Saturday, April 9, 2016


අංක එකේ ගෝලීය අවධානම

පසුගියදා ස්විට්සර්ලන්තයේ පැවති ලෝක ආර්ථික සමුළුවේ (World Economic Forum) දී ඉතිහාසයේ ප්‍රථම වතාවට ගෝලීය අවධානම් දර්ශකයේ පළමු තැන දේශගුණ විපර්යාසයට හිමිවිය. 2006 වසරේ සිට මෙම සමුළුවට සමගාමීව එළිදැක්වෙන ගෝලීය අවධානම් වාර්තාව (Globale Risks Report) ට අනුව දේශගුණ විපර්යාස අවමකරගැනීමට (Mitigatation) හා ඊට අනුහුරුවීමට (Adaptation) අසමත්වීම 2016 වසරේ පෘථිවි වැසියන් මුහුණ දෙන අංක එකේ ගෝලීය අවධානමයි. සමූලඝාතක අවි, ජල අර්බුධය හා සරණාගත ප්‍රශ්නය අභිබවා දේශගුණ විපර්යාස අවමකරගැනීමට හා ඊට අනුහුරුවීමට අසමත්වීම මෙම වසරේ ප්‍රධානම ගෝලීය අවධානම ලෙස නම්කිරීමට වාර්තාව සකස්කළ විශේෂඥයින් 750 කට වැඩි පිරිස තීරණය කර ඇත.
  
ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර එම සමුළුවට අපේ රටටත් ආරාධනා ලැබීම කාගේත් අවධානයට යොමු විය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එම සමුළුව අමතා ප්‍රකාශ කලේ ශ්‍රී ලංකාව වරාය නගර ව්‍යාපෘතිය සමග ඉදිරියට යන බවත් චීන ආයෝජකයන්ට අපේ රට තුල ආයෝජනය කිරීමට ආරාධනා කරනබවත් ය. වරාය නගර ව්‍යාපෘතිය ඇතුළු පසුගිය ආණ්ඩුව මගින් ආරම්භකළ මහා පරිමාණ ව්‍යාපෘති බොහොමයක්ම රටට දරා ගත නොහැකි සමාජාර්ථික හා පාරිසරික ප්‍රශ්න රැසක් ඇතිවීමට තුඩුදෙන ඒවා විය. එමගින් උදාකර දීමට ගිය ඊනියා සංවර්ධනයෙන් අපේ රටේ ජනතාවගේ සැබෑ අවශ්‍යතා ඉටුනොවන බව පැහැදිලිය. මෛත්‍රී පාලනය බිහිවීමටද එක් හේතුවක් වූයේ එම තත්වය යි. නමුත් එසේ තිබියදී වර්තමාන ආණ්ඩුවද ඉකුත් ආණ්ඩුව ගමන්කළ පුරුදු දුර්දාන්ත ගමන් මගේම යනවා නොවේද යන්න පැහැදිළි කර ගැනීමට අගමැතිවරයාගේ ඉහත ප්‍රකාශය වැදගත්ය.

මිනිසාගේ පැවැත්ම තහවුරුකර ගැනීම සඳහා දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට ඔරොත්තු දෙන ආකාරයේ තිරසාර සංවර්ධනයක් අත්කර ගැනීම කාලීන අවශ්‍යතාවයක් බව මුළු ලෝකයම පිළිගන්නා සත්‍යකි. සංවර්ධන ක්‍රියාකාරකම් වලදී මෙන්ම භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ දී හරිතාගාර වායු විමෝචනය අවමකරගැනීම, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත නැඹුරු වීම, සම්පත් අවම භාවිතය වැනි ක්‍රියාමාර්ග මගින් දේශගුණ විපර්යාසය අවම කර ගැනීමට හැකියාව පවතී. එසේම මේ වන විට ඇතිවී ඇති දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට හුරුවීම සඳහාද අප කැපවී කටයුතු කල යුතුව ඇත. නමුත් ලොව බොහෝ රටවල් සේම ශ්‍රී ලංකාවද තවමත් ඒ ගැඹුරු යථාර්තය අවබෝධ කර ගැනීමට උත්සාහ දරා නැත.

ඒ වෙනුවට සිදුකරන්නේ රත්වන හැලියේ නටන කකුළුවන් මෙන් තවදුරටත් අඳුරේ අත පත ගාමින් කල් මැරීමය. ලොව අනෙකුත් රටවල් පුනර්ජනනීය බලශක්තිය සොයා යන විට අපේ රට ගල්අඟුරු සංවර්ධනය කෙරෙහි විශ්වාසය තබමින් සිටී. දේශගුණ විපර්යාසයට හේතුවන හරිතාගාර වායු මහා පරිමාණයෙන් වායු ගෝලයට මුදා හැරීමට ගල් අඟුරු බලාගාර හේතුවන අතරම නොරච්චෝලේ වැනි බලාගාර ආශ්‍රිතව දිවිගෙවන ජනතාවට එමගින් තම දෛනික කටයුතු කරගෙන යාමට නොහැකි තත්වයක් පවා ඇතිවෙමින් පවතී. එසේ තිබියදී සාම්පුර් ජනතාව ද අවතැන් කරමින් තවත් ගල් අඟුරු බලාගාර ඉදිකිරීමේ පිඹුරුපත් සැකසේ.

තවදුරටත් දේශගුණ විපර්යාස ඇතිවීම පාලනය කරන, පරිසරයට ඔරොත්තු දෙන ධරණීය සංවර්ධන සංකල්ප වෙනුවට මහා නගර සංවර්ධනය පිළිබඳව හීන දැකීමද අප තවමත් අතහැර නැත. බටහිර බලවතුන් කාර්මික විප්ලවයෙන් ලෝකය උඩු යටිකුරු කර එහි අභාග්‍යසම්පන්න ආදීනව භුක්ති විඳිමින් සිටින අතරතුර ඔවුන් රෑ වැටුණු වලේ අප මහා දවාලේ වැටෙමින් සිටීම කණගාටුවට කරුණකි. වනාන්තර සංරක්ෂණය කර ගනිමින් වායු ගෝලීය කාබන් මට්ටම පහළ දමා ගැනීමට උත්සාහ දැරීම කාලීන අවශ්‍යතාවයක් නමුත් අප ඒ වෙනුවට වනාන්තර විනාශකරමින් රට කාන්තාරයක් බවට පත්කරන ඊනියා සංවර්ධන මිත්‍යාවන් පසුපස හඹා යමින් සිටී.

අපේ ක්‍රියාකාරීත්වය එසේ වුවද අසල්වාසී ඉන්දියාව වැනි රටවල් පවා හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා රැඩිකල් විසඳුම් යෝජනා ක්‍රියාත්මක කරමින් සිටින බවද අප අමතක නොකළ යුතුය. සංදර්ශන කාමයෙන් සිදුකෙරෙන විවිධ පරිසර වැඩසටහන් වෙනුවෙන් කාලය කා දමමින් සිටිනු මිස මෙම වසරේ ප්‍රධානම ගෝලීය අවධානම වන දේශගුණ විපර්යාස අවමකරගැනීමට හා ඊට අනුහුරුවීමට අවශ්‍ය තුන්කල් දැක්මක් හා වැඩපිළිවෙලක් සකසා ගැනීමට වර්තමාන පාලකයන් උත්සාහ නොකිරීම කණගාටුවට කරුණකි.





බරපතල වෙනසක ඇරඹුම

“දැන් දේශගුණය හරියට වෙනස් වෙලා” යන කියමන මේ වන විට අප සියළුදෙනාම අසා ඇති බවට සැක නැත. වැස්ස අපේක්ෂාවෙන් සිටින විට නියඟය ඇතිවීම හා වියලි කාලගුණයක් අපේක්ෂා කරන සමයන්හිදී මොර සූරන වර්ෂාවන් ඇද හැලී ගම් නියං ගම් ගංවතුරට සේදී විනාශවී යාම මේ වන විට සුලභ සංසිද්ධියක් බවට පත්ව ඇත. මෙම වෙනස අප විද්‍යාත්මකව හඳුනා ගන්නේ දේශගුණ විපර්යාසය එහෙමත් නැත්නම් Climate change යනුවෙනි. දේශගුණ විපර්යාසය විසිඑක්වැනි සියවසේ ප්‍රධාන මානව සංවර්ධන අභියෝගය ලෙස සමස්ථ ලෝක වාසීන් විසින් හඳුනාගෙන ඇත. මිනිසා ඇතුළු සියළු මිහිකත වැසියන්ගේ පැවැත්ම අනතුරේ හෙලන දේශගුණ විපර්යාස පිළිබඳව ලොව පුරා ගැඹුරු සංවාද හා මතවාද ඇතිවෙමින් පවතී. නමුත් ශ්‍රී ලංකාවේ සිංහල පාඨකයන් අතර එකී ගැඹුරු කතිකාව ඇතිවී ඇතිද යන්න මතභේදාත්මකය. එබැවින් දේශගුණ විපර්යාසය, එහි විවිධ බලපෑම් හා දේශගුණ විපර්යාස අවමකිරීම හා අනුහුරුවීම පිළිබඳ තේරෙන සිංහලෙන් කතා කිරීම කාලෝචිතයැයි සිතමි.

දේශගුණ විපර්යාසය සිදුවීම ඇරඹෙන්නේ අද ඊයේ සිට නොවේ. අතීතයේ එක් යුගයක පෘථිවි ගෝලය මිනිසුන් ඇතුළු සියළු ජීවීන්ට ජීවත්විය හැකි තැනක් බවට පත්කිරීම සඳහා දේශගුණ විපර්යාසය උපකාරී විය. ඒත් අද වනවිට සිදුවී ඇත්තේ අතීතයේදී අපට හිතවත්වූ දේශගුණ විපරාසයම අපට හතුරුකම් කිරීමය. නමුත් ඊට හේතුවද අපමය. මීට වසර මිලියන ගණනකට පෙර වායුගෝලයේ පැවතී කාබන් පොළොවේ ගැඹුරු පතුලේ ඛනිජතෙල් තෙල් හා ගල්අඟුරු නිධි ලෙස සඟවා තබා මිහිමත මිනිසා ඇතුළු සුවහසක් ජීවීන්ට ජීවත්වීමට හැකි සුපසන් තැනක් බවට පත්කිරීමට සොබාදහම් අම්මා කටයුතු කළේය. නමුත් ඇගේ අකීකරු පුත්‍රයා විසින් ඇතිකළ කාර්මික විප්ලවයත් සමග සිදුවුණේ පොළොවේ ගැඹුරු පතුලේ සඟවා තැබූ ඛනිජතෙල් තෙල් හා ගල්අඟුරු හරි හරියට දහනය කර යලිත් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ඇතුළු හරිතාගාර වායු සාන්ද්‍රණය ඉහල නැංවීමට කටයුතු කිරීමය. බරපතල වෙනස ඇරඹෙන්නේ එතැන් සිටය.

දේශගුණ විපර්යාස පිළිබඳව ප්‍රථමයෙන්ම ලෝකයේ කතාබහ ඇතිවන්නේ 1988 වසරේ පමණ සිටය. දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලය (IPCC - Intergovernmental Panel on Climate Change) ආරම්භ වන්නේ එම වසරේ වන අතර දේශගුණ විපර්යාස සිදුවෙමින් පවතින බවත්, ගෝලීය උණුසුම්වීම මානව ක්‍රියාකාරකම් හේතුකොට ගෙන හරිතාගාර වායු ඉතා අධික ලෙස වායුගෝලයට මුදාහැරීමේ ඍජු ප්‍රතිපලයක් බවත්, විශේෂයෙන්ම පොසිල ඉන්ධන දහනය මෙයට වැඩි වශයෙන් දායක වන බවත් එම මණ්ඩලය මගින් විද්‍යාත්මකව තහවුරු කර තිබේ. ඒ අනුව, නිශ්චිතවම වර්තමාන හා අනාගත පරම්පරාවට දේශගුණ විපර්යාස තර්ජන හමුවේ ජීවත් වීමට සිදු වන බව පැහැදිලිය. ලෝකය පුරා විසිරී සිටින ජනතාව මුහුදු මට්ටම ඉහළ යාම, සුළි සුළං, නියඟයන්, ගංවතුර සහ නායයෑම් වැනි විවිධ වූ දේශගුණික බලපෑම්වලට මුහුණපාමින් සිටී. මිනිසුන්ට මෙන්ම පරිසර පද්ධතීන්ට ද දරුණු කාලගුණ තත්ත්වයන් මගින් බලපෑම් එල්ලවී තිබේ. දේශගුණ විපර්යාස බලපෑම් හමුවේ සියලූ ජාතීන් අවදානමට ලක්ව ඇති අතරම, විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා අප වැනි කුඩා දූපත් රාජ්‍යවලට ඒ සඳහා අනුහුරු වීමට ඇති අඩු හැකියාව නිසා එම රටවල් දැඩි අවදානමකට ලක් ව තිබේ.

මිනිසා විසින් සිදුකල මේ විපර්යාසය හේතුවෙන් වර්තමානය වන විටද පෘථිවියේ උෂ්ණත්වය පුර්ව කාර්මික යුගයට සාපේක්ෂව සෙන්ටිග්‍රේට් අංශක එකකින් (1oc) පමණ ඉහල ගොස් හමාරය. මුහුදු ජල මට්ටම සෙන්ටිමීටර් 20 කින් ඉහළ ගොස් හමාරය. මේ වනවිට මිහිතලයේ වායුගෝලයට මුදාහැර ඇති කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය සැලකූවිට අප හෙට දිනයේ සිට වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් මුදාහැරීම සම්පුර්ණයෙන් නවතා දැමුවද පෘතුවිය ස්ථාවර තත්වයට පත්වන විට වායුගෝලීය උෂ්ණත්වය තවත්  සෙන්ටිග්‍රේට් අංශක දශම හයකින් (0.6oc) ඉහළ යනු ඇති විද්‍යාඥයින් අනතුරු අඟවති. ඒ අනුව අප අප හෙට දිනයේ සිට වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් මුදාහැරීම සම්පුර්ණයෙන් නවතා දැමුවත් පෘතුවි වායුගෝලය ස්ථාවර වන විට පෘතුවියේ උෂ්ණත්වය පුර්ව කාර්මික යුගයට සාපේක්ෂව සෙන්ටිග්‍රේට් අංශක එකයි දශම හයකින් (1.6oc) ඉහළ යනු ඇත.

ලෝකයේ රටවල් අතර හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සම්බන්ධයෙන් සිදුවන කඹ ඇදිල්ලේ දී සංවර්ධිත බටහිර ලෝක බලවතුන්ට ඇඟිල්ල දිගු කිරීමට සංවර්ධනය වෙමින් පවතින රටවල් කටයුතු කලද චීනය හා ඉන්දියාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් වායු ගෝලයට නිකුත්කෙරෙන හරිතාගාර වායු ප්‍රමාණයද සුළුකොට තැකිය නොහැක. තවද විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල රජයන් දේශගුණ විපර්යාස අවම කිරීම (Mitigation) හා ඊට අනුහුරු වීම ( Adaptation) සඳහා දේශීය වශයෙන් මුලපිරීම් ද ඉතාමත් අඩු මට්ටමක පැවතීම  හෝ ඇල් මැරුණු ක්‍රියාකාරීත්වයක් දැක්වීම දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ තත්වයද ඊට වැඩි වෙනසක් නැත. කෙසේ වෙතත් දේශගුණ විපර්යාස පිටුදැකීම හා ඊට අනුහුරුවීම සඳහා මිනිසා විසින් අද දවසේ ගනු ලබන ක්‍රියාමාර්ග සමස්ථ පෘථිවි වාසීන්ගේ ඉදිරි පැවැත්ම තීරණය කරනු ඇති බව අප තරයේ සිහිතබා ගතයුතුය.