදුවන්නේ එයය. එබැවින් බලධාරීන් දැන්වත් බංකොලොත් සංවර්ධන සිහින දැකීමෙන් වැළකී යථාර්ථවාදීව තීන්දු තීරණ ගැනීම අත්‍යාවශ්‍යය.ඒ සඳහා දේශගුණ විපර්යාසය ක්‍රමයෙන් ඉස්මතුවන්නාවුත්, සියළුම ක්ෂේත්‍රවලට තර්ජන එල්ලකරන්නාවුත් සංසිද්ධියක් බව සැළකිල්ලට ගත යුතුය. එසේම ජාතික සංවර්ධනයේ හා සැලසුම්කරණයේමුලිකාංගයක් බවටදේශගුණ විපර්යාසයට අනුහුරුවීම පත්කිරීම ඉක්මන් කල යුතුය. 

Friday, August 19, 2016


දූපත් ජෛවවිවිධත්වය

දේශගුණ විපර්යාසය මගින් ජෛවවිවිධත්වයට ඇතිවන බලපෑම පිළිබඳව කතා කිරීමේදී දූපත් ජෛවවිවිධත්වයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ලොව පුරා විසිරී පැතිරී ඇති දූපත් හා  ඒ ආශ්‍රිත වෙරළාසන්න පරිසර පද්ධති අතිවිශාල ජෛවවිවිධත්වයකට උරුමකම් කියන අතර බොහෝ ආවේනික සත්ත්ව හා ශාක විශේෂ වලට එම පරිසර පද්ධති වාසභූමි සපයයි. එසේම දූපත් ජෛවවිවිධත්වය සෙසු ප්‍රදේශ වල ව්‍යාප්තවී ඇති ජෛවවිවිධත්වයට සාපේක්ෂව සංවේදී බවින් වැඩි නිසා දේශගුණ විපර්යාසයේ සැහැසිකම් වලට ගොදුරුවී සදහටම මිහිමතින් තුරන්වී යාමට ඇති නැඹුරුව ඉතා වැඩි වේ. ඊට කදිම නිදසුන වන්නේ පසුගිය වසර 400ක පමණ කාලය තුල පෘථිවි තලයෙන් වඳවී ගිය සත්ත්ව විශේෂ වලින් හරි අඩක්ම දුපත් වල ජීවත්වූ සත්ත්ව විශේෂ වීමය. ඉකුත් ශත වර්ෂය තුළ දූපත් ජෛවවිවිධත්වය ආක්‍රමණික ජීවී විශේෂ, පරිසර හායනය හා අධි පරිභෝජනය, දේශගුණික විපර්යාස හා පරිසර දූෂණය වැනි අහිතකර තත්ත්ව වලට මුහුණ දීම නිසා අනතුරේ වැටී ඇති අතර දේශගුණ විපර්යාසය සෙසු බලපෑමද සමග එකම අවධානම තව දුරටත් ඉහළ දමා ඇත.

මේ පීඩනය වැඩි වශයෙන්ම දැනෙමින් ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍ය (Small Island Developing States - SIDS) වලටය. එනම් අවම ලෙස සංවර්ධනය වෙමින් පවතින, ආර්ථික අවධානමක් ඇති, ලෝක ‍වෙළඳාම  සඳහා අවම මට්ටමෙන් (0.02.%) දායකත්වය ලබාදෙන, මිලියන 1.5කට අඩු ජනගහනයක් ජීවත්වෙන දූපත් ය (මාලදිවයින, බහමාස්, බාබඩෝස්, අන්දමන් දුපත් හා සීෂේල්ස් වැනි).

කාලයත් සමඟ හුදකලාව පරිණාමය වීම නිසා මෙම දූපත්වල ජීවත්වන ජීවී විශේෂ සුවිශේෂි වූ ජාන සංචිතයකට හිමිකම් කියයි. එමගින් අතීතයේ සිටි ජීවී විශේෂ දුපත් තුල පරම්පරා ගණනාවක් පරිණාම වෙමින් නව ජීවී විශේෂ නිර්මාණය කර ඇත. ඔවුන් පසුව නව විශේෂිත ලක්ෂණ දරන ආවේණික ජීවින් බවට පත් වේ. මහද්වීප වලට වඩා දුපත්වල හමුවන ජීවීන් විශේෂ සංඛ්‍යාව ඉතා ඉහළ වේ. දූපත් වල  පවතින අධික හුදකලා ස්වභාවය, දූපතේ ප්‍රමාණය හා භූ විශමතා මත සතුන්ගේ ආවේණිකතාවය ඉහළ යයි. උදාහරණයක් වශයෙන් හවායි දූපත් වල හමුවන ජීවින්ගෙන් 90%කට වඩා එම දූපතට ආවේණිකවේ. මොරිෂස් දූපතේ සියලුම සපුෂ්ක ශාක, ක්ෂීරපායි, පක්ෂීන්, උරඟයන් හා උභය ජීවීන් ගෙන් 50% පමණ එම දූපතට ආවේණිකවේ. ලොව වැඩිම උභයජීවීන්ගේ ආවේණිකතාවයට හිමිකම් කියන සීෂෙල්ස් රාජ්‍යයද කුඩා දූපත් රාජ්‍යක් වෙයි.

මේ සා විශාල ජෛවවිවිධත්වයකට හිමිකම් කියන සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍ය මත දේශගුණ විපර්යාසය මගින් ඇතිකර ඇති බලපෑම් නිසා එම ජීවී විශේෂ වඳවී යාම ඉතා කණගාටුදායක තත්ත්වයකි. එය ආකාර කිහිපයකින් සිදුවේ. දේශගුණික විපර්යාසයේ බලපෑම් අතරින් දූපත් ජෛවවිවිධත්වයට වැඩිම තර්ජනයක් එල්ල වන්නේ මුහුදු මට්ටම  ඉහල යාම හා මුහුදු මතුපිට පෘෂ්ඨයේ උෂ්ණත්වය ඉහල යාම මගිනි. මුහුදු මට්ටම  ඉහල යෑමෙන් ලවණතාව අධික වී, මිරිදිය ජලය අඩුවීම හා කෘෂිකාර්මික බිම් ප්‍රමාණය අඩුවීම සිදුවේ. මුහුද මතුපිට පෘෂ්ඨයේ උෂ්ණත්වය ඉහල යෑමෙන් කොරල් පර මිය යයි. මෙය මේ පරිසරය මත යැපෙන ජීවීන් හට ඍණාත්මකව බලපායි. එබැවින් දූපත්වල ජෛව සුරක්ෂිතතාව හා ආර්ථික සුරක්ෂිතතාව බිඳ වැටේ. එසේම දේශගුණ විපර්යාසයේ බලපෑම නිසා ඇතිවන අහිතකර පරිසර තත්ත්ව වලට ඔරොත්තු දෙමින් වර්ධනය වන ආක්‍රමණශීලී විශේෂ මගින්ද දූපත් ජෛවවිවිධත්වයට එල්ල වන්නේ මරු පහරකි. දූපත් ජීවීන් කුඩා ගහන ලෙස ජීවත්වීම, විශේෂිත අවශ්‍යතා සහිතවීම හා විලෝපීයයන් කෙරෙහි අවම ආරක්ෂණයක් සහිතවීම හේතුවෙන් ඔවුන් ඉතා ඉක්මනින් ආක්‍රමණ ජීවීන් හමුවේ පරාජයට පත්වේ. දේශගුණ විපර්යාසය සමග ඉහළ යන ස්වභාවික ආපදාවන්  මගින්ද ජෛවවිවිධත්වයට තීරණාත්මක බලපෑමක් එල්ලවේ. කුණාටු , සුළි සුළං, ලැව් ගිනි, නාය යෑම්, ගංවතුර , නියඟය වැනි ස්වභාවික ආපදාවන් මඟින් දුපත් වලට විශාල බලපෑමක් සිදුවේ. මෙමගින් ජීවීන් විශාල වශයෙන් මියයාම සිදුවේ. එසේම දේශගුණ විපර්යාසයේ සැහැසිකම් නිසා ආර්ථික දුෂ්කරතාවලට ලක්වන දූපත් ජනයා ජෛව සම්පත් අධික ලෙස පරිභෝජනය කිරීමට පටන් ගැනීම නිසාද දූපත් ජෛවවිවිධත්වය තර්ජනය ලක්වේ.

දුපතක් ලෙස පැවතීම නිසා ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්වයටද දේශගුණ විපර්යාසයෙන් ඇතිවන ඉහත බලපෑම් පොදුය. මයොසීන අවධියේ ශ්‍රී ලංකාව ඉන්දියානු මහද්වීපයෙන් වෙන් වූ නමුත් මුහුදු මට්ටම පහළ යාම හේතුවෙන් විවිධ අවස්ථා වලදී සත්ත්ව විශේෂ ගොඩබිම හරහා දෙපසට සංක්‍රමණය වීම සිදුවිය. . මේ කාලයේ දී හිමාලය කඳු වැටිය ඉස්මතු වීම, ආසියාතික මහද්වීපයෙන් ශ්‍රී ලංකාව, සුමාත්‍රා හා බෝනියෝ වැනි විශාල දූපත් වෙන් වීම සිදු විය. නමුත් මීට වසර දසදහසකට  පමණ පෙර ශ්‍රී ලංකාව ඉන්දියානු මහද්වීපයෙන් සම්පුර්ණයෙන්ම වෙන්වීම සිදුවූ අතර එතැන් සිට අපේ රටේ ගහකොළ හා සතා සිව්පාව දූපත් පරිසරයක් තුල පරිණාමය වීම සිදුවිය. එකී පරිණාමික ක්‍රියාවලිය ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය අතින් ඉතාම පොහොසත් රටක් බවට පත්කර ඇත. ඊට අමතරව දිවයිනේ උතුරු වයඹ දිග ප්‍රදේශ වල කුඩා දූපත් ද පිහිටා ඇති අතර ඒවායේද සුවිශේෂී සත්ත්ව හා ශාක විශේෂ හමුවේ.

මෙම ජෛවවිවිධත්වය දේශගුණ විපර්යාසයේ බලපෑම් වලින් ආරක්ෂා කිරීමට අප ඉතා උනන්දුවෙන් කටයුතු කල යුත්තේ, මිනිසුන් වන අපට දේශගුණ විපර්යාසයේ අහිතකර බලපෑම් ජයගෙන ආර්ථික වශයෙන් ස්ථාවර වීමට පවා එම ජෛවවිවිධත්වය මහෝපකාරී වන බැවිනි.

Thursday, August 11, 2016

ජෛවවිවිධත්වය වලපල්ලට

ජෛවවිවිධත්වය යනු විවිධ ස්වරූප වල පරිසර පද්ධතීන් රැසක ඉහළ ප්‍රවේණික ද්‍රවය විවිධත්වයක් සහිත එකිනෙකට වෙනස් ජීවී විශේෂ රැසක් ජීවත්වීම ලෙස සරලව හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ දේශගුණ රටාව, භූගෝලීය පිහිටීම හා පාංශු සාධක ඈ විවිධ කරුණු මත පදනම්ව විවිධ ස්වරූප වල පරිසර පද්ධති වර්ග ගණනාවක් පිහිටා තිබේ. උදාහරණයක් වශයෙන් තෙත් සදාහරිත වනාන්තර, වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ලඳු කැලෑ, කඩොලාන, තෙත්බිම්, කොරල් පර, මුහුදු තෘණබිම් දැක්විය හැකිය. එම පරිසර පද්ධති තුල ක්ෂීරපායීන්, පක්ෂීන්, උරගයන්, උභයජීවීන්, මසුන්, කෘමීන්, ක්ෂුද්‍ර ජීවීන් වැනි කාණ්ඩ වලට අයත් විවිධ ජීවී විශේෂ රාශියක් ජීවත්වීමද ඉහල ජෛවවිවිධත්වයක් පැවතීමට හේතුවේ. එසේම එම එක් එක් ජීවී විශේෂයේ ජීවීන් අතර පවා විවිධ වෙනස්කම් ඇතිවීමට හේතුවන ප්‍රවේණික ද්‍රව්‍ය නොඑසේනම් ජානමය විවිධත්වයක් පැවතීමද උසස් ජෛවවිවිධත්වයක අංගයකි. ලෝකයේ ජෛවවිවිධත්වය අතින් විශාල පොහොසත්කමක් හිමි රටවල් අතර ශ්‍රී ලංකාවද පසුවන්නේ ඉහළම ස්ථානයකය. එසේම එම ජෛවවිවිධත්වය මගින් අපට ලබාගත හැකි පල ප්‍රයෝජනද රාශියකි. නමුත් දේශගුණ විපර්යාසය හේතුවෙන් එම ජෛවවිවිධත්වය වලපල්ලය යාම ඉක්මන්වීම මේ මොහොතේද අප මුහුණදී සිටින බරපතල ගැටළුවකි.

නිරෝගී පරිසර පද්ධති හා පොහොසත් ජෛවවිවිධත්වය මිහිමත ජීවයේ අඛණ්ඩ පැවැත්මට පදනම සපයයි. නමුත් දේශගුණ විපර්යාසය හේතුවෙන් බොහෝ ජීවී විශේෂ වල වාසභූමිවලට තර්ජන එල්ලවී ඇත. තම පැවැත්මට දේශගුණ විපර්යාසය මගින් එල්ලවී ඇති තර්ජන හමුවේ එම ජීවී විශේෂ වලට සිදුවී ඇත්තේ ඊට අනුහුරුවීමට හෝ වෙනත් සුවපහසු වාසභූමි වෙත සංක්‍රමණය වීමටය. නොඑසේනම් නිතැතින්ම එම ජීවී විශේෂ දේශගුණ විපර්යාසයේ ගොදුරු බවට පත්ව සහමුලින්ම මිහිමතින් තුරන්වී යයි. පරිසර උෂ්ණත්වයේ සිදුවන සුළු වෙනස්කමක් මගින් පවා පරිසර පද්ධතීන් වලට තීරණාත්මක බලපෑම් එල්ලවේ. විශාල සත්ත්ව හා ශාක විශේෂ රැසකට බලපෑම් එල්ලවේ. තමන්ට එල්ලවන බලපෑම හමුවේ ජීවීන් වඳවී යාම හෝ සංක්‍රමණය වීම මගින් එම ජීවී විශේෂය මගින් පරිසර පද්ධතියට සිදුවූ සේවය අහිමිව යාම සිදුවේ. එමගින් පරිසර පද්ධති සමතුලිතතාවය බිඳ වැටීම තව දුරටත් භයානක ප්‍රතිපල අත්කර දෙයි.

දේශගුණ විපර්යාසය හේතුවෙන් මිහිමත වෙසෙන මුළු ගොඩබිම් ජීවී විශේෂ වලින් හරි අඩකට වඩා 2050 වසර වනවිට වඳවීමේ තර්ජනයට මුහුණදෙනු ඇතැයි අනාවැකි පලවී තිබේ. තමන් ජීවත්වන පරිසර පද්ධති විනාශවීම හේතුවෙන් මෙසේ ජීවීන් විශේෂ වඳවී යාම සිදුවන අතර ඉහළ යන උෂ්ණත්වයට වැඩි සංවේදීබවක් දක්වන කොරල් පර ආශ්‍රිත මුහුදු ජීවීන් මෙන්ම මිරිදිය ජීවීන් ද ඒ අතර පෙරමුණේ පසුවේ. බොහෝ ජීවී විශේෂ වලට තම ජීව ක්‍රියා නිසි පරිදි පවත්වා ගත හැකි ප්‍රශස්ථ උෂ්ණත්ව පරාසයක් ඇති අතර එම පරාසය ඉක්මවා පරිසර උෂ්ණත්වය ඉහළ හෝ පහළ යාම එම ජීවී විශේෂ වලට තම පැවැත්ම තහවුරුකර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා කරයි. එසේම යම්කිසි ජීවී විශේෂයක් ඊට ඔරොත්තු දුන්නද ඔවුන් ආහාර වශයෙන් ලබා ගන්නා ශාක හෝ සත්ත්ව විශේෂ දේශගුණ විපර්යාසයේ බලපෑමට නතු වුවහොත් එයද මුල් ජීවී විශේෂයේ පැවැත්මට අහිතකර අන්දමින් බලපායි. තවද අහිතකර පාරිසරික තත්ත්ව හමුවේ සීග්‍රයෙන් බෝවන ආගන්තුක ආක්‍රමණශීලී ශාක හෝ සත්ත්ව විශේෂ මගින්ද සංවේදී ජීවී විශේෂවල වඳවීම ඉක්මන් කරයි. වර්තමාන සීග්‍රතාවයෙන් අප අඛණ්ඩව ෆොසිල ඉන්දන දහනය කළහොත් වසර 2100 වන විට පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක හයකින් පමණ ඉහළ යනු ඇතැයි IPCC ය අනාවැකි පළකර ඇති අතර එය මිනිසාද ඇතුළුව මුළුමහත් ජෛව ප්‍රජාවටම ඉමහත් විපත්තිදායක ඉරණමක් උදාකරණු ඇතැයි අපේක්ෂා කල හැකිය.

පරිසර උෂ්ණත්වය ඉහළ යාම හා කොරල්පර විරංජනයවීම (Bleaching) අමතරව මුහුදු මට්ටම ඉහළ යාම, කුණාටු , සුළි සුළං, ලැව් ගිනි, නාය යෑම්, ගංවතුර , නියඟය වැනි ආන්තික කාලගුණ තත්ත්ව හා ඒ ආශ්‍රිත ස්වභාවික විපත් ඇතිවීම සුලභාවීම හා ඒවායේ හානිකර බව ඉහළ යාම, වර්ෂාපතන රටාව වෙනස්වීම හා වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යාමත් සමග ශාක වර්ධනය වෙගවත්වීම වැනි දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑම් මගින් ජෛවවිවිධත්වය වළපල්ලට යැවීම ඉක්මන් කරයි. එබැවින් දේශගුණ විපර්යාසය කඩිනම් කිරීමට හේතුවන ෆොසිල ඉන්දන දහනයෙන් වැළකී සිටීමට අප අද සිටම කටයුතු කලයුත්තේ ජෛවවිවිධත්වය විනාශවී යාම මගින් අපට පරිසරයෙන් ලබාගත හැකි ප්‍රයෝජන අඩුවීම නිසා පමණක් නොවේ. සොබාදහම් මවගේ නොහික්මුණු පුත්‍රයන් වන අප විසින් ඇතිකළ දේශගුණ විපර්යාසයේ ගොදුරු බවට අනෙකුත් ජීවීන් විශේෂ පත්කර ඔවුන් මිහිමතින් තුරන්කර දැමීමට අපට කිසිඳු අයිතියක් නැත.

Friday, August 5, 2016


කාබන් පියසටහන

දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑම් අත්විඳිමින් සිටින වර්තමාන සමාජයේ අප සියළු දෙනාටම පාහේ ඊට අනුහුරුවෙමින් දිවි පෙවෙත ගතකිරීමට සිදුවී ඇත. ඊට සමගාමීව තවදුරටත් දේශගුණ විපර්යාසය උත්සන්න කිරීමට හේතුවන හරිතාගාර වායු, වායු ගෝලයට මුදා හැරීම හැකිතරම් අවම කිරීමටද විවිධ උත්සාහයන් දැරෙමින් පවතී. දේශගුණ විපර්යාසය අවමකර ගැනීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩුකර ගැනීමේදී අප ‘කාබන් පියසටහන’ (Carbon Footprint) පිළිබඳව සැලකිලිමත්වීම අත්‍යාවශ්‍යය.

කාබන් පියසටහන, අප එදිනෙදා ජීවිතයේ දී භාවිතා කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණය නිෂ්පාදනය කිරීම සඳහා වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණය පිළිබඳ මිනුමක් ලෙස සරලව විග්‍රහ කළහැකිය. අප ජීවිතයේ ඉදිරියට තබන සෑම පියවරකදීම සිදුකරන කටයුතු, භාවිතා කරන භාණ්ඩ හා සේවා ඔස්සේ අප විසින් හරිතාගාර වායු යම්කිසි ප්‍රමාණයක් වායු ගෝලයට මුදා හැරීම සිදු කරයි. එය අප දැනුවත්වම හෝ නොදැනුවත්ව සෘජු හෝ වක්‍ර ආකාරයෙන් සිදුවිය හැකිය. එසේම තාක්ෂණික දියුණුව හා කාර්යක්ෂමතාවය වැනි කරුණු මත පදනම්ව අප ජීවත්වන රට අනුවද එය වෙනස් වේ. උදාහරණයක් වශයෙන් ඔබ භාවිතා කරන එක් ෂොපින් බෑගයක් නිෂ්පාදනය කිරීමේදී වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණයේ බර කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 740 ක් පමණ වේ. ඔබ භාවිතා කරන මෝටර් රථයට යොදන ඩීසල් ලීටරයක් දහනය වීමෙන් වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණයේ බර කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 740 ක් පමණ වේ. ඔබේ නිවසේ භාවිතාවන ගෘහ විදුලි උපකරණ සඳහා වැයවන විදුලි එකක එකක් නිපදවීම සඳහා වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණයේ බර ග්‍රෑම් 710 ක් පමණ වේ. ඔබ මෙරට සිට යුරෝපයට හෝ ඇමරිකාවට ගුවන් මගින් ගමන් කිරීමේදී එක් ගමනකදී ඔබ වෙනුවෙන් වායු ගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණයේ බර කිලෝග්‍රෑම් 1700 -1900 ක් පමණ වේ. සියළුම පුද්ගලයන්ට, ආයතනවලට හෝ කර්මාන්තශාලාවලට ආදී මිනිසා විසින් නිර්මාණය කරන සියළුම ජීවී හා අජීවී දෑ සඳහා කාබන් පියසටහනක් පවතී. එම අගය කුඩා නම් එහි අදහස වන්නේ එම නිර්මාණය සිදුකිරීමේදී වායු ගෝලයට විමෝචනය වී ඇති හරිතාගාර වායු ප්‍රමාණය කුඩා බවය. එම අගය විශාල නම් වායු ගෝලයට විමෝචනය වී ඇති හරිතාගාර වායු ප්‍රමාණය විශාලය.

අප එදිනෙදා ජීවිතයේදී භාණ්ඩ හා සේවා පරිහරණය කිරීමේදී මේ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. අප සරල අල්පේච්ඡ ජීවිතයකට හුරු වුවහොත් අප නිසා දේශගුණ විපර්යාසය උත්සන්න වීමට ඇතිවන බලපෑම අවම වෙයි. අප අපගේ ජීවිතයේ ඇතිකරගන්නා ඉතා සුළු වෙනස් කමකින් අපට අප නිසා වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අවම කිරීමට දායක විය හැකිය. උදාහරණයක් වශයෙන් අප එක් ෂොපින් බෑගයක් දෙවරක් භාවිතා කළහොත් කාබන්ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 740 ක් වායු ගෝලයට නිකුත්වීම වැළක්විය හැකිය. එක් ෂොපින් බෑගයක් භාවිතාකරන වාර ගණන අනුව අප වායු ගෝලයට මුදාහැරීම වළක්වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය එම වාර ගණන කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 740 න් ගුණ කිරීමෙන් ලබා ගත හැකිය. ඒ අනුව ජීවන රටාවේ ඉතා සරල වෙනසකින් පවා අපට දේශගුණ විපර්යාසය අවම කිරීමට දායක විය හැකි බව පැහැදිලිවේ.

ඉහළ බලශක්ති කාර්යක්ෂමතාවයකින් යුතු ගෘහ විදුලි උපකරණ භාවිතා කිරීම, අඩු බලශක්තියක් වැයවන විදුලි බුබුළු භාවිතා කිරීම, අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීම, හැකි සෑම විටම විදුලි ආලෝකය වෙනුවට ස්වභාවික ආලෝකය භාවිතයට යොමු වීම, අනවශ්‍ය අවස්ථා වලදී රුපවාහිනී හා ගුවන්විදුලි යන්ත්‍ර වැනි විදුලි උපකරණ ක්‍රියා විරහිත කිරීම, ඇඳුම් මැදීමේදී එය එකවර සිදුකිරීම, ස්වභාවික ආලෝකය හා වාතාශ්‍රය හැකි උපරිමයෙන් ප්‍රයෝජනයට ගත හැකි ආකාරයට ගොඩනැගිලි සැලසුම්කරණය, හැකි සෑම විටම පොදු ප්‍රවාහන සේවා මගින් ගමන් බිමන් යාම, පාපැදි භාවිතයට හුරුවීම, ඔබ පදවන මෝටර් රථයේ එන්ජිම නිකරුනේ පණ ගන්වා තැබීමෙන් වැළකීම, කාබණික අපද්‍රවය මගින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම, ගෙවතු වගාවන් වෙත යොමුවීම හා ගෙවත්තේ වගාකරන ආහාර ද්‍රව්‍ය භාවිතයට ගැනීම, රසායනික පොහොර හා කෘෂි රසායන වර්ග භාවිතය හැකි තරම් අවම කිරීම, කාබනික ගොවිතැනට යොමුවීම, කාබනික ආහාර පරිභෝජනයට යොමුවීම හා ආහාර අපතේ නොහැරීම වැනි කටයුතු මගින් අප සියලුම දෙනාට ඒ සඳහා දායකත්වය ලබා දිය හැකිය.

http://www.aithiya.lk/news_view.php?id=1268