Wednesday, August 31, 2016


සූර්යබල සංග්‍රාමය

ගල්අඟුරු හා ෆොසිල ඉන්දන දහනයකර නිපදවූ බලශක්තිය පරිභෝජනය දේශගුණ විපර්යාසය උත්සන්න වීම කෙරෙහි තීරණාත්මක බලපෑමක් සිදුකරන හෙයින් ලොව බොහෝ රටවල් පුනර්ජනනීය බලශක්ති පරිභෝජනය සඳහා විශේෂ උනන්දුවක් දක්වමින් සිටී. එසේම අප රට ද පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය සම්බන්ධ විවිධ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම හා ඒ අනුව විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීමද සිදු විය. නමුත් ඒවායෙන් අපේක්ෂිත අරමුණු ඉටුවනවාද නැද්ද යන්න පිළිබඳව ද එමගින් යහපත් අරමුණ අවභාවිතාවේ යොදවමින් ඇතැමුන් පරිසරය වනසමින් මඩි තරකරගන්නා ආකාරය පිළිබඳවද අප මින් පෙර දේශගුණ කතාබහ තුලින් හෙළිදරව්කර ඇත්තෙමු. ඒ අතරතුර පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය දිරිගැන්වීම පිළිබඳව යම්කිසි යහපත් ප්‍රවේශයක් වෙත අවතීර්ණ වෙමින් වර්තමාන ආණ්ඩුව ‘සූර්යබල සංග්‍රාමය’ නමින් සූර්ය බලශක්තිය තිර කර ජාතික පද්ධතියට එක් කිරීමේ වැඩසටහනකට මුල පිරීම සතුටට කරුණකි.

සූර්ය විදුලි බල නිෂ්පාදනය ඉතා සරල තාක්ෂණයක් භාවිතා කොට සිදු කරන්නක් වන අතර එහිදී සිලිකන්, බෝ‍රෝන් වැනි ද්‍රව්‍ය භාවිතා කර සකස් කරන ලද පැනලය මත සූර්ය කිරණ පතිත කළ විට විද්‍යුතය නිෂ්පාදනය වේ. නිෂ්පාදිත විද්‍යුතය පාලකයක් හරහා ගමන් කරවා බැටරියක් තුළ තැන්පත් කරනු ලබන අතර නැවත පාලකයක් හරහා ගමන් කරවා අවශ්‍යතා සඳහා විදුලිය බෙදා හැරේ. නමුත් වසරේ දින තුන්සිය හැට පහේම පාහේ දිනයෙන් අඩකට මදක් අඩු කාලසීමාවක් පුරා ඉර පායන රටක් වුවත් අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ බලධාරීන් දේශීය බලශක්ති අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා හිරු එළිය දායක කරගැනීමට අතීතයේ සිටම වැඩි උනන්දුවක් දැක්වුයේ නැත. සූර්ය බලශක්තිය පිළිබඳ තාක්ෂණය ලෝකය තුළ හඳුනාගෙන වසර ගණනාවක් ගත වුවද එය ලංකාව තුළ භාවිතයට පැමිණියේ 1986 තරම් මෑත කාලිනව වීම ඊට කදිම නිදසුනකි. ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව කලක සිට බලශක්ති මාධ්‍යක් ලෙස සූර්ය විදුලි බලය භාවිතය යම්තාක් දුරකට හෝ ව්‍යාප්ත වෙමින් පැවතුනේ ජාතික පද්ධතිය මගින් විදුලිය සපයාගැනීමේ තිබූ නොහැකියාව හේතුවෙනි. ඒ අතර වර්තමානයේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතවද මේ පිළිබඳ යම් උනන්දුවක් ඇති වීම නව ප්‍රවනතාවක් ලෙස දක්නට හැක. නමුත් මෙතෙක් සූර්ය විදුලිය නිෂ්පාදනය සම්බන්ධයෙන් ලංකාවේ රාජ්‍ය අංශයේ මැදිහත් වීම පැවතුනේ ඉතාම පහළ මට්ටමක වන අතර ඊට සම්පූර්ණයෙන්ම පාහේ දායකත්වය සපයන ලද්දේ පෞද්ගලික අංශය විසිනි. මේ අතර ආණ්ඩුවේ විදුලිබල බලධාරීන් වැඩි උනන්දුවක් දැක්වුයේ ඩීසල් බලාගාර මගින් හෝ කුඩා ජලවිදුලි බලාගාර මගින් උත්පාදනය කෙරෙන විදුලි බලය වැඩි මිලට මිලදීගෙන විදුලි පාරිභෝගිකයාට ලාබදීමට පමණි. ඊට හේතුව එම පවුද්ගලික බලශක්ති ව්‍යාපාරිකයන් අදාළ බලධාරීන් සමග විශේෂ ඇගෑලුම්කමක් ඇතිකරගැනීම දැයි විමසිය යුතුය. එවැනි පසුබිමක් තුල අළුත් ආණ්ඩුවේ මෙම ‘සූර්යබල සංග්‍රාමය’ ආරම්භකිරීම යම්කිසි ආකාරයක සතුටට කරුණකි.

වර්ෂ 2025 වන විට සූර්ය බලශක්‌තියෙන් රටේ ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට්‌ 1000 ක විදුලි සැපයුමක්‌ එක්‌ කිරීමට  ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කරන අතර එම ඉලක්‌කය වෙත යෑමේ පළමු පියවර වශයෙන් දකුණු, නැගෙනහිර හා උතුරු පළාත්වල සූර්ය බල උද්‍යාන පිහිටුවීමට යෝජනාකෙරේ. ඒ යටතේ පළමු සූර්ය බල උද්‍යානය සියඹලාණ්‌ඩුවේ ඇතිමලේ ප්‍රදේශයේ පිහිටුවීමට සැලසුම්කර ඇති අතර එහි ධාරිතාවය මෙගාවොට්‌ 100 කි. දෙවැනි පියවර වන්නේ රජයේ මුදල් වැය නොකර මහජනතාවගේ මුදලින් සූර්ය බලය උත්පාදනය කිරීමටය. මේ පියවරේදී විදුලි පාරිභෝගිකයන්ගේ වහලය මත සවිකරන ලද සූර්ය පැනල මගින් 2020 වන විට මෙගා වොට්‌ 200 ක සහ 2025 වන විට මෙගාවොට්‌ 1000 ක විදුලි බලයක් උත්පාදනය කරගැනීමේ ඉලක්‌කය වෙත යැමට ආණ්ඩුව සැලසුම් කර ඇත.

මේ වනවිට ශ්‍රී ලංකාවේ වහලය මත සවිකර ඇති සූර්යකෝෂ මගින් උත්පාදනය කරන විදුලිබල ධාරිතාව මෙගා වොට්‌ 30 ක් පමණවේ. ඊට දායකවී සිටින විදුලි පාරිභෝගිකයන් ගණන හාරදහසක්‌ පමණ ය. නව ව්‍යාපෘතියෙන් එම ප්‍රමාණය වැඩි කිරීමට බලාපොරොත්තුවන අතර විදුලිබල මණ්‌ඩලය මගින් නිපදවන විදුලිය කිලෝ වොට්‌ පැය එකක් රුපියල් 22 බැගින් මිලදීගැනීමට නියමිත ය. ඒ සඳහා මෙතෙක් පැවති මිලදී ගැනීම් ක්‍රමවේදයට අමතරව නව ක්‍රම දෙකක්ද හඳුන්වාදී තිබේ. මෙම රු 22 න් සූර්ය පැනල මිලදී ගැනීමට වැය වන මුදල පියවාගෙන අමතර මුදලක්‌ ද උපයාගත හැකියි.


නමුත් කණගාටුවට කරුණ වන්නේ මහත් උත්කර්ෂයෙන් ආරම්භකරන ලද මෙම ව්‍යාපෘතිය තුලද අපැහැදිලි තැන් රැසක් පැවතීම හේතුවෙන් එයද සුදු අලියෙකු බවට පත්වීමට වැඩි ඉඩකඩක් පැවතීමයි. සූර්ය කෝෂ තාක්‍ෂණය අපේ රට තුල නොමැති බැවින් අපට සිදුවන්නේ ඒවා විදෙස් රටවලින් ආනයනය කිරීමටය. සාමාන්‍ය ගෘහස්ථ අවශ්‍යතා ඉටු කරන එවැනි ආනයනික සූර්ය විදුලි පද්ධතියක පවා මිල අතිවිශාල බැවින් ඒවා මිලදීගැනීම පොදු මහජනතාවට පහසු කටයුත්තක් නොවේ. එවැනි පසුබිමක ජාතික පද්ධතියට විදුලිය ලබා දීමට තරම් සමත්  සූර්ය පැනලයක් මිලදීගැනීමට ඔවුනට ඇති හැකියාව පිළිබඳව කතාකරන්නට දෙයක් නැත. එබැවින් සූර්ය පැනල ආනයනයේදී පැනවෙන බදු අඩුකිරීම සිදුකල යුතුය. එසේම මෙම ‘සූර්යබල සංග්‍රාමය’ ජනතාව අතරට ගෙන යාම සඳහා බැංකු හා වෙනත් මුල්‍ය ආයතන මගින් ණය ක්‍රමවේදයක් ඇරඹීමද කාලීන අවශ්‍යතාවයකි. නමුත් මෙම ව්‍යාපෘතිය උත්සවාකාරයෙන් ආරම්භකිරීමට ප්‍රථම එම අවශ්‍යතා ඉටු කිරීමට බලධාරීන් සමත්වී නැත. නොඑසේනම් ඊට බලධාරීන්ට උවමනාවක් නැත. එවැනි පසුබිමක් තුල මෙයද තවත් ඊනියා ව්‍යාපෘතියක් වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි නමුත් අප එය එසේ නොවේවායි මේ මොහොතේද ඉත සිතින් පතමු.

Monday, August 29, 2016

බංකොලොත් සංවර්ධන සිහින

තිස් වසරක් පූරා මේ දිවයින වෙලාගෙන පැවති ශාපලත් යුද්ධය නිමවීමෙන් පසු නැගුනු සාමයේ අරුණළු සමග ශ්‍රී ලංකාව සමාජාර්ථික සංවර්ධනය අතින් ලෝකයේ ඉහළට ගමන් කරණු ඇතැයි සියළුදෙනා අපේක්ෂා දල්වාගෙන සිටියහ. නමුත් මේ දක්වා එම සොඳුරු සිහිනය යථාර්තයක් බවට පත්කර ගැනීමේ මගට රට අවතීර්ණ කිරීමට මෙරට කරවන පාලකයන් අපොහොසත්වී ඇති බව නොරහසකි. ඉකුත් රාජපක්ෂ ආණ්ඩුව විසින් ගෙන ගිය සංවර්ධන වැඩපිළිවෙල මෙන්ම වර්තමාන මෛත්‍රී - රනිල් හවුල් ආණ්ඩුව මුලපුරා සිටින සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව විමසා බලන ඕනෑම අයෙකුට එය වටහා ගැනීමට අපහසු නැත. ඉදිරි දශකය තුලදී හෝ දරිද්‍රතාවය මැඩපැවැත්වීම හා මධ්‍යම අදායම් රටක් ලෙස ස්ථාවරවීම මගින් ලක් වැසියන්ට යහපත් සමාජාර්ථික පරිසරයක් තුල ජීවත්වීම සඳහා අත්‍යාවශ්‍ය සංවර්ධන ඉලක්ක සකස් කොට එම ඉලක්ක ලඟා කරගැනීම සඳහා කැපවීම අනිවාර්යෙන් සිදුකල යුතුය. නමුත්ඒ සියල්ල පසෙක තබා ජනතාවගේ පටි තදකර මහජන මුදල් සුරෑ කමින් මඩිය තර කරගැනීමේ න්‍යායෙන් අත්මිදීමට අපේ රටේ බහුතරයක් දේශපාලකයන්ට තවමත්නොහැකිවී තිබීම කණගාටුවට කරුණකි. ඊට අමතරව අපි දකින බොහොමයක් සංවර්ධන සිහින බංකොලොත්වීමට අපේ ජාතික සංවර්ධන සැලසුම් සඳහා දේශගුණ විපර්යාසය අනුගත කර නොගැනීමද ප්‍රධාන හේතුවක් වී ඇති බව අප අවධාරණය කරගත යුතුය.

මිනිසාගේ අයහපත් ක්‍රියාකලාපයන්ගේ ප්‍රතිපලයක් ලෙස අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින මිහිතලය උණුසුම්වීම සහ දේශගුණ විපර්යාසය මගින්ඇතිකෙරෙන දරුණු හා ප්‍රචණ්ඩ බලපෑමවලින් අප මේ මොහොතේද පීඩාවට පත්ව සිටිමු. ඉදිරි දශකය තුලදී තවදුරටත් ප්‍රබලව මෙම බලපෑම් එල්ලවනු ඇතැයි ද අපට බලාපොරොත්තු වීමට සිදුවේ.එබැවින්අප ක්‍රියාත්මකකරනසංවර්ධන සැලසුම් සඳහා දේශගුණ විපර්යාසය අනුගතකර නොගතහොත් එම සංවර්ධන ව්‍යාපෘතිඅඩාල වේ. එමගින්තවදුරටත් රටේ පවතින ආර්ථික හා සමාජීය විෂමතා වර්ධනය වී ජනතාවට කබලෙන් ලිපට වැටීම සිදුවේ. එබැවින්අපගේ සංවර්ධන න්‍යායපත්‍රය නොසැලී අඛණ්ඩව ඉදිරිය ක්‍රියාත්මකවීම සඳහා සියළු ආර්ථික හා සමාජීය ක්ෂේත්‍ර දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට ඔරොත්තු දෙන ආකාරයෙන් ශක්තිමත් කිරීම සඳහා බලධාරීන් ක්‍රියා කල යුතුය. ඒ අනුව දේශගුණ විපර්යාසයට හැඩගැසීම සඳහා දැනුම, තාක්ෂනය සහ සුක්ෂම සැලසුම්කරණය අත්‍යාවශ්‍ය වේ. නමුත් අවාසනාවකට අපේ රටේ පාලකයන්ට මේ පිළිබඳව වගේ වගක් නැති බව මෙරට තුල ක්‍රියාත්මකවෙමින් පවතින හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යනය කිරීමෙන් පැහැදිලිවේ.

රටේ සංවර්ධනයට අවශ්‍ය ආයෝජකයන් සොයා මේ වනවිට අගමැතිවරයාලොව පූරා විවිධ රටවල් වල සංචාරය කරමින් සිටී. ඔහුගේඑක් ප්‍රධාන බලාපොරොත්තුවක් ලෙස චීනය සඳහන් කල හැකිය. මෙහිදීවිශේෂයෙන් විපත් සමනය නොකලත් නම සංස්කරණය කරන ලද ‘කොළඹ වරාය නගරය’ හා හම්බන්තොට චීන කර්මාන්ත පුරය පිළිබඳව නිතැතින් සිහියට නැගේ. නමුත් එමගින් පරිසරයට එල්ලවන බලපෑම් පිළිබඳව එක් මොහොතකට හෝ සිතා බැලීමට බලධාරීන් උත්සුක වන බවක් නොපෙනේ. විශේෂයෙන් දේශගුණ විපර්යාසයේ ආර්ථිකමය පසුබිම පිළිබඳ අවබෝධය ශ්‍රී ලංකාව තුල ඉතා සීමිතය. දේශගුණ විපර්යාසය මගින් රටේ ආර්ථිකය හා ජනතාව ආරක්ෂා කරගැනීමට ඇත්තේ ඉතා සීමිත නීති ප්‍රතිපාදන කිහිපයක් පමණි. උදාහරණයක් වශයෙන් යම්කිසි සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථම සිදුකෙරෙන පරිසර බලපෑම් තක්සේරුවේදී හෝ ක්‍රමෝපායික පාරිසරික බලපෑම් තක්සේරුවේදීපවාදේශගුණ විපර්යාසය පිළිබඳව සැළකිල්ලක් නොදක්වයි.එමගින් සිදුවන්නේ දේශගුණ විපර්යාසයේ බලපෑම් හමුවේ එකී සංවර්ධන ව්‍යාපෘති වලින් අපේක්ෂිත ප්‍රතිපල නොලැබේ අපේ රට ලෝකයට ණයවී අන්ත අසරණ තත්ත්වයට පත්වීම පමණි.

සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යම්කිසි ප්‍රදේශයක පරිසරයේ විවිධ වෙනස්කම් සිදුකරයි.  එමගින් දේශගුණ රටාවට බලපෑම් එල්ලවේ. උදාහරණයක් වශයෙන් යම්කිසි ප්‍රදේශයක වනාන්තර හෙළි පෙහෙළි කිරීම මගින් පරිසර උෂ්ණත්වය ඉහළ යාම දැක්විය හැකිය. එසේමඑමගින් වැසි ජල උල්පත් සිඳී යාම මගින් ප්‍රදේශයේ ජනතාවට නියං සමයේ ජල ගැටළු වලට මුහුණදීමට සිදුවේ. දේශගුණ විපර්යාසය මගින් නිතර නිතර නියං තත්ත්වයන් ඇතිකරන අතර ඒවායේ තීව්‍රතාවයද වැඩි කරන බව රහසක් නොවේ. එමගින් එම ප්‍රදේශයේ ජනතාවට එල්ලවන බලපෑම දෙගුණ තෙගුණ වේ.වන විනාශය නිසා තම වාසභූමි අහිමිවන අලි ඇතුන් ගම් වැදීම සිදුවේ. ගොවි ජනතාවට වන අලි තර්ජන හා ජල හිඟයට මුහුණදීමට සිදුවීම නිසා ඔවුන්ගේ ආර්ථික තත්වය පිරිහේ. එමගින් සංවර්ධන ව්‍යාපෘතියෙන් ලැබෙන සොච්චම් ලාභයට වඩා වැඩි පාඩුවක් රටේ සමස්ථ ආර්ථිකයට දරන්නට සිදුවේ.

හම්බන්තොට ප්‍රදේශය චීන කර්මාන්ත පුරයක් ඉදිකිරීමට හෝ වෙනයම් ප්‍රදේශයක වනාන්තර විනාශකර වෙනත් සංවර්ධන ව්‍යාපෘතියක් ඇතිකිරීමට යෝජනා කරන බලධාරීන් එමගින් මෙවැනි බලපෑම් එල්ලවීමට හැකිවීමපිළිබඳව ප්‍රමාණවත් අවබෝදයකින් පසුවන්නේද යන්න ගැටළුවකි. සැබෑ ලෙසම මෙවැනි සංවර්ධන ව්‍යාපෘති වලින් සිදුවන්නේ අටුව කඩා පුටුව සෑදුවාට නොදෙවැනි දෙයකි. එය එක් උදාහරණයක් පමණි.


අපේ රටේ ජනතාව සදාකල් දුක් විඳිමින් ජීවත්වීම වැලැක්වීම බලධාරීන්ගේ යුතුකම හා වගකීම බව නොකිවමනාය. නමුත් එම ජනතාව සංවර්ධනය නාමයෙන් කබලෙන් ලිපට ඇද දමීට ඔවුන්ට කිසිඳු අයිතියක් නැත. නමුත් දේශගුණ විපර්යාසය පිළිබඳව සැළකිල්ලක් නොදක්වා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළහොත් සැබෑ ලෙසම සිදුවන්නේ එයය. එබැවින් බලධාරීන් දැන්වත් බංකොලොත් සංවර්ධන සිහින දැකීමෙන් වැළකී යථාර්ථවාදීව තීන්දු තීරණ ගැනීම අත්‍යාවශ්‍යය.ඒ සඳහා දේශගුණ විපර්යාසය ක්‍රමයෙන් ඉස්මතුවන්නාවුත්, සියළුම ක්ෂේත්‍රවලට තර්ජන එල්ලකරන්නාවුත් සංසිද්ධියක් බව සැළකිල්ලට ගත යුතුය. එසේම ජාතික සංවර්ධනයේ හා සැලසුම්කරණයේමුලිකාංගයක් බවටදේශගුණ විපර්යාසයට අනුහුරුවීම පත්කිරීම ඉක්මන් කල යුතුය. 

Friday, August 19, 2016


දූපත් ජෛවවිවිධත්වය

දේශගුණ විපර්යාසය මගින් ජෛවවිවිධත්වයට ඇතිවන බලපෑම පිළිබඳව කතා කිරීමේදී දූපත් ජෛවවිවිධත්වයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ලොව පුරා විසිරී පැතිරී ඇති දූපත් හා  ඒ ආශ්‍රිත වෙරළාසන්න පරිසර පද්ධති අතිවිශාල ජෛවවිවිධත්වයකට උරුමකම් කියන අතර බොහෝ ආවේනික සත්ත්ව හා ශාක විශේෂ වලට එම පරිසර පද්ධති වාසභූමි සපයයි. එසේම දූපත් ජෛවවිවිධත්වය සෙසු ප්‍රදේශ වල ව්‍යාප්තවී ඇති ජෛවවිවිධත්වයට සාපේක්ෂව සංවේදී බවින් වැඩි නිසා දේශගුණ විපර්යාසයේ සැහැසිකම් වලට ගොදුරුවී සදහටම මිහිමතින් තුරන්වී යාමට ඇති නැඹුරුව ඉතා වැඩි වේ. ඊට කදිම නිදසුන වන්නේ පසුගිය වසර 400ක පමණ කාලය තුල පෘථිවි තලයෙන් වඳවී ගිය සත්ත්ව විශේෂ වලින් හරි අඩක්ම දුපත් වල ජීවත්වූ සත්ත්ව විශේෂ වීමය. ඉකුත් ශත වර්ෂය තුළ දූපත් ජෛවවිවිධත්වය ආක්‍රමණික ජීවී විශේෂ, පරිසර හායනය හා අධි පරිභෝජනය, දේශගුණික විපර්යාස හා පරිසර දූෂණය වැනි අහිතකර තත්ත්ව වලට මුහුණ දීම නිසා අනතුරේ වැටී ඇති අතර දේශගුණ විපර්යාසය සෙසු බලපෑමද සමග එකම අවධානම තව දුරටත් ඉහළ දමා ඇත.

මේ පීඩනය වැඩි වශයෙන්ම දැනෙමින් ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍ය (Small Island Developing States - SIDS) වලටය. එනම් අවම ලෙස සංවර්ධනය වෙමින් පවතින, ආර්ථික අවධානමක් ඇති, ලෝක ‍වෙළඳාම  සඳහා අවම මට්ටමෙන් (0.02.%) දායකත්වය ලබාදෙන, මිලියන 1.5කට අඩු ජනගහනයක් ජීවත්වෙන දූපත් ය (මාලදිවයින, බහමාස්, බාබඩෝස්, අන්දමන් දුපත් හා සීෂේල්ස් වැනි).

කාලයත් සමඟ හුදකලාව පරිණාමය වීම නිසා මෙම දූපත්වල ජීවත්වන ජීවී විශේෂ සුවිශේෂි වූ ජාන සංචිතයකට හිමිකම් කියයි. එමගින් අතීතයේ සිටි ජීවී විශේෂ දුපත් තුල පරම්පරා ගණනාවක් පරිණාම වෙමින් නව ජීවී විශේෂ නිර්මාණය කර ඇත. ඔවුන් පසුව නව විශේෂිත ලක්ෂණ දරන ආවේණික ජීවින් බවට පත් වේ. මහද්වීප වලට වඩා දුපත්වල හමුවන ජීවීන් විශේෂ සංඛ්‍යාව ඉතා ඉහළ වේ. දූපත් වල  පවතින අධික හුදකලා ස්වභාවය, දූපතේ ප්‍රමාණය හා භූ විශමතා මත සතුන්ගේ ආවේණිකතාවය ඉහළ යයි. උදාහරණයක් වශයෙන් හවායි දූපත් වල හමුවන ජීවින්ගෙන් 90%කට වඩා එම දූපතට ආවේණිකවේ. මොරිෂස් දූපතේ සියලුම සපුෂ්ක ශාක, ක්ෂීරපායි, පක්ෂීන්, උරඟයන් හා උභය ජීවීන් ගෙන් 50% පමණ එම දූපතට ආවේණිකවේ. ලොව වැඩිම උභයජීවීන්ගේ ආවේණිකතාවයට හිමිකම් කියන සීෂෙල්ස් රාජ්‍යයද කුඩා දූපත් රාජ්‍යක් වෙයි.

මේ සා විශාල ජෛවවිවිධත්වයකට හිමිකම් කියන සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍ය මත දේශගුණ විපර්යාසය මගින් ඇතිකර ඇති බලපෑම් නිසා එම ජීවී විශේෂ වඳවී යාම ඉතා කණගාටුදායක තත්ත්වයකි. එය ආකාර කිහිපයකින් සිදුවේ. දේශගුණික විපර්යාසයේ බලපෑම් අතරින් දූපත් ජෛවවිවිධත්වයට වැඩිම තර්ජනයක් එල්ල වන්නේ මුහුදු මට්ටම  ඉහල යාම හා මුහුදු මතුපිට පෘෂ්ඨයේ උෂ්ණත්වය ඉහල යාම මගිනි. මුහුදු මට්ටම  ඉහල යෑමෙන් ලවණතාව අධික වී, මිරිදිය ජලය අඩුවීම හා කෘෂිකාර්මික බිම් ප්‍රමාණය අඩුවීම සිදුවේ. මුහුද මතුපිට පෘෂ්ඨයේ උෂ්ණත්වය ඉහල යෑමෙන් කොරල් පර මිය යයි. මෙය මේ පරිසරය මත යැපෙන ජීවීන් හට ඍණාත්මකව බලපායි. එබැවින් දූපත්වල ජෛව සුරක්ෂිතතාව හා ආර්ථික සුරක්ෂිතතාව බිඳ වැටේ. එසේම දේශගුණ විපර්යාසයේ බලපෑම නිසා ඇතිවන අහිතකර පරිසර තත්ත්ව වලට ඔරොත්තු දෙමින් වර්ධනය වන ආක්‍රමණශීලී විශේෂ මගින්ද දූපත් ජෛවවිවිධත්වයට එල්ල වන්නේ මරු පහරකි. දූපත් ජීවීන් කුඩා ගහන ලෙස ජීවත්වීම, විශේෂිත අවශ්‍යතා සහිතවීම හා විලෝපීයයන් කෙරෙහි අවම ආරක්ෂණයක් සහිතවීම හේතුවෙන් ඔවුන් ඉතා ඉක්මනින් ආක්‍රමණ ජීවීන් හමුවේ පරාජයට පත්වේ. දේශගුණ විපර්යාසය සමග ඉහළ යන ස්වභාවික ආපදාවන්  මගින්ද ජෛවවිවිධත්වයට තීරණාත්මක බලපෑමක් එල්ලවේ. කුණාටු , සුළි සුළං, ලැව් ගිනි, නාය යෑම්, ගංවතුර , නියඟය වැනි ස්වභාවික ආපදාවන් මඟින් දුපත් වලට විශාල බලපෑමක් සිදුවේ. මෙමගින් ජීවීන් විශාල වශයෙන් මියයාම සිදුවේ. එසේම දේශගුණ විපර්යාසයේ සැහැසිකම් නිසා ආර්ථික දුෂ්කරතාවලට ලක්වන දූපත් ජනයා ජෛව සම්පත් අධික ලෙස පරිභෝජනය කිරීමට පටන් ගැනීම නිසාද දූපත් ජෛවවිවිධත්වය තර්ජනය ලක්වේ.

දුපතක් ලෙස පැවතීම නිසා ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්වයටද දේශගුණ විපර්යාසයෙන් ඇතිවන ඉහත බලපෑම් පොදුය. මයොසීන අවධියේ ශ්‍රී ලංකාව ඉන්දියානු මහද්වීපයෙන් වෙන් වූ නමුත් මුහුදු මට්ටම පහළ යාම හේතුවෙන් විවිධ අවස්ථා වලදී සත්ත්ව විශේෂ ගොඩබිම හරහා දෙපසට සංක්‍රමණය වීම සිදුවිය. . මේ කාලයේ දී හිමාලය කඳු වැටිය ඉස්මතු වීම, ආසියාතික මහද්වීපයෙන් ශ්‍රී ලංකාව, සුමාත්‍රා හා බෝනියෝ වැනි විශාල දූපත් වෙන් වීම සිදු විය. නමුත් මීට වසර දසදහසකට  පමණ පෙර ශ්‍රී ලංකාව ඉන්දියානු මහද්වීපයෙන් සම්පුර්ණයෙන්ම වෙන්වීම සිදුවූ අතර එතැන් සිට අපේ රටේ ගහකොළ හා සතා සිව්පාව දූපත් පරිසරයක් තුල පරිණාමය වීම සිදුවිය. එකී පරිණාමික ක්‍රියාවලිය ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය අතින් ඉතාම පොහොසත් රටක් බවට පත්කර ඇත. ඊට අමතරව දිවයිනේ උතුරු වයඹ දිග ප්‍රදේශ වල කුඩා දූපත් ද පිහිටා ඇති අතර ඒවායේද සුවිශේෂී සත්ත්ව හා ශාක විශේෂ හමුවේ.

මෙම ජෛවවිවිධත්වය දේශගුණ විපර්යාසයේ බලපෑම් වලින් ආරක්ෂා කිරීමට අප ඉතා උනන්දුවෙන් කටයුතු කල යුත්තේ, මිනිසුන් වන අපට දේශගුණ විපර්යාසයේ අහිතකර බලපෑම් ජයගෙන ආර්ථික වශයෙන් ස්ථාවර වීමට පවා එම ජෛවවිවිධත්වය මහෝපකාරී වන බැවිනි.

Thursday, August 11, 2016

ජෛවවිවිධත්වය වලපල්ලට

ජෛවවිවිධත්වය යනු විවිධ ස්වරූප වල පරිසර පද්ධතීන් රැසක ඉහළ ප්‍රවේණික ද්‍රවය විවිධත්වයක් සහිත එකිනෙකට වෙනස් ජීවී විශේෂ රැසක් ජීවත්වීම ලෙස සරලව හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ දේශගුණ රටාව, භූගෝලීය පිහිටීම හා පාංශු සාධක ඈ විවිධ කරුණු මත පදනම්ව විවිධ ස්වරූප වල පරිසර පද්ධති වර්ග ගණනාවක් පිහිටා තිබේ. උදාහරණයක් වශයෙන් තෙත් සදාහරිත වනාන්තර, වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ලඳු කැලෑ, කඩොලාන, තෙත්බිම්, කොරල් පර, මුහුදු තෘණබිම් දැක්විය හැකිය. එම පරිසර පද්ධති තුල ක්ෂීරපායීන්, පක්ෂීන්, උරගයන්, උභයජීවීන්, මසුන්, කෘමීන්, ක්ෂුද්‍ර ජීවීන් වැනි කාණ්ඩ වලට අයත් විවිධ ජීවී විශේෂ රාශියක් ජීවත්වීමද ඉහල ජෛවවිවිධත්වයක් පැවතීමට හේතුවේ. එසේම එම එක් එක් ජීවී විශේෂයේ ජීවීන් අතර පවා විවිධ වෙනස්කම් ඇතිවීමට හේතුවන ප්‍රවේණික ද්‍රව්‍ය නොඑසේනම් ජානමය විවිධත්වයක් පැවතීමද උසස් ජෛවවිවිධත්වයක අංගයකි. ලෝකයේ ජෛවවිවිධත්වය අතින් විශාල පොහොසත්කමක් හිමි රටවල් අතර ශ්‍රී ලංකාවද පසුවන්නේ ඉහළම ස්ථානයකය. එසේම එම ජෛවවිවිධත්වය මගින් අපට ලබාගත හැකි පල ප්‍රයෝජනද රාශියකි. නමුත් දේශගුණ විපර්යාසය හේතුවෙන් එම ජෛවවිවිධත්වය වලපල්ලය යාම ඉක්මන්වීම මේ මොහොතේද අප මුහුණදී සිටින බරපතල ගැටළුවකි.

නිරෝගී පරිසර පද්ධති හා පොහොසත් ජෛවවිවිධත්වය මිහිමත ජීවයේ අඛණ්ඩ පැවැත්මට පදනම සපයයි. නමුත් දේශගුණ විපර්යාසය හේතුවෙන් බොහෝ ජීවී විශේෂ වල වාසභූමිවලට තර්ජන එල්ලවී ඇත. තම පැවැත්මට දේශගුණ විපර්යාසය මගින් එල්ලවී ඇති තර්ජන හමුවේ එම ජීවී විශේෂ වලට සිදුවී ඇත්තේ ඊට අනුහුරුවීමට හෝ වෙනත් සුවපහසු වාසභූමි වෙත සංක්‍රමණය වීමටය. නොඑසේනම් නිතැතින්ම එම ජීවී විශේෂ දේශගුණ විපර්යාසයේ ගොදුරු බවට පත්ව සහමුලින්ම මිහිමතින් තුරන්වී යයි. පරිසර උෂ්ණත්වයේ සිදුවන සුළු වෙනස්කමක් මගින් පවා පරිසර පද්ධතීන් වලට තීරණාත්මක බලපෑම් එල්ලවේ. විශාල සත්ත්ව හා ශාක විශේෂ රැසකට බලපෑම් එල්ලවේ. තමන්ට එල්ලවන බලපෑම හමුවේ ජීවීන් වඳවී යාම හෝ සංක්‍රමණය වීම මගින් එම ජීවී විශේෂය මගින් පරිසර පද්ධතියට සිදුවූ සේවය අහිමිව යාම සිදුවේ. එමගින් පරිසර පද්ධති සමතුලිතතාවය බිඳ වැටීම තව දුරටත් භයානක ප්‍රතිපල අත්කර දෙයි.

දේශගුණ විපර්යාසය හේතුවෙන් මිහිමත වෙසෙන මුළු ගොඩබිම් ජීවී විශේෂ වලින් හරි අඩකට වඩා 2050 වසර වනවිට වඳවීමේ තර්ජනයට මුහුණදෙනු ඇතැයි අනාවැකි පලවී තිබේ. තමන් ජීවත්වන පරිසර පද්ධති විනාශවීම හේතුවෙන් මෙසේ ජීවීන් විශේෂ වඳවී යාම සිදුවන අතර ඉහළ යන උෂ්ණත්වයට වැඩි සංවේදීබවක් දක්වන කොරල් පර ආශ්‍රිත මුහුදු ජීවීන් මෙන්ම මිරිදිය ජීවීන් ද ඒ අතර පෙරමුණේ පසුවේ. බොහෝ ජීවී විශේෂ වලට තම ජීව ක්‍රියා නිසි පරිදි පවත්වා ගත හැකි ප්‍රශස්ථ උෂ්ණත්ව පරාසයක් ඇති අතර එම පරාසය ඉක්මවා පරිසර උෂ්ණත්වය ඉහළ හෝ පහළ යාම එම ජීවී විශේෂ වලට තම පැවැත්ම තහවුරුකර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා කරයි. එසේම යම්කිසි ජීවී විශේෂයක් ඊට ඔරොත්තු දුන්නද ඔවුන් ආහාර වශයෙන් ලබා ගන්නා ශාක හෝ සත්ත්ව විශේෂ දේශගුණ විපර්යාසයේ බලපෑමට නතු වුවහොත් එයද මුල් ජීවී විශේෂයේ පැවැත්මට අහිතකර අන්දමින් බලපායි. තවද අහිතකර පාරිසරික තත්ත්ව හමුවේ සීග්‍රයෙන් බෝවන ආගන්තුක ආක්‍රමණශීලී ශාක හෝ සත්ත්ව විශේෂ මගින්ද සංවේදී ජීවී විශේෂවල වඳවීම ඉක්මන් කරයි. වර්තමාන සීග්‍රතාවයෙන් අප අඛණ්ඩව ෆොසිල ඉන්දන දහනය කළහොත් වසර 2100 වන විට පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක හයකින් පමණ ඉහළ යනු ඇතැයි IPCC ය අනාවැකි පළකර ඇති අතර එය මිනිසාද ඇතුළුව මුළුමහත් ජෛව ප්‍රජාවටම ඉමහත් විපත්තිදායක ඉරණමක් උදාකරණු ඇතැයි අපේක්ෂා කල හැකිය.

පරිසර උෂ්ණත්වය ඉහළ යාම හා කොරල්පර විරංජනයවීම (Bleaching) අමතරව මුහුදු මට්ටම ඉහළ යාම, කුණාටු , සුළි සුළං, ලැව් ගිනි, නාය යෑම්, ගංවතුර , නියඟය වැනි ආන්තික කාලගුණ තත්ත්ව හා ඒ ආශ්‍රිත ස්වභාවික විපත් ඇතිවීම සුලභාවීම හා ඒවායේ හානිකර බව ඉහළ යාම, වර්ෂාපතන රටාව වෙනස්වීම හා වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යාමත් සමග ශාක වර්ධනය වෙගවත්වීම වැනි දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑම් මගින් ජෛවවිවිධත්වය වළපල්ලට යැවීම ඉක්මන් කරයි. එබැවින් දේශගුණ විපර්යාසය කඩිනම් කිරීමට හේතුවන ෆොසිල ඉන්දන දහනයෙන් වැළකී සිටීමට අප අද සිටම කටයුතු කලයුත්තේ ජෛවවිවිධත්වය විනාශවී යාම මගින් අපට පරිසරයෙන් ලබාගත හැකි ප්‍රයෝජන අඩුවීම නිසා පමණක් නොවේ. සොබාදහම් මවගේ නොහික්මුණු පුත්‍රයන් වන අප විසින් ඇතිකළ දේශගුණ විපර්යාසයේ ගොදුරු බවට අනෙකුත් ජීවීන් විශේෂ පත්කර ඔවුන් මිහිමතින් තුරන්කර දැමීමට අපට කිසිඳු අයිතියක් නැත.

Friday, August 5, 2016


කාබන් පියසටහන

දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑම් අත්විඳිමින් සිටින වර්තමාන සමාජයේ අප සියළු දෙනාටම පාහේ ඊට අනුහුරුවෙමින් දිවි පෙවෙත ගතකිරීමට සිදුවී ඇත. ඊට සමගාමීව තවදුරටත් දේශගුණ විපර්යාසය උත්සන්න කිරීමට හේතුවන හරිතාගාර වායු, වායු ගෝලයට මුදා හැරීම හැකිතරම් අවම කිරීමටද විවිධ උත්සාහයන් දැරෙමින් පවතී. දේශගුණ විපර්යාසය අවමකර ගැනීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩුකර ගැනීමේදී අප ‘කාබන් පියසටහන’ (Carbon Footprint) පිළිබඳව සැලකිලිමත්වීම අත්‍යාවශ්‍යය.

කාබන් පියසටහන, අප එදිනෙදා ජීවිතයේ දී භාවිතා කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණය නිෂ්පාදනය කිරීම සඳහා වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණය පිළිබඳ මිනුමක් ලෙස සරලව විග්‍රහ කළහැකිය. අප ජීවිතයේ ඉදිරියට තබන සෑම පියවරකදීම සිදුකරන කටයුතු, භාවිතා කරන භාණ්ඩ හා සේවා ඔස්සේ අප විසින් හරිතාගාර වායු යම්කිසි ප්‍රමාණයක් වායු ගෝලයට මුදා හැරීම සිදු කරයි. එය අප දැනුවත්වම හෝ නොදැනුවත්ව සෘජු හෝ වක්‍ර ආකාරයෙන් සිදුවිය හැකිය. එසේම තාක්ෂණික දියුණුව හා කාර්යක්ෂමතාවය වැනි කරුණු මත පදනම්ව අප ජීවත්වන රට අනුවද එය වෙනස් වේ. උදාහරණයක් වශයෙන් ඔබ භාවිතා කරන එක් ෂොපින් බෑගයක් නිෂ්පාදනය කිරීමේදී වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණයේ බර කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 740 ක් පමණ වේ. ඔබ භාවිතා කරන මෝටර් රථයට යොදන ඩීසල් ලීටරයක් දහනය වීමෙන් වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණයේ බර කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 740 ක් පමණ වේ. ඔබේ නිවසේ භාවිතාවන ගෘහ විදුලි උපකරණ සඳහා වැයවන විදුලි එකක එකක් නිපදවීම සඳහා වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණයේ බර ග්‍රෑම් 710 ක් පමණ වේ. ඔබ මෙරට සිට යුරෝපයට හෝ ඇමරිකාවට ගුවන් මගින් ගමන් කිරීමේදී එක් ගමනකදී ඔබ වෙනුවෙන් වායු ගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණයේ බර කිලෝග්‍රෑම් 1700 -1900 ක් පමණ වේ. සියළුම පුද්ගලයන්ට, ආයතනවලට හෝ කර්මාන්තශාලාවලට ආදී මිනිසා විසින් නිර්මාණය කරන සියළුම ජීවී හා අජීවී දෑ සඳහා කාබන් පියසටහනක් පවතී. එම අගය කුඩා නම් එහි අදහස වන්නේ එම නිර්මාණය සිදුකිරීමේදී වායු ගෝලයට විමෝචනය වී ඇති හරිතාගාර වායු ප්‍රමාණය කුඩා බවය. එම අගය විශාල නම් වායු ගෝලයට විමෝචනය වී ඇති හරිතාගාර වායු ප්‍රමාණය විශාලය.

අප එදිනෙදා ජීවිතයේදී භාණ්ඩ හා සේවා පරිහරණය කිරීමේදී මේ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. අප සරල අල්පේච්ඡ ජීවිතයකට හුරු වුවහොත් අප නිසා දේශගුණ විපර්යාසය උත්සන්න වීමට ඇතිවන බලපෑම අවම වෙයි. අප අපගේ ජීවිතයේ ඇතිකරගන්නා ඉතා සුළු වෙනස් කමකින් අපට අප නිසා වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අවම කිරීමට දායක විය හැකිය. උදාහරණයක් වශයෙන් අප එක් ෂොපින් බෑගයක් දෙවරක් භාවිතා කළහොත් කාබන්ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 740 ක් වායු ගෝලයට නිකුත්වීම වැළක්විය හැකිය. එක් ෂොපින් බෑගයක් භාවිතාකරන වාර ගණන අනුව අප වායු ගෝලයට මුදාහැරීම වළක්වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය එම වාර ගණන කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 740 න් ගුණ කිරීමෙන් ලබා ගත හැකිය. ඒ අනුව ජීවන රටාවේ ඉතා සරල වෙනසකින් පවා අපට දේශගුණ විපර්යාසය අවම කිරීමට දායක විය හැකි බව පැහැදිලිවේ.

ඉහළ බලශක්ති කාර්යක්ෂමතාවයකින් යුතු ගෘහ විදුලි උපකරණ භාවිතා කිරීම, අඩු බලශක්තියක් වැයවන විදුලි බුබුළු භාවිතා කිරීම, අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීම, හැකි සෑම විටම විදුලි ආලෝකය වෙනුවට ස්වභාවික ආලෝකය භාවිතයට යොමු වීම, අනවශ්‍ය අවස්ථා වලදී රුපවාහිනී හා ගුවන්විදුලි යන්ත්‍ර වැනි විදුලි උපකරණ ක්‍රියා විරහිත කිරීම, ඇඳුම් මැදීමේදී එය එකවර සිදුකිරීම, ස්වභාවික ආලෝකය හා වාතාශ්‍රය හැකි උපරිමයෙන් ප්‍රයෝජනයට ගත හැකි ආකාරයට ගොඩනැගිලි සැලසුම්කරණය, හැකි සෑම විටම පොදු ප්‍රවාහන සේවා මගින් ගමන් බිමන් යාම, පාපැදි භාවිතයට හුරුවීම, ඔබ පදවන මෝටර් රථයේ එන්ජිම නිකරුනේ පණ ගන්වා තැබීමෙන් වැළකීම, කාබණික අපද්‍රවය මගින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම, ගෙවතු වගාවන් වෙත යොමුවීම හා ගෙවත්තේ වගාකරන ආහාර ද්‍රව්‍ය භාවිතයට ගැනීම, රසායනික පොහොර හා කෘෂි රසායන වර්ග භාවිතය හැකි තරම් අවම කිරීම, කාබනික ගොවිතැනට යොමුවීම, කාබනික ආහාර පරිභෝජනයට යොමුවීම හා ආහාර අපතේ නොහැරීම වැනි කටයුතු මගින් අප සියලුම දෙනාට ඒ සඳහා දායකත්වය ලබා දිය හැකිය.

http://www.aithiya.lk/news_view.php?id=1268

Saturday, July 23, 2016

දේශගුණ සාමය (Climate Peace)

සෑම වසරකම සැප්තැම්බර 21 වැනිදා වැදගත් දිනයක් බවට පත්වන්නේ අන්තර්ජාතික සාම දිනය එදිනට යෙදී තිබීම හේතුවෙනි. මෙවර සාම දිනයේ තේමාව ‘ධරණීය සංවර්ධන ඉලක්ක: සාමය සඳහා සාධන ඒකක’ (The Sustainable Development Goals: Building Blocks for Peace) යන්නයි. ඒ අතර මෙම වසරේ සැප්තැම්බර 21 වැනිදා මුළුමහත් ලෝකයටම ඉතා වැදගත් දිනයක් වනු ඇතැයි අප සියල්ලෝම අපේක්ෂා සහගතව බලා සිටිමු. ඒ මන්ද යත් එදින රාජ්‍යයන් අතර ජනවර්ග අතර හෝ මානව අධ්‍යාත්මය තුල සාමය ගොඩනැගීම ගැන කතාකිරීමට අමතරව දේශගුණ සාමය (Climate Peace) ගොඩනැගීම සම්බන්ධයෙන්ද ඉතා තීරණාත්මක කටයුත්තක් සිදුවීමට නියමිත බැවිනි.

මිනිසාගේ පැවැත්මට යුද්ධ, අවි ගැටුම් ඈ විවිධ ආකාරයේ හිංසන වලින් තොර සාමකාමී සමානාත්මතා අවකාශයක් ඉතා වැදගත් ය. එසේම මිනිසා ඇතුළු සමස්ථ ජීව ලෝකයේම පැවැත්ම සහතික කිරීම සඳහා දේශගුණ විපර්යාසයයේ බලපෑම් වලින් තොර සාමකාමී පරිසරයක්ද අවශ්‍ය ය. ලෝක සාමය ඇතිකර ගැනීම සඳහා මුළුමහත් ලෝක නායකයන් හා ජනතාව කැපවිය යුතු ආකාරයෙන්ම දේශගුණ සාමය ඇතිකර ගැනීම සඳහාද ගෝලීය වශයෙන් කැපවීම අත්‍යාවශ්‍ය වෙයි. ඒ සඳහා ලෝක නායකයින් විසින් අත්සන් කරන ලද පැරිස් දේශගුණ ගිවිසුම බලාත්මක කරගැනීමේ බරපතල අභියෝගය මේ මොහොතේ අප අභිමුව ඇති අතර මිහිතලයේ අනාගතය තීරණය කරන ප්‍රධාන සාධකයක් බවට ද එය පත්ව ඇත.

දේශගුණ විපර්යාසය ආපසු හැරවීමේ ගෝලීය මැදිහත්වීම කඩිනම් කිරීම පිණිස පැරිස් ගිවිසුම එයට අත්සන් තැබූ රටවල ඉක්මනින්ම අපරානුමත කරගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම වසරේ සාම දිනය යොදාගැනීමට අදහස් කරගෙන ඇත්තේ එවැනි පසුබිමකය. මෙම වසරේ සැප්තැම්බර් 21 දින පැවැත්වෙන විශේෂ උත්සවයකදී තම රටවල් පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමත කරන ලද බවට වූ මෙවලම් (instruments) බාර දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බැන් කි මූන් මහතා සියලුම රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ ඒ අනුවය.

එම කටයුත්ත අන්තර්ජාතික සාම දිනයේදීම සිදුකිරීමට සැලසුම් කිරීමද සුවිශේෂී වන්නේ සැබැවින්ම දේශගුණ සාමය ඇතිකර නොගෙන ලෝක සාමය ඇතිකරගැනීමද උගහට වන බැවිණි. දේශගුණ විපර්යාසයේ බලපෑම නිසා මේ වනවිටත් ලොව පුරා විවිධ ප්‍රදේශ වල ජීවත්වන ජනතාවට විවිධ ගැටළු හා දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවී ඇති බව ප්‍රකට කරුණකි. ඊට හේතුවී ඇත්තේ දේශගුණ විපර්යාසයේ අහිතකර බලපෑම් නිසා මිනිසාට තම මූලික අවශ්‍යතා ප්‍රශස්ථ පරිදි ඉටුකර ගැනීමට නොහැකි වීමය. දේශගුණ විපර්යාසයේ පලපෑම නිසා ජනතාවට ආහාර, ජලය, වාසස්ථාන, සනීපාරක්ෂක පහසුකම්, යටිතල පහසුකම් ඈ විවිධ ජීවන අවශ්‍යතාවයන් සපයා ගැනීමේ ගැටළු වලට මුහුණදීමට සිදුවී ඇත. දේශගුණ විපර්යාසය හේතුවෙන් දිනෙන් දිනම මිනිසාගේ පැවැත්මට අවශ්‍ය ස්වභාවික සම්පත් සීමා වීම ඊට හේතුවයි. එම සීමිත සම්පත් බෙදා හදා ගැනීමේදී විවිධ ජන වර්ග, කණ්ඩයක්, හා රාජ්‍ය අතර ගැටුම් ඇතිවී තිබේ. එය ලෝක සාමය ඇතිකිරීමට බාධාවකි. මතුපිටින් බැලීමේදී එය යුද්ධයක් හෝ අවි ගැටුමක් ලෙස පෙනුනද එහි හරය සම්පත් බෙදී යාමේ විෂමතාවය ය. එය වැලැක්වීම සඳහා මිහිතලය මත දේශගුණ සාමය ඇතිකිරීම අත්‍යාවශ්‍ය ය.

ලෝක ජනතාවට සාමය ලබාදීම සඳහා ධරණීය සංවර්ධන ඉලක්ක යොදා ගැනීම පිළිබඳව මෙවර සාම දිනයේදී සාකච්ඡාවට බඳුන් කරන බව ඉහතද සඳහන් කරමි. 2015 සැප්තැම්බර් 25දා රැස් වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරගත් මෙම ධරණීය සංවර්ධන ඉලක්ක 17, 2030 සැප්තැම්බර් 30දා වන විට අත්පත් කර ගැනීමට අපේක්ෂා කෙරේ. ධරණීය සංවර්ධන ඉලක්කවලින් අපේක්ෂා කරන්නේ සහශ්‍ර‍ක සංවර්ධන ඉලක්කවලින් ඔබ්බට ගොස් දිළිඳුභාවයේ මූලික හේතු හඳුනාගැනීම හා සියලු ජනතාවන්ට සරිලන සංවර්ධනයක් වෙනුවෙන් වන විශ්වීය අවශ්‍යතාව ආමන්ත්‍ර‍ණය කිරීමයි. සෑම ආකාරයක ම දිළිඳුකම දුරලීම, සාගින්න දුරලීම, සෑම වයසකදී ම සෞඛ්‍ය සම්පන්න හා හොඳ ජීවිතයක් ප්‍ර‍වර්ධනය කිරීම, කාටත් පිවිසිය හැකි ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට සැමට තිබෙන අයිතිය ප්‍ර‍වර්ධනය කිරීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තහවුරු කිරීම, සැමට ජලය හා සනීපාරක්ෂාව තහවුරු කිරීම, සැමට පහසුවෙන් පුනර්ජනනීය බලශක්ති වෙත ප්‍රවේශය ලබා දීම, සියලු දෙනාට පූර්ණ රැකියා නියුක්තිය හා මනා වැඩ අවස්ථා සැලසීම, අවශ්‍යතාවන්ට හැඩගැසිය හැකි අන්දමින් යටිතල පහසුකම් ගොඩනැගීම, රටවල් තුළ හා රටවල් අතර අසමානතා අවම කිරීම, නගර හා මානව ජනාවාස මිනිසුන්ට හිතකර, ආරක්ෂිත, අවශ්‍යතාවන්ට හැඩගැසිය හැකි තිරසාර තැන් බවට පත් කිරීම, තිරසාර පාරිභෝජනය හා නිෂ්පාදනය තහවුරු කිරීම, දේශගුණික විපර්යාස හා එහි බලපෑම් අවම කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම, මුහුද හා සාමුද්‍රික සම්පත් සුරක්ෂා කිරීම හා දරා ගත හැකි අන්දමින් පරිහරණය කිරීම, විශ්ව පාරිසරික පද්ධතිය සුරක්ෂා කිරීම හා දරා ගත හැකි අන්දමින් පරිහරණය කිරීම ප්‍ර‍වර්ධනය කිරීම, ධරණීය සංවර්ධනය සඳහා සාමකාමී හා සහභාගී සමාජයන් ප්‍ර‍ර්ධනය කිරීම හා ධරණීය සංවර්ධනය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වන ගෝලීය සහභාගිත්වය පණගැන්වීම එම ඉලක්කයි.

එම සියළු ඉලක්ක සපුරා ගැනීම ලෝක සාමය ඇතිකරගැනීමට ඉවහල්වන අතරම දේශගුණ සාමය නොමැතිව කිසිදාක එම ඉලක්ක වෙත ලඟාවිය නොහැකිය. දේශගුණ විපර්යාසය අවමකිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට අප සියළු දෙනා අත්වැල් බැඳගත යුත්තේ එබැවිනි. එමගින් දේශගුණයේ සැහැසිකම් කෙමෙන් අඩුකර දේශගුණය සාමකාමී කර ගැනීමට අපට හැකියාව ලැබේ. එමගින් එහි අහිතකර බලපෑම් වලින් කෙමෙන් අත්මිදී ලෝක සාමය හා ධරණීය සංවර්ධනය ඇතිකරගැනීමට අපට හැකිවේ.

http://www.aithiya.lk/news_view.php?id=1234 

Thursday, July 21, 2016

පැරිස් බලාපොරොත්තුව

දේශගුණ විපර්යාස ඇතිවීමට හේතුවී ඇති හරිතාගාර වායු විමෝචනය ලොව පුරා විවිධ රටවල් විවිධ පරිමාණයෙන් සිදු කරනු ලැබේ. සංවර්ධිත රටවල් මහා පරිමාණයෙන් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් සාපේක්ෂව අඩු වශයෙන් හරිතාගාර වායු විමෝචනය සිදුකරයි. නමුත් දේශගුණ විපර්යාසයේ අහිතකර බලපෑම් එල්ලවීමේදී ඒවා හරිතාගාර වායු විමෝචනය මහා පරිමාණයෙන් සිදුකරන සංවර්ධිත රටවලට පමණක් බරපතල වශයෙන් එල්ල වන්නේ නැත. හරිතාගාර වායු විමෝචනය අවම වශයෙන් සිදුකරන සංවර්ධනය වෙමින් පවතින රටවලට සහනයක් ලැබෙන්නේද නැත. දේශගුණ විපර්යාස වලට එරෙහිව සිදුකරන සටන ගෝලීය මට්ටමෙන් සිදුවිය යුත්තේ එබැවිනි. ඒ ආකාරයෙන් අන්තර්ජාතික මටටමින් දේශගුණ විපර්යාසය වලක්වා ගැනීම සඳහා දැනට අප සකස් කරගෙන ඇති එකම බලාපොරොත්තු සහගත මෙවළම ඉකුත් වසරේ ප්‍රංශයේ පැරිස් නුවරදී එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ (United Nations Framework convention on Climate Change – UNFCCC) පාර්ශවකරුවන්ගේ 21 වැනි සැසි වාරයේදී ඇති කරගන්නා ලද පැරිස්‌ දේශගුණ ගිවිසුම පමණි.කෙසේ නමුත් මේ වන විට එම පැරිස් බලාපොරොත්තුවද ගිලිහී යනු ඇතිද යන සැකය මතුවී තිබීම කණගාටුවට කරුණකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය ඇතිකර ගත්තේ 1994 වසරේදී ය. ඒ සඳහා එක්සත් ජාතීන්ට අයත් රටවල් 198ක් ඒකාබද්ධවී ඇත. වසරක් පාසා එම සම්මුතියේ පාර්ශවකරුවන් විසින් ලොව විවිධ ස්ථානවලදී එක්රැස්වී දේශගුණ විපර්යාස වලට මුහුණදීම පිළිබඳව සාකච්ඡා වට පවත්වා ඇතත් එම සාකච්ඡා සියල්ල අවසන්වුනේ ප්‍රතිපල රහිතවය. මේ දක්වා එවැනි සමුළු 21ක් පවත්වා ඇති අතර පැරිසියේදී පැවැත්වුනේ එම 21 වැනි සැසි වාරයයි. එදා මෙදා තුර යම්කිසි හෝ සාධනීය ජයග්‍රහණයක් අත්කරගෙන ඇත්තේ 1997 වසරේ කියෝතෝ සමුළුවේදී වන අතර ඒ කියෝතෝ සම්මුතිය (Kiyoto Protocol) ය.

ඉන්පසු ඉකුත් වසරේදී ඇතිකරගත් පැරිස් දේශගුණ ගිවිසුම 2020 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර එය මිහිකත වැසියන්ට තම අනාගතය පිළිබඳව තබාගත හැකි අවසන් බලාපොරොත්තුව ය. මෙම ගිවිසුම පසුගිය අප්‍රේල් මස 22 වැනි දිනට යෙදුනු ලෝක මිහිතල දිනයේදී අත්සන් කිරීම සඳහා විවෘත කරන ලද අතරමේ වන විට රටවල් 178ක්‌ ඊට අත්සන් තබා තිබුණි. ඒ අතරට ලෝකයේ බොහෝ රටවල් මෙන්ම යුරෝපා සංගමය ද අයත් ය.අත්සන් කිරීමෙන් අනතුරුව ගිවිසුම බලාත්මක තත්ත්වයට පත් වීම ආරම්භ කිරීම සඳහාලෝකයේ සමස්‌ත හරිතාගාර වායු විමෝචනයන්ගෙන් 55% ක්‌ සඳහා වගකිවයුතු හා එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශව රටවල් 55 ක් එය අපරානුමත (Ratification) කළයුතුය. නොඑසේ නම් අන්තර්ජාතික සම්මුතිය එක් එක් රටවල් තුල ව්‍යවස්ථාදායකය මගින් සම්මත කරගත යුතුය (මෙය පාර්ලිමේන්තුවේ පනතක් හෝ යෝජනාවක් සම්මත කරගැනීම මගින් නීතිගත ගත කර ගැනීමක් විය හැකිය).

ගැටළුව පැන නගින්නේ එතැනදීය. ලොව පුරා බොහෝ රටවල් ගිවිසුමට අත්සන් තැබීමට දැක්වූ උනන්දුව එය තම රට තුල අපරානුමත කිරීමට නොදැක්වීම එම ගැටළුවයි. මේ දක්වාගිවිසුම අපරානුමත කර ඇත්තේරටවල් 19ක්‌ පමණි. එසේ අපරානුමත කර ඇත්තේ දහරිතාගාර වායු විමෝචන ඉතා අල්ප ප්‍රමාණයකට‌ දායකවනකුඩා රටවල් ය.එම රටවල් 19 මගින් කෙරෙන මුළු හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ගෝලීය හරිතාගාර වායු විමෝචනයන් ගෙන් 0.18%ක්‌ පමණ අංශු මාත්‍රයකි. තරමක් හෝ සතුටුදායක ප්‍රවෘත්තියක් වූයේ ප්‍රංශය ගිවිසුම අපරානුමත කිරීමය. ඒ අනුව ගිවිසුම අපරානුමත කළ දෙවැනි යුරෝපා රට හා G7 කණ්‌ඩාමේ පළමු රට බවට ප්‍රංශය පත් විය.

පැරිස්‌ දේශගුණ ගිවිසුම ඉක්‌මනින් මහා පොළොවේ යථාර්තයක් බවට පත් වීම සඳහා වැඩි විමෝචන ප්‍රමාණයක්‌ නිකුත් කරන රටවල් එය අපරානුමත කිරීම අත්‍යාවශ්‍යය. නමුත් ලෝකයේ විශාලතම හරිතාගාර වායු විමොචකයන් දසදෙනාම මේ දක්වා ගිවිසුම අපරානුමත කර නැත. ලොව වැඩිම හරිතාගාර වායු විමෝචනයකට දායකවන චීනය එළඹෙන සැප්තැම්බර් මාසයට ප්‍රථම ගිවිසුම අපරානුමත කිරීමට අපේක්‌ෂා කරන බව ප්‍රකාශකර ඇත. එසේමතෙවන විශාලතම හරිතාගාර වායු විමොචකයා වන ඉන්දියාව ද මෙම වසර ඇතුළත ගිවිසුම අපරානුමත කරන බව මෝදිඅග්‍රාමාත්‍යවරයානොබෝදාසිදුකළ ඇමෙරිකානුසංචාරය අතරතුර දී පවසා තිබුණි. ඇමෙරිකාව ද මෙම වසරතුලදීපැරිස් ගිවිසුම අපරානුමත කරන බව ප්‍රකාශ වී ඇත.මෙම තත්ත්වයන් යටතේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බන් කි මුන් විසින්, 2016 සැප්තැම්බර් මස 21 වන දින පැවැත්වෙන විශේෂ උත්සවයකදී තම රටවල් පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමත කරන ලද බවට වූ මෙවලම් (instruments) බාර දෙන ලෙස සියලුම රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත. පැරිස් දේශගුණ ගිවිසුම හැකි ඉක්මනින් ක්‍රියාවට නැවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් වරයා ගෙන ඇති පියවර පැසසිය යුතු ය.

ඒ අනුව බලාපොරොත්තුව යම් තරමකින් හෝ තව දුරටත් රඳවා ගත හැකි වෙතැයි සිතුනද බ්‍රිතාන්‍යයේ හා ජර්මනියේ ක්‍රියාකලාපය ඊට බරපතල බාධා කිරීමක් සිදුකරනු ඇති බව පැහැදිළිය. බ්‍රිතාන්‍ය හා ජර්මනිය පැරිස් දේශගුණ ගිවිසුම පාවා දී ඇති බවටඑක්සත් ජාතීන්ගේ සංවිධානය ද පසුගියදා චෝදනාකළේ එබැවිනි. ඊට ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ එම රටවල් විසින් ෆොසිල ඉන්ධන කර්මාන්තය සඳහා සහනාධාර ලබා දීමට කටයුතු කිරීමයි. එය ඉතා පැහැදිළිවම පැරිස් දේශගුණ ගිවිසුමට පිටුපෑමක් බවදෙවරක් සඳහන් කළයුතු නැත.

බ්‍රිතාන්‍යය ඛනිජතෙල් හා ස්වභාවික වායු කර්මාන්තය සඳහා වසර 2020 දක්වා බදු කපා හැරීමේ පිළිවෙතකට අවතීර්ණවී ඇති අතර ඊට සමගාමීව පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය හා බලශක්ති කාර්යක්ෂමතාවය සම්බන්ධ ක්‍රියාමාර්ග වෙනුවෙන් දැක්වූ සහය ද කප්පාදු කිරීමට කටයුතු කර ඇත. මෙතෙක් කලක් දේශගුණ විපර්යාසයට එරෙහිව සිදුකළ අරගලයේ ප්‍රධාන කොටස් කරුවෙකු වූ බ්‍රිතාන්‍යය මේ ආකාරයෙන් පසුගාමීත්වයක් දැක්වීම ඉතා කණගාටුදායක තත්ත්වයක් වන අතර අභිනවයෙන් පත්වූ බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ ගේ ආණ්ඩුව එරට බලශක්තිය හා දේශගුණ විපර්යාසය විෂයයන් භාර රේඛීය දෙපාර්තමේන්තුව අහෝසි කිරීමට කටයුතු කිරීමද බොහෝ දෙනාගේ කතා බහට ලක්විය. දේශගුණ විපර්යාසය ආපස්සට හැරවීම සඳහා යුරෝපා සංගමය කාලාන්තරයක් තිස්සේ පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කල අතර ඒ සඳහා බ්‍රිතාන්‍යයෙන් ලැබුණු නායකත්වය ප්‍රශංසනීය ය. නමුත් වර්තමානයේ බ්‍රිතාන්‍ය දක්වන පසුගාමී පිළිවෙත එරට යුරෝපා සංගමයෙන් ඉවත් වුවද එහි සෙසු සාමාජික රටවලට ද නරක පූර්වාදර්ශයක් විය හැකිය.ඒ අතර ජර්මනිය ද ගල්අඟුරු බලශක්තිය සඳහා වන්දි ලබා දීමට කටයුතු කරමින් පැරිස් එකගතාවයනට පිටුපෑම  ප්‍රශ්නය තව දුරටත් බරපතල කර ඇති අතර මෙම වසරතුලදී ගිවිසුම අපරානුමත කරන බව ප්‍රකාශ කර ඇති ඇමරිකාවේ 2016 ජනාධිපතිවරණ සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත්වී සිටින අපේක්ෂක ඩොනල්ඩ් රම්ෆ් තමන් බලයට පත්වුවහොත් පැරිස් ගිවිසුම ලිහාදමන බව ප්‍රකාශ කිරීම මේ සම්බන්ධව බරපතල කුකුසක් ඇතිවීමට මග පාදා ඇත.


ගෝලීය දේශපාලනයේ බල අරගල පදනම් කරගත් මෙම කඹ ඇදිල්ල අලුත් දෙයක් නොවන නමුත් මෙවර හෝ ඊට තිත තැබීමට නොහැකි වුව හොත් තිත තැබීමට සිදුවන්නේ මිහිමත වෙසෙන සියලුම ජීවීන්ගේ ජීවිත වලට ය.


පැරිස් බලාපොරොත්තුවද ගිලිහී යනු ඇතිද?

 https://literature50.wordpress.com/2016/07/21/%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%AF-%E0%B6%9C%E0%B7%92%E0%B6%BD/