Sunday, April 10, 2016

ගොවි රජවරුනි, අවදිවනු !

පිලිපීනයේ දකුණුදිග  Cotabato ප්‍රාන්තයේ විරෝධතාවයේ යෙදුනු එරට ගොවීන් සහ ආදිවාසීන් 6000 කට වැඩි පිරිසකට පසුගිය සිකුරාදා (2016 අප්‍රේල් 01) පොලීසිය වෙඩි තැබීය. එයින් ගොවි රජවරුන් තිදෙනෙකු අමානුෂික ලෙස ඝාතනයට ලක්විය. තවත් විශාල පිරිසක් තුවාල ලැබීය. මාස ගණනාවක් පුරා එරටට බලපවත්නා දැඩි නියඟය හේතුවෙන් ගොවීන් රැසකගේ වගාවන් විනාශ විය. ඔවුන් හා ඔවුන්ගේ දරු පවුල් මාස තුනකට වැඩි කාලයක් කුසගින්න ඉවසා සිටියහ. නමුත් මේ වනවිට නියඟය උපරිම මට්ටමින් රුදුරු වී ඇති පසුබිමක නියං ආධාර ලබා දෙන ලෙස ඉල්ලා මෙසේ වීදි බැස අරගල කරන්නට පිලිපීනයේ ගොවීන්ට සිදුවිය. එසේම මෙවැනි දැඩි නියං තත්වයන්ට මුහුණදීමට අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති හා යාන්ත්‍රණයන් සකස්කරන ලෙසද ඔවුන් මහා හඬින් ඉල්ලා සිටියහ. නමුත් එයට ආණ්ඩුවෙන් ලැබුණේ වෙඩි උණ්ඩ පමණි.

මේ දිනවල අපේ රටේ ගොවි රජවරුන්ද නිතර පාරට බැස අරගල කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. නමුත් එම ගොවි අරගලවල අරමුණු හා පිලිපීනයේ ගොවි අරගල වල අරමුණු අතර අහසට පොළොව තරම් වෙනසක් තිබේ. දේශගුණ විපර්යාසයේ බලපෑම් මේ වන විට අපේ රටටද බරපතල ලෙස දැනේ. එමගින් අපේ රටේ කෘෂිකර්මයටද එල්ලකරන්නේ මරු පහරකි. නමුත් අපේ රටේ ගොවි රජවරු තවමත් එම භයානක අවධානම පිළිබඳව කිසිඳු උනන්දුවක් නොදක්වා විදේශීය බහුජාතික සමාගම් පොහොසත් කරන පොහොට මිටිය හා කෘෂි රසායනද්‍රව්‍ය වෙනුවෙන් වීදියේ අරගලයක නිරතව සිටීම කණගාටුවට කරුණකි.

අතීතයේ “මඩ සෝදාගත් කල ගොවියා රජකමට වුව සුදුසුයැ” යි පැවසුවේ ඔවුන් ජාතියට බත සැපයූ නිසා පමණක් නොවේ. රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය දැනුම හා අත්දැකීම පවා තිබූ බුද්ධිමත් ජනතාවක් වූ බැවිනි. අද රටේ සිටින ගොවි රජවරුන් මෝඩයන් බව අප නොපවසන්නෙමු. නමුත් ඔවුන් තවමත් අඳුරු කඩතුරාවකින් දෑස් වසාගෙන කෛරාටිකයින්ගේ දේශපාලන උපායන් වෙනුවෙන් දඩමීමුන් බවට පත්වී සිටින බවනම් කිවයුතුය.

 මහා පොළොව හා ශ්‍රමය පමණක් අපට අයිති පොහොර, කෘෂි රසායන, මෙවලම් හා බීජ වර්ග ආදී සියළුම යෙදවුන් වෙනුවෙන් විදේශීය බහුජාතික සමාගම්වලට ගැති වන්නට සිදුවූ කෘෂිකර්මාන්තයක් මගින් රට බත බුලතින් ස්වයංපෝෂිත කල නොහැකි බව අපගේ ගොවි රජවරුන්ද වටහා ගත යුතුව තිබේ. එසේම මේ වනවිටත් දත් විලිස්සාගෙන සිටින දේශගුණ විපර්යාසයේ බරපතල බලපෑම් වලටද මුහුණදීමට බහුජාතික සමාගම් වලට විකල්ප නොමැති බවද සිහිතබා ගත යුතුය.

ලෝකයේම කෘෂිකර්මාන්තය තමන්ගේ ධන උල්පත බවට පත්කරගැනීම සඳහා විදේශීය බහුජාතික සමාගම් විසින් ඇටවූ “හරිත විප්ලව” උගුලේ අප තවමත් සිරවී සිටිමු. එයින් ජනතාව මුදවාලන්නට යම්කිසි උත්සාහයක් දැරෙන අවස්ථාවන් වලදී පවා බටහිර ධනවාදීන්ට විරෝධය දක්වමින් සමාජවාදයේ සළුපිළි පොරවාගත් පිරිස්ද ඊට අකුල් හෙලීම ජුගුප්සාජනකය. බහුජාතික සමාගම්වල කෘෂිරසායන ටොන් ගණනින් හලා මහපොළොව මරා දමමින් වර්තමානයේ සිදුකෙරෙන කෘෂිකර්මාන්තයට තවත් වැඩිකල් ආයුෂ නැත. අප මේ වන විට සිදුකරමින් සිටින්නේ මිය ගිය මවගේ තනපුදුවෙන් කිරි උරා බීමය. නමුත් අපට එම තෘප්තිය ලැබියහැකි වන්නේ තවත් කෙටි කාලයකටය.

දේශගුණ විපර්යාසය මගින් අපට මෙම ගැඹුරු යථාර්තය වඩාත් ඉක්මනින් වටහා දී තිබේ. නමුත් එය තවමත් අපේ රටේ ගොවි රජවරුන්ට වැටහී නැති සේය. පිලිපීනයේ ගොවි රජවරුන්ට පොලිස් වෙඩි පහරින් ලය පසාරු කරගන්නට සිදුවූයේ මන්ද? ඔවුන්ද හරිත විප්ලවයේ කොටස් කරුවෝය. නමුත් දේශගුණ විපර්යාසය හේතුවෙන් උත්සන්න වන ගංවතුර හා නියං හමුවේ තම ගොවිතැන පවත්වාගෙන යාමට ඔවුන්ට තවදුරටත් නොහැකිය. මහා පාරට බැස නියං සහනාධාර හා දේශගුණ විපර්යාසයේ බලපෑම් වලින් කෘෂිකර්මාන්තය ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා අරගල කරන්නට ඔවුන්ට සිදුවූයේ එබැවිනි.

ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවටද එම අවධානම පොදුය. දේශගුණ විපර්යාසයට මුහුණදීම සඳහා පාරම්පරික ගොවිතැන වැළඳගැනීම මිස වෙනත් විකල්පයක් නැත. පස සාරවත් කර, ජලය සංචිතකර තබා ගන්නා කාබනික පොහොර භාවිතයට අපේ රටේ ගොවි ජනතාවද හුරුවිය යුතුය. ගංවතුරට හා නියඟයට ඔරොත්තු දෙන ප්‍රතිරෝධී බීජ වර්ග සපයා ගත යුතුය. ජලය සංරක්ෂණය කල යුතුය. අවශ්‍යතාවය අනුව විකල්ප භෝග වගාවන් වෙත නැඹුරු විය යුතුය. ඊට අවශ්‍ය ප්‍රතිපත්ති හා වැඩපිළිවෙල සකස් කිරීමට රජයට බලකල යුතුය.
මේ ඒ සඳහා අරගල කලයුතු කාලය මිස පොහොර මිටිය වෙනුවෙන් අරගල කලයුතු කාලය නොවේ.

Saturday, April 9, 2016

එල් නිනෝ සහ ලා නිනා
අතීතයේදී අපේ රටේ මිනිසුන්ගේ එදිනෙදා ජීවන රටාවට බලපෑම්කලේ වර්ෂාව හා නියඟය වැනි ආන්තික දේශගුණ තත්වයන්ය. නමුත් මේ වනවිට එය වෙනස්වී පරිසර උෂ්ණත්වයද ජනජීවීතයට බලපෑම් කරමින් පවතී. මේ දින වල දහවල් කාලයේ අධික හිරු රශ්මිය හේතුවෙන් පැය දෙක තුනකට වඩා එක දිගට හිරු එළියට නිරාවරණය වෙමින් කටයුතු නොකරන ලෙස ජනතාවට අනතුරු ඇඟවීම් ලැබී තිබේ. අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශකලේ පාසැල් ක්‍රීඩා තරඟ සියල්ලද අත්හිටුවන බවයි. මීට හේතුවී ඇත්තේ වඩාත් තීව්‍ර එල්නිනෝ තත්වයක් මේ දිනවල පෘථිවි ගෝලයටම විවිධ පරිමාණයෙන් බලපෑම් එල්ල කිරීමයි. දේශගුණ විද්‍යාඥයින් පවසන්නේ මෙම සියවස තුල ආන්තික එල්නිනෝ තත්වයන් ඇතිවීම ගෝලීය උණුසුම ඉහළ යාම හා දේශගුණ විපර්යාසය හේතුවෙන් දෙගුණයකින් වැඩිවී ඇති බවයි.
ස්පාඤඤ බසින් එල්-නිනෝ (El Niño) යනු ක්‍රිස්තු දරුවායි. බොහෝවිට නත්තල් සමයේදී තම මුහුදු කලාපයේ හටගන්නා උණුසුම් ජල ප්‍රවාහය හැඳින්වීමට එල්-නිනෝ යන නම දකුණු ඇමරිකාවේ පෙරුවියානු මසුන් මරන්නන් විසින් භාවිතා කෙරිණි. එල්නිනෝ (El Niño – Southern Oscillation) යනු පේරු රාජ්‍ය ආශ්‍රිත මුහුදු තීරයේ සෑම වසර දෙකත් හතත් අතර කාලයකට වරක් අසාමාන්‍ය ලෙස උණුසුම් ජල තීරයක් ඇතිවීමය.  එමගින් වායුගෝලයේ ඇතිවන අවපීඩන තත්වයන් හේතුවෙන් පෘථිවි ගෝලයේ විශාල ප්‍රදේශයක් පුරා බලපෑම ව්‍යාප්තවී යයි.
එල්නිනෝ තත්වය නිසා වැඩිම වර්ෂාවක් පතිත වන්නේ පේරු දේශයටය. එමගින් කාන්තාරය පවා මලින් බර වී සත්ව පාලන කටයුතුද සරු වෙයි. ඊට අමතරව ඇති වන ධාරානිපාත වැසි හේතුවෙන් ගං වතුර උවදුරට මුහුණ දීමට සිදු වේ. එරට වෙරළ තීරයේ පිහිටි ෂෙකුරා කාන්තාරයේ වර්ග කිලෝමීටර 5000ක පමණ විශාල ජලාශයක් නිර්මාණයවීමට තරම් වර්ෂාපතනය විශාලාවේ. එය පේරුහි දෙවන විශාලතම ජලාශය ලෙස සැලකේ.
මෙම තත්වය හටගැනීම ආරම්භ වන්නේ නිවර්තන පැසිෆික් සාගරයේ බටහිර ප්‍රදේශයේ පිහිටි ඕස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව ආශ්‍රිතවය. එය නැඟෙනහිර පැසිෆික් සාගරයේ පිහිටි දකුණු ඇමරිකාව දක්වා පුළුල් ප්‍රදේශයක් හරහා වායුගෝලයෙහි ක්‍රියා කරයි. එල්-නිනෝ තත්වය උත්සන්නවූ විට ඒ නිසා ඇතිවන දේශගුණික වෙනස්කම් පෘථිවි තලයෙන් තුනෙන් දෙකකට බලපායි. එල්නිනෝ මගින් සුළං රටාවේ වෙනස්වීම් හට ගැනීම, ගොඩ බිම්වල වාශ්පිකරණය වැඩිවීම, ලෝකයේ විවිධ ප්‍රදේශ වලට නියං හා අධික වර්ශපතනයන් ඇතිවීම, ජලය ප්‍රසාරණය නිසා රළ පහරවල වේගය වැඩිවීම සහ වෙරල ඛාදනය වේගවත් වීම, ග්ලැසියර් තර්ජනයට ලක්වීම හා ගොඩ බිම්වල ලැවුගිනි හටගැනීම සිදුවේ.

ඉතිහාසයේ පළමු වතාවට බරපතල එල්නිනෝ තත්වයක් වාර්තා වී ඇත්තේ 1525 දී ය. එමගින් පේරු රාජ්‍යයට බරපතල බලපෑම් එල්ලවී ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. ඉන්පසු 1789 1793 වකවානුවේ ඇති වූ එල් නිනෝව මගින් ඉන්දියාවේ මිනිසුන් හයලක්ෂයකට වඩා මියගිය අතර දකුණු අප්‍රිකාවට දරුණු නියඟයක් ඇති විය. 1982 -1983 වසරේ ප්‍රධාන වශයෙන් නිවර්තන කලාපයේ 2000කට වැඩි මිනිසුන් සංඛ්‍යාවක් මරණයට පත්වීමට එල්නිනෝ තත්වයක් හේතුවූ අතර එමගින් සිදුවූ දේපොළ හානිය ඇමරිකානු ඩොලර් බිලියන 13කට වඩා වැඩිය. 

අතීතයේ විරල වශයෙන් එල්ලවූ එල්නිනෝ තත්වයන්ගේ බලපෑම් මෑත කාලීනව සුලභ සංසිද්ධියක් බවට පත්වී ඇති බව තහවුරු කරමින්  1990 -1995 වසර අතරතුර එක දිගට සිදු වූ එල් නිනෝ සංසිද්ධීන් තුනකින් පෘථිවි වැසියන්ට බලපෑම් එල්ලවිය. එය මෙතෙක් වාර්තා වී ඇති දීර්ඝතම එල්නිනෝ සංසිද්ධිය ලෙස සැලකේ. ඉන්පසු 1997-1998 අතර ඇතිවූ එල්නිනෝ තත්වය පිළිබඳව පළමු වතාවට ඉතාමත් නිවැරදි ලෙස අනාවැකි පළ කර තිබුණත්, එහි බලපෑමෙන් ඇතිවූ ගං වතුර සහ නියඟයන් හේතුවෙන් මිනිස් ජීවිත 2100ක් වැනසී ගිය අතර ලොව පුරාම සිදු වූ අලාභය ඇමරිකානු ඩොලර් බිලියන 33ක් පමණ විය. මෙම එල්-නිනෝ සමය වඩා ප්‍රසිද්ධ වුයේ ලෝකය ගිනිගත් වසර” (the year the world caught fire) ලෙස ලෝක වනසත්ව අරමුදල විසින් එය හැඳින්වීම හේතුවෙනි.
ලා-නිනා (La Niña) යනු ස්පාඤඤ බසින් ගැහැණු දරුවා වන අතර දකුණු ඇමෙරිකාවට ඔබ්බෙන් සාගරයේ ජලය සිහිල් වන කාල පරිච්ඡෙදය හැඳින්වීමට ලා- නිනා යන වදන යෙදේ. ලා නිනා තත්වය මගින්ද  එල් නිනෝවකට සමාන දේශගුණ විපර්යාසයන් ඇති වෙයි.
කුණාටු වැනි කාලගුණ වෙනස්කම් පිළිබඳව අනාවැකි පලකල හැකිවන්නේ දින කීපයකට පෙර වුවත් එල්-නිනෝවක් පිළිබඳව සැලකියයුතු කාලයකට පෙර අනාවැකි පලකළ හැකිය. ඊට හේතුව එල්-නිනෝවක් වර්ධනයවීමට පෙර අසාමාන්‍ය කාලගුණ වෙනස්කම් විශාල කලාපයක් පුරා මාස කීපයකට පෙර සිට නිරීක්ෂණය කළහැකි වීමය. වර්තමානයේ අප මුහුණ දෙමින් සිටින එල්-නිනෝ තත්වය පිළිබඳවද පුරෝකථන ලැබී තිබුනද ඒ සම්බන්ධයෙන් අපගේ පෙර සූදානම කෙබඳු දැයි විමසිය යුතුව ඇත.

සැබෑ පුනර්ජනනීය බලශක්තිය සොයා

ජනතාවගේ දෛනික කටයුතු සිදුකරගෙන යාම හා රටේසංවර්ධනය සඳහා බලශක්තිය අත්‍යාවශ්‍යය. නමුත් ගල්අඟුරු හා ඛනිජතෙල් දහනය මගින් බලශක්තිය නිපදවීමෙන් වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු මගින් ඇතිකෙරෙන දේශගුණ විපර්යාසය මිනිසාගේ පැවැත්මට බරපතල තර්ජන එල්ල කරමින් සිටී. ලොව පුරා බොහෝ රටවල් පුනර්ජනනීය බලශක්තිය වෙත නැඹුරු වෙමින් සිටින්නේ එබැවිනි. ශ්‍රී ලංකාවේ අපද පුනර්ජනනීය බලශක්තිය සොයා යාම සඳහා විවිධ ප්‍රවේශයන් ලබාගෙන තිබුණද එම මාර්ග බොහොමයක් විසින් රටේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය මංමුලාවේ හෙලා ඇති ආකාරය පසුගිය දේශගුණ කතාබහේ දී සකච්ඡාවට ගැනිණි. අපේ රට එසේ මංමුලාවේ ගියද ලොව බොහෝ රටවල් තම රටට අවශ්‍ය බලශක්තිය පුනර්ජනනීය ප්‍රභවයන් මගින් ජනනය කරගැනීම අති සාර්ථක ලෙස සිදුකරමින් සිටී.

අයිස්ලන්තය තම රටේ මුළු බලශක්ති අවශ්‍යතාවය සියයට සියයක්ම සපුරා ගනු ලබන්නේ පුනර්ජනනීය බලශක්තිය මගිනි. නොර්වේ 98%ක්, බ්‍රසීලය 86%ක්, නවසීලන්තය 65%ක් හා ඕස්ට්‍රේලියාව 62%ක් ආදී වශයෙන් තම රටේ බලශක්ති අවශ්‍යතාවය පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් සපුරා ගනිමින් සිටී. එසේම තමන්ගේ රටේ ජීවත්වන විශාල ජනගහනය හේතුවෙන් පුනර්ජනනීය බලශක්තිය මගින් රටේ මුළු බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකි වුවත් අද වනවිට ලොව විශාලතම පුන්නර්ජනනීය බලශක්ති නිෂ්පාදකයා වීමට චීනයට හැකියාව ලැබී තිබේ. ඉන්දියාව පවා ලොව පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කිරීමේ මුල් ප්‍රමුඛයන් අතර සිටී.

මේ වන විට සීග්‍ර සංවර්ධනයක් අත්කරගෙන සිටින සංවර්ධිත රටවල් තම රටේ විශාල බලශක්ති ඉල්ලුම පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් සපුරා ගැනීමට සමත්වේ නම් අප වැනි රට වලට එය සිදුකිරීමට හැකි නොවීමට හේතුවක් නැත. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරදි ප්‍රතිපත්ති හා කැපවීම පමණි. මෙහිදී ප්‍රතිපත්තිමය කාරනා අතින් අප ඉහළින් සිටියද එම ප්‍රතිපත්ති මහපොළොවේ යථාර්තයක් බවට පත්කර ගැනීමෙහිලා අප සිටින්නේ පසුගාමීවය. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය මගින් ඉකුත් වසරේ ජුනි මස ක්‍රියාත්මක කිරීමට මුලපිරූ “බලශක්තියෙන් සවි ගැන්වූ දේශයක්” වැඩසටහන යටතේ මුල් අධියරයේදී පුනර්ජනනීය බලශක්තිය මගින් මෙගාවොට් 100ක් බලශක්ති සැපයුමට එකතු කිරීමට අපේක්ෂා කෙරිණි. එසේම 2020 වන විට මෙරට මුළු බලශක්ති අවශ්‍යතාවයෙන් 20%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් සපයා ගැනීමටත් 2030 වනවිට ජාතික බලශක්ති අවශ්‍යතාවය 100%ක් පුනර්ජනනීය බලශක්තිය මගින් සපුරා ගැනීමටත් සැලසුම් කෙරිණි.

ඉහත සඳහන් කල පළමු අධියරයේ මෙගාවොට් 100 ජනනය කිරීමට රජය අපේක්ෂා කරන්නේ කුඩා ජලවිදුලි බලාගාර 52ක් මගින් මෙගාවොට් 59ක්, දැව බලාගාර පහක් මගින් මෙගාවොට් 11ක්, සූර්ය තාප බලාගාරයක් මගින් මෙගාවොට් 10ක්, සූර්ය බලාගාරයක් මගින් මෙගාවොට් 10ක් හා ජෛව ස්කන්ධ බලාගාරයක් මගින් මෙගාවොට් 10ක් ආදී වශයෙනි.

මේ අනුව පෙනී යන්නේ බලධාරීන් අපේ රටේ පුනර්ජනනීයබලශක්ති නිෂ්පාදනය සඳහා විශ්වාසය තබා ඇති ප්‍රධානම ක්‍රමවේදය වන්නේ මේ වනවිට විශාල මාෆියාවක් බවට පත්ව ඇති කුඩා ජලවිදුලි බලාගාර ඉදිකිරීම බවයි.

ඒ හැර අපේ රටට වඩාත් සුදුසු පුනර්ජනනීය බලශක්තිය නිපදවිය හැකි ක්‍රම වන සුළං විදුලි බලාගාර සහ සූර්ය කෝෂ වැනි විකල්පයන් කෙරෙහි අප ප්‍රමාණවත් අවධානයක් යොමුකර නැත. රට වටා විශාල මුහුදු තීරයක්‌ පිහිටා තිබුණද උදම් රළ යොදාගනිමින් විදුලිය නිපදවීම අප රටට ප්‍රායෝගිකව තරමක්‌ අපහසුය. මන්ද යත් ඝර්මකලාපීය ප්‍රදේශවල මුහුදු රළ බලය අඩු බැවිනි. තවද ලවණතාව හේතුවෙන් ලෝහමය කොටස්‌ වේගයෙන් ඛාදනයට ලක්‌ වීම හේතුවෙන් නිතර නිතර නඩත්තු කරන්නට අධික මුදලක්‌ වැය වීම ද ගැටලුවකි.

නමුත් සූර්ය බලශක්තිය ලෝකයේ ඉතා පුළුල් වශයෙන් භාවිතයට ගැනෙන පුනර්ජනනීය බලශක්ති විශේෂයකි.මෙයට හොඳ ම උදාහරණය ලෙස සූර්ය තාපයෙන් ජලය රත් කිරීමේ පද්ධති පෙන්වා දිය හැකියි. ජර්මනිය වැනි රටවල් තම රටේ සියළුම ගෘහ එකක වලට සූර්ය කෝෂ සවිකර ඉතා සාර්ථක ප්‍රතිපල අත්කරගෙන තිබේ. එසේම ඉන්දියාවේ දුෂ්කර ගම්මාන වල ජීවත්වන ජනතාවගේ ජීවන තත්වය උසස් කරලීම සඳහා සූර්ය කෝෂ මගින් විදුලිය ජනනය කරගැනීම යොදාගත් අවස්ථා ඕනෑ තරම් තිබේ.

අපේ රටේද බලශක්ති නිෂ්පාදනය සඳහා ගල්අඟුරු හා ඛනිජතෙල් වෙනුවට පුනර්ජනනීය බලශක්ති ප්‍රභව යොදා ගැනීමෙන් ඉතිරිවන මුදලෙන් මෙරට ජනතාවගේ ජීවන වියදම සියයට හතලිස් පහකින් (45%) අඩුකරගත හැකි බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් සිදුකෙරුණු පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. එබැවින් අප මේ මොහොතේ සිදුලකයුත්තේ විදෙස් රටවල අත්දැකීම් වලින්ද පාඩම් උගනිමින් 100% පුනර්ජනනීය බලශක්තිය සපයාගැනීමේ සිහිනය සැබෑ කරගැනීම සඳහා නිවැරදි ප්‍රවේශයක් ලබා ගැනීමය.

සුපුන් ළහිරු ප්‍රකාශ්

පුනර්ජනනීය බලශක්තිය - මංමුලාව

පුනර්ජනනීය බලශක්තිය (Renewable energy) මේ වන විට ඉතා ආකර්ශනීය මාතෘකාවකි. පෘථිවියේ මිනිස් යුගය තුල අවසන් නොවෙන හිරු කිරණ, සුළඟ, උදම් රළ, භූගත තාපය, ජෛව ඉන්දන ඈ ශක්ති ප්‍රභව වලින් මිනිසාගේ සුඛ විහරණය සඳහා අවශ්‍ය බලශක්තිය නිපදවා ගැනීම මෙමගින් අදහස් කෙරේ. පොළොව අභ්‍යන්තරයේ ඇති ඛනිජ තෙල්, ගල් අඟුරු හා ස්වභාවික වායු වර්ග තවත් කෙටි කලකින් අවසන්වීමත්,එසේම ඒවා පැවතියද දහනයකර වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ නැංවීම මගින් සමස්ථ පෘථිවි වාසීන්ට අත්විඳින්නට සිදුවන දේශගුණ විපර්යාසයන්ගේ බලපෑම දරා ගැනීමට නොහැකි වීමත් පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීමට ජනතාව තුල පෙළඹවීමක් ඇතිකර තිබේ.

ඛනිජතෙල්, ගල් අඟුරු හා ස්වභාවික වායු භාවිතා කරමින් සියළුම රටවල් තම නිෂ්පාදන ක්‍රියාවලීන් සිදුකිරීම නිසා එමගින් වායුගෝලයට විශාල වශයෙන් හරිතාගාර වායු විමෝචනය වීම සිදුවේ. දේශගුණ විපර්යාස සිදුවීම නවතා දැමීමට නම් අප හරිතාගාර වායු විමෝචනය නවත්වා දැමිය යුතුයි.

පෘථිවි උෂ්ණත්වය ඉහළයාම නිසා ධ්‍රැව අයිස් හා ග්ලැසියර් දියවීමෙන් මුහුදේ ජලමට්ටම ඉහළ යාමෙන් බරපතල ලෙස ජීවිත අවධානමකට ලක්ව සිටින්නේ ලොව පුරා පැතිරී ඇති කුඩා දුපත් රාජ්‍ය යි. ඒ සඳහා අපට ඇති ආසන්නතම උදාහරණය මාලදිවයිනයි. එම දුපත් රාජ්‍ය ආරක්ෂාකර ගැනීමට නම් වායුගෝලීය උෂ්ණත්වය ඉහළයාම සෙන්ටිග්‍රේට් අංශක එකයි දශම පහ (1.5 oc) සීමාවේ පවත්වා ගත යුතුය.

ඒ සඳහා2030 වන විට ලෝකය සියයට සියයක් (100%) පුනර්ජනනීය බලශක්තිය භාවිතා කරන තත්වයට පත්විය යුතුය. එසේ නොවුනහොත් මේ සියවස අවසන් වනවිට පෘතුවි වායුගෝලයේ උෂ්ණත්වය  සෙන්ටිග්‍රේට් අංශක පහත් හතත් අතර ප්‍රමාණයකින් (5-7oc) ඉහළ යාම නොවැලක්විය හැකි බව දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්ඩලය තම පස්වන වාර්තාව මගින් පෙන්වා දී ඇත.එබැවින් පුනර්ජනීය බලශක්තියේ අවශ්‍යතාවය දෙවරක් පැවසියයුතු නැත.

ලොව පුරා බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාව තුළද පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය හා භාවිතය සම්බන්ධයෙන් යම්කිසි උනන්දුවක් ඇතිව තිබේ. නමුත් එහි ඇති අභාග්‍යසම්පන්න තත්වය වන්නේ අපේ රටේ පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය සඳහා ඇති සාධනීය ප්‍රභවයන් භාවිතය දිරිගැන්වීම වෙනුවට බලධාරීන් සිදුකරමින් සිටින්නේ විනාශකාරී පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා රුකුල් දෙමින් සිටීම වීමය.
ඊට ඇති ඉතා සුලභතම නිදසුන වන්නේ කුඩා ජලවිදුලි බලාගාර ව්‍යාපෘති ය.මෙවැනි බලාගාර ඉදිකිරීම සඳහා ලබාදී ඇති අවසරපත් ව්‍යාපාරිකයන් අතර ඉහළ මිලගණන් වලට අතින් අතට යනවා විනා බලාගාර ඉදිකිරීමක් සිදු නොවන අවස්ථා ඇති බව රේඛීය විෂයභාර ඇමති රංජිත් සියඹලාපිටිය පසුගියදා ප්‍රකාශකළේය.එසේම විවිධ ප්‍රමාණයේ ඇළ, දොළ, ගංගා හරස් කරමින් මේ වනවිට ඉදිකෙරෙමින් පවතින කුඩා ජලවිදුලි බලාගාර සියගණනක්ද සිදුකරමින් සිටින පාරිසරික විනාශය අති මහත්ය. පරිසර පද්ධති කාබාසීනියා කරමින් ජනජීවිත වනසමින් එම බලාගාර මගින් ජාතික පද්ධතියට ජල විදුලිය සපයා ධනවතුන් පිරිසක් තවදුරටත් මුදල් ඉපයීමේ නිරතව සිටිති. එසේම පසුගිය කාලයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ යාල ජාතික උද්‍යානය ආශ්‍රිත අමරවැව ප්‍රදේශයේ ඉඩම් අක්කර 1500ක් පවුද්ගලික සමාගමකට බදුදී තිබුණේ ජෛව ඉන්දනයක් ලෙස භාවිතා කිරීම සඳහා ග්ලිඩිසීරියා වගා කිරීමටය.

මෙවැනි විනාශකාරී ව්‍යාපෘති වලට ගොදුරුවන ප්‍රදේශවලින් එතෙක් ප්‍රතිලාභ ලැබූ ජනතාවට, විනාශවී යන පරිසර පද්ධතිවල ජීවත්වූ ආවේණික හා දේශීය ජීවී විශේෂ වලට කිසිඳු පිළිසරණක් නැතිවීම කණගාටුවට කරුණකි. අපේ රටට පුනර්ජනනනීය බලශක්තිය අවශ්‍ය නමුත් අටුව කඩා පුටුව සැදීමේ න්‍යායෙන් එය සිදු නොකළයුතු බව කිවමනාය.

එසේම අනෙක් අතින් ඉහත සඳහන් කල පරිදි රටේ පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය සඳහා ඇති සාධනීය ප්‍රභවයන් භාවිතය දිරිනොගැන්වීමද කණගාටුවට කරුණකි.උදාහරණයක් ලෙස වඩාත්ම සරල හා පහසුපුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වන සූර්ය බලශක්තිය අප අමතකකර දමා ඇත. සූර්ය පැනල පද්ධති සඳහා අධික බදු පැනවීමට සියළුම ආණ්ඩු කටයුතු කිරීම නිසා ඒවා මිලදී ගැනීමට සාමාන්‍ය පුරවැසියන්නට හැකියාවක් නැත.ඒ නිසා වසරේ වැඩි දින ගණනක් අපට පුනර්ජනනීය බලශක්තිය ජනනය කල හැකි හිරු කිරණ අප අපතේ හරිමින් සිටිමු. එසේම වැඩි මිළට පවුද්ගලික ඩීසල් බලාගාර මගින් විදුලිය මිලදී ගැනීමට ඇති පදම් මුදල් ඇති විදුලිබල මණ්ඩලයට සූර්ය පැනල මගින් විදුලිය නිපදවා ජාතික පද්ධතියට ලබා දෙන සැබෑ පරිසරහිතකාමීන්ට ඒ සඳහා මිලක් ලබා දීමට කිසිඳු අවශ්‍යතාවක් නැත.

ගංගා, ඇළ, දොළ වනසන කුඩා ජලවිදුලි බලාගාරකාරයන්ට හා වනබිම් වනසන ග්ලිඩිසීරියා ජෛව ඉන්දනකාරයන්ට කත් අදින ඔලමොළ බලධාරීන්ට හා නිලධාරීන්ට බදු සහන ලබා දී සූර්ය පැනල ජනතාව අතර ප්‍රචලිත කර,එයින් ජනනය කෙරෙන පුනර්ජනනීය බලශක්තිය මිලදී ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා නුවණ පහළ නොවීම ජාතියේ අවාසනාවකි.


ගල්අඟුරු බලශක්ති කටු ඔටුන්න

සාම්පුර් ගල්අඟුරු බලාගාර ව්‍යාපෘතිය නැවත කරළියට පැමිණ තිබේ.ඊට එරෙහිව සාමාන්‍ය වැසියන් පිරිසක් පසුගියදා කට්ටපරිච්චාන් ප්‍රදේශයේදී උපවාසයක්ද ආරම්භ කළෝය. පසුගිය රජයේ මහින්ද චින්තනය යටතේ සාම්පුර් බලාගාරය ඉදිකිරීමට සැලසුම් කෙරුණේ අපේ රට පංච බල කේන්ද්‍රයක් බවට පත්කිරීමේ සිතුවිල්ල අනුවය. දැනුමේ කේන්ද්‍රය, බලශක්ති කේන්ද්‍රය, ධීවර කේන්ද්‍රය, නාවික කේන්ද්‍රය හා ගුවන් කේන්ද්‍රය වශයෙන් දියුණු කරමින් මේ රට ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරීම ඒ සිතුවිල්ලයි. ඒ අනුව නොරච්චෝලේ හා සාම්පූර් ගල්අඟුරු බලාගාර ඉදිකර විදෙස් රටවලට බලශක්තිය අපනයනයකර විදේශ විනිමය උපයාගැනීම අරමුණ විය. දැන් වර්තමාන යහපාලන ආණ්ඩුව යටතේ නැවතත් සාම්පූර් බලාගාරය ඉදිකිරීමේ අරමුණද එයම වියයුතය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගියදා  අවසන්වූ COP 21 පැරිස් දේශගුණ විපර්යාස සමුළුව (Conference of parties 21) අමතා දේශගුණ විපර්යාස අවමකරගැනීම හා ඊට අනුහුරුවීම පිළිබඳ සිත් ඇදගන්නා සුළු කතාවක් කළේය. නමුත් දේශගුණ විපර්යාසය අවමකරගැනීම හා ගල්අඟුරු බලශක්තිය විකුණා විදේශ විනිමය ඉපයීම කිසිසේත්ම එකීනෙකට සමාපත නොවන ප්‍රතිපත්ති දෙකක් බව කිවයුතුය.

දේශගුණ විපර්යාසය හේතුවෙන් ඉහළයන වායුගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක දෙක (2 oc) සීමාවේ වත් පවත්වා ගැනීමට අපොහොසත්වුව හොත් පොළොව මතුපිට ඇති මීතේන් වැනි වායු වර්ග ගිනිගැනීම ආරම්භවීම මිනිසාට පාලනය කල නොහැකි බරපතල ව්‍යසනයන් ඇතිකරනු ඇති බව  විද්‍යාඥයින් පෙන්වා දෙති. වර්ෂ 2011 දක්වා දත්ත පදනම් කරගනිමින් සිදුකරන ලද ගණනය කිරීම් අනුව වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අංශක 2 සීමාවේ පවත්වා ගැනීමට නම් මුළුමහත් ලෝකවාසීන්ටම වායුගෝලයට මුදාහැරීමට අවසර ඇත්තේ තවත් කාබන් ගිගාටොන් 1000 ක් පමණි. නමුත් අප මේ වන විට එම ප්‍රමාණයෙන් ගිගාටොන් 150ක් වායුගෝලයට මුදාහැර අවසන්ය.

ලෝකයේ රටවල් අතර ගැඹුරු සංවාද හා මතවාද ඇතිවෙමින් පවතින්නේ ඉතිරි කාබන් ගිගාටොන් 850 වායුගෝලයට විමෝචනය කිරීමේ අයිතිය බෙදාගැනීම සම්බන්ධයෙනි. මේ පිළිබඳව තවමත් නිශ්චිත එකඟතාවයක් ඇතිවී නැතත් ලොව සියළු රටවලට තමන්ට වායුගෝලයට මුදාහැරීමට හැකි කාබන් කෝටාව ඉතිරි කරගැනීම පිළිබඳව උනන්දුවීමට සිදුවී තිබේ.

මේ වනවිට ලොව සියළු රටවල් මුහුණදී සිටින පොදු ගැටළුව වන්නේ තමන්ට අවශ්‍ය බලශක්තිය නිෂ්පාදනය කිරීමයි. ඒ සඳහා ඛනිජතෙල් හා ගල්අඟුරු දහනය කිරීමෙන් තම කාබන් කෝටාව සීග්‍රයෙන් ක්ෂයවන බව එම රටවල් දනිති. ඇමරිකාව හා චීනය වැනි බලවත් රටවල් පවා දැන් තම ගල්අඟුරු බලාගාර වසා දමමින් සිටින්නේ එබැවිණි. ශ්‍රී ලංකාව උත්සාහ කරන්නේ ඇතිවී ඇති තත්වයෙන් බොරදියේ මාළු බෑමටය. තමන්ගේ කාබන් කෝටාව ඉතිරි කරගෙන වෙනත් රටකින් බලශක්තිය මිලදීගැනීමට අසල්වැසි ඉන්දියාව වැනි රටවල් මේ වන විට උනන්දු වෙමින් සිටී. ඉන්දියාව එය සිදුකරන්නේ අප රටට “ආසියාවේ බලශක්ති කේන්ද්‍රය” වීමේ සිහිනය පෙන්වමිනි. එසේත් නැතිනම් අපගේ අර්ථ දැක්වීම අනුව “ගල්අඟුරු බලශක්ති කටු ඔටුන්න” පැළඳවීමෙනි.

ගල්අඟුරු බලාගාර මගින් රටේ ජනජීවිතයට හා පරිසරයට එල්ලවන බරපතල බලපෑම් රැසක් දරා ගනිමින්, අපේ රටේ කාබන් කෝටාව සීග්‍රයෙන් පහත හෙලාගනිමින් අප බලශක්ති කේන්ද්‍රය බවට පත්වී ආසියාවේ ආශ්චර්ය වීමට සිහින දැකීම කෙතරම් බොළඳ දැයි විස්තර කළයුතු නැත.දේශගුණ විපර්යාස පිටුදැකීමට නම් වසර 2030 වන විට ලෝකය සියයට සියයක් (100%) පුනර්ජනනීය බලශක්තිය භාවිතා කරන තත්වයට පත්විය යුතුය. එබැවින් අපට සාම්පූර ගල්අඟුරු බලාගාරය තනා ආසියාවේ බලශක්ති කේන්ද්‍රය වීමේ ආශ්වාදය ලැබීමට හා ගල්අඟුරු බලශක්ති කිරුළට ඇන්දවී සිටීමට හැකි වන්නේ තවත් වසර 14කටත් අඩු කාලයකි.
නමුත් ඒ වනවිට අප විසින් යටකී බලාගාර වලින් අපේ රටටත් ජනතාවටත් සිදුකරගත හැකි සියළු විනාශයන් සිදුකරගෙන හමාර වනු ඇත.දැනටමත් නොරච්චෝලේ ගල්අඟුරු බලාගාරය හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යට හා සමාජාර්ථික තත්වයට බලපෑම් එල්ලවී තිබේ. එසේම සාම්පූර් බලාගාරය හේතුවෙන් ජනතාවගේ පාරම්පරික වාසභූමි හා ජීවනෝපාය අහිමිවීම හා පුළුල් පරාසයක පැතිරුණු පරිසර ප්‍රශ්න ගණනාවක් ඇතිවීම සිදුවේ.

ඉන්දියාව අපගේ බලාගාර මගින් විදුලිය මිලදී ගැනීම කොතරම් කලක් සිදුකිරීමට අපේක්ෂා කරනවාද යන්න අපට අනාවැකි පලකල නොහැක. ඔවුන් ස්වකීය බලශක්තියෙන් ස්වයංපෝෂිත වී අපගේ ගල්අඟුරු බලශක්තිය ප්‍රතික්ෂේප කලවිට අපට වෙනත් පාරිභෝගිකයෙකු සොයාගැනීමද උගහටය. ගල්අඟුරු බලාගාර මගින් විදුලිය සපයා ගැනීම වඩාත් සංකීර්ණ ක්‍රියාවක් වන්නේ එය අපට ඕනෑ ඕනෑ ආකාරයට පාලනය කිරීමට නොහැකි බැවිනි. ගල්අඟුරු බලාගාරයක ජනන ක්‍රියාවලිය අඛණ්ඩව සිදු නොකළහොත් ඒකකයකට වැයවන පිරිවැය සීග්‍රයෙන් ඉහළ යාම සිදුවේ. එබැවින් එය කොටි වල්ගය අල්ලා ගත්තා වැනි ක්‍රියාවකි. ගල්අඟුරු වල ගිලී සිටීම නිසා 2030 වසර වනවිට අපේක්ෂිත මට්ටමින් පුනර්ජනනීය බලශක්ති උත්පාදන වැඩසටහන් සංවර්ධනය කිරීමටද  අපට රටක් හැටියට නොහැකිවීම මෙහි තවත් අතුරු ප්‍රතිපලයකි. එවිට අපේ රටට සිදුවන්නේ වත්ත බද්දට දී ඇස්සට දත නියවාගෙන සිටීමට නොවේද ?





එල්නිනෝ සහ අපේ කුසගින්න

මෙම වසරේදී අප්‍රිකානු මහද්වීපයේ මිලියන 14 ක ජනතාවක් උග්‍ර ආහාර හිඟයකට මුහුණපානු ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පසුගියදා නිවේදනය කළේය. දේශගුණ විපර්යාසය හේතුවෙන් උත්සන්න වී ඇති බරපතල එල්නිනෝ තත්වයක්මීට හේතුවී තිබේ. එයින්වැඩිම බලපෑමක් එල්ලවෙනු ඇතැයි අපේක්ෂා කරන රට වන්නේ මලාවි රාජ්‍ය යි. එහි මිලියන 2.8 ක ජනතාවක් සාගතයට මුහුණදී සිටිති. එම ප්‍රමාණය රටේ මුළු ජනගහනයෙන් සියයට 16 කි. සිම්බාබ්වේ රාජ්‍යයේ ජනගහනයෙන් සියයට 10ක් නොඑසේ නම් මිලියන 1.5 ක ජනතාවකගේ ඉරණමද එයයි. ඉන්දියන් සාගරයට අයත් දූපත් අතරින් වැඩිම අනතුරක් සහිත දිවයින වන්නේ මැඩගස්කර් රාජ්‍යයි. එහි මිලියන 1.9 ක ජනගහණයක් අවධානමට මුහුණදී සිටිති. මුළු ලෝකයේම කාලගුණ රටාවේ වෙනස්කම් ඇතිකිරීමට සමත් එල්නිනෝ තත්වයන් මගින් පෘථිවි ගෝලයේ ඇතැම් ප්‍රදේශ වලට දැඩි නියං තත්වයන් ඇතිකරන අතරම සෙසු ප්‍රදේශ වලට විශාල වර්ෂාපතනයන් ඇති කරයි.

ශ්‍රී ලංකාවේ අපටද අපගේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව බරපතල ලෙස සිතන්නට හා ක්‍රියාකරන්නට මෙම එල්නිනෝ තත්වය මග පාදා ඇත්තේ එහි බලපෑම අපේ රටටද දැඩිව එල්ලවනු ඇතැයි නාසා ආයතනය අනතුරු අඟවා ඇති බැවිනි. අපේ රටේ ප්‍රධානම ආහාර භෝගය වන වී ගොවිතැනද මේ වන විටත් දේශගුණ විපර්යාසයන්ගේ බලපෑමට ලක්ව ඇති බව නොකිවමනාය. අවශ්‍ය කාලයේදී වැසි නොලැබීම නිසා වගාවන් විනාශවීම මෙන්ම අස්වනු නෙලන සමයේ ලැබෙන අනපේක්ෂිත වර්ෂාව හේතුවෙන් අස්වනු විනාශවීම ද මේ වන විට සුලබ සංසිද්ධියක් බවට පත්වී ඇත. එළවළු, පලතුරු හා අනෙකුත් භෝග වගාවන් සම්බන්ධයෙන් ගත්තද මෙම තත්වය එසේමය. එවැනි පසුබිමක් තුල මෙම එල්නිනෝ තත්වයේ බලපෑමෙන් ඇතිකෙරෙන නියං සාය අපේ රටටද දැඩිව දැනෙනු ඇති බව පැහැදිලිය.

නියඟය හේතුවෙන් කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය හිඟ වීම හා අකල් වර්ෂාවන් හේතුවෙන් අස්වනු විනාශවීමට අමතරව තවත් විවිධ ආකාරයේ බලපෑම් ඇතිවේ. පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමග භෝග වලට හානි කරන කෘමී පළිබෝධකයින්ගේ ක්‍රියාකාරීත්වය ඉහළ යයි. එමගින් වගාවන්ට එල්ලවන පලිබෝධ ආක්‍රමණ වැඩි වෙයි. කෘමීන් නොවන පලිබෝධකයයන් ( වනසතුන් හා පක්ෂීන් වැනි ) ද තම ස්වභාවික වාසස්ථාන වල ඇතිවන ආහාර හා ජල හිඟය නිසා මිනිසුන්ගේ බව භෝග ආක්‍රමණය කිරීමට පෙළඹේ. එමගින්ද කෘෂි නිෂ්පාදනයට බලපෑම් එල්ලවේ. එසේම රෝග ව්‍යාප්තිය ඉහළ යාමටද දේශගුණ විපර්යාස හේතුවේ. පරිසරයේ උපරිම හා අවම උෂ්ණත්වය අතර වෙනස අඩුවීම මගින් අල භෝග වල අස්වැන්න අඩුවීම සිදුවේ.

වෙනස්වී ඇති දේශගුණික රටාවට අනුව වගා කාලසටහන් වෙනස් කිරීම, දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තුදෙන භෝග ප්‍රභේද හඳුන්වා දීම, වගා ක්‍රම වැඩි දියුණු කිරීම, ජල සංරක්ෂණ ක්‍රම වැඩි දියුණු කිරීම, ආරක්‍ෂිත ගෘහ තුල භෝග වගාව වැනි කරුණු පිළිබඳව මෙහිදී අප අවධානය යොමු කල යුතුය. බටහිර බහුජාතික සමාගම් වල ඊනියා හරිත විප්ලවයට රැවටී අප විසින්ම අමතකකර දැමූ ප්‍රතිරෝධී පැරණි බීජ හා පාරම්පරික කෘෂි දැනුම නැවත භාවිතයට ගැනීමද මෙහිදී අත්‍යාවශ්‍ය වෙයි.

දේශගුණ විපර්යාස නිසා ඇතිවන බලපෑම් හේතුවෙන් ආහාර භෝග වල අස්වැන්න අඩුවීම සිදුවන අතර එය පාලනය කිරීමට උත්සාහ දැරීමට අමතරව පසු අස්වනු හානි අවම කරගැනීම පිළිබඳවද අපගේ ප්‍රමුඛ අවධානය යොමුකළ යුතුය. අස්වැන්න නෙලා ගත් තැන සිට එය පරිභෝජනයට ගැනීම දක්වා කාලය අතරතුර අස්වැන්නට සිදුවන හානිය මෙහිදී සැලකිල්ලට ගැනේ. වැරදි ප්‍රවාහන ක්‍රම හා ගබඩා වලදී සිදුවන හානි නිසා මේ ආකාරයෙන් නෙලා ගත් අස්වැන්නෙන්ද සැලකියයුතු කොටසක් අහිමිවේ. මේ වන විට මහා කන්නයේ ගොයම් කැපීම ආරම්භ වී ඇති බැවින්, නෙලා ගන්නා වී ආරක්ෂිතව ගබඩා කර තබාගෙන ඉදිරියේදී ඇතිවිය හැකි නියං සමයේදී ක්‍රමානුකූලව වෙළඳපොළට නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමද මෙහිදී වැදගත්ය.

ආණ්ඩුවට, රාජ්‍ය ආයතන වලට, පර්යේෂකයන්ට, සිවිල් සංවිධාන වලට මෙන්ම සියළු මහජනතාවට ද  දේශගුණ විපර්යාස හේතුවෙන් අපට මුහුණ දීමට සිදුවී ඇති ආහාර අනාරක්ෂිතතාවයට විසඳුම් සෙවීමට විවිධ වගකීම් පැවරී ඇත. ඉවත දමන වියලි ශාක දණ්ඩක් වුව ද දලූ ලා යළි පැළවන සාරවත් පොළොවක් හිමි අපට එල්නිනෝව හේතුවෙන් කුසගින්නේ සිටින්නට වුව හොත් ඊටද වැරදිකරුවන් වන්නේ අපමය.

http://lankaanews.com/%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9C%E0%B7%94%E0%B6%AB-%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%9C/
එල්නිනෝ සහ අපේ කුසගින්න

මෙම වසරේදී අප්‍රිකානු මහද්වීපයේ මිලියන 14 ක ජනතාවක් උග්‍ර ආහාර හිඟයකට මුහුණපානු ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පසුගියදා නිවේදනය කළේය. දේශගුණ විපර්යාසය හේතුවෙන් උත්සන්න වී ඇති බරපතල එල්නිනෝ තත්වයක්මීට හේතුවී තිබේ. එයින්වැඩිම බලපෑමක් එල්ලවෙනු ඇතැයි අපේක්ෂා කරන රට වන්නේ මලාවි රාජ්‍ය යි. එහි මිලියන 2.8 ක ජනතාවක් සාගතයට මුහුණදී සිටිති. එම ප්‍රමාණය රටේ මුළු ජනගහනයෙන් සියයට 16 කි. සිම්බාබ්වේ රාජ්‍යයේ ජනගහනයෙන් සියයට 10ක් නොඑසේ නම් මිලියන 1.5 ක ජනතාවකගේ ඉරණමද එයයි. ඉන්දියන් සාගරයට අයත් දූපත් අතරින් වැඩිම අනතුරක් සහිත දිවයින වන්නේ මැඩගස්කර් රාජ්‍යයි. එහි මිලියන 1.9 ක ජනගහණයක් අවධානමට මුහුණදී සිටිති. මුළු ලෝකයේම කාලගුණ රටාවේ වෙනස්කම් ඇතිකිරීමට සමත් එල්නිනෝ තත්වයන් මගින් පෘථිවි ගෝලයේ ඇතැම් ප්‍රදේශ වලට දැඩි නියං තත්වයන් ඇතිකරන අතරම සෙසු ප්‍රදේශ වලට විශාල වර්ෂාපතනයන් ඇති කරයි.

ශ්‍රී ලංකාවේ අපටද අපගේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව බරපතල ලෙස සිතන්නට හා ක්‍රියාකරන්නට මෙම එල්නිනෝ තත්වය මග පාදා ඇත්තේ එහි බලපෑම අපේ රටටද දැඩිව එල්ලවනු ඇතැයි නාසා ආයතනය අනතුරු අඟවා ඇති බැවිනි. අපේ රටේ ප්‍රධානම ආහාර භෝගය වන වී ගොවිතැනද මේ වන විටත් දේශගුණ විපර්යාසයන්ගේ බලපෑමට ලක්ව ඇති බව නොකිවමනාය. අවශ්‍ය කාලයේදී වැසි නොලැබීම නිසා වගාවන් විනාශවීම මෙන්ම අස්වනු නෙලන සමයේ ලැබෙන අනපේක්ෂිත වර්ෂාව හේතුවෙන් අස්වනු විනාශවීම ද මේ වන විට සුලබ සංසිද්ධියක් බවට පත්වී ඇත. එළවළු, පලතුරු හා අනෙකුත් භෝග වගාවන් සම්බන්ධයෙන් ගත්තද මෙම තත්වය එසේමය. එවැනි පසුබිමක් තුල මෙම එල්නිනෝ තත්වයේ බලපෑමෙන් ඇතිකෙරෙන නියං සාය අපේ රටටද දැඩිව දැනෙනු ඇති බව පැහැදිලිය.

නියඟය හේතුවෙන් කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය හිඟ වීම හා අකල් වර්ෂාවන් හේතුවෙන් අස්වනු විනාශවීමට අමතරව තවත් විවිධ ආකාරයේ බලපෑම් ඇතිවේ. පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමග භෝග වලට හානි කරන කෘමී පළිබෝධකයින්ගේ ක්‍රියාකාරීත්වය ඉහළ යයි. එමගින් වගාවන්ට එල්ලවන පලිබෝධ ආක්‍රමණ වැඩි වෙයි. කෘමීන් නොවන පලිබෝධකයයන් ( වනසතුන් හා පක්ෂීන් වැනි ) ද තම ස්වභාවික වාසස්ථාන වල ඇතිවන ආහාර හා ජල හිඟය නිසා මිනිසුන්ගේ බව භෝග ආක්‍රමණය කිරීමට පෙළඹේ. එමගින්ද කෘෂි නිෂ්පාදනයට බලපෑම් එල්ලවේ. එසේම රෝග ව්‍යාප්තිය ඉහළ යාමටද දේශගුණ විපර්යාස හේතුවේ. පරිසරයේ උපරිම හා අවම උෂ්ණත්වය අතර වෙනස අඩුවීම මගින් අල භෝග වල අස්වැන්න අඩුවීම සිදුවේ.

වෙනස්වී ඇති දේශගුණික රටාවට අනුව වගා කාලසටහන් වෙනස් කිරීම, දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තුදෙන භෝග ප්‍රභේද හඳුන්වා දීම, වගා ක්‍රම වැඩි දියුණු කිරීම, ජල සංරක්ෂණ ක්‍රම වැඩි දියුණු කිරීම, ආරක්‍ෂිත ගෘහ තුල භෝග වගාව වැනි කරුණු පිළිබඳව මෙහිදී අප අවධානය යොමු කල යුතුය. බටහිර බහුජාතික සමාගම් වල ඊනියා හරිත විප්ලවයට රැවටී අප විසින්ම අමතකකර දැමූ ප්‍රතිරෝධී පැරණි බීජ හා පාරම්පරික කෘෂි දැනුම නැවත භාවිතයට ගැනීමද මෙහිදී අත්‍යාවශ්‍ය වෙයි.

දේශගුණ විපර්යාස නිසා ඇතිවන බලපෑම් හේතුවෙන් ආහාර භෝග වල අස්වැන්න අඩුවීම සිදුවන අතර එය පාලනය කිරීමට උත්සාහ දැරීමට අමතරව පසු අස්වනු හානි අවම කරගැනීම පිළිබඳවද අපගේ ප්‍රමුඛ අවධානය යොමුකළ යුතුය. අස්වැන්න නෙලා ගත් තැන සිට එය පරිභෝජනයට ගැනීම දක්වා කාලය අතරතුර අස්වැන්නට සිදුවන හානිය මෙහිදී සැලකිල්ලට ගැනේ. වැරදි ප්‍රවාහන ක්‍රම හා ගබඩා වලදී සිදුවන හානි නිසා මේ ආකාරයෙන් නෙලා ගත් අස්වැන්නෙන්ද සැලකියයුතු කොටසක් අහිමිවේ. මේ වන විට මහා කන්නයේ ගොයම් කැපීම ආරම්භ වී ඇති බැවින්, නෙලා ගන්නා වී ආරක්ෂිතව ගබඩා කර තබාගෙන ඉදිරියේදී ඇතිවිය හැකි නියං සමයේදී ක්‍රමානුකූලව වෙළඳපොළට නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමද මෙහිදී වැදගත්ය.

ආණ්ඩුවට, රාජ්‍ය ආයතන වලට, පර්යේෂකයන්ට, සිවිල් සංවිධාන වලට මෙන්ම සියළු මහජනතාවට ද  දේශගුණ විපර්යාස හේතුවෙන් අපට මුහුණ දීමට සිදුවී ඇති ආහාර අනාරක්ෂිතතාවයට විසඳුම් සෙවීමට විවිධ වගකීම් පැවරී ඇත. ඉවත දමන වියලි ශාක දණ්ඩක් වුව ද දලූ ලා යළි පැළවන සාරවත් පොළොවක් හිමි අපට එල්නිනෝව හේතුවෙන් කුසගින්නේ සිටින්නට වුව හොත් ඊටද වැරදිකරුවන් වන්නේ අපමය.

http://lankaanews.com/%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9C%E0%B7%94%E0%B6%AB-%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%9C/