Friday, June 10, 2016

කාන්තාව හා දේශගුණ අභියෝගය

දේශගුණ විපර්යාසය හේතුවෙන් මිනිස් වර්ගයා වෙත එල්ලවී ඇති බලපෑම් ගැන කතා කිරීමේදී කාන්තාවන්ට එල්ලවී ඇති බලපෑම පිළිබඳව ද විශේෂයෙන් සාකච්ඡා කල යුතුව ඇත. ඒ මන්ද යත් බොහෝ විට පවුල් ඒකකයන්ට දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් එල්ලවන පීඩනයේ අවසන් ගොදුර බවට පත්වන්නේ කාන්තාවන් හා කුඩා ගැහැණු දරුවන් වන බැවිනි. දේශගුණ විපර්යාසයේ බලපෑම නිසා ඇතිවන සමාජාර්ථික පීඩනයේ ගොදුරු බවට පත්වන කාන්තාවන් හා කුඩා ගැහැණු දරුවන් මුහුණ දෙමින් සිටින අඳුරු ඉරණම පිළිබඳව දැන් දැන් සිටම අවධානය යොමුකර ඊට පිළියම් සෙවීම අත්‍යාවශ්‍ය ය. 2016 අප්‍රේල් මස 22 වන දින රටවල් 175 ක් අත්සන් තැබූ පැරිස් දේශගුණ සම්මුතිය තුලද, දේශගුණික විපර්යාස පිළිබඳව ක්‍රියාත්මක වීමේදී ස්ත්‍රී-පුරුෂ සමාජභාවය (gender-sensitive actions) පිලිබඳ අවධානය යොමු කර ඇත්තේද මේ හේතුවෙනි.


තම පවුලේ සාමාජිකයන්ගේ දෛනික අවශ්‍යතාවයන් සඳහා ඉන්දන ලෙස දර සපයාගැනීම හා පරිභෝජනයට අවශ්‍ය ජලය සපයා ගැනීම ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව බොහෝ තුන්වැනි ලෝකයේ රටවල කාන්තාවන්ගේ ප්‍රධාන වගකීමකි. බොහෝ විට පවුලේ ගැහැණු දරුවන්ටද මේ සඳහා මවට උදව් උපකාර කිරීමට සිදුවේ. නමුත් වියළි කලාපයේ හා කඳුකරයේ බොහෝ ප්‍රදේශ වල ජීවත්වන කාන්තාවන්ට එම වගකීම ඉටුකිරීම පහසු කටයුත්තක් වන්නේ නැත. විශේෂයෙන් වර්ෂා සමයන්හිදී වැසි දියෙන් ජලය තෙත්වීම නිසා ඒවා ඉන්දන ලෙස භාවිතා කිරීම අපහසුවේ. දේශගුණ විපර්යාසයේ එක් අනිටු ප්‍රතිපලයක් ලෙස නිතර වර්ෂාපතනයන් ඇදහැලෙන ප්‍රදේශ වල කාන්තාවන්ට තම පවුලේ අහර වේල පිසගැනීමට හෝ වියළි දර කැබලි කිහිපයක් සපයා ගැනීමට දේශගුණ විපර්යාසය හරස් වන්නේ නිතර ඇදහැලෙන වර්ෂාවේ මුහුණුවරිනි.

දේශගුණ විපර්යාසයේ තවත් අනිටු ප්‍රතිපලයක් වන්නේ ඇතැම් ප්‍රදේශ වලට දීර්ඝ නියං කාල ඇතිවීමය. එවැනි තත්වයක් තුල තම පවුලේ අවශ්‍යතා සඳහා ජලය සොයා ගැනීම එවැනි ප්‍රදේශ වල කාන්තාවන්ට මහත් වෙහෙසකර කටයුත්තක් බව නොකිවමනාය. ලොව පුරා බොහෝ ප්‍රදේශ වල ජීවත්වන ජනතාවට පිරිසිඳු ජලය සපයා ගැනීම අභියෝගයක් බවට පත්ව ඇත. එම අභියෝගය දේශගුණ විපර්යාස හේතුවෙන් දෙතුන් ගුණයක් බරපතල වෙද්දී එහි ගොදුර බවට පත්වන්නේද කාන්තාවන් හා කුඩා ගැහැණු දරුවන් වීම සෝචනීය තත්ත්වයකි. එකිනෙක මත කුඩා කලගෙඩි හිස මත තබාගෙන හෝ ප්ලාස්ටික් ජල බඳුන් රැගෙන ජලය සොයා යන වියළි කලාපීය ප්‍රදේශවල කාන්තාවන් ඔබද ජීවිතයේ එක වරක් හෝ දැක ඇතිවාට සැක නැත. ඒ දේශගුණ විපර්යාසය කාන්තාවන්ට බලපා ඇති ආකාරයය. බැලූ බැල්මට එය ආකර්ශනීය දසුනක් වීමට පිළිවන් නමුත් එම ජල බඳුන් ඔසවාගෙන දිනපතා සැතපුම් ගණන් ජලය සොයා ඇවිද යාම වින්දනීය අත්දැකීමක් නම් නොවේ.

එම වෙහෙසකර කාර්ය විසින් එම කාන්තාවන් දීර්ඝකාලීන කොන්දේ හා දෙපාවල වේදනාව වැනි රෝගී තත්වයන්ගෙන් බැටකන අසරණයන් බවට පත් කරයි. ඒ අමතුද නොව දේශගුණ විපර්යාසය විසින් මේ උදුරාගෙන ඇත්තේ තම දරුවන් රැකබලා ගැනීමට, පවුලේ අවශ්‍යතා ඉෂ්ඨ කිරීමට හා ජීවනෝපායක යෙදී පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කාන්තාවන්ට ඇති වටිනා කාලයයි. පවුලේ මවට දර හා ජලය සෙවීමට සැලකිය යුතු කාලයක් ගතකිරීමට සිදුවීම හා නිවසින් සැතපුම් ගණන් දුරබැහැරට යාමට සිදුවීම නිසා  එමගින් පවුලේ දරුවන් අනාරක්ෂිත වීම සිදුවන අතර ඉතා බර ජල බඳුන් රැගෙන වෙහෙසකර ගමනක නිරතවන ස්ත්‍රීන්ද වෙනත් පුද්ගලයන්ගේම හෝ වන සතුන්ගේ හිංසනයන්ට ලක්වීමට වැඩි ඉඩ කඩක් පවතී. එහිදී තම මවගේ සහයට පැමිණෙන ගැහැණු දරුවන්ට අත්වන්නේද එම ඉරණමමය. ඊට අමතරව ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට ඇති වටිනා කාලයද මේ හේතුවෙන් අහිමිවී යාම කොතරම් අභාග්‍යසම්පන්න තත්ත්වයක්ද යන්න දෙවරක් සඳහන් කලයුතු නැත.

එසේම දේශගුණ විපර්යාසයේ  ආදීනව වශයෙන් හටගන්නා සුළිසුලං, කුණාටු, ගංවතුර හා නායයාම් වැනි ආපදාවන්ගෙන්ද වැඩිපුරම බැට කන්නේ කාන්තාවන්ය. තම පෞද්ගලිකත්වය ආරක්ෂාකර ගැනීමට අපහසුවීම හා අවශ්‍ය පරිදි සනීපාරක්ෂක පහසුකම් සපයා ගැනීමට අපහසුවීමේ සිට තම පවුලට අවශ්‍ය මුලික අවශ්‍යතා ලබා ගැනීම සඳහා නිලධාරීන්ට ලිංගික අල්ලස් ලබා දීමට සිදුවීම දක්වා වූ බරපතල අමානුෂීය ඛේදවාචකයන් රැසකට කාන්තාව මෙමගින් මුහුණදෙයි.

දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් පවුලේ ආර්ථික තත්ත්වය දුර්වලවීම නිසා ලැබෙන සීම්ත සම්පත් තම ස්වාමියා හා දරුවන් වෙත ලබා දී නිහඬවම කුසගින්න දරාගෙන සිටින මව්වරුන් කොතරම් මේ පොළොවේ සිටිනවා ඇත්ද යන්න ඔබ කිසිවිටෙකත් සිතා ඇතිද ? ඒ හේතුව නිසා අවශ්‍ය පෝෂදායී ආහාර නොලැබීම නිසා කාන්තාවන් තව තවත් දුර්වල මෙන්ම අසරණ වන අතර එමගින් ඔවුන් රෝග වලට ගොදුරුව වැඩි වශයෙන් වේදනා විඳීම හෝ මරණයට පත්වීම සිදුවේ.ගර්භණී කාන්තාවන්ට මෙම තත්ත්වය බරපතල ලෙස බලපෑම් ඇතිකරන අතර ඊට අමතරව දේශගුණ විපර්යාසය හේතුවෙන් පහල වායුගෝලයේ ඕසෝන් වායු සාන්ද්‍රණය ඉහළ යාම මගින් නොමේරු දරු උපත් ඇතිවීම තවත් බරපතල තත්ත්වයකි.


දේශගුණ විපර්යාසය මගින් ඇතිකරන අහිතකර බලපෑම් වලින් පෘථිවි වාසීන් ආරක්ෂාකර ගැනීමේ සටන ආරම්භ කලයුත්තේ කාන්තාව සවිබල ගැන්වීම මගින් බව මේ අනුව පෙනී යයි.

Friday, June 3, 2016

හැමදා වාරකන්

ලොව වටා දිවිගෙවන බිලියන ගණනක් ජනතාවගේ අහර පතට සත්ව ප්‍රෝටීන පෝෂණය ලබා දෙන සාපේක්ෂව අඩු වියදම් ප්‍රෝටීන ප්‍රභවයක්  ලෙස සාගර හා ගොඩබිමේ අභ්‍යන්තර මත්ස්‍ය සම්පත මගින් ඉටුවන මෙහෙය අති විශාලය. එසේම දිනෙන් දින වර්ධනයවන ජනගහනයට අවශ්‍ය රැකියා උත්පාදනයේදීද ධීවර කර්මාන්තයෙන් ලැබෙන දායකත්වය ඉමහත්ය. විශේෂයෙන්ම වෙනත් ආහාර ප්‍රභව සුලභ නොවන හා වෙනත් රැකියා අවස්ථා වෙත ලඟාවීම අපහසු ප්‍රජාවන්ගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා ධීවර කර්මාන්තය මහත් රුකුලකි. නමුත් මින්සුන් වන අපගේ අත්තනෝමතික හා වගකීම් විරහිත ක්‍රියාකලාපයන් නිසා හටගෙන ඇති දේශගුණ විපර්යාසයන් ශ්‍රී ලංකාවේ මෙන්ම සෙසු රටවලද ධීවර ප්‍රජාවන්ට සැමදා වාරකන් උදාකරණු ඇතිබව මේ වනවිට යථාර්තයක්වූ අනාවැකියක් බවට පත්ව ඇත. මෙහි ඇති ඉතාමත් ඛේදනීයම තත්වය වන්නේ බොහෝ ධීවර ප්‍රජාවන් දරිද්‍රතාවයෙන් අතිශය පීඩාවට පත්වූ හා වෙනසකට අඩු සුදානමක් දක්වන පිරිසක් වීමය. ඒ හේතුවෙන් දේශගුණ විපර්යාසයේ බලපෑම් වලට අනුහුරුවීමට ඔවුන්ට ඇති හැකියාව අඩු බැවින් ඔවුන් පහසුවෙන්ම දේශගුණ විපර්යාසයේ ගොදුරු බවට පත්වෙති.

දිනෙන් දින ඉහළ යන ලෝක ආහාර අවශ්‍යතාවය පිරිමසාලීම සඳහා ජනතාවට ඇති එක් වඩාත් සපලදායක ආහාර ප්‍රභවයක් ලෙස මත්ස්‍ය සම්පත ඉතා වැදගත්වන බවට ඉතා සරල නිදසුන වන්නේ වසරකට ලෝක ජනතාව පරිභෝජනය කරන මත්ස්‍ය සම්පත් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන සියය ඉක්මවීමය. එසේම තමන්ට හිමි ස්වල්ප ආහාර සලාකයේද වැඩි ප්‍රමාණයක් පිටි අධික ආහාර වන කල  ගෝලීය දුප්පත් ජනතාවගේ අහර පතට අස්වැසිල්ලක් ලබා දෙන ප්‍රෝටීන් පෝෂකය ලැබෙන්නේ මසුන්ගෙනි. එසේම මසුන් යනු ඉතා වැදගත් විටමින් හා ෆැටි අම්ල ප්‍රභවයක් බවද අප අමතක නොකළ යුතුය. එසේ හෙයින් දේශගුණ විපර්යාසයෙන් ධීවර කර්මාන්තයට එල්ල කෙරෙන බලපෑම ධීවර ප්‍රජාවට පමණක් ලඝු නොවී මුළුමහත් ලෝකවාසී ජනතාවගේම පෝෂණයට හා සෞඛ්‍ය තත්ත්වයටද තර්ජන එල්ල කරයි.

දේශගුණ විපර්යාස නිසා සාගර ජල මට්ටම ඉහළ යාම, නිතර නිතර ඇතිවන අයහපත් කාලගුණ තත්ත්ව, ජලයේ උෂ්ණත්වය ඉහළ යාම හා සාගර දියවැල් වල ක්‍රියාකාරීත්වය වෙනස්වීම මගින් ධීවර ජනතාවට සෘජුවම බලපෑම් එල්ලවේ.

මුහුදු මට්ටම ඉහළ යාම හා වෙරළ ඛාදනය සීග්‍ර වීම නිසා වෙරළබඩ ප්‍රදේශවල වෙසෙන ධීවර ජනතාවගේ ජනාවාස හා යටිතල පහසුකම් විනාශවෙයි. වෙරළ තීරය පටුවීම නිසා තම ධීවර යාත්‍රා නවතා තැබීමට හා දැල් ආම්පන්න අලුත්වැඩියා කර ගැනීමට භූමියක් නොමැතිවීම ධීවර ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළුවකි. මුහුදු මට්ටම ඉහළ යාමේ හා වෙරළ ඛාදනයේ ප්‍රතිපලය වන පටු වෙරළ තීරය බෙදා ගැනීම සඳහා ධීවරයන්ට හා වෙරළ තීරයේ සංචාරක පහසුකම් සපයන්නන්ට නිරන්තර අරගලයක යෙදෙන්නට සිදුවී ඇත.

මුහුදු මට්ටම ඉහළ යාමත් සමග භූගත ජලයේ ලවණතාවය අධිකවීම නිසා පානීය ජල ගැටළුවකට මුහුණදීමට ධීවර ප්‍රජාවට සිදුවේ. එසේම සනීපාරක්ෂාව පවත්වාගෙන යාම සඳහාද එය බාධාවකි. මේ හේතූන් නිසා අද වන විට දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ධීවර ජනතාවට රට තුලට සංක්‍රමණයවී වෙනත් ජීවිකාවන් සොයා ගන්නට සිදුවී ඇත.

දේශගුණ විපර්යාසය සමග දියවැල් වල ක්‍රියාකාරීත්වය වෙනස්වීම හා උෂ්ණත්වය ඉහළ යාම නිසා අනපේක්ෂිත ලෙස විශාල මත්ස්‍ය අස්වනු ලැබීම හා බොහෝ අවස්ථා වල බලාපොරොත්තුවන අස්වැන්න නොලැබීම ධීවරයන්ගේ ආර්ථිකයට මරු පහරකි. තවද මුහුදු මසුන් හා ආහාරයට ගන්නා බෙල්ලන්, කකුළුවන් වැනි වෙනත් මුහුදු ජීවීන් තුල මාරාන්තික විෂ ඇතිවීම මගින් ඒවා පරිභෝජනය කරන්නන්ට සෞඛ්‍ය තර්ජන එල්ලවීමද ගැටළුවකි.

පෙරට වඩා තීව්‍ර හා සුලභ ලෙස සුළිසුලං හා කුණාටු ඇතිවීම නිසා ධීවර යාත්‍රා හා ආම්පන්න විනාශවීම ද ධීවර කාර්මිකයින් මරණයට පත්වීමද මේ වන විට සුලභ සංසිද්ධියක් බවට පත්ව ඇත. අතීතයේදී මෙවැනි කාලගුණ වෙනස්වීම් පිළිබඳව තම අත්දැකීමෙන් අනාවැකි පළකිරීමට පළපුරුදු ධීවර කාර්මිකයින්ට හැකියාව තිබුනද දේශගුණ විපර්යාසය හේතුවෙන් එම තත්වය වියැකී ගොස් ඇති බවට ඔවුන් මැසිවිලි නගති.

මේ හේතුවෙන් දිනෙන් දින වඩවඩාත් උග්‍ර ලෙස ඇතිකෙරෙන ආර්ථික පීඩනයෙන් බේරීම සඳහා නීති විරෝධී පන්න ක්‍රම භාවිතා කරමින් මසුන් මැරීමට ධීවරයින් පෙළඹේ. එය බලපෑම තවත් භයානක වීමට හේතුවේ.

දේශගුණ විපර්යාසය මගින් බලපෑම් එල්ලවන්නේ කරදිය ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ට පමණක් නොවේ.  එමගින් අභ්‍යන්තර ජලාශවල මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස් වලටද තර්ජන එල්ලවේ. මෙරට වියලි කලාපය පුරා පැතිරී ඇති වැව් හා ජලාශ වල ධීවර කර්මාන්තයේ යෙදීම මගින් පවුල් දහස් ගණනක් තම ජීවිකාව සරිකරගනිති. නිතර ඇතිවන නියඟය හේතුවෙන් ජලාශ වියලී යාම නිසා ඔවුන්ට මත්ස්‍ය අස්වනු නොලැබී යයි. එසේම ජලාශවල මත්ස්‍ය විවිධත්වය අඩුවීමටද මෙම තත්වය හේතුවේ. 


ලොව පුරා විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවද ඇතුලත්ව මිලියන 200 කට වැඩි පිරිසක් ධීවර රැකියාවේ නිරත වන අතර ඔවුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද ධීවර හා ජලජීවී වගාවන් මත යැපෙති. එබැවින් දේශගුණ විපර්යාසය මගින් ධීවර ප්‍රජාවට එල්ලවන බලපෑම අවම කිරීම හා ඊට අනුහුරුවීම සඳහා ධීවර ජනතාව සවිබලකරණය ඉතා වැදගත් වෙයි. 
රට වට බැඳී රන් වැට


දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් මුහුදු මට්ටම ඉහළ යාම මේ වනවිට බරපතල ප්‍රශ්න රැසක් ඇතිකරමින් පවතී. සොබාදහම පිළිබඳව කිසිඳු තැකීමක් නොකරමින් මිනිසා විසින් වායුගෝලය වෙත මුදා හරින හරිතාගාර වායූන් මගින් හිරුගේ සිට පෘථිවිය වෙත ලැබෙන කිරණ අවශෝෂණය කරගෙන ගෝලීය උෂ්ණත්වය ඉහළ දැමීම සිදුකරයි. ඒ හේතුවෙන් පෘථිවි ගෝලයේ උතුරු හා දකුණු ධ්‍රැව වල ඇති අයිස් කඳු හා ග්ලැසියර් දියවී මුහුදේ ජල මට්ටම ඉහළ යයි. එසේම එවරස්ට් වැනි කඳු මුදුන්වල පවා පැවති හිම ආවරණය දියවී ගංගා ඔස්සේ මුහුදට ගලා ඒම සිදුවේ. එහි අවසන් ප්‍රතිපලය වන්නේ ද සාගරයේ ජල මට්ටම ඉහල යාමය. ලොව පුරා කුඩා දූපත් රාජ්‍යවලට හා විශාල රටවල පවා වෙරළාසන්න ප්‍රදේශ වලට මුහුදුදේ ජල මට්ටම ඉහළ යාම නිසා බලපෑම් එල්ලවී ඇත. ඉන්දියන් සාගරයේ දූපත් වාසීන් ලෙස ජීවත්වන අපටද එමගින් බැහැරවීමට කිසිඳු හැකියාවක් නැත. නමුත් කුමන හෝ වාසනාවකට අපට අපේ රට මුහුදු මට්ටම ඉහළ යාමෙන් ආරක්ෂා කර ගැනීමට රට වට බැඳී රන් වැටක් සොබාදහම විසින්ම දායාද කර දී ඇත. නමුත් අවාසනාවන්ත කරුණ නම් එහි වටිනාකම හරි හැටි වටහා නොගෙන අප එම ආරක්‍ෂිත වැට වනසා දමමින් සිටීමය. නමුත් අප විසින් සැබවින්ම කල යුත්තේ නැග එන මුහුදු රළ මගින් භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා රට වට ඇති ඒ රන් වැට ආරක්ෂා කර ගැනීම සඳහා කැපවීමය. එනම් කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කරගැනීමය.

මුහුදු මට්ටම ඉහළ යාම හමුවේ වැඩිම තර්ජනයක් එල්ලවී ඇත්තේ කුඩා දුපත් රාජ්‍යවලටය. එමගින් එන්න එන්නම එම දූපත් රාජ්‍ය වල ජීවත්වන ජනතවාට ජීවත්වීමට ඇති සීමිත භූමිය අහිමිවීම සිදුවේ. ඊට අමතරව  මිනිසාගේ පැවැත්මට ඉතා අත්‍යාවශ්‍ය ජලයට කරදිය මුසුවීම මගින් පරිභෝජනයට ගැනීමට නොහැකි තත්ත්වයට පත්වීම නිසා තත්ත්වය තවත් භයානක වේ. මෙම තත්ත්වය ලොව සෑම ප්‍රදේශයකටම පොදු උවදුරක් වන නමුත් පෘථිවි ගෝලයේ මතුපිට ඇති ජලයෙන් සියයට විස්සක් (20%) දරා සිටින ලොව තෙවැනි විශාලතම සාගරය වන ඉන්දියන් සාගරයට එමගින් සන්සන්ධනාත්මක්ව වැඩි බලපෑමක් එල්ලවේ. පෘථිවි ගෝලයේ චන්ද්‍රිකා ඡායාරූප අධ්‍යනය කිරීම මගින් හෙළිදරව් කරගෙන ඇති කරුණු අනුව ඉන්දියන් සාගරය ආශ්‍රිතව ඇති බෙංගාල බොක්ක, අරාබි මුහුද, ශ්‍රී ලංකාව හා ජාවා සුමාත්‍රා ප්‍රදේශ වලට මුහුදු මට්ටම ඉහළ යාම දැඩි බලපෑම් එල්ලකර ඇත. මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත්වන මිලියනයකට වැඩි ජනතාවක් අවධානමට ලක්වී සිටිති.

මුහුදු මට්ටම ඉහළ යාම නිසා වෙරළාසන්න ප්‍රදේශ මුහුදුබත් වීමෙන් ගොඩබිම ක්ෂයවීම සිදුවේ. මෝසම් සුළං සමයන්හිදී වෙරළ ඛාදනය ඉහළ යාම මගින් මෙම තත්ත්වය තවත් උත්සන්න වේ. එමගින් එහි ජීවත්වන බොහොමයක් ධීවර ජනතාවට ජීවත්වීමට හා තම ජීවිකාව පවත්වා ගැනීමට නොහැකිවේ. එසේම වෙරළබඩ ප්‍රදේශ ඔස්සේ දිවෙන මහා මාර්ග හා දුම්රිය මාර්ග, පොදු යටිතල පහසුකම් හා සංචාරක ව්‍යාපාර ප්‍රතිස්ථාපනය කිරීමට සිදුවීම නිසා විශාල ආර්ථික පීඩනයක් ඇතිවේ. තවද ජල සංචිත වලට කරදිය මුසුවීම නිසා ඒවා පරිභෝජනයට ගැනීමට නොහැකි වේ. එම ජලයේ ලවණතාවය ඉවත්කිරීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන අතර අප වැනි දුප්පත් රටවලට එම වියදම් දරා ගැනීම අපහසුය. ඒ මතුද නොව අධික ලෙස වැලි ගොඩදැමීම නිසා ගංගා වල ගැඹුර වැඩිවීමෙන් කරදිය රට තුලට ගලා ඒම දැනටමත් අප රටට ප්‍රශ්නයක් වී ඇත. උදාහරණයක් වශයෙන් මේ වනවිටත් කැළණි ගඟ ඔස්සේ කිලෝමීටර් 14ක් පමණ දුරට රට තුලට කරදිය ගලා ඒම සිදුවේ. මුහුදු මට්ටම ඉහළ යාමෙන් එම තත්ත්වය තව දුරටත් ඔඩුදිවීම නිසා ගංගා නිම්න ආශ්‍රිතව ජීවත්වන ජනතාවටද බලපෑම් එල්ලවේ.

මෙම තත්ත්වය සැලකියයුතු මට්ටමකින් පාලනය කර ගැනීම සඳහා කඩොලාන ශාක ප්‍රජාව මගින් ලැබෙන දායකත්වය අති විශාල බව ෆීජි වැනි දූපත් රාජ්‍ය මගින් ඔප්පුකර ඇත. ශ්‍රී ලංකාවේ කඩොලාන ශාක විශේෂ 22ක් හමුවන අතර කඩොලාන පරිසර පද්ධති මගින් කලපු හා ගංගා මෝය ආශ්‍රිතව මුහුදු මට්ටම ඉහළ යාමෙන් ඇතිවන බලපෑම් අවම කිරීම සිදු කරයි. එසේම කඩොලාන පරිසර පද්ධති ක්‍රමක්ක්‍රමයෙන් වර්ධනය වීම මගින් ගොඩබිම් ජනනය කිරීමද සිදුවන බැවින් මුහුදු මට්ටම ඉහළ යාමට එරෙහිව සටන් කිරීමට ඇති හොඳම මගක් ලෙස කඩොලාන වගාව හඳුන්වා දිය හැකිය.

බැමි ඉදිකිරීම හා ගල්වැටි දැමීම වැනි ඉංජිනේරුමය උපක්‍රම මගින්ද මුහුදු මට්ටම ඉහළ යාමෙන් ගොඩබිම ආරක්ෂා කර ගැනීමට අප රටද ප්‍රයත්න දරා ඇති නමුත් ඒවා අධික වියදම් සහිත ක්‍රම වේදයන් වන අතර එමගින් වෙනත් කිසිඳු ප්‍රතිලාභයක් අත් නොවේ. නමුත් කඩොලාන මගින් ප්‍රජාවට ආහාර හා ඉන්දන වැනි ද්‍රව්‍ය සෘජුවම ලබා ගත හැකි අතර මසුන්, ඉස්සන් හා කකුළුවන් වැනි සතුන්ගේ අභිජනන මධ්‍යාස්ථාන වශයෙන් කඩොලාන ක්‍රියාකිරීම නිසා එමගින් ධීවර ප්‍රජාවට මහත් වාසි සැලසේ. කඩොලාන වනාන්තර සංචාරක ආකර්ශකයක් ලෙස භාවිතා කරමින් පාරිසරික සංචාරක කර්මාන්තය ද ප්‍රවර්ධනය කිරීමට හැකියාව පවතී. ඒ මතුද නොව කඩොලාන මගින් වායු ගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ශාක වල තැන්පත්කරගනීම නිසා දේශගුණ විපර්යාසය අවම කරගැනීම සඳහා ද මහත් පිටුබලයක් ලැබේ.


නමුත් එවැනි පසුබිමක් තුල අප වැනි රටවල් තමන්ට සොබාදහමෙන් ලැබුණු මේ සීමිත දායාදය කිසිඳු අනුකම්පාවක් රහිතව වනසා දමමින් සිටීම කණගාටුවට කරුණකි.   

Sunday, May 22, 2016

(අ)ස්වභාවික විපත්

පසුගිය දිනවල ලැබුණු අධික වර්ෂාපතනය සමග සිදුවූ බරපතල ව්‍යසන ගණනාවක් හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක රැසක ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත්වූහ. ගංවතුරට හසුවීම නිසා මෙන්ම නාය යාම් හා කණ්ඩි කඩා වැටීමෙන් වටිනා මිනිස් ජීවිත ගණනාවක් ද රටට අහිමි විය. ඊට හේතුවූ නිවර්තන අඩු පීඩන කලාපය ක්‍රමයෙන් ඉන්දියාව දෙසට ගමන් කිරීම නිසා අපට මේ වන විට යම් අස්වැසිල්ලක් ලැබී තිබුණද යලි කුමන මොහොතක විපතක් උදාවේදෝයි සිතමින් සියල්ලන්ටම ජීවත්වීමට සිදුවී ඇත්තේ අවිනිශ්චිත පරිසරයකය.

දේශගුණ විපර්යාස හේතුවෙන් එල්ලවන බලපෑම් නිසා මෙම මිහිතලය මත ජීවත්වීම  1970 දශකයට වඩා පස් ගුණයකින් අවධානම් සහගතවී ඇති බව වාර්තාවක් එළි දක්වමින් ලෝක කාලගුණ සංවිධානය ප්‍රකාශ කරන්නේ එවැනි පසුබිමකය. 1970 දශකයේ ගංවතුර, නියඟ, කුණාටු හා උණුසුම් වායු ධාරා වැනි විපත් 743ක් මගින් පෘථිවියේ ජනතාවට බලපෑම් එල්ලවී ඇති අතර විසිඑක්වැනි සියවසේ මුල් දශකය වනවිට එම විනාශයන් ප්‍රමාණය 3496ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම සංවිධානය අනාවරණය කරන අතර ඒ සඳහා දේශගුණ විපර්යාසය සෘජුව වග කිව යුතු බව ඔවුන් තහවුරු කර තිබේ.

ගංවතුර, නියං, නාය යාම්, කුණාටු වැනි විපත් වලින් ශ්‍රී ලංකාවේ අපටද පසුගිය කෙටි කාල සීමාව තුලදී පවා නිරන්තරයෙන් අමිහිරි අත්දැකීම් ලැබීමට සිදුවූ බව නොරහසකි. මෙවැනි විපත් සාමාන්‍ය ව්‍යවහාරයේදී අප හඳුන්වන්නේ ස්වභාවික විපත් යනුවෙනි.  නමුත් දේශගුණ විපර්යාසයන්  උත්සන්න කිරීමට වගකිව යුත්තේ මිනිසුන් වන අපම බැවින්ද දිනෙන් දින ස්වභාවික විපත් සිදුවීම් ඉහළ යාමට දේශගුණ විපර්යාසය සෘජුව බලපා ඇති බැවින්ද තව දුරටත් එකී විපත් ස්වභාවික විපත් ලෙස හැඳින්වීමේ කිසිඳු යුක්ති සහගත බවක් නොමැති බව අප අවධාරණය කරගත යුතුය.

දේශගුණ විපර්යාසය හේතුවෙන් පරිසර උෂ්ණත්වය ඉහළ යාම නිසා වායු ගෝලයට වාෂ්පීකරණය වන ජලය ප්‍රමාණය ඉහළ යන අතර එමගින් බරපතල කුණාටු හා සුළිසුලං ඇතිවීම සිදුවේ. වායුගෝලයේ හා සාගර මතුපිට උෂ්ණත්වය ඉහළ යාම මගින් සුළං වේගය වැඩිවීම නිවර්තන සුළි කුණාටු වල විනාශකාරී බලය ඉහළ යාමට හේතුවී ඇති බවට මේ වන විට සාක්ෂි ලැබී තිබේ. සුළිසුලං හා චණ්ඩමාරුත මගින් ලොව පුරා විවිධ රටවලට විශාල ආර්ථික බලපෑම් එල්ලකර ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයට පවා බරපතලම ආර්ථික බලපෑම් එල්ලකරන ලද ස්වභාවික විපත් පහම සුළිසුලං බව කිවහොත් බොහෝ දෙනෙකු විමතියට පත්වීමටද පිළිවන. ඇන්ඩෘව් (1992), කැත්රිනා (2005) හා සැන්ඩි (2012) වැනි සුළිසුලං ඒ අතර වේ. එමගින් සිදුවූ ආපදාව ඇමරිකන් ඩොලර් බිලියන 294ක් බව ගණන් බලා ඇත.
පරිසර උෂ්ණත්වය ඉහළ යාම නියං ඇතිවීමට ද හේතුවී ඇති අතර මෑත ඉතිහාසයේ බලපෑ බිහිසුණුම නියං තත්වය හේතුවෙන් 1970 -1980 කාල සීමාව තුල නැගෙනහිර අප්‍රිකාවේ ලක්ෂ හයක ජනතාවක් මරණයට පත්විය.

දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් මුහුදු මට්ටම ඉහළ යාම මගින් සාමාන්‍යයෙන් රළ පහරේ පලපෑමට නතු නොවන ප්‍රදේශ පවා රළ පහරට හසුවන අතර මුහුදු රළ වල ඛාදන හැකියාව වැඩි වීම නිසා වෙරළබඩ ප්‍රදේශ වලට දැඩි බලපෑම් එල්ලවේ. වෙරළාසන්න ප්‍රදේශ වලට එල්ලවූ ස්වභාවික විපත් වලින් 2010 වසර තුලදී පමණක් නගර 136කට ඇමරිකන් ඩොලර් බිලියන 6ක අලාභයක් සිදුවී ඇත.

මේ ආකාරයෙන් ලොව පුරා මෙන්ම අපේ රටේද ඇතිවන බරපතල ව්‍යසනයන් හමුවේ ජනතාව අහසට දෑත් විහිදා සොබාදහමට ශාප කිරීම මින් ඉදිරියට පලක් වන්නේ නැති බව අප තරයේ සිහි තබා ගත යුතුය. ඒ මන්ද යත් පෘථිවි ගෝලයේ දේශගුණ රටාව වෙනස් කර, දේශගුණ විපර්යාසය උත්සන්න කිරීමට වැරදි කරුවෝ අපම වන බැවිනි. එමගින් ඇතිවන විපත් අප විසින්ම කැඳවා ගත් අස්වාභාවික කෘතීම විපත් විනා සොබාදහමේ සැහැසිකම් නොවන බැවිනි.

දේශගුණ විපර්යාස හේතුවෙන් ස්වභාවික විපත් ඇතිවීමේ සුලභතාවය වැඩිවී ඇතිවා සේම ඒවායේ විනාශකාරීත්වයද දිනෙන් දිනම ඉහළ යමින් පවතින බව පර්යේෂණ මගින් අනාවරණය කර තිබේ. එමගින් මිනිසා ඇතුළු මුළුමහත් පෘථිවි ගෝලයටම එල්ලවන  බලපෑම තව තවත් තීව්‍ර වනු මිස අඩුවීමක් නම් සිදු නොවේ.


දේශගුණ විපර්යාස මගින් උත්සන්න වන ස්වභාවික විපත් හේතුවෙන් වර්ෂ 2020වන විට ලොව පුරා බිලියන 1.3ක ජනකායක් හා ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 158ක වත්කම් අනතුරේ වැටෙනු ඇති බවට ලෝක බැංකුවද අනතුරු අඟවා ඇත. ඒ අනුව පස් ගුණයක් අවධානම දරාගනිමින් ඉදිරියටත් පෘථිවි ගෝලයේ ජීවත්වීමට අපට අවශ්‍යනම් අප විසින් වහ වහා දේශගුණ විපර්යාසයන් පිටු දැකීමට කටයුතු කල යුතු අතරම ඒ සඳහා අනුහුරුවීමද අත්‍යාවශ්‍යය. විපතක් සිදුවූ විට පමණක් කරළියට පැමිණෙන ආපදා කළමනාකරණය වෙනුවට නිරන්තර අවදියෙන් සිටින තුන්කල් දැක්මක් සහිත ආපදා පෙර සූදානම් ක්‍රමවේදයක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවයකි. එසේම නාය යම් සංවේදී ප්‍රදේශ, ගංගා නිම්න හා පහත්බිම් වල භූමි පරිභෝජන රටාවද විපත් ඇතිවීම වලක්වන හෝ අවම කරන ආකාරයේ වීමද වැදගත්ය. කාලයාගේ ඇවෑමෙන් ගංවතුර බැස ගිය විට සියල්ල මතකයෙන් මැකී යාමට ඉඩ නොදී මේ පිළිබඳව ගැඹුරින් කල්පනා කිරීම හා ක්‍රියා කිරීම ඔබේද මගේද අනාගතය තීරණය කරනු ඇත.

දරුණුයි මිනිස් සැහැසිකම් විලාපය ඒකයි සොබාදම්, http://www.mawbima.lk/40-110767-news-detail.html

දේශගුණ විපර්යාසය උත්සන්න කරන අප මේ (අ)ස්‌වාභාවික විපත්වල වගකීම භාරගත යුතු ය, http://www.vidusara.com/2016/06/22/news2.html
      

Friday, May 13, 2016

මහජන සෞඛ්‍ය අනතුරේ !

සෞඛ්‍ය යනු ලෙඩ රෝග වලින් තොරවීම පමණක් නොවේ. මිනිසුන්ගේ කායික, මානසික, සමාජීය හා අධ්‍යාත්මික යහපැවැත්මද ඊට අයත්වේ. මිනිසාගේ ජීවන තත්වය උසස් කිරීමේ කාර්යයේදී මහජන සෞඛ්‍ය සංරක්ෂණයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. සෙසු ආසියාතික රටවල් හා සැසඳීමේදී අපේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සාපේක්ෂව ඉහල මට්ටමක පවතී.  නමුත් දේශගුණ විපර්යාස හේතුවෙන් ලෝකයා විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙතෙක් අත්කරගෙන ඇති ප්‍රගතිය අඩසියවසකින් යලි පසුපසට ඇද දමනු ඇති බව විද්‍යාඥයෝ අනතුරු අඟවති.

දේශගුණ විපර්යාසය යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට නිශ්චිතවම අවශ්‍ය වන පිරිසිඳු වාතය, සුරක්ෂිත පානීය ජලය, ප්‍රමාණවත් පෝෂණීය ආහාර හා සුරක්ෂිත වාසස්ථාන සපයා ගැනීමට බාධා එල්ල කරයි. එමගින් 2030 – 2050 අතර කාලසීමාවේ දී දැනට සිදුවන මිනිස් මරණ ප්‍රමාණය 250000 කින් පමණ ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරේ. අධික උණුසුමට නිරාවරණය වීම නිසා වයෝවෘද්ධ ජනතාව 38000 ක්, පාචනය හා අතීසාරය හේතුවෙන් 48000 ක්, මැලේරියාව හේතුවෙන් 60000 ක්, හා දුෂ්පෝෂණය හේතුවෙන් දරුවන් 95000 ක් මෙසේ මරණයට පත්වෙනු ඇතැයි විශ්වාස කෙරේ.

දේශගුණ විපර්යාස හේතුවෙන් අධික උණුසුම් කාලගුණ තත්වයන් ඇතිවීම ජනතාවගේ සෞඛ්‍යට ඇති කරන්නේ තීරණාත්මක බලපෑමකි. විශේෂයෙන් සමකාසන්න ඉන්දියාව හා පාකිස්ථානය වැනි රටවල අධික උණුසුම දරාගත නොහැකිව මිනිසුන් මරණයට පත්වීම පිළිබඳව නිතර අසන්නට ලැබේ. එමගින් හෘදවාහිනී හා ස්වසන රෝග මගින් විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයන් මරණයට පත්වේ. සෘජු මරණ වලට අමතරව ස්වසන පද්ධතියේ අසාද්මිකතා ඇතිකරන පරාග හා වෙනත් අසාද්මිකකාරක ප්‍රමාණය වායුගෝලයේ ඉහල යාමටද උණුසුම් කාළගුණය හේතුවේ. එමගින් ඇදුම රෝගය උත්සන්න වීමෙන් ලොව වටා මිලියන 300 ක පමණ ජනතාවක් පීඩාවට පත්වී ඇත.

දේශගුණ විපර්යාස හේතුවෙන් නිරන්තරයෙන් ඇතිවන ස්වභාවික විපත් ද මානව සෞඛ්‍යට  බරපතල තර්ජනයකි. අතීතයේ කිසි කලෙකත් නොවූ විරූ තීව්‍ර හා සුලභ ආකාරයෙන් ඇතිවන සුළිසුලං, ගංවතුර හා නායයාම් වැනි ස්වභාවික විපත් හේතුවෙන්  වසරකට වැනසී යන මිනිස් ජීවිත ප්‍රමාණය 60 000 ඉක්මවයි. එම මරණ වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලය.

සීග්‍රයෙන් වෙනස්වන වර්ෂාපතන රටාව මගින් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය පිරිසිඳු ජලය සපයා ගැනීමට අවහිරතා ඇතිකරයි. නියඟ හේතුවෙන් ජල සම්පත සීමා වීම මෙන්ම ගංවතුර හේතුවෙන් ජලය තිබුනද ඒවා භාවිතයට ගත නොහැකි තත්වයට පත්වීම සිදුවේ. වර්තමානය වන විට ලොව පුරා වයස අවුරුදු පහට අඩු දරුවන් 600000 ක් වාර්ෂිකව ඝාතනය කිරීමට සනීපාරක්ෂක පහසුකම් වල හිඟය නිසා ඇතිවන පාචන තත්වයන් හේතුවී ඇත. පිරිසිඳු ජලය සපයා ගැනීමට ඇති නොහැකියාව ජනතාවගේ සනීපාරක්ෂාවට සෘජුව බලපෑම් එල්ලකරන අතර එමගින් මෙම කුඩා දරුවන් මරණයට පත්වීම තවත් ඉහළ යනු ඇත.

නිරන්තරයෙන් ඇතිවන ගංවතුර තත්වයන් හේතුවෙන් ජලය මගින් බෝවන රෝග මිනිසාගේ සෞඛ්‍යට එල්ල කරන තර්ජන ඉහළයාම සිදුවේ. ගංවතුර නිසා දියේ ගිලී මිනිසුන් මියයාම හා ශාරීරික ආබාධ ඇතිවීම ද සිදුවේ. වාසස්ථාන විනාශවීම, ඖෂධ හා සෞඛ්‍ය සේවාවන් වෙත ලඟාවීමට බාධා එල්ලකිරීම ද ජලගැලීම් මගින් සිදුවේ.

යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇතිකර ගැනීම සඳහා පෝෂදායී ආහාර ප්‍රමාණවත් තරම් ලබාගැනීම ද අත්‍යාවශ්‍යය. නමුත් දේශගුණ විපර්යාස හේතුවෙන් සිදුවන ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා වර්ෂාපතන රටාවේ වෙනස්කම් ප්‍රධාන ආහාර භෝග නිෂ්පාදනය පහළ දැමීමට හේතුවෙයි.

දේශගුණය වෙනස්වීම නිසා වාහකයින් මගින් රෝග බෝවන කාලසීමාව දිගු වන අතර මෙම වාහක සත්ව විශේෂ වල ව්‍යාප්තිය වැඩි වන බැවින් පෙරට වඩා වැඩි භූගෝලීය ප්‍රදේශයක රෝගය බෝ වීම සිදුවේ. උදාහරණය ලෙස අතීතයේදී නුවරඑළිය ප්‍රදේශයේ මදුරුවන් මගින් බෝවන රෝග වාර්තා නොවුනද මේ වන විට එම තත්වය වෙනස්වීම දැක්විය හැකිය. ශ්‍රී ලංකාවේ අපට මහත් හිසරදයක් වී ඇති ඊඩීස් ගනයේ මදුරුවන් මගින් පැතිරෙන ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යාමද මේ අනුව සිදුවේ. දේශගුණ විපර්යාස වර්ෂ 2080 වන විට වර්තමාන ජනගහනයට අමතරව තවත් බිලියන දෙකක ජනකායක් ඩෙංගු රෝග වාහකයින්ට නිරාවරණය කරනු ඇති බව අනුමාන කෙරේ. එසේම මෙම වාහක කෘමීන් මර්ධනය කිරීම සඳහා වැඩි වැඩියෙන් කෘමිනාශක භාවිත කිරීමට සිදුවීම තවත් බිහිසුණු රෝගාබාධ රැසකට මග පාදනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනතුරු අඟවයි.

දේශගුණ විපර්යාස හේතුවෙන් මානව සෞඛ්‍යට එල්ල වියහැකි බලපෑම් පිළිබඳව වර්තමානයේදී සිදුකෙරෙන පුරෝකතනයන් සියල්ල වර්තමාන ආර්ථික වර්ධනය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව ඒ අයුරින්ම පවතිනු ඇතැයි යන උපකල්පනය මත පදනම්වූ දළ  ගණනයන් බවද අප අමතක නොකළ යුතුය. නමුත් දේශගුණික විපර්යාසයේ බලපෑමෙන් සිදුවන ආර්ථික අවපාතයන් හා ඊට සමගාමීව ඇතිවිය හැකි සෞඛ්‍ය යටිතල පහසුකම් කප්පාදුව වැනි කාරණා මෙම අවාසනාවන්ත තත්වය තවත් තීව්‍ර කරනු නොඅනුමානය.

දේශගුණ අනාථයෝ

තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධය විසින් තම ගම් බිම් අහිමි කරන ලද සැලකිය යුතු  ජනතාවක් ශ්‍රී ලංකාව තුල තවමත් ස්ථිර වාසස්ථානයක් නොමැතිව  ඉතා දුකසේ ජීවත්වෙති. ඒ අතර සිරියාවේ සහ ඉරාකයේ සිදුවන අවි ගැටුම් වලට බියෙන් පලා යන දේශපාලන අනාථයන් මුහුණදී සිටින ඛේදවාචකය පිළිබඳවද විවිධ සෝචනීය පුවත් නිරන්තරයෙන් අසන්නට ලැබේ. නමුත් දේශගුණ විපර්යාසයේ සැහැසිකම් හේතුවෙන් අවතැන්වූ හා සරණාගතයන් බවට පත්වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාව පිළිබඳව තවමත් ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී නැත.

දේශගුණවිපර්යාසය හේතුවෙන් මේ වන විට පෘතුවි ගෝලයේ බොහෝ ප්‍රදේශ මනුෂ්‍ය වාසයට නුසුදුසු තත්වයට පත්වෙමින් පවතින බව කිසිවෙකුටත් රහසක් නොවේ. ඒ හේතුවෙන් තම පාරම්පරික වාසභූමි අත්හැර තම රටේම හෝ තම දේශසීමාවෙන් එහා වෙනත් රටකට සංක්‍රමණය වන ජනතාව දේශගුණ අනාථයන් (Climate Refugees) ලෙස සරලව හැඳින්විය හැකිය.දැනට සිදුකර ඇති ගණනය කිරීම් අනුව වසරකට ලොව පුරා මිලියන 26ක පමණ ජනගහනයක් දේශගුණ අනාථයන් බවට පත්වේ. පර්යේෂකයන් පවසන්නේ 2050 වසර වන විට එම ප්‍රමාණය මිලියන 50ක් පමණ විය හැකි බවය.

කෙටිකාලීනව හෝ දීර්ඝකාලීනව දේශගුණ විපර්යාසයන්ගේ බලපෑම් නිසා තමන් ජීවත්වූ ප්‍රදේශ වල තවදුරටත් යහපත් ජීවන තත්ත්වයක් පවත්වා ගැනීමට නොහැකි හා ජීවනෝපාය අභියෝගයට ලක්වන ජන කණ්ඩායම්වලට මේ ආකාරයෙන් දේශගුණ අනාථයන් ලෙස වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වීමට සිදුවේ. දේශගුණ විපර්යාසය නිසා හට ගන්නා හෝ උත්සන්න වන ගංවතුර, නියඟ, නායයෑම්, සුළිසුලං, කාන්තාරීකරණය, මුහුදු ජල මට්ටම ඉහළයාම හා දේශගුණ රටාවේ සිදුවන ප්‍රභල වෙනස්කම් වැනි හේතු දේශගුණ අනාථයන් බිහිවීමට බලපායි.

උදාහරණයක් ලෙසමුහුදු ජල මට්ටම ඉහළ යාම නිසා ලොව පුරා කුඩා දූපත් රාජ්‍ය වල දිවිගෙවන හා විශාල රටවලට අයත් කුඩා දූපත්වල දිවිගෙවන ජනතාවට මෙන්ම ගංගා මෝය හා නිම්න ආශ්‍රිතව ජීවත්වන ජනතාවට පවා අභියෝග එල්ලවේ. සමස්ථ ලෝක ජනගහනයෙන් අඩකටත් වැඩි පිරිසක් ජීවත් වන්නේ මුහුදු වෙරළේ සිට කිලෝමීටර් 60 සීමාව තුල වන අතර තම ගම්බිම් හැර යාමට එම ජනතාවට දේශගුණ විපර්යාස හේතුවෙන් උත්සන්න වන මුහුදු මට්ටම ඉහළයාම මගින් දැඩි තර්ජනයක් ඇති කරයි.

දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලයට (IPCC) අනුව වර්ෂ 2100 වන විට පැසිපික් සාගරයේ ජල මට්ටම මීටර් 0.19 – 0.58 ක ප්‍රමාණයකින් ඉහළ යාමට නියමිතය. එමගින් උත්සන්නවන වෙරළ ඛාදනය හා ගංගා දෙපස පහත්බිම් ජලයෙන් යටවීම මගින් විශාල වශයෙන් ජනතාව අවතැන්භාවයට පත්කරනු නොඅනුමානය. වර්ෂ 2050 වන විට මීටර් 0.3 – 1.5 ක ප්‍රමාණයකින් මුහුදු ජල මට්ටම ඉහල යාමේ තර්ජනයට මුහුණදීමට බංගලාදේශයට සිදුවේ. එමගින් වර්ෂ 2100 වන විට එරට මිලියන 30ක ජනතාවක් දේශගුණ අනාථයන් බවට පත්වන බව අනාවැකි පළකර ඇත. භූමිය දියබත්වීමට අමතරව ජලයේ ලවණතාවය අධිකවීම, ජලවහනයට අවහිරතාවයන් ඇතිවීම, ව්‍යසනකාරී සුළිසුලං හා ඉහළයන උදම්රළ මගින්ද වෙරළාසන්නව  හා ගංගා දෙපස ජීවත්වන ජනතාවගේ ජීවිත අභියෝගයට ලක්වේ. ඔවුන්ට ඇති එකම විකල්පය දේශගුණ අනාථයන් ලෙස වෙනත් ප්‍රදේශ වෙත සංක්‍රමණය වීම පමණි.

වෙරළාසන්න ජනයාට මුහුදු ජල මට්ටම ඉහළයාමෙන් බලපෑම් එල්ලවන අතර රට මැද ජීවත්වන ජනතාවටද දේශගුණ විපර්යාසයෙන් ගැලවීමක් නැත. චීනයේ ගෝබි කාන්තාරය වසරකට වර්ග කිලෝමීටර් 3600කින් පමණ විශාලවීමත් සමග ඒ අවට ජීවත්වූ ජනයාට මේ වන විට සිදුවී ඇත්තේ දේශගුණ අනාථයන් ලෙස වෙනත් ප්‍රදේශ වෙත සංක්‍රමණය වීමටය.

ලොව පුරා විවිධ රට වල අවි ගැටුම් හා දේශපාලන අස්ථාවරත්වය වැනි කරුණු හේතුවෙන් අවතැන් වන ජනතාවට සහන සැලසීම සඳහා ජාත්‍යන්තර මානුෂවාදී නීති හා සම්මුතීන් ඔස්සේ ප්‍රතිපාදන සැලසී ඇතත් දේශගුණ අනාථයන් සම්බන්ධයෙන් එවැනි ජාත්‍යන්තර සම්මුතීන් හෝ එකඟතා නොමැති වීම නිසා දේශගුණ අනාථයන් මුහුණදෙන ඉරණම වඩාත් ඛේදනීය වෙයි.

ශ්‍රී ලංකාව තුලද විවිධ අවස්ථාවල ඇතිවූ හා අඛණ්ඩව දීර්ඝකාලීනව ඇතිවෙමින් පවතින දේශගුණ විපර්යාසයන්ගේ බලපෑම් නිසා දේශගුණ අනාථයන් බිහිවීම සිදුවී ඇත. ඒ ඒ අවස්ථාවල තාවකාලික පිළියම් ලබාදීමෙන් ප්‍රශ්න යටගැසීම විනා දේශගුණ අනාථයන් සම්බන්ධයෙන් අප රට තුලද විධිමත් වැඩපිළිවෙලක් තවමත් සකස්කොට නැත. අප රටේ මුළු ජනගහනයෙන් තුනෙන් එකක් ජීවත්වන, මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 24ක් අයත් වන්නේ වෙරළබඩ ප්‍රදේශයටය. රටේ මුළු මත්ස්‍ය නිෂ්පාදනයෙන් සියයට අසූවක් සපයන්නේ එම භූමිය කේන්ද්‍ර කරගෙන වන අතර රටට විදේශ විනිමය සපයා දෙන ප්‍රධාන ධනෝපායන මාර්ගයක් වන සංචාරක කර්මාන්තය සඳහා යටිතල පහසුකම් සපයන භූමියද වන්නේ මෙයයි. නමුත් දේශගුණ විපර්යාසය නිසා ඉහළ යන මුහුදු ජල මට්ටම හා  වෙරළ ඛාදනය නිසා වෙරළබඩ ජනතාවට නිවාස, යටිතල පහසුකම් හා ජීවනෝපාය අහිමිකරගනිමින් රට තුලට ගමන් කිරීමට මේ වනවිට සිදුවී තිබේ. ඒ අතර නිතර සිදුවන ස්වභාවික විපත් දරාගත නොහැකිව ලතැවෙන කඳුකරයේ ජනයාට සිදුවී ඇත්තේ ද රටේ පහත් තැනිතලා වෙත සංක්‍රමණය වීමටය. ඒ මතුද නොව දිවයිනේ මුළු භූමියෙන් සියයට හැටක් වසා පැතිරුණු වියලි කලාපයේ ගොවි ජනතාවට තම ජීවනෝපාය අත්හැර නගර වෙත සංක්‍රමණයවී වෙනත් වෘත්තීන් වල නියැලීමට දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් උත්සන්න වී ඇති නියං, ගංවතුර තත්ත්ව හා අකල් වැසි බල කරයි.

දිනෙන් දින උග්‍ර අතට හැරෙන දේශගුණ විපර්යාසය අවම කරගැනීමට හා ඊට අනුහුරු වීමට කැපවීම හැර දේශගුණ අනාථභාවයේ ගිලීමෙන් වැලකීමට අන් මගක් නැත.

http://www.aithiya.lk/news_view.php?id=1026

Thursday, May 5, 2016

අවමකිරීම හා අනුහුරුවීම

දේශගුණ විපර්යාසය සම්බන්ධයෙන් කතා කිරීමේදී නිතර දෙවේලේ ඇසෙන වචන දෙකක් ලෙස අවමකිරීම හා අනුහුරුවීම දැක්විය හැකිය. බැලූ බැල්මට ආගන්තුක වචන දෙකක් ලෙස පෙනුනද එමගින් අර්ථගැන්වෙන කරුණු කිසිසේත්ම සංකීර්ණ නොමැති අතර, දේශගුණ විපර්යාස සම්බන්ධ ගණුදෙනුවේදී අත්‍යාවශ්‍ය සාධක දෙක වෙයි.

අවමකිරීම (Mitigation) හෙවත් දේශගුණ විපර්යාසයේ බලපෑම් ලිහිල් කිරීම යනුවෙන් අදහස් කෙරෙන්නේ දේශගුණ විපර්යාසය ඇතිවීමට හේතුවන හරිතාගාර වායු පරිසරයට නිදහස්කිරීම නැවත්වීම හෝ අවම කිරීමයි. හරිතාගාර වායුන් යනු වායුගෝලයේ ස්වභාවිකව පවතින හා කෘත්‍රීමව නිපදවා ඇති සූර්යාගෙන් පැමිණෙන මෙන්ම විශේෂයෙන් පෘතුවියෙන් පිටවන අධෝරක්ත කිරණ අවශෝෂණය කරගැනීමේ හා ඒවා නැවත නිකුත් කිරීමේ හැකියාවක් ඇති වායූන්ය.  හරිතාගාර වායු ස්වභාවිකව නොතිබෙන්නට පෘතුවි පෘෂ්ඨයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක සෘණ 18ක් වත් වීමට ඉඩ තිබුණි. ඵහෙත් සුදූසු ප්‍රමාණවලින් හරිතාගාර වායු පැවතීම නිසා ඵම සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15ක් පමණ විය. ඵනම් අංශක 33ක වැඩි වීමකි. මේ නිසා ඡීවීන්ගේ පැවැත්ම සඳහා ප්‍රශස්ථ උෂ්ණත්වයක් පෘථිවි තලය මත පවත්වා ගැනීම සඳහා හරිතාගාර වායු ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව පැහැදිලි කරුණකි. ඵහෙත් පසුගිය දශක කිහිපය තුලදී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කිසිඳු පාලනයකින් තොරව වායුගෝලයට හරිතාගාර වායු මුදාහැරීම නිසා වායුගෝලයේ හරිතාගාර වායු සාන්ද්‍රණය වීමෙන් පරිසර උෂ්ණත්වය ප්‍රශස්ථ මට්ටම අභිබවා යාමට පටන් ගෙන ඇත. කාබන්ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, ක්ලෝරෝෆ්ලෝරෝ-කාබන්, හයිඩ්රෝෆ්ලෝරෝ-කාබන් දැනට හඳුනාගෙන ඇති මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයට විමෝචනය වීම පාලනය කළයුතු ප්‍රධානතම හරිතාගාර වායුන් වේ.

දේශගුණික විපර්යාස සඳහා හරිතාගාර වායු මගින් වන බලපෑම සෑම වායු වර්ගයක් සදහාම එක හා සමාන වන්නේ නැත. අප හොඳින් දන්නා පරිදි, දේශගුණ විපර්යාස ඇතිවීමට දායක වන ප්‍රධානතම හරිතාගාර වායූව කාබන්ඩයොක්සයිඩ් වායුව වේ. කාබන්ඩයොක්සයිඩ් වායුව වාර්ෂිකව ටොන් බිලියන ගණනක් වායුගෝලයට එකතු වන බව ගණන් බලා ඇති අතර මිනිසා විසින් දහනය කරනු ලබන පොසිල ඉන්ධන මෙයින් වැඩි ප්‍රතිශතයකට දායක වේ.අධි පරිභෝජන ජීවන රටාවකට හුරුවී සිටින දියුණුයැයි පවසන රටවල් බොහොමයක් මෙම ක්‍රියාවලියට දායක වී ඇත. සංවර්ධිත රටවල් හා සංසන්දනය කරන විට සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස දේශගුණ විපර්යාස කෙරෙහි ශ්‍රී ලංකාවේ  දායකත්වය නොගිනිය හැකි තරම්ය. ඵහෙත් ඉන්දියන් සාගරයේ පිහිටි දුපතක් වන අප රටටද ගෝලීය වශයෙන් සිදුවන දේශගුණ විපර්යාසයේ අනිටු බලපෑම්වලට නිබඳවම මුහුණ දීමට සිදූව ඇත.

හරිතාගාර වායූන්ගේ මීළග විශාලම සාමාජිකයා ලෙස මීතේන් වායුව සැලකිය හැකිය. එය සමස්ත හරිතාගාර වායූන්ගේ ප්‍රතිශතයක් ලෙස 24% ක අගයක් ගන්නා අතර මීතේන් වායුවේ බලපෑම (උණුසුම් කිරීමේ විභවය) කාබන්ඩයොක්සයිඩ් වලින් ඇතිකරන්නාවූ බලපෑම මෙන් 21 ගුණයක් ලෙස දැක්විය හැක. නමුත් එහි ක්‍රියාකාරී කාලය කාබන් ඩයොක්සයිඩ් වායුවට වඩා කෙටිය.

නයිට්‍රජන් අඩංගු පොහොර අධික ලෙස භාවිත කිරීම, නයිලෝන් හා සින්තටික් වර්ග දහනය, පොසිල ඉන්ධන දහනය තුලින් නයිට්‍රස් ඔක්සයිඩ් වායුව වායුගෝලයට ඵකතු වේ. හරිතාගාර වායූන්ගේ සංයුතියේ 10% ක ප්‍රමාණයක් මේ වායුවට හිමිවන අතර කාබන්ඩයොක්සයිඩ් වායුව මෙන් 310 ගුණයක් ගෝලීය උණුසුම වැඩිකිරීමෙහිලා ක්‍රියාකාරී බවින් යුක්ත වේ.

තව දුරටත් දේශගුණ විපර්යාසය උග්‍රවීම වැලක්වීමට නම් හරිතාගාර වායු විමෝචනය නැවත්වීම හෝ පාලනය කිරීම සිදුකල යුතු අතර ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග දේශගුණ විපර්යාස අවමකරගැනීම යටතට ගැනේ.

මේ අතර අනුහුරුවීම (Adaptation) යනුවෙන් අදහස් වන්නේ දේශගුණ විපර්යාසයේ ඝෘජු හෝ වක්‍ර ප්‍රතිඵල ලෙස හටගන්නා අහිතකර පාරිසරික තත්ත්ව හමුවේ  සාර්ථකව ජීවත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. ප්‍රබල සුළි කුණාටු, මුහුද ගොඩගැලීම්, අධික වර්ෂාව, ජල ගැලීම්, නායයෑම්, නියඟයන්, ජෛව විවිධත්වයට හානිවීම්, බෝග අස්වැන්න අඩුවීම්, කරදිය මිරිදිය මිශ්‍ර වීම, රෝග ව්‍යාප්තීන්, අසාමාන්‍ය ඝෘතු වෙනස්වීම් ආදී පාරිසරික ගැටළුවලට වර්ථමානයේ අපට නිරන්තරයෙන් මුහුණ දීමට සිදූව ඇත. එමගින් ඇතිවන බලපෑම් වලට මුහුණ දෙමින් නොනැසී ජීවත්වීම මේ වනවිට සමස්ත ලෝකවාසීන්ම මුහුණදී සිටින අභියෝගයයි.

දේශගුණික විපර්යාස ලොව විවිධ රටවල හා විවිධ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විවිධ ආකාරයේ බලපෑම් එල්ල කරයි. උදාහරණයක් වශයෙන් වෙරළබඩ ජනයාට මුහුදු ඛාදනය හේතුවෙන් තම නිවාස හා යටිතල පහසුකම් අහිමිවේ. එය වැලැක්වීම සඳහා දිය කඩන ඉදිකිරීම වැනි ඉංජිනේරුමය විසඳුම් ක්‍රියාත්මක කිරීම හෝ කඩොලාන වගා කිරීම වැනි ජෛව විද්‍යාත්මක විසඳුම් ක්‍රියාත්මක කිරීම අනුහුරුවීම ලෙස දැක්විය හැකිය. එසේම නියඟය හේතුවෙන් කෘෂිකර්මාන්තයට එල්ලවන බලපෑම අවම කරගැනීම සඳහා ජල සංරක්ෂණ ක්‍රම හඳුන්වා දීම හා නියං ප්‍රතිරෝධී බීජ වර්ග සැපයීම අනුහුරුවීම ලෙස දැක්විය හැකිය.

දේශගුණ විපර්යාසයට එරෙහිව සිදුකරන අරගලයේදී මෙම උපායමාර්ගික අවි දෙවර්ගයම අපට ඉතා වැදගත් වේ.