Tuesday, September 12, 2023

ගෝලීය කාබන් බදු ක්‍රමයක් වෙනුවෙන් අප්‍රිකානු නායකයින්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් ...

කෙන්යාවේ නයිරෝබි අගනුවරදී පසුගිය හයවැනිදා නිමාවට පත්වූ ප්‍රථම අප්‍රිකානු දේශගුණ සමුළුව (Africa Climate Summit) අවසන් දිනයේදී අප්‍රිකානු දේශපාලන සහ ව්‍යාපාරික නායකයින් අප්‍රිකාවේ දේශගුණික අභියෝග විසඳීම සඳහා ඒකාබද්ධ ප්‍රකාශයක් සම්මත කර තිබේ. තෙදින දේශගුණ සමුළුව අවසානයේ එළි දැක්වුණු එම ‘නයිරෝබි ප්‍රකාශනය’ මගින් ලොව ප්‍රධාන හරිතාගාර වායු විමොචකයින් විසින් දුප්පත් ජාතීන්ට උපකාර කිරීම සඳහා වැඩි සම්පත් ප්‍රමාණයක් කැප කිරීමේ අවශ්‍යතාවය අවධානරණය කෙරේ. තවද එළැබෙන නොවැම්බරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ (UNFCCC) පාර්ශවකරුවන්ගේ 28 වැනි සැසිවාරයේදී (COP28) තම සාකච්ඡා ස්ථාවරයේ පදනම ලෙස මෙම ‘නයිරෝබි ප්‍රකාශනය’ භාවිතා කරන බව අප්‍රිකානු රාජ්‍ය නායකයෝ ප්‍රකාශකර තිබේ.

ආන්තික කාලගුණයට අනුවර්තනය වීමට, ස්වාභාවික සම්පත් සංරක්ෂණය කිරීමට සහ පුනර්ජනනීය බලශක්තිය වර්ධනය කිරීමට මූල්‍යකරණය බලමුලු ගන්වන්නේ කෙසේද යන්න පිළිබඳ මෙම අප්‍රිකානු දේශගුණ සමුළුවේදී වැඩි වශයෙන් සාකච්ඡා කෙරිණි. අප්‍රිකාව දේශගුණික විපර්යාසවල බලපෑම් මගින් වඩාත්ම අවදානමට ලක්විය හැකි මහාද්වීප අතර වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, අප්‍රිකානු මහාද්වීපය දායක වන්නේ ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 2-3 ක් පමණ සුළු ප්‍රතිශතයකටය. නමුත් වෙනස් වන දේශගුණයෙන් වැඩිම හානියක් සිදු වන්නේද එම කලාපයටමය. අප්‍රිකානු මහාද්වීපයේ නැගෙනහිර කලාපයේ නොඑසේ නම් අප්‍රිකාවේ අඟෙහි පිහිටි රටවල් නියඟයෙන් බැට කද්දී මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල ගංවතුර වැනි ආන්තික කාලගුණික විපත් මෑත වසරවල නිතර නිතර වාර්තාවී ඇත. නමුත් පර්යේෂකයන් පවසන්නේ ඊට මුහුණ දීමට අවශ්‍ය ඩොලර් බිලියන 300 (පවුම් බිලියන 240) කට ආසන්න වාර්ෂික මූල්‍යකරණයෙන් ඔවුන්ට ලැබෙන්නේ 12% ක් පමණක් බවය.

එබැවින් ‘නයිරෝබි ප්‍රකාශනය’ ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ගෝලීය මූල්‍ය ගනුදෙනු බද්දකින් ද වැඩි කළ හැකි පොසිල ඉන්ධන වෙළඳාම, සමුද්‍රීය ප්‍රවාහනය සහ ගුවන් සේවා සඳහා කාබන් බද්දක් ඇතුළු ගෝලීය කාබන් බදුකරණ යාන්ත්‍රණයක් සඳහා වන යෝජනාව පිටුපස පෙළගැසෙන ලෙසය. එවැනි පියවරයන් දේශගුණය ආශ්‍රිත ආයෝජන සඳහා මහා පරිමාණ මූල්‍යකරණය සහතික කරනු ඇති අතර භූ දේශපාලනික සහ දේශීය දේශපාලන බලපෑම්වලින් බදු ඉහළ යාමේ ප්‍රශ්නය වෙන්කර තබනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) අනුව දැනට රටවල් විස්සකට වැඩි ප්‍රමාණයක් කාබන් මත බදු පනවා ඇතත් ගෝලීය කාබන් බදු යාන්ත්‍රණය පිළිබඳ අදහසට බොහෝ දෙනෙකු ආකර්ෂණය කර ගැනීමට අපොහොසත් වී ඇත. කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝ මූල්‍ය ගනුදෙනු බද්දක් සඳහා යුරෝපා සංගමයේ අතීත යෝජනා මෙම සමුළුවේදී සිහිපත් කළේය. සංරක්ෂනවේදීන් 2011 වසරේදී ප්‍රකාශ කළේ බදු මගින් එක්රැස් කරන මුදල් පාරිසරික ප්‍රමුඛතා සඳහා වැයකළ යුතු බවයි. නමුත් යුරෝපීය කොමිසමේ යෝජනාව කිසි විටෙකත් නීතියක් බවට පත්වීමට අවශ්‍ය යුරෝපීය කවුන්සිලයේ ඒකමතික අනුමැතිය දිනාගෙන නැත.

දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා තම මහාද්වීපය මුල්තැන් ගැනීමට හේතු කිහිපයක් රූටෝ ලැයිස්තුගත කළේය. “අප්‍රිකාව යනු සූර්ය, සුළං, භූතාප සහ ජල විදුලිය ඇතුළු ලෝකයේ පුනර්ජනනීය බලශක්ති වත්කම්වලින් 60%ක් සහිත මහාද්වීපයයි. 2100 වන විට අප්‍රිකාව ලෝකයේ ශ්‍රම බලකායෙන් 40% ක් නියෝජනය කරනු ඇතැයි පුරෝකථනය කර ඇත. ලෝකයේ නිෂ්පාදන ගබඩාව බවට සුහුරු කාෂිකර්මය (Smart Agriculture) හරහා පරිවර්තනය කළ හැකි ලෝකයේ වගා නොකළ, වගා කළ හැකි ඉඩම්වලින් තුනෙන් දෙකක් අප සතුව ඇත. ලෝකයේ විශාලතම කාබන් අවශෝෂණ යටිතල ව්‍යුහය අප සතුව ඇත.රූටෝ පැවසීය.

එක්‌සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්‌, යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයන්, අප්‍රිකානු සංගම් කොමිසමේ සභාපති මූසා ෆාකි මහමාත්, දේශගුණය පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ජෝන් කෙරී, අප්‍රිකානු සංවර්ධන බැංකුවේ සභාපති අකින්වුමි ඒ. ඇඩේසිනා සහ තවත් අප්‍රිකානු නායකයන් ගණනාවක් ජනාධිපති රූටෝ සමඟ මෙම සමුළුවට එක් වූහ.

ඇතැම් පරිසර ක්‍රියාකාරීන් පවසන්නේ හරිත ක්‍රියාකාරකම් සඳහා අරමුදල් සැපයීම මගින් දූෂකයින්ට විමෝචනය පියවා ගැනීමට ඉඩ සලසන ණය, විශාල දූෂකයින්ට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කිරීමට දඩමීමා කරගත හැකි බවයි. තවත් විශ්ලේෂකයින් පිරිසක් පවසා තිබුණේ අප්‍රිකානුවන්ට ආන්තික කාලගුණයට අනුවර්තනය වීමට උපකාර කරන්නේ කෙසේද යන්න පිළිබඳව සමුළුව ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බවයි. එසේම විදේශ රටවලට කාබන් ණය විකිණීමේ අප්‍රිකාවේ සැලැස්මට එරෙහිව උද්ඝෝෂකයෝ සමුළුවට පිටත සිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සමුළුව විවේචනය කළහ.

කෙසේ නමුත් කෙන්යා රජය සහ අප්‍රිකානු සංගමය විසින් සත්කාරකත්වය දරන ලද මෙම ඓතිහාසික තෙදින සමුළුව නව්‍ය හරිත සංවර්ධනය සහ දේශගුණික මූල්‍ය විසඳුම් ලබා දීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රාජ්‍යයන් සහ රජයේ ප්‍රධානීන්, ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජය මෙන්ම අප්‍රිකානු තරුණයින් සිය ගණනක් බලමුලු ගන්වා ඇත. එසේම එළැබෙන නොවැම්බරයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත COP28 සැසිවාරය අභියස දේශගුණ විපර්යාසයට මුහුණදීමට එයින් දැඩිව බැටකන රාජ්‍ය මෙසේ සාමුහිකව ඉදිරියට පැමිණීම හරිතාගාර වායු විමෝචනයට ඉහළම දායකත්වය ලබාදෙන ලෝක බලවතුන්ට රතු එළියක්ද වනු ඇති බව අපගේ විශ්වාසයයි.

Thursday, March 17, 2022

දේශගුණික අභියෝගයෙන් ආරක්ෂා වීමේ අවසන් බලාපොරොත්තුවත් ගිලිහෙමින් පවතී!


දේශීය සහ අන්තර්ජාතික ගැටළු ගණනාවකින් මේ දිනවල ජනතාව වැඩි අපහසුතාවයට පත්ව තිබේ. රටේ අභ්‍යන්තර වශයෙන් ඇතිවී ඇති ඉන්ධන, ගෑස්, පොහොර, කිරිපිටි ආදී එකී මෙකී නොකී පෝලිම් වල ජනතාවට පොරකන්නට සිදුවී තිබේ. ඒ අතර පැය හය-හතක විදුලි කප්පාදුව ජන ජීවිතය කබලෙන් ලිපට තල්ලු කිරීමට සමත්වී ඇත. තවද යුරෝපයේ ඇවිලෙන රුසියා - යුක්‍රේන යුද්ධයත් ප්‍රධාන මාතෘකාවකි. මෙවැනි පසුබිමක දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද අර්බුද රැසක් අප හමුවේ තිබේ. ඒ නිසා අපට මේ මුළු මිහිතලයේම පැවැත්මට අභියෝගයක්වී ඇති ගෝලීය අර්බුදය පිළිබඳව අවධානය යොමුකිරීමට ඉඩක් වෙන්කර ගැනීම අපහසුවී තිබේ. නමුත් ඒ ගෝලීය අර්බුදය, නොඑසේනම් දේශගුණික විපර්යාසය අපි හිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව පසුගියදා සාක්ෂි සාධක සහිතව විද්‍යාත්මකව අනාවරණය විය. ඒ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (Intergovernmental Panel on Climate Change - IPCC) මගින් ඉකුත් පෙබරවාරි 28 වැනිදා නිකුත් කෙරුණු දේශගුණික විපර්යාස සඳහා හේතු, බලපෑම් සහ ප්‍රයෝගික විසඳුම් ඉස්මතු කෙරුණු නවතම වාර්තාව මගිනි. තැටිය හොඳටම රත්වී තිබේ, නමුත් කිසිවෙකුටත් වගේ වගක් නැත.

විද්‍යාඥයින් සහ පර්යේෂකයින් 270 කගෙන් පමණ සමන්විත එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරී කණ්ඩායම් අංක දෙක මගින් නිකුත් කෙරුණු මෙම වාර්තාවේ සොයාගැනීම්වලින් පෙන්නුම් කරන්නේ දේශගුණික බිඳවැටීම බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් සිදුවන බවත් පියවර ගැනීමට ඇති අවකාශය ඉතා වේගයෙන් පටුවෙමින් පවතින බවත්ය. එම නිසා මෙම වාර්තාව දේශගුණික විපර්යාසයන්ට එරෙහිව කඩිනම් හා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආණ්ඩු වලට සහ පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීන්ට දැඩි ලෙස බලකර සිටියි. නමුත් ලියුම්කරු ඉහත සඳහන්කළ හේතු නිසා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මෙම වාර්තාව කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු වුණාද යන්න සැක සහිතය.

මිහිතලයේ ජීවත්වෙන මිනිසා ඇතුළු මුළුමහත් ජීවී සමූහයාටම මුහුණදීමට සිදුවී ඇති ගෝලීය අභියෝගය දේශගුණික විපර්යාසයයි. එය පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් එසේය. දේශගුණික විපර්යාසයේ බලපෑම් වලින් මේ පෘථිවි ගෝලයට දැනට සිදුවී ඇති සහ ඉදිරියේදී සිදුවීමට නියමිත ව්‍යසනයන් සමග සලකා බලන විට, රුසියා - යුක්‍රේන යුද්ධයට ඊට අලගු තැබීමටවත් නොහැකිය. එවැනි පසුබිමක අප රට තුල නිර්මාණය වී ඇති ප්‍රශ්න ගැටළු පිළිබඳව කතාකර පලක් නැත. කුඩා නිවර්තන කලාපීය දූපත් රාජ්‍යක් ලෙස සහ දේශගුණික අවදානම් දර්ශකයේ ඉහළ ස්ථානයක සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම් වලට නිරන්තරයෙන් ගොදුරු වෙමින් පවතින බව පරිසර අමාත්‍යාංශයේ දේශගුණ විපර්යාස ලේකම් කාර්යාලය මගින් සකස්කර ඇති ‘ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාසය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’ මගින්ද අවධාරණය කරයි. නමුත් අපට තවමත් රටක්, ජනතාවක් ලෙස ඒ ගැන වගේ වගක් නැත. ඊට හේතුව අපේ දේශගුණික සාක්ෂරතාවයේ දොසක් මිස දේශගුණික විපර්යාසය බොරුවක් වීම නොවේ. මුහුද වේගයෙන් ගොඩබිම් ගිල ගනිද්දී, ගංවතුර, නියං, නාය යාම්, කුණාටු වැනි විපත් උත්සන්න වෙද්දී, ගොවිතැන් පාලු වෙද්දී, වනජීවී - මිනිස් ගැටුම් ඔඩු දුවද්දී, රෝග පීඩා උත්සන්න වෙද්දී මිනිස්සුන්ට ඒ බව නොදැනෙනවා නොවේ. නමුත් මේ සියල්ල ලොව පුරා සිදුවන දේශගුණික විපර්යාසයේ බලපෑම් බව හඳුනා ගැනීමේ දේශගුණ සාක්ෂරතාවය ඔවුන්ට ඇත්තේ නැත.

පසුගියදා නිකුත්වූ නවතම වාර්තාවේ තක්සේරුවට අනුව ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ බොහෝ බලපෑම් දැන් ‘ආපසු හැරවිය නොහැකි’ තත්වයට පත්ව තිබේ. නමුත් එම වාර්තාවේ කතුවරුන් පවසන්නේ සිදුවිය හැකි මහා ව්‍යසනයන් වළක්වා ගැනීමට තවමත් කෙටි කාලයක් ඉතිරිව පවතින බවය. මිනිසුන් සහ ස්වභාවධර්මය දේශගුණික විපර්යාසයේ බලපෑම් වලට අනුහුරුවීමේ හැකියාවෙන් ඔබ්බට තල්ලු වෙමින් සිටී. ලෝක ජනගහනයෙන් 40% කට වඩා වැඩි ප්‍රමාණයක් දේශගුණික විපර්යාසයේ බලපෑම්වලට ගොදුරුවීමේ දැඩි අවදානමක් පවතින බව මෙම අඳුරු අධ්‍යයනයෙන් සාක්ෂි සහිතව පෙන්වාදී තිබේ. නමුත් දැනට පූර්ව කාර්මික යුගයට වඩා සෙල්සියස් අංශක 1.1 කින් ඉහළ ගොස් ඇති මිහිතලයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ට වඩා වැඩිවීම නවතා ගතහොත් එමගින් පුරෝකථනය කර ඇති අනතුරු අඩු කරගත හැකිවෙතැයි තවමත් බලාපොරොත්තුවක් තිබේ.

මෙම වාර්තාව සැබැවින්ම ලොව ප්‍රමුඛතම දේශගුණ පර්යේෂකයන්ගේ සමාලෝචන වාර්තා තුනෙන් දෙවැන්නය. ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී, පළමු වාර්තාවෙන් දේශගුණ පද්ධතියට මිනිසුන් විසින් ඇති කරන බලපෑමේ පරිමාණය ඉස්මතු කරනු ලැබීය. මෙම දෙවැනි වාර්තාවේ අරමුණ දේශගුණික විපර්යාස සඳහා හේතු, බලපෑම් සහ විසඳුම් දෙස ගැඹුරින් විමසා බැලීමය. එමගින් උණුසුම් ලෝකයක් මගින් මෙම පෘථිවියේ සියලුම ජීවීන්ට බලපෑම් එල්ලවන ආකාරය පිළිබඳ පැහැදිලිම අනාවරණය සිදුකර තිබේ. උණුසුම් වායු ධාරා හේතුවෙන් මිය යන මිනිසුන්ගේ සංඛ්‍යාව වැඩි වීම වැනි ලෝකය දැනටමත් අත්විඳිමින් සිටින දරුණු ප්‍රතිවිපාක පිළිබඳ කරුණු දක්වා තිබේ. ගංවතුර සහ උණුසුම් වායු ධාරා වැනි දේශගුණික විපර්යාස සමඟ සම්බන්ධ වූ ආන්තික කාලගුණික තත්ත්වයන් පෙර තක්සේරු කිරීම්වලට වඩා දරුණු ආකාරයෙන් මිනිසුන්ට සහ අනෙකුත් ජීවී විශේෂවලට පහර දෙන බව පෙන්වාදී තිබේ. මිහිතලයේ වෙසෙන කිසිවෙකුටත් ඉන් මිදීමට හැකියාවක් නැත. නමුත් සමහරුන්ට වඩා දැඩි ලෙස පහර කෑමට සිදුවී තිබේ. මෙම වෙනස කෙරෙහි බොහෝ දුරට බලපා ඇත්තේ එම පුද්ගලයා ජීවත් වන ස්ථානය යි. උදාහරණයක් වශයෙන් 2010 සහ 2020 අතර, ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලට වඩා අප්‍රිකාව, දකුණු ආසියාව සහ මධ්‍යම සහ දකුණු ඇමරිකාව ඇතුළු ඉතා අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල ගංවතුර, නියඟ සහ කුණාටු හේතුවෙන් 15 ගුණයකින් වැඩි පිරිසක් මිය ගොස් තිබේ. වර්තමාන උණුසුම් මට්ටම ස්වභාවධර්මයටත් දැනටමත් බරපතල ආකාරයෙන් දැනෙමින් පවතී. සාගර උෂ්ණත්වය ඉහළ යාමෙන් කොරල්පර මිය යමින් පවතින අතර බොහෝ ගස් නියඟයට ගොදුරු වෙමින් තිබේ. වනජීවීන් බොහෝ පිරිසක් සදහටම මිහිතලයෙන් සමුගෙන ගොස් ඇති අතර තවත් බොහෝ පිරිසක් වඳවීමේ දොරටුව අභියස සිටී.

නමුත් අවාසනාවට කරුණ නම් තමන්ගේ ජීවිතයට මෙතරම් බලපෑම් කරන දේශගුණ විපර්යාසය පිළිබඳව බොහෝ ජනතාව අඩු අවබෝධයක් ඇත්තන් වීමය. දේශගුණික විපර්යාස අවම කිරීම, අනුහුරුවීම සහ අලාභ හා හානි පූර්ණය පිළිබඳව පොදු ජනතාවට හොඳ දැනුමක් නැත. දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව වැනි වඩාත් තාක්ෂණික කරුණු ගැන කිසිසේත්ම අදහසක් නොමැති බව පැහැදිලි ය. ඊට හේතුව දේශීය භාෂා වලින් සන්නිවේදනය කරන සාතිශය බහුතරයක් ජනතාවගේ දේශගුණ සාක්ෂරතාවය ඉතා පහළ මට්ටමක පැවතීමය. උදාහරණයක් වශයෙන් දේශගුණික විපර්යාස පිළිබඳව දැන ගැනීමට සිංහල සහ දමිළ භාෂාවන්ගෙන් සන්නිවේදනය කරන මෙරට පොදු ජනතාවට ඇත්තේ ඉතා සීමිත අවස්ථාවන් ය. දේශගුණික දැනුම බොහෝ දුරට ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් වන අතර දේශීය භාෂාවන්ගෙන් විශ්වාසදායක හා යාවත්කාලීන දේශගුණික තොරතුරු නොමැති වීම හෝ සීමිත ප්‍රවේශයක් තිබීම ගැටළුවකි. එබැවින් දේශගුණික සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා භාෂාව ප්‍රභල බාධාවකි. මෙරට ඇතැම් ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය පවා ‘දේශගුණ විපර්යාසය’ යන වදන වෙනුවට ‘කාලගුණ විපර්යාසය’ යන වදන භාවිතා කරනු ලියුම්කරු ඕනෑ තරම් අසා දැක තිබේ. නමුත් එකී ‘කාලගුණ විපර්යාසය’ යන වදනට කිසිඳු අරුතක් ඇත්තේ නැත. එය ශ්‍රී ලංකාවට පමණක් නොව, එවැනි සදාකාලිකව සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවලට පොදු ධර්මතාවයක් ලෙස ලියුම්කරු සිතමි.

සූර්ය කිරණ අපසරනය කිරීම හෝ වාතයෙන් කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීම වැනි තාක්‍ෂණික මැදිහත්වීම් දෝෂදර්ශනයට ලක්කරන වාර්තාව මගින් අවධාරණය කරන්නේ එමගින් තත්ත්වය වඩාත් නරක අතට හැරිය හැකි බවයි. එබැවින් හරිතාගාර වායු විමෝචනය විශාල ලෙස කපා හැර අනුහුරුවීම් සඳහා වියදම් සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම හැර ලෝකය හමුවේ වෙනත් විකල්පයක් නැත. එමගින් යම් ව්‍යසන ප්‍රමාණයකට අගුලු දැමීමට හැකියි. නමුත් සාමූහික ගෝලීය ක්‍රියාකාරීත්වයේ තවදුරටත් සිදුවන සෑම ප්‍රමාදයක්ම සුරක්ෂිත ලෙස මේ මිහිතලයේ ජීවත්වීමට හැකි අනාගතයක් පිළිබඳව තබාගත හැකි පුංචිම පුංචි බලාපොරොත්තුවත් වේගයෙන් අපට අහිමි කරනු ඇති බව අවසන් වශයෙන් අවධාරණයෙන් ලියාතැබිය යුතුය.

සුපුන් ළහිරු ප්රකාශ්

2020 එක්සත්ජාතීන්ගේ දේශගුණ විපර්යාස ඉගෙනුම් ශූර


Sunday, October 31, 2021

ගෝලීය දේශගුණ අභියෝගය, දේශීය ප්‍රෝඩාව සහ ග්ලාස්ගොව් දේශගුණ සමුළුව ...

දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ (United Nations Framework Convention on Climate Change – UNFCCC) පාර්ශව කරුවන්ගේ 26 වැනි සැසි වාරය (26th Conference of the Parties - COP 26) එළඹෙන ඔක්තෝබර් 31 දින සිට නොවැම්බර් 12 දින දක්වා ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් (Glasgow) නගරයේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සංවිධානය කර තිබේ. එක්සත් රාජධානිය විසින් මෙවර සමුළුව සඳහා සත්කාරකත්වය සපයන්නේ ඉතාලිය සමඟ සහයෝගයෙනි. ශ්‍රී ලංකාවද ඇතුළුව සම්මුතියේ පාර්ශවකාර රාජ්‍යයන් 195ක් දේශගුණ විපර්යාසය අවමකරගැනීම (Mitigation) හා අනුහුරුවීම (Adaptation) සඳහා වන තමන්ගේ ඉලක්ක යාවත්කාලීන කරගැනීම සඳහා මෙම සමුළුවට සහභාගීවීමට අපේක්ෂාවෙන් සිටිති. මෙම 26 වැනි සැසි වාරය පැවැත්වීමට නියමිතව තිබුණේ ඉකුත් 2020 වසරේ වුවත් පැවති ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එය වසරකින් කල් දැමීමට සංවිධායකයින්ට සිදුවිය.

පුරා දශක තුනකට ආසන්න කාලසීමාවක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව පුරා රටවල් එක් වේදිකාවක් මතට ගෙනැවිත් දේශගුණ විපර්යාසය නම් මෙම ගෝලීය අභියෝගයට මුහුණදීමට අවශ්‍ය පොදු එකඟතාවයක් ඇතිකර ගැනීමට නොගත් උත්සාහයක් නැත. එහි යම් යම් කඩයිම් පසුකිරීමට අපට හැකි වුවත් අපේක්ෂිත අවසන් ජයග්‍රහණ අත්කර ගැනීමේ අභිලාශය තවමත් සිහිනයක් පමණි. නමුත් එම වකවානුව තුල දේශගුණ විපර්යාසය මෙම මිහිතලයේ ජීවත්වෙන සෑම සියලු ප්‍රාණියෙකුගේම ජීවිත වලට ඇති ප්‍රධානතම තර්ජනය බවට පත්ව හමාරය. එම අභියෝගයට මුහුණදීමට නොහැකිවූ ජීවී විශේෂ රැසක් මේ වන විටත් සදහටම මිහිතලයෙන් සමුගෙන ගොස් ඇත. තම අත්තනෝමතික, අසාධාරණ, සහ අධම ක්‍රියාකාරීත්වය ඔස්සේ දේශගුණ විපර්යාසය වේගවත් කිරීමට දායකවූ මිනිස් ප්‍රජාව තවදුරටත් නොනැසී සිටියත් දේශගුණ විපර්යාසයේ අනිටු ප්‍රතිපල වලින් ඔවුනටද නිමක් නොමැතිව බැට කෑමට සිදුව ඇත.

එහි ප්‍රතිපලයක් ලෙස මේ පොළෝ තලයේ මහත් ආයාසයෙන් ජීවිත ගැට ගසාගෙන සිටින ආන්තික ප්‍රජාවන් දුප්පත්කමේ පතුලටම ගමන් කරමින් සිටිති, කබලෙන් ලිපට විසිවෙමින් සිටිති. ඔවුන්ට තමන්ගේ මූලික අවශ්‍යතා වන ආහාර, ජලය, වාසස්ථාන සහ මූලික පහසුකම් සපයාගැනීම එන්න එන්නම දුෂ්කරවී ඇත. එදා වේල සරිකර ගැනීමට පවුලේ ස්වාමියා දුක් ගැහැට විඳිද්දී, කුසට නිසි අහරක් නොමැතිව පීඩා විඳින කාන්තාවන් සහ දරුවන් තමන්ගේ පවුල් වලට අවශ්‍ය ජල අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා දිනකට පැය ගණනක් බොහෝ දුර බැහැර ගෙවා ජලය සොයා යන දසුන් මේ වන විට ශ්‍රී ලංකාවේද විරල නොවේ. දරිද්‍රතාවයෙන් බැටකන තම පවුල්වල ආර්ථික තත්වය මදක් හෝ ඔසවා තැබීමට ස්වාමිපුරුෂයාට සහය වීමට කාන්තාවන්ට ඇති කාලය ඒ ඔස්සේ අහිමිවී ඇත. දුවාදරුවන්ට තමන්ගේ අධ්‍යාපන අවස්ථා ඒ ඔස්සේ අහිමිවී ඇත. මානව සුභසාධනය සහ සංවර්ධනය සඳහා අත්‍යාවශ්‍ය සෞඛ්‍ය, අධ්‍යාපනය, සමාජ සංවර්ධනය සහ කර්මාන්ත ආදී එකී මෙකී නොකී සියලු ක්ෂේත්‍රයන් දේශගුණ විපර්යාසයේ බලපෑම් වලින් වෙලී පවතී. දේශගුණ විපර්යාසය ප්‍රති සරදියෙල් න්‍යායෙන් එල්ලකරන බලපෑම් තවදුරටත් පීඩිතයාම පීඩනයට ලක් කිරීම ඛේදවාචකයකි.

ලොව පුරා මිලියන ගණනක් ජනතාවට තමන්ගේ පාරම්පරික වාසභූමි අත්හැර දේශගුණ අනාථයන් (Climate Refugees) වශයෙන් වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීමට මෙමගින් බල කර ඇත. දේශගුණ විපර්යාසය හේතුවෙන් මේ වන විට පෘථිවි ගෝලයේ බොහෝ ප්‍රදේශ මනුෂ්‍ය වාසයට නුසුදුසු තත්වයට පත්වෙමින් පවතින බව තවදුරටත් රහසක් නොවේ. ඒ හේතුවෙන් තම පාරම්පරික වාසභූමි අත්හැර තම රටේම හෝ තම දේශසීමාවෙන් එහා වෙනත් රටකට සංක්‍රමණය වන ජනතාව දේශගුණ අනාථයන්  ලෙස සරලව හැඳින්විය හැකිය. දැනට සිදුකර ඇති ගණනය කිරීම් අනුව වසරකට ලොව පුරා මිලියන 26ක පමණ ජනගහනයක් දේශගුණ අනාථයන් බවට පත්වේ. පර්යේෂකයන් පවසන්නේ 2050 වසර වන විට එම ප්‍රමාණය මිලියන 50ක් පමණ විය හැකි බවයි.

ශ්‍රී ලංකාව තුලද විවිධ අවස්ථාවල ඇතිවූ හා අඛණ්ඩව දීර්ඝකාලීනව ඇතිවෙමින් පවතින දේශගුණ විපර්යාසයේ බලපෑම් නිසා දේශගුණ අනාථයන් බිහිවීම සිදුවී ඇත. ඒ ඒ අවස්ථාවල තාවකාලික පිළියම් ලබාදීමෙන් ප්‍රශ්න යටගැසීම විනා දේශගුණ අනාථයන් සම්බන්ධයෙන් අප රට තුලද විධිමත් වැඩපිළිවෙලක් තවමත් සකස්කොට නැත. අප රටේ මුළු ජනගහනයෙන් තුනෙන් එකක් ජීවත්වන, මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 24ක් අයත් වන්නේ වෙරළබඩ ප්‍රදේශයටය. රටේ මුළු මත්ස්‍ය නිෂ්පාදනයෙන් සියයට අසූවක් සපයන්නේ එම භූමිය කේන්ද්‍ර කරගෙන වන අතර රටට විදේශ විනිමය සපයා දෙන ප්‍රධාන ධනෝපායන මාර්ගයක් වන සංචාරක කර්මාන්තය සඳහා යටිතල පහසුකම් සපයන භූමියද වන්නේ මෙයයි. නමුත් දේශගුණ විපර්යාසය නිසා ඉහළ යන මුහුදු ජල මට්ටම හා  වෙරළ ඛාදනය නිසා වෙරළබඩ ජනතාවට නිවාස, යටිතල පහසුකම් හා ජීවනෝපාය අහිමිකරගනිමින් රට තුලට ගමන් කිරීමට මේ වනවිට සිදුවී තිබේ. ඒ අතර නිතර සිදුවන ස්වභාවික විපත් දරාගත නොහැකිව ලතැවෙන කඳුකරයේ ජනයාට සිදුවී ඇත්තේ ද රටේ පහත් තැනිතලා වෙත සංක්‍රමණය වීමටය. ඒ මතුද නොව දිවයිනේ මුළු භූමියෙන් සියයට හැටක් වසා පැතිරුණු වියලි කලාපයේ ගොවි ජනතාවට තම ජීවනෝපාය අත්හැර නගර වෙත සංක්‍රමණයවී වෙනත් වෘත්තීන් වල නියැලීමට දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් උත්සන්න වන නියං, ගංවතුර තත්ත්ව හා අකල් වැසි බල කරයි.

දේශගුණ විපර්යාසය මිහිතලයේ ජීවත්වෙන සෑම සියලු ජීවියෙකුටම ඇති මූලික ජීවන අභියෝගය බව තව දුරටත් අටුවා ටීකා අවශ්‍ය වන්නේ නැත. ඊට මුහුණදීම සඳහා අද දවසේ අප දරණු ලබන සාමුහික ප්‍රයත්නයන් ඔබගේත් මගේත් හෙට දවස තීරණය කරනු ඇත. ඒ අතින් බැලූ විට මිහිතලයේ වැසියන්ට තමන්ගේ අනාගත පැවැත්ම තීරණය කිරීමට ග්ලාස්ගොව් සැසි වාරය ඉතා වැදගත් වේ. ප්‍රංශයේ පැරිස් නුවරදී 2015 වසරේ පැවැත්වූ දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ පාර්ශව කරුවන්ගේ 21 වැනි සැසි වාරයෙන් පසු ඉතා වැදගත්ම සැසි වාරයක් ලෙස මෙම ග්ලාස්ගොව් සැසි වාරය හැඳින්විය හැකිය. පැරිස් එකඟතා අනුව සම්මුතියේ පාර්ශ්වකරුවන් තමන් විසින් දේශගුණ විපර්යාසය අවමකිරීම සහ අනුහුරුවීම සඳහා සකස් කර ඉදිරිපත්කරන ලද දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්වයන් (Nationally Determined Contributions - NDCs) වසර පහකට වරක් යාවත්කාලීන කිරීම සිදුකළ යුතු අතර 2020 වසරේ සැසි වාරය නොපැවැත්වුණු නිසා එකී යාවත්කාලීන දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්වයන් ප්‍රථම වරට සම්මුතිගත කිරීම සිදු වන්නේ මෙම වසරේදීය.

මිනිසුන් ඇතුළු මුළු මහත් ජීවී සමූහයාටම මෙම පෘථිවි ගෝලයේ යහතින් ජීවත්වීමට අවශ්‍ය නම් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමෙන් මිහිතලයේ උෂ්ණත්වය වැඩිවීම පූර්ව කාර්මික යුගයට සාපේක්ෂව අංශක 1.5 ක සීමාවේ වත් පවත්වාගෙන යාමේ ඉලක්ක 2025 හෝ 2030 වන විට සපුරාලීම අනිවාර්යය. ඒ සඳහා දේශගුණ විපර්යාසයට එරෙහිව පියවර ගැනීමට ගිවිසුමට අත්සන් තැබූ සියලුම රටවල් කැපවිය යුතුය. ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශය විසින් ද 2021 ජූලි මස යාවත්කාලීන කරන ලද දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්වයන් දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුති ලේකම් කාර්යාලයට භාරදී ඇත.

දේශගුණික විපර්යාසයන්ගේ අහිතකර බලපෑම් හේතුවෙන් දැඩි අවධානමකට ලක්වී ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව තම රටේ කෘෂිකර්මාන්තය, ධීවර, පශු සම්පත්, සෞඛ්‍ය, ජලය, ජෛව විවිධත්වය, වෙරළ සහ සාගර, සංචාරක, නාගරික සැලසුම් සහ මානව ජනාවාස යන අංශයන්හි ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කර ඇත. 2010 වසරේදී මෙරට ඒක පුද්ගල හරිතාගාර වායු විමෝචනය ටොන් 1.02 ක් වූ අතර 2019 දී එහි ගෝලීය සමුච්චිත දායකත්වය 0.03%කි. මෙම අඩු කාබන් පියසටහන සහ දැඩි අවධානමට ලක්විය හැකි තත්වය තුල 2030 වන විට මෙරට වනාන්තර ප්‍රතිශතය 32% දක්වා ඉහළ නැංවීමට සහ 2021-2030 කාලසීමාව තුල බලශක්ති (විදුලි උත්පාදනය), ප්‍රවාහන, කර්මාන්ත, අපද්‍රව්‍ය, වනාන්තර සහ කෘෂිකර්ම යන අංශ වලින් හරිතාගාර වායු විමෝචනය 14.5% කින් අඩු කිරීමට ශ්‍රී ලංකාව තම යාවත්කාලීන දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්වයන් මගින් ජාත්‍යන්තරය හමුවේ පොරොන්දු ලබාදී තිබේ. මෙම අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා, ශ්‍රී ලංකාව 2030 වන විට විදුලිබල උත්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තිය මගින් ලබා ගැනීමට අපේක්ෂා කරන අතර 2050 වන විට විදුලි උත්පාදනයේදී කාබන් විමෝචනය ශුන්‍ය කිරීමටද, ගල් අඟුරු බලාගාර වල ධාරිතාව ඉහළ නැංවීමෙන් වැළකී සිටීමටද පොරොන්දු දී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව සිය කාබන් විමෝචනය ශුන්‍ය කරගැනීමේ ඉලක්කය සාක්‍ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන්නේ 2060 වසරේදීය.

කතාවට එසේ කීවද ඉහත කී හරිතාගාර වායු විමෝචන අවමකිරීමේ සහ හඳුනාගත් ක්ෂේත්‍රවල අනුහුරුවීම් ප්‍රවර්ධනය කිරීමේ ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සැබෑ කැපවීමකින් කටයුතු කරනවාද යන්න මතභේදාත්මකය. උදාහරණයක් වශයෙන් වන ආවරණය ඉහළ නැංවීම පිළිබඳව සලකා බලමු. හුස්ම දෙන තුරුජාතික රුක් රෝපණ වැඩසටහනේ දෙවැනි අධියර ක්‍රියාත්මක කිරීම සම්බන්ද වැඩසටහනකදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසා තිබුණේ  සෞභාග්‍යයේ දැක්මරාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයෙන් 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ වන ගහනය සියයට තිහ දක්වා ඉහළ නංවන බවය. අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කරන්නේ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාසය පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශවකරුවෙකු වශයෙන් ශ්‍රී ලංකාව 2030 වසර වන විට මෙරට වනගහනය 32% දක්වා ඉහළ දැමීමට අවස්ථා දෙකකදී ලෝකයා හමුවේ පොරොන්දුදී ඇති පසුබිමකය. ශ්‍රී ලංකාවේ සමස්ත වන ආවරණය පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසන් වරට ඇස්තමේන්තුවක් සකස් කර ඇත්තේ 2010 වසරේය. එහි සඳහන් වන ආකාරයට මෙරට වන ආවරණය දිවයිනේ මුළු බිම් ප්‍රමාණයෙන් 29.7% කි. නමුත් එම වනාන්තර ප්‍රමාණය 2021 වනවිටත් අපේ රටේ ඉතිරිවී ඇතැයි සිතීම මුලාවක් පමණි. පස්චාත් යුධ සමයේ, ඉකුත් මහින්ද රාජපක්ෂ පාලන යුගයේ මෙරට වනාන්තර වලට අත්වූ ඉරණම අමුතුවෙන් පැහැදිළි කිරීමට අවශ්‍ය වන්නේ නැත. බොහෝ සංවාද වලට බඳුන්වූ විල්පත්තුවට උතුරින් සිදුවූ වනාන්තර විනාශයේ සිට දිවයින පුරාම වනාන්තර එම අවදියේ විනාශ කෙරිණි. ඉන් පසු යහපාලන ආණ්ඩු සමයේද අඩු වැඩි වශයෙන් වන විනාශයන් සිදුවූ අතර වර්තමාන ආණ්ඩුව බලයට පැමිණීමත් සමග ගනු ලැබූ ඇතැම් අත්තනෝමතික, අසාධාරණ සහ අවිද්‍යාත්මක තීන්දු තීරණ ශ්‍රී ලංකාවේ වනාන්තර සහ ස්වාභවික සම්පත් වලට කිසි සේත්ම ශුභ නොවූ බව රහසක් නොවේ. එම විනාශයන් පිළිබඳව පසුගිය කාලයේ සමාජයේ ඇතිවූ කතාබහ දැන් දැන් යටපත්වී තිබුණත් වන විනාශය නැවතී ඇතැයි එයින් හැඟවෙන්නේ නැති බව අප සියලු දෙනාම තරයේ සිහි තබාගත යුතුය. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිදුවන වන විනාශයන් පිළිබඳව මාධ්‍ය වාර්තා තවමත් නොනවත්වාම පලවෙන අතර හොර රහසේ සිදුවන වන විනාශයන් සංඛ්‍යාවත් සුළු පටු නැති බව කිව මනාය. ඒ අනුව වනාන්තර ප්‍රතිශතය ඉහළ නැංවීමේ ආණ්ඩුවේ පොරොන්දුව මේ වන විටත් ඇත්තේ කඩවුණු පොරොන්දුවක් වශයෙන් බව කණගාටුවෙන් නමුත් කිව යුතුය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩු දේශගුණ විපර්යාසය අවමකිරීම සහ අනුහුරුවීම සම්බන්දයෙන් මෙවැනි නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කිරීමට ප්‍රධාන හේතුවක් ලෙස මෙරට ජනතාවද ඒ පිළිබඳව ප්‍රමාණවත් උනන්දුවක් නොදැක්වීම දැක්විය හැකිය. ශ්‍රී ලංකාවේ විශේෂයෙන් සිංහල සහ දමිළ බසින් සන්නිවේදන කරන සාතිශය බහුතරයක් ජනතාවගේ දේශගුණ සාක්ෂරතාවය ඇත්තේ ඉතා පහළ අගයක බව නොඅනුමානය. ඇතැම් ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය පවා දේශගුණ විපර්යාසයයන වදන වෙනුවට කාලගුණ විපර්යාසයයන වදන භාවිතා කරනු ලියුම්කරු ඕනෑ තරම් අසා දැක තිබේ. නමුත් එකීකාලගුණ විපර්යාසය යන වදනට කිසිඳු අරුතක් ඇත්තේ නැත. සුලභව ආන්තික කාලගුණික විපත්, නොඑසේනම් දැඩි නියං සහ අකල් මහා වැසි වලින් බැටකන මෙරට ගොවි ජනතාව එය දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑමක් බව දන්නේ නැත. නිතර නිතර හමන සුළිසුලං වලින් තම ජීවිත සහ ධීවර ආම්පන්න විනාශවන ධීවර ජනතාව එය දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑමක් බව දන්නේ නැත. තම ගම්මානය ආසන්න වනාන්තර අක්කර දහස් ගණනක් කොම්පැණි කරුවන් වෙත පැවරීමට විරුද්ධ නොවන ගැමි ජනතාව ඒ අල්ල පනල්ලේ පුංචි කැලෑ කට්ටියක් අල්ලාගෙන වැට ගසා ගන්නේ වන විනාශය මගින් උත්සන්න වන දේශගුණ විපර්යාසය නුදුරු අනාගතයේදීම තම සබ්බ සකල මනාවමව අහිමි කරන බව නොදැනය. ශ්‍රී ලංකාවේ දේශගුණ සාක්ෂරතාවය ඇත්තේ එවැනි අඩියකය.

නමුත් එකී ජනතාව තුල දේශගුණ විපර්යාසය කෙරෙහි ඇති දැනුම සහ ආකල්ප ඉහළ නැංවීමට අප කටයුතු කළහොත් ඔවුන් නොපමාව තමන්ට දේශගුණ විපර්යාසයේ අඳුරු බලපෑම් වලින් මිදීමට අවශ්‍ය හරිතාගාර වායු විමෝචන කප්පාදු ඉල්ලා අරගල කරනු ඇත. තමන්ගේ ජීවන රටාවන් දේශගුණ විපර්යාසයේ බලපෑම් වලින් ආරක්ෂා කිරීමට අවශ්‍ය අනුහුරුවීම් ඉල්ලා හඬ නගනු ඇත. ජනතාව සෘජුව අත්විඳිමින් සිටින නමුත් ඇසට නොපෙනෙන මේ මහා විපත ඔවුන්ගේ ඇස් මානයෙන් සඟවා තැබීමට, ජනතාව දැනුමින් අන්ධ කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින්නේ එබැවිණි. එය ශ්‍රී ලංකාවට පමණක් නොව, එවැනි සදාකාලිකව සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවලට පොදු ධර්මතාවයක් ලෙස ලියුම්කරු සිතමි. ඒ කඩතුරාවන් ඉවත්කර දමා විවෘත දෑසින් මේ ගෝලීය අභියෝගය දකින්නටත්, ඊට එරෙහිව කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීමටත් ජනතාව දක්වන උනන්දුව මේ මිහිතලයේ ජීවී ප්‍රජාවන්ගේ පරමායුෂ තීරණය කරනු ඇති බව අවසන් වශයෙන් ලියා තබනු කැමැත්තෙමි.  

 සුපුන් ළහිරු ප්‍රකාශ්

2020 වසරේ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස ඉගෙනුම් ශූර

Saturday, May 29, 2021

 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පර්යේෂණ හා පුහුණු ආයතනය මගින් ලොව පුරා රටවල් 87 ක තරගකරුවන් සියගනනක් අතරින් තෝරා ගැනුණු 2020 UN CC: Learn Champions/ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස ඉගෙනුම් ශූරයන් දසදෙනා අතරට මා තේරී පත්වී ඇත. ඒ සඳහා ආසියානු රටකින් තේරී පත්වූ එකම තරගකරුවාද මා පමණයි ...

#UNCCLearnChampion

සම්පූර්ණ කතාව මෙතැනින්: https://bit.ly/3hO4vgN

Saturday, December 22, 2018


ශ්‍රී ලංකාව ගෝලීය දේශගුණ අවධානම් දර්ශකයේ දෙවැනි තැනට,
අප තවත් බලා සිටිමුද !


දේශගුණ විපර්යාස හේතුවෙන් උත්සන්න වන ආන්තික කළගුණ විපත් මගින් වැඩිම අවධානමට ලක්වූ රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ පවතින බව Germanwatch ආයතනය විසින් ඊයේ (04) දින එළිදක්වන ලද ‘ගෝලීය දේශගුණ අවධානම් දර්ශකය - 2019’ (GLOBAL CLIMATE RISK INDEX 2019) වාර්තාව මගින් හෙළිදරව්කර ඇත. 1998 වසරේ සිට 2017 වසර දක්වා සිදුවූ ලොව විවිධ රටවලට බලපෑ සුළිසුලං, ජලගැලීම් වැනි ආන්තික දේශගුණ විපත් මගින් සිදුවී ඇති බලපෑම අධ්‍යනය කිරීම මගින් මෙම දර්ශකය සකස්කර ඇත. පසුගිය වසරේ ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ සිව් වැනි ස්ථානයේ පසුවූ අතර මේ වනවිට එයින් තවදුරටත් ඉදිරියට පැමිණ ලොව වැඩිම දේශගුණ අවධානමක් සහිත රටවල් අතර දෙවැනි තැනට ශ්‍රී ලංකාව පත්ව ඇත. නමුත් එසේ තිබියදී රටක් වශයෙන් තවමත් අප දේශගුණ විපර්යාසයේ හා එමගින් උත්සන්න වන ආන්තික කාලගුණ විපත්වල අහිතකර බලපෑමට මුහුණදීමට අවශ්‍ය නිසි ප්‍රතිපත්තිමය යොමුවක් හෝ ජාතික මට්ටමේ වැඩ පිළිවෙලක් අප රටට නොමැති බව අප අවධාරණය කරමු. මේ හේතුවෙන් දිනෙන් දිනම සංඛ්‍යාත්මකව ඉහළ යන, එසේම එන්න එන්නම ප්‍රචණ්ඩ වන කාලගුණ විපත් හමුවේ විපිළිසරවීම හැර අපට ජාතියක් ලෙස සිදුකිරීමට වෙනත් කිසිවක් ඉතිරිව නොපැවතීම කණගාටුවට කරුණකි.

2017 වසරේ මැයි මාසයේ ශ්‍රී ලංකාවට ලැබුණු අධික මෝසම් වර්ෂාව හේතුවෙන් සිදුවූ ජලගැලීම් හා නාය යාම් හේතුවෙන් 60 000 ක් පමණ පිරිසක් අවතැන්වූ අතර ජීවිත රැසක් රටට අහිමි විය. එමගින් දිස්ත්‍රික්ක දොළහකට බලපෑම් එල්ලවූ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් 20 000 ක පමණ ජනතාවක් අවතැන් විය. එසේම එමගින් රටේ ආර්ථිකයට සිදුවූ පාඩුවද සුළුපටු නැත. දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට වැඩි වශයෙන් මුහුණ දෙන නිවර්තන කලාපයේ පිහිටීම හේතුවෙන් ශ්‍රී ලංකාවට දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට නිරන්තරයෙන් මුහුණදීමට සිදුවේ. නමුත් එම බලපෑම් අවමකර ගැනීමට හා ඊට අනුහුරුවීමට රටක් ලෙස අප කටයුතුකර ඇත්තේ ඉතා අල්ප වශයෙන් බව කිවයුතුය. රටේ සංවර්ධනය තිරසාර ආකාරයෙන් පවත්වාගෙන යාමට නම් අප ශ්‍රී ලංකාවේ සියළුම සංවර්ධන අංශයන් දේශගුණ විපර්යාසයට අනුගත කලයුතුය. නමුත් මේ දක්වා එසේ සිදුකර ඇති බවක් පෙනෙන්නට නැත. එමගින් සිදුවන්නේ දේශගුණ විපර්යාසයේ බලපෑම් එල්ලවන සෑම අවස්ථාවකම අපට කරකියාගත හැකි දෙයක් නොමැති වීමය.

දේශගුණ විපර්යාස හේතුවෙන් එල්ලවන බලපෑම් නිසා මෙම මිහිතලය මත ජීවත්වීම  1970 දශකයට වඩා පස් ගුණයකින් අවධානම් සහගතවී ඇති බව වාර්තාවක් එළි දක්වමින් ලෝක කාලගුණ සංවිධානයද මීට පෙර ප්‍රකාශ කර තිබුණි. 1970 දශකයේ ගංවතුර, නියඟ, කුණාටු හා උණුසුම් වායු ධාරා වැනි විපත් 743ක් මගින් පෘථිවියේ ජනතාවට බලපෑම් එල්ලවී ඇති අතර විසිඑක්වැනි සියවසේ මුල් දශකය වනවිට එම විනාශයන් ප්‍රමාණය 3496ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම සංවිධානය අනාවරණය කල අතර ඒ සඳහා දේශගුණ විපර්යාසය සෘජුව වග කිව යුතු බව ඔවුන් තහවුරු කර තිබේ.

ගංවතුර, නියං, නාය යාම්, කුණාටු වැනි විපත් වලින් ශ්‍රී ලංකාවේ අපටද පසුගිය කෙටි කාල සීමාව තුලදී පවා නිරන්තරයෙන් අමිහිරි අත්දැකීම් ලැබීමට සිදුවූ බව නොරහසකි. මෙවැනි විපත් සාමාන්‍ය ව්‍යවහාරයේදී අප හඳුන්වන්නේ ස්වභාවික විපත් යනුවෙනි.  නමුත් දේශගුණ විපර්යාසයන්  උත්සන්න කිරීමට වගකිව යුත්තේ මිනිසුන් වන අපම බැවින්ද දිනෙන් දින ස්වභාවික විපත් සිදුවීම් ඉහළ යාමට දේශගුණ විපර්යාසය සෘජුව බලපා ඇති බැවින්ද තව දුරටත් එකී විපත් ස්වභාවික විපත් ලෙස හැඳින්වීමේ කිසිඳු යුක්ති සහගත බවක් නොමැත.

දේශගුණ විපර්යාසය හේතුවෙන් පරිසර උෂ්ණත්වය ඉහළ යාම නිසා වායු ගෝලයට වාෂ්පීකරණය වන ජලය ප්‍රමාණය ඉහළ යන අතර එමගින් බරපතල කුණාටු හා සුළිසුලං ඇතිවීම සිදුවේ. වායුගෝලයේ හා සාගර මතුපිට උෂ්ණත්වය ඉහළ යාම මගින් සුළං වේගය වැඩිවීම නිවර්තන සුළි කුණාටු වල විනාශකාරී බලය ඉහළ යාමට හේතුවී ඇති බවට මේ වන විට සාක්ෂි ලැබී තිබේ. සුළිසුලං හා චණ්ඩමාරුත මගින් ලොව පුරා විවිධ රටවලට විශාල ආර්ථික බලපෑම් එල්ලකර ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයට පවා බරපතලම ආර්ථික බලපෑම් එල්ලකරන ලද ස්වභාවික විපත් පහම සුළිසුලං බව කිවහොත් බොහෝ දෙනෙකු විමතියට පත්වීමටද පිළිවන. ඇන්ඩෘව් (1992), කැත්රිනා (2005) හා සැන්ඩි (2012) වැනි සුළිසුලං ඒ අතර වේ. එමගින් සිදුවූ ආපදාව ඇමරිකන් ඩොලර් බිලියන 294ක් බව ගණන් බලා ඇත. පරිසර උෂ්ණත්වය ඉහළ යාම නියං ඇතිවීමට ද හේතුවී ඇති අතර මෑත ඉතිහාසයේ බලපෑ බිහිසුණුම නියං තත්වය හේතුවෙන් 1970 -1980 කාල සීමාව තුල නැගෙනහිර අප්‍රිකාවේ ලක්ෂ හයක ජනතාවක් මරණයට පත්විය. දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් මුහුදු මට්ටම ඉහළ යාම මගින් සාමාන්‍යයෙන් රළ පහරේ පලපෑමට නතු නොවන ප්‍රදේශ පවා රළ පහරට හසුවන අතර මුහුදු රළ වල ඛාදන හැකියාව වැඩි වීම නිසා වෙරළබඩ ප්‍රදේශ වලට දැඩි බලපෑම් එල්ලවේ. වෙරළාසන්න ප්‍රදේශ වලට එල්ලවූ ස්වභාවික විපත් වලින් 2010 වසර තුලදී පමණක් නගර 136කට ඇමරිකන් ඩොලර් බිලියන 6ක අලාභයක් සිදුවී ඇත.

මේ ආකාරයෙන් ලොව පුරා මෙන්ම අපේ රටේද ඇතිවන බරපතල ව්‍යසනයන් හමුවේ ජනතාව අහසට දෑත් විහිදා සොබාදහමට ශාප කිරීම මින් ඉදිරියට පලක් වන්නේ නැති බව අප තරයේ සිහි තබා ගත යුතුය. ඒ මන්ද යත් පෘථිවි ගෝලයේ දේශගුණ රටාව වෙනස් කර, දේශගුණ විපර්යාසය උත්සන්න කිරීමට වැරදි කරුවෝ අපම වන බැවිනි. එමගින් ඇතිවන විපත් අප විසින්ම කැඳවා ගත් විපත් විනා සොබාදහමේ සැහැසිකම් නොවන බැවිනි. දේශගුණ විපර්යාස හේතුවෙන් ස්වභාවික විපත් ඇතිවීමේ සුලභතාවය වැඩිවී ඇතිවා සේම ඒවායේ විනාශකාරීත්වයද දිනෙන් දිනම ඉහළ යමින් පවතින බව පර්යේෂණ මගින් අනාවරණය කර තිබේ. එමගින් මිනිසා ඇතුළු මුළුමහත් පෘථිවි ගෝලයටම එල්ලවන  බලපෑම තව තවත් තීව්‍ර වනු මිස අඩුවීමක් නම් සිදු නොවේ.

දේශගුණ විපර්යාස මගින් උත්සන්න වන ස්වභාවික විපත් හේතුවෙන් වර්ෂ 2020වන විට ලොව පුරා බිලියන 1.3ක ජනකායක් හා ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 158ක වත්කම් අනතුරේ වැටෙනු ඇති බවට ලෝක බැංකුවද අනතුරු අඟවා ඇත. ඒ අනුව පස් ගුණයක් අවධානම දරාගනිමින් ඉදිරියටත් පෘථිවි ගෝලයේ ජීවත්වීමට අපට අවශ්‍යනම් අප විසින් වහ වහා දේශගුණ විපර්යාසයන් පිටු දැකීමට කටයුතු කල යුතු අතරම ඒ සඳහා අනුහුරුවීමද අත්‍යාවශ්‍යය. විපතක් සිදුවූ විට පමණක් කරළියට පැමිණෙන ආපදා කළමනාකරණය වෙනුවට නිරන්තර අවදියෙන් සිටින තුන්කල් දැක්මක් සහිත ආපදා පෙර සූදානම් ක්‍රමවේදයක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවයකි. එසේම නාය යම් සංවේදී ප්‍රදේශ, ගංගා නිම්න හා පහත්බිම් වල භූමි පරිභෝජන රටාවද විපත් ඇතිවීම වලක්වන හෝ අවම කරන ආකාරයේ වීමද වැදගත්ය. කාලයාගේ ඇවෑමෙන් ගංවතුර බැස ගිය විට සියල්ල මතකයෙන් මැකී යාමට ඉඩ නොදී මේ පිළිබඳව ගැඹුරින් කල්පනා කිරීම හා ක්‍රියා කිරීම ඔබේද මගේද අනාගතය තීරණය කරනු ඇත. ‘ගෝලීය දේශගුණ අවධානම් දර්ශකය - 2019’ මගින්ද නැවත නැවතත් අවධාරණය කරන්නේ එයය.

ඒ සඳහා රටක් වශයෙන් අප සියළු දෙනාගේ කැපවීම අත්‍යාවශ්‍ය ය. පාලකයින් හා ප්‍රතිපත්ති සම්පාදකයින් රටේ අනාගතය හා සංවර්ධනයේ දිශානතිය තීරණය කිරීමේදී මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතුය. කාර්මික, කෘෂිකර්ම, සෞඛ්‍ය, සමාජ සුභසාධන හා ධීවර ආදී සියළු ක්ෂේත්‍ර දේශගුණ විපර්යාසයේ ගොදුරු බවට පත් නොවීමට අවශ්‍ය අනුහුරුවීම (Adaptation) හා ප්‍රතිසංස්කරණ අවශ්‍යය. ඒ සඳහා පවතින ආණ්ඩු අසමත් වේ නම් තමන්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් ඒ සඳහා අරගල කිරීම ජනතාවගේ යුතුකමය. එසේ නොකළහොත් දේශගුණ අනාථයින් වශයෙන් අප සියළු දෙනාටම මේ රට හැර යාමට සිදුවන දිනය වැඩි ඈතක නොවේ.

මෙම සම්පුර්ණ වාර්තාව පහත දිගුව මගින් ලබාගතහැක: https://germanwatch.org/sites/germanwatch.org/files/Global%20Climate%20Risk%20Index%202019_2.pdf 

Monday, December 5, 2016


හිතවත් පාඨකය,

දේශගුණ අනාථයන් පිළිබඳ ප්‍රශ්නය ලොව බරපතලම මානුෂීය ඛේදවාචකය වනු ඇතිද?
ඒ පිළිබඳව විමසුම පහත link මගින් කියවන්න.

https://www.academia.edu/30102745/Will_Climate_change_refugees_become_the_world_largest_humanitarian_crisis